යෙහෝවාගේ සේවකයන්ට සැබෑ බලාපොරොත්තුවක් තිබේ
“මිනිසා කෙරෙහි බලාපොරොත්තු නොවන . . . යාකොබ්ගේ ඉතිරි වූ අය බොහෝ ජනයන් අතරෙහි යෙහෝවාගෙන් පැමිණෙන පිනි මෙන් විය යුතුය.”—මීකා 5:7, NW.
1. ආත්මික ඊශ්‍රායෙලය ප්රබෝධයේ උල්පතක් වී ඇත්තේ කෙසේද?
යෙහෝවා යනු වර්ෂාවේ හා පිනිවල සෑදුම්කරුවාණෝය. පින්න හෝ වැස්ස ලබාගැනීමට මිනිසා කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටීම නිෂ්ඵල දෙයකි. ප්‍රොපේත මීකා ලීවේ මෙලෙසයි. “මිනිසා කෙරෙහි බලාපොරොත්තු නොවන, මිනිස් පුත්‍රයන් සඳහා බලා නොසිටින, පලා ජාති පිටට බසින වැහි බින්දු මෙන්, යාකොබ්ගේ ඉතිරි වූ අය බොහෝ ජනයන් අතරෙහි යෙහෝවාගෙන් පැමිණෙන පිනි මෙන් විය යුතුය.” (මීකා 5:7) වර්තමානයේ සිටින “යාකොබ්ගේ ඉතිරි වූ අය” කවරහුද? ඔවුහු ආත්මික ඊශ්රායෙල්වරුය. එනම් ‘දෙවිගේ ඊශ්‍රායෙල්ගේ’ ඉතිරි අයය. (ගලාති 6:16) පොළොවේ වෙසෙන ‘බොහෝ ජනයන්ට’ ඔවුන් ‘යෙහෝවාගෙන් පැමිණෙන ප්‍රබෝධවත් පිනි’ මෙනි. “පලා ජාති පිටට බසින වැහි බින්දු” මෙනි. එසේය, අභිෂේක ලත් ක්‍රිස්තියානීන් අද දින ජනයාට දෙවිගෙන් ලද ආශීර්වාදයකි. යෙහෝවා ඔවුන්ව රාජ්‍ය ප්‍රකාශකයන් වශයෙන් යොදාගෙන ඇත්තේ සැබෑ බලාපොරොත්තුවක් පිළිබඳ තමාගේ පණිවිඩය ජනයාට දැනුම් දීමටය.
2. ගැටලු හා විපත්තිවලින් පිරි ලෝකයක ජීවත් වුවද, අපට සැබෑ බලාපොරොත්තුවක් තිබෙන්නේ මන්ද?
2 මේ ලෝකයට සැබෑ බලාපොරොත්තුවක් නොමැති වීම ගැන පුදුම වෙන්නට දෙයක් නැත. දේශපාලනික අස්ථාවරභාවය, සදාචාරය පිරිහීම, අපරාධ, ආර්ථික අර්බුද, ත්‍රස්තවාදය, යුද්ධ යන මේවා සාතන් විසින් පාලනය කරන ලද ලෝකයක් තුළ අප අපේක්ෂා කරන දේවල්ය. (1 යොහන් 5:19) අනාගතයේදී කුමක් සිදු වේදැයි සිත සිතා බොහෝදෙනෙක් භයෙන් ජීවත් වෙති. කෙසේ වුවද, යෙහෝවා දෙවිගේ නමස්කාරකයන් වශයෙන් අප භය වෙන්නේ නැත. මන්දයත්, අපට අනාගතය කෙරෙහි ස්ථිර බලාපොරොත්තුවක් තිබෙන නිසාය. එය සැබෑ බලාපොරොත්තුවකි. මන්ද එය පදනම් වී ඇත්තේ දෙවිගේ වචනය මතය. අපට යෙහෝවා සහ ඔහුගේ වචනය කෙරෙහි ඇදහිල්ල තිබේ. මන්දයත් ඔහු පවසන දෙය සැමවිටම සත්‍යයක් වෙයි.
3. (අ) යෙහෝවා ඊශ්‍රායෙල් සහ යූදාට එරෙහිව පියවර ගන්නට තීරණය කළේ මන්ද? (ආ) මීකාගේ වචන අද දිනට අදාළ වන්නේ මන්ද?
3 දේවානුභාවයෙන් ලියන ලද මීකාගේ අනාවැකිය යෙහෝවාගේ නාමයෙන් ගමන් කිරීමට අපව ශක්තිමත් කරන අතර, සැබෑ අනාගතය උදෙසා පදනමක්ද සපයයි. මීකා අනාවැකි කියූ ක්‍රි.පූ. අටවන සියවසේදී දෙවි සමඟ ගිවිසුමකට බැඳී සිටි ජාතිය ජාතීන් දෙකකට බෙදී සිටියේය. එනම් ඊශ්‍රායෙල් සහ යූදා ජාතීන් හැටියටය. මේ දෙපාර්ශ්වයම දෙවිගේ ගිවිසුම නොසලකාහරිමින් සිටියෝය. මෙහි ප්‍රතිඵලය වූයේ සදාචාර බිඳ වැටීම, ආගමික වශයෙන් ඇදහිල්ලට විරුද්ධව කැරලිගැසීම සහ ඉතා තදබල ද්රව්යවාදයයි. මෙසේ, යෙහෝවා ඔවුන්ට අනතුරු ඇඟවූයේ තමා ඔවුන්ට එරෙහිව පියවර ගනු ඇති බවයි. දෙවිගේ අනතුරු අඟවනසුලු අවවාද යොමු කරනු ලැබුවේ මීකාගේ සමකාලීනයන්ට බව සත්‍යයකි. කෙසේවෙතත්, මීකාගේ කාලයේ තිබූ තත්වයටම සමාන තත්වයක් අද දිනත් තිබෙන නිසා ඔහුගේ වචන එලෙසම අදටත් අදාළය. අප මීකාගේ පොතේ පරිච්ඡේද හත තුළ යම් කැපීපෙනෙන තැන් ගැන සලකා බලන විට මෙය අපට වඩාත් පැහැදිලි වනු ඇති.
සාරාංශයකින් හෙළි වන දෙය
4. මීකා පළමුවන පරිච්ඡේදයේ සිට තුන්වන පරිච්ඡේදය දක්වා සපයා ඇත්තේ කිනම් තොරතුරුද?
4 පළමුව, මීකා පොතේ අන්තර්ගතය ගැන කෙටියෙන් සලකා බලමු. මීකා පළමුවන පරිච්ඡේදය තුළ, යෙහෝවා ඊශ්‍රායෙල් සහ යූදාගේ කැරැල්ල ගැන හෙළි කරයි. මෙහි ප්‍රතිඵලයක් හැටියට, ඊශ්‍රායෙල් විනාශ වනු ඇති අතර, යූදාගේ දඬුවම යෙරුසලමේ දොරටු කරා පැමිණෙනවා ඇති. මීකා දෙවන පරිච්ඡේදය තුළ හෙළි කරන්නේ ධනවත් හා බලවත් අය දුර්වලයන්ව හා අසරණයන්ව තළන බවයි. එමෙන්ම දිව්‍ය පොරොන්දුවක්ද තිබේ. දෙවිගේ ජනයාව එක්සත් වීම සඳහා එකතු කරනු ලැබේ. මීකා තුන්වන පරිච්ඡේදයේ වාර්තා කරන්නේ ජාතියේ පාලකයන් සහ යුතුකම් පැහැරහරින අනාගතවක්තෘවරුන්ට එරෙහිව යෙහෝවා කරන ප්රකාශයන්ය. නායකයෝ යුක්තිය පෙරළති. අනාගතවක්තෲහු බේගල් ඇද බාති. තත්වය මෙය වුණත්, යෙහෝවාගෙන් පැමිණෙන මෙම විනිශ්චය ගැන ප්‍රකාශ කිරීමට යෙහෝවාගේ ආත්මය මීකාව ශක්තිමත් කරයි.
5. මීකා 4, 5 හතරවන සහ පස්වන පරිච්ඡේදවල මූලික සාරය කුමක්ද?
5 මීකා හතරවන පරිච්ඡේදයේ පුරෝකථනය කර තිබෙන්නේ, අන්තිම දවස්වලදී සියලු ජාතීන් උස් කන්දක පිහිටි යෙහෝවාගේ ගෘහයට පැමිණෙන බවත් ඔහු විසින් ඔවුන්ට උගන්වනු ලබන බවත්ය. එහෙත්, එසේ වීමට පෙර, යූදා රාජ්‍යය බැබිලෝනියේ වහල්භාවයට ගෙන යනු ලබනවා ඇත. නමුත් යෙහෝවා ඇයව ගලවනු ඇත. මෙසියස් යූදාහි බෙත්ලෙහෙමේ ඉපදෙනු ඇති බව මීකා පස්වන පරිච්ඡේදයේ හෙළි කෙරේ. ඔහු සිය ජනයාව රැකබලා ගනිමින් පීඩාකාරී ජාතීන්ගෙන්ද ඔවුන්ව ගලවාගන්නවා ඇත.
6, 7. මීකාගේ 6, 7 අනාවැකියේ හයවන සහ හත්වන පරිච්ඡේදවල ඉදිරිපත් කර තිබෙන්නේ කිනම් මූලික තොරතුරුද?
6 මීකා පොතේ හයවන පරිච්ඡේදයේ වාර්තා වන්නේ නඩුවකදී කරන්නාක් මෙන් යෙහෝවා සිය සෙනඟට චෝදනා කරන අන්දමයි. සිය සෙනඟ විසින් කැරලිගසනු ලබන පිණිස යෙහෝවා කුමක් හෝ කර තිබෙනවාද? නැත, කිසිවක් නැත. ඇත්තෙන්ම, ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටින දේවල් ඉතා සාධාරණයි. ඔහුට වුවමනා වන්නේ සිය නමස්කාරකයන් දෙවි සමඟ ගමන් කරන විට ඔවුන් විසින් යුක්තිය, කරුණාව, සහ නිහතමානිකම පවත්වාගැනීමයි. එසේ කරනවා වෙනුවට, යූදා සහ ඊශ්‍රායෙල් ජනයා කැරලිකාර ක්‍රියාමාර්ගයක් අනුගමනය කළහ. එහි පලවිපාක විඳීමට ඔවුන්ට සිදු වෙන්නේ ඒ නිසාය.
7 අන්තිම පරිච්ඡේදය තුළ මීකා 7, මීකා තමාගේ කාලයේ විසූවන්ගේ දුෂ්ටකම් ප්රබලව හෙළා දකියි. එහෙත්, ඒ ගැන ඔහු කලකිරෙන්නේ නැත. ඒ වෙනුවට, ඔහු යෙහෝවා කෙරෙහි “නිසි ආකල්පයක් ඇතුව බලා සිටීමට” අධිෂ්ඨාන කරගනී. (මීකා 7:7, NW) මෙම පොත අවසන් වන්නේ යෙහෝවා සිය සෙනඟ කෙරෙහි දයාව පෙන්වනු ඇතිය යන නිසැකකම පළ කරමිනුයි. ඉතිහාසයෙන් සනාථ වන්නේ මෙම බලාපොරොත්තුව ඉෂ්ට වූ බවයි. ක්‍රිස්තු පූර්ව 537දී, යෙහෝවා සිය ජනයා පිට ගෙනා හික්මවීම සම්පූර්ණ වූ විට, ඔහු එයින් ඉතිරි කොටසක්ව ඔවුන්ගේම දේශයට ගෙන ආවේ ඉතා දයානුකම්පිත ලෙසයි.
8. මීකා පොතේ අන්තර්ගතය ඔබ සාරාංශ කරන්නේ කෙසේද?
8 යෙහෝවා මීකා තුළින් මොනතරම් කදිම තොරතුරු හෙළි කරනවාද! තමන්ට සේවය කරන බවට කියා සිටින නමුත් අවිශ්වාසවන්ත ලෙස කටයුතු කරන අය සමඟ යෙහෝවා කටයුතු කරන ආකාරය ගැන අනතුරු අඟවන ආදර්ශයන් දේවානුභාවය ලත් මෙම පොත තුළ සපයා තිබේ. වත්මන් සිදුවීම්ද එහි පුරෝකථනය කරයි. එමෙන්ම අපගේ බලාපොරොත්තුව ශක්තිමත් කරගැනීම පිණිස මෙම දුෂ්කර කාලවලදී අප හැසිරිය යුතු අන්දම ගැනද එයින් අපට දිව්‍යමය උපදෙස් ලබා දෙයි.
පරමාධිපති ස්වාමි වූ යෙහෝවා කතා කරයි
9. මීකා 1:2ට අනුව යෙහෝවා කරන්ට අදිටන් කරගෙන සිටියේ කුමක්ද?
9 දැන් අපි මීකා පොත වඩාත් සවිස්තරාත්මකව පරීක්ෂා කර බලමු. මීකා 1:2හි අපට මෙසේ කියවන්නට තිබේ. “ජනයෙනි, නුඹලා සියල්ලෝ අසන්න; පොළොව සහ එහි ඇති සියල්ල, ඇහුම්කන් දෙන්න. [පරමාධිපති, NW] ස්වාමීන් වන යෙහෝවා දෙවි තමන්ගේ ශුද්ධ වූ මාළිගාවේ සිට නුඹලාට විරුද්ධව සාක්ෂිකාර වේවා.” ඔබ මීකාගේ දවස්වල ජීවත්ව සිටියා නම්, මෙම වචන ඔබගේ අවධානය ඇදගන්නවාට කිසිදු සැකයක් නැත. ඇත්තවශයෙන්ම, ඒවා අද දින අපේ අවධානය ඇදගනී. මන්දයත් යෙහෝවා සිය ශුද්ධ මාළිගාවේ සිට කතා කරන්නේ ඊශ්‍රායෙල් සහ යූදාට පමණක් නොව සෑම තැනකම වෙසෙන ජනයාටයි. මීකාගේ කාලයේදී, ජනයා පරමාධිපති ස්වාමි වූ යෙහෝවාව බොහෝ කලක් මුළුල්ලේ නොසලකාහැර සිටියහ. වැඩි කල් යන්නට මත්තෙන් එය වෙනස් වනවා ඇත. තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගැනීමට යෙහෝවා අදිටන් කරගෙන සිටියේය.
10. මීකා 1:2හි වචන අපට අද දින වැදගත් වන්නේ මන්ද?
10 අපගේ දවසේදී තත්වය ඒ හා සමානවම සැබෑවකි. යෙහෝවා සිය ශුද්ධ මාළිගාවේ සිට නැවතත් කතා කරන බව එළිදරව් 14:18-20 පෙන්නුම් කරයි. වැඩි කල් නොගොස් යෙහෝවා ඉතා තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගනීවි. ඉතා වැදගත් සිද්ධීන් නැවතත් මිනිස් වර්ගයාව සසල කරනු ඇත. ඒ කාලයේදී, ‘පොළොවේ මිදි පල’ ලෙසට සැලකෙන දුෂ්ටයන්ව යෙහෝවාගේ උදහස නමැති මහත් මිදි පැසට විසි කරනු ලබනවා ඇත. එවිට සාතන්ගේ සමාජ ක්‍රමය මුළුමනින්ම විනාශ වී යනවා ඇත.
11. මීකා 1:3, 4හි සඳහන් වචනවලින් අදහස් කරන්නේ කුමක්ද?
11 යෙහෝවා විසින් කරනු ඇති දේට සවන් දෙන්න. මීකා 1:3, 4හි කියන්නේ මෙසේයි. “යෙහෝවා තමන් ස්ථානයෙන් පිටත් වී බැස ඇවිත්, පොළොවේ උසස් ස්ථාන පිට ඇවිදියි. ඔහු යට කඳු දිය වන්නේය. ගින්න ඉදිරියෙහි ඉටි මෙන්ද පල්ලමක වගුරවන වතුර මෙන්ද මිටියාවත් පැළෙන්නේය.” යෙහෝවා තම ස්වර්ගික වාසස්ථානයෙන් ඇත්තටම බැස ඇවිත් කඳු පිටත් පොරොන්දු දේශයේ තැනිතලා පිටත් ඇවිදිනු ඇද්ද? නැත. ඔහුට එවැනි දෙයක් කරන්නට අවශ්‍ය නැත. පොළොව සම්බන්ධයෙන් ඔහුගේ කැමැත්ත ඉටු කිරීම සඳහා කරන්ට තිබෙන්නේ ඒ වෙතට සිය අවධානය යොමු කිරීම පමණි. ඊටත් වඩා, විස්තර කර තිබෙන දේවල් විඳින්ට සිදු වෙන්නේ භූමියට නොව එහි වෙසෙන වැසියන්ටයි. යෙහෝවා ක්‍රියා කරන විට, නොඇදහිලිවන්ත අය සඳහා සිදු වන විපත මහත්ය. එය හරියට කඳු ඉටි මෙන් දිය වී යනවා වැනිය. භූමිකම්පාවක් මගින් තැනිතලා දෙදරා යනවා වගෙයි.
12, 13. දෙවන පේතෘස් 3:10-12ට එකඟව අපගේ බලාපොරොත්තුව සුරක්ෂිත එකක් වන්නේ කුමකින්ද?
12 මීකා 1:3, 4හි සඳහන් අනාවැකිමය වචනවලින් පොළොව මත සිදු වෙන විපත් පුරෝකථනය කරන වෙනත් අනාවැකියක් ගැන ඔබගේ මතකයට නැඟෙනවා ඇති. දෙවන පේතෘස් 3:10හි [NW] වාර්තා වී ඇත්තාක් මෙන්, ප්‍රේරිත පේතෘස් මෙසේ ලීවේය. “යෙහෝවාගේ දවස සොරෙකු මෙන් පැමිණෙන්නේය; ඒ දවසේදී අහස මහත් ශබ්දයකින් පහ වී යන්නේය. අධික ලෙස උණුසුම් වූ මූලධාතූන් විනාශ වී යන්නේය. පොළොවද එහි ක්‍රියාද පැහැදිලිව දිස් වන්නේය.” මීකාගේ අනාවැකියට සමානව, පේතෘස්ගේ අනාවැකියද පදගතාර්ථමය අහසටවත් පොළොවටවත් අදාළ වන්නේ නැත. ඒවා යොමු දක්වන්නේ දැන් පවතින අභක්තික සමාජ ක්‍රමය මත පැමිණෙන්නට යන මහත් පීඩාවකටයි.
13 පැමිණෙන පීඩාව කුමක් වුවත්, මීකා කළාක් මෙන් ක්‍රිස්තියානීන්ටත් අනාගතය දෙස නිසැකකමකින් යුතුව බලා සිටින්නට පුළුවන. ඒ කෙසේද? පේතෘස්ගේ ලිපියේ ඊළඟ පදවල සොයාගත හැකි උපදෙස් පිළිපැදීමෙන්. බලවත් හැඟීමෙන් යුතුව ප්‍රේරිතවරයා පවසන්නේ මෙසේයි. “මේ සියල්ල මෙසේ විනාශ වී යෑමට තිබෙන හෙයින්, ඔබ කෙබඳු අය විය යුතුදැයි සිතා බලන්න. ශුද්ධ වූ හැසිරීමට හා දේවභක්තියට අදාළ ක්‍රියා කරමින් යෙහෝවාගේ දවස පැමිණීම බලා සිටිමින් එය මනසෙහි ප්රමුඛව තබාගන්න.” (2 පේතෘස් 3:11, 12, NW) අප කීකරු හදවතක් වර්ධනය කරගන්නවා නම්, හැසිරීම ශුද්ධ බවට සහතික කරගන්නවා නම්, ජීවිතය දේවභක්තික ක්‍රියාවලින් පුරවාගන්නවා නම්, අනාගතය සඳහා ඇති අපගේ බලාපොරොත්තුව ස්ථිරය. එලෙසම, අනාගතය උදෙසා අපගේ බලාපොරොත්තුව ස්ථිර වීමට නම් යෙහෝවාගේ දවස ඇත්තටම පැමිණෙන බව කිසිදාක අමතක නොකළ යුතුය.
14. ඊශ්‍රායෙල් සහ යූදා දඬුවම් ලැබීමට සුදුසු වූයේ මන්ද?
14 යෙහෝවා සිය ජනයා දඬුවම් ලැබීමට වටින්නේ ඇයි කියා ඊළඟට පැහැදිලි කරයි. මීකා 1:5හි සඳහන් වන්නේ මෙයයි. “මේ සියල්ල වන්නේ යාකොබ්ගේ වරද සහ ඊශ්‍රායෙල් වංශයේ පාපවල් නිසාය. යාකොබ්ගේ වරද මොකද? සමාරිය නොවේද? යූදාහි උස් තැන් මොනවාද? යෙරුසලම නොවේද?” ඊශ්‍රායෙල් සහ යූදා තමන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් යෙහෝවාට ණයගැති විය යුතුයි. එහෙත්, ඔවුහු ඔහුට විරුද්ධව කැරලිගසා සිටිති. තවද ඔවුන්ගේ කැරැල්ල ඔවුන්ගේ අගනුවරවල් වන සමාරිය සහ යෙරුසලම දක්වා විහිදී තිබේ.
දුෂ්ට ක්‍රියා හාත්පස පැතිර තිබේ
15, 16. මීකාගේ සමකාලීනයන් වැරදිකරුවන් වූයේ කිනම් දුෂ්ට ක්‍රියාවලටද?
15 මීකා 2:1, 2හි විචිත්‍ර අන්දමින් විස්තර කර තිබෙන්නාක් මෙන්, මීකාගේ කාලයේ විසූවන්ගේ දුෂ්ටකම පිළිබඳ උදාහරණයක් මෙසේ දකින්නට ලැබෙයි. “තමුන්ගේ යහන්වලදී අපරාධ යොදා නපුර පිළියෙළ කරන්නන්ට දුක් වේ! පසුවදා එළි වෙනකොට ඔවුන්ගේ අතට බලය ලැබෙන නිසා ඔවුහු ඒක ඉෂ්ට කරති. ඔවුහු කෙත්වලට ආශා වී, ඒවා අල්ලාගනිති. ගෙවල්වලටත් ආශා වී ඒවා පැහැරගනිති. ඔවුහු පුරුෂයෙකුට සහ ඔහුගේ ගෙදරටත්, එසේය පුරුෂයෙකුට සහ ඔහුගේ උරුමයටත් බලාත්කාරකම් කරති.”
16 ගිජු පුද්ගලයෝ රෑට අවදි වී තමන්ගේ අසල්වාසීන්ගේ වතු පිටි හා දේපොළ අල්ලාගන්නේ කෙසේද කියා කල්පනා කරති. උදෑසන ඔවුන් කරන්නේ තමන් කළ සැලසුම් වහාම ක්‍රියාත්මක කිරීමයි. ඔවුන් යෙහෝවාගේ ගිවිසුම මතක් කළා නම් එවන් දුෂ්ට ක්‍රියා කරන්නේ නැත. මෝසෙස්ට දෙන ලද නීතියේ, දිලිඳුන්ව ආරක්ෂා කිරීම පිළිබඳ නීති සඳහන් විණි. ඒ යටතේ සිටින කිසිම පවුලකට තමන්ගේ උරුමයන් සදහටම අහිමි වෙන්නේ නැත. කෙසේවෙතත්, ගිජු පුද්ගලයන්ට ඒවායින් වැඩක් නැත. “නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න” කියා පවසන ලෙවී කථාව 19:18හි වචන ඔවුහු නොසලකාහරිති.
17. දෙවිට සේවය කරනවායයි කියා සිටින අය ද්‍රව්‍යමය දේවල් පළමු තැනට දමයි නම් කුමක් සිදු විය හැකිද?
17 මින් පෙන්වන්නේ දෙවිට සේවය කරනවායයි කියා සිටින අය ආත්මික ඉලක්ක තම දසුනෙන් ඉවත් කර දමා පළමුව ද්‍රව්‍යමය දේවල් සොයන්නට යෑමෙන් සිදු විය හැකි දෙයයි. පාවුල් ඔහුගේ දවස්වල විසූ ක්‍රිස්තියානීන්ට අනතුරු අඟවමින් ලිව්වේ මෙයයි. “පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය පරීක්ෂාවටද, උගුලකටද, මිනිසුන්ව නාස්තියටත් විනාශයටත් පමුණුවන, අඥාන වූ අනතුරුදායක වූ ආශාවලටද වැටෙන්නෝය.” (1 තිමෝති 6:9, NW) යම් පුද්ගලයෙක් මුදල් සෙවීම තමන්ගේ ජීවිතයේ ප්‍රධාන ඉලක්කය කරගනී නම් ඔහු කරන්නේ ධනය නමැති බොරු දෙවියාට වන්දනාමාන කිරීමයි. එම බොරු දෙවියා අනාගතය සඳහා කිසිම ස්ථිර බලාපොරොත්තුවක් ලබා දෙන්නේ නැත.—මතෙව් 6:24.
18. මීකාගේ දවස්වල විසූ ද්‍රව්‍යවාදීන්ට සිදු වනු ඇත්තේ කුමක්ද?
18 ද්‍රව්‍යමය දේවල් මත විශ්වාසය තැබීම නිකම්ම නිකම් නිෂ්ඵල දෙයක් බව මීකාගේ දවස්වල විසූ බොහෝදෙනෙක් තමන් විඳි කටුක අද්දැකීමෙන්ම ඉගෙනගත්හ. මීකා 2:4ට අනුව, යෙහෝවා මෙසේ කියයි. “ඒ කාලයේදී ඔවුන් නුඹලා ගැන උපමාවක් කියමින්ද දුක්මුසු වූ ළතෝනියකින් ළතෝනි කියමින්ද අපි සහමුලින්ම නාස්ති වුණෙමුව. ඔහු මාගේ සෙනඟගේ කොටස මාරු කරයි. ඒක මාගෙන් පහ කරන හැටි! කැරලිකාරයන්ට ඔහු අපේ කෙත් බෙදා දෙන්නේය.” එසේය, නිවෙස් හා වතු පිටි සොරාගන්නවුන්ට තම පවුල්වල උරුමයන් නැති වනු ඇත. ඔවුන් විදේශීය රටකට පිටුවහල් කරනු ලබනවා ඇති. ඔවුන්ගේ දේපොළ “කැරලිකාරයන්ට” හෙවත් ජාතීන්ගේ කොල්ලයක් බවට පත් වේවි. සමෘද්ධිමත් අනාගතයක් උදෙසා තිබූ සියලු බලාපොරොත්තු අළු බවට පත් වෙනවා ඇත.
19, 20. යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසය තැබූ යුදෙව්වන්ගේ අද්දැකීම කුමක් වීද?
19 කෙසේවෙතත්, යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන අයගේ බලාපොරොත්තු කිසි විටෙකත් සුන් වන්නේ නැත. යෙහෝවා ආබ්‍රහම් සහ දාවිත් සමඟ කළ ගිවිසුම්වලට විශ්වාසවන්තව සිටියි. එමෙන්ම මීකා මෙන් තමන්ට ප්‍රේම කරන අයටද තමන්ගේ රට වැසියන්ගේ වහල්භාවය ගැන දුක් වෙන අයටද දයාව දක්වනු ඇත. නිර්දෝෂ අය වෙනුවෙන් දෙවි නියමිත කාලයේදී නමස්කාරය යළි පිහිටුවනවා ඇත.
20 මෙය සිදු වුණේ බැබිලෝනිය වැටී යුදෙව්වන්ගෙන් ඉතිරි කොටසක් නැවත තම මව්බිම බලා ගිය අවුරුද්ද වූ ක්‍රි.පූ. 537දීය. ඒ කාලයේදී, මීකා 2:12හි ඇති වදන්වල මූලික ඉෂ්ට වීම සිදු වනු ඇත. යෙහෝවා කියන්නේ මෙසේයි. “මම සැබවින් නුඹලා සියල්ලන් රැස් කර, ඉතුරු ඊශ්‍රායෙල්වරුන් එකතු කර, බොශ්රාහි බැටළුවන් මෙන් ඔවුන් එක්කාසු කරන්නෙමි. ගොදුරු බිම මැද සතුන් රැළක් මෙන් මිනිසුන් [පුරුෂයන්, NW] රාශිය නිසා ඝෝෂාවක් වන්නේය.” යෙහෝවා මොනතරම් ප්‍රේමණීය දෙවි කෙනෙක්ද! සිය ජනයාව හික්මවූවායින් පසුව, ඔහු ඉතිරි කොටසකට නැවත හැරී එන්නට ඉඩහැර, ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් දේශයෙහි ඔහුට සේවය කරන්නට ඉඩහරී.
අපගේ දවසේ චමත්කාරජනක සමාන්තරයන්
21. අද දින තත්වයන් මීකාගේ දවස්වල තත්වයන් හා සැසඳෙන්නේ කෙසේද?
21 අප මේ දේවල් මීකා 1, 2 පොතේ මුල් පරිච්ඡේද දෙකෙන් සාකච්ඡා කරත්ම, අද දිනත් ඒ හා සමානව දේවල් සිදු වෙනවා දැක ඔබ පුදුම වී තිබෙනවාද? මීකාගේ දවස්වල මෙන්, අද දිනත් බොහෝදෙනෙකු කියා සිටින්නේ තමන් දෙවිට සේවය කරනවා කියායි. එහෙත්, යූදා හා ඊශ්‍රායෙල් මෙන් ඔවුන්ද බෙදී සිටින අතර, තමන් අතරම යුධ වැද සිටිති. ක්‍රිස්තියානි ලෝකයේ ධනවතුන් බොහොමයක් දුප්පතුන්ට පීඩා කර ඇත. ආගමික නායකයෝ බයිබලයේ පැහැදිලිවම හෙළා දැක ඇති පුරුදුවලට ඇස් කන් පියාගෙන සිටිති. ක්‍රිස්තියානි ලෝකය සමඟින් “මහා බැබිලෝනියේ” ඉතිරි ආගම්ද ඉතා ඉක්මනින්ම එහි අවසානයකට පැමිණෙනවා යන්න පුදුමයක් නොවෙයි. (එළිදරව් 18:1-5) එනමුත්, මීකාගේ දවස්වල තිබූ ආදර්ශය අනුගමනය කරන විශ්වාසවන්ත සෙනඟක් අද දින යෙහෝවාට පොළොවේ සිටිනවා ඇත.
22. දෙවිගේ රාජ්‍යය කෙරෙහි තම බලාපොරොත්තු තබා ඇත්තේ කුමන කණ්ඩායම් දෙකද?
22 වර්ෂ 1919දී, විශ්වාසවන්ත අභිෂේක ලත් ක්‍රිස්තියානීහු ක්‍රිස්තියානි ලෝකයෙන් සම්පූර්ණයෙන්ම මිදී රාජ්‍යයේ ශුභාරංචිය සියලු ජාතීන්ට ප්‍රකාශ කිරීමට පටන්ගත්හ. (මතෙව් 24:14) පළමුවෙන්ම ඔවුන් කළේ දෙවිගේ ඊශ්‍රායෙල්ගේ ඉතිරි අයව සෙවීමයි. අනතුරුව, ඔවුන් වෙනත් බැටළුවන්ගේ මහත් සමූහයව සෙවූ අතර, මෙම කණ්ඩායම් දෙකම “එක එඬේරෙකු යටතේ සිටින එක රැළක්” බවට පත් වූහ. (යොහන් 10:16, NW) ඔවුහු දැනට රටවල් 234ක සේවය කළද, මෙම විශ්වාසවන්ත නමස්කාරකයන් සියලුදෙනාම ඇත්තෙන්ම “එක්සත්ව” සිටිති. මේ වන විට, බැටළුවන්ගේ ගාල, ‘පුරුෂයන්ගේ ඝෝෂාවෙන්ද’ ස්ත්‍රීන් හා ළමුන්ගේ ඝෝෂාවෙන්ද පිරී තිබේ. ඔවුන්ගේ බලාපොරොත්තුව වනුයේ දැනට පවතින සමාජ ක්‍රමය නොව, ඉතා ළඟදීම මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කරවන දේවරාජ්‍යයයි.
23. ඔබේ බලාපොරොත්තුව ස්ථිර එකක් බවට ඔබට නිසැක විය හැක්කේ මන්ද?
23 යෙහෝවාගේ ඇදහිලිවන්ත නමස්කාරකයන් සම්බන්ධව, මීකා දෙවන පරිච්ඡේදයේ 13වන පදය අන්තිම පදය කියන්නේ මෙසේයි. “ඔවුන්ගේ රජ ඔවුන්ට ඉස්සරින් ගියේය. යෙහෝවා ඔවුන්ට පෙරටුව ගියේය.” යෙහෝවා පෙරටුවෙන්ද, ක්‍රිස්තුස් පිටුපසින්ද යන ජයග්‍රාහී පෙරහැරක ඔබත් සිටිනවා කියා ඔබට පෙනෙනවාද? එසේනම්, ජයග්‍රහණය සහතික බවටත්, ඔබගේ බලාපොරොත්තුව ස්ථිර එකක් බවටත් ඔබට නිසැක විය හැකියි. මීකාගේ අනාවැකියේ තවත් කැපීපෙනෙන තැන් ගැන අප සලකා බලත්ම, මෙය අපට තවත් වඩා හොඳින් පැහැදිලි වෙනවා ඇත.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
• මීකාගේ දවස්වලදී යෙහෝවා යූදා සහ ඊශ්රායෙලයට එරෙහිව ක්‍රියා කිරීමට තීරණය කළේ මන්ද?
• දෙවිට සේවය කරනවායයි කියා සිටින අය ද්‍රව්‍යමය දේවල් තමන්ගේ ජීවිතයේ පළමු තැනට දමන විට කුමක් සිදු විය හැකිද?
• මීකා 1, 2 පළමුවන සහ දෙවන පරිච්ඡේදය සලකා බැලුවායින් පසුව, ඔබේ බලාපොරොත්තුව ස්ථිර එකක් බවට ඔබ නිසැකව සිටින්නේ මන්ද?
[9වන පිටුවේ පින්තූරය]
මීකාගේ අනාවැකියට අපව ආත්මිකව ශක්තිමත් කළ හැකියි
[10වන පිටුවේ පින්තූර]
ක්‍රිස්තු පූර්ව 537දී විසූ යුදෙව්වන්ගෙන් ඉතිරි වූ අය මෙන් ආත්මික ඊශ්‍රායෙල්වරුද ඔවුන්ගේ සහයකයෝද සැබෑ නමස්කාරයේ උන්නතියට දායක වෙති