ඔබ එලියා මෙන් විශ්වාසවන්ත වෙන්න යනවාද?
“[යෙහෝවාගේ] මහත්වූ භයානකවූ දවස පැමිණෙන්ට පළමුවෙන් ප්‍රොපේතවූ එලියා නුඹලා වෙතට එවන්නෙමි.”—මලාකී 4:5.
1. ඉශ්රායෙල් පොරොන්දු දේශයෙහි අවුරුදු 500ක් පමණ සිටියායින් පසු සිදු වෙන්නේ කුමන අර්බුදයද?
“කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශය[ක්].” (නික්මයාම 3:7, 8) පොදු යුගයට පෙර 16වන සියවසේ ඉශ්රායෙල්වරුන්ව මිසර වහල්භාවයෙන් මුදාගැනීමෙන් පසු, යෙහෝවා දෙවි ඔවුන්ට දුන්නේ එවැන්නක්. ඒත් බලන්න! දැන් සියවස් පහක් ගෙවී ගොස් තිබෙන අතර, ගෝත්‍ර දසයේ ඉශ්රායෙල් රාජ්‍යය සාගතයක ග්‍රහණයට හසු වී තිබෙනවා. නිල් තණ කොතැනකවත් හොයාගන්න අමාරුයි. සතුන් මියැදෙමින් සිටින අතර, අවුරුදු තුනහමාරක් පුරාම වැස්ස ඇදහැළී නැහැ. (1 රාජාවලිය 18:5; ලූක් 4:25) මෙම විපත්තියට හේතුව කුමක්ද?
2. ඉශ්රායෙල්හි ජාතික අර්බුදයට හේතුව කුමක්ද?
2 මෙම අර්බුදයට හේතුව වී තිබෙන්නේ ඇදහිල්ල අත්හැරීමයි. දෙවිගේ ව්‍යවස්ථාව උල්ලංගනය කරමින්, ආහබ් රජු කානාන් ජාතික කුමාරිකාව වන යෙසෙබෙල්ව විවාහ කරගෙන තිබෙන අතර, ඉශ්‍රායෙලයට බාල් නමස්කාරය හඳුන්වා දෙන්න ඇයට ඉඩ දී තිබෙනවා. ඊටත් වඩා නරක දේ නම්, ඔහු අගනුවර වන සමාරියෙහි මෙම බොරු දෙවියාට දේවස්ථානයක් ඉදි කර තිබීමයි. ඇයි! බාල් නමස්කාරය හොඳ අස්වැන්නක් ලබා දෙයි කියා විශ්වාස කරන්න පවා ඉශ්රායෙල්වරුන්ව නොමඟ යවා තිබෙනවා! කොහොම වුණත්, යෙහෝවා අනතුරු ඇඟවූවාක් මෙන්, ‘ඔවුන්ගේ හොඳ දේශය මතුපිටින් ඉක්මනින්ම නැති වී’ යෑමේ අන්තරාව හමුවට ඔවුන් දැන් පැමිණ තිබෙනවා.—ද්විතීය කථාව 7:3, 4; 11:16, 17; 1 රාජාවලිය 16:30-33.
දේවත්වය පිළිබඳ චමත්කාරජනක පරීක්ෂණයක්
3. ප්‍රොපේත එලියා ඉශ්රායෙල්හි සැබෑ ගැටලුවට අවධානය යොමු කරවන්නේ කොහොමද?
3 සාගතය ආරම්භ වන විට, දෙවිගේ විශ්වාසවන්ත ප්‍රොපේත එලියා ආහබ් රජුට මෙසේ පවසනවා: “මා සේවයකරන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ [යෙහෝවා] ජීවමාන බව සැබෑවා සේම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිනිවත් වැස්සවත් නොවන්නේය”! (1 රාජාවලිය 17:1) මෙම ප්‍රකාශයෙහි බිහිසුණු සත්‍යතාව අද්දැකීමෙන් පසු, ඉශ්රායෙල් මතට පැමිණි ශාපය සම්බන්ධයෙන් රජ එලියාට දොස් තබනවා. එනමුත් ආහබ් සහ ඔහුගේ වංශය ඇදහිල්ල අත්හැර ගිය නිසා ඊට වගකිව යුත්තේ ඔවුන් කියා එලියා පිළිතුරු දෙයි. වාදයට තුඩු දී තිබෙන මෙම ප්රශ්නය විසඳීමට, බාල්ගේ ප්‍රොපේතවරුන් 450දෙනෙකු සහ පරිශුද්ධ කණුවේ ප්‍රොපේතවරුන් 400දෙනෙකු සමඟින් මුළු ඉශ්‍රායෙල්ව කර්මෙල් කන්දට රැස් කරවන්න කියා යෙහෝවාගේ ප්‍රොපේතවරයා ආහබ් රජුගෙන් උදක්ම ඉල්ලා සිටිනවා. ආහබ් සහ ඔහුගේ යටත්වැසියන් එතැනට එක්රැස් වෙන්නේ, එම අවස්ථාව නියඟයට ඇතැම්විට අවසානයක් ගෙනෙයි කියා බලාපොරොත්තු වෙමිනුයි. එනමුත් එලියා වඩාත් බැරෑරුම් ප්රශ්නය වෙතට අවධානය යොමු කරවනවා. ඔහු මෙසේ අසනවා: “නුඹලා කොපමණ කල් කල්පනා දෙකක් අතරේ හිරවී සිටිනවාද? [යෙහෝවා සැබෑ දෙවි] නම් [ඔහු] අනුව යන්න. බාල් [දෙවි] නම් ඔහු අනුව යන්න.” මොනවා කියන්නද කියා ඉශ්රායෙල්වරු දන්නේ නැහැ.—1 රාජාවලිය 18:18-21.
4. දේවත්වය පිළිබඳ ප්රශ්නය නිරාකරණය කිරීමට එලියා යෝජනා කරන්නේ කුමක්ද?
4 සෑහෙන කාලයක් පුරා, ඉශ්රායෙල්වරු යෙහෝවාගේ නමස්කාරය බාල් වන්දනාව සමඟ මිශ්‍ර කරන්න වෑයම් කර තිබෙනවා. දේවත්වය පිළිබඳ ප්රශ්නය නිරාකරණය කරන්න, එලියා දැන් තරඟයක් පැවැත්වීමට යෝජනා කරනවා. පූජා කිරීම සඳහා ඔහු තරුණ ගොනෙක්ව පිළියෙළ කරන්න යනවා; තවත් එකෙකුව බාල්ගේ ප්‍රොපේතවරුන් විසින් පිළියෙළ කරනු ලබනවා. එලියා ඊළඟට මෙසේ කියයි: “නුඹලා නුඹලාගේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤා කරන්න, මමත් [යෙහෝවාගේ] නාමය කියා යාච්ඤාකරන්නෙමි. එවිට ගිනි එවීමෙන් උත්තරදෙන [දෙවිම සැබෑ දෙවි වේවා].” (1 රාජාවලිය 18:23, 24) යාච්ඤාවකට පිළිතුරක් වශයෙන් ස්වර්ගයෙන් ගිනි නික්මීම මොන වගේද කියා සිතා බලන්න!
5. බාල් නමස්කාරයේ නිෂ්ඵලකම හෙළි කරනු ලබන්නේ කොහොමද?
5 බාල් ප්‍රොපේතවරුන්ට පටන්ගන්න කියා එලියා ආරාධනා කරනවා. පූජාව සඳහා ඔවුන් ගොනෙකු සූදානම් කර, ඌව පූජාසනය පිට තබනවා. ඊළඟට පූජාසනය වටේ නට නටා ඇවිදින ඔවුන්, මෙසේ යාච්ඤා කරනවා: “අහෝ, බාල්, ඔබ අපට උත්තරදුනමැනව”! මෙය “උදය පටන් ඉරමුදුන් වේලාව දක්වා” සිදු වෙයි. “හයියෙන් මොරගසන්න” කියා එලියා කවටකම් කරයි. හදිසි කාරණයක් නිසා බාල් කාර්යබහුලව සිටිනවා ඇති; එහෙම නැත්නම්, “සමහරවිට ඔහු නිදාගන සිටියි, ඒ නිසා පුබුදුවන්ට වුවමනාය.” බාල්ගේ ප්‍රොපේතවරුන් ඉක්මනින්ම උමතු වෙනවා. බලන්න! ඔවුන් පිහිවලින් තමුන්වම කපාගන්නා අතර, ඔවුන්ගේ තුවාලවලින් ලේ ගලාගෙන එනවා. ඒ 450දෙනාම උස් හඬින් කෑගසද්දී ඇසෙන්නේ මොනතරම් මහත් ඝෝෂාවක්ද! එනමුත් උත්තරයක් නැහැ.—1 රාජාවලිය 18:26-29.
6. දේවත්වය පිළිබඳ පරීක්ෂණයට එලියා මොන ආකාරයේ සූදානමකද නිරත වෙන්නේ?
6 දැන් එලියාගේ වාරය පැමිණෙනවා. ඔහු යෙහෝවාගේ පූජාසනය යළි ගොඩනඟා, ඒ වටා අගලක් කපා, පූජාව පිළියෙළ කරනවා. ඊළඟට ඔහු දර සහ පූජාසනය පිටට ජලය වත් කරවාගන්නවා. මුළු අගලම වතුරෙන් පිරෙන තෙක් පූජාසනය පිටට විශාල වතුර සැළි දොළහක් වත් කරනු ලබනවා. එලියා යාච්ඤා කරද්දී, කුමක් වේදැයි නොදන්න නිසා ඇති වන භය කොතරම්ද කියා සිතා බලන්න: “ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඉශ්‍රායෙල්ගේද දෙවිවූ [යෙහෝවා], ඔබ ඉශ්රායෙල්හි [දෙවි] බවද මා ඔබගේ සේවකයා බවද මා මේ දේ කළේ ඔබගේ වචනය ලෙස බවද අද දැනගන්ට ලැබේවා. [අහෝ යෙහෝවා], මට උත්තර [දෙන්න], [යෙහෝවා වන] ඔබ [සැබෑ දෙවි] බවත් මේ සෙනඟගේ සිත් [හෘද, NW] නැවත හරවාගත්තේ ඔබම බවත් මොවුන් දැනගන්නා පිණිස මට උත්තර [දෙන්න].”—1 රාජාවලිය 18:30-37.
7, 8. (අ) යෙහෝවා එලියාගේ යාච්ඤාවට උත්තර දෙන්නේ කොහොමද? (ආ) කර්මෙල් කන්දෙහි සිද්ධීන්වලින් ඉටු කරනු ලබන්නේ කුමක්ද?
7 එලියාගේ යාච්ඤාවට පිළිතුරු වශයෙන්, ‘යෙහෝවා වෙතින් ගිනි බැස ඔහුගේ පූජාවත්, දරත්, ගලුත්, ධූලිත් දවා අගලේ වතුරත් වියළවා දමයි.’ ජනයා මුහුණින් වැටී: ‘යෙහෝවා සැබෑ දෙවිය! යෙහෝවා සැබෑ දෙවිය!’ කියා පවසයි. (1 රාජාවලිය 18:38, 39) එලියා දැන් තීරණාත්මක ආකාරයකින් ක්‍රියා කරයි. ඔහු මෙසේ ආඥා කරයි: “බාල්ගේ ප්‍රොපේතවරුන්ගෙන් එක්කෙනෙකුටවත් ගැළවීයන්ට නොදී ඔවුන් අල්වාගන්න.” කීෂොන් නිම්නයේදී ඔවුන්ව ඝාතනය කළායින් පසු, අහස්තලයම වැහි බර වලාකුළුවලින් පිරී යනවා. අවසානයේදී, වැසි ඇදහැළීමෙන් නියඟය කෙළවර වෙයි!—1 රාජාවලිය 18:40-45; සසඳන්න ද්විතීය කථාව 13:1-5.
8 මොනතරම් උදාර දවසක්ද! දේවත්වය පිළිබඳ මෙම සිහිකටයුතු පරීක්ෂණයේදී යෙහෝවාට ජය හිමි වෙයි. එපමණක්ද නොව, මෙම සිදුවීම් ඉශ්‍රායෙලිතයන් බොහෝදෙනෙකුගේ හෘද නැවතත් දෙවි වෙතට යොමු කරවයි. මෙයින් සහ වෙනත් ආකාරවලින්, එලියා ප්‍රොපේතවරයෙකු වශයෙන් විශ්වාසවන්ත බව ඔප්පු කරන අතර, ඔහු පෞද්ගලිකව අනාවැකිමය කාර්යයක් ඉටු කරනවා.
“ප්‍රොපේතවූ එලියා” ඉදිරියටත් ඒවිද?
9. මලාකී 4:5, 6හි පුරෝකථනය කර තිබුණේ කුමක්ද?
9 පසුව මලාකී තුළින් දෙවි මෙසේ පුරෝකථනය කළා: “බලව, [යෙහෝවාගේ] මහත්වූ භයානකවූ දවස පැමිණෙන්ට පළමුවෙන් ප්‍රොපේතවූ එලියා නුඹලා වෙතට එවන්නෙමි. මා ඇවිත් ශාපයකින් දේශයට පහර නොදෙන පිණිස, ඔහු පියවරුන්ගේ සිත් [හෘද, NW] දරුවන් වෙතටත් දරුවන්ගේ සිත් [හෘද, NW] පියවරුන් වෙතටත් හරවන්නේය.” (මලාකී 4:5, 6) එලියා ජීවත් වුණේ මෙම වදන් සඳහන් කරන්න අවුරුදු 500කට පමණ කලිනුයි. මෙය අනාවැකියක් වූ බැවින්, පො.යු. පළමුවන සියවසේ විසූ යුදෙව්වන්, එය ඉටු කිරීමට එලියා පැමිණෙයි කියා අපේක්ෂාවෙන් සිටියා.—මතෙව් 17:10.
10. පුරෝකථනය කළ එලියා කවුද? එමෙන්ම අපි දන්නේ කොහොමද?
10 එසේනම්, මෙම පැමිණෙන එලියා කවුද? යේසුස් ක්‍රිස්තුස් මෙසේ පැවසූ විට ඔහුගේ අනන්‍යතාව හෙළි කරනු ලැබුවා: “යොහන් බව්තීස්තගේ දවස්වල පටන් මේ දක්වා ස්වර්ගරාජ්‍යය බලාත්කාරයෙන් ගනු ලැබේ. බලාත්කාරකරන්නෝ ඒක බලයෙන් අල්ලාගනිති. මක්නිසාද සියලු අනාගතවක්තෘවරුද ව්‍යවස්ථාවද යොහන් දක්වා අනාගතවාක්‍ය කීවෝය. නුඹලා පිළිගන්ට කැමති නම් එන්ට සිටින එලියා මොහුය.” ඔව්, එලියාගේ පුරෝකථනය කළ ප්‍රතිරූපය වුණේ යොහන් බව්තීස්තයි. (මතෙව් 11:12-14; මාර්ක් 9:11-13) යොහන්ට ‘එලියාගේ ආත්මය සහ බලය’ තිබෙන්න යන බවත්, “සූදානම්වූ සෙනගක් [යෙහෝවාට] පිළියෙළ” කරන්න යන බවත්, දේවදූතයෙක් යොහන්ගේ පියා වූ සෙකරියස්ට කිව්වා. (ලූක් 1:17) යොහන් සිදු කළ බව්තීස්මය, යුදෙව්වන්ව ක්‍රිස්තුස් වෙතට මඟ පෙන්වන්න තිබුණු ව්‍යවස්ථාවට විරුද්ධව පුද්ගලයෙකු කළ පව් වෙනුවෙන් පසුතැවිලි වීමේ ප්‍රසිද්ධ සංකේතයක් වුණා. (ලූක් 3:3-6; ගලාති 3:24) මේ අනුව යොහන්ගේ වැඩයෙන්, ‘යෙහෝවා සඳහා සූදානම් වූ සෙනඟක් පිළියෙළ කෙරුණා.’
11. පෙන්තකොස්ත දවසේදී, පේතෘස් ‘යෙහෝවාගේ දවස’ ගැන කිව්වේ කුමක්ද? එමෙන්ම මෙය සිදු වූයේ කවදාද?
11 යොහන් බව්තීස්ත “එලියා” වශයෙන් කළ වැඩයෙන් පෙන්නුම් කළේ ‘යෙහෝවාගේ දවස’ ළඟ වූ බවයි. දෙවි තම සතුරන්ට විරුද්ධව ක්‍රියා කොට, තම සෙනඟව රක්ෂා කරන ඒ දවසේ ආසන්නභාවය ප්‍රේරිත පේතෘසුත් ඇඟෙව්වා. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී සිදු වූ ආශ්චර්යවත් දේවල්, දෙවිගේ ආත්මය වැගිරවීම පිළිබඳ යෝවෙල්ගේ අනාවැකියේ ඉටුවීමක් වූ බව ඔහු ගෙනහැර දැක්වූවා. පේතෘස් පෙන්නුම් කළේ මෙය ‘යෙහෝවාගේ මහත් වූ තේජවත් වූ දවසට’ කලින් සිදු වෙන්න තිබුණු බවයි. (ක්‍රියා 2:16-21; යෝවෙල් 2:28-32) තම පුත්‍රයාව ප්‍රතික්ෂේප කළ ජාතිය පිටට දිව්‍යමය විනිශ්චය ඉටු කරන්න රෝම හමුදාවන්ට සැලැස්වීමෙන් යෙහෝවා තම වචනය ඉටු කළේ පො.යු. 70දියි.—දානියෙල් 9:24-27; යොහන් 19:15.
12. (අ) පාවුල් සහ පේතෘස් මතු පැමිණෙන ‘යෙහෝවාගේ දවසක්’ ගැන පැවසුවේ කුමක්ද? (ආ) එලියාගේ වැඩයෙන් නියෝජනය වන යම් කිසිවක් ස්ථිරවම සිදුවීමට තිබුණේ ඇයි?
12 කොහොම නමුත් පො.යු. 70න් පසු තවත් දේවල් සිදුවීමට තිබුණා. ප්‍රේරිත පාවුල් මතු පැමිණෙන ‘යෙහෝවාගේ දවසක්’ යේසුස් ක්‍රිස්තුස්ගේ පැමිණසිටීමට සම්බන්ධ කළා. එපමණක්ද නොව, ප්‍රේරිත පේතෘස් ඒ දවස ගැන කතා කළේ තවමත් අනාගතයේදී පැමිණීමට තිබූ ‘අලුත් අහස සහ අලුත් පොළොව’ එයට සම්බන්ධ කරමිනුයි. (2 තෙසලෝනික 2:1, 2; 2 පේතෘස් 3:10-13) ‘යෙහෝවාගේ දවස’ පො.යු. 70දී පැමිණීමට කලින්, යොහන් බව්තීස්ත එලියාට සමාන වැඩක් කළ බව මතක තබාගන්න. මේ සියල්ල එකට සලකා බැලුවොත්, එයින් පැහැදිලිවම අඟවනු ලැබුවේ එලියා කර තිබූ වැඩයෙන් නියෝජනය වූ තවත් යමක් සිදු වෙන්න තිබූ බවයි. ඒ කුමක්ද?
ඔවුන්ට එලියාගේ ආත්මය තිබෙනවා
13, 14. (අ) එලියාගේ ක්‍රියාකාරකම් සහ වර්තමානයේ සිටින ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ ක්‍රියාකාරකම් අතර ඇත්තේ මොන සමාන්තරයද? (ආ) ක්‍රිස්තියානි ලෝකයේ ඇදහිල්ල අත්හළවුන් කර තිබෙන්නේ මොනවාද?
13 එලියාගේ වැඩය යොහන් බව්තීස්තගේ ක්‍රියාකාරකම්වලට පමණක් නොව, නමුත් මතු පැමිණෙන ‘යෙහෝවාගේ දවස’ දක්වා දිවයන මෙම අර්බුදකාරි කාලපරිච්ඡේදයෙහි ආලේප ලත් ක්‍රිස්තියානීන් සිදු කරන ක්‍රියාකාරකම්වලටත් සමාන්තරයක් තිබෙනවා. (2 තිමෝති 3:1-5) එලියාගේ ආත්මය සහ බලය ඇතුව, ඔවුන් සැබෑ නමස්කාරයේ නොසැලෙන පක්ෂවාදීන් වෙනවා. එමෙන්ම මෙය කොතරම් අත්‍යවශ්‍ය දෙයක් වී තිබෙනවාද! එලියාගේ දවසේ ඉශ්රායෙල්හි බාල් නමස්කාරය වැජඹුණා වගේම, ක්‍රිස්තුස්ගේ ප්‍රේරිතයන්ගේ මරණයෙන් පසු සැබෑ ක්‍රිස්තු ධර්මයෙන් ඇදහිල්ල අත්හැර යෑමක් සිදු වුණා. (2 පේතෘස් 2:1) ක්‍රිස්තියානීන් වශයෙන් පෙනී සිටි අය ක්‍රිස්තු ධර්මය බොරු ආගමික ඉගැන්වීම් සහ ව්‍යවහාරයන් සමඟ මිශ්‍ර කරන්න පටන්ගත්තා. උදාහරණයක් හැටියට, මිනිසාට අමරණීය ප්‍රාණයක් තිබෙන බවට වූ මිථ්‍යාදෘෂ්ටික මෙන්ම ශුද්ධ ලියවිල්ලට විරුද්ධ ඉගැන්වීම ඔවුන් පිළිගත්තා. (දේශනාකාරයා 9:5, 10; එසකියෙල් 18:4) ක්‍රිස්තියානි ලෝකයේ ඇදහිල්ල අත්හරින්නෝ එකම සැබෑ දෙවි වූ යෙහෝවාගේ නාමය පාවිච්චි කිරීම නතර කර තිබෙනවා. ඒ වෙනුවට, ඔවුන් වන්දනාමාන කරන්නේ ත්රිත්වයකටයි. බාල් නමස්කාරයට සමාන, යේසුගේ සහ ඔහුගේ මව වූ මරියාගේ රූපවලට වැඳ වැටීමේ ව්‍යවහාරයත් ඔවුන් පිළිගෙන තිබෙනවා. (රෝම 1:23; 1 යොහන් 5:21) එනමුත් එය එතැනින් කෙළවර වී නැහැ.
14 දහනවවන සියවසේ පටන්, ක්‍රිස්තියානි ලෝකයේ සභාවන්වල නායකයන් බයිබලයේ කොටස් බොහොමයක් ගැන සැක පහළ කරන්න පටන්ගත්තා. නිදසුනක් වශයෙන්, ඔවුන් මැවීම පිළිබඳ උත්පත්ති වාර්තාව ප්‍රතික්ෂේප කළ අතර, පරිණාමවාදය “විද්‍යානුකූලයි” කියා දක්වමින්, එයට හිස නැමුවා. මෙය යේසුස් ක්‍රිස්තුස්ගේ සහ ඔහුගේ ප්‍රේරිතයන්ගේ ඉගැන්වීම්වලට කෙළින්ම පටහැනිව දිවගියා. (මතෙව් 19:4, 5; 1 කොරින්ති 15:47) කොහොම වුණත්, යේසු සහ ඔහුගේ මුල් අනුගාමිකයන්ට සමානව, අදදින ආත්මයෙන් ආලේප වූ ක්‍රිස්තියානීන්, බයිබලයේ මැවීම පිළිබඳ වාර්තාවට පක්ෂව කතා කරනවා.—උත්පත්ති 1:27.
15, 16. ක්‍රිස්තියානි ලෝකයට වෙනස්ව, ආත්මික ආහාරවල නිතිපතා සැපයුමක් භුක්ති විඳ ඇත්තේ කවුද? තවද කුමන මාධ්‍යයකින්ද?
15 ලෝකය “අන්තිම කාලය[ට]” පිවිසුණ විට, ක්‍රිස්තියානි ලෝකය ආත්මික සාගතයක ග්‍රහණයට හසු වී සිටියා. (දානියෙල් 12:4; ආමොස් 8:11, 12) එනමුත්, එලියාගේ දවසේ පැවති සාගතයේදී යෙහෝවා ඔහුට ආහාර ලබා දෙන්න කටයුතු කළා වගේම, කුඩා ආලේප ලත් ක්‍රිස්තියානීන් කණ්ඩායම දෙවිගෙන් නිතිපතා “නියම වේලාවට” ලැබූ ආත්මික ආහාර සැපයුම භුක්ති වින්දා. (මතෙව් 24:45; 1 රාජාවලිය 17:6, 13-16) වරක් අන්තර්ජාතික බයිබල් ශිෂ්‍යයන් හැටියට හඳුන්වනු ලැබූ දෙවිගේ විශ්වාසවන්ත වූ මෙම සේවකයන්, පසුව යෙහෝවාගේ සාක්ෂිකරුවන් යන ශුද්ධ ලියවිල්ලට එකඟ වූ නම භාරගත්තා.—යෙසායා 43:10.
16 “මගේ දෙවි යෙහෝවාය” යන තේරුම ඇති තම නමට එකඟව එලියා ජීවත් වුණා. යෙහෝවාගේ භූමික සේවකයන්ගේ නිල ලත් ජර්නලය වශයෙන්, මුරටැඹ අඛණ්ඩව දෙවිගේ නම භාවිත කර තිබෙනවා. ඇත්තෙන්ම, එහි අනුග්‍රාහකයා වශයෙන් යෙහෝවා සිටි බව, එම සඟරාව එහි දෙවන කලාපයෙහි ඒකාන්ත විශ්වාසය පළ කළා. (1879 අගෝස්තු) මෙම ජර්නලයත් වොච් ටවර් සමිතියේ වෙනත් ප්‍රකාශනත්, ක්‍රිස්තියානි ලෝකය සහ බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන මහ බබිලෝනියේ ඉතිරියේ ඇති ශුද්ධ ලියවිල්ලට විරුද්ධ ඉගැන්වීම් හෙළි කරන අතරම, දේවවචනය වන බයිබලයේ සත්‍යවාදිකම තහවුරු කරමින් සිටිනවා.—2 තිමෝති 3:16; එළිදරව් 18:1-5.
පරීක්ෂා යටතේ විශ්වාසවන්තව
17, 18. බාල්ගේ ප්‍රොපේතවරුන්ගේ ඝාතනය සම්බන්ධයෙන් යෙසෙබෙල් ප්‍රතික්‍රියා කළේ කොහොමද? එනමුත් එලියාට උපකාර ලැබුණේ කොහොමද?
17 වැරදි ප්‍රසිද්ධියේ හෙළි කළ විට පූජක පක්ෂය ප්‍රතික්‍රියා කළේ, එලියා බාල්ගේ ප්‍රොපේතවරුන් ඝාතනය කළ බව දැනගත්තායින් පසු යෙසෙබෙල් ප්‍රතික්‍රියා කළ ආකාරයට සමානවයි. ඇය යෙහෝවාගේ විශ්වාසවන්ත ප්රොපේතවරයාව ඝාතනය කරනවා කියන දැඩි පොරොන්දුව සමඟින් ඔහුට පණිවිඩයක් යැව්වා. යෙසෙබෙල් ඒ වන විටත් දෙවිගේ ප්‍රොපේතවරුන් බොහෝදෙනෙකුව ඝාතනය කර තිබූ නිසා, මෙය නිකම්ම භය කරන්න එල්ල කළ තර්ජනයක් නෙවෙයි. භය නිසා, එලියා නිරිත දෙසට බෙයෙර්-ෂෙබා වෙත පලා ගියා. එහි තම වැඩකාරයාට නවතින්න හැර, ඔහු පාළුකරයේ තවත් ඈතට ගොස්, මැරෙන පිණිස යාච්ඤා කළා. එනමුත් යෙහෝවා තම ප්රොපේතවරයාව අත්හැරදමා තිබුණේ නැහැ. හොරෙබ් කන්ද වෙත යෑමට තිබූ දිගු ගමන සඳහා එලියාව සූදානම් කරන්න දේවදූතයෙක් ඔහු ඉදිරියෙහි පෙනී සිටියා. මෙලෙස, කිලෝමීටර් 300කට වඩා වැඩි දුරකින් යුත් දවස් 40ක ගමන සඳහා අවශ්‍ය පෝෂණය ඔහුට ලැබුණා. හොරෙබ්හිදී, බලවත් සුළඟක්, භූමිකම්පාවක් සහ ගින්නක් උපයෝගි කොටගනිමින්, ගරුබිය දනවන ආකාරයකින් බලය විදහාපෙන්වීමෙන් පසු, දෙවි ඔහුට කතා කළා. යෙහෝවා මෙම විදහාපෙන්වීම් තුළ සිටියේ නැහැ. ඒවා ඔහුගේ ශුද්ධාත්මය නොහොත් ක්‍රියාකාරක බලයේ ප්‍රකාශයන් වුණා. ඊළඟට යෙහෝවා තම ප්‍රොපේතවරයාට කතා කළා. මෙම අද්දැකීම එලියාට මොනතරම් ශක්තියක් ගෙන දුන්නාද කියා සිතා බලන්න. (1 රාජාවලිය 19:1-12) සැබෑ නමස්කාරයේ සතුරන්ගේ තර්ජනවලට ලක් වෙද්දී, එලියා මෙන්, අපිටත් යම් දුරකට භයක් ඇති වුණොත් මොනව වේවිද? යෙහෝවා තම ජනයාව අත්හරින්නේ නැති බව තේරුම්ගන්න ඔහුගේ අද්දැකීම අපිට උපකාර කළ යුතුයි.—1 සාමුවෙල් 12:22.
18 ප්‍රොපේතවරයෙකු වශයෙන් එලියාට තවමත් වැඩ තිබෙන බව දෙවි පැහැදිලි කළා. එපමණක්ද නොව, ඉශ්රායෙල්හි සැබෑ දෙවිට නමස්කාර කරන එකම තැනැත්තා තමා බව එලියාට හිතුණත්, 7,000දෙනෙකු බාල්ට දණ නමා තිබුණේ නැති බව යෙහෝවා ඔහුට පෙන්නුම් කළා. ඊළඟට දෙවි එලියාව නැවත ඔහුගේ පැවරුම කරා යැව්වා. (1 රාජාවලිය 19:13-18) එලියා සම්බන්ධයෙන් මෙන්, සැබෑ නමස්කාරයේ සතුරන් අප පස්සෙත් එළවනවා වෙන්න පුළුවන්. යේසු පුරෝකථනය කළා වගේම, අපි දැඩි පීඩාවලට ලක් වෙන්නත් පුළුවන්. (යොහන් 15:17-20) ඇතැම් අවස්ථාවලදී, අප තුළ බිය සැක මතු විය හැකියි. කොහොම වුණත්, දිව්‍යමය සහතික වීම් ලබා, යෙහෝවාගේ සේවයෙහි දිගටම විශ්වාසවන්තව සිටීමට වෙර දැරූ එලියාට සමාන වන්න අපිට පුළුවන්.
19. පළමුවන ලෝක යුද්ධ සමයේදී ආලේප ලත් ක්‍රිස්තියානීන් අද්දුටුවේ කුමක්ද?
19 පළමුවන ලෝක යුද්ධ සමයේදී පැවති දැඩි පීඩා නිසා, ආලේප ලත් ක්‍රිස්තියානීන් සමහරදෙනෙකු භයින් වෙළී දේශනා කිරීම නතර කළා. පොළොව මත ඔවුන්ගේ වැඩය අවසන් වූ බව ඔවුන් වැරදිසහගතව කල්පනා කළා. එනමුත් දෙවි ඔවුන්ව ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒ වෙනුවට, එලියා සඳහා ආහාර සැපයූවාක් මෙන්, ඔහු ඔවුන්ව දයාන්විතව පෝෂණය කළා. එලියා මෙන්, විශ්වාසවන්ත ආලේප ලත් ක්‍රිස්තියානීන් දිව්‍යමය නිවැරදි කිරීම් පිළිගෙන, අක්රියාශීලීභාවයෙන් ගොඩ ආවා. රාජ්‍ය පණිවිඩය දේශනා කිරීමේ උදාර වරප්‍රසාදයට ඔවුන්ගේ ඇස් අරිනු ලැබුවා.
20. අදදින, එලියා මෙන් විශ්වාසවන්ත වන අයට දානය කරනු ලබන්නේ මොන වරප්‍රසාදයද?
20 යේසු තම පැමිණසිටීම පිළිබඳ අනාවැකියෙහි, මෙම දුෂ්ට දේවල පිළිවෙළෙහි අන්තිමයට කලින් නිම කරනු ලබන ලෝක ව්‍යාප්ත වැඩය ගැන අදහස් කිහිපයක් දැක්වූවා. (මතෙව් 24:14) අදදින මෙම වැඩය නොනවත්වා කරගෙන යන්නේ, ආලේප ලත් ක්‍රිස්තියානීන් සහ පාරාදීස පොළොවක ජීවිතය ලබන්න උනන්දුවෙන් අපේක්ෂා කරන ඔවුන්ගේ සහයකයන් දශලක්ෂ ගණන්දෙනා විසිනුයි. රාජ්‍ය-දේශනා කිරීමේ වැඩය එහි නිමවීම තෙක් ඉටු කිරීම, එලියා මෙන් විශ්වාසවන්ත අයට පමණක් දානය කරනු ලබන වරප්‍රසාදයක්.
එලියා මෙන් විශ්වාසවන්ත වන්න
21, 22. (අ) ආලේප ක්‍රිස්තියානීන් පෙරමුණේ සිටින්නේ කුමන වැඩය සම්බන්ධයෙන්ද? (ආ) දේශනා කිරීමේ වැඩය ඉටු කරනු ලබන්නේ මොන උපකාරය ඇතුවද? එමෙන්ම එය අවශ්‍ය වන්නේ ඇයි?
21 එලියාට සමාන ජ්වලිතයකින්, අව්‍යාජ ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ කුඩා ඉතිරි කොටස සිංහාසනාරූඪ වූ රජ වන යේසුස් ක්‍රිස්තුස් සන්තක භූමික දේවල් බලාකියා ගැනීමට වූ තම වගකීම ඉටු කර තිබෙනවා. (මතෙව් 24:47) එමෙන්ම පාරාදීස පොළොවක සදාතනික ජීවනය ලැබීමේ මහිමාන්විත බලාපොරොත්තුව දී තිබෙන ජනයාව ගෝලයන් බවට පත් කිරීමේ වැඩයෙහි පෙරමුණ ගෙන කටයුතු කිරීමට, දැන් අවුරුදු 60කටත් වැඩි කාලයක් පුරා දෙවි මෙම ආලේප ලත් අයව යොදාගෙන තිබෙනවා. (මතෙව් 28:19, 20) සාපේක්ෂ වශයෙන් ස්වල්ප වූ ආලේප ලත් අය තම වගකීම් ජ්වලිතව සහ විශ්වාසවන්තව ඉටු කිරීම ගැන දශලක්ෂ ගණනක් වූ මේ අයට කොතරම් කෘතඥපූර්වක විය හැකිද!
22 මෙම රාජ්‍ය-දේශනා කිරීමේ වැඩය ඉටු කර තිබෙන්නේ අසම්පූර්ණ මනුෂ්‍යයන් විසිනුයි; ඒ වගේම යෙහෝවා තමන් කෙරෙහි යාච්ඤාපූර්වකව රඳා සිටින අයට යෙහෝවා දෙන ශක්තිය තුළින් පමණයි. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකුගේ යාච්ඤාවට තිබෙන බලය පෙන්නුම් කිරීමට ප්‍රොපේත එලියා යාච්ඤාව සම්බන්ධයෙන් තැබූ ආදර්ශය සඳහන් කරද්දී, ශ්‍රාවක යාකොබ් මෙසේ පැවසුවා: “එලියා අප සමාන ගති [හැඟීම්, NW] ඇති මනුෂ්‍යයෙක්.” (යාකොබ් 5:16-18) එලියා හැම තිස්සේම අනාවැකි කියමින් ආශ්චර්යයන් සිදු කරමින් සිටියේ නැහැ. අපිට තිබෙන මනුෂ්‍ය හැඟීම් සහ දුර්වලකම්ම ඔහුට තිබුණත්, ඔහු දෙවිට විශ්වාසවන්තව සේවය කළා. අපිට දෙවිගේ උපකාරය තිබෙන නිසාත්, ඔහු අපිව ශක්තිමත් කරන නිසාත්, එලියා මෙන් අපිටත් විශ්වාසවන්ත වෙන්න පුළුවන්.
23. විශ්වාසවන්තව සහ ඒකාන්තව සිටීම සඳහා අපිට හොඳ හේතු තිබෙන්නේ ඇයි?
23 විශ්වාසවන්තව සහ ඒකාන්තව සිටීම සඳහා අපිට හොඳ හේතු තිබෙනවා. ‘යෙහෝවාගේ දවස’ පො.යු. 70දී පහර දෙන්න කලින්, යොහන් බව්තීස්ත එලියාට සමාන වැඩක් කළ බව මතක තබාගන්න. එලියාගේ ආත්මය සහ බලය ඇතුව, ආලේප ලත් ක්‍රිස්තියානීන් දෙවිගෙන් ලැබූ ඒ හා සමාන වැඩක් පොළොව පුරා කර තිබෙනවා. ‘යෙහෝවාගේ [මහත්] දවස’ ළඟ බව මෙයින් පැහැදිලිවම ඔප්පු වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
◻ කර්මෙල් කන්දේදී යෙහෝවාගේ දේවත්වය ඔප්පු කරනු ලැබුවේ කොහොමද?
◻ ‘මතු පැමිණෙන එලියා’ කවුද? එමෙන්ම ඔහු කළේ කුමක්ද?
◻ වර්තමාන ආලේප ලත් ක්‍රිස්තියානීන්ට එලියාගේ ආත්මය තිබෙනවා කියා ඔවුන් පෙන්නුම් කර තිබෙන්නේ කොහොමද?
◻ එලියා මෙන් විශ්වාසවන්තව සිටින්න අපිටත් පුළුවන් වෙන්නේ ඇයි?
[15වන පිටුවේ කොටුව]
එලියා නැග්ගේ මොන ස්වර්ගයටද?
“ඔවුන් [එලියා සහ එලිෂා] කථාකරකර යද්දී ගිනි රථයක්ද ගිනි අශ්වයෝද පෙනී ඔවුන් දෙදෙනා වෙන්කළෝය; එලියා සුළි හුළඟකින් ස්වර්ගයට නැගී ගියේය.”—2 රාජාවලිය 2:11.
මේ අවස්ථාවේදී “ස්වර්ගය” යන වචනයෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙම යෙදුම ඇතැම් අවස්ථාවල දෙවිගේ සහ ඔහුගේ දේවදූතමය පුත්‍රයන්ගේ ආත්මික වාසස්ථානයට යොමු දක්වනවා. (මතෙව් 6:9; 18:10) “ස්වර්ගය” යන්නෙන් භෞතික විශ්වයත් දක්වන්න පුළුවන්. (ද්විතීය කථාව 4:19, NW) එමෙන්ම, කුරුල්ලන් පියාසර කරන, සුළං හමන පොළොවට ආසන්නම වායුගෝලයට යොමු දක්වන්නත් බයිබලය මෙම යෙදුම භාවිත කරනවා.—ගීතාවලිය 78:26; මතෙව් 6:26; NW.
ප්‍රොපේත එලියා මින් මොන ස්වර්ගයටද නැග්ගේ? ඔහුව පොළොවේ වායුගෝලය තුළින් ගෙන ගොස්, පෘථිවි ගෝලයේ වෙනත් තැනක තබනු ලැබූ බව ප්‍රත්‍යක්ෂයි. ඊට අවුරුදු කිහිපයකට පසුව පවා එලියා පොළොවෙහි සිටියා, මන්දයත් ඔහු යූදාහි යෙහෝරාම් රජුට ලිපියක් ලිව්ව බැවිනුයි. (2 ලේකම් 21:1, 12-15) එලියා යෙහෝවා දෙවිගේ ආත්මික වාසස්ථානය තුළට පිවිසුණේ නැති බවට වූ කාරණය පසුව යේසුස් ක්‍රිස්තුස් විසින් සනාථ කරනු ලැබුවා; ඔහු මෙසේ ප්‍රකාශ කළා: “ස්වර්ගයෙන් බැස්සාවූ, ස්වර්ගයෙහි සිටින්නාවූ මනුෂ්‍ය පුත්‍රයා [ඒ කියන්නේ, යේසුම] මිස වෙන කිසිවෙක් ස්වර්ගයට නොනැංගේය.” (යොහන් 3:13) අසම්පූර්ණ මනුෂ්‍යයන් සඳහා ස්වර්ගික ජීවනයට මඟ මුලින්ම විවෘත කරනු ලැබුවේ, යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය, නැවත නැඟිටීම සහ ස්වර්ගාරෝහණයෙන් පසුවයි.—යොහන් 14:2, 3; හෙබ්‍රෙව් 9:24; 10:19, 20.