සැබෑ නමස්කාරයේ ජයග්‍රහණය ළඟා වේ
“ස්වාමීන්වහන්සේ මුළු පොළොව කෙරෙහි රජව සිටිනවා ඇත.”—සෙකරියා 14:9.
1. පළමු ලෝක සංග්‍රාමයේදී අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ අද්දැකීම කුමක් වීද, තවද මෙය පුරෝකථනය කරන ලද්දේ කෙසේද?
පළමු ලෝක සංග්‍රාමයේදී, සටන් වදින ජාතීන් අතින් අභිෂේක ලත් ක්‍රිස්තියානීහු දුෂ්කරතා හා සිරගත කිරීම් බොහොමයක් වින්දාහ. යෙහෝවඃවහන්සේට වූ ඔවුන්ගේ ප්‍රශංසා පූජාවන්ට දැඩි සීමා පනවනු ලැබූ අතර, ඔවුහු ආත්මිකව වහල් තත්වයකට ඇද වැටුණාහ. යෙරුසලම පිට අන්තර්ජාතික ප්‍රහාරයක් විස්තර කරන සෙකරියා 14:2හි මේ සියල්ල පුරෝකථනය කර තිබිණ. මෙම අනාවැකියේ සඳහන් නුවර වූ කලි, “ස්වර්ගීය යෙරුසලම” එනම්, දෙවියන්වහන්සේගේ ස්වර්ගික රාජ්‍යය මෙන්ම “දෙවියන්වහන්සේගේද බැටළුපැටවාණන්ගේද සිංහාසනය” තිබෙන ස්ථානය වන්නේය. (හෙබ්‍රෙව් 12:22, 28; 13:14; එළිදරව් 22:3) පොළොව මත සිටි දෙවියන්වහන්සේගේ අභිෂේක ලත් අය එම නුවර නියෝජනය කළහ. ඔවුන් අතර සිටි විශ්වාසවන්ත අය “නුවරින්” වහල්භාවයට යෑමට ප්‍රතික්ෂේප කරමින්, එම ප්‍රහාරයෙන් බේරුණෝය.a
2, 3. (අ) වර්ෂ 1919 පටන් යෙහෝවඃවහන්සේට පිරිනමන නමස්කාරය ජයගෙන ඇත්තේ කෙසේද? (ආ) වර්ෂ 1935 පටන් කුමන වැඩිදියුණු වීම සිදු වී ඇද්ද?
2 වර්ෂ 1919දී, විශ්වාසවන්තව සිටි අභිෂේක ලත් අයව ඔවුන්ගේ වහල් තත්වයෙන් මුදනු ලැබූ අතර, යුද්ධයෙන් පසු පැමිණි සාමකාමී කාලපරිච්ඡේදය ඔවුහු නොපමාව ප්‍රයෝජනයට ගත්හ. ස්වර්ගික යෙරුසලමේ තානාපතීන් වශයෙන්, දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමෙත්, 1,44,000දෙනාගේ අන්තිම සාමාජිකයන් එක්රැස් කිරීමට උපකාර කිරීමෙත් උදාර ප්‍රස්තාව ඔවුහු වහාම අල්ලාගත්හ. (මතෙව් 24:14; 2 කොරින්ති 5:20) වර්ෂ 1931දී, ශුද්ධ ලියවිල්ල මත පදනම් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් යන යෝග්‍ය නම ඔවුහු යොදාගත්හ.—යෙසායා 43:10, 12.
3 එවක් පටන්, දෙවියන්වහන්සේගේ අභිෂේක ලත් සාක්ෂිකරුවෝ, කිසිදාක පසුබට වී නැත්තාහ. ඔවුන්ව නිහඬ කිරීමට, නාට්සි යුද ප්රයත්නයෙන් සන්නද්ධ වූ හිට්ලර්ට පවා නොහැකි විය. ලෝක ව්‍යාප්ත පීඩා හමුවේ, ඔවුන්ගේ වැඩය ලොව පුරා ඵල දරා ඇත. විශේෂයෙන්ම 1935 පටන්, එළිදරව් පොතෙහි පුරෝකථනය කළ, ජාත්‍යන්තර “මහත් සමූහයක්” ඔවුන් හා එක්වී සිටිත්. මොවුන්ද කැපවූ බව්තීස්ම ලත් ක්‍රිස්තියානීන් වන අතර, “තමුන්ගේ සළු [යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන] බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදුකර[ගෙන]” ඇත. (එළිදරව් 7:9, 14) කෙසේවෙතත්, ඔවුහු ස්වර්ගික ජීවිතයක් පිළිබඳ බලාපොරොත්තුව ඇති අභිෂේක ලත් ක්‍රිස්තියානීන් නොවෙති. ආදම් සහ ඒව නැති කරගත් දෙය, එනම්, පාරාදීස පොළොවක පරිපූර්ණ මිනිස් ජීවිතය උරුම කරගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුව වේ. (ගීතාවලිය 37:29; මතෙව් 25:34) අද, මහත් සමූහයට මිලියන පහකට අධික සංඛ්‍යාවක් අයත් වේ. යෙහෝවඃවහන්සේගේ සැබෑ නමස්කාරය ජය ලබමින් සිටී, නමුත් එහි අවසාන ජයග්‍රහණය තවත් ඉදිරියෙහි තිබෙන දෙයකි.
දෙවියන්වහන්සේගේ ආත්මික දේවමාළිගාවෙහි විදේශිකයෝ
4, 5. (අ) මහත් සමූහය යෙහෝවඃවහන්සේට නමස්කාර කරන්නේ කොතැනද? (ආ) ඔවුන් භුක්තිවිඳින වරප්‍රසාද කවරේද, තවද එය කුමන අනාවැකියක ඉටුවීමක් වශයෙන්ද?
4 පුරෝකථනය කර තිබූ පරිදි, මහත් සමූහය, “[දෙවියන්වහන්සේගේ] මාළිගාවේ රෑ දාවල් උන්වහන්සේට සේවයකරති [නමස්කාර කරති, NW පාදසටහන].” (එළිදරව් 7:15) ඔවුන් ආත්මික, පූජක ධුරය හොබවන ඉශ්රායෙල්වරුන් නොවන බැවින්, දේවමාළිගාවේ අන්‍යජාතීන්ගේ පිටත මළුවෙහි ඔවුන් සිටිනවා යොහන් ඇතැම්විට දකින්ට ඇත. (1 පේතෘස් 2:5) ආත්මික ඉශ්රායෙලයේ ඉතිරි කොටස හා එක්ව, යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කරන විශාල සමූහයකින් පිරි උන්වහන්සේගේ ආත්මික දේවමාළිගාව කෙතරම් තේජවත් වී ඇද්ද!
5 අභ්‍යන්තර පූජක මළුවෙන් පිළිබිඹු කරන ලද තත්වය තුළ මහත් සමූහය දෙවියන්වහන්සේට සේවය නොකරති. දෙවියන්වහන්සේ සතු කරගත් ආත්මික පුත්‍රයන් වීමේ අරමුණ සඳහා ඔවුන්ව ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කොට නැත. (රෝම 8:1, 15) කෙසේවෙතත්, යේසුස්වහන්සේගේ මිදීමේ පූජාව කෙරෙහි ඇදහිල්ල දැක්වීම මගින්, යෙහෝවඃවහන්සේ ඉදිරියෙහි පිරිසිදු ස්ථාවරයක් ඔවුන්ට තිබේ. උන්වහන්සේගේ මිතුරන් වීමේ අරමුණ ඇතුව ඔවුන් ධර්මිෂ්ඨ බවට ප්‍රකාශ කරනු ලැබේ. (යාකොබ් 2:21, 23, සසඳන්න.) දෙවියන්වහන්සේගේ ආත්මික පූජාසනය මත පිළිගත හැකි යාග ඉදිරිපත් කිරීමේ වරප්‍රසාදය ඔවුන්ටත් තිබේ. මෙසේ මෙම විශාල සමූහය හා සම්බන්ධව, යෙසායා 56:6, 7හි අනාවැකිය තේජාන්විත ඉටුවීමකට ලක් වෙමින් පවතී: “ස්වාමීන්වහන්සේට මෙහෙකරන්ටත් උන්වහන්සේගේ නාමයට ප්‍රේමකරන්ටත් . . . ස්වාමීන්වහන්සේට එකතුවන්නාවූ . . . විදේශීන් . . . මාගේ ශුද්ධ කන්දට පමුණුවා මාගේ යාච්ඤා-ගෘහයෙහි ඔවුන් ප්‍රීතිවන්ට සලස්වන්නෙමි; ඔවුන්ගේ දවන පූජා සහ යාග මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේය. මක්නිසාද මාගේ ගෘහය සියලු ජනයන්ට යාච්ඤා-ගෘහයක්යයි කියනු ලබන්නේය.”
6. (අ) විදේශිකයන් ඉදිරිපත් කරන්නේ කෙබඳු පූජාද? (ආ) පූජක මළුවේ ජල භාජනය ඔවුන්ට කුමක් සිහිගන්වයිද?
6 “දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන [හොඳින් පිළියෙළ කළ ධාන්‍ය පූජා මෙන්] තොල්වල ඵල වන ප්‍රශංසාව නැමති පූජාව” සහ ‘යහපත්කම් කිරීමත් අනුන්ට බෙදා දීමත්’ මෙම විදේශිකයන් ඔප්පු කරන පූජා අතර වේ. (හෙබ්‍රෙව් 13:15, 16) තම ශරීර සෝදාගැනීමට පූජකයන්ට භාවිත කිරීමට සිදු වූ විශාල ජල භාජනයද මෙම විදේශිකයන්ට වැදගත් සිහිගැන්වීමක් වේ. දෙවියන්වහන්සේගේ වචනය ප්‍රගතිශීලීව ඔවුන්ට පැහැදිලි කරනු ලබද්දී, ආත්මික හා සදාචාර පිරිසිදු කිරීමකටද ඔවුන් යටත් විය යුතුය.
ශුද්ධස්ථානය හා එහි ගෘහ භාණ්ඩ
7. (අ) මහත් සමූහය ශුද්ධ පූජක තන්ත්රයේ වරප්‍රසාද දෙස බලන්නේ කෙසේද? (ආ) ඇතැම් විදේශිකයන් ලබා ඇත්තේ කුමන අමතර වරප්රසාදද?
7 විදේශිකයන්ගෙන් යුත් මෙම මහත් සමූහය සඳහා ශුද්ධස්ථානය හා එහි ගෘහ භාණ්ඩවලට යම් අර්ථයක් තිබේද? ඇත්තෙන්ම, ශුද්ධස්ථානය මගින් පිළිබිඹු කරන ලද තත්වයෙහි ඔවුන් කිසිදාක නොසිටිනු ඇත. ස්වර්ගික පුරවැසිභාවය සහිත දෙවියන්වහන්සේගේ ආත්මික පුත්‍රයන් වශයෙන් ඔවුහු නැවත උත්පාදනය නොවෙති. මෙනිසා ඔවුන් තුළ කුඩුකේඩුකමේ හා ඊර්ෂ්‍යාවේ හැඟීම් පහළ වේද? නැත. ඒ වෙනුවට, 1,44,000දෙනාගේ ඉතිරි කොටසට අත හිත දීමේ වරප්‍රසාදය සම්බන්ධයෙන් ඔවුන් ප්‍රීති වන අතර, මිනිස්වර්ගයාව පරිපූර්ණත්වයට නංවාලීම සඳහා ක්‍රිස්තුස්වහන්සේ සමඟ එකතු වන මෙම ආත්මික පුත්‍රයන් සතු කරගැනීමට වූ දෙවියන්වහන්සේගේ අරමුණට ඔවුහු ගැඹුරු අගයක් දක්වති. එමෙන්ම, පාරාදීසයේ සදාකාල ජීවනය නමැති භූමික බලාපොරොත්තුවක් දානය කිරීමේදී දෙවියන්වහන්සේ දැක්වූ ලබන්ට නොවටිනා තරම් ඉමහත් කරුණාව, මෙම විදේශිකයන්ගෙන් සෑදුණු මහත් සමූහය බෙහෙවින් අගය කරති. පුරාණ කාලයේ නෙතිනීම්වරුන්ට මෙන්, මෙම විදේශිකයන් සමහරදෙනෙකුට ශුද්ධ පූජක තන්ත්රයට උපකාරයක් වශයෙන්, අධීක්ෂණය කිරීමේ වරප්‍රසාද දී තිබේ.b (යෙසායා 61:5) මේ අය අතුරින්, යේසුස්වහන්සේ “මුළු පොළොවෙහි අධිපතීන්” පත් කරනසේක.—ගීතාවලිය 45:16.
8, 9. ශුද්ධස්ථානයෙහි ගෘහ භාණ්ඩ සැලකිල්ලට භාජන කිරීමෙන් මහත් සමූහය ලබාගන්නා ප්‍රයෝජන කවරේද?
8 ඔවුන් කිසිදාක ප්රතිරූපික ශුද්ධස්ථානයට ඇතුල්වීමට වරම් නොලබතත්, එහි තිබෙන ගෘහ භාණ්ඩවලින් විදේශිකයන්ගෙන් සෑදුණු මහත් සමූහය වැදගත් පාඩම් ඉගෙනගනිති. පහන් රුකට නිරන්තරයෙන්ම තෙල් සැපයීමට අවශ්‍ය වූවාක් මෙන්ම, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තුළින් ඉදිරිපත් කරන ලද දේවවචනයෙන් නික්මෙන ප්රගතිශීලී සත්‍යයන් ග්‍රහණය කරගැනීමට විදේශිකයන්ට ශුද්ධාත්මය අවශ්‍යය. (මතෙව් 24:45-47) එපමණක්ද නොව, මෙම ඇරයුමට ප්‍රතිචාරය දැක්වීමට දෙවියන්වහන්සේගේ ආත්මය ඔවුන්ට උපකාර කරයි: “ආත්මයාණන්වහන්සේද මණමාලීද [අභිෂේක ලත් ඉතිරි කොටස]: වරෙන්නැයි කියති. අසන්නාද: වරෙන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.” (එළිදරව් 22:17) මෙබැවින්, ක්‍රිස්තියානීන් වශයෙන් බැබළීමට තමුන්ට වගකීමක් තිබෙන බවත්, ආකල්පයෙන්, සිතුවිල්ලෙන්, වචනයෙන් හෝ ක්‍රියාවෙන් දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයට දුක් දෙනු ඇති ඕනෑම දෙයකින් ඔවුන් වැළකී සිටිය යුතු බවත්, පහන් රුක මහත් සමූහයට සිහිගන්වයි.—එපීස 4:30.
9 ආත්මික ලෙස නිරෝගී තත්වයක සිටීමට නම්, බයිබලයෙන් මෙන්ම, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” ඉදිරිපත් කරන ප්‍රකාශනවලින්ද නිතිපතා පෝෂණය ලබාගත යුතු බව, පිදීමේ රොටි තබන මේසය මහත් සමූහයට සිහිගන්වයි. (මතෙව් 4:4) තම අඛණ්ඩතාව රැකගැනීමේ අටියෙන්, යෙහෝවඃවහන්සේට උනන්දුවෙන් යාච්ඤා කිරීමේ ඇති වැදගත්කම සුවඳ දුම් පූජාසනය ඔවුන්ට සිහිගන්වයි. (ලූක් 21:36) ප්රශංසාවේ හා ස්තුති දීමේ හෘදයාංගම ප්‍රකාශයන් ඔවුන්ගේ යාච්ඤාවලට ඇතුළත් විය යුතුය. (ගීතාවලිය 106:1) ක්‍රිස්තියානි රැස්වීම්වලදී පූර්ණ හෘදයකින් රාජ්‍ය ගීතිකා ගායනා කිරීම මගින් හා බලපෑමෙන් යුක්තව “ගැළවීම පිණිස මුඛයෙන්” කියා දීමට හොඳින් සූදානම් වීම මගින්, වෙනත් ආකාරවලින් දෙවියන්වහන්සේට ප්‍රශංසාව ගෙන දීමේ අවශ්‍යතාව ගැනත් සුවඳ දුම් පූජාසනය ඔවුන්ට සිහිගන්වයි.—රෝම 10:10.
සැබෑ නමස්කාරයේ සම්පූර්ණ ජයග්‍රහණය
10. (අ) අපට අපේක්ෂාවෙන් සිටිය හැක්කේ කුමන උදාර බලාපොරොත්තුව සැබෑවීම සම්බන්ධයෙන්ද? (ආ) පළමුව කුමන වැඩිදියුණු වීම සිදු විය යුතුද?
10 අද සියලු ජාතීන්ගෙන් පැමිණෙන “බොහෝ ජනයෝ” යෙහෝවඃවහන්සේගේ නමස්කාර ගෘහය වෙත එක්රැස් වෙමින් සිටිති. (යෙසායා 2:2, 3) මෙය සනාථ කරමින් එළිදරව් 15:4 මෙසේ ප්‍රකාශ කරයි: “ස්වාමීනි, ඔබගේ නාමයට භය නොවන්නෙත් ගෞරව නොකරන්නෙත් කවුද? මක්නිසාද ඔබ පමණක් ශුද්ධය; එබැවින් සියලු ජාතීන් පැමිණ ඔබ ඉදිරියෙහි නමස්කාරකරනවා ඇත; මක්නිසාද ඔබගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශකරනලද්දේය.” ඊළඟට සිදු වන දේ සෙකරියා 14වන පරිච්ඡේදයෙහි විස්තර කර තිබේ. නුදුරු අනාගතයේදී, ස්වර්ගික යෙරුසලමේ භූමික නියෝජිතයන් වන යෙරුසලමට විරුද්ධව යුද්ධ කිරීම සඳහා අන්තිම වතාවට පොළොව මත ජනයාගෙන් බහුතරයක් එක්රැස් වෙද්දී, ඔවුන්ගේ නරක ආකල්පය උච්චාවස්ථාවකට පැමිණෙනවා ඇත. එවිට යෙහෝවඃවහන්සේ ක්‍රියාත්මක වනසේක. රණශූර දෙවියෙකු ලෙස, උන්වහන්සේ “පිටත්වී,” මෙම ප්‍රහාරය එල්ල කිරීමට එඩිතර වන “ඒ ජාතීන්ට විරුද්ධව යුද්ධකරනවා ඇත.”—සෙකරියා 14:2, 3.
11, 12. (අ) යෙහෝවඃවහන්සේගේ දේවමාළිගාවේ නමස්කාරකයන් පිට සමස්ත ලෝක ප්‍රහාරයක් එල්ල වන විට, උන්වහන්සේ ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? (ආ) දෙවියන්වහන්සේගේ යුද්ධයේ ප්‍රතිඵලය කුමක් වනු ඇද්ද?
11 “යෙරුසලමට විරුද්ධව යුද්ධයට ආවාවූ සියලුම ජනයන්ට ස්වාමීන්වහන්සේ පමුණුවන්නාවූ පීඩාව මේය: ඔවුන් හිටගන සිටිද්දීම ඔවුන්ගේ මාංසය ක්ෂයවන්නේය, ඔවුන්ගේ ඇස් ඒවායේ සිදුරුවලම ක්ෂයවන්නේය; ඔවුන්ගේ දිවද ඔවුන්ගේ කටේම ක්ෂයවන්නේය. ඒ කාලයෙහි මහත් වියවුල්කමක් ස්වාමීන්වහන්සේගෙන් ඔවුන් අතරට පැමිණ, ඔවුන් එකිනෙකාගේ අත අල්ලනවා ඇත, එක්කෙනෙකුගේ අත තවත් කෙනෙකුගේ අතට විරුද්ධව ඔසවනවා ඇත.”—සෙකරියා 14:12, 13.
12 මෙම වසංගතය සැබෑ එකක්ද නැතහොත් උපමේය එකක්ද කියා දැනගැනීමට අපට බලා සිටින්ට සිදු වේවි. කෙසේවෙතත් එක දෙයක් සහතිකය. යෙහෝවඃවහන්සේගේ සේවකයන් පිට සර්ව ලෝක ප්‍රහාරයක් එල්ල කිරීමට දෙවියන්වහන්සේගේ සතුරන් ක්‍රියාත්මක වෙද්දී, දෙවියන්වහන්සේගේ සර්වබලධාරී බලයේ ගරුබිය දනවන ප්‍රකාශවීම් මගින් ඔවුන්ව නවතා දමනු ලබනවා ඇත. ඔවුන්ගේ කටවල් නිහඬ කරනු ලැබේ. විරෝධතාව දක්වන ඔවුන්ගේ දිව් ක්ෂය වූවා හා සමාන වන්නේය. හරියට ඔවුන්ගේ ඇස් ක්ෂය වූවාක් මෙන්, ඔවුන්ගේ එක්සත් ඉලක්කය ඔවුන්ගේ දෘෂ්ටියෙන් මැකී යනු ඇත. ප්‍රහාරය එල්ල කිරීමට ඔවුන් තුළ එඩිතරකමක් ඇති කළ ඔවුන්ගේ කාය ශක්තීන්, ක්ෂය වී යනවා ඇත. මහත් වියවුල්කමින්, ඔවුහු එකිනෙකාට විරුද්ධ වී මහත් ඝාතනයක් සිදු කරන්නෝය. දෙවියන්වහන්සේගේ නමස්කාරයට සතුරුකම දක්වන භූමික සතුරන් සියලුදෙනාවම මෙලෙස තුරන් කරනු ලබනවා ඇත. ඇත්තෙන්ම එකල, යෙහෝවඃවහන්සේගේ විශ්වනීය පරමාධිපත්‍යය පිළිගැනීමට සියලු ජාතීන්ට අනිවාර්යයෙන්ම සිදු වනවා ඇත. මෙම අනාවැකිය ඉටු වන්නේය: “ස්වාමීන්වහන්සේ මුළු පොළොව කෙරෙහි රජව සිටිනවා ඇත.” (සෙකරියා 14:9) ඉන් අනතුරුව, මිනිස්වර්ගයා සඳහා ඉමහත් ආශීර්වාද ඇතුව ක්‍රිස්තුස්වහන්සේගේ දහස් අවුරුදු පාලනය ඇරඹෙත්ම, සාතන්ව හා ඔහුගේ භූතයන්ව බඳිනු ලබනවා ඇත.—එළිදරව් 20:1, 2; 21:3, 4.
භූමික නැවත නැඟිටීම
13. “සියලු ජාතීන්ගෙන් ඉතිරි වෙන” අය කවරහුද?
13 සෙකරියාගේ අනාවැකිය 14වන පරිච්ඡේදයේ 16වන පදයෙහි මෙලෙස දිගටම අදහස් පළ කරයි: “යෙරුසලමට විරුද්ධව ආවාවූ සියලු ජාතීන්ගෙන් ඉතිරි වෙන සියල්ලෝම රජවූ සේනාවල ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්ටත් කූඩාරම් මංගල්‍යය පවත්වන්ටත් අවුරුද්දෙන් අවුරුද්ද නැගීඑන්නෝය.” බයිබලය පවසන පරිදි, මෙම දුෂ්ට පිළිවෙළේ අවසානය දක්වා දිගටම ජීවත් වෙමින්, සැබෑ නමස්කාරයේ සතුරන් හැටියට විනිශ්චය කරනු ලබන සියලු ජනයා, “සදාකාල විනාශයේ දඬුවම” විඳින්නෝය. (2 තෙසලෝනික 1:7-10; මතෙව් 25:31-33, 46ද බලන්න.) ඔවුන්ට නැවත නැඟිටීමක් නොලැබේ. එසේනම්, “ඉතිරි වෙන” අයට ඇතැම්විට ඇතුළත් වන්නේ, දෙවියන්වහන්සේගේ අවසාන මහා යුද්ධයට කලින් මියගිය, බයිබලය මත පදනම් නැවත නැඟිටීමේ බලාපොරොත්තුවක් ඇති ජාතීන්ය. යේසුස්වහන්සේ මෙසේ පොරොන්දු වූසේක: “සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ, යහපත්කම් කළාහු ජීවනයේ නැවත-නැගිටීමටත් නපුරුකම් කළාහු විනිශ්චයේ නැවත-නැගිටීමටත් පිටත්ව එන්නෝය.”—යොහන් 5:28, 29.
14. (අ) සදාකාල ජීවනය අත් කරගැනීමට නැවත නැඟිටුවනු ලබන අය කුමක් කළ යුතුද? (ආ) යෙහෝවඃවහන්සේට කැප වී සැබෑ නමස්කාරය පිළිපැදීමට ප්‍රතික්ෂේප කරන ඕනෑම කෙනෙකුට කුමක් සිදු වේවිද?
14 තමුන්ගේ නැවත නැඟිටීම අහිතකර විනිශ්චය ලැබීමේ එකක් නොව, නමුත් ජීවනයේ එකක් කරගැනීමට නම්, නැවත නැඟිටුවනු ලබන මේ සියලුදෙනා යමක් කළ යුතු වේ. යෙහෝවඃවහන්සේගේ භූමික මළු වෙත පැමිණිය යුතු ඔවුන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට කැපවීම තුළින් උන්වහන්සේට නමස්කාර කළ යුතුය. නැවත නැඟිටුවනු ලබන ඕනෑම කෙනෙක් මෙසේ කිරීමට ප්‍රතික්ෂේප කරන්නේ නම්, වත්මන් ජාතීන්ට අත් වන පීඩාවම විඳින්ට ඔවුන්ටත් සිදු වනු ඇත. (සෙකරියා 14:18) ප්‍රතිරූපක කූඩාරම් මංගල්‍යය පැවැත්වීමට, නැවත නැඟිටුවනු ලබන අයගෙන් කීදෙනෙකු මහත් සමූහය සමඟ සතුටින් එක්රැස් වේවිද කියා කවුද දන්නේ? බොහෝදෙනෙකු සිටින බවට කිසිදු සැකයක් නැති අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් යෙහෝවඃවහන්සේගේ ශ්‍රේෂ්ඨ ආත්මික දේවමාළිගාව තව තවත් තේජසින් වැඩි වනු ඇත.
ප්‍රතිරූපක කූඩාරම් මංගල්‍යය
15. (අ) පුරාණ ඉශ්රායෙලිත කූඩාරම් මංගල්‍යයෙහි ඇතැම් කැපීපෙනෙන අංග සමහරක් මොනවාද? (ආ) එම මංගල්‍යය අතරතුර ගොනුන් 70දෙනෙකු පූජා කරනු ලැබුවේ මන්ද?
15 පුරාණ ඉශ්රායෙල්ට වසරක් වසරක් පාසා කූඩාරම් මංගල්‍යය පැවැත්වීමට නියමිතව තිබිණ. එය සතියක් පැවති අතර, අස්වැන්න නෙළීමෙන් පසු පවත්වන ලදි. එය වූ කලි ස්තුති දීමේ ප්‍රීතිදායක කාලයක් විය. එම සතිය අතරතුර, ගස්වල කොළවලින්, විශේෂයෙන්ම තල් අතුවලින් සෙවිලි කරන ලද තාවකාලික වාසස්ථානවල වාසය කිරීමට ඔවුන්ට සිදු විය. මෙම උත්සවයෙන් ඉශ්රායෙල්වරුන්ට සිහිගන්වනු ලැබුවේ, දෙවියන්වහන්සේ ඔවුන්ගේ ආදි පියවරුන් මිසරයෙන් ගළවාගත් අන්දමත්, පොරොන්දු දේශය කරා ළඟාවීමට කලින් අවුරුදු 40ක් කාන්තාරයේ සැරිසරද්දී ඔවුන් කූඩාරම්වල ජීවත් වන අතරතුර උන්වහන්සේ ඔවුන්ව රැක බලාගත් අන්දමත්ය. (ලෙවී කථාව 23:39-43) එම උත්සවය අතරතුර, දේවමාළිගා පූජාසනය මත ගොනුන් 70දෙනෙකුව පූජා කරන ලදි. මංගල්‍යයේ මෙම අංගය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් සිදු කරන ලද පරිපූර්ණ මෙන්ම අංග සම්පූර්ණ ජීවිත ගළවන සේවයේ අනාවැකිමය දැක්වීමක් බව සාක්ෂිවලින් පැහැදිලිය. උන්වහන්සේගේ මිදීමේ පූජාවේ ප්‍රයෝජන අවසානයේදී නෝවාගෙන් පැවත ආ මිනිස්වර්ගයාගේ පවුල් 70හි අසංඛ්‍යාත පැවතෙන්නන් වෙත ගලායනවා ඇත.—උත්පත්ති 10:1-29; ගණන් කථාව 29:12-34; මතෙව් 20:28.
16, 17. (අ) ප්‍රතිරූපක කූඩාරම් මංගල්‍යය ආරම්භ වූයේ කවදාද, තවද එය දිගටම ගෙනයනු ලැබුවේ කෙසේද? (ආ) මහත් සමූහය උත්සවය පැවැත්වීමට සහභාගි වූයේ කෙසේද?
16 මෙසේ පුරාණ කූඩාරම් මංගල්‍යය, මුදාගත් පව්කාරයන් ප්‍රීතිදායක ලෙස යෙහෝවඃවහන්සේගේ ශ්‍රේෂ්ඨ ආත්මික දේවමාළිගාවට එක්රැස් කරන අන්දම වෙත යොමු දැක්වීය. ක්‍රිස්තියානි සභාව තුළට ආත්මික ඉශ්‍රායෙලිතයන් ප්‍රීතිදායක ලෙස එක්රැස් කිරීමේ ආරම්භයත් සමඟ, පො.යු. 33හි පෙන්තකොස්ත දවසේදී මෙම මංගල්‍යයේ ප්‍රතිරූපය ආරම්භ විය. (ක්‍රියා 2:41, 46, 47) මෙම අභිෂේක ලත් අය තමුන් සාතන්ගේ ලෝකයේ “තාවකාලික වැසියන්” බව අගය කළෝය, මන්දයත් ඔවුන්ගේ සැබෑ “නාගරිකත්වය ස්වර්ගයෙහි” පවතින බැවිනි. (1 පේතෘස් 2:11, NW; පිලිප්පි 3:20) ක්‍රිස්තියානි ලෝකය බිහිවීමට තුඩු දුන් ඇදහිල්ල අත්හැරයෑමේ ප්‍රතිඵලයක් වශයෙන්, මෙම ප්‍රීතිදායක මංගල්‍යය තාවකාලිකව යටපත් වී ගියේය. (2 තෙසලෝනික 2:1-3) කෙසේවෙතත්, ආත්මික ඉශ්රායෙල්ට අයත් 1,44,000න් ඉතිරි වූ සාමාජිකයන්ව ප්‍රීතිමත් ලෙස එක්රැස් කිරීම සමඟින් එම මංගල්‍යය 1919දී යළි ඇරඹුණු අතර, ඉන් අනතුරුව එළිදරව් 7:9හි සඳහන් ජාත්‍යන්තර මහත් සමූහය එකතු කිරීම ඇරඹිණ.
17 මහත් සමූහය සිය අත්වල තාලපත්‍ර ඇතුව සිටින බව දක්වා ඇති අතර, ඔවුන්ද ප්‍රතිරූපක කූඩාරම් මංගල්‍යයේ ප්‍රීතිදායක පවත්වන්නන් වන බව මින් පෙන්නුම් කෙරේ. කැප වූ ක්‍රිස්තියානීන් වශයෙන්, යෙහෝවඃවහන්සේගේ දේවමාළිගාවට තව තවත් නමස්කාරකයන් එක්රැස් කිරීමේ වැඩයෙහි ඔවුහු ප්‍රීතිමත් ලෙස සහභාගි වෙති. එපමණක්ද නොව, පව්කාරයන් වශයෙන්, තමුන්ට පොළොව මත වාසය කිරීමට ස්ථිර අයිතිවාසිකම් නැති බව ඔවුහු ඒත්තුගෙන සිටිති. අනාගතයේදී නැවත නැඟිටුවනු ලබන අය සමඟ, ඔවුන්, ක්‍රිස්තුස්වහන්සේගේ දහස් අවුරුදු පාලන සමය අවසානයේදී මිනිස් පරිපූර්ණත්වය අත් කරගන්නා තාක් කල්, ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ පූජාව කෙරෙහි දිගටම ඇදහිල්ල පැවැත්විය යුතුය.—එළිදරව් 20:5.
18. (අ) යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දහස් අවුරුදු පාලන සමය අවසානයේදී කුමක් සිදු වනු ඇද්ද? (ආ) යෙහෝවඃවහන්සේට පිරිනමන සැබෑ නමස්කාරය අවසානයේදී ජයග්‍රහණය කරන්නේ කෙසේද?
18 ස්වර්ගික පූජක තන්ත්රයක අවශ්‍යතාව නොමැතිව, දෙවියන්වහන්සේගේ මිහිපිට සිටින නමස්කාරකයන් මිනිස් පරිපූර්ණත්වයෙන් යුතුව එකල උන්වහන්සේ ඉදිරියෙහි සිටිනු ඇත. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “රාජ්‍යය පියවූ දෙවියන්වහන්සේට භාරදෙන” අවස්ථාව එවිට උදා වී තිබෙනු ඇත. (1 කොරින්ති 15:24) පරිපූර්ණත්වය අත් කරගෙන ඇති මිනිස් සංහතිය පරීක්ෂා කිරීම සඳහා සාතන්ව “ස්වල්ප කලකට” මුදනු ලබනවා ඇත. සාතන් හා ඔහුගේ භූතයන් සමඟින්, අවිශ්වාසවන්ත ඕනෑම කෙනෙකුව සදහටම විනිශ්චය කරනු ලබන්නේය. විශ්වාසවන්තව සිටින අයට සදාකාල ජීවනය දානය කරනු ලබන්නේය. ඔවුහු භූමික පාරාදීසයේ ස්ථිර පදිංචිකරුවෝ වන්නෝය. මෙසේ ප්‍රතිරූපක කූඩාරම් මංගල්‍යය එවිට තේජාන්විත සාර්ථක නිමාවක් කරා ළඟා වනු ඇත. යෙහෝවඃවහන්සේට සදාකාලික තේජසද මිනිස්වර්ගයාට සදාකාලික සන්තෝෂයද ලබා දෙමින්, එවිට සැබෑ නමස්කාරය ජයග්‍රහණය කරන්නේය.—එළිදරව් 20:3, 7-10, 14, 15.
[පාදසටහන්වල]
a සෙකරියා 14වන පරිච්ඡේදයේ ඡේදයෙන් ඡේදයට අර්ථ දැක්වීමක් සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් 1972දී ප්‍රකාශිත පැරඩයිස් රෙස්ටෝර්ඩ් ටු මැන්කයින්ඩ්—බයි තියොක්රසි!, 21 හා 22 පරිච්ඡේද බලන්න.
b නවීන දින නෙතිනීම්වරුන් ගැන වැඩිමනත් තොරතුරු සඳහා, 1992 සැප්තැම්බර් 15 මුරටැඹ 16වන පිටුව බලන්න.
පුනරීක්ෂණ ප්‍රශ්න
◻ පළමු ලෝක සංග්‍රාමයේදී “යෙරුසලම” ප්‍රහාරයට ලක් වූයේ කෙසේද?—සෙකරියා 14:2.
◻ වර්ෂ 1919 පටන් දෙවියන්වහන්සේගේ සෙනඟට සිදු වී තිබෙන්නේ කුමක්ද?
◻ ප්‍රතිරූපක කූඩාරම් මංගල්‍යය පැවැත්වීමෙහි අදදින සහභාගි වන්නේ කවුද?
◻ සැබෑ නමස්කාරය මුළුමනින්ම ජයග්‍රහණය කරනු ඇත්තේ කෙසේද?
[23වන පිටුවේ පින්තූරය]
කූඩාරම් මංගල්‍යය පැවැත්වීමේදී තාලපත්‍ර භාවිත කරන ලදි