“නුඹේ අත් හෙළාවැටී නොතිබේවා”
“නුඹේ අත් හෙළාවැටී නොතිබේවා. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ තුළ [අතර, NW] සිටිනසේක, උන්වහන්සේ ගළවන්ට බලවත්වූ තැනැන්වහන්සේය.”—ශෙපනියා 3:16, 17.
1. ශෙපනියාගේ අනාවැකිය ගැන බයිබල් විශාරදයෙකු ප්‍රකාශ කළේ කුමක්ද?
පොදු යුගයට පෙර සත්වන හා හයවන සියවස්වල එහි පළමු ඉටුවීමට ඔබ්බෙන් ශෙපනියාගේ අනාවැකිය අදාළ විය. ශෙපනියා පිළිබඳ සිය විවරණයෙහි, මහාචාර්ය සී. එෆ්. කයිල් මෙසේ ලීවේය: “යූදාහි පාප නිසා එයට නියමිතව තිබෙන විනිශ්චයද, යෙහෝවඃවහන්සේගේ සෙනඟට එදිරිවාදිකම් පෑම හේතුවෙන් ජාතීන්ගෙන් සමන්විත ලෝකයට නියමිත විනිශ්චයද ඇතුළත්, ශෙපනියාගේ අනාවැකිය . . . මුළු ලෝකය කෙරෙහි සර්වලෝක විනිශ්චයක් පිළිබඳ දැනුම් දීමක් පමණක් නොව; නමුත් යෙහෝවඃවහන්සේගේ මහත් වූ භයානක වූ දවස හා බැඳි සියල්ල එය මුළුමනින්ම සැලකිල්ලට භාජන කරයි.”
2. ශෙපනියාගේ දවසේ තත්වයන් හා අදදින ක්‍රිස්තියානි ලෝකය තුළ තිබෙන තත්වය අතර තිබෙන සමානකම් කවරේද?
2 අදදින, ශෙපනියාගේ දවසට වඩා බෙහෙවින් විශාල පරිමාණයකින් ජාතීන් විනාශය සඳහා එක්රැස් කිරීම යෙහෝවඃවහන්සේගේ විනිශ්චයක තීරණය වේ. (ශෙපනියා 3:8) ක්‍රිස්තියානීන්යයි කියා සිටින ජාතීහු, දෙවියන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි විශේෂයෙන්ම දෝෂ සහිත තත්වයක සිටිති. යෙහෝවඃවහන්සේට දැක්වූ නොඇදහිලිකාරකම නිසා, යෙරුසලමට දරුණු වන්දියක් ගෙවීමට සිදු වූ ආකාරයෙන්ම, තම අනාචාරමය ක්‍රියා සඳහා ක්‍රිස්තියානි ලෝකය දෙවියන්වහන්සේට ගණන් දිය යුතුය. ශෙපනියාගේ දවසේ යූදා හා යෙරුසලමට එරෙහිව ප්‍රකාශ කරන ලද දිව්‍ය විනිශ්චයන්, ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි හා නිකායවලට වඩාත් ප්‍රබල අන්දමකින් අදාළ වේ. එමෙන්ම මිථ්‍යාදෘෂ්ටික මූලාරම්භයක් ඇති, දෙවියන්වහන්සේට අගෞරවය ගෙනෙන ඉගැන්වීම් බොහොමයක් මගින් ඔවුහු නිර්මල නමස්කාරය පලුදු කර ඇත්තාහ. යුද්ධය නමැති නවීන දින පූජාසනය මත ඔවුහු සිය නිරෝගී පුත්‍රයන් මිලියන ගණනක් පූජා කර ඇත්තාහ. එපමණක්ද නොව, ප්‍රතිරූපී යෙරුසලමේ වැසියෝ ක්‍රිස්තියානියයි කියන ධර්මය, බාල් වන්දනාව සිහි කරවීමට සලස්වමින්, ජ්‍යොතිඃ ශාස්ත්‍රය, භූතමය ව්‍යවහාරයන් හා නීචකර ලිංගික දුරාචාරය සමඟ මිශ්‍ර කරති.—ශෙපනියා 1:4, 5.
3. අදදින දේශපාලන නායකයන් හා දේශපාලන ආණ්ඩුක්‍රම ගැන කුමක් පැවසිය හැකිද, තවද ශෙපනියා පුරෝකථනය කළේ කුමක්ද?
3 පල්ලියේ ප්‍රසිද්ධියේ පෙනී සිටීමට ක්‍රිස්තියානි ලෝකයේ දේශපාලන නායකයන් බොහෝදෙනෙක් ඉතා කැමති වෙති. එහෙත් යූදාහි ‘අධිපතීන්’ මෙන්, ඔවුන් බොහෝදෙනෙක් ‘ගොරවන සිංහයන්’ හා රෞද්‍ර ‘වෘකයන්’ මෙන් ජනයාගෙන් ගසා කති. (ශෙපනියා 3:1-3) එවන් අයගේ දේශපාලන උල්පන්දම්කාරයෝ “තමුන්ගේ ස්වාමිවරුන්ගේ ගෙවල් බලාත්කාරයෙන්ද ප්‍රයෝගයෙන්ද පුරව[ති].” (ශෙපනියා 1:9) අල්ලස් දූෂණ අස්සක් මුල්ලක් නෑර පවතී. ක්‍රිස්තියානි ලෝකය තුළ හා ඉන් පිටත දේශපාලන ආණ්ඩු සලකා බලද්දී, ඔවුන් අතුරින් වැඩි වන සංඛ්‍යාවක්, සේනාවල යෙහෝවඃවහන්සේගේ ජනයා, එනම් ස්වකීය සාක්ෂිකරුවන්ට විරුද්ධව ‘උඩඟුකම දක්වමින්,’ නින්දිත “ලබ්ධියක්” හැටියට ඔවුන්ට සලකති. (ශෙපනියා 2:8; ක්‍රියා 24:5, 14) එවන් සියලු ආකාර දේශපාලන නායකයන්ද ඔවුන්ගේ අනුගාමිකයන්ද ගැන ශෙපනියා මෙසේ පුරෝකථනය කළේය: “ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී ඔවුන්ගේ රිදී නිසාවත් ඔවුන්ගේ රන් නිසාවත් ඔවුන්ට ගැළවෙන්ට නුපුළුවන; උන්වහන්සේගේ ජ්වලිත ගින්නට මුළු දේශය විනාශවන්නේය. මක්නිසාද උන්වහන්සේ දේශයේ වසන සියල්ලන් පිටට අන්තිමයක්, එනම් භයානක අන්තිමයක්, පමුණුවනසේක.”—ශෙපනියා 1:18.
‘යෙහෝවඃවහන්සේගේ උදහස් දවසේදී සඟවනු ලැබ’
4. යෙහෝවඃවහන්සේගේ මහත් දවසෙන් බේරී ජීවත්වන්නන් සිටින බව කුමක් පෙන්නුම් කරයිද, නමුත් ඔවුන් කුමක් කළ යුතුද?
4 පොදු යුගයට පෙර සත්වන සියවසේ යූදාහි වාසීන් සියලුදෙනාවම විනාශ නොකරන ලදි. ඒ හා සමානව, යෙහෝවඃවහන්සේගේ මහත් දවසින් බේරී ජීවත්වන්නෝ සිටින්නෝය. එවන් අයට යෙහෝවඃවහන්සේ ස්වකීය අනාගතවක්තෘ ශෙපනියා කරණකොටගෙන මෙසේ පැවසූසේක: “නියමය ඉෂ්ටවෙන්ට පළමුවෙන්ද, දවස බොල් මෙන් පහවී ගොස් ස්වාමීන්වහන්සේගේ බලවත් උදහස නුඹලා පිටට පැමිණෙන්ට පළමුවෙන්ද, ස්වාමීන්වහන්සේගේ උදහස් දවස නුඹලා පිටට පැමිණෙන්ට පළමුවෙන්ද, . . . ස්වාමීන්වහන්සේගේ විනිශ්චය ඉෂ්ටකළාවූ දේශයේ මොළොක් ගුණ ඇති සියල්ලෙනි, උන්වහන්සේ සොයාපල්ලා; ධර්මිෂ්ඨකම සොයාපල්ලා, මොළොක් ගුණය සොයාපල්ලා. සමහරවිට නුඹලා ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී සඟවනු ලබනවා ඇත.”—ශෙපනියා 2:1-3.
5. මෙම අන්තිම කාලයේදී, ශෙපනියාගේ අනතුරු ඇඟවීමට පළමුවෙන්ම අවනත වූවෝ කවරහුද, තවද යෙහෝවඃවහන්සේ ඔවුන්ව පාවිච්චි කර ඇත්තේ කෙසේද?
5 මේ ලෝකයේ අන්තිම කාලයේදී, එම අනාවැකිමය ඇරයුමට පළමුව අවනත වූයේ, අභිෂේක ලත් ක්‍රිස්තියානීන් වන, ආත්මික ඉශ්රායෙල්හි ඉතිරි කොටසය. (රෝම 2:28, 29; 9:6; ගලාති 6:16) ධර්මිෂ්ඨකම හා මොළොක් ගුණය සොයමින්, යෙහෝවඃවහන්සේගේ විනිශ්චයක තීරණවලට ගෞරවය දැක්වීම හේතුවෙන්, ඔවුහු බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන මහ බබිලෝනියෙන් මුදනු ලැබ, 1919දී නැවතත් දිව්‍ය අනුග්‍රහය ලැබූහ. එවක් පටන්, විශේෂයෙන්ම 1922 පටන්, ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි හා නිකායන් මෙන්ම දේශපාලනමය ජාතීන්ට එරෙහිව මෙම විශ්වාසවන්ත ඉතිරි කොටස යෙහෝවඃවහන්සේගේ විනිශ්චයන් නිර්භයව ප්‍රකාශ කර ඇත.
6. (අ) විශ්වාසවන්ත ඉතිරි කොටස සම්බන්ධයෙන් ශෙපනියා පුරෝකථනය කළේ කුමක්ද? (ආ) මෙම අනාවැකිය ඉටු වී තිබෙන්නේ කෙසේද?
6 මෙම විශ්වාසවන්ත ඉතිරි කොටස ගැන ශෙපනියා මෙසේ පුරෝකථනය කළේය: “මම නුඹ තුළ යටහත්වූ දිළිඳුවූ [විනීත වූ, NW] සෙනගක් ඉතිරිකරන්නෙමි, ඔව්හු ස්වාමීන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාසය තබන්නෝය. ඉශ්‍රායෙල්ගෙන් ඉතිරි අය අයුතුකමක් නොකරන්නෝය, බොරු නොකියන්නෝය; වංචා දිවක් ඔවුන්ගේ මුඛවල සම්බ නොවන්නේය. මක්නිසාද ඔව්හු කිසිවෙකු විසින් භයගන්වනු නොලැබ, කෑම කා නිදාගන්නෝය.” (ශෙපනියා 3:12, 13) මෙම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සැමවිටම යෙහෝවඃවහන්සේගේ නමට මුල් තැන දුන්නද, 1931 පටන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් යන නම තමුන්ට යොදාගත් විට, ඔවුහු එය විශේෂයෙන්ම කළහ. (යෙසායා 43:10-12) යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යය පිළිබඳ වාද විෂය කැපීපෙනෙන්ට සැලැස්වීමෙන්, ඔවුන් දිව්‍ය නාමයට ගරු කර ඇති අතර, මෙය ඔවුන්හට බලකොටුවක් බව ඔප්පු වී තිබේ. (හිතෝපදේශ 18:10) යෙහෝවඃවහන්සේ ආත්මික බහුලත්වයකින් ඔවුන්ව පෝෂණය කර ඇති අතර, ඔවුහු බියක් නැතුව ආත්මික පාරාදීසයක ජීවත් වෙති.—ශෙපනියා 3:16, 17.
“සියලු ජනයන් අතරෙහි” “නාමයක්ද ප්‍රශංසාවක්ද”
7, 8. (අ) ආත්මික ඉශ්රායෙල්හි ඉතිරි කොටස කෙරෙහි කුමන අමතර අනාවැකිය ඉටු වී තිබේද? (ආ) මිලියන සංඛ්‍යාත ජනයා කුමක් හඳුනාගෙන තිබේද, තවද මේ සම්බන්ධයෙන් ඔබේ හැඟීම් මොනවාද?
7 යෙහෝවඃවහන්සේගේ නමටත් ස්වකීය වචනයෙහි සඳහන් ධර්මිෂ්ඨ ප්රතිපත්තිවලටත් ඉතිරි කොටස දක්වා තිබෙන ගැඹුරු බැඳීම නොසලකා හැර නොතිබේ. ඉතිරි කොටසේ හැසිරීමත්, මේ ලෝකයේ දේශපාලනමය හා ආගමික නායකත්වයේ දූෂිතභාවය හා කුහකකමත් අතර වෙනස දැකගැනීමට අවංක ජනයාට හැකි වී තිබේ. “[ආත්මික] ඉශ්‍රායෙල්ගෙන් ඉතිරි අය[ට]” යෙහෝවඃවහන්සේ ආශීර්වාද කර තිබේ. ස්වකීය නාමය දැරීමේ වරප්‍රසාදයෙන් ඔවුන්ව ගෞරවයට පත් කර තිබෙන උන්වහන්සේ, පොළොවේ ජනයා අතර කදිම කීර්තියක් දැරීමට ඔවුන්ට සලස්වා තිබේ. මේ තත්වය ශෙපනියා පුරෝකථනය කළාක් මෙනි: “මා විසින් නුඹලා රැස්කරන ඒ කාලයෙහිම නුඹලා ඇතුළට ගෙනෙන්නෙමි. මක්නිසාද මම නුඹලාගේ ඇස් හමුයෙහි නුඹලාගේ වාල්කම පහකරන විට, පොළොවේ සියලු ජනයන් අතරෙහි නුඹලා නාමයක්ද ප්‍රශංසාවක්ද කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.”—ශෙපනියා 3:20.
8 වර්ෂ 1935 පටන්, යෙහෝවඃවහන්සේගේ ආශීර්වාදය ඉතිරි කොටස කෙරෙහි බව තේරුම්ගැනීමට වචනානුසාරයෙන්ම මිලියන ගණනක් ජනයාට හැකි වී තිබේ. මෙම ආත්මික යුදෙව්වන්ව නොහොත් ඉශ්රායෙල්වරුන්ව සතුටින් අනුගමනය කරමින් ඔවුහු මෙසේ පවසති: “අපි නුඹලා සමග යන්නෙමුව, මක්නිසාද දෙවියන්වහන්සේ නුඹලා සමග සිටින බව අප විසින් අසා තිබේ.” (සෙකරියා 8:23) මෙම “වෙනත් බැටළුවෝ”, අභිෂේක ලත් ඉතිරි කොටසව ක්‍රිස්තුස්වහන්සේ විසින් “[පොළොවෙහි] තමා සන්තක සියල්ල කෙරෙහි” පත් කර සිටින “විශ්වාසවූ නුවණ ඇති දාසයා” වශයෙන් පිළිගනිති. දාස පංතිය විසින් “නියම වේලාවට” පිළියෙළ කර තිබෙන ආත්මික ආහාර ඔවුහු ස්තුතිපූර්වකව අනුභව කරති.—යොහන් 10:16; මතෙව් 24:45-47.
9. මිලියන සංඛ්‍යාත ජනයා කතා කිරීමට ඉගෙන තිබෙන්නේ කුමන ‘භාෂාවද,’ තවද වෙනත් බැටළුවන් අභිෂේක ලත් ඉතිරි කොටස සමඟ “උරෙන් උර ගැටී” සේවය කරන්නේ කවර ශ්‍රේෂ්ඨ කර්තව්‍යයෙහිද?
9 ඉතිරි කොටස හා උරෙන් උර ගැටී, මිලියන සංඛ්‍යාතයක් වූ මෙම වෙනත් බැටළුවෝ, ‘නිර්මල භාෂාව’ අනුව ජීවත්වීමටත්, ඊට අනුකූලව කතා කිරීමටත් ඉගෙනගනිමින් සිටිති.a යෙහෝවඃවහන්සේ ශෙපනියා තුළින් මෙසේ පුරෝකථනය කළසේක: “එකල සියලු ජනයන් ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකොට, එක්සිත්ව [උරෙන් උර ගැටී, NW] උන්වහන්සේට සේවයකරන පිණිස, ඔවුන්ට පවිත්‍ර [නිර්මල, NW] භාෂාවක් දෙන්නෙමි.” (ශෙපනියා 3:9) එසේය, “රාජ්‍යයේ මේ ශුභාරංචිය, සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස,” දේශනා කිරීම නමැති මෙම හදිසි කර්තව්‍යයේදී, වෙනත් බැටළුවෝ, ‘කුඩා රැළේ’ අභිෂේක ලත් සාමාජිකයන් සමඟ ‘උරෙන් උර ගැටී’ යෙහෝවඃවහන්සේට සමඟියෙන් සේවය කරති.—ලූක් 12:32; මතෙව් 24:14.
‘යෙහෝවඃවහන්සේගේ දවස පැමිණෙන්නේය’
10. අභිෂේක ලත් ඉතිරි කොටස තරයේ විශ්වාස කර ඇත්තේ කුමක්ද, තවද පංතියක් වශයෙන්, ඔවුන් කුමක් දැකීමට ජීවත් වනු ඇද්ද?
10 ප්‍රේරිත පේතෘස්ගේ දේවානුභාවය ලත් ප්‍රකාශය අභිෂේක ලත් ඉතිරි කොටස නිරන්තරයෙන්ම මනසෙහි තබාගෙන ඇත: “ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට ස්වාමීන්වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවනසේක; නුමුත් සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට උන්වහන්සේ නොකැමැතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසනසේක. එහෙත් සොරෙකුමෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන්නේය.” (2 පේතෘස් 3:9, 10) අපේ කාලයේදී යෙහෝවඃවහන්සේගේ දවසේ පැමිණීම පිළිබඳ කිසිදු සැකයක් විශ්වාස වූ නුවණ ඇති දාස පංතියේ සාමාජිකයන් තුළ කිසි දිනක පහළ වී නැත. ප්‍රතිරූපී යෙරුසලම වන ක්‍රිස්තියානි ලෝකය හා මහ බබිලෝනියේ ඉතිරි කොටස්වලට එරෙහිව දෙවියන්වහන්සේගේ විනිශ්චයන් ඉටු කිරීමත් සමඟ එම මහත් දවස ආරම්භ වන්නේය.—ශෙපනියා 1:2-4, 6; එළිදරව් 17:1, 5; 19:1, 2.
11, 12. (අ) ඉතිරි කොටස කෙරෙහි ශෙපනියාගේ අනාවැකියේ තවත් කුමන කොටස ඉටු වී තිබේද? (ආ) “නුඹේ අත් හෙළාවැටී නොතිබේවා” යන ආඥාවට අභිෂේක ලත් ඉතිරි කොටස අවනත වී ඇත්තේ කෙසේද?
11 බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන මහ බබිලෝනියට ආත්මික ලෙස වහල්වීමෙන් 1919දී මුදනු ලැබීම ගැන විශ්වාසවන්ත ඉතිරි කොටස ප්‍රීතිමත් වෙති. ඔවුහු ශෙපනියාගේ මෙම අනාවැකියේ ඉටුවීම අද්දැක ඇත්තාහ: “සියොන් දියණියෙනි, ගී කියාපන්න; ඉශ්රායෙල්, ඝෝෂාකරපන්න; යෙරුසලම් දියණියෙනි, මුළු සිතින් සන්තෝෂවී ප්රීතිමත්වෙයන්න. ස්වාමීන්වහන්සේ නුඹේ විනිශ්චයන් පහකළසේක, නුඹේ සතුරන් පිටත හෙළූසේක. ඉශ්රායෙල් රජවූ ස්වාමීන්වහන්සේ නුඹ තුළ [අතර, NW] සිටිනසේක. නුඹ තවත් විපත්තියට භය නොවන්නෙහිය. ඒ කාලයේදී යෙරුසලමට කියනුයේ: භයනොවන්න. සියොන්, නුඹේ අත් හෙළාවැටී නොතිබේවා. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ තුළ [අතර, NW] සිටිනසේක, උන්වහන්සේ ගළවන්ට බලවත්වූ තැනැන්වහන්සේය.”—ශෙපනියා 3:14-17.
12 යෙහෝවඃවහන්සේ ඔවුන් අතරෙහි සිටින බවට ඒකාන්ත විශ්වාසයක්ද බහුල සාක්ෂිද ඇතුව, සිය දිව්‍ය පැවරුම ඉටු කිරීමෙහිලා අභිෂේක ලත් ඉතිරි කොටස නිර්භීතව ඉදිරියට ගමන් කොට ඇත. රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කර ඇති ඔවුහු, ක්‍රිස්තියානි ලෝකය, සෙසු මහ බබිලෝනිය හා සාතන්ගේ සම්පූර්ණ දුෂ්ට දේවල පිළිවෙළට එරෙහිව යෙහෝවඃවහන්සේගේ විනිශ්චයන් දැනුම් දී ඇත්තාහ. පැමිණෙන ඕනෑම දෙයකට මුහුණ දෙමින්, 1919 පටන් දශක ගණනාව පුරා, මෙම දිව්‍ය ආඥාවට ඔවුන් කීකරු වී ඇත: “භයනොවන්න. සියොන්, නුඹේ අත් හෙළාවැටී නොතිබේවා.” යෙහෝවඃවහන්සේගේ රාජ්‍යය ප්‍රචාරය කරන පත්‍රිකා, සඟරා, පොත් හා පොත් පිංච බෙදාහැරීමෙහිලා, ඔවුහු අලස වී නැත්තාහ. වර්ෂ 1935 පටන් සිය පැත්තට එක්රොක් වී ඇති වෙනත් බැටළුවන්හට ඔවුහු ඇදහිල්ල පුබුදුවන ආදර්ශයක් වී ඇත්තාහ.
‘ඔබේ අත් හෙළාවැටී නොතිබේවා’
13, 14. (අ) ඇතැම් යුදෙව්වන් යෙහෝවඃවහන්සේට සේවය කිරීමෙන් ඉවත් වූයේ මන්ද, තවද මේ බව පැහැදිලි වූයේ කෙසේද? (ආ) අප කුමක් කිරීම අනුවණ දෙයක් වනු ඇද්ද, තවද අපේ අත් හෙළා වැටීමට අප ඉඩ නොදිය යුත්තේ කවර වැඩය සම්බන්ධයෙන්ද?
13 යෙහෝවඃවහන්සේගේ මහත් දවස ගැන ‘අප බලාසිටින’ අතරතුර, ශෙපනියාගේ අනාවැකියෙන් ප්‍රායෝගික උපකාර අපට ලබාගත හැක්කේ කෙසේද? මුලින්, යෙහෝවඃවහන්සේගේ දවසේ සමීපත්වය පිළිබඳව පහළ වූ සැක නිසා, ශෙපනියාගේ කාලයේ යෙහෝවඃවහන්සේට සේවය කිරීමෙන් ඉවත් වූ යුදෙව්වන් හා සමාන වීමෙන් අප පරෙස්සම් විය යුතුය. එවන් යුදෙව්වන් අනිවාර්යයෙන්ම තම සැක විවෘතව ප්‍රකාශ නොකළද, යෙහෝවඃවහන්සේගේ මහත් දවස ළඟ බව ඔවුන් ඇත්තටම විශ්වාස නොකළ බව ඔවුන් ගත් ක්‍රියාමාර්ගයෙන් පැහැදිලි විය. යෙහෝවඃවහන්සේ ගැන බලාසිටිනවා වෙනුවට ධනය එක්රැස් කිරීමෙහි ඔවුහු නිරතව සිටියහ.—ශෙපනියා 1:12, 13; 3:8.
14 මෙය අපේ හෘද තුළ සැක පැලපදියම් වීමට ඉඩහැරීම සඳහා කාලයක් නොවේ. යෙහෝවඃවහන්සේගේ දවසේ පැමිණීම අපේ මනස්වල හෝ හෘදයන්හි කල්දැමීම කිසිසේත් නුවණට හුරු දෙයක් නොවේ. (2 පේතෘස් 3:1-4, 10) යෙහෝවඃවහන්සේව අනුගමනය කිරීමෙන් ඉවත් වීමෙන් හෝ ස්වකීය සේවයෙහි අපේ ‘අත් හෙළාවැටීමට’ ඉඩ දීමෙන් හෝ අප වැළකී සිටිය යුතුය. “ශුභාරංචිය” දේශනා කිරීමේදී, “අලස අතකින් ක්‍රියා” නොකිරීම මීට ඇතුළත්ය.—හිතෝපදේශ 10:4; මාර්ක් 13:10.
උදාසීනකමට එරෙහිව සටන් කිරීම
15. යෙහෝවඃවහන්සේගේ සේවයෙහි අපේ අත අලස වීමට කුමක් හේතු විය හැකිද, තවද ශෙපනියාගේ අනාවැකියේ මෙම ගැටලුව පුරෝකථනය කරන ලද්දේ කෙසේද?
15 දෙවනුව, උදාසීනකමේ බෙලහීන කරවන බලපෑම සම්බන්ධයෙන් අප අවදිව සිටිය යුතුය. ආත්මික කාරණා ගැන කිසිදු සැලකිල්ලක් නොදැක්වීම, බොහෝ බටහිර රටවල ශුභාරංචිය දේශනාකරන්නන් අතර අධෛර්යයට හේතුවක් විය හැක. එවන් නොසැලකිල්ලක් ශෙපනියාගේ කාලයේදී පැවතිණ. යෙහෝවඃවහන්සේ ස්වකීය අනාගතවක්තෘ ලවා මෙසේ ප්‍රකාශ කළසේක: “ස්වාමීන්වහන්සේ යහපතවත් නපුරවත් කරන්නේ නැතැයි තමුන්ගේ සිත් තුළ සිතාගන්නාවූ මනුෂ්‍යයන්ට දඬුවම්කරන්නෙමි.” (ශෙපනියා 1:12) මෙම වාක්‍ය ඛණ්ඩය පිළිබඳව සිය අදහස් දැක්වීමේදී, එය “මිනිස්වර්ගයාගේ කටයුතුවල උත්කෘෂ්ට බලවේගයක මැදිහත් වීම ගැන කිසිදු හැඟීමක් නැතුව උදාසීන වීමටත් අවිශ්වාසය පවා දැක්වීමටත් පිරිහී තිබෙන” ජනකායකට යොමු දක්වන බව, ඒ. බී. ඩේවිඩ්සන්, කේම්බ්‍රිජ් බයිබල් ෆෝර් ස්කූල්ස් ඇන්ඩ් කොලෙජස් යන ග්රන්ථයෙහි ප්‍රකාශ කළේය.
16. ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි සාමාජිකයන් බොහෝදෙනෙකු අතර කවර මානසික තත්වයක් පවතීද, නමුත් යෙහෝවඃවහන්සේ අපට දෙන දිරිගැන්වීම කුමක්ද?
16 පොළොවේ බොහෝ තැන්වල, විශේෂයෙන්ම වඩාත් ධනවත් රටවල පැතිර පවතින ආකල්පය උදාසීනකම වේ. යෙහෝවඃ දෙවියන්වහන්සේ අපේ කාලයේදී මිනිස් කටයුතුවලට මැදිහත් වෙයි කියා ක්‍රිස්තියානි ලෝකයේ පල්ලිවල සාමාජිකයෝ පවා කිසිසේත් විශ්වාස නොකරති. රාජ්‍යයේ ශුභාරංචිය සමඟින් ඔවුන් කරා ළඟාවීමට අප දරන වෑයම්, අවිශ්වාසයෙන් පිරුණු සිනහ මුසු මුහුණකින් හෝ කෙටියෙන් “නෑ මම කැමති නෑ!” කියා පවසමින්, ඔවුහු නිෂ්ප්‍රභ කරති. මෙවන් තත්වයන් යටතේ, සාක්ෂිදැරීමේ වැඩයෙහි අඛණ්ඩ උත්සාහයක නිරතවීම සැබෑ අභියෝගයක් විය හැක. ඉන් අපේ විඳදරාගැනීම පරීක්ෂණයට ලක් වේ. එහෙත් ශෙපනියාගේ අනාවැකිය මගින්, යෙහෝවඃවහන්සේ ස්වකීය විශ්වාසවන්ත සෙනඟ ප්‍රාණවත් කරන්නේ මෙසේ පවසමිනි: “නුඹේ අත් හෙළාවැටී නොතිබේවා. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ තුළ [අතර, NW] සිටිනසේක, උන්වහන්සේ ගළවන්ට බලවත්වූ තැනැන්වහන්සේය. උන්වහන්සේ සන්තෝෂයෙන් නුඹ කෙරෙහි ප්‍රීතිවී, තමන්ගේ ප්‍රේමයෙහි නිශ්චලව සිටිනසේක, ප්‍රීති ඝෝෂාවෙන් නුඹ කෙරෙහි ප්‍රීතිමත්වනසේක.”—ශෙපනියා 3:16, 17.
17. වෙනත් බැටළුවන් අතර සිටින වඩාත් නවක අය කුමන කදිම ආදර්ශය අනුගමනය කළ යුතුද, තවද ඒ කෙසේද?
17 යෙහෝවඃවහන්සේගේ ජනයාගේ නවීන දින ඉතිහාසය තුළදී, ඉතිරි කොටස මෙන්ම වෙනත් බැටළුවන් අතර සිටින වයසින් මුහුකුරා ගිය අය, මෙම අන්තිම දවස්වල අතිවිශිෂ්ට එක්රැස්කිරීමේ වැඩයක් ඉටු කර ඇති බව අවිවාදයෙන් කිව හැක. ගත වූ දශක ගණනාව පුරා මේ විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් සියලුදෙනාම විඳදරාගැනීම පෙන්වා තිබේ. ක්‍රිස්තියානි ලෝකයේ බහුතරයකගේ උදාසීනකම, අධෛර්යයට පත්වීමට හේතුවක් වීමට ඔවුන් ඉඩ සලසා නැත. එනිසා ආත්මික කාරණා සම්බන්ධයෙන් අදදින බොහෝ දේශවල පැතිර පවතින උදාසීනකම හේතුකොටගෙන, වෙනත් බැටළුවන් අතර වඩාත් නවක අය නොකලකිරේවා! ඔවුන්ගේ අත් ‘හෙළාවැටී තිබීමට’ නොහොත් බෙලහීන වීමට ඔවුහු ඉඩ නොදෙත්වා! මුරටැඹ හා පිබිදෙව්!ද යෙහෝවඃවහන්සේගේ දවස හා ඉන් අනතුරුව පැමිණෙන ආශීර්වාද පිළිබඳ සත්‍යතාව ඉගෙනගැනීමට බැටළු ගුණැති ජනයා වෙනුවෙන් විශේෂයෙන් රචනා කර ඇති වෙනත් කදිම ප්‍රකාශනද ඉදිරිපත් කිරීමට, ඔවුහු සෑම ප්‍රස්තාවක්ම උපයෝගි කරගනිත්වා!
මහත් දවස බලාසිටිමින් ඉදිරියට යන්න!
18, 19. (අ) මතෙව් 24:13හි හා යෙසායා 35:3, 4හි විඳදරාගැනීම සඳහා කවර දිරිගැන්වීමක් අපට සම්බවේද? (ආ) අපි යෙහෝවඃවහන්සේගේ සේවයෙහි එක්සත්ව ඉදිරියට ඇදී යන්නෙමු නම්, අපව ආශීර්වාද කරනු ලබන්නේ කෙසේද?
18 යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක: “අන්තිමය දක්වා ස්ථිරව [විඳදරාගෙන, NW] සිටින්නාම ගැළවෙන්නේය.” (මතෙව් 24:13) එනිසා අප යෙහෝවඃවහන්සේගේ මහත් දවස ගැන අපේක්ෂාවෙන් සිටින අතරතුර, “බෙලහීන අත්” හෝ “වෙවුලන දණහිස්” නොතිබිය යුතුය! (යෙසායා 35:3, 4) යෙහෝවඃවහන්සේ ගැන ශෙපනියාගේ අනාවැකිය බිය සැක දුරුකරමින් මෙසේ ප්‍රකාශ කරයි: “බලවත් කෙනෙකු මෙන්, උන්වහන්සේ ගැළවීම අත් කර දෙනසේක.” (ශෙපනියා 3:17, NW) එසේය, ස්වකීය ජනයාට එරෙහිව දිගටම ‘උදාරම්කම පෙන්වන’ දේශපාලන ජාතීන් සුනු විසුනු කිරීමට ස්වකීය පුත්‍රයාණන්ට විධාන කරන කල්හි, ‘මහත් පීඩාවේ’ අවසන් අදියර තුළින් යෙහෝවඃවහන්සේ “මහත් සමූහය” ගළවනසේක.—එළිදරව් 7:9, 14; ශෙපනියා 2:10, 11; ගීතාවලිය 2:7-9.
19 යෙහෝවඃවහන්සේගේ මහත් දවස එළඹෙනවාත් සමඟ, ජ්වලිතව ඉදිරියට යන අපි, “උරෙන් උර ගැටී” උන්වහන්සේට සේවය කරමු! (ශෙපනියා 3:9, NW) මෙසේ කිරීමෙන්, “ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී සඟවනු” ලැබීමටත් ස්වකීය ශුද්ධ නාමය විශුද්ධ වනවා දැකීමටත් අප මෙන්ම අසංඛ්‍යාත වෙනත් අය සුදුසුකම් ලබනවා නිසැකය.
[පාදසටහන]
a ‘නිර්මල’ නොහොත් “පවිත්‍ර භාෂාව” පිළිබඳව සම්පූර්ණ සාකච්ඡාවක් සඳහා, 1991 අගෝස්තු 1 මුරටැඹ 22-27 පිටු හා 1991 මැයි 1 ද වොච්ටවර් 10-20 පිටු බලන්න.
පුනරීක්ෂණය
◻ ක්‍රිස්තියානි ලෝකයේ ආගමික තත්වය ශෙපනියාගේ කාලයේ ආගමික තත්වයට අනුරූප වන්නේ කවර ආකාරවලින්ද?
◻ අදදින සිටින බොහෝ දේශපාලන නායකයන්, ශෙපනියාගේ කාලයේ ලෞකික ‘අධිපතීන්ට’ සමාන වන්නේ කෙසේද?
◻ ඉතිරි කොටස සම්බන්ධයෙන් ඉටු වී ඇත්තේ ශෙපනියාහි සඳහන් කවර පොරොන්දුද?
◻ මිලියන සංඛ්‍යාත ජනකායකට කුමක් හඳුනාගැනීමට හැකි වී තිබේද?
◻ යෙහෝවඃවහන්සේගේ සේවයෙහි අපේ අත් අලස වීමට අප ඉඩ නොදිය යුත්තේ මන්ද?
[15වන පිටුවේ පින්තූර]
ශෙපනියාට සමානව, අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත විශ්වාසවන්ත ඉතිරි කොටස, නිර්භීතව යෙහෝවඃවහන්සේගේ විනිශ්චයන් ප්‍රකාශ කිරීමෙහි නිරත වී ඇත
[18වන පිටුවේ පින්තූර]
ජනයාගේ උදාසීනකම මගින් අධෛර්යය වීමට ‘වෙනත් බැටළුවන්’ තමන්ට ඉඩ දී නැත