යෙහෝවඃවහන්සේ සමාදානය හා සැබෑකම බහුලව දෙනසේක
“මම . . . ඔවුන්ට සුවකොට, බොහෝ සමාදානය සහ සැබෑකම ඔවුන්ට ප්‍රකාශ කරන්නෙමි.”—යෙරෙමියා 33:6.
1, 2. (අ) සාමය සම්බන්ධයෙන්, ජාතීන්ගේ වාර්තාව කවරේද? (ආ) පොදු යුගයට පෙර 607දී, යෙහෝවඃවහන්සේ ඉශ්රායෙල්වරුන්ට සමාදානය පිළිබඳව කෙබඳු පාඩමක් ඉගැන්වූසේක්ද?
සමාදානය! මොනතරම් චිත්තාකර්ෂණීය දෙයක්ද, එනමුත් ඉතිහාසය පුරා එය කොතරම් දුර්ලභ දෙයක් වී තිබේද! විශේෂයෙන්ම 20වන සියවස, සමාදානයේ සියවසක් වී නැත. ඒ වෙනුවට, මිනිස් ඉතිහාසය තුළ වඩාත්ම විනාශකාරි යුද්ධ දෙකම සිදු වී තිබෙන්නේ මේ කාලය තුළදීය. පළමු ලෝක සංග්රාමයෙන් පසු, ලෝක සාමය පවත්වාගැනීම සඳහා ජාතීන්ගේ සංගමය පිහිටුවනු ලැබීය. එම සංවිධානය අසමත් විය. දෙවන ලෝක සංග්රාමයෙන් පසු, එම ඉලක්කයම පෙරදැරි කරගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවන ලදි. එය කෙතරම් අසමත් වෙමින් පවතිනවාද කියා දැකගැනීමට අප කළ යුත්තේ දිනපතා පුවත්පත් කියවීම පමණි.
2 මිනිස් සංවිධානවලට සාමය ගෙන ඒමට නොහැකි වීම ගැන අප පුදුමයට පත්විය යුතුද? කිසිසේත් නැත. අවුරුදු 2,500කට ඉහතදී, දෙවියන්වහන්සේගේ තෝරාගත් සෙනඟ වූ ඉශ්රායෙල්වරුන්ට මේ සම්බන්ධයෙන් පාඩමක් උගන්වන ලදි. පොදු යුගයට පෙර සත්වන සියවසේදී, බලපවත්වමින් සිටි ලෝක බලය වූ බබිලෝනිය අතින් ඉශ්රායෙල්වරුන්ගේ සාමයට තර්ජනයක් එල්ල විය. සාමය සඳහා ඉශ්රායෙල්වරු මිසරයේ පිහිට පැතූහ. මිසරය අසමත් විය. (යෙරෙමියා 37:5-8; එසකියෙල් 17:11-15) පොදු යුගයට පෙර 607දී, යෙරුසලමේ තාප්ප බිඳ හෙළූ බබිලෝනිය හමුදා, යෙහෝවඃවහන්සේගේ දේවමාළිගාව පුලුස්සා දැමූහ. මෙසේ ඉශ්රායෙල්වරුන් මිනිස් සංවිධාන මත රඳා සිටීමේ නිෂ්ඵලකම ඉගෙනගත්තේ මහත් අසීරුතාවකට මුහුණ දෙමිනි. සාමය භුක්තිවිඳිනවා වෙනුවට, බබිලෝනියේ වහල්භාවය තුළට බලෙන් ජාතිය ගෙන යන ලදි.—2 ලේකම් 36:17-21.
3. යෙරෙමියා තුළින් පළ වූ යෙහෝවඃවහන්සේගේ වදන්වල ඉටුවීමක් වශයෙන්, සමාදානය පිළිබඳව අතිවැදගත් දෙවන පාඩමක් ඉශ්රායෙල්වරුන්ට ඉගැන්වූයේ කවර ඓතිහාසික සිදුවීම්ද?
3 කෙසේවෙතත්, යෙරුසලමේ වැටීමට කලින්, ඉශ්රායෙල් වෙත සැබෑ සාමය ගෙනෙන්නේ මිසරය නොව, තමන්වහන්සේ බව යෙහෝවඃවහන්සේ එළිදරව් කර තිබිණ. යෙරෙමියා කරණකොටගෙන උන්වහන්සේ මෙසේ පොරොන්දු වූසේක: “මම . . . ඔවුන්ට සුවකොට, බොහෝ සමාදානය සහ සැබෑකම ඔවුන්ට ප්‍රකාශ කරන්නෙමි. යූදාවරුන්ගේ වාල්කමත් ඉශ්රායෙල්වරුන්ගේ වාල්කමත් මම පහකොට මුලදී මෙන් ඔවුන් ගොඩනගන්නෙමි.” (යෙරෙමියා 33:6, 7) පොදු යුගයට පෙර 539දී, බබිලෝනිය පරාජය කර ඉශ්රායෙල් ජාතික වහලුන්ට නිදහස ඉදිරිපත් කරනු ලැබූ විට, යෙහෝවඃවහන්සේගේ පොරොන්දුව ඉටුවීමට පටන්ගත්තේය. (2 ලේකම් 36:22, 23) පොදු යුගයට පෙර 537 අවසන්භාගය වන විට, අවුරුදු 70කින් පසු පළමු වතාවට ඉශ්රායෙල්වරුන්ගෙන් යුත් කණ්ඩායමක් ඉශ්රායෙල් භූමියේ කූඩාරම් මංගල්‍යය පැවැත්වූහ. මංගල්‍යයෙන් පසු, ඔවුහු යෙහෝවඃවහන්සේගේ දේවමාළිගාව නැවත ගොඩනැඟීමෙහි නිරත වූහ. ඔවුන්ට මේ සම්බන්ධයෙන් හැඟුණේ කෙසේද? වාර්තාවෙහි මෙසේ පැවසේ: “ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම දමන නිසා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකළ විට මුළු සෙනඟ මහත් ඝෝෂාවකින් ඝෝෂාකළෝය.”—එස්රා 3:11.
4. දේවමාළිගාව ගොඩනැඟීමේ වැඩය කිරීමට යෙහෝවඃවහන්සේ ඉශ්රායෙල්වරුන්ව පෙලඹවූයේ කෙසේද, තවද උන්වහන්සේ සමාදානය සම්බන්ධයෙන් දුන් පොරොන්දුව කුමක්ද?
4 එහෙත් එම සතුටින් පිරි ආරම්භයෙන් පසු, විරුද්ධවාදිකම් පෑ අය හේතුවෙන් අධෛර්යයට පත් ඉශ්රායෙල්වරු, දේවමාළිගාව ඉදි කිරීමේ වැඩය නතර කළෝය. වසර කිහිපයකට පසු, නැවත ගොඩනැඟීමේ වැඩය නිම කිරීමට ඉශ්රායෙල්වරුන්ව පෙලඹවීම සඳහා යෙහෝවඃවහන්සේ හග්ගයි සහ සෙකරියා යන අනාගතවක්තෲන් දෙදෙනාට ආනුභාවය දුන්සේක. ගොඩනැඟීමට තිබූ දේවමාළිගාව ගැන හග්ගයි මෙසේ පවසනවා අසන්ට ලැබීම ඔවුන් තුළ මොනතරම් උද්යෝගයක් ඇති කරන්ට ඇද්ද: “මේ ගෘහයේ අන්තිම තේජස පළමු එකේ තේජසට වඩා මහත්වන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. මේ ස්ථානයෙහිදී මම සමාදානය දෙන්නෙමි”!—හග්ගයි 2:9.
යෙහෝවඃවහන්සේ ස්වකීය පොරොන්දු ඉටු කරනසේක
5. සෙකරියා අටවන පරිච්ඡේදය පිළිබඳව කැපීපෙනෙන්නේ කුමක්ද?
5 පොදු යුගයට පෙර හයවන සියවසේදී විසූ දෙවියන්වහන්සේගේ සෙනඟ ශක්තිමත් කළ දේවානුභාවය ලත් දර්ශන හා අනාවැකි රාශියක් ගැන බයිබලයේ සෙකරියා නමැති පොතෙහි අපට කියවීමට තිබේ. අපට මෙම අනාවැකිම යෙහෝවඃවහන්සේගේ සහය ලැබෙන බවට නිරන්තර සහතිකයක් ලබා දෙයි. යෙහෝවඃවහන්සේ ස්වකීය සෙනඟට අදදිනත් සාමය දෙන බව විශ්වාස කිරීමට ඒවා අපට හැම හේතුවක්ම ලබා දෙයි. උදාහරණයක් වශයෙන්, සිය නම දරන පොතෙහි අටවන පරිච්ඡේදයෙහි, අනාගතවක්තෘ සෙකරියා: ‘යෙහෝවඃවහන්සේ මෙසේ කියනසේක,’ යන වදන් දස වරක් සඳහන් කරන්නේය. ඒ සෑම අවස්ථාවකදීම, දෙවියන්වහන්සේගේ සෙනඟ සතු සමාදානය හා සම්බන්ධ දිව්‍ය ප්රකාශනයක් මෙම ප්‍රකාශය මගින් හඳුන්වනු ලැබේ. සෙකරියාගේ කාලයේදීම මෙම පොරොන්දු සමහරක් ඉටු විය. අදදින සියල්ල ඉටු වී තිබේ, එසේ නැතහොත් ඉටුවෙමින් පවතී.
‘මම සියොන් උදෙසා ජ්වලිත වන්නෙමි’
6, 7. යෙහෝවඃවහන්සේ ‘මහත් කෝපයෙන් සියොන් ගැන ජ්වලිතව සිටියේ’ කවර අන්දම්වලින්ද?
6 මෙම ප්‍රකාශය පළමු වරට සෙකරියා 8:2හි දක්නට ලැබෙන අතර, අපට එහි මෙසේ කියවීමට තිබේ: “මම සියොන් උදෙසා මහත් ජ්වලිතයෙන් ජ්වලිතවී, මහත් කෝපයෙන් ඈ ගැන ජ්වලිතව සිටිමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.” යෙහෝවඃවහන්සේ ස්වකීය සෙනඟ වෙනුවෙන් ඉමහත් සේ ජ්වලිත වීමෙන්, එනම් ඊර්ෂ්‍යාවක් ඇතුව සිටීමෙන් අදහස් කළේ, උන්වහන්සේ ඔවුන්ගේ සමාදානය යළි පිහිටුවීමට අවදිව සිටින බවය. ඉශ්‍රායෙල්ව ඇගේ දේශයෙහි යළිත් පදිංචි කරවීමද, දේවමාළිගාව යළිත් ගොඩනැංවීමද වූ කලි එම ජ්වලිතයට සාක්ෂි විය.
7 එහෙත්, යෙහෝවඃවහන්සේගේ සෙනඟට විරුද්ධ වූ අය සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? ස්වකීය සෙනඟ සඳහා වූ උන්වහන්සේගේ ජ්වලිතයට සමානව, මෙම සතුරන්ට එරෙහිව උන්වහන්සේගේ ‘මහත් කෝපය’ ඇවිළෙන්නේය. විශ්වාසවන්ත යුදෙව්වන් නැවත ඉදි කරන ලද දේවමාළිගාවෙහි නමස්කාර කළ විට, දැන් වැටී තිබුණු බලවත් බබිලෝනියේ ඉරණම ගැන මෙනෙහි කිරීමට ඔවුන්ට හැකි වනු ඇත. දේවමාළිගාව යළි ගොඩනැංවීම වැළැක්වීමට වෑයම් කර තිබූ සතුරන් මුළුමනින්ම අසාර්ථක වූ අන්දම ගැන කල්පනා කිරීමටත් ඔවුන්ට හැකි වනු ඇත. (එස්රා 4:1-6; 6:3) තවද යෙහෝවඃවහන්සේ ස්වකීය පොරොන්දුව ඉටු කර තිබීම වෙනුවෙන් උන්වහන්සේට ස්තුති කිරීමටද ඔවුන්ට හැකි වනු ඇත. උන්වහන්සේගේ ජ්වලිතය ඔවුන්ට ජය අත් කරදුන්නේය!
“සැබෑකමේ නුවර”
8. සෙකරියාගේ දවස්වල, ඊට පෙර කාලවලට වෙනස්ව, යෙරුසලම සැබෑකමේ නගරයක් බවට පත්වනු ඇත්තේ කෙසේද?
8 දෙවන වරටත් සෙකරියා: ‘යෙහෝවඃවහන්සේ මෙසේ කියනසේක,’ කියා ලියයි. මෙම අවස්ථාවේදී යෙහෝවඃවහන්සේගේ වදන් කවරේද? “මම සියොන්ට හැරී ආවෙමි, යෙරුසලම තුළද වාසයකරන්නෙමි. යෙරුසලමට සැබෑකමේ නුවරය කියාද සේනාවල ස්වාමීන්වහන්සේගේ කන්ද වන ශුද්ධවූ කන්දය කියාද නම් තබන්ට යෙදේ.” (සෙකරියා 8:3) පොදු යුගයට පෙර 607ට කලින්, යෙරුසලම කිසිදු අන්දමකින්වත් සැබෑකමේ නුවරක් නොවීය. ඇගේ පූජකයන් හා අනාගතවක්තෲන් දූෂිතවද, ඇගේ සෙනඟ නොඇදහිලිකාරවද සිටියෝය. (යෙරෙමියා 6:13; 7:29-34; 13:23-27) මෙවිට දේවමාළිගාව නැවත ගොඩනැඟීමෙහි නිරත වෙමින් සිටි දෙවියන්වහන්සේගේ සෙනඟ, නිර්මල නමස්කාරය සඳහා තම බැඳීම පෙන්වමින් සිටියෝය. යෙහෝවඃවහන්සේ යළිත් වරක් යෙරුසලමෙහි ආත්මාකාරයෙන් වාසය කළසේක. යෙරුසලම තුළ නැවතත් නිර්මල නමස්කාරයේ සත්‍යතාවන් ගැන කතා කරනු ලැබූ නිසා, එයට “සැබෑකමේ නුවර” කියා ඇමතීමට හැකි විය. ඇගේ උත්කෘෂ්ට තත්වය ‘යෙහෝවඃවහන්සේගේ කන්ද’ හැටියට හැඳින්විය හැකි විය.
9. වර්ෂ 1919දී, “දෙවියන්වහන්සේගේ ඉශ්රායෙල්” විසින් තත්වය සම්බන්ධයෙන් කුමන කැපීපෙනෙන වෙනසක් අද්දකිනු ලැබීද?
9 මෙම ප්‍රකාශයන් දෙක පුරාතන ඉශ්රායෙල් සඳහා අර්ථවත්බවකින් යුක්ත වූ අතරම, 20වන සියවසේ නිමාව කරා ඇදෙද්දී, ඒවා අපටත් බොහෝ සෙයින් අර්ථවත් වේ. පුරාතන ඉශ්රායෙලය බබිලෝනියේ වහල්භාවය තුළට පිවිසුණාක් මෙන්, මීට අවුරුදු 80කට පමණ ඉහතදී, පළමු ලෝක සංග්‍රාමය අතරතුර, එවකට “දෙවියන්වහන්සේගේ ඉශ්රායෙල්” නියෝජනය කළ ස්වල්ප දහසක් වූ අභිෂේක ලත් අය ආත්මික වහල්භාවය තුළට පිවිසියෝය. (ගලාති 6:16) අනාවැකිමය ලෙස, ඔවුන්ව විස්තර කරන ලද්දේ වීථියේ තිබෙන මළකඳන් හැටියටය. ඒ කෙසේවෙතත්, යෙහෝවඃවහන්සේට “ආත්මයෙන්ද සැබෑකමෙන්ද” නමස්කාර කිරීමට ඔවුන් තුළ අවංක ආශාවක් තිබිණ. (යොහන් 4:24) එබැවින්, 1919දී, ඔවුන්ව වහල්කමින් නිදහස් කළ යෙහෝවඃවහන්සේ, ආත්මික වශයෙන් ඔවුන්ගේ මළ තත්වයෙන් ඔවුන්ව ඉවතට ගෙනාසේක. (එළිදරව් 11:7-13) මෙසේ ප්‍රබල අන්දමකින් එසේය කියා පවසමින් යෙහෝවඃවහන්සේ යෙසායාගේ මෙම අනාවැකිමය ප්‍රශ්නයට උත්තර දුන්සේක: “එක දවසකදී දේශයක් උපදිනවා ඇද්ද? නොහොත් සෙනගක් එකවිටම උපදිනවා ඇද්ද?” (යෙසායා 66:8) වර්ෂ 1919දී, යෙහෝවඃවහන්සේගේ සෙනඟ යළිත් වරක් ආත්මික ජාතියක් වශයෙන් තමාගේම ‘දේශයෙහි’ නොහොත් පොළොව මත ආත්මික ඉඩමෙහි සිටියහ.
10. වර්ෂ 1919 පටන්, අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සිය ‘දේශයෙහි’ භුක්තිවිඳ ඇත්තේ කවර ආශීර්වාදද?
10 එම දේශයෙහි සුරැකිව සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීහු, යෙහෝවඃවහන්සේගේ ශ්‍රේෂ්ඨ ආත්මික දේවමාළිගාවෙහි සේවය කළෝය. “විශ්වාසවූ නුවණ ඇති දාසයා” වශයෙන් පත් කරනු ලැබූ ඔවුහු, යේසුස්වහන්සේ සන්තක භූමික සියල්ල බලා කියා ගැනීමේ වගකීම පිළිගත්තෝය, 20වන සියවස එහි නිමාව කරා ඇදී එත්ම, ඔවුන් තවමත් භුක්තිවිඳින වරප්රසාදයකි එය. (මතෙව් 24:45-47) යෙහෝවඃවහන්සේ “සමාදානයේ දෙවියන්වහන්සේම” බවට වූ පාඩම ඔවුහු මැනවින් ඉගෙනගත්තෝය.—1 තෙසලෝනික 5:23.
11. ක්‍රිස්තියානි ලෝකයේ ආගමික නායකයන් දෙවියන්වහන්සේගේ සෙනඟගේ සතුරන් බව පෙන්නුම් කර තිබෙන්නේ කෙසේද?
11 එහෙත්, දෙවියන්වහන්සේගේ ඉශ්රායෙල්හි සතුරන් ගැන කුමක් කිව හැකිද? ස්වකීය සෙනඟ සඳහා වූ යෙහෝවඃවහන්සේගේ ජ්වලිතයට සමානව, විරුද්ධවාදීන්ට එරෙහිව ස්වකීය කෝපය ඇවිළෙන්නේය. සැබෑව කතා කරන මෙම ක්‍රිස්තියානීන්ගෙන් යුත් කුඩා කණ්ඩායම අතු ගා දැමීමට ප්රයත්නයක් වශයෙන්, ක්‍රිස්තියානි ලෝකයේ ආගමික නායකයෝ පළමු ලෝක සංග්‍රාමය අතරතුර ඉමහත් පීඩන ගෙන ආහ, එනමුත් ඔවුහු අසාර්ථක වූහ. දෙවන ලෝක සංග්‍රාමයේදී, ක්‍රිස්තියානි ලෝකයේ දේවගැතියන් එක්සත්ව කටයුතු කළේ එක දෙයක් කිරීමේදී පමණකි: ගැටුමේ දෙපැත්තේ සිටම, ඔවුන් ආණ්ඩුවලින් උදක්ම ඉල්ලා සිටියේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් මර්දනය කරන්ට කියාය. අදදින පවා, දේශ බොහොමයක ආගමික නායකයෝ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි දේශනා කිරීමේ කර්තව්‍යය සීමා කිරීමට හෝ තහනම් කිරීමට හෝ ආණ්ඩු පෙලඹීමෙහි නිරතව සිටිති.
12, 13. යෙහෝවඃවහන්සේගේ කෝපය ක්‍රිස්තියානි ලෝකයට එරෙහිව ප්‍රකාශ කරනු ලබන්නේ කෙසේද?
12 මෙය යෙහෝවඃවහන්සේගේ අවධානයෙන් ඉවත් වී තිබෙනවා නොවේ. පළමු ලෝක සංග්රාමයෙන් පසුව, මහ බබිලෝනියේ ඉතිරි කොටස් සමඟින් ක්‍රිස්තියානි ලෝකය යම් වැටීමක් අද්දුටූහ. (එළිදරව් 14:8) වර්ෂ 1922 පටන්, ක්‍රිස්තියානි ලෝකයේ ආත්මික වශයෙන් මළ තත්වය ප්‍රසිද්ධියේ නිරාවරණය කරමින්, මතු පැමිණෙන ඇගේ විනාශය ගැන අනතුරු අඟවමින් සංකේතාත්මක වසංගත මාලාවක් වගුරුවනු ලැබූ විට, ඇගේ වැටීම පිළිබඳ යථාර්ථය මහජනයාගේ අවධානයට යොමු විය. (එළිදරව් 8:7–9:21) මෙම වසංගත දිගටම වගුරුවනු ලබන බවට සාක්ෂියක් වශයෙන්, 1995 අප්‍රියෙල් 23වන දින ලෝක ව්‍යාප්තව “බොරු ආගමේ අවසානය ළඟය” යන කතාව ඉදිරිපත් කරන ලදි, ඉන් අනතුරුව රාජ්‍ය ආරංචි යන්නෙහි විශේෂ කලාපයක පිටපත් මිලියන සිය ගණනක් බෙදාහරින ලදි.
13 අදදින, ක්‍රිස්තියානි ලෝකය දුක්මුසු තත්වයක සිටී. විසිවන සියවස පුරා, ඇගේ පූජකයන් හා දේවගැතියන්ගේ ආශීර්වාද ඇතුව සටන් කරන ලද කුරිරු යුද්ධවලදී ඇගේ සාමාජිකයෝ එකිනෙකාව මරුමුවට පත් කොට ඇත්තාහ. ඇතැම් දේශවලට ඇයට බලතල නැති තරම්ය. මහ බබිලෝනියේ ඉතිරි කොටස් සමඟින් ඇයට හිමිවන ඉරණම විනාශයයි.—එළිදරව් 18:21.
යෙහෝවඃවහන්සේගේ ජනයා සඳහා සමාදානය
14. සමාදානයෙන් සිටින සෙනඟක් පිළිබඳව දී තිබෙන්නේ කවර විචිත්‍ර අනාවැකිමය විස්තරයද?
14 අනික් අතට, යෙහෝවඃවහන්සේගේ තෙවන ප්රකාශනයෙහි වාර්තා වී ඇති පරිදි, මෙම 1996 වසරේදී, යෙහෝවඃවහන්සේගේ සෙනඟ සිය නැවත පිහිටුවන ලද දේශයෙහි සමාදානය බහුල වශයෙන් භුක්තිවිඳිති: “මහල්ලෝද මහලු ස්ත්‍රීහුද එකිනෙකා වයස් වැඩිකම නිසා තමාගේ සැරයටිය අතේ තබාගන යෙරුසලමේ වීථිවල ඉඳගන ඉන්නවා ඇත. එහි වීථිවල සෙල්ලම්කරන පිරිමි ළමයින්ගෙන් හා ගෑනු ළමයින්ගෙන් නුවර වීථි පිරී තිබෙන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.”—සෙකරියා 8:4, 5.
15. ජාතීන් අතර යුද්ධ තිබුණත්, යෙහෝවඃවහන්සේගේ සේවකයන් භුක්තිවිඳ තිබෙන්නේ කෙබඳු සමාදානයක්ද?
15 යුද්ධයෙන් දෙදරා ගිය මෙම ලෝකය තුළ යම්කිසි විශිෂ්ට දෙයක් මෙම රමණීය වූ විචිත්‍ර විස්තරයෙන් පිළිබිඹු වේ—එනම් සමාදානයෙන් සිටින සෙනඟකි. වර්ෂ 1919 පටන්, යෙසායාගේ අනාවැකිමය වදන් ඉටු වී තිබේ: “දුර සිටින්නාටත් ළඟ සිටින්නාටත් සමාදානය වේවා, සමාදානය වේවා; මම ඔහු සුවකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. නුමුත් . . . දුෂ්ටයන්ට සමාදානය නැතැයි මාගේ දෙවියන්වහන්සේ කියනසේක.” (යෙසායා 57:19-21) ලෝකයේ කොටසක් නොවී සිටින යෙහෝවඃවහන්සේගේ සෙනඟට ජාතීන්ගේ කෝලාහලවලින් බලපෑම් ලැබීමෙන් වැළකිය නොහැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ. (යොහන් 17:15, 16) ඇතැම් දේශවල, ඔවුහු දරුණු දුෂ්කරතා විඳදරාගනිත්, තවද ස්වල්පදෙනෙකු මරුමුවට පවා පත් කොට තිබේ. එහෙත්, සැබෑ ක්‍රිස්තියානීන්ට ප්‍රධාන ක්‍රම දෙකකට අනුව සමාදානය තිබේ. පළමුව, ඔවුහු “[සිය] ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය ඇතුව” සිටිත්. (රෝම 5:1) දෙවනුව, ඔවුන් එකිනෙකා අතර සමාදානය පවතී. “පළමුකොට පිරිසිදුව, ඊළඟට සමාදානව,” පවතින “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” ඔවුහු වගා කරති. (යාකොබ් 3:17; ගලාති 5:22-24) එපමණක්ද නොව, “මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය,” යන්න සිදු වන විට, වඩාත් සම්පූර්ණ වූ අර්ථයෙන් සමාදානය භුක්තිවිඳීමට ඔවුහු අපේක්ෂාවෙන් සිටිති.—ගීතාවලිය 37:11.
16, 17. (අ) ‘මහල්ලන්ද මහලු ස්ත්‍රීන්ද’ ‘පිරිමි ළමයින්ද ගැහැනු ළමයින්ද’ යෙහෝවඃවහන්සේගේ සංවිධානය ශක්තිමත් කර තිබෙන්නේ කෙසේද? (ආ) යෙහෝවඃවහන්සේගේ සෙනඟගේ සමාදානය විදහාපෙන්වන්නේ කුමක්ද?
16 යෙහෝවඃවහන්සේගේ සෙනඟ අතර “මහල්ලෝද මහලු ස්ත්‍රීහුද,” එනම් යෙහෝවඃවහන්සේගේ සංවිධානය මුලින්ම ලබාගත් ජයග්‍රහණ මතකයේ තිබෙන අභිෂේක ලත් අය, තවමත් සිටිත්. ඔවුන්ගේ විශ්වාසවන්තකමද විඳදරාගැනීමද බෙහෙවින් අගය කරනු ලැබේ. වඩාත් තරුණ අභිෂේක ලත් ක්‍රිස්තියානීහු, 1930ගණන්වල හා දෙවන ලෝක සංග්‍රාමයේ දුෂ්කර කාලවල මෙන්ම, ඉන් අනතුරුව පැමිණි ප්රබෝධජනක වර්ෂවලදී පෙරමුණ ගත්හ. ඇරත්, විශේෂයෙන්ම 1935 පටන්, ‘වෙනත් බැටළුවන්ගෙන්’ සමන්විත “මහත් සමූහය” ප්‍රකාශ වී තිබේ. (යොහන් 10:16; එළිදරව් 7:9) අභිෂේක ලත් ක්‍රිස්තියානීහු වයසට යමින් තව තවත් අඩු වෙත්ම, දේශනා කිරීමේ කර්තව්‍යයට හවුල් වී සිටින වෙනත් බැටළුවෝ එය පොළොව පුරා ව්‍යාප්ත කොට ඇත්තාහ. මෑත වර්ෂවලදී, දෙවියන්වහන්සේගේ සෙනඟගේ දේශයට වෙනත් බැටළුවන් විශාල සංඛ්‍යාවක් එක්රොක්ව ඇත. ඇයි, පසුගිය වසරේදී පමණක්, යෙහෝවඃවහන්සේට තමුන් කළ කැපවීමේ සංකේතයක් වශයෙන් ඔවුන්ගෙන් 3,38,491දෙනෙක් බව්තීස්ම වූහ! ආත්මික කෝණයකින් ගත් කල, එවන් නවකයෝ ඇත්තවශයෙන්ම ඉතා ළා බාලව සිටිත්. “සිංහාසනයෙහි වැඩහිඳින අපේ දෙවියන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත්” කෘතඥපූර්වක ප්‍රශංසා ගී ගයන අයගේ සංඛ්‍යාවට එකතු වන ඔවුන්ගේ නැවුම්බව හා උද්යෝගය ඉමහත් සේ අගය කරනු ලැබේ.—එළිදරව් 7:10.
17 අදදින, ‘පිරිමි ළමයින්ගෙන් හා ගෑනු ළමයින්ගෙන්,’ එනම් යෞවනයන් සමාන කාය ශක්තියකින් පූර්ණ වූ සාක්ෂිකරුවන්ගෙන් ‘නුවර වීථි පිරී තිබේ.’ එක්දහස් නවසිය අනූපහ සේවා වර්ෂයේදී, දේශ හා දූපත් 232කින් වාර්තා ලැබිණ. එහෙත් අභිෂේක ලත් අය සහ වෙනත් බැටළුවන් අතර කිසිදු අන්තර්ජාතික තරඟකාරිබවක්වත්, අන්තර් ගෝත්‍රික බද්ධ වෛරයක්වත්, නුසුදුසු ඊර්ෂ්‍යාවක්වත් නොතිබේ. සියලුදෙනාම ප්‍රේමය තුළ එක්සත් වෙමින් එකට ආත්මික ලෙස වර්ධනය වූහ. ලෝක දර්ශනය තුළ දක්නට ලැබෙන සැබවින්ම අද්විතීය අංගලක්ෂණයකි, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ලෝකව්‍යාප්ත සහෝදරත්වය.—කොලොස්සි 3:14; 1 පේතෘස් 2:17.
යෙහෝවඃවහන්සේට දුෂ්කර වැඩිද?
18, 19. වර්ෂ 1919 පටන් වර්ෂවලදී, මිනිස් දෘෂ්ටිකෝණයෙන් දුෂ්කර වැඩියයි ඇතැම්විට පෙනී ගිය දේවල් යෙහෝවඃවහන්සේ කෙසේ ඉටු කළසේක්ද?
18 වර්ෂ 1918දී, ආත්මික වහල්භාවය තුළ සිටි අභිෂේක ලත් ඉතිරි කොටස අධෛර්යයට පත්වූ ආත්ම ස්වල්ප දහසකින් සමන්විත වූ කල්හි, දේවල් සිදු වන අනුපිළිවෙළ කිසිවෙකුට කල්තියා දැනගත නොහැකි විය. කෙසේවෙතත්, යෙහෝවඃවහන්සේ දැන සිටිසේක, මෙය ස්වකීය සිව්වන අනාවැකිමය ප්‍රකාශය මගින් ගෙනහැර දක්වනු ලැබේ: “සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මේ සෙනගගෙන් ඉතිරි අයට ඒ දවස්වලදී ඒක පුදුමයක්ව පෙනුණත් මටත් පුදුමයක්ව පෙනේදැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.”—සෙකරියා 8:6.
19 වර්ෂ 1919දී, ඉදිරිය සඳහා තිබූ වැඩයට යෙහෝවඃවහන්සේගේ ආත්මය ස්වකීය සෙනඟව ප්‍රකෘතිමත් කළේය. එහෙත්, යෙහෝවඃවහන්සේගේ නමස්කාරකරන්නන්ගෙන් යුත් කුඩා සංවිධානයට විශ්වාසවන්තව සිටීමට ඇදහිල්ල අවශ්‍ය විය. ඔවුන් ඉතා කුඩා සෙනඟක් වූ අතර, බොහෝ දේවල් අපැහැදිලි තත්වයක පැවතීය. කෙසේවෙතත්, සංවිධානාත්මක අන්දමින් ඔවුන්ව ටිකෙන් ටික ශක්තිමත් කළ යෙහෝවඃවහන්සේ, ශුභාරංචිය දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ ක්‍රිස්තියානි වැඩය කිරීමට ඔවුන්ව සන්නද්ධ කළසේක. (යෙසායා 60:17, 19; මතෙව් 24:14; 28:19, 20) මධ්‍යස්ථභාවය හා විශ්වනීය පරමාධිපත්‍යය වැනි වාදයට හේතු වූ වැදගත් විෂයන් හොඳින් තේරුම්ගැනීමට උන්වහන්සේ ඔවුන්ට කෙමෙන් කෙමෙන් උපකාර කළසේක. එම කුඩා සාක්ෂිකාර කණ්ඩායම උපයෝගි කරගනිමින් ස්වකීය කැමැත්ත ඉටු කිරීම යෙහෝවඃවහන්සේට දුෂ්කර යමක් වීද? මීට උත්තර පැහැදිලිව නැත වේ! මෙම සඟරාවේ 12-15 පිටුවල දැක්වෙන 1995 සේවා වර්ෂය සඳහා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රියාකාරකම් විස්තර කරන සටහනේ මෙය පැහැදිලිව ගෙනහැර දක්වා තිබේ.
“මමත් එසේම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි”
20. අනාවැකි අනුව දෙවියන්වහන්සේගේ සෙනඟ එක්රැස් කිරීම කොතරම් ව්‍යාප්ත වන යමක් වීමට තිබිණද?
20 පස්වන ප්‍රකාශයෙන් තවදුරටත් පෙන්නුම් කරන්නේ, අදදින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සන්තෝෂදායක තත්වයයි: “බලව, මම මාගේ සෙනග නැගෙනහිර දේශයෙන්ද බස්නාහිර දේශයෙන්ද මුදා, ඔවුන් යෙරුසලම තුළ වාසයකරන පිණිස ඔවුන් ගෙනෙන්නෙමි; ඔව්හු සැබෑකමෙනුත් ධර්මිෂ්ඨකමෙනුත් මාගේ සෙනගවන්නෝය, මමත් එසේම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.”—සෙකරියා 8:7, 8.
21. යෙහෝවඃවහන්සේගේ සෙනඟගේ බහුල සමාදානය පවත්වා තිබෙන්නේ හා ව්‍යාප්ත කර තිබෙන්නේ කුමන ආකාරයකින්ද?
21 වර්ෂ 1996දී, ලොව පුරා, ‘නැඟෙනහිර දේශය’ සිට ‘බස්නාහිර දේශය’ දක්වා ශුභාරංචිය දේශනා කර තිබෙන බව අපට කිසිදු සැකයකින් තොරව පැවසිය හැක. සියලු ජාතීන්ගෙන් පැමිණ ඇති ජනකායක් ගෝලයන් බවට පත් වී ඇති අතර, ඔවුන් යෙහෝවඃවහන්සේගේ මෙම පොරොන්දුවේ ඉටුවීම අද්දැක ඇත: “නුඹේ සියලුම දරුවෝද ස්වාමීන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝ වෙති; නුඹේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය.” (යෙසායා 54:13) අපට සමාදානය තිබෙන්නේ යෙහෝවඃවහන්සේ විසින් අපව දැනුවත් කරනු ලබන නිසාය. මෙය පෙරදැරි කරගෙන, භාෂා 300කින් පොත් පත් ප්‍රකාශයට පත් කෙරේ. පසුගිය අවුරුද්දේදී පමණක්, අමතරව භාෂා 21ක් එකතු කරනු ලැබීය. දැන් මුරටැඹ සඟරාව භාෂා 111කින්ද පිබිදෙව්! භාෂා 54කින්ද සමගාමීව පළ වේ. දෙවියන්වහන්සේගේ සෙනඟ තුළ තිබෙන සමාදානය ප්‍රසිද්ධියේ පෙන්නුම් කිරීමට ජාතික හා අන්තර්ජාතික සමුළු ඉවහල් වේ. සතිපතා රැස්වීම්, අපව එක්සත් කරවන අතරම, නොසැලී සිටීම සඳහා අපට අවශ්‍ය දිරිගැන්වීම ලබා දෙයි. (හෙබ්‍රෙව් 10:23-25) එසේය, යෙහෝවඃවහන්සේ ස්වකීය සෙනඟ “සැබෑකමෙනුත් ධර්මිෂ්ඨකමෙනුත්” දැනුවත් කරනසේක. උන්වහන්සේ ස්වකීය සෙනඟ වෙත සමාදානය දානය කරනසේක. එම නිමක් නැති සමාදානයට පංගුකාරයන් වීම අපහට මොනතරම් ආශීර්වාදයක්ද!
ඔබට පහදා දිය හැකිද?
◻ නවීන කාලවලදී, යෙහෝවඃවහන්සේ ස්වකීය සෙනඟ වෙනුවෙන් ‘මහත් කෝපයකින් ජ්වලිත වී’ තිබෙන්නේ කෙසේද?
◻ යුද්ධයෙන් දෙදරා ගිය දේශවල පවා, යෙහෝවඃවහන්සේගේ ජනයා සමාදානය භුක්තිවිඳින්නේ කෙසේද?
◻ ‘පිරිමි ළමයින්ගෙන් හා ගෑනු ළමයින්ගෙන් නුවර වීථි පිරී තිබෙන්නේ’ කවර ආකාරයකින්ද?
◻ යෙහෝවඃවහන්සේගේ සෙනඟට උන්වහන්සේ විසින් උගන්වනු ලැබීමට හැකි වන පරිදි, කවර සැපයුම් පිළියෙළ කොට තිබේද?
[12-15වන පිටුවල වගුව]
ලෝක ව්‍යාප්ත යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ 1995 සේවා වසරේ වාර්තාව
(මුද්‍රිත පිටපත බලන්න)
[8, 9වන පිටුවේ පින්තූරය]
පොදු යුගයට පෙර හයවන සියවසේදී, දේවමාළිගාව යළිත් ගොඩනැඟූ විශ්වාසවන්ත යුදෙව්වන් ඉගෙනගත්තේ, සමාදානය සඳහා රඳා පැවතිය හැකි එකම ප්රභවය යෙහෝවඃවහන්සේ බවය