බයිබල් පොත් අංකය 31—ඔබදියා
ලේඛකයා: ඔබදියා
ලිවීම අවසන් කළේ: පො.යු.පෙ. 607දී පමණ
ජාතියක අවසානයට හේතු වූ දෙවිගේ විනිශ්චයක් ප්‍රකාශ කරන අතරේදී, දෙවිගේ රාජ්‍යය අන්තිමේදී ජයගන්නා බව පද 21කින් යුත් හෙබ්‍රෙව් ලියවිලිවල කෙටිම පොත වූ ඔබදියාහි පුරෝකථනය කර ඇත. පොතේ ආරම්භක ප්‍රකාශයේ මෙසේ සරලව සඳහන් වේ. “ඔබදියාගේ දර්ශනයය.” ඔහු උපන්නේ කවදාද, කොතැනද, අයිති වූයේ කිනම් ගෝත්‍රයටද යනාදි වශයෙන් ඔහුගේ ජීවිතය පිළිබඳ තොරතුරු කිසිවක් පවසා නැත. පැහැදිලිවම වැදගත් දෙය වන්නේ පණිවුඩය මිස අනාගතවක්තෘවරයාගේ අනන්‍යතාව නොවේ. ඔබදියාම ප්‍රකාශ කළ පරිදි එය ‘යෙහෝවා වෙතින් ලැබූ ආරංචියක්’ නිසා එය එසේ විය යුතුය.
2 මෙම වාර්තාව මගින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ඒදොම් කෙරෙහියි. අරබා සමභූමිය ඔස්සේ මළ මුහුදේ සිට දකුණු දෙසට විහිදී යන සේයිර් කන්ද වශයෙන්ද ප්‍රකට ඒදොම් දේශය, උස් කඳු හා ගැඹුරු ප්‍රපාතවලින් යුත් සමතලා නැති දේශයකි. අරබා සමභූමියෙන් නැඟෙනහිරට තිබෙන කඳු වැටිය, ඇතැම් ස්ථානවලදී මීටර් 1,700ක උසකට විහිදී යයි. තේමාන් දිස්ත්‍රික්කය එහි ජනයාගේ ප්‍රඥාව හා එඩිතරකම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විය. ඒදොම් දේශයේ භූගෝලීය පිහිටීම සකස් වී තිබෙන්නේ ස්වාභාවික ලෙස ආරක්ෂාව සැලසෙන අයුරිනි. එනිසා එහි වැසියෝ සුරක්ෂිතභාවයක් අද්දැක්ක අතර ඒ ගැන උඩඟු වූහ.a
3 ඒදොම්වරු යාකොබ්ගේ සහෝදර ඒසව්ගෙන් පැවතෙන්නෝ වූහ. යාකොබ්ගේ නාමය ඉශ්රායෙල් යනුවෙන් වෙනස් කරනු ලැබීය. ඔහුගෙන් පැවතෙන්නන් වන ඉශ්රායෙල්වරුන් හා ඒදොම්වරුන් අතර කිට්ටු ඥාති සබඳකමක් තිබූ බව මින් පැහැදිලියි. එය කෙතරම්ද කියතොත් ඔවුන් ඒදොම්වරුන්ව සැලකුවේ ‘සහෝදරයන්’ ලෙසය. (ද්වි. 23:7) එහෙත් ඒදොම් ක්‍රියා කළ ආකාරයෙන් පැහැදිලි වූයේ ඔවුන්ට ඉශ්රායෙල්වරුන් සමඟ කිසිම සහෝදරකමක් නොතිබූ බවයි. ඉශ්රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල් වීමට ටික කලකට කලින් මෝසෙස් ඒදොම් රජු වෙත පණිවුඩකරුවන් යවා, ඔහුගේ දේශය හරහා සාමකාමීව යෑමට අවසර ඉල්ලීය. නමුත් ඒදොම්වරුන් සිය සතුරුකම ප්‍රදර්ශනය කරමින් එය එකහෙළා ප්‍රතික්ෂේප කළ අතර, එම ප්‍රතික්ෂේප කිරීම පෙන්නුම් කළේ බලය යෙදවීමෙනි. (ගණන්. 20:14-21) දාවිත් ඒදොම්වරුන්ව යටත් කරගත් නමුත්, ඔවුහු පසු කලෙක, එනම් යෙහෝෂාපාට්ගේ දවස්වලදී යූදාට එරෙහිව අම්මොන් හා මෝවබ් සමඟ එකතු වී කුමන්ත්‍රණය කළහ. යෙහෝෂාපාට්ගේ පුත් යෙහෝරාම් රජුට එරෙහිව කැරලි ගැසූහ. ගාසාහි සහ තීර්හි විසූ ඉශ්රායෙල්වරුන්ව වහලුන් වශයෙන් තමන්ගේ අණසකට යටත් කරගත්හ. තවත් වහලුන්ව රැගෙන යන පිණිස ආහාස් රජුගේ දවස්වලදී යූදා ආක්‍රමණය කළෝය.—2 ලේක. 20:1, 2, 22, 23; 2 රාජා. 8:20-22; ආමො. 1:6, 9; 2 ලේක. 28:17.
4 බබිලෝනීය හමුදා විසින් යෙරුසලම විනාශ කරනු ලැබූ කාලයේදී එනම් පො.යු.පෙ. 607දී මෙම සතුරුකම උච්චාවස්ථාවකට පැමිණියේය. ඒදොම්වරු ඒ දෙස ප්‍රසාදයෙන් යුතුව බලා සිටියා පමණක් නොව, නමුත් විනාශය සම්පූර්ණ කිරීමට ජයග්‍රාහකයන්ව දිරිමත් කළහ. “බිඳ හෙළව්, අත්තිවාරම දක්වා බිඳ හෙළව්” කියා ඔවුහු කෑගැසූහ. (ගීතා. 137:7) කොල්ලය වෙනුවෙන් දාදු දැමූ විට, කොල්ලය බෙදාගන්නන් අතරෙහි ඔවුහුද සිටියහ. ගැළවුණු යුදෙව්වරුන් දේශයෙන් පලා යෑමට තැත් කරද්දී, ඔවුහු මාර්ග අවහිර කොට සතුරන්ට ඔවුන්ව භාර දුන්නෝය. ඔබදියා විසින් වාර්තා කරන ලද හෙළා දැකීම සඳහා පදනම වූයේ යෙරුසලමේ විනාශයේදී පෙන්වූ මෙම සාහසිකකමයි. තවද නොඅනුමානවම එය ලියනු ලැබුවේ ඒදොම්ගේ නීච ක්‍රියාව පිළිබඳ මතකය අලුත්ව තිබෙන විටදීය. (ඔබ. 11, 14) යෙරුසලමේ විනාශයට පසු අවුරුදු පහක් ඇතුළත නෙබුකද්නෙශර් විසින් ඒදොම් අල්ලාගෙන, එය කොල්ල කෑ බව පෙනෙන්ට තිබෙන බැවින්, මෙම පොත ලියා තිබුණේ ඊට පෙර විය යුතුයි. එය පො.යු.පෙ. 607දී සිදු වුණා යන්න බහුතරයකගේම පිළිගැනීමයි.
5 ඒදොම්ට එරෙහිව ප්‍රකාශ කළ ඔබදියාගේ අනාවැකිය අකුරක් නෑර ඉටු විය! මෙම අනාවැකියේ උච්චාවස්ථාව ගැන එහි මෙසේ සඳහන් වේ. “ඒසව්ගේ වංශය ඉපනැලිද වන්නේය. එසේ ඔවුන් ඒසව්ගේ වංශයෙන් කිසිවෙකු ඉතුරු නොවන හැටියට ඔවුන් පත්තු කර දවා දමනවා ඇත. මක්නිසාද යෙහෝවා ඒක කීවේය.” (ඔබ. පද 18) ඒදොම් කඩුවෙන් ජීවත් වී, කඩුවෙන්ම මිය ගියේය. ඇගේ පැවතෙන්නන්ගෙන් ඉතුරු වූ කිසිවෙකු නැත. මෙසේ, වාර්තාවේ විශ්වාසවන්තභාවය හා සැබෑකම ඔප්පු වී තිබේ. සැබෑ අනාගතවක්තෘවරයෙකුට තිබිය යුතු සියලුම සුදුසුකම් ඔබදියාට තිබිණ. ඔහු කතා කළේ යෙහෝවාගේ නාමයෙන්ය. ඔහුගේ අනාවැකිය මගින් යෙහෝවාව ගෞරවයට පත් කළේය. තවද පසු කාලීනව ඉතිහාසයේ වාර්තා වන දේවලින් තහවුරු කෙරෙන පරිදි එය සැබෑ විය. ඔහුගේ නාමයෙන් උචිත ලෙස අදහස් කරන්නේ “යෙහෝවාගේ සේවකයා” යන්නය.
ප්‍රයෝජනවත් වීමට හේතු
10 ඒදොම්ට එරෙහිව පැවසූ මෙම විනිශ්චය පණිවුඩය ස්ථිරවම ඉටු වන බව සනාථ කරමින් යෙහෝවා ඔහුගේ වෙනත් අනාගතවක්තෘවරුන්ව යොදාගනිමින් එක හා සමාන ප්‍රකාශයන් කර තිබිණ. මෙම ප්‍රකාශයන් අතරින් යෝවෙල් 3:19; ආමොස් 1:11, 12; යෙසායා 34:5-7; යෙරෙමියා 49:7-22; එසකියෙල් 25:12-14; 35:2-15හි වාර්තා කොට තිබෙන දෑ කැපීපෙනෙයි. මේවා අතරින් කලකට ඉහතදී කළ ප්‍රකාශයන් මගින් පැහැදිලිවම යොමු දක්වන්නේ අතීතයේදී සිදු කළ සතුරුකම්වලටය. නමුත් පසු කාලයේදී කරන ලද ප්‍රකාශයන් මගින් අවධානය යොමු කරන්නේ, බබිලෝනිවරුන් විසින් යෙරුසලම අල්ලාගත් කාලයේදී ඒදොම්ගේ සමාව දිය නොහැකි හැසිරීම නිසා ඔබදියා විසින් සඳහන් කරන ලද විනිශ්චයන් කෙරෙහිය. පුරෝකථනය කරන ලද විපත්ති ඒදොම් වෙත පැමිණි ආකාරය අප සෝදිසි කළහොත් යෙහෝවාගේ අනාවැකි කීමේ බලය කෙරෙහි අපගේ ඇදහිල්ල ශක්තිමත් වනු ඇත. එපමණක්ද නොව, ලිඛිතව සඳහන් කර තිබෙන සිය අරමුණ සැමවිටම ඉටු කරන දෙවි වශයෙන් යෙහෝවා කෙරෙහි ඇති අපගේ නිසැකකමද වර්ධනය වෙයි.—යෙසා. 46:9-11.
11 ඒදොම්ව පරාජය කරනු ලබන්නේ ඇය ‘සමඟ ගිවිසුමක් කොට තිබෙන මනුෂ්‍යයන්ම’ හා ඇය “සමඟ සමාදානයෙන්” සිටින මනුෂ්‍යයන්ම බවට ඔබදියා පුරෝකථනය කොට තිබිණ. (ඔබ. 7) ඒදොම් සමඟ බබිලෝනියේ සමාදානය වැඩි කලක් පැවතුණේ නැත. පොදු යුගයට පෙර හයවන සියවයේදී නැබොනිඩස් රජු යටතේ ක්‍රියාත්මක වූ බබිලෝනීය හමුදා විසින් ඒදොම් පරාජය කරන ලදි.b කෙසේවුවද, නැබොනිඩස් විසින් දේශය ආක්‍රමණය කිරීමෙන් සියවසකට පසු ආත්ම විශ්වාසයෙන් සිටි ඒදොම් යළිත් පළමු තත්වයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටියාය. මේ ගැන මලාකී 1:4 මෙසේ වාර්තා කරයි. “අප නටබුන් වී සිටින නුමුත් නාස්ති ඉඩම් නැවත ගොඩනඟන්නෙමුයයි ඒදොම් කියන බැවින් සේනාවල යෙහෝවා මෙසේ කියන්නේය. ඔවුන් ගොඩනඟන නුමුත් මම කඩා දමන්නෙමි.” කලින් තත්වයට ඒමට ඒදොම් උත්සාහ කළත්, පො.යු.පෙ. සතරවන සියවස වන විට නැබටියන්වරු දේශයෙහි ස්ථිර ලෙස පදිංචිව සිටියෝය. ඒදොම්වරුන්ව සිය දේශයෙන් පන්නා දමා තිබූ බැවින්, ඉදුමය නමින් හැඳින්වූ යුදයේ දකුණු කොටසෙහි ඒදොම්වරු වාසය කළෝය. සේයිර් දේශය යළි අත් පත් කරගැනීමට ඔවුන් කවදාවත් සමත් වූයේ නැත.
12 ජොසීෆස් පවසන පරිදි පොදු යුගයට පෙර දෙවන සියවයේදී පළමුවන ජොහන් හිර්කැනස් නමැති යුදෙව් රජු විසින් ඉතිරි වූ ඒදොම්වරුන්ව යටත් කරගෙන ඔවුන්ට චර්මච්ඡේදනය කිරීමට බල කරන ලදි. එමෙන්ම යුදෙව් ආණ්ඩුකාරවරයෙකු යටතේ යුදෙව් බලප්‍රදේශය තුළට ඔවුන්ව ක්‍රම ක්‍රමයෙන් ඈඳාගැනිණ. පොදු යුගයේ 70දී, රෝමවරුන් යෙරුසලම විනාශ කිරීමෙන් පසු ඔවුන්ගේ නාමය ඉතිහාසයෙන් අතුරුදහන් විය.c එය ඔබදියා පුරෝකථනය කොට තිබූ දේ ඉටුවීමකි. “නුඹ . . . සදාකාලේටම සිඳදමනු ලබනවා ඇත. . . . ඒසව්ගේ වංශයෙන් කිසිවෙකු ඉතුරු [නොවේ].”—ඔබ. 10, 18.
13 ඒදොම්ගේ පාළුවීමට වෙනස්ව ආණ්ඩුකාර සෙරුබ්බාබෙල් යටතේ පො.යු.පෙ. 537දී යුදෙව්වන්ව යළි සිය මව්බිමට පමුණුවනු ලැබීය. එහිදී ඔවුහු යෙරුසලමෙහි දේවමාලිගාව යළි ගොඩනඟා දේශයෙහි ස්ථිර ලෙස පදිංචි වූහ.
14 උඩඟුකම හා හිතුවක්කාරකම මඟ පාදන්නේ විපතට බව කොතරම් පැහැදිලිද! උඩඟු ලෙස තමන්වම උසස් කරගන්නාවූ හා දේවසේවකයන් පිට කරදර පැමිණෙන විට ඒ ගැන දුෂ්ට ලෙස සතුටු වන්නාවූ සියල්ලෝම ඒදොම්ගේ ඉරණමෙන් පාඩමක් ඉගෙනගනිත්වා! ඔබදියා ඒත්තුගත් සේ, ‘රජකම යෙහෝවාට අයිති විය යුතු’ බව ඔවුහු ඒත්තුගනිත්වා! යෙහෝවාට හා ඔහුගේ ජනයාට එරෙහිව සටන්කරන්නන් සදහටම මුළුමනින්ම සිඳදමනු ලබන අතර, යෙහෝවාගේ උත්කෘෂ්ට රාජ්‍යයේ හා සදාකාල රජකමේ යුක්තිසහගත බව සදහටම තහවුරු වනු ඇත!—ඔබ. පද 21.
[පාදසටහන්වල]
a ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්, 1 වෙළුම, 679 පිටුව.
b ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්, 1 වෙළුම, 682 පිටුව.
c ජුවිෂ් ඇන්ටික්විටීස්, XIII, 257, 258 (ix, 1); XV, 253, 254 (vii, 9).