බයිබල් පොත් අංකය 35—හබක්කුක්
ලේඛකයා: හබක්කුක්
ලියූ ස්ථානය: යූදා
ලිවීම සම්පූර්ණ කළේ: පො.යු.පෙ. 628දී පමණ (?)
හබක්කුක් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ සුළු අනාගතවක්තෘවරුන්යයි හඳුන්වනු ලබන අනාගතවක්තෲන්ගෙන් කෙනෙකි. කෙසේවෙතත්, ඔහු දේවානුභාවයෙන් ලැබූ දර්ශනයේ සහ කළ ප්‍රකාශවල වැදගත්කම දෙවිගේ සෙනඟට කිසිම අන්දමකින්වත් සුළු නොවේ. දිරිගන්වනු ලබන මෙන්ම ශක්තිමත් කරනු ලබන ඔහුගේ අනාවැකිය පීඩිත කාලවලදී දෙවිගේ සේවකයන්ට සැනසිල්ල හා ශක්තිය සපයයි. හබක්කුක්ගේ පොත උදාර සත්‍යයන් දෙකක් අවධාරණය කරයි. යෙහෝවා දෙවි විශ්ව පරමාධිපති යන්න ඉන් පළමුවැන්නයි. දෙවැන්න ධර්මිෂ්ඨයෝ ඇදහිල්ලෙන් ජීවත් වෙති යන්නය. මෙම ලියවිල්ල දෙවිගේ සේවකයන්ට විරුද්ධවාදිකම් එල්ල කරන්නන්ටද, ඔහුගේ සෙනඟයයි වංචනික ලෙස කියා සිටින අයටද අනතුරු ඇඟවීමක් වේ. සෑම ප්‍රශංසාවක්ම ලබන්න වටින තැනැත්තා වන යෙහෝවා කෙරෙහි ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීම සඳහා මෙම අනාවැකිය ආදර්ශයක් සපයයි.
2 හබක්කුක්ගේ පොත ආරම්භ වන්නේ මෙම වදන් සමඟිනි. “අනාගතවක්තෘවූ හබක්කුක් දුටු දිව්‍ය ප්‍රකාශනයය.” (හබ. 1:1) “ඉතා ලැදිව වැලඳගැනීම” යන අරුත ඇති නමින් හඳුන්වනු ලබන මේ අනාගතවක්තෘ හබක්කුක් (චවාඛ් ඛුඛ්, හෙබ්‍රෙව්) කවරෙක් වූයේද? හබක්කුක්ගේ පෙළපත, ගෝත්‍රය, ජීවන තත්වය හෝ මරණය ගැන කිසිදු තොරතුරක් සපයා නොමැත. “නායක ගායනාකරුටය, මාගේ වීණා ඇතුව ගීතිකා කිරීමටය” යනුවෙන් පොත අවසානයේදී සඳහන් ප්‍රකාශයෙන් ඔහු ලෙවී ගෝත්‍රයට අයත් ගායනාකරුවෙකු බවට ඇඟවීමක් කර ඇතත්, එය නිශ්චිතවම සඳහන් කළ නොහැක.
3 හබක්කුක් තමාගේ අනාවැකිමය ප්‍රකාශයන් සිදු කළේ කවදාද? ඉහත සඳහන් ප්රකාශයෙන්ද, “යෙහෝවා තමන්ගේ ශුද්ධ මාලිගාවෙහි සිටින්නේය” යන වදන් මගින්ද ඇඟ වෙන්නේ යෙරුසලමේ දේවමාලිගාව ඒ වන විටත් තිබූ බවය. (2:20) මෙයින් හා අනාගතවාක්‍යයේ අන්තර්ගත පණිවිඩයෙන් පෙනී යන්නේ, පො.යු.පෙ. 607දී යෙරුසලමේ විනාශයට ටික කලකට කලින් මෙම අනාවැකිය පවසනු ලැබූ බවයි. නමුත් ඉන් වසර කීයකට පෙරද? එය පො.යු.පෙ. 659-629 දක්වා පාලනය කළ දේවභයැති යොෂියා රජුගේ පාලනයෙන් පසුව විය යුතුය. යූදාහි ජනයාට කීවත් ඔවුන් විශ්වාස නොකරන සිදුවීමක් ගැන කර තිබෙන පුරෝකථනයක් මෙම අනාවැකියේ සඳහන් වන අතර, එමගින් යම් හෝඩුවාවක් සපයා තිබේ. එම සිදුවීම කුමක්ද? නොඇදහිලිකාර යුදාවරුන්ට දඬුවම් කිරීම සඳහා දෙවි විසින් කල්දිවරුන්ව (බබිලෝනිවරුන්) නැඟිටුවනු ලැබීමයි. (1:5, 6) නොඇදහිලිවන්තකම සහ අයුක්තිය යූදා දේශයේ හාත්පස පැතිර පැවති කාලයක් වූ, පිළිම නමස්කාරයට අනුබල දුන් යෙහෝයාකීම් රජුගේ පාලනයේ මුල්භාගයට එය අනුකූල වේ. නෙකෝ නම් වූ පාරාවෝ විසින් යෙහෝයාකීම්ව සිංහාසනාරූඪ කරනු ලැබූ අතර, ජාතිය මිසරයේ පාලනය යටතේ සිටියේය. මෙවන් තත්වයන් යටතේ බබිලෝනීය ආක්‍රමණයක් සිදු විය හැකියි කියා සිතීම අමාරු බව ජනයාට හැඟුණා විය හැක. නමුත් මිසරයේ බලය බිඳ දමමින් නෙබුකද්නෙශර්, පො.යු.පෙ. 625දී කාර්කමිෂ් සටනේදී නෙකෝ නම් වූ පාරාවෝව පරාජය කළේය. එබැවින් මෙම අනාවැකිය ප්‍රකාශ කරනු ලැබ තිබෙන්නේ එම සිද්ධියට පෙරය. එමනිසා මෙම සිද්ධීන් (පො.යු.පෙ. 628දී ආරම්භ වූ) යෙහෝයාකීම්ගේ පාලනයේ පටන්ගැන්මට යොමු දක්වන අතර හබක්කුක් යෙරෙමියාගේ සමකාලීනයෙකු වූ බව මෙයින් පෙනේ.
4 හබක්කුක්ගේ පොත දේවානුභාවයෙන් ලියූ බව අපට දැනගත හැක්කේ කෙසේද? හබක්කුක්ගේ පොත පිළිගත් පොත් සමූහයට අයත් බව හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි පිළිබඳ පැරණි නාමාවලි මගින් සනාථ වේ. මෙම නාමාවලිවල පොත නමින් සඳහන් නොකළත්, ‘සුළු අනාගතවක්තෘවරුන් දොළොස්දෙනා’ සම්බන්ධයෙන් ඒවායේ කර තිබෙන යොමු දැක්වීම්වලදී එයද ඇතුළත් කළහ. මන්දයත් හබක්කුක්ගේ පොත නොමැතිව පොත් 12ක් නොතිබෙනු ඇති බැවිනි. හබක්කුක්ගේ අනාවැකිය දේවානුභාවය ලත් ශුද්ධ ලියවිලිවල කොටසක් ලෙස ප්‍රේරිත පාවුල් පිළිගත් අතර, “අනාගතවක්තෘවරුන්ගේ පොත්වල කියා තිබෙන” දෙයක් ලෙස එයට යොමු දක්වමින් හබක්කුක් 1:5 කෙළින්ම උපුටා දක්වයි. (ක්‍රියා 13:40, 41) පාවුල් විවිධ අවස්ථාවලදී හබක්කුක්ගේ පොතට යොමු දක්වා තිබෙන බව ඔහුගේ ලිපිවලින් පෙනේ. සැබවින්ම, යූදා සහ බබිලෝනියට එරෙහිව හබක්කුක් පැවසූ දේවල් ඉටුවීමෙන් පැහැදිලි වන්නේ ඔහු යෙහෝවාගේ නාමයෙන් ඔහුගේ මහිමය උදෙසා අනාවැකි පැවසූ සැබෑ අනාගතවක්තෘවරයෙකු වූ බවය.
5 හබක්කුක්ගේ පොත පරිච්ඡේද තුනකින් සමන්විතය. පළමු පරිච්ඡේද දෙක 1, 2 අනාගතවක්තෘවරයා සහ යෙහෝවා අතර ඇති වන දෙබසකි. එම පරිච්ඡේදවල කල්දිවරුන්ගේ බලය මෙන්ම බබිලෝනීය ජාතිය මතට පැමිණීමට තිබූ දුක ගැන සඳහන් කරයි. එම ජාතිය තමන්ට අයිති නැති දේවල්වලින් තමන්ගේ වස්තුව වැඩි කරගෙන තම නිවෙස් අධර්මිෂ්ඨ වස්තුවලින් පුරවාගෙන ලේවලින් නුවරක් ගොඩනඟන අතර, කැපූ රූපවලට නමස්කාර කරයි. සටන් වදින දවසේදී දක්නට ලැබෙන යෙහෝවාගේ ශ්‍රේෂ්ඨත්වය ගැන තුන්වන පරිච්ඡේදය සාකච්ඡා කරයි. එමෙන්ම, එහි චමත්කාරජනක ලේඛන ශෛලියේ ප්‍රබලත්වය හා විචිත්රවත්බව කිසිවකට නොදෙවෙනිය. මෙම පරිච්ඡේදය ශෝක ගීතිකාවක ස්වරූපයෙන් තිබෙන යාච්ඤාවක් වන අතර, “හෙබ්‍රෙව් කාව්‍යයන්ගෙන් ඉතාමත් අලංකාර හා උත්කෘෂ්ට එකක්” යනුවෙන් හඳුන්වා ඇත.a
ප්‍රයෝජනවත් වීමට හේතු
12 හබක්කුක්ගේ අනාවැකිය ඉගැන්වීම සඳහා ප්‍රයෝජනවත් බව තේරුම්ගත් පාවුල් එහි 2වන පරිච්ඡේදයේ 4වන ඡේදය එකිනෙකට වෙනස් අවස්ථා තුනකදී උපුටා දැක්වීය. ශුභාරංචිය, ඇදහිල්ල තිබෙන සියල්ලන්ගේ ගැලවීම සඳහා දෙවිගේ බලය බව අවධාරණය කිරීමේදී, පාවුල් රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට මෙසේ ලීවේය. “ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේයයි ලියා තිබෙන ලෙස, ඇදහීමෙන් පැමිණෙන දෙවිගේ ධර්මිෂ්ඨකම ඇදහීම පිණිස එහි එළිදරව් වී තිබේ.” ආශීර්වාද පැමිණෙන්නේ ඇදහිල්ල තුළින් බව පාවුල් ගලාතිවරුන්ට ලියන විට මෙසේ අවධාරණය කළේය. “ඉඳින් ව්‍යවස්ථාව කරණකොටගෙන කිසිවෙක් දෙවි ඉදිරිපිට ධර්මිෂ්ඨ කරනු නොලබන බව පැහැදිලිය. මක්නිසාද ධර්මිෂ්ඨයා ඇදහිල්ල කරණකොටගෙන ජීවත් වන්නේය.” ක්‍රිස්තියානීන් ජීවමාන, ජීවිත ගලවන ඇදහිල්ලක් නිරූපණය කළ යුතු බව පාවුල් හෙබ්‍රෙව්වරුන්ට යැවූ ඔහුගේ ලිපියේද ලීවේය. එහිදී ඔහු හබක්කුක් පොතේ සඳහන් යෙහෝවාගේ වචනවලට නැවතත් යොමු දැක්වූයේය. කෙසේවෙතත්, ඔහු උපුටා දක්වන්නේ හබක්කුක්ගේ වචන වූ “ධර්මිෂ්ඨයා තමාගේ විශ්වාසකමෙන් ජීවත් වන්නේය” යන්න පමණක් නොව, නමුත් ග්‍රීක් සෙප්ටූඅජින්ට් පරිවර්තනයට අනුව ඔහු තවදුරටත් මෙම වචනද එකතු කරමින් මෙසේ සඳහන් කරයි. “ඔහු පසුබට වන්නේ නම්, මාගේ ආත්මය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත.” තවදුරටත් ඔහු මෙසේ පවසමින් තමා පවසන දෙය සාරංශගත කරයි. “අපි වනාහි විනාශ වන ලෙස පසුබට වීමට නොව ප්‍රාණය ගැලවෙන ලෙස ඇදහීමට අයිතිවමු.”—රෝම 1:17; ගලා. 3:11; හෙබ්‍රෙ. 10:38, 39.
13 අදදින ශක්තියක් අවශ්‍ය කරන ක්‍රිස්තියානින්ට හබක්කුක්ගේ අනාවැකියෙන් බොහෝ ප්‍රයෝජන ගත හැක. දෙවි මත රඳා සිටීමට එය උගන්වයි. දෙවිගේ විනිශ්චයන් ගැන අන්‍යයන්ට අනතුරු ඇඟවීමටද එය ප්රයෝජනවත්ය. එහි ඉදිරිපත් කරන අනතුරු අඟවන උපදෙස බලපෑමෙන් යුක්තය. දෙවිගේ විනිශ්චයන් හුඟාක් ප්‍රමාද වැඩියි කියා නොසිතන්න. එම විනිශ්චයන් “පසු නොබැස පැමිණෙනවාම ඇත.” (හබ. 2:3) බබිලෝනිය විසින් යූදා විනාශ කිරීම පිළිබඳ අනාවැකිය පසු නොබැස සැබෑවක් විය. එමෙන්ම මේද හා පර්සිවරුන් විසින් පො.යු.පෙ. 539දී බබිලෝනිය අත් පත් කරගැනීමද පසු නොබැස සිදු විය. දෙවිගේ වචන විශ්වාස කිරීම සඳහා කොතරම් ප්‍රබල අනතුරු ඇඟවීමක්ද! මේ නිසා පාවුල් තමාගේ දවසේ විසූ යුදෙව්වන්ට ඇදහිල්ල නොමැතිව සිටීම ගැන අනතුරු ඇඟවූ විට හබක්කුක්ගේ පොතෙන් උපුටා දැක්වීම ප්‍රයෝජනවත් බව ඔහුට පෙනී ගියේය. “හෙළාදකින්නෙනි, බලව්, පුදුමවව්, විනාශවව්. මක්නිසාද නුඹලාගේ දවස්වලදී ක්‍රියාවක් කරමි. ඒ ක්‍රියාව ගැන යමෙක් නුඹලාට ප්‍රකාශ කළත් නුඹලා කිසිසේත් එය විශ්වාස නොකරන්නහුයයි අනාගතවක්තෘවරුන්ගේ පොත්වල කියා තිබෙන කාරණා නුඹලා පිටට නොපැමිණෙන ලෙස බලාගන්න.” (ක්‍රියා 13:40, 41; හබ. 1:5, LXX) නොඇදහිලිකාර යුදෙව්වන් යෙරුසලමේ විනාශය පිළිබඳ යේසුස්ගේ අනතුරු ඇඟවීම විශ්වාස නොකළාක් මෙන් පාවුල්ගේ උපදෙස්වලටද අවනත වුණේ නැත. පොදු යුගයේ 70දී රෝම හමුදාව විසින් යෙරුසලම වනසා දැමූ විට තමන්ගේ නොඇදහිලිකාරකම නිසා විපාක විඳීමට ඔවුන්ට සිදු විය.—ලූක් 19:41-44.
14 අදදිනත් ඒ හා සමානවම හබක්කුක්ගේ අනාවැකිය, සැහැසිකකම්වලින් පිරි ලොවක ජීවත්ව සිටින ගමන් ශක්තිමත් ඇදහිල්ලක් ඇතුව සිටීමට ක්‍රිස්තියානීන්ව දිරිගන්වයි. අන්‍යයන්ට ඉගැන්වීමට එය ඔවුන්ට උපකාර කරන අතර, දෙවි දුෂ්ටයන්ගෙන් පළිගනු ඇද්ද යනුවෙන් ලොව පුරා වෙසෙන ජනයා විසින් අසනු ලබන ප්‍රශ්නයට උත්තර දීමට එය ඔවුන්ට උපකාර කරයි. නැවතත් මෙම අනාවැකිමය වදන් සැලකිල්ලට ගන්න. “ඒ ගැන බලා සිටින්න. මක්නිසාද එය පසු නොබැස පැමිණෙනවාම ඇත.” (හබ. 2:3) පොළොව මත කුමන ආකාරයේ කැලඹිලිසහගත තත්වයන් ඇති වුවත් රාජ්‍ය උරුමක්කරුවන්ගේ අභිෂේක ලත් ඉතිරි කොටස යෙහෝවාගේ පළිගැනීමේ අතීත ක්‍රියාවන් හා සම්බන්ධ හබක්කුක්ගේ වදන් සිහියට ගනියි. “ඔබගේ සෙනඟගේ ගැලවීම පිණිසත් ඔබගේ අභිෂේක ලත් තැනැත්තා ගැලවීමටත් ඔබ පිටත්ව [ගියේය].” (3:13) සැබවින්ම යෙහෝවා පුරාණයේ සිටම ඔවුන්ගේ ‘ශුද්ධ තැනැත්තාය.’ එමෙන්ම අධර්මිෂ්ඨයන්ට දඬුවම් කර, තමන් ප්‍රේමයෙන් වැලඳගන්නාවූ අයට ජීවිතය දානය කරන ‘පර්වතයය.’ “මම වනාහි යෙහෝවා කෙරෙහි සන්තෝෂ වන්නෙමි. මාගේ ගැලවීමේ දෙවි කෙරෙහි ප්‍රීතිමත් වන්නෙමි. ස්වාමිවූ යෙහෝවා මාගේ බලයය” යනුවෙන් පවසමින්, ඔහුගේ රාජ්‍යය සහ පරමාධිපත්‍යය හා සම්බන්ධව ප්‍රීතිවීමට ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන සියල්ලන්ට හැක.—1:12; 3:18, 19.
[පාදසටහන]
a සුළු අනාගතවක්තෘවරුන් දොළොස්දෙනාගේ පොත, (සිංහලෙන් නැත) 1868, ඊ. හෙන්ඩ’සන්, 285වන පිටුව.