‘සැබෑකමටත් සමාදානයටත් ප්‍රේම කරන්න’!
“සේනාවල ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: . . . සැබෑකමටත් සමාදානයටත් ප්රේමවෙයල්ලා.”—සෙකරියා 8:18, 19.
1, 2. (අ) සාමය සම්බන්ධයෙන් ගත් කල මිනිස්වර්ගයා තබා තිබෙන වාර්තාව කවරේද? (ආ) මෙම වත්මන් ලොව කිසිදාක සැබෑ සාමය නොදකිනු ඇත්තේ මන්ද?
“ලෝකය කිසිදාකවත් සාමය අද්දැක නැහැ. කොතැනක හරි—බොහෝවිට එක වරම බොහෝ තැන්වල—යුද්ධ අඛණ්ඩව පැවත තිබෙනවා.” මෙසේ පැවසුවේ, අ.එ.ජ. මැසචුසෙට්ස් සරසවියේ මහාචාර්ය මිල්ටන් මයර්ය. මිනිස් සංහතිය පිළිබඳව මොනතරම් දුක්මුසු අදහස් ප්‍රකාශයක්ද! මිනිසාට සාමය වුවමනා වී තිබෙන බව සැබෑය. රෝම අධිරාජ්‍යයේ කාලවල රෝම සාමය සිට ශීත යුද්ධ සමයේ “අන්‍යොන්‍ය වශයෙන් සහතික කරන ලද විනාශය” නමැති ප්‍රතිපත්තිය දක්වා, එය පවත්වාගැනීමට දේශපාලනඥයෝ විවිධාකාර ක්‍රම අත්හදා බලා ඇත්තාහ. එහෙත්, අවසානයේදී, ඔවුන්ගේ සියලු ප්රයත්න නිෂ්ඵල වී ඇත. යෙසායා සියවස් බොහොමයකට පෙර කාරණය පහදා දුන් පරිදි, ‘සමාදානයේ තානාපතීන් දුක්ඛිත ලෙස අඬා ඇත.’ (යෙසායා 33:7) ඒ මන්ද?
2 ඒ මන්දයත් කල්පවතින සාමය උදා විය යුතු වන්නේ වෛරය හා ගිජුකමින් තොර තත්වයක් තුළින් බැවිනි; එය සත්‍යය තුළ මුල්බැස තිබිය යුතුය. සාමය බොරුව මත පදනම් විය නොහැක. පුරාතන ඉශ්රායෙල් සඳහා ප්රතිසංස්කරණයක් හා සමාදානය ගැන පොරොන්දු වූ විට, යෙහෝවඃවහන්සේ මෙසේ පැවසුවේ එනිසාය: “බලව, මම සමාදානය ගංගාවක් මෙන්ද ජාතීන්ගේ තේජස ඉතිරෙන ඔයක් මෙන්ද ඈ වෙතට හරවමි.” (යෙසායා 66:12) සාතන් නමැති යක්ෂයා වන මේ දේවල පිළිවෙළේ දෙවියා, “මිනීමරන්නෙක්ය,” මනුෂ්යඝාතකයෙක්ය, එමෙන්ම “බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.” (යොහන් 8:44; 2 කොරින්ති 4:4) මෙවන් දෙවිකෙනෙකු සතු ලොවක ඇත්තෙන්ම සාමය පැවතිය හැක්කේ කෙසේද?
3. යෙහෝවඃවහන්සේගේ ජනයා කරදර පිරි ලොවක ජීවත් වනවා වුවත්, උන්වහන්සේ ස්වකීය ජනයාට දානය කර තිබෙන්නේ කුමන චමත්කාරජනක දීමනාවද?
3 එහෙත්, යෙහෝවඃවහන්සේගේ සෙනඟ යුද්ධයෙන් දෙදරා ගිය සාතන්ගේ ලෝකයේ ජීවත් වුවද, උන්වහන්සේ ඔවුන්ට සමාදානය දානය කිරීම අතිවිශිෂ්ට දෙයකි. (යොහන් 17:16) පොදු යුගයට පෙර හයවන සියවසේ, යෙරෙමියා තුළින් ඉදිරිපත් කරනු ලැබූ ස්වකීය පොරොන්දුව ඉටු කළ උන්වහන්සේ, ස්වකීය විශේෂ ජාතිය සිය මව්බිමෙහි යළිත් පදිංචි කළ විට, ඔවුන්ට “සමාදානය සහ සැබෑකම” දානය කළසේක. (යෙරෙමියා 33:6) තවද මෙම අන්තිම දවස්වලදී, මේ දක්වා මේ ලෝකයේ දැක තිබෙන අසීරුම කරදරකාරි කාලය තුළින් ගමන් කරමින් ඔවුන් ජීවත්ව සිටියත්, උන්වහන්සේ ස්වකීය සෙනඟට ඔවුන්ගේ ‘දේශයෙහි’ නොහොත් භූමික වූ ආත්මික ඉඩමෙහි, ‘සමාදානයත් සැබෑකමත්’ දානය කර ඇත. (යෙසායා 66:8; මතෙව් 24:7-13; එළිදරව් 6:1-8) සෙකරියා 8වන පරිච්ඡේදය අප තවදුරටත් සාකච්ඡාවට භාජන කරත්ම, දෙවියන්වහන්සේ දානය කරන මෙම සමාදානය හා සැබෑකම ගැන අප වඩාත් ගැඹුරු අගය කිරීමක් වර්ධනය කරගන්නා අතරම, එතුළ අපේ පංගුකාරකම පවත්වාගැනීමට අප කුමක් කළ යුතුද කියා දැකගත යුතුය.
“නුඹලාගේ අත් බලවත් වේවා”
4. සමාදානය අද්දැකීමට නම්, සෙකරියා ඉශ්‍රායෙල්ව දිරිගැන්වූයේ කෙලෙස ක්‍රියා කිරීමටද?
4 සෙකරියා 8වන පරිච්ඡේදයේ හයවන වතාවට අපි යෙහෝවඃවහන්සේගෙන් හද දනවන ප්‍රකාශයක් අසමු: “සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සේනාවල ස්වාමීන්වහන්සේගේ ගෘහය වන මාළිගාව ගොඩනැගීමට එහි අත්තිවාරම තැබූ දවසේදී අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් ලැබුණ මේ වචන මේ දවස්වලදී අසන්නාවූ නුඹලාගේ අත් බලවත් වේවා. මක්නිසාද මේ දවස්වලට පළමුවෙන් මනුෂ්‍යයාට කුලියක් ලැබුණේවත් මෘගයාට කුලියක් තිබුණේවත් නැත; පිටතට යන අයටත් ඇතුළට එන අයටත් එදිරිකාරයා නිසා සමාදානය තිබුණෙත් නැත. එසේය, මම සියලු මනුෂ්‍යයන් එකිනෙකාට විරුද්ධකෙළෙමි.”—සෙකරියා 8:9, 10.
5, 6. (අ) ඉශ්රායෙල්වරුන් අධෛර්යයට පත් වූ නිසා, ඉශ්රායෙල්හි පැවති තත්වය කවරේද? (ආ) ඉශ්රායෙල් යෙහෝවඃවහන්සේට පිරිනමන නමස්කාරයට පළමු තැන දුන්නා නම්, උන්වහන්සේ කුමන වෙනස් කිරීමක් පොරොන්දු වූසේක්ද?
5 යෙරුසලමේ දේවමාළිගාව නැවත ගොඩනැඟෙමින් තිබූ විට සෙකරියා මෙම වදන් පැවසීය. මීට කලින්, බබිලෝනියෙන් නැවත පැමිණි ඉශ්රායෙල්වරු අධෛර්යයට පත්ව දේවමාළිගාව ඉදි කිරීමේ වැඩය නතර කළහ. තමුන්ගේ සැප පහසුව සලසාගැනීම කෙරෙහි ඔවුන් අවධානය යොමු කළ නිසා, ඔවුන්ට යෙහෝවඃවහන්සේගෙන් ආශීර්වාදයක්වත් සමාදානයක්වත් ලැබුණේ නැත. ඔවුන් සිය ඉඩම්වල වගා කළත්, සිය මිදි වතු නඩත්තු කළත්, ඔවුහු සමෘද්ධිමත් නොවූහ. (හග්ගයි 1:3-6) එය හරියට ඔවුන්ට වැඩ සඳහා ‘කුලියක් නොලැබුණා’ වැනිය.
6 දැන් දේවමාළිගාව නැවත ඉදි කරනු ලබමින් තිබූ නිසා, යුදෙව්වන්ට “බලවත් වේවා” කියාද, අභීතව යෙහෝවඃවහන්සේගේ නමස්කාරය පළමු තැනට දමන්ට කියාද සෙකරියා දිරිගැන්වීය. ඔවුන් එසේ කළා නම්, කුමක් සිදුවනු ඇද්ද? “දැන් මේ සෙනගගෙන් ඉතිරි අයට මම පළමු දවස්වල මෙන් නොකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද සමාදාන බීජ තිබෙයි; මුද්‍රිකවැල එහි ඵලද භූමිය එහි අස්වැන්නද ආකාශය එහි පිනිද දෙනවා ඇත; මේ සෙනගගෙන් ඉතිරි අයට මේ සියල්ල උරුමකරදෙන්නෙමි. එම්බා යූදා වංශය, එම්බා ඉශ්රායෙල් වංශය, නුඹලා ජාතීන් අතරෙහි ශාපයක්ව සිටියාක්මෙන් නුඹලා ආශීර්වාදයක් වෙන හැටියට මම නුඹලා ගළවන්නෙමි. භය නොවෙල්ලා, නුඹලාගේ අත් බලවත් වේවා.” (සෙකරියා 8:11-13) ඉශ්රායෙල් අධිෂ්ඨානපූර්වකව ක්‍රියා කළේ නම්, ඇය සමෘද්ධිමත් වනු නියතය. මීට පෙර, ශාපයේ ආදර්ශයක් පෙන්නුම් කිරීමට ජාතීන්ට වුවමනා වූ විට, ඔවුන්ට ඉශ්‍රායෙල්ව ගෙනහැර දැක්විය හැකි විය. දැන් ඉශ්රායෙල් ආශීර්වාදය පිළිබඳ ආදර්ශයක් වනු ඇත. ‘තමුන්ගේ අත් බලවත් කරගැනීමට’ මොනතරම් විශිෂ්ට හේතුවක්ද!
7. (අ) යෙහෝවඃවහන්සේගේ ජනයා අද්දැක තිබෙන්නේ, 1995 සේවා වසරේදී මුදුන් පත්ව තිබෙන කවර හද දනවන වෙනස්කම්ද? (ආ) වාර්ෂික වාර්තාව දෙස බලමින් ඔබට පෙනෙන පරිදි, ප්‍රචාරකයන්, පුරෝගාමීන් හා පැයවල සාමාන්‍යය සම්බන්ධයෙන් කැපීපෙනෙන වාර්තාවක් ඇත්තේ කුමන රටවලටද?
7 අදදින ගැන කුමක් කිව හැකිද? හොඳයි, 1919ට කලින් වර්ෂවල, යෙහෝවඃවහන්සේගේ ජනයා යම්තාක් දුරට ජ්වලිතකමේ ඌනතාවකින් පෙළුණේය. පළමු ලෝක සංග්‍රාමය තුළදී සම්පූර්ණයෙන්ම මධ්‍යස්ථ ස්ථාවරයක් නොගත් ඔවුහු, තම රජු වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අනුගමනය කරනවා වෙනුවට මිනිසෙකු අනුගමනය කිරීමට ප්‍රවණතාවක් දැක්වූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සංවිධානය තුළින් හා පිටින් පැමිණි විරුද්ධවාදිකම් හේතුකොටගෙන ඇතමෙක් අධෛර්යයට පත් වූහ. එවිට, යෙහෝවඃවහන්සේගේ උපකාරය ඇතුව, 1919දී ඔවුහු සිය අත් බලවත් කරගත්හ. (සෙකරියා 4:6) යෙහෝවඃවහන්සේ ඔවුන්ට සමාදානය දානය කළ අතරම, ඔවුහු ප්‍රබල ලෙස සමෘද්ධිමත් වූහ. එක්දහස් නවසිය අනූපහ සේවා වර්ෂයේ මුදුන් පත් වී තිබෙන මෙය, පසුගිය අවුරුදු 75 ඇතුළත් ඔවුන්ගේ වාර්තාවේ දැකගත හැක. සමූහයක් වශයෙන්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, ජාතිවාදය, ගෝත්රිකවාදය, අගතිය හා වෛරයේ අන් සියලු මූලාශ්‍ර මඟහරිති. (1 යොහන් 3:14-18) ඔවුහු යෙහෝවඃවහන්සේගේ ආත්මික දේවමාළිගාවෙහි, උන්වහන්සේට අව්‍යාජ ජ්වලිතයකින් යුතුව සේවය කරති. (හෙබ්‍රෙව් 13:15; එළිදරව් 7:15) පසුගිය අවුරුද්දේදී පමණක්, ඔවුහු තම ස්වර්ගික පියාණන් ගැන අනුන්ට කතා කිරීමෙහිලා පැය බිලියනයකට වඩා වැය කළහ! ඔවුහු සෑම මසකම, බයිබල් පාඩම් 48,65,060ක් පැවැත්වූහ. සාමාන්‍යයෙන් 6,63,521දෙනෙක් පමණ පුරෝගාමී සේවයෙහි සහභාගි වූහ. සිය නමස්කාරයේදී සැබවින්ම උද්යෝගවත් වන ජනතාවක් පිළිබඳව උදාහරණයක් දීමට ක්‍රිස්තියානි ලෝකයේ දේවගැතියන්ට වුවමනා වන විට, ඔවුහු ඇතැම්විට, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව ගෙනහැර දක්වති.
8. එක් එක් ක්‍රිස්තියානි පුද්ගලයාට ‘සමාදානයේ බීජවලින්’ කෙසේ ප්‍රයෝජන නෙළා ගත හැකිද?
8 ඔවුන්ගේ ජ්වලිතය නිසා, යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයාට “සමාදාන බීජ” දානය කරනසේක. මෙම බීජ වගා කරන සෑම පුද්ගලයෙක්ම, තම හදවත තුළද තම ජීවිතය තුළද සමාදානය වර්ධනය වන අන්දම දකින්නේය. යෙහෝවඃවහන්සේ හා සෙසු ක්‍රිස්තියානීන් සමඟ සමාදානයෙන් කටයුතු කිරීමට යත්න දරන ඇදහිලිවන්ත සෑම ක්‍රිස්තියානි භක්තිකයෙක්ම, යෙහෝවඃවහන්සේගේ නම දරන ජනයා සතු සැබෑකමට හා සමාදානයට පංගුකාරයෝ වෙත්. (1 පේතෘස් 3:11; සසඳන්න යාකොබ් 3:18.) එය පුදුමාකාර දෙයක් නොවේද?
“භය නොවෙල්ලා”
9. යෙහෝවඃවහන්සේ පොරොන්දු වූයේ ස්වකීය ජනයා සමඟ කටයුතු කරන අන්දම කවර ආකාරයකින් වෙනස් කරන බවටද?
9 දැන් අපි යෙහෝවඃවහන්සේගෙන් ලැබෙන සත්වන ප්‍රකාශය කියවමු. ඒ කුමක්ද? “සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ පියවරුන් මා උදහස්කෙරෙවු විට නුඹලා විපත්තියට පමුණුවන්ට අදහස්කොට මා නොතැවී සිටියාක්මෙන්ම, මේ දවස්වලදී යෙරුසලමටත් යූදා වංශයටත් යහපත කරන්ට මම නැවත අදහස්කරගන සිටිමි. භය නොවෙල්ලායයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.”—සෙකරියා 8:14, 15.
10. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් බියෙන් වෙළී කටයුතු කර නැති බව පෙන්වන්නේ ඔවුන් පිළිබඳ කුමන වාර්තාවද?
10 පළමු ලෝක සංග්‍රාමය අතරතුර යෙහෝවඃවහන්සේගේ ජනයා ආත්මික අන්දමකින් විසිර ගොස් සිටියත්, හරි දේ කිරීමට ඔවුන්ට හෘදයාංගම කැමැත්තක් තිබිණ. එබැවින්, යම් හික්මවීමක් ලබා දීමෙන් පසු, යෙහෝවඃවහන්සේ ඔවුන් සමඟ තමන් කටයුතු කළ ආකාරය වෙනස් කළසේක. (මලාකි 3:2-4) අදදින, ආපසු හැරී බලන අපි, උන්වහන්සේ කර තිබෙන සියල්ල වෙනුවෙන් උන්වහන්සේට මහත් උනන්දුවෙන් තුති පුදමු. අපට “සියලු ජාතීන් විසින් වෛරකරනු” ලැබ තිබෙන බව සැබෑය. (මතෙව් 24:9) බොහෝදෙනෙකුව සිරගත කොට තිබෙන අතර, ඇතමෙක් තම ඇදහිල්ල වෙනුවෙන් මරුමුවට පවා පත්ව ඇත්තාහ. අපි නිතරම පාහේ උදාසීනකමට හෝ එදිරිවාදිකම්වලට මුහුණ දෙන්නෙමු. එහෙත් අපි භය නොවෙමු. දෘශ්‍යමාන හෝ අදෘශ්‍යමාන ඕනෑම එදිරිවාදිකමකට වඩා යෙහෝවඃවහන්සේ බලවත් බව අපි දනිමු. (යෙසායා 40:15; එපීස 6:10-13) අපි මෙම වදන්වලට අවනත වීම අත්නොහරින්නෙමු: “ස්වාමීන් කෙරෙහි බලාසිටුව. ශක්තිමත් වෙව, තාගේ සිත ධෛර්යවත් වේවා.”—ගීතාවලිය 27:14.
“එකිනෙකා තම තමුන්ගේ අසල්වාසියා සමග සැබෑව කථාකරපල්ලා”
11, 12. යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයාට දෙන ආශීර්වාදවලට පූර්ණ ලෙස පංගුකාරයන් වීමට අප කැමති නම්, අප පෞද්ගලිකව කුමක් සිහියෙහි තබාගත යුතුද?
11 යෙහෝවඃවහන්සේගෙන් ලැබෙන ආශීර්වාදවල සම්පූර්ණ පංගුකාරයන් වීම සඳහා, අප සිහියේ තබාගත යුතු ඇතැම් දේවල් තිබේ. සෙකරියා මෙසේ පවසයි: “නුඹලා විසින් කටයුතු දේ මේවාය—එකිනෙකා තම තමුන්ගේ අසල්වාසියා සමග සැබෑව කථාකරපල්ලා; නුඹලාගේ දොරටුවල සැබෑලෙසත් සමාදානය පිණිසත් විනිශ්චයකරපල්ලා. නුඹලාගේ සිත්වලින් එකිනෙකාට විරුද්ධව නපුරු යෝජනා නොකරල්ලා; බොරු දිවිරීමට ප්‍රිය නොවෙල්ලා. මක්නිසාද මේ සියල්ලටම මම ද්වේෂකරමියි ස්වාමීන්වහන්සේ කියනසේක.”—සෙකරියා 8:16, 17.
12 සැබෑව කතා කරන්න කියා යෙහෝවඃවහන්සේ අපෙන් උදක්ම ඉල්ලා සිටිනසේක. (එපීස 4:15, 25) අවැඩ සහිත දේවල් කූටෝපායෙන් සැලසුම් කරන අයගේද, පෞද්ගලික වාසිය තකා සැබෑව සඟවන අයගේද, බොරු දිවුරුම් දෙන අයගේද යාච්ඤා උන්වහන්සේට නොඇසේ. (හිතෝපදේශ 28:9) උන්වහන්සේ ඇදහිල්ල අත්හැරයෑම ද්වේෂ කරන බැවින්, අප බයිබල් සත්‍යතාව තදින් අල්ලාගෙන සිටීම උන්වහන්සේට අවශ්‍යය. (ගීතාවලිය 25:5; 2 යොහන් 9-11) එපමණක්ද නොව, ඉශ්රායෙල් නුවරේ දොරටුවල සිටි වැඩිමහල්ලන් මෙන්, විනිශ්චයක කටයුතු හසුරුවන වැඩිමහල්ලන් තම උපදෙස් හා තීරණ පදනම් කළ යුත්තේ, පෞද්ගලික මතයන් මත නොව බයිබල් සත්‍යතාව මතය. (යොහන් 17:17) ඔවුන් “සමාදානය පිණිසත් විනිශ්චය[ක්]” ලබාගන්නවාට යෙහෝවඃවහන්සේ කැමති වන අතර, ක්‍රිස්තියානි එඬේරුන් වශයෙන්, දබර කරන කණ්ඩායම් අතර සාමය යළි පිහිටුවීමටත්, පසුතැවිලි වන පව්කාරයන්ට දෙවියන්වහන්සේ සමඟ නැවත සමාදානයක් අත් පත් කරගැනීමට උපකාර කිරීමටත් ඔවුන් වෑයම් කළ යුතුය. (යාකොබ් 5:14, 15; යූද් 23) ඒත් සමඟම, සභාවේ සමාදානය පවත්වාගන්නා ඔවුහු, හිතා මතා දිගටම අවකල් ක්‍රියාවල නියැලීමෙන් එම සමාදානයට බාධා පමුණුවන්නන් එඩිතරව නෙරපා දමති.—1 කොරින්ති 6:9, 10.
“ප්‍රීති සන්තෝෂ ප්‍රස්තාවල්”
13. (අ) උපවාසයෙහි යෙදීම සම්බන්ධයෙන් සෙකරියා පුරෝකථනය කළේ කුමන වෙනස්වීමක්ද? (ආ) ඉශ්රායෙල්හි පවත්වන ලද්දේ කෙබඳු උපවාසයක්ද?
13 දැන්, බැරෑරුම් වූ අටවන ප්‍රකාශයක් අපේ සවනට වැකේ: “හතරවෙනි මාසයේ උපවාසයත් පස්වෙනි මාසයේ උපවාසයත් සත්වෙනි මාසයේ උපවාසයත් දසවෙනි මාසයේ උපවාසයත් යූදා වංශයට ප්‍රීති සන්තෝෂ ප්‍රස්තාවල්ද ප්‍රසන්නවූ මංගල්‍යවල්ද වන්නේය; එබැවින් සැබෑකමටත් සමාදානයටත් ප්රේමවෙයල්ලායයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.” (සෙකරියා 8:19) මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ, තම පාපවලට ශෝකය පළ කිරීමට ඉශ්රායෙල්වරු සමඟිකම් කිරීමේ දවසෙහි උපවාසයෙහි යෙදුණහ. (ලෙවී 16:29-31) සෙකරියා විසින් සඳහන් කරන ලද උපවාසයන් සතර පෙනෙන ප්‍රකාරයට පවත්වනු ලැබුවේ, යෙරුසලම පරාජය කිරීම හා විනාශයට ලක් කිරීම හා සම්බන්ධ සිද්ධීන් ගැන ශෝකය පළ කිරීමටය. (2 රාජාවලිය 25:1-4, 8, 9, 22-26) කෙසේවෙතත්, දැන් දේවමාළිගාව යළි ගොඩනංවනු ලැබ, යෙරුසලම නැවත ජනාවාස කරනු ලැබීය. ශෝකය ප්‍රීතියට හැරෙමින් තිබූ අතර, උපවාසයන් මංගල්‍යයන් බවට පත්වන්ට ඉඩ කඩ තිබිණ.
14, 15. (අ) සිහිකිරීමේ උත්සවය ප්‍රීති සන්තෝෂ වීම සඳහා ඉමහත් හේතුවක් වූයේ කෙසේද, තවද මෙය අපට කුමක් පිළිබඳව සිහිකළ යුතුද? (ආ) වාර්ෂික වාර්තාවෙන් දැකිය හැකි පරිදි, කැපීපෙනෙන සංඛ්‍යාවක් සිහිකිරීමට පැමිණ ඇත්තේ කුමන දේශවලද?
14 සෙකරියා විසින් සඳහන් කරන ලද උපවාසවත්, ව්‍යවස්ථාව මගින් නිර්දේශ කරන ලද උපවාසවත් අපි අදදින නොපවත්වමු. යේසුස්වහන්සේ සිය ජීවිතය අපේ පව් උදෙසා පුද කළ බැවින්, අපි වඩාත් ශ්‍රේෂ්ඨ සමඟිකම් කිරීමේ දවසක ආශීර්වාද භුක්තිවිඳිමින් සිටිමු. අපේ පව්වලට සීමිත අන්දමකින් පමණක් නොව, නමුත් සම්පූර්ණයෙන්ම වසනු ලැබේ. (හෙබ්‍රෙව් 9:6-14) ස්වර්ගික උත්තම පූජක යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආඥාවට අනුකූල වෙමින්, ක්‍රිස්තියානි දින දර්ශනයේ එකම ගරු කටයුතු උත්සවය වශයෙන් අපි උන්වහන්සේගේ මරණය සිහිකරන උත්සවය පවත්වන්නෙමු. (ලූක් 22:19, 20) සෑම අවුරුද්දකම එම උත්සවය සඳහා අප එක්රැස්වන අතරතුර, අප “ප්‍රීති සන්තෝෂ” වීමක් අද්දකින්නේ නැද්ද?
15 පසුගිය අවුරුද්දේ, සිහිකිරීම පැවැත්වීමට 1,31,47,201දෙනෙක් එක්රැස් වූහ, මෙය 1994 සංඛ්‍යාවට වඩා 8,58,284කින් වැඩිය. මොනතරම් ජන සමූහයක්ද! එම උත්සවය සඳහා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවලට සාමාන්‍යයට වඩා විශාල සංඛ්‍යාතයක් එක්රැස්වූ විට, එම සභා 78,620ට ඇති වූ ප්‍රීති සන්තෝෂය සිහියේ මවාගන්න. පැමිණ සිටි සියලුදෙනාම “මාර්ගයද සැබෑවද ජීවනයද” වන, යෙහෝවඃවහන්සේගේ ශ්‍රේෂ්ඨ “සමාදානයේ කුමාරයා” හැටියට දැන් පාලනය කරන තැනැන්වහන්සේගේ මරණය සිහිකරත්ම, ‘සැබෑකමටත් සමාදානයටත් ප්‍රේම කිරීමටත්’ ඔවුන් පොලඹවනු ලැබූ බව සහතිකය! (යොහන් 14:6; යෙසායා 9:6) ආරවුල් හා යුද්ධවලින් දෙදරා ගිය දේශවල එය පැවැත්වූ අයහට එම උත්සවය තුළ විශේෂ අර්ථයක් ගැබ්ව තිබිණ. අපේ සහෝදරයන් සමහරදෙනෙක් 1995 අතරතුර විස්තර කළ නොහැකි බිහිසුණු දේවල් සියැසින් දුටූහ. කෙසේවුවත්, ‘කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔවුන්ගේ සිත්ද සිතුවිලිද ආරක්ෂා කළේය.’—පිලිප්පි 4:7.
‘අපි යෙහෝවඃවහන්සේගෙන් කරුණාව ඉල්ලමු’
16, 17. ජාතීන්ගෙන් නික්මෙන ජනයාට ‘යෙහෝවඃවහන්සේගෙන් කරුණාව ඉල්ලා සිටිය’ හැක්කේ කෙසේද?
16 කෙසේවෙතත්, සිහිකිරීමට පැමිණි එම මිලියන සංඛ්‍යාත ජනයා පැමිණියේ කොතැනින්ද? යෙහෝවඃවහන්සේගේ නවවන ප්‍රකාශය මෙසේ පැහැදිලි කරයි: “සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍ය වර්ගයෝද බොහෝ නුවරවල වැසියෝද මින්මතු එන්නෝය. එක් නුවරක වැසියෝ තවත් නුවරකට ගොස්—අපි ස්වාමීන්වහන්සේට කන්නලව්කරන්ටත් සේනාවල ස්වාමීන්වහන්සේ සොයන්ටත් ඉක්මනින් පිටත්ව යමු, මමත් යමියි කියන්නෝය. එසේය, බොහෝ සෙනගද බලවත් ජාතීහුද සේනාවල ස්වාමීන්වහන්සේ යෙරුසලමෙහි සොයන්ටත් ස්වාමීන්වහන්සේගෙන් කරුණාව ඉල්ලන්ටත් එන්නෝය.”—සෙකරියා 8:20-22.
17 සිහිකිරීමට පැමිණි ජනයා ‘යෙහෝවඃවහන්සේ සොයන්ට’ කැමති වූහ. ඔවුන්ගෙන් බොහෝදෙනෙක්, උන්වහන්සේගේ කැපවූ, බව්තීස්ම වූ සේවකයෝ වූහ. පැමිණ සිටි මිලියන ගණනක් වූ අනික් අය තවමත් එම තත්වයට පිවිස සිටියේ නැත. ඇතැම් දේශවල සිහිකිරීමට පැමිණි සංඛ්‍යාව රාජ්‍ය ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව මෙන් සතර පස් ගුණයකින් වැඩිය. උනන්දුව දක්වන මේ විශාල සමූහයට දිගටම ප්‍රගතිය ලැබීම සඳහා උපකාරය අවශ්‍යය. යේසුස්වහන්සේ අපේ පව් උදෙසා මියගොස් දේවරාජ්‍යයෙහි දැන් පාලනය කරන බවට වූ දැනුම තුළ ප්‍රීති සන්තෝෂ වීමට අපි ඔවුන්ව දැනුවත් කරමු. (1 කොරින්ති 5:7, 8; එළිදරව් 11:15) තවද යෙහෝවඃ දෙවියන්වහන්සේට කැපවී ස්වකීය පත් කරන ලද රජුට යටත්වීමට අපි ඔවුන්ව දිරිගන්වමු. මෙයාකාරයෙන් ඔවුහු ‘යෙහෝවඃවහන්සේගෙන් කරුණාව ඉල්ලන්නෝය.’—ගීතාවලිය 116:18, 19; පිලිප්පි 2:12, 13.
“සියලු භාෂා ඇති ජාතීන්ගෙන් මනුෂ්‍යයන් දසදෙනෙක්”
18, 19. (අ) සෙකරියා 8:23හි ඉටුවීමේදී, අදදින “යුදෙව්[වෙක්]” වන්නේ කවුද? (ආ) “යුදෙව් ජාතියේ මනුෂ්‍යයෙකුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන” යන අදදින ‘මනුෂ්‍යයෝ දසදෙනා’ කවරහුද?
18 සෙකරියා අටවන පරිච්ඡේදයේ අවසාන වතාවට අපට මෙසේ කියවීමට තිබේ: ‘සේනාවල යෙහෝවඃවහන්සේ මෙසේ කියනසේක.’ යෙහෝවඃවහන්සේගේ අවසන් ප්‍රකාශය කවරේද? “ඒ දවස්වලදී සියලු භාෂා ඇති ජාතීන්ගෙන් මනුෂ්‍යයන් දසදෙනෙක්, වස්ත්‍ර කොන අල්ලාගෙන, එසේය, යුදෙව් ජාතියේ මනුෂ්‍යයෙකුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන—අපි නුඹලා සමග යන්නෙමුව, මක්නිසාද දෙවියන්වහන්සේ නුඹලා සමග සිටින බව අප විසින් අසා තිබේයයි කියනවා ඇත.” (සෙකරියා 8:23) සෙකරියාගේ කාලයේදී, ස්වාභාවික ඉශ්රායෙල් දෙවියන්වහන්සේගේ තෝරාගත් ජාතිය විය. කෙසේවෙතත්, පළමු සියවසේදී, ඉශ්රායෙල් යෙහෝවඃවහන්සේගේ මෙසියස් ප්‍රතික්ෂේප කළේය. එබැවින්, ස්වකීය විශේෂ සෙනඟ හැටියට අපේ දෙවියන්වහන්සේ “යුදෙව් ජාතියේ මනුෂ්‍යයෙකු”—නව ඉශ්‍රායෙලයක්, එනම් ආත්මික යුදෙව්වන්ගෙන් සමන්විත “දෙවියන්වහන්සේගේ ඉශ්රායෙල්” තෝරාගත්සේක. (ගලාති 6:16; යොහන් 1:11; රෝම 2:28, 29) යේසුස්වහන්සේ සමඟ සිය ස්වර්ගික රාජ්‍යයෙහි පාලනය කරනු වස්, මිනිස්වර්ගයා අතුරින් තෝරාගනු ලබන මොවුන්ගෙන් සෑදුණු කණ්ඩායමේ අවසාන සංඛ්‍යාව 1,44,000ක් වීමට නියමිතව තිබිණ.—එළිදරව් 14:1, 4.
19 මෙම 1,44,000න් බහුතරයක් දැනටමත් විශ්වාසවන්තව මියගොස් සිය ස්වර්ගික තිළිණය අත් පත් කරගෙන ඇත්තාහ. (1 කොරින්ති 15:51, 52; එළිදරව් 6:9-11) මිහිපිට තවමත් ස්වල්පදෙනෙකු ඉතිරි වී සිටින අතර, ජාතීන්ගෙන් ඉවතට පැමිණ ඇති “මනුෂ්‍යයන් දසදෙ[නා],” “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් . . . මහත් සමූහයක්” බවට පත්ව සිටීම ගැන මොවුහු ප්‍රීති සන්තෝෂ වෙති.—එළිදරව් 7:9; යෙසායා 2:2, 3; 60:4-10, 22.
20, 21. මේ ලෝකයේ අවසානය ළඟා වෙත්ම, අපට යෙහෝවඃවහන්සේ සමඟ සමාදානය පවත්වාගත හැක්කේ කෙසේද?
20 මේ ලෝකයේ අවසානය නොවැළැක්විය හැකි ආකාරයකින් තව තවත් ළඟා වෙත්ම, යෙරෙමියාගේ දවස්වල තිබූ යෙරුසලමට ක්‍රිස්තියානි ලෝකය සමාන වේ: “සමාදානය ගැන බලා සිටියෙමුව, නුමුත් කිසි හොඳක් නොවීය; සුවවීමේ කාලයක් ගැනද බලා සිටියෙමුව, නුමුත්, මෙන්න, භයානකකම තිබේ”! (යෙරෙමියා 14:19) ජාතීන් බොරු ආගමට විරුද්ධ වී එය දරුණු අවසානයකට පත් කරත්ම, එම භයානකකම හෙවත් භීතිය උච්චාවස්ථාවකට පත්වනු ඇත. ඉන් වැඩි කල් යන්ට මත්තෙන්, දෙවියන්වහන්සේගේ අවසන් මහ යුද්ධය වන අර්මගෙදොන්හිදී, ජාතීහු විනාශය නිතැතින්ම අද්දකින්නෝය. (මතෙව් 24:29, 30; එළිදරව් 16:14, 16; 17:16-18; 19:11-21) එය මොනතරම් කලකෝලාහලෙන් යුත් කාලයක් වනු ඇද්ද!
21 ඒ සියල්ල තුළින්, යෙහෝවඃවහන්සේ සැබෑකමට ප්‍රේම කරන්නාවූද “සමාදාන බීජ” වගා කරන්නාවූද අය ආරක්ෂා කරනසේක. (සෙකරියා 8:12; ශෙපනියා 2:3) එසේනම්, ස්වකීය ජනයාගේ දේශය තුළ සුරැකිව සිට, යෙහෝවඃවහන්සේට ජ්වලිතව ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරමින්, ‘උන්වහන්සේගෙන් කරුණාව ඉල්ලීමට’ හැකිතරම් ජනකායකට උපකාර කිරීමෙහි අපි නියැලී සිටිමු. අපි එසේ කරන්නෙමු නම්, අපි සැමකල්හිම යෙහෝවඃවහන්සේගේ සමාදානය භුක්තිවිඳින්නෙමු. එසේය, ‘යෙහෝවඃවහන්සේ තමන්ගේ සෙනඟට ශක්තිය දෙනසේක; යෙහෝවඃවහන්සේ තමන්ගේ සෙනඟට සමාදානයෙන් ආශීර්වාද කරනසේක.’—ගීතාවලිය 29:11.
ඔබට පහදා දිය හැකිද?
◻ සෙකරියාගේ කාලයේදී, දෙවියන්වහන්සේගේ ජනයා ‘තමුන්ගේ අත් බලවත් කරගත්තේ’ කෙසේද? අදදින එය කරන්නේ කෙසේද?
◻ අපි පීඩාවට, එදිරිවාදිකම්වලට හා උදාසීනභාවයට කෙසේ ප්‍රතිචාරය දක්වමුද?
◻ ‘එකිනෙකා තම තමාගේ අසල්වාසියා සමඟ සැබෑව කතා කිරීමට’ අයත් වන්නේ කුමක්ද?
◻ පුද්ගලයෙකුට ‘යෙහෝවඃවහන්සේගෙන් කරුණාව ඉල්ලා සිටිය’ හැක්කේ කෙසේද?
◻ සෙකරියා 8:23හි ඉටුවීමෙහි දක්නට ලැබෙන්නේ ප්‍රීති සන්තෝෂ වීම සඳහා කුමන විශිෂ්ට හේතුවද?
[18වන පිටුවේ පින්තූරය]
පසුගිය අවුරුද්දේදී, ජනයාට දේවරාජ්‍යය ගැන කතා කිරීමෙහිලා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ පැය 1,15,03,53,444ක් වැය කළෝය