දහහතරවෙනි පරිච්ඡේදය
ඔබටත් අලුත් ගිවිසුමෙන් ප්‍රයෝජන ලැබිය හැකියි
1. යෙරෙමියාගේ පැවරුමට ඇතුළත් වුණේ මොනවාද?
යෙරෙමියාව අනාගතවක්තෘවරයෙකු ලෙස තෝරාගත් අවස්ථාවේ දෙවි ඔහුට මෙසේ පැවසුවා. “මම ඔබව ජාතීන් හා රාජ්‍යයන් කඩා බිඳ දමන්නත් උදුරා දමන්නත් විනාශ කර දමන්නත් ගොඩනඟන්නත් සිටුවන්නත් පත් කරන්නෙමි.” ඉන් අදහස් කළේ කුමක්ද? “ජාතීන් හා රාජ්‍යයන් කඩා බිඳ දමන්නත් උදුරා දමන්නත් විනාශ කර දමන්නත්” යෙරෙමියාව පත් කරනවා කීමෙන් අදහස් කළේ යුදෙව්වන්ට හා බැබිලෝනිවරුන්ට විරුද්ධව විනිශ්චයන් ප්‍රකාශ කිරීම ඔහුගේ පැවරුමට ඇතුළත් බවයි. “ගොඩනඟන්නත් සිටුවන්නත්” ඔහුව පත් කරනවා කීමෙන් අදහස් කළේ බලාපොරොත්තුවක් ගෙන දෙන පණිවිඩ ප්‍රකාශ කිරීමත් ඔහුගේ පැවරුමට ඇතුළත් බවයි. එවැනි එක් පණිවිඩයක් වන්නේ වහලුන්ව සිටි යුදෙව්වන් බැබිලෝනියෙන් නිදහස් වී නැවත ඔවුන්ගේ මව්බිමට පැමිණෙන බව ප්‍රකාශ කළ අනාවැකියයි.—යෙරෙ. 1:10; 30:17, 18.
2. දෙවි තම සෙනඟට දඬුවම් කළේ ඇයි? දෙවි ඔවුන්ට දඬුවම් කළ ආකාරය ගැන පැවසිය හැක්කේ කුමක්ද?
2 යුදෙව්වන්ට වහලුන් ලෙස බැබිලෝනියට යෑමට සිදු වුණේ ඔවුන් දෙවිට අකීකරු වී දිගින් දිගටම වැරදි දේවල් කළ නිසයි. යෙරෙමියාගේ කාලයේ සිටි බහුතරයක් යුදෙව්වන් ‘යුක්තිගරුකව’ හෝ ‘විශ්වාසවන්තව’ ක්‍රියා කළේ නැහැ. (යෙරෙ. 5:1) ඔවුන්ගේ මුතුන්මිත්තන් මෙන් ඔවුන්ද ‘දෙවිගේ වදන්වලට කිසිසේත් ඇහුම්කන් නොදී වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරමින් ඔවුන් ගිය වැරදි මාර්ගයටම හැරී ගියා.’ (යෙරෙ. 11:10; 34:18) ‘දෙවිගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන තරමටම’ ඔවුන් වැරදි දේවල් කළා. ඒ නිසා දෙවි පැවසුවේ, ‘ඔවුන් ගැන තමා තවදුරටත් කනගාටු නොවන’ බවයි. (යෙරෙ. 15:6, 7) යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ දෙවි කෙනෙක් නිසා ඔහු වැරදි දේවල් ගණන් නොගෙන සිටියේ නැහැ. යුදෙව්වන් කරමින් සිටි වැරදිවලට ඔහු ඔවුන්ට දඬුවම් කළා. නමුත් දෙවි ඔවුන්ට දඬුවම් කළේ ‘සුදුසු ප්රමාණයටයි.’ (යෙරෙමියා 16:17, 18 කියවන්න; යෙරෙ. 30:11; 46:28) එහි ප්‍රතිඵලයක් ලෙස සමහරදෙනෙකුට තමන් කළ වැරදි ගැන පසුතැවිලි වී දෙවි වෙතට හැරී ඒමට අවස්ථාව තිබුණා.
3. අලුත් ගිවිසුම ගැන අප සලකා බැලිය යුත්තේ ඇයි?
3 දෙවි යෙරෙමියා මාර්ගයෙන් ප්‍රකාශ කළ බලාපොරොත්තු ඇති කරවන අනාවැකි අතර තවත් එක් වැදගත් අනාවැකියක් තිබෙනවා. ඒ අනාවැකිය දිගු කාලයක් පුරා පවතින ගිවිසුමක් හා සම්බන්ධයි. ඉන් බොහෝදෙනෙකුට ප්‍රයෝජන ලබාගැනීමට මඟ විවර වෙනවා. එය හඳුන්වා තිබෙන්නේ ‘අලුත් ගිවිසුම’ ලෙසයි. එම ගිවිසුම මගින් මෝසෙස්ව මැදිහත්කරුවෙකු ලෙස යොදාගෙන දෙවි ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ඇති කරගත් ගිවිසුම අහෝසි වෙනවා. (යෙරෙමියා 31:31, 32 කියවන්න.) ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වා දුන් අවස්ථාවේ එම අලුත් ගිවිසුම ගැන යේසුස් තම ගෝලයන්ට පැවසුවා. (ලූක් 22:20) පසු කාලයකදී පාවුල්ද හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ලියූ ලිපියේ අලුත් ගිවිසුම ගැන යෙරෙමියා සඳහන් කළ දේ උපුටා දක්වමින් එහි ඇති වැදගත්කම කාවැද්දුවා. (හෙබ්‍රෙ. 8:7-9) ඒ නිසා ක්‍රිස්තියානීන් වන අපත් එම ගිවිසුමේ තිබෙන වැදගත්කම තේරුම්ගෙන සිටීම ඉතා වැදගත්. අලුත් ගිවිසුමක් ඇති කරගැනීමට හේතුව කුමක්ද? එමගින් ඉටු වන්නේ කුමක්ද? එම ගිවිසුමට ඇතුළත් වන්නේ කවුද? එම ගිවිසුමෙන් ඔබට පෞද්ගලිකව ලැබෙන ප්‍රයෝජන මොනවාද?
අලුත් ගිවිසුමක් ඇති කරගැනීමට හේතුව කුමක්ද?
4. නීතිය මාර්ගයෙන් ඇති කරගත් ගිවිසුම මගින් ඉටු වූ කාර්යයන් මොනවාද?
4 අලුත් ගිවිසුම ඇති කරගැනීමට හේතුව තේරුම්ගැනීමට නම් මෝසෙස්ට දුන් නීතිය මාර්ගයෙන් ඇති කරගත් ගිවිසුම මගින් ඉටු වූ කාර්යයන් අවබෝධ කරගැනීම ප්‍රයෝජනවත්. එම ගිවිසුම මගින් පොරොන්දු වූ තැනැත්තා පැමිණෙන තෙක් වැදගත් කාර්යයන් බොහොමයක් ඉටු වුණා. (උත්. 22:17, 18) ඊශ්‍රායෙල් ජාතියව ‘විශේෂ සෙනඟක්’ ලෙස තෝරාගැනීමට දෙවිට හැකි වුණේ එම ගිවිසුම නිසයි. එම ගිවිසුමට අනුව ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් පූජකයන් ලෙස කටයුතු කිරීමටත් යම් අයව පත් කළා. ඒ සඳහා තෝරාගනු ලැබුවේ ලෙවී ගෝත්‍රයට අයත් අයවයි. එම ගිවිසුම නිසා “පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක් හා ශුද්ධ ජාතියක්” වීමේ අනගි ප්‍රස්තාවද ඊශ්‍රායෙල් සෙනඟට විවෘතව තිබුණා. (නික්. 19:5-8) කෙසේවෙතත් නීතියේ සඳහන් සෑම දෙයක්ම සියයට සියයක්ම පිළිපැදීමට ඊශ්‍රායෙල් සෙනඟට නොහැකි නිසා ඔවුන් පව්කාරයන් බව නීතිය මගින් ඔවුන්ට සිහිගැන්වූවා. නීතියට අනුව ඔවුන්ගේ පව්වලට සමාව ලබාගැනීමට නම් නිතිපතා විවිධ පූජා ඔප්පු කිරීමට ඔවුන්ට සිදු වුණා. එසේ නිතිපතා පූජා ඔප්පු කරන විට මිනිස් වර්ගයාගේ පව් සදහටම මකා දැමිය හැකි වටිනා පූජාවක් අවශ්‍ය බවත් ඔවුන්ට වැටහුණා. (ගලා. 3:19-22) නීතිය මාර්ගයෙන් දෙවි ඇති කරගත් ගිවිසුම ක්‍රියාත්මක වෙමින් තිබියදී අලුත් ගිවිසුමක් ඇති කරගැනීම ගැන දෙවි අනාවැකියක් පැවසුවේ ඇයි කියා දැන් අපට පැහැදිලියි.
5. අලුත් ගිවිසුමක් ඇති කරගැනීම ගැන දෙවි අනාවැකියක් පැවසුවේ ඇයි?
5 යෙහෝවා දෙවි ප්‍රේමණීය මෙන්ම දයාවන්ත දෙවි කෙනෙකු නිසා දෙවිට අවශ්‍ය වුණේ ඊශ්‍රායෙල් ජාතියට පමණක් නොව මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවයෙන් ගැලවීමට මඟක් සලසා දීමටයි. අලුත් ගිවිසුම මගින් දෙවිගේ එම අරමුණ ඉටු වෙනවා. අලුත් ගිවිසුමට ඇතුළත් වන අය ගැන දෙවි පැවසූ මේ දෙයින් එය පැහැදිලියි. “මම ඔවුන් කළ වරදට සමාව දෙන්නෙමි. ඔවුන් කළ පව් නැවත කිසිදාක සිහි නොකරන්නෙමි.” (යෙරෙ. 31:34) ඇත්තටම දෙවි පැවසූ ඒ දෙය මුළු මිනිස් වර්ගයාටම මහත් බලාපොරොත්තුවක් ගෙන දුන්නා. අප එසේ පවසන්නේ ඇයි?
6, 7. (අ) තමන් අතින් සිදු වන වැරදි ගැන සමහර අයට හැඟෙන්නේ කෙසේද? (ආ) අලුත් ගිවිසුම ගැන සලකා බැලීමෙන් ඔබට මහත් සහනයක් ලැබිය හැක්කේ කෙසේද?
6 අප උරුම කරගෙන තිබෙන පව්කාර ස්වභාවය නිසා නිරතුරුවම අප අතින් වැරදි සිදු වෙනවා. උදාහරණයකට එක් සහෝදරයෙකු පවසන මේ දේ සලකා බලන්න. “මම කරපු වරදින් ගොඩ එන්න මට පුළුවන් වුණා. ඒත් ඒ වරද ආයෙත් මගේ අතින් සිදු වුණාම මට දැනුණේ පුදුමාකාර දුකක්. ආයේ කවදාවත් දෙවිගෙන් සමාව ලැබෙන එකක් නැහැ කියලා මට හිතුණා. දෙවිට යාච්ඤා කරන්නවත් මගේ හිත ඉඩ දුන්නේ නැහැ. සමහර වෙලාවට මම යාච්ඤා කළත් මම ඒ යාච්ඤාව පටන්ගන්නේ ‘අනේ දෙවියනි, ඔබ මගේ යාච්ඤාවට සවන් දෙයිද කියලා මම දන්නේ නැහැ’ කියලයි.” ඒ සහෝදරයා මෙන් යම් වරදකින් ගොඩ ඒමට උත්සාහ කරන අයට හා යම් බරපතළ වරදක් කර තිබෙන අයට හැඟෙන්නේ ඔවුන්ගේ යාච්ඤාවලට දෙවි සවන් දෙන්නේ නැහැ කියායි. (විලා. 3:44) තවත් අය අතීතයේ කර තිබෙන යම් වැරදි ගැන සිතමින් බොහෝ පීඩා විඳිනවා. සභාවේ හොඳ සේවයක් කරමින් සිටින අය පවා සිතන්නේ බලන්නේ නැතුව තමන් පැවසූ දේවල් නිසා පසුතැවෙන අවස්ථා තිබෙනවා.—යාකො. 3:5-10.
7 අලුත් ගිවිසුමක් ඇති කරගනිමින් දෙවි දුන් පොරොන්දුව එවැනි අවස්ථාවලදී අපට මහත් අස්වැසිල්ලක්. මන්ද ‘නැවත කිසිදාක පව් සිහි නොකරන’ බවට දෙවි එම ගිවිසුම මගින් පොරොන්දු වී තිබෙනවා. ඇත්තටම අප සෑම කෙනෙකු අතින්ම වැරදි සිදු වන නිසා ඒ පොරොන්දුවෙන් අප සියලුදෙනාටම ප්‍රයෝජන ලැබිය හැකියි. (1 කොරි. 10:12) ඒ කාරණය පාවුල් පවා පිළිගත්තා. (රෝම 7:21-25 කියවන්න.) දෙවි අලුත් ගිවිසුම ගැන යෙරෙමියාට පැවසූ අවස්ථාවේ යෙරෙමියාටත් මහත් සතුටක් දැනුණු බවට කිසිම සැකයක් නැහැ. අලුත් ගිවිසුමට ඇතුළත් වන කරුණු අපත් හොඳින් තේරුම්ගෙන ඉන් අපට ලැබෙන ප්‍රයෝජන අවබෝධ කරගන්නා විට අපටත් මහත් සතුටක් අද්දැකිය හැකියි.
දෙවි අලුත් ගිවිසුම ඇති කරගත්තේ ඇයි?
අලුත් ගිවිසුම මගින් ඉටු වන්නේ කුමක්ද?
8, 9. පව්වලට සමාව දීම සඳහා දෙවිට කිරීමට සිදු වූ පරිත්‍යාගය කුමක්ද?
8 යෙරෙමියා පැවසුවේ අලුත් ගිවිසුමට ඇතුළත් වන අයගේ ‘වරදට දෙවි සමාව දෙන අතර ඔවුන් කළ පව් නැවත කිසිදාක සිහි නොකරන බවයි.’ (යෙරෙ. 31:34) දෙවි ඒ දේ කරන්නේ කෙසේද කියා යෙරෙමියා හරියටම තේරුම් නොගත්තත් ගිවිසුමක් ගැන දෙවි සඳහන් කළ නිසා මිනිසුන් හා දෙවි අතර ඇති කරගන්නා එකඟතාවක් මගින් එය සිදු වන බව ඔහු තේරුම්ගන්න ඇති. කෙසේවෙතත් එම ගිවිසුමට ඇතුළත් වන පොරොන්දු දෙවි ඉටු කරන්නේ කෙසේද කියා දෙවි ක්‍රමානුකූලව එළිදරව් කළා. ඒ තොරතුරුවලට ගැලවුම්කරුගේ කාර්යභාරයත් ඇතුළත් වුණා. පව්කාර මිනිසුන්ව ගලවාගැනීම සඳහා දෙවි ඇති කර තිබෙන සැලැස්ම ගැන සලකා බලන විට දෙවි මොන තරම් දයාවන්ත, ප්‍රේමණීය දෙවි කෙනෙකුද කියා අපට පැහැදිලි වෙනවා.—ගීතා. 103:13, 14.
9 නමුත් ඉන් අදහස් කරන්නේ දරුවන්ගේ වැරදි එතරම් ගණන් නොගෙන සිටින සමහර දෙමාපියන් මෙන් දෙවිත් මිනිසුන් අතින් සිදු වන වැරදි සුළුවට ගන්නා බව නොවෙයි. යෙහෝවා දෙවි ඔහුගේම ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට එකඟව ක්‍රියා කරන නිසා මිනිස් වර්ගයාගේ පාප ඔහු නිකම්ම මකා දමන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු විශාල පරිත්‍යාගයක් කරමින් පව්වලට සමාව දීම සඳහා නීත්‍යනුකූල පදනමක් සැපයෙව්වා. අලුත් ගිවිසුම ගැන තොරතුරු ඉදිරිපත් කරමින් පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියූ දේවල් සලකා බැලීමෙන් ඒ ගැන මනා අවබෝධයක් අපට ලබාගත හැකියි. (හෙබ්‍රෙව් 9:15, 22, 28 කියවන්න.) පාවුල් පැවසුවේ, ‘මරණය තුළින් ගෙවනු ලැබූ වන්දිය මාර්ගයෙන් වැරදිවලට නිදහසක්’ ලැබෙන බවයි. “ලේ වැගිරීමක් සිදු වන්නේ නැත්නම් පව්වලට සමාවක් ලැබෙන්නේද නැත” කියාත් ඔහු පැවසුවා. පව්වලට සමාව ලබාගැනීම සඳහා ලේ වැගිරීමක් අවශ්‍යයි කියා පැවසීමෙන් අදහස් කළේ නීතිය යටතේ ඔප්පු කළ ගවයන්ගේ හා එළුවන්ගේ ලේ වැගිරීම ගැන නොවෙයි. ‘පව් සදහටම මකා දැමිය’ හැක්කේ යේසුස් වැගිරෙවූ අනර්ඝ ලේ මගිනුයි. අලුත් ගිවිසුමට ඇතුළත් වන පොරොන්දු ඉටු කිරීමට පදනම එයයි. (ක්‍රියා 2:38; 3:19) නමුත් දැන් මතු වන ප්රශ්නය නම් අලුත් ගිවිසුමට ඇතුළත් වන්නේ කවුද යන්නයි. නීතිය මාර්ගයෙන් ඇති කරගත් ගිවිසුම මෙන් අලුත් ගිවිසුම දෙවි ඇති කරගත්තේ ඊශ්‍රායෙල් ජාතිය සමඟ නොවෙයි. යේසුස් පැවසුවෙත් දෙවි ඊශ්‍රායෙල් ජාතිය ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට අලුත් ජාතියක් තෝරාගන්නා බවයි. (මතෙ. 21:43; ක්‍රියා 3:13-15) එම ජාතිය සෑදී තිබෙන්නේ දෙවිගේ බලයෙන් අභිෂේක කර තිබෙන ක්‍රිස්තියානීන්ගෙනුයි. ඔවුන්ව හඳුන්වන්නේ “දෙවිගේ ඊශ්‍රායෙලය” ලෙසයි. දෙවි හා ඔවුන් අතර ඇති කරගත් අලුත් ගිවිසුමේ මැදිහත්කරු ලෙස කටයුතු කරන්නේ යේසුස්.—ගලා. 6:16; රෝම 9:6.
10. (අ) දාවිත්ගේ පෙළපතින් පැමිණි තැනැත්තා කවුද? (ආ) ඔහු නිසා මිනිස් වර්ගයා ආශීර්වාද ලබන්නේ කෙසේද?
10 අලුත් ගිවිසුමේ මැදිහත්කරු දාවිත්ගේ පෙළපතින් පැමිණෙන බව යෙරෙමියා පැවසුවා. නමුත් යෙරෙමියා අනාගතවක්තෘවරයෙකු ලෙස සේවය කරමින් සිටි කාලයේදීම දාවිත්ගේ පෙළපතින් පැමිණි රජවරුන්ගේ පාලනය අවසන් වුණා. දාවිත්ගේ රාජකීය පෙළපත සදහටම අවසන් වූ බව පෙනෙන්න තිබුණත් එය එසේ නොවන බව යෙරෙමියා පැවසූ දෙයින් පැහැදිලි වුණා. “අප ධර්මිෂ්ඨව සිටින්නේ යෙහෝවා දෙවි නිසාය” යන නාමයෙන් එම තැනැත්තාව හඳුන්වන බවත් යෙරෙමියා පැවසුවා. දෙවි කොතරම් ධර්මිෂ්ඨ දෙවි කෙනෙකුද යන කාරණය එමගින් කාවද්දනු ලැබුවා. (යෙරෙමියා 23:5, 6 කියවන්න.) යෙරෙමියා පැවසූ ලෙස කාලයක් ගත වූ පසු ගැලවුම්කරු වූ යේසුස් දාවිත්ගේ පෙළපතින් ඉපදුණා. ඔහුට දුක් විඳ මිය යෑමට දෙවි ඉඩහැරිය නිසා පව්වලට සමාව දීම සඳහා යේසුස්ගේ ජීවිත පූජාව නීත්‍යනුකූල පදනමක් ලෙස යොදාගැනීමට දෙවිට හැකි වුණා. (යෙරෙ. 33:15) එම ජීවිත පූජාව පදනමක් ලෙස යොදාගෙන යම් පිරිසක්ව ‘ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරන අතර ඔවුන්ට ජීවනය හිමි වෙනවා.’ දෙවිගේ බලයෙන් අභිෂේක කර තිබෙන ඔවුන්, අලුත් ගිවිසුමට ඇතුළත් වෙනවා. නමුත් දෙවිගේ ධර්මිෂ්ඨකමින් ප්‍රයෝජන ලබන්නේ ඔවුන් පමණක් නොවෙයි. අලුත් ගිවිසුමට ඇතුළත් වී නැතත් තවත් විශාල පිරිසක්ද එම ගිවිසුමෙන් ප්‍රයෝජන ලබනවා. ඔවුන්ට තිබෙන්නේ පොළොව මත ජීවත් වීමේ බලාපොරොත්තුවක්.—රෝම 5:18.
11. (අ) අලුත් ගිවිසුමේ නීති දෙවි ලියා තිබෙන්නේ කොහේද? (ආ) අලුත් ගිවිසුමේ නීති ගැන ‘වෙනත් බැටළුවන්ට’ හැඟෙන්නේ කෙසේද?
11 අලුත් ගිවිසුම සම්බන්ධයෙන් තවත් වැදගත් කාරණයක් ගැන දැන් අපි සලකා බලමු. දෙවි යෙරෙමියා මාර්ගයෙන් පැවසුවේ එම ගිවිසුමට ඇතුළත් වන අයගේ හදවත්වල දෙවි තම නීති ලියන බවයි. ඒ නිසා ඒවා සදහටම පවතිනවා. (යෙරෙමියා 31:33 කියවන්න.) ඊට වෙනස්ව මෝසෙස් සමඟ ඇති කරගත් ගිවිසුමට අදාළ නීති දෙවි ලිව්වේ ගල් පුවරු දෙකක් මතයි. කාලයත් සමඟම ඒවා නැති වී ගියා. අලුත් ගිවිසුමට ඇතුළත් වන අභිෂේක ලත් ක්‍රිස්තියානීන් තම හදවත්වල ලියූ දෙවිගේ නීතිවලට බොහෝ සෙයින් ඇලුම් කරනවා. අලුත් ගිවිසුමට ඇතුළත් නොවන පොළොව මත ජීවත් වීමේ බලාපොරොත්තුව ඇති “වෙනත් බැටළුවන්ද” දෙවිගේ නීති පිළිපැදීමෙන් මහත් සතුටක් අද්දකිනවා. (යොහ. 10:16) ඔවුන්ව සමාන කළ හැක්කේ මෝසෙස් මාර්ගයෙන් දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතිය පිළිපැදීමෙන් ආශීර්වාද ලැබූ විදේශිකයින්ටයි.—ලෙවී. 24:22; ගණන්. 15:15.
12, 13. (අ) අලුත් ගිවිසුමට අයත් නීතිය කුමක්ද? (ආ) ‘ක්‍රිස්තුස්ගේ නීතියට’ කීකරු වන කෙනෙකු දෙවිට සේවය කරන්නේ කැමැත්තෙන්මයි කියා පැවසිය හැක්කේ ඇයි?
12 අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ හදවත්වල ලියා තිබෙන නීතිය කුමක්ද? එය නම් ‘ක්‍රිස්තුස්ගේ නීතියයි.’ (ගලා. 6:2; රෝම 2:28, 29) එම නීතිය සම්පූර්ණයෙන්ම පදනම් වී තිබෙන්නේ ප්‍රේමය මතයි. (මතෙ. 22:36-39) ක්‍රිස්තුස්ගේ නීතිය තම හදවත්වල තබාගැනීමට නම් ඔවුන් දෙවිගේ වචනය ගැඹුරින් අධ්‍යයනය කිරීම හා දෙවිට නිතිපතා යාච්ඤා කිරීම අත්‍යවශ්‍යයි. අභිෂේක ලත් අය පමණක් නොව වෙනත් බැටළුවන්ද අලුත් ගිවිසුමෙන් ප්‍රයෝජන ලබාගැනීම සඳහා නිරතුරුවම ඒ දේවල නියැලිය යුතුයි.
13 ක්‍රිස්තුස්ගේ නීතිය “කිසි අඩුවක් නැති නිදහස ගෙන දෙන පරිපූර්ණ නීතිය” ලෙස හඳුන්වා තිබෙන අතර එම නීතිය යටතේ සිටින අයව “නිදහස් ජනතාවක්” ලෙසත් හඳුන්වා තිබෙනවා. (යාකො. 1:25; 2:12) එදා සිටි ඊශ්‍රායෙල්වරුන් මෝසෙස්ට දුන් නීතිය මාර්ගයෙන් ඇති කරගත් ගිවිසුමට උපතින්ම ඇතුළත් වූ අතර නීතිය පිළිපැදීමට බැඳී සිටියා. නමුත් අලුත් ගිවිසුමට කිසිම කෙනෙක් උපතින්ම ඇතුළත් නොවන අතර ක්‍රිස්තුස්ගේ නීතිය පිළිපැදීමට කිසිවෙක් බැඳී නැහැ. එම නීතියට කීකරු වන අය දෙවිට සේවය කරන්නේ බල කිරීම නිසා නොව කැමැත්තෙන්මයි. අලුත් ගිවිසුම නිසා මුළු මිනිස් වර්ගයාටම දැනුත් සදහටමත් ආශීර්වාද ලබාගත හැකි බව දන්නා ඔවුන්, එම නීතියට කීකරු වන්නේ මහත් සතුටිනුයි.
අලුත් ගිවිසුම මාර්ගයෙන් දෙවි වැරදිවලට සමාව දීමට පියවර ගෙන තිබෙන්නේ කෙසේද? ක්‍රිස්තුස්ගේ නීතිය ගැන ඔබට ඉගෙනගත හැක්කේ කෙසේද?
අලුත් ගිවිසුමෙන් ප්‍රයෝජන ලබන අය
14. අලුත් ගිවිසුමෙන් ප්‍රයෝජන ලබන්නේ කවුරුන්ද?
14 අලුත් ගිවිසුමට ඇතුළත් වන්නේ 1,44,000දෙනෙකු පමණක් නිසා ඉන් ප්‍රයෝජන ලබන්නේද ඔවුන් පමණක් බව ඇතැම් අය සිතනවා. සමහරවිට ඔවුන් එසේ සිතන්නේ සෑම වසරකම යේසුස්ගේ මරණය සිහි කරන දිනයේදී ‘අලුත් ගිවිසුම ස්ථිර කළ යේසුස් වැගිරෙවූ රුධිරය’ නියෝජනය කරන වයින් පානය කිරීමේ අයිතිය අභිෂේක ලත් අයට පමණක් තිබෙන නිසා විය හැකියි. (මාක් 14:24) නමුත් එසේ සිතීම වැරදියි. මන්ද යෙහෝවා දෙවි පොරොන්දු වී තිබුණේ ආබ්‍රහම්ගෙන් පැවතෙන තැනැත්තා මාර්ගයෙන් පොළොවේ සියලුම ජාතීන් ආශීර්වාද ලබාගන්නා බවයි. ආබ්‍රහම්ගෙන් පැවතෙන ප්‍රධානම තැනැත්තා යේසුස් වන අතර අලුත් ගිවිසුමට ඇතුළත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් යේසුස්ගේ සහෝදරයන් ලෙස සැලකෙන නිසා ඔවුන්ද ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් බවට පත් වෙනවා. (ගලා. 3:8, 9, 29; උත්. 12:3) ඒ අනුව බලන විට සියලු ජාතීන්ට ආශීර්වාද ලබා දීමට වූ දෙවිගේ අරමුණ දෙවි ඉටු කරන්නේ ඔවුන් මාර්ගයෙනුයි. ඔවුන් මාර්ගයෙන් සියලු ජාතීන් ආශීර්වාද ලබන නිසා අලුත් ගිවිසුමෙන් ප්‍රයෝජන ලබන්නේ 1,44,000දෙනා පමණයි කියා පැවසිය නොහැකියි.
15. අභිෂේක ලත් අය ඉටු කිරීමට යන කාර්යය ගැන දෙවි පැවසූ අනාවැකිය කුමක්ද?
15 ආබ්‍රහම්ගෙන් පැවතෙන ප්‍රධාන තැනැත්තා වන යේසුස්, උත්තම පූජකයා ලෙස කටයුතු කරනවා. (හෙබ්‍රෙව් 2:17, 18 කියවන්න.) අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ද ඔහු සමඟ පූජකයන් ලෙස කටයුතු කිරීමට නියමිතයි. ඒ බව යේසුස් පොළොවට පැමිණීමට බොහෝ කාලයකට කලින් යෙහෝවා දෙවි පැවසූ අනාවැකියකින් පැහැදිලි වෙනවා. එම අනාවැකියේ “පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක් හා ශුද්ධ ජාතියක්” ගැන දෙවි සඳහන් කළා. (නික්. 19:6) ඉන් අදහස් කළේ රජවරුන් ලෙස කටයුතු කරන අය පූජකයන් ලෙසත් කටයුතු කිරීමට නියමිත බවයි. එය මෝසෙස්ට දුන් නීතියට අනුව ක්‍රියාත්මක වූ සැලැස්ම තුළින් ඉටු විය නොහැකියි. මන්ද මෝසෙස්ට දුන් නීතියට අනුව පූජකයන් ලෙවී ගෝත්‍රයෙන් පැමිණි අතර රජවරුන් පැමිණියේ යූදා ගෝත්රයෙනුයි. එසේනම් දෙවි පැවසූ එම අනාවැකිය ඉටු වන්නේ කෙසේද? එය ඉටු වන්නේ අලුත් ගිවිසුම තුළින් බව පේතෘස් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට පැවසූ මේ වදන්වලින් පැහැදිලි වෙනවා. “ඔබ, ‘තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක් සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්’ වන්නහුය.” (1 පේතෘ. 1:1, 2; 2:9) අප වෙනුවෙන් පූජකයන් ලෙස සේවය කිරීමට නියමිත අය පොළොව මත සිටියදී අප හා සමානව පව්කාර ස්වභාවයට විරුද්ධව දිනපතාම සටන් කළ අයයි. (රෝම 5:21) ඒ නිසා අප අතින් වැරදි අඩුපාඩු සිදු වූ විට අපට දැනෙන වේදනාව ඔවුන්ට හොඳින් තේරුම්ගන්න පුළුවන්. අපව හොඳින් තේරුම්ගන්නා ඔවුන්, යේසුස් හා එක්ව පව්කාර ස්වභාවයෙන් ගොඩ ඒමට අපට උපකාර කරයි.
16. එළිදරව් 7:9, 14හි සඳහන් වදන් මහත් සමූහයේ අයට දිරිගැන්වීමක් වන්නේ කෙසේද?
16 බයිබලයේ ‘මහත් සමූහයට’ අයත් අයව විස්තර කර තිබෙන්නේ ‘සුදු වස්ත්‍ර පැළඳ සිටින’ අය ලෙසයි. (එළි. 7:9, 14) ඉන් අදහස් වන්නේ ඔවුන් දෙවි ඉදිරියේ නිදොස්ව සිටින බවයි. එසේ දෙවි ඔවුන්ව දැන් පවා යම් දුරකට ධර්මිෂ්ඨ අය ලෙස සලකන නිසා දෙවි ඔවුන්ව ගණන් ගන්නේ ඔහුගේ මිතුරන් ලෙසයි. (රෝම 4:2, 3; යාකො. 2:23) එය මොන තරම් වටිනා ආශීර්වාදයක්ද! “මහත් පීඩාවෙන්” බේරීමට නියමිත මහත් සමූහයව, මේ වන විටත් එක් රැස් කරමින් සිටිනවා. ඔබත් මහත් සමූහයට අයත් කෙනෙක් නම් දිගටම දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටීමට ඔබ දරන උත්සාහයට දෙවි ඔබට උපකාර කරන බවට නිසැක වන්න.
17. පව් කිසිදාක දෙවි “සිහි” කරන්නේ නැහැ කියා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
17 “මම ඔවුන් කළ වරදට සමාව දෙන්නෙමි. ඔවුන් කළ පව් නැවත කිසිදාක සිහි නොකරන්නෙමි” කියා දෙවි යෙරෙමියා මාර්ගයෙන් පැවසූ බව ඔබට මතක ඇති. (යෙරෙ. 31:34) දෙවි දුන් ඒ පොරොන්දුව මූලිකවම අදාළ වන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටයි. යේසුස්ගේ ජීවිත පූජාව පදනමක් ලෙස යොදාගෙන දෙවි ඔවුන්ගේ වැරදිවලට සමාව දෙනවා. ඒ විතරක් නොවෙයි, මහත් සමූහයේ අයටත් ‘අලුත් ගිවිසුම ස්ථිර කරන යේසුස් වැගිරෙවූ රුධිරය’ මාර්ගයෙන් තම වැරදිවලට සමාව ලබාගත හැකියි. දෙවි පව් කිසිදාක “සිහි” කරන්නේ නැහැ කියා කීමෙන් අදහස් කළේ තම වැරදි ගැන අවංකව පසුතැවිලි වන කෙනෙකුට අවශ්‍ය හික්මවීම් ලබා දී සමාව දුන් පසු දෙවි නැවත කිසිදාක ඔහු කළ වැරදි මතක් කරන්නේ නැති බවයි. දාවිත්ට දෙවි සමාව දුන් ආකාරය සලකා බැලීමෙන් අපට එය තේරුම්ගත හැකියි. බැත්-ෂෙබා සමඟ අනාචාරයේ යෙදුණු දාවිත්, කූට සැලැස්මක් දියත් කර ඇගේ ස්වාමිපුරුෂයා වූ උරියාව මරා දැමුවා. ඔහු කළ ඒ වැරදිවලට අවශ්‍ය හික්මවීම් ඔහුට ලැබුණු අතර තම වැරදිවල ප්‍රතිඵල විඳින්නත් ඔහුට සිදු වුණා. (2 සාමු. 11:4, 15, 27; 12:9-14; යෙසා. 38:17) නමුත් දෙවි දිගටම ඔහුව වරදකරුවෙකු ලෙස සැලකුවේ නැහැ. (2 ලේකම් 7:17, 18 කියවන්න.) යෙහෝවා දෙවි යේසුස්ගේ ජීවිත පූජාව පදනමක් ලෙස යොදාගෙන කෙනෙකුගේ වැරදිවලට සමාව දුන් පසු නැවත කිසිදාක ඒවා මතක් කරන්නේ නැති බව අලුත් ගිවිසුම මගින් තහවුරු වෙනවා.—එස. 18:21, 22.
18, 19. සමාව දීම සම්බන්ධයෙන් අලුත් ගිවිසුමෙන් ඉගෙනගන්නා පාඩම කුමක්ද?
18 අභිෂේක ලත් අයට මෙන්ම වෙනත් බැටළුවන්ට අයත් අයටත් සමාව දීමට දෙවි තුළ තිබෙන කැමැත්ත අලුත් ගිවිසුම මාර්ගයෙන් මනාව පැහැදිලි වෙනවා. දෙවි දයාවන්ත දෙවි කෙනෙකු කියා ඔප්පු කිරීමට එය කදිම සාක්ෂියක්. ඒ නිසා දෙවි ඔබේ වැරදිවලට සමාව දුන් පසු නැවත කිසිදාක ඒවා සිහි නොකරන බවට ස්ථිර වන්න. සමාව දීම සම්බන්ධයෙන් දෙවි තබා තිබෙන ඒ වටිනා ආදර්ශය අපටත් අනුගමනය කළ හැකියි. මදකට මේ ප්‍රශ්න ඔබෙන්ම අසාගන්න. ‘මම යම් කෙනෙකුගේ වැරදිවලට සමාව දුන් පසු ඒ පුද්ගලයා කළ වැරදි නැවත නැවත මතක් නොකර සිටීමට උත්සාහ කරනවාද?’ (මතෙ. 6:14, 15) සුළු සුළු වැරදි සම්බන්ධයෙන් පමණක් නොව බරපතළ වැරදි සම්බන්ධයෙන්ද එය අදාළ වෙනවා. උදාහරණයකට යම් කෙනෙකුගේ සහකරුවා හෝ සහකාරිය අනාචාරයේ යෙදෙමින් බරපතළ වරදක් කළා කියා සිතන්න. වරද කළ කෙනා අවංකව පසුතැවිලි වූ නිසා එම තැනැත්තාගේ සහකරුවා හෝ සහකාරිය සමාව දෙන බවට එකඟ වුණත් එම වරද නැවත නැවත මතක් කරනවා නම් ඔහු හෝ ඇය දෙවිව අනුකරණය කරනවා කියා පැවසිය නොහැකියි. ඇත්තෙන්ම කෙනෙක් කළ වරදක් සම්පූර්ණයෙන්ම අමතක කර දැමීම පහසු දෙයක් නොවෙයි. නමුත් යෙහෝවා දෙවිව අනුකරණය කරන අය ලෙස අප ඒ දේ කිරීම අත්‍යවශ්‍යයි.a
19 සමාව දීම සම්බන්ධයෙන් අලුත් ගිවිසුමෙන් ඉගෙනගන්නා පාඩම සභා සාමාජිකත්වයෙන් ඉවත් කළත් පසු කාලයක සභාවට නැවත පිළිගන්නා අය සම්බන්ධයෙන්ද අදාළ කරගත හැකියි. නැවත සභාවට පිළිගන්නා එම පුද්ගලයා ඔබට විශාල අලාභයක් හෝ ඔබේ නමට මහත් නින්දාවක් කර තිබෙනවා නම් ඔබ ක්‍රියා කරන්නේ කෙසේද? එම පුද්ගලයා පසුතැවිලි වී සිටින නිසා යෙරෙමියා 31:34හි සඳහන් වදන් අදාළ කරගෙන ඔහු කළ වැරදි සිහි නොකර සිටීමට උත්සාහ කරනවාද? (2 කොරි. 2:6-8) එසේ කරනවා නම් දෙවි ඇති කර තිබෙන අලුත් ගිවිසුම අගය කරන බව පෙන්විය හැකියි.
සමාව දීම සම්බන්ධයෙන් අලුත් ගිවිසුමෙන් ඉගෙනගන්නා පාඩම ඔබට අදාළ කරගත හැකි ආකාරයක් සඳහන් කරන්න
අලුත් ගිවිසුම නිසා දැන් හා අනාගතයේ ලැබෙන ආශීර්වාද
20. දෙවි ක්‍රියා කරන ආකාරය ගැන යුදෙව්වන්ට තිබූ ආකල්පයට වඩා අප තුළ තිබෙන ආකල්පය වෙනස් කියා පැවසිය හැක්කේ ඇයි?
20 යෙරෙමියාගේ කාලයේ සිටි යුදෙව්වන්ට යෙහෝවා දෙවි ගැන යම් දැනුමක් තිබුණා. නමුත් ඔවුන් සිතුවේ ඔවුන් කරන වැරදි දේවල් දෙවි ගණන් නොගෙන සිටියි කියායි. දෙවි දී තිබෙන ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීම දෙවි ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා කියා ඔවුන් සිතුවේ නැහැ. ‘යෙහෝවා දෙවි හොඳක්වත් නරකක්වත් නොකරන’ දෙවි කෙනෙක් කියා බොහෝ යුදෙව්වන්ට හැඟුණේ ඒ නිසයි. (ශෙප. 1:12) නමුත් යෙහෝවා දෙවි වැරදි ක්‍රියාවන් ගණන් නොගෙන සිටින දෙවි කෙනෙකු නොවෙයි කියා දෙවිව හොඳින් දැන හඳුනන අය හැටියට අප දන්නවා. ඒ නිසා දෙවි කෙරෙහි අපට ගරුබියක් තිබෙන අතර වැරදි දේවල් නොකර සිටීමට අප පෙලඹෙනවා. (යෙරෙ. 16:17) දෙවි සෑම දෙයක්ම දකින නිසා අප කරන යහපත් දේවලුත් දෙවි දකින බව අප දන්නවා. ඒ නිසා අප කරන යහපත් දේවල් අන් අයගේ අවධානයට ලක් නොවුණත් දෙවි ඒ දේවල් දකින බව අපි අමතක නොකරමු.—2 ලේක. 16:9.
21, 22. “දෙවිව දැන හඳුනා ගන්න” කියා ඔබට අමුතුවෙන් පැවසීමට හේතුවක් නැත්තේ ඇයි?
21 අප කලින් සලකා බැලූ ලෙස අලුත් ගිවිසුමට ඇතුළත් එක් වැදගත් දෙයක් වන්නේ දෙවි දුන් මෙම පොරොන්දුවයි. “මම මාගේ නීති ඔවුන්ගේ සිත්වල තබන්නෙමි. ඒවා ඔවුන්ගේ හදවත්වල ලියන්නෙමි. මම . . . ඔවුන්ගේ දෙවි වන්නෙමි. ‘යෙහෝවා දෙවිව දැන හඳුනා ගන්න’ කියා එකිනෙකා තම තමාගේ අසල්වැසියාටවත් සහෝදරයාටවත් ඉදිරියේදී උගන්වන්නේ නැත.” (යෙරෙ. 31:33, 34) අද දින පොළොව මත සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ සිත්වල දෙවිගේ නීතිය තිබෙන බව ඔවුන්ගේ ක්‍රියාවලින් පැහැදිලිවම ඔප්පු වෙනවා. ඔවුන් සියලුදෙනාම බයිබලයේ සඳහන් සත්‍ය ඉගැන්වීම් බොහෝ සෙයින් අගය කරනවා. ඔවුන් එම ඉගැන්වීම් අන් අයට කියා දෙන්නේ ඉතා සතුටින්. එහි ප්‍රතිඵලයක් ලෙස මහත් සමූහයේ අයටත් දෙවිව දැන හඳුනා ගැනීමට අවස්ථාව උදා වී තිබෙනවා. පොළොව මත ජීවත් වීමේ බලාපොරොත්තුව ඇති ඔවුන්, දෙවිගේ මඟ පෙන්වීම් කැමැත්තෙන්ම පිළිගන්නා අතර දෙවිගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. සමහරවිට ඔබත් ඔවුන්ගෙන් කෙනෙක් වෙන්න ඇති. එසේනම් දෙවිව මිතුරෙකු සේ හොඳින් දැන හඳුනා ගෙන ඔහු සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීමට ඔබට ලැබී තිබෙන ප්‍රස්තාව ඔබ බොහෝ සෙයින් අගය කරන බවට කිසිම සැකයක් නැහැ.
22 දෙවි සමඟ ශක්තිමත් බැඳීමක් ඇති කරගැනීමට ඔබට උපකාරවත් වුණේ මොනවාද? සමහරවිට ඔබේ යාච්ඤාවලට යෙහෝවා දෙවි පිළිතුරු දුන්නා කියා ඔබට හැඟුණු අවස්ථා බොහොමයක් ඇති. එසේත් නැත්නම් විරුද්ධවාදිකම්වලට මුහුණ දුන් අවස්ථාවක බයිබල් පද මතක් කර දී ඊට හොඳින් මුහුණ දීමට දෙවි ඔබව ශක්තිමත් කළ ආකාරය ඔබ අද්දැක ඇති. එවැනි අද්දැකීම්වලින් දෙවි කෙරෙහි ඔබ තුළ තිබෙන ආදරය හා අගය තව තවත් වැඩි වූ බවට කිසිම සැකයක් නැහැ. ඒ නිසා ඔබ අද්දුටු ඒ දේවල් ඔබේ මතකයෙන් ගිලිහී යන්න ඉඩහරින්න එපා. ඒවා ඔබේ ජීවිතයේ වටිනා අද්දැකීම් ලෙස සලකන්න. ඔබ දිගින් දිගටම බයිබලය අධ්‍යයනය කළොත් ඔබට දෙවිව වඩාත් හොඳින් දැන හඳුනා ගැනීමට හැකි වන අතර ඉන් බොහෝ ප්‍රයෝජනද ලැබිය හැකියි.
23. අතීතයේ කළ වැරදි ගැන සිතසිතා දුක් නොවීමට අලුත් ගිවිසුම ගැන දැනගැනීම උපකාරවත් වන්නේ කෙසේද?
23 අලුත් ගිවිසුම නිසා දැන් අපට අද්දැකිය හැකි තවත් ආශීර්වාදයක් තිබෙනවා. එය නම් අලුත් ගිවිසුමට අනුව දෙවි අපේ වැරදිවලට සමාව දෙන නිසා නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටීමට අපට ලැබී තිබෙන අනගි ප්රස්තාවයි. උදාහරණයකට මේ ගැන සිතා බලන්න. යෙහෝවා දෙවි ජීවිතය අනර්ඝ දෙයක් ලෙස සලකන බව තේරුම්ගැනීමට කලින් කෙනෙකු ගබ්සාවක් කර තිබෙනවා නම් ජීවිතයක් නැති කිරීම ගැන එම තැනැත්තාට දැන් මහත් දුකක් දැනෙනවා ඇති. ඔහුගේ සිත ඔහුට වධ දෙනවා විය හැකියි. එසේත් නැත්නම් කෙනෙකු කලින් යුද්ධවලට හවුල් වී තිබෙනවා නම් අන් අයගේ ජීවිත අහිමි කිරීම ගැන ඔහුගේ සිත ඔහුට වධ දෙනවා ඇති. නමුත් තමන් කළ වැරදි ගැන අවංකව පසුතැවිලි වෙනවා නම් ඒ ගැන සිතසිතා දුක් විය යුතු නැහැ. මන්ද අලුත් ගිවිසුම ස්ථිර කරන යේසුස් වැගිරෙවූ රුධිරය මාර්ගයෙන් ඔවුන්ට තම වැරදිවලට සමාව ලබාගත හැකියි. පසුතැවිලි වන අයට දෙවි සමාව දුන් පසු ඔහු කවදාවත් ඒ වැරදි මතක් කරන්නෙත් නැහැ.
24. යෙරෙමියා 31:20හි සඳහන් වදන් ඔබට දිරිගැන්වීමක් වන්නේ කෙසේද?
24 යෙහෝවා දෙවි සමාව දීමට කැමැත්තෙන් සිටින දෙවි කෙනෙකු බව අලුත් ගිවිසුම ගැන විස්තර ඇතුළත් පරිච්ඡේදයේ සඳහන් තවත් දෙයකින්ද පැහැදිලි වෙනවා. (යෙරෙමියා 31:20 කියවන්න.) යෙරෙමියාගේ කාලයට දශක ගණනාවකට කලින් ඊශ්‍රායෙලයේ උතුරු රාජ්‍යය බොරු දෙවිවරුන්ට නමස්කාර කළ නිසා ඔවුන් දෙවි අතින් දඬුවම් ලැබුවා.b එහි ප්‍රතිඵලයක් ලෙස උතුරු රාජ්‍යයට අයත් අයව වහලුන් ලෙස ගෙන ගියා. කෙසේවෙතත් දෙවිට ඔවුන් ගැන අනුකම්පාවක් දැනුණා. ඔවුන් දෙවිට අකීකරු වුණත් දෙවි ඔවුන්ව සැලකුවේ තමන් ආදරයෙන් ඇතිදැඩි කළ දරුවෙකු ලෙසයි. ‘ඔවුන් නිසා මගේ හදවත කම්පා වෙනවා’ කියා දෙවි පැවසුවේ ඒ නිසයි. දෙවි දයාවෙන් පිරුණු දෙවි කෙනෙක් බව ඉන් අපට පැහැදිලි වෙනවා. එසේනම් කෙනෙක් අවංකව පසුතැවිලි වෙනවා නම් දෙවි ඔහුට අනිවාර්යයෙන්ම සමාව දෙන බවට අපට නිසැක විය හැකියි.
25. අලුත් ගිවිසුමක් ඇති කිරීම ගැන ඔබ යෙහෝවා දෙවිට ස්තුතිවන්ත විය යුත්තේ ඇයි?
25 අලුත් ගිවිසුම මාර්ගයෙන් මිනිසුන්ගේ පව්වලට සමාව දීමට වූ දෙවිගේ පොරොන්දුව සම්පූර්ණයෙන්ම ඉටු වන්නේ දහස් අවුරුදු පාලනය අවසානයේදීයි. ඒ වන විට යේසුස් හා ඔහු යටතේ පූජකයන් ලෙස සේවය කරන 1,44,000දෙනා මිනිස් වර්ගයාව පව්කාර ස්වභාවයෙන් නිදහස් කර ඔවුන්ව පරිපූර්ණත්වයට ගෙන ඒමේ කාර්යය ඉටු කර හමාරයි. ඉන්පසු කෙටි කාලයකට සාතන්ව නැවත මුදාහරින අතර තම විශ්වාසවන්තකම ඔප්පු කිරීමට පරිපූර්ණ මිනිසුන්ට අවස්ථාව ලැබෙනවා. (රෝම 8:19-22 කියවන්න.) විශ්වාසවන්තව සිටින අයට පොළොව මත සදහටම ජීවත් වීමේ අවස්ථාව හිමි වන අතර ඔවුන්ට ස්වර්ගයේ සිටින දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ගෙන් සමන්විත දෙවිගේ පවුලේ සාමාජිකයන් වීමට අවස්ථාව හිමි වෙනවා. වසර දහස් ගණනක් පුරා පාපයේ හා මරණයේ ග්‍රහණයට හසු වී දුක් විඳිමින් සිටි මිනිස් වර්ගයා එදාට ‘දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක් භුක්ති විඳිනවා.’ අලුත් ගිවිසුම මාර්ගයෙන් දෙවි ඇති කළ සැලැස්මෙන් ඔබට දැනුත් අනාගතයෙත් අනිවාර්යයෙන්ම ආශීර්වාද රැසක් අද්දැකිය හැකියි. දාවිත්ගේ පෙළපතින් පැමිණි ධර්මිෂ්ඨ පාලකයා වන යේසුස්ගේ පාලනයේ යටත්වැසියෙක් වීමට ලැබීමම මොන තරම් ආශීර්වාදයක්ද!—යෙරෙ. 33:15.
අලුත් ගිවිසුම නිසා දැනුත් අනාගතයේදීත් අපට ලැබෙන ආශීර්වාද මොනවාද?
a හොෂෙයා හා ගොමෙර්ගේ සිද්ධියෙන් දෙවි සමාව දීමට සූදානම් දෙවි කෙනෙක් බව මනාව ඔප්පු වෙනවා. Live With Jehovah’s Day in Mind නමැති පොතේ 128-130 දක්වා පිටුවල තිබෙන හොෂෙයා 2:14-16 දක්වා පදවලට අදාළ විස්තරයේ ඒ ගැන සඳහන් වෙනවා.
b ගෝත්‍ර දහයකින් සමන්විත උතුරු රාජ්‍යයට අයත් එෆ්‍රායිම් ගෝත්‍රය එහි ප්‍රධාන ගෝත්‍රය වූ නිසා මුළු උතුරු රාජ්‍යයම එෆ්‍රායිම් ලෙසත් හැඳින්වූවා.