යෙහෝවා අපෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද?
“යුක්තිය ඉෂ්ට කිරීමත් කරුණාවට ඇලුම් වීමත් ඔබේ දෙවි සමඟ නිහතමානීව ගමන් කිරීමත් මිස යෙහෝවා ඔබෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?”—මීකා 6:8, NW.
1, 2. යෙහෝවාගේ ඇතැම් සේවකයන් අධෛර්යයට පත් විය හැක්කේ මන්ද? කුමක් කිරීම උපකාරවත් විය යුතුද?
වීරා වයස අවුරුදු 75ක් පමණ වන ඉතා දුර්වල සෞඛ්‍යකින් හෙබි ඇදහිලිවන්ත ක්රිස්තියානිවරියකි. ඇය මෙසේ කියන්නීය. “සමහරක් වෙලාවට, මට ජනේලය අස්සෙන් පේනවා මගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් ගෙයින් ගෙට ගිහිල්ලා දේශනා කරනවා. ඒක දකිද්දී මගේ ඇස්වලට කඳුළු උනනවා. මම කැමතියි ඒ අය එක්ක සේවයේ යන්න. නමුත් මගේ අසනීප තත්වය හින්දා ඒ භාග්‍යය මට නැහැ.”
2 ඔබට කවදා හෝ එසේ දැනී තිබෙනවාද? ඇත්තවශයෙන්ම, යෙහෝවාට ප්‍රේම කරන සියලුදෙනාටම වුවමනා වන්නේ ඔහුගේ නාමයෙන් ගමන් කොට, ඔහු ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේවල් සපුරාලීමටයි. නමුත් අපේ සෞඛ්‍යය පිරිහී තිබේ නම්, අපි වයස්ගත වී සිටිමු නම් හෝ අපට පවුල් වගකීම් තිබේ නම් කුමක් කියන්නට පුළුවන්ද? මෙවන් තත්වයන් හේතුවෙන් දෙවිගේ සේවය තුළ අප හද පත්ලෙන්ම කරන්නට ආශාවෙන් සිටින සියල්ලම කිරීමට නොහැකි වී තිබෙන බව අපට හැඟෙන බැවින් අප තරමක් අධෛර්යය වෙන්නට පුළුවන. අපගේ තත්වය මෙය නම්, මීකා පොතේ හයවන සහ හත්වන පරිච්ඡේදවල වාර්තා වී ඇති මීකාගේ දේවානුභාවය ලත් වචන ගැන සලකා බැලීමෙන් අපට මහත් දිරිගැන්වීමක් ලැබෙනවා නිසැකයි. යෙහෝවා අපෙන් බලාපොරොත්තු වන දේවල් සාධාරණ බවත් ඒවා සපුරාලිය හැකි බවත් මෙම පරිච්ඡේදවලින් පෙන්වා දෙයි.
දෙවි සිය ජනයාට සලකන ආකාරය
3. යෙහෝවා කැරලිකාර ඊශ්‍රායෙලිතයන්ට සලකන්නේ කෙසේද?
3 පළමුවෙන්ම අප මීකා 6:3-5 [NW] කියවා, යෙහෝවා තම ජනයාට සලකන ආකාරය සැලකිල්ලට ගනිමු. මීකාගේ කාලයේ විසූ ඊශ්‍රායෙලිතයන් කැරලිකරුවන්ව සිටි බව මතක තබාගන්න. එසේ වුවත්, තුන්වන පදයේ යෙහෝවා ඔවුන්ට ඉතා දයානුකම්පිත ලෙස අමතන්නේ “අහෝ මාගේ සෙනඟෙනි” කියායි. පස්වන පදයේ යෙහෝවා ඔවුන්ට මෙසේ ආයාචනා කරයි. “අහෝ මාගේ සෙනඟෙනි, කරුණාකර මතක් කරන්න.” තවද තුන්වන පදයේ අවසාන කොටසේ අපට පෙනෙන පරිදි, යෙහෝවා ඔවුන්ට කර්කශ ලෙස චෝදනා කළේ නැත. නමුත් ඔවුන්ගේ හදවත්වලට ළඟාවීමට උත්සාහ කරන්නේ “මම ඔබට කුමක් කළෙම්ද” යන ප්රශ්නය අසමිනුයි. එපමණක්ද නොව, තමාට එරෙහිව “සාක්ෂි දෙන්න” කියමින්ද ඔහු ඔවුන්ව දිරිගැන්වුවේය.
4. දයානුකම්පාව පිළිබඳව දෙවිගේ ආදර්ශය අප තුළ කිනම් බලපෑමක් ඇති කළ යුතුද?
4 දෙවි අප සියල්ලන් උදෙසා තබා ඇත්තේ මොනතරම් උතුම් ආදර්ශයක්ද! මීකාගේ කාලයේ විසූ කැරලිකාර යුදෙව්වන්ව යෙහෝවා විසින් ආමන්ත්‍රණය කරනු ලැබුවේ “මාගේ සෙනඟෙනි” යනුවෙනි. එමෙන්ම ඔවුන්ට ආයාචනා කරනු ලැබුවේ “කරුණාකර” යන වදන් සමඟිනි. එසේනම්, සභාවට අයත්ව සිටින අය සමඟ අප කටයුතු කරද්දී අප විසින් දයානුකම්පාවක් හා කරුණාවන්ත ආචාරශීලී ගතියක් පෙන්විය යුතුමයි! ඇතැම් අය සමඟ කටයුතු කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවන්නට පුළුවන. නැත්නම් ඔවුන් ආත්මිකව දුර්වලව සිටිනවා වන්නට පුළුවන. එහෙත්, ඔවුන් යෙහෝවාට ප්‍රේම කරනවා නම් ඔවුන්ට උපකාර කිරීමටත් දයානුකම්පාව දැක්වීමටත් අපට වුවමනායි.
5. මීකා 6:6, 7හි සඳහන් කර ඇත්තේ කිනම් මූලික කරුණද?
5 දැන් අපි මීකා 6:6, 7ට පෙරළමු. අවධාරණය සඳහා ප්‍රශ්න මාලාවක් ඔහු ඇසුවේ මෙසේයි. “මම යෙහෝවා ඉදිරියට කුමක් රැගෙන ඇවිත් උසස් වූ දෙවිට වඳිම්ද? මම දවන පූජාද අවුරුද්දක් වූ එළවස්සන්ද රැගෙන ඔහු ඉදිරියට පැමිණෙම්ද? දහස් ගණන් බැටළුවන්ටවත් දස දහස් ගණන් තෙල් ගංගාවලටවත් යෙහෝවා ප්‍රසන්න වන්නේද? මාගේ වරද නිසා මාගේ කුලුඳුලාත් මාගේ ආත්මයේ පාපය නිසා මාගේ ශරීරයේ පලයත් දෙම්ද?” නැහැ, ‘දහස් ගණන් බැටළුවන්ගෙනුත්, දස දහස් ගණන් තෙල් ගංගාවලිනුත්’ යෙහෝවාව සතුටු කරන්නට බැරිය. නමුත් ඔහුව සතුටු කළ හැකි එක දෙයක් තිබේ. ඒ කුමක්ද?
අප යුක්තිය ඉෂ්ට කළ යුතුය
6. මීකා 6:8හි සඳහන් කර ඇති පරිදි දෙවි අපෙන් බලාපොරොත්තු වන දේවල් කවරේද?
6 මීකා 6:8 කියවා යෙහෝවා අපෙන් බලාපොරොත්තු වන දේ ගැන දැනගනිමු. මීකා අසන්නේ මෙයයි. “යුක්තිය ඉෂ්ට කිරීමත් කරුණාවට ඇලුම් වීමත් ඔබේ දෙවි සමඟ නිහතමානීව ගමන් කිරීමත් මිස යෙහෝවා ඔබෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?” අපට දැනෙන, අප සිතන හා අප ක්‍රියා කරන ආකාරය මෙම අවශ්‍යතා තුනට ඇතුළත් වෙයි. මෙම ගුණාංග විදහා පෑමට නැඹුරුවාවක් අප තුළ තිබිය යුතු අතර, ඒවා විදහා පෑ හැකි ආකාරය ගැන අප සිතිය යුතුය. ඒවා පෙන්වීමට යම් පියවරවල් ගත යුතුය. දැන් අපි මෙම අවශ්‍යතා තුන එකිනෙක සලකා බලමු.
7, 8. (අ) “යුක්තිය ඉෂ්ට කිරීම” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) මීකාගේ දවස්වල හාත්පස පැතිර තිබුණේ කිනම් ආකාරයේ අයුක්තිසහගත ක්‍රියාවන්ද?
7 “යුක්තිය ඉෂ්ට කිරීම” යන්නෙන් අදහස් කරන්නේ හරි දෙය කිරීමයි. තවද යෙහෝවා දේවල් කරන ක්‍රමය යුක්තියේ ප්රමිතියයි. කෙසේවෙතත්, මීකාගේ කාලයේ විසූ අය ඉෂ්ට කළේ යුක්තිය නොව අයුක්තියයි. කුමන ආකාරවලින්ද? මීකා 6:10 දෙස බලන්න. එම පදය අවසානයේ, වෙළෙන්දන් ‘පිළිකුල් වූ අඩු වූ ඒඵාවක්’ එනම් ඉතා කුඩා එකක් පාවිච්චි කරන බවක් විස්තර කෙරේ. මෙහි මීකා 6:11වන පදයේ තවදුරටත් කියන්නේ ඔවුන් “හොර කළන් පඩි මල්ලක්” යොදාගන්නා බවයි. මෙහි මීකා 6:12වන පදයට අනුව, “ඔවුන්ගේ දිව් . . . වංචාකාරව” තිබේ. මේ අන්දමින් බොරු මිමි, හොර තරාදි හා බොරු කතා මීකාගේ දවස්වල වාණිජ ලෝකයේ හාත්පස පැතිර තිබුණි.
8 මෙම අයුක්තිසහගත පුරුදු සීමා වී තිබුණේ වෙළඳ පොළට පමණක් නොවේ. ඒවා අධිකරණය තුළද පොදුවේ දකින්නට තිබුණි. මීකා 7:3හි අඟවන්නේ, “අධිපතියාද විනිශ්චයකාරයාද තෑග්ගක් ඉල්ලති” කියායි. අහිංසක මිනිසුන් පිට අයුක්තිසහගත දඬුවම් පැමිණවීමට මඟක් ලෙස විනිශ්චයකරුවන්ට අල්ලස් දෙනු ලැබේ. එම පදයේම තවදුරටත් කියන්නේ, “උත්තමයා” හෙවත් බලපුළුවන්කාර අය, අපරාධවලට හවුල් වන බවයි. ඇත්තෙන්ම අධිපතියා, විනිශ්චයකාරයා සහ උත්තමයා තමන්ගේ දුෂ්ට ක්‍රියාවන් කිරීමට “එකට සම්බන්ධ වන” [NW] බව, හෙවත් එකට එකතු වී සංවිධානය වන බව මීකා පවසයි.
9. යූදා සහ ඊශ්‍රායෙලය දුෂ්ටයන් විසින් කරන ලද අයුක්තිසහගත ක්‍රියාවලින් බලපෑමට ලක් වූයේ කෙසේද?
9 දුෂ්ට පාලකයන් විසින් කරන ලද අයුක්තිසහගත ක්‍රියාවන් යූදා සහ ඊශ්‍රායෙල් වැසියන් සියල්ලන්ටම බලපායි. මීකා 7:5හි සටහන් කරන්නේ යුක්තියේ ඌනතාව මගින් මිතුරන්, සහෘදයන් සහ විවාහක කලත්‍රයන් අතර පවා විශ්වාසය පලුදු වී ඇති බවයි. සමාජය තුළ හටගෙන ඇති මෙම වියවුල්සහගත තත්වය නිසා පුත්‍රයන් හා පියවරුන් අතරද, දියණියන් හා මව්වරුන් අතරද එකිනෙකාව පිළිකුල් කරන ගතියක් ඇති වී තිබෙන බව හයවන පදයේ මීකා 7:6 කියයි.
10. අද දින පවතින අයුක්තිසහගත වාතාවරණය තුළ ක්‍රිස්තියානීන් හැසිරෙන්නේ කෙසේද?
10 වර්තමානය ගැන කුමක් කියන්න පුළුවන්ද? අද දිනත් අප ඒ හා සමාන තත්වයන් දකින්නේ නැද්ද? මීකාගේ කාලයේදී මෙන්, අද දිනත් අප අවට දකින්නට ලැබෙන්නේ යුක්තියේ ඌනතාවකි. ඒ වගේම අවිශ්වාසයේ වාතාවරණයකි. එමෙන්ම සමාජීය හා පවුල් ජීවිතයේ බිඳ වැටීමකි. එහෙත්, මේ අධර්මිෂ්ඨ ලෝකය තුළ සිටින දෙවිගේ සේවකයන් වශයෙන් මෙම ලෝකයේ අයුක්තිසහගත ලෙස කටයුතු කිරීමේ ස්වභාවය හෙවත් ආත්මය, ක්‍රිස්තියානි සභාව තුළට කාන්දු වෙන්නට අපි ඉඩ නොහරිමු. ඒ වෙනුවට, අපි අවංකභාවයේ හා අඛණ්ඩතාවේ ප්‍රතිපත්ති ඉහළින් තැබීමට උත්සාහ කරමු. ඒවා අපගේ එදිනෙදා ජීවිතයේ කටයුතුවලදී විදහාපෙන්වමු. ඇත්තවශයෙන්ම, ‘සියල්ලේදී අපි අවංක ලෙස හැසිරෙන්නෙමු.’ (හෙබ්‍රෙව් 13:18, NW) මෙසේ යුක්තිය ඉෂ්ට කිරීම මගින්, දැඩි විශ්වාසයක් පිළිබිඹු කරන්නාවූ සහෝදරත්වයක ආශීර්වාද අප භුක්ති විඳින බවට ඔබ එකඟ වන්නේ නැද්ද?
ජනයා “යෙහෝවාගේ කටහඬ” අසන්නේ කෙසේද?
11. මීකා 7:12 ඉෂ්ට වෙමින් තිබෙන්නේ කෙසේද?
11 අයුක්තිසහගත තත්වයන් හාත්පස පැතිර පැවතුණත්, යුක්තිය සියලු ආකාරවල මිනිසුන් කරා ඇදී යන බවක් මීකා පුරෝකථනය කරයි. අනාගතවක්තෘවරයා පුරෝකථනය කරන්නේ යෙහෝවාගේ නමස්කාරකයන් බවට පත්වීම පිණිස, “මුහුදෙන් මුහුදටද කන්දෙන් කන්දටද තිබෙන පළාත්වලින්” ජනයාව එකතු කරනු ලබන බවයි. (මීකා 7:12, NW) අද දින මේ අනාවැකියේ අන්තිම ඉටුවීමේදී, එක්තරා විශේෂ ජාතියක් නොව සියලු ජාතීන්ට අයත් පුද්ගලයෝ ඇත්තවශයෙන්ම පක්ෂග්‍රාහිත්වයෙන් තොර වූ දෙවිගේ යුක්තියෙන් ප්‍රයෝජන ලබමින් සිටිති. (යෙසායා 42:1) මෙය සැබෑවක් බවට ඔප්පු වෙන්නේ කෙසේද?
12. අද දින ‘යෙහෝවාගේ කටහඬ’ අසනු ලබන්නේ කෙසේද?
12 මීට පිළිතුරු ලැබීම සඳහා මීකාගේ මුල් වචන සලකා බලන්න. මීකා 6:9හි [NW] කියන්නේ මෙසේයි. “යෙහෝවාගේම කටහඬ නුවරට මොරගසන්නේය. ප්‍රායෝගික ප්‍රඥාව ඇති තැනැත්තා ඔබගේ නාමයට භය වෙනවා ඇත.” සියලු ජාතීන්ට අයත් ජනයාට ‘යෙහෝවාගේම කටහඬ ඇසෙන්නේ’ කෙසේද? අප විසින් යුක්තිය ඉෂ්ට කිරීමට මෙය සම්බන්ධ වෙන්නේ කෙසේද? ඇත්තවශයෙන්ම, අද දින වෙසෙන මිනිසුන්හට දෙවිගේ කටහඬ සැබෑවටම ඇහෙන්නේ නැත. කෙසේවෙතත්, අපගේ ලෝක ව්‍යාප්ත දේශනා සේවය මගින්, යෙහෝවාගේ කටහඬ සියලු ජාතීන්ට අයත් සියලු ආකාර ජනයා විසින් අසනු ලැබේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඊට සවන් දෙන අය, “[දෙවිගේ] නාමයට භය වෙනවා ඇත.” එනම් ඊට ගෞරවාන්විත අවධානයක් දෙනවා ඇත. ඇත්තෙන්ම ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයන් ලෙස සේවය කිරීම මගින් අප යුක්තිසහගත හා ප්‍රේමණීය අන්දමින් ක්‍රියා කරන්නෙමු. තවද සියලුදෙනාටම එක හා සමානව සලකමින් අපි ‘යුක්තිය ඉෂ්ට කරන්නෙමු.’
අප කරුණාවට ඇලුම් විය යුතුයි
13. ප්‍රේමණීය-කරුණාව සහ ප්‍රේමය අතර ඇති වෙනස කුමක්ද?
13 ඊළඟට, මීකා 6:8හි සඳහන් දෙවන අවශ්‍යතාව ගැන දැන් අපි සාකච්ඡා කරමු. “කරුණාවට ඇලුම් වීම” යෙහෝවා අපෙන් බලාපොරොත්තු වෙයි. “කරුණාව” යනුවෙන් පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනය “ප්‍රේමණීය-කරුණාව” යනුවෙන් හෝ “පක්ෂපාත ප්‍රේමය” යනුවෙන්ද පරිවර්තනය කරන්නට හැකියි. ප්‍රේමණීය-කරුණාව යනු අනුන් කෙරෙහි ක්‍රියාශීලී අවධානයක්, දයානුකම්පිත සැලකිල්ලක් දැක්වීමය. ප්‍රේමණීය-කරුණාව ප්‍රේමය නමැති ගුණාංගයට වඩා වෙනස්ය. ඒ කෙසේද? ප්‍රේමය යනු ඉතා පුළුල් යෙදුමකි. යම් දේවල්වලටත් යම් සිතිවිලි හෙවත් සංකල්පවලටත් ප්‍රේමයක් හෙවත් ඇලුම්කමක් දැක්විය හැකියි. උදාහරණයක් හැටියට ‘මුද්‍රිකපානයටත් තෙලටත් ඇලුම් වෙන’ අය ගැන මෙන්ම ‘ප්‍රඥාවට ඇලුම් වෙන’ අය ගැනද බයිබලයේ කතා කරයි. (හිතෝපදේශ 21:17; 29:3, NW) කෙසේවුවද, ප්‍රේමණීය-කරුණාව යන්න සෑමවිටම දක්වන්නේ පුද්ගලයන්ටයි, විශේෂයෙන්ම දෙවිට සේවය කරන අයටයි. යෙහෝවා දෙවිට සේවය කළ මිනිසෙකු වූ “ආබ්‍රහම්ට දැක්වූ ප්‍රේමණීය-කරුණාව” ගැන මීකා 7:20හි [NW] කතා කරන්නේ එමනිසායි.
14, 15. ප්‍රේමණීය-කරුණාව පෙන්වනු ලබන්නේ කෙසේද? සඳහන් කර ඇති අද්දැකීම් කුමක සාක්ෂියක්ද?
14 මීකා 7:18හි [NW] අනාගතවක්තෘවරයා දෙවි ගැන මෙසේ කියයි. “ඔහු ප්‍රේමණීය-කරුණාවට ප්‍රිය වන්නේය.” ඒ හා සමානව, මීකා 6:8හි අපට කියා තිබෙන්නේ නිකම්ම ප්‍රේමණීය-කරුණාව පෙන්වීමට පමණක් නොව එම ගුණාංගයට ප්‍රේම කරන්නට හෙවත් ඇල්මක් දක්වන්නට කියායි. මෙම ශුද්ධ ලියවිලි පදවලින් අප ඉගෙනගන්නේ මොනවාද? ප්‍රේමණීය-කරුණාව පෙන්වීමට අපට වුවමනාවක් තිබෙන නිසා අප විසින් එය පෙන්වනු ලබන්නේ කැමැත්තෙන් හා කොන්දේසි විරහිතවයි. යෙහෝවා මෙන්ම අපත් යම් යම් අවශ්‍යතා ඇති අයට ප්‍රේමණීය-කරුණාව පෙන්වීමට ප්‍රිය වෙමු. එසේ කරමින් සතුටක් ලබමු.
15 අද දින එවන් ප්‍රේමණීය-කරුණාවක් විදහා පෑම දෙවිගේ සෙනඟ සතු ලක්ෂණයක්ය. එක් උදාහරණයක් පමණක් සලකා බලන්න. වර්ෂ 2001 ජූනි මාසයේදී එක්සත් ජනපදයේ ටෙක්සස්හි ඇති වූ කුණාටුවකින් දරුණු ජලගැල්මක් ඇති වුණි. ඉන් නිවාස දහස් ගණනකට අලාභ හානි සිදු වූ අතර, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නිවෙස් සිය ගණනක්ද ඒ අතර විය. අවශ්‍යතා ඇති තම ක්‍රිස්තියානි සහෝදරයන්ට උපකාර කිරීම සඳහා සාක්ෂිකරුවෝ 10,000දෙනෙක් පමණ කැමැත්තෙන් මෙන්ම නොමිලේම තමන්ගේ කාලය හා ශක්තිය වැය කළහ. අවුරුද්දෙන් භාගයක්ම ස්වේච්ඡා සේවකයන් වෙහෙස මහන්සිය නොබලා රෑ දවල් හා සති අන්තවල වැඩ කළේ තම ක්‍රිස්තියානි සහෝදරයන් සඳහා රාජ්‍ය ශාලා 8ක්ද, නිවාස 700කට වැඩි ගණනක්ද යළි සාදා දීමටයි. එවන් වැඩ කිරීමට හැකියාවක් නොතිබුණු අය ආහාර, වෙනත් දෑ සහ මුදල් පරිත්‍යාග කළහ. මෙම සාක්ෂිකරුවන් දහස් ගණනක් තමන්ගේ සහෝදරයන්ගේ ආධාරයට පැමිණියේ මන්ද? මක්නිසාද ඔවුන් ‘කරුණාවට ඇලුම් කරන’ නිසයි. එවන් ප්‍රේමණීය-කරුණාවේ ක්‍රියා අපගේ ලෝක ව්‍යාප්ත සහෝදරයන් විසින් කරනු ලබන බව දැනගැනීම මොනතරම් හද උණුසුම් කරවන්නක්ද! ඔව්, “කරුණාවට ඇලුම් වීම” නමැති අවශ්‍යතාව බරක් නොව ප්‍රීතියකි!
දෙවි සමඟ නිහතමානීව ගමන් කරන්න
16. දෙවි සමඟ නිහතමානී ලෙස ගමන් කිරීමට ඇති අවශ්‍යතාව අවධාරණය කරනු ලබන්නේ කිනම් උපහැරණයෙන්ද?
16 මීකා 6:8හි සඳහන් තුන්වන අවශ්‍යතාව නම්, ‘ඔබේ දෙවි සමඟ නිහතමානීව ගමන් කිරීමයි.’ මින් අදහස් කරන්නේ අපගේ සීමාවන් හඳුනාගෙන දෙවි කෙරෙහි රඳා සිටීමයි. මෙය මෙසේ උපහැරණය කරන්නට පිළිවන. තදබල කුණාටුවක් මැදින් තම පියාගේ අත තදින් අල්ලාගෙන ගමන් කරන කුඩා දැරියක් ගැන මොහොතකට සිතන්න. තමාගේ ශක්තිය සීමිත බව මේ දැරිය හොඳින් දන්නීය. ඒ නිසා ඇය ඇගේ පියා කෙරෙහි තබන්නේ ලොකු විශ්වාසයකි. එම කුඩා දැරිය මෙන් අපද අපගේ සීමාවන් ගැන දැනගත යුතුයි. එබැවින් අපගේ ස්වර්ගික පියාණන් කෙරෙහි දැඩි විශ්වාසයක් නිසැකකමක් අප තැබිය යුතුයි. මෙවැනි නිසැකකමක් පවත්වාගැනීමට අපට හැක්කේ කෙසේද? දෙවිට ළං වී සිටීම ප්‍රඥාවන්ත දෙයක් වන්නේ මන්දැයි සිහියේ තබාගෙන සිටීම එක් දෙයකි. ඊට දායක වන හේතු තුනක් මීකා අපට මතක් කර දෙයි. ඒවා නම්, යෙහෝවා අපේ ගැලවුම්කරු, මඟ පෙන්වන්නා සහ ආරක්ෂකයා යන්නයි.
17. ඉපැරණි කාලවලදී යෙහෝවා තම ජනයාට ගැලවුම්කරුවෙක්, මඟ පෙන්වන්නෙක් සහ ආරක්ෂකයෙක් වූයේ කෙසේද?
17 මීකා 6:4, 5හි සඳහන් පරිදි දෙවි මෙසේ කියයි. ‘මම ඔබ ඊජිප්තු දේශයෙන් ගෙනායෙමි.’ ඔව්, ඊශ්‍රායෙල් ජාතියේ ගැලවුම්කරු වූයේ යෙහෝවායි. තවදුරටත් යෙහෝවා කියන්නේ මෙසේයි. “ඔබට පෙරටුවෙන් මෝසෙස්ද ආරොන්ද මීරියාම්ද ඇරියෙමි.” ඇත්තවශයෙන්ම, මෝසෙස් හා ආරොන්ව ජාතියට මඟ පෙන්වීමට යොදාගනු ලැබීය. ජයග්‍රාහී රංගනයේදී මීරියාම් ඊශ්‍රායෙල් කාන්තාවන් කෙරෙහි මූලිකත්වය ගත්තාය. (නික්මයාම 7:1, 2; 15:1,19-21; ද්විතීය කථාව 34:10) මෙසේ, යෙහෝවා මඟ පෙන්වීම සැපයුවේ සිය සේවකයන් මාර්ගයෙනි. බාරාක් හා බාලාම් යන විරුද්ධවාදීන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කළ බවත්, මෝවබ්හි ෂිට්ටීම් සිට පොරොන්දු දේශයේ ගිල්ගාල් දක්වා වූ දිගු ගමනේ අවසානය තෙක් ඔවුන්ට ආරක්ෂාව දුන් බවත් පස්වන පදය මීකා 6:5 තුළ යෙහෝවා ඊශ්‍රායෙල් ජාතියට මතක් කළේය.
18. දෙවි අද දින අපගේ ගැලවුම්කරු, මඟ පෙන්වන්නා සහ ආරක්ෂකයා හැටියට ක්‍රියා කරන්නේ කෙසේද?
18 ඒ හා සමානව, අප දෙවි සමඟ ගමන් කරන විට ඔහු අපව සාතන්ගේ ලෝකයෙන් ගලවාගනී. සිය සංවිධානය මාර්ගයෙන් අපට මඟ පෙන්වයි. එමෙන්ම විරුද්ධවාදීන්ගෙන් එල්ල වන ප්‍රහාරවලින් අපව කණ්ඩායමක් හැටියට ආරක්ෂා කරයි. මෙසේ, ඉපැරණි පොරොන්දු දේශයට වඩා බොහෝසෙයින් උතුම් යමක් වන දෙවිගේ ධර්මිෂ්ඨ නව ලෝකයට යන කුණාටු සහිත මෙම ගමනේ අවසාන අදියරෙහි සිටින අපට අපේ ස්වර්ගික පියාණන්ගේ අතින් තදින් අල්ලාගෙන යෑමට අපමණ හේතු තිබේ.
19. නිහතමානීකම අපගේ සීමාවන්වලට සම්බන්ධ වී ඇත්තේ කිනම් ආකාරයෙන්ද?
19 දෙවි සමඟ නිහතමානී ලෙස ගමන් කිරීමේදී අප සිටින තත්වය ගැන යථාර්ථවාදී දෘෂ්ටියක් තබාගැනීමටද අපට හැකි වේ. මෙය මෙසේ වන්නේ නිහතමානීකම පෙන්වීමට අපගේ සීමාවන් අවබෝධ කරගෙන සිටීම යන කාරණය ඇතුළත් වන නිසායි. ශරීර සෞඛ්‍යයේ පිරිහීම නිසා හෝ වයස්ගත වීම නිසා අපට යෙහෝවාගේ සේවය තුළ කළ හැකි දේවල් සීමා විය හැකියි. එසේ වුණත් අපි අධෛර්යය නොවෙමු. යෙහෝවා අපගේ ප්රයත්නයන් හා පූජාවන් පිළිගන්නේ ‘අපට නැති දේට අනුව නොව, අපට ඇති දේට අනුව’ යයි මතක තබාගැනීම යෙහෙකි. (2 කොරින්ති 8:12, NW) ඇත්තවශයෙන්ම, යෙහෝවා අපෙන් බලාපොරොත්තු වන්නේ අපගේ තත්වය ඉඩ දෙන ආකාරයට ඔහුට පූර්ණ හදවතකින් සේවය කිරීමයි. (කොලොස්සි 3:23, 24) අප දෙවිගේ සේවය තුළ අපට කළ හැකි සියල්ලම ඉතා උනන්දුවෙන් හා ජ්වලිතවත්ව කරනවා නම්, දෙවි ඉතා මහඟු ලෙස අපට ආශීර්වාද කරනවා ඇති.—හිතෝපදේශ 10:22.
නිසි ආකල්පයකින් යුතුව බලා සිටීමෙන් ආශීර්වාද ලැබේ
20. නිසි ආකල්පයකින් යුතුව මීකා බලා සිටියාක් මෙන් බලා සිටීමට අපට උපකාරවත් විය යුත්තේ කුමක් අවබෝධ කරගෙන සිටීමද?
20 දෙවිගේ ආශීර්වාද අද්දකින විට අපව පෙලඹෙන්නේ මීකාගේ ආකල්පය අනුකරණය කිරීමටයි. ඔහු මෙසේ ප්‍රකාශ කරයි. “මා සෝදිසියෙන් සිටින්නේ යෙහෝවා ගැනය. මාගේ ගැලවීමේ දෙවි දෙස නිසි ආකල්පයක් ඇතුව බලා සිටින්නෙමි.” (මීකා 7:7, NW) මෙම වචන දෙවි සමඟ නිහතමානීව අප කරන ගමනට සම්බන්ධ වන්නේ කෙසේද? යෙහෝවාගේ දවස තවමත් පැමිණ නැතැයි කියා කලකිරීමට පත්වීමෙන් වැළකීමට නිසි ආකල්පයක් ඇතුව බලා සිටීම හෙවත් ඉවසීම අපට මහෝපකාරී වෙයි. (හිතෝපදේශ 13:12) අවංකවම කියතොත් අපි සියල්ලෝම මේ දුෂ්ට ලෝකයේ නිමාව එන තෙක් බලා සිටින්නෙමු. කෙසේවෙතත්, සෑම සතියකම දහස් ගණනක් දෙවි සමඟ ගමන් කිරීමට පටන්ගනිති. මේ ගැන දැනගැනීමම නිසි ආකල්පයකින් යුතුව බලා සිටීමට උදාර හේතුවක් අපට ලබා දෙයි. දිගු කලක් මුළුල්ලේ සේවය කළ සාක්ෂිකරුවෙක් මෙසේ පැවසුවේය. “අවුරුදු 55ක් මුළුල්ලේ දේශනා කිරීමෙන් පසුව ආපසු හැරී බලනකොට, යෙහෝවා කෙරෙහි බලා සිටීමෙන් මට කිසිවක් අහිමි වී නැති බව මං හොඳින් දන්නවා. ඇත්තම කියනවා නම්, ඒ හින්දා බොහෝ හෘද වේදනාවලට ගොදුරු නොවී සිටීමට මට හැකි වුණා.” ඔබටත් ඒ හා සමාන හැඟීම් ඇති වී තිබෙනවාද?
21, 22. මීකා 7:14 අපගේ දවසේදී ඉෂ්ට වෙමින් තිබෙන්නේ කෙසේද?
21 අද දිනත් යෙහෝවා සමඟ ගමන් කිරීම ප්‍රයෝජනදායක බවට කිසිදු සැකයක් නැත. අප මීකා 7:14 කියවන විට, අපට පෙනෙන්නේ මීකා දෙවිගේ ජනයාව තම එඬේරාගේ සෙවණේ ආරක්ෂාව ලබන බැටළුවන් හා සංසන්දනය කර තිබීමයි. අද දිනත් මෙම අනාවැකියේ මහා පරිමාණ ඉටුවීම තුළ, ආත්මික ඊශ්‍රායෙල්ගේ ඉතිරි කොටස මෙන්ම ‘වෙනත් බැටළුවෝද’ ඇත්තෙන්ම තමන්ගේ විශ්වාසවන්ත එඬේරා වන යෙහෝවාගේ ආරක්ෂාව ලබමින් සිටිති. ඔවුන් වාසය කරන්නේ, ‘කර්මෙල් තුළ වනයෙහි වෙන්වයි,’ එනම් එන්ට එන්ටම දරුණු වන ලෝකයක ආත්මික වශයෙන් වෙන් වූ තැනකයි.—යොහන් 10:16; ද්විතීය කථාව 33:28; යෙරෙමියා 49:31; ගලාති 6:16.
22 මීකා 7:14හි පුරෝකථනය කර ඇත්තාක් මෙන්, දෙවිගේ ජනයා භුක්ති විඳින්නේ සමෘද්ධිමත් තත්වයකි. දෙවිගේ බැටළුවන් හෙවත් ජනයා ගැන කතා කරමින් මීකා පවසන්නේ මෙසේයි. “බාෂාන්හිද ගිලියද්හිද පුරාණයේ දවස්වල මෙන් ඔව්හු පෝෂ්‍ය වෙත්වා.” බාෂාන් සහ ගිලියද්හි බැටළුවන් ඉතා සාරවත් තණබිම්වලින් පෝෂ්‍ය වී සමෘද්ධිමත් වූවාක් මෙන්, අද දින දෙවිගේ ජනයාද භුක්ති විඳින්නේ ආත්මික සමෘද්ධිමත් තත්වයකි. ඇත්තෙන්ම එය දෙවි සමඟ නිහතමානී ලෙස ගමන් කරන අය සඳහා තිබෙන තවත් ආශීර්වාදයකි.—ගණන් කථාව 32:1; ද්විතීය කථාව 32:14.
23. මීකා 7:18, 19 සලකා බැලීමෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?
23 මීකා 7:18, 19හි අනාගතවක්තෘවරයා කැපීපෙනෙන්නට සලස්වන්නේ පසුතැවිලි වන අයට සමාව දීමට යෙහෝවාට ඇති ආශාවයි. මෙහි මීකා 7:18වන පදයේ ප්‍රකාශ කරන්නේ යෙහෝවා ‘අපරාධය කමා කරන’ බවත්, ‘වරදට දඬුවම් නොකර අරින’ බවත්ය. ඔහු ‘ඔවුන්ගේ සියලුම පාප මුහුදේ ගැඹුරට හෙළන බව’ මීකා 7:19වන පදයේ ප්‍රකාශ කොට තිබේ. මින් අපට ගත හැකි එක් පාඩමක් සඳහන් කළ හැකිද? අප මේ සම්බන්ධයෙන් යෙහෝවාව අනුකරණය කරනවාද කියා අපට අපෙන්ම අසාගන්න පුළුවන. වෙනත් අය අපට විරුද්ධව කරන වැරදිවලට අප සමාව දෙනවාද? එවන් අය පසුතැවිලි වී සමාදාන වීමට උත්සාහ කරනවා නම්, අපත් යෙහෝවා මෙන්ම සම්පූර්ණයෙන්ම හා සදහටම සමාව දීමට කැමැත්තෙන් සිටිය යුතුය.
24. මීකාගේ අනාවැකියෙන් ඔබ ප්‍රයෝජන ගෙන ඇත්තේ කෙසේද?
24 මීකාගේ අනාවැකිය පිළිබඳ මෙම අධ්‍යයනයෙන් අප ප්‍රයෝජන ගෙන තිබෙන්නේ කෙසේද? යෙහෝවා තමන් කරා ඇදී එන අයට සැබෑ බලාපොරොත්තුවක් ලබා දෙන බව එය අපට මතක් කර දුණි. (මලාකී 2:1-13) සැබෑ නමස්කාරය වැඩිදියුණු කිරීම පිණිස අපට කළ හැකි සියල්ලම කිරීමට එය අපට දිරි දෙන ලදි. එවිට අපට දෙවිගේ නාමයෙන් සදහටම ගමන් කිරීමට හැකියි. (මීකා 4:1-4) තවද අපට සහතික කොට කියා සිටි දෙයක් නම් අපගේ තත්වයන් කුමක් වුවත්, යෙහෝවා අපෙන් බලාපොරොත්තු වන දේ සපුරාලීමට හැකි බවයි. ඔව්, මීකාගේ අනාවැකිය සැබවින්ම අපව ශක්තිමත් කරන්නේ යෙහෝවාගේ නාමයෙන් ගමන් කිරීමටයි.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
• මීකා 6:8ට අනුව යෙහෝවා අපෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද?
• ‘යුක්තිය ඉෂ්ට කිරීමට නම්’ අපට කුමක් අවශ්‍යද?
• ‘කරුණාවට ඇලුම් වෙන’ බව අපට පෙන්විය හැක්කේ කෙසේද?
• ‘දෙවි සමඟ නිහතමානීව ගමන් කිරීමට’ ඇතුළත් වෙන්නේ කුමක්ද?
[21වන පිටුවේ පින්තූර]
තමාගේ දවසේ තිබූ දුෂ්ට තත්වයන් මැද පවා මීකා යෙහෝවා ඔහුගෙන් බලාපොරොත්තු වූ දේ සපුරාලමින් ජීවත් වූයේය. ඔබටත් එසේ කළ හැකියි
[23වන පිටුවේ පින්තූරය]
සියලු ආකාරවල ජනයාට සාක්ෂි දැරීමෙන් යුක්තිය ඉෂ්ට කරන්න
[23වන පිටුවේ පින්තූර]
අන්‍යයන්ගේ අවශ්‍යතා සපුරාලීමෙන් ඔබ කරුණාවට ඇලුම් කරන බව පෙන්වන්න
[23වන පිටුවේ පින්තූරය]
ඔබගේ සීමාවන් නිහතමානීව හඳුනාගනිමින් ඔබට කළ හැකි දේ කරන්න