ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණ සිටීමේ කාල පරිච්ඡේදයේ දී පුළුල් ක්‍රියාකාරකම්
“එවිට රජ්ජුරුවෝ තමන්ගේ දකුණු පැත්තේ සිටින්නන්ට කියනසේක්: මාගේ පියාණන්ගෙන් ආශීර්වාදලත්තෙනි, වරෙල්ලා, ලෝකය පටන්ගැන්මේ සිට නුඹලාට සූදානම්කර තිබෙන රාජ්‍යය උරුමකරගනිල්ලා.”—මතෙව් 25:34.
1. ක්‍රිස්තුස් වහන්සේගේ ප·රූ·සිʹයා “නෝවාගේ දවස්වල” මෙන් වී ඇත්තේ කිනම් ආකාරයකින් ද?
ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණ සිටීම—බොහෝ කලක් මුළුල්ලේ බලා සිටි සිද්ධියකි! “දේවල පිළිවෙළේ සමාප්තිය” සම්බන්ධයෙන් යේසුස් වහන්සේ කථා කළ “නෝවාගේ දවස්වලට” සමාන කාලය 1914 දී එළැඹිණි. (මතෙව් 24:3, 37, NW) එහෙත්, ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණ සිටීම හෙවත් ප.රූ.සිʹයා යන්න, “විශ්වාසවූ නුවණ ඇති දාසයාගේ” ආලේප ලත් ඉතිරි අය සඳහා අදහස් කරන්නේ කුමක් ද? (මතෙව් 24:45) ඒ නම්, ආලෝකය දරන්නන් වශයෙන් ඔවුන්ට වැඩි වැඩියෙන් වඩාත් ක්‍රියාශීලී බවට පත් වීමට තිබෙන බවයි! පුදුමාකාර දේවල් සිදු වෙන්නට නියමිත ව තිබුණි! පෙර නොවූ විරූ එක්රැස් කිරීමේ වැඩක් පටන් ගැනීමට තිබුණි.
2. මලාකී 3:1-5 හි ඉටු වීමක් වශයෙන් සිදුවී ඇත්තේ කිනම් පවිත්‍ර කිරීමක් ද?
2 එහෙත්, පළමුවෙන් ම, මෙම ආලේප ලත් ක්‍රිස්තියානින් ව පිරිසිදු කිරීම අවශ්‍ය විණි. මලාකී 3:1-5 හි පුරෝකථනය කොට තිබූ පරිදි, යෙහෝවඃ දෙවියන් වහන්සේ, සහ උන් වහන්සේගේ “ගිවිසුමේ දූතයා” වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, 1918 වසන්ත සමයේ දී ආත්මික දේවමාලිගාව පරීක්ෂා කිරීමට පැමිණියෝ ය. විනිශ්චය පටන් ගැනීමට තිබුණේ, “දෙවියන්වහන්සේගේ ගෘහයේ” සිට ය. (1 පේතෘස් 4:17) මලාකී 3:3 හි මෙසේ පුරෝකථනය කෙරිණි: “උන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ] රිදී උණුකර පිරිසිදුකරන කෙනෙක් මෙන් සිට, ලෙවී පුත්‍රයන් . . . පිරිසිදුකර, රන් රිදී මෙන් ඔවුන් පවිත්‍රකරනසේක.” එය ශෝධනය කොට පිරිසිදු කිරීමේ කාලයක් විය.
3. ආත්මික පවිත්‍ර කිරීමක් සිදුවීම අත්‍යවශ්‍ය වූයේ ඇයි?
3 වර්ෂ 1918 දී උච්චාවස්ථාවට පැමිණි මෙම විනිශ්චයමය කාලය තුළින් ඉවතට ඇවිත්, දාස පංතියේ ඉතිරි කොටස ලෞකික සහ ආගමික අපවිත්රතාවන්ගෙන් පිරිසිදු කරන ලදි. යෙහෝවඃ වහන්සේ ඔවුන් ව පිරිසිදු කළේ මන්ද? මක්නිසාදයත් උන් වහන්සේගේ ආත්මික දේවමාලිගාව මීට සම්බන්ධ ව තිබූ නිසා ය. මෙය, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මිදීමේ පූජාවේ පදනම මත යෙහෝවඃ වහන්සේට නමස්කාර කිරීම සඳහා වූ දේවමාලිගාව බඳු විධිවිධානයකි. ස්වකීය මාලිගාව පිරිසිදු තත්ත්වයක තබා ගැනීමට යෙහෝවඃ වහන්සේ හට වුවමනා විය, එවිට, භූමික බලාපොරොත්තු ඇති නමස්කාරකයන් විශාල සංඛ්‍යාවක් මේ කරා ගෙන එනු ලබන විට, උන් වහන්සේගේ විශ්වනීය පරමාධිපත්‍යයට ගෞරව කරනු ලබන, උන් වහන්සේගේ දිව්‍ය නාමය පරිශුද්ධත්වයට පත් කරනු ලබන, එමෙන් ම උන් වහන්සේගේ ධර්මිෂ්ඨ නීතිවලට කීකරුකම දක්වන ස්ථානයක් ඔවුන්ට හමු වෙනවා ඇත. මෙසේ, යෙහෝවඃ වහන්සේ ව අගය කරනු ඇති ඔවුන්, උන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ නාමය දැනගැනීමට සැලැස්වීමේ ලා හවුල් වෙනවා ඇත.
අමතර වරප්‍රසාද
4, 5. (අ) යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් නඟන ලද ප්රශ්නය, අද දින දාස පංතියේ සෑම පුද්ගයෙකුට ම අභියෝගයක් වන්නේ කෙසේ ද? (ආ) “විශ්වාසවූ නුවණ ඇති දාසයා” සහ “තමාගේ ගෙයි වැසියන්” යන ප්‍රකාශන දෙක තේරුම් ගැනීමට ඇත්තේ කිනම් ආකාරවලින් ද? (ඇ) යේසුස් වහන්සේ සිය දාසයාට දුන් බල පැවරුම කුමක් ද?
4 වර්ෂ 1919 දී, පිරිසිදු කරනු ලැබ සිටි, දාස පංතියට කවදාවත් සිදු නොවූ පුළුල් ක්‍රියාකාරකම් දෙස බැලිය හැකි විය. අතීතයේ, එනම් 1914 දී, ඔවුන්ගේ ස්වාමියා වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ස්වර්ගික රාජ්‍යයක් ලබා ගෙන තිබිණි. උන් වහන්සේ සිය ගෘහයේ කාර්ය මණ්ඩලය වෙත යළි පැමිණ, සිය “ගෙයි වැසියන්” සියල්ල පරීක්ෂා කරන අවස්ථාවේ දී, මේ පොළොව මත සිටි විට උන් වහන්සේට හිමි නොවුණු රාජකීය තේජසින් බැබලුනු සේක. උන් වහන්සේට කුමක් සම්බ වී ද? දාස පංතිය ස්වාමියාගේ කටයුතු බලා කියා ගැනීමේ කඩිසර ව සිටියේ ද? යෙහෝවඃ වහන්සේගේ මෙසියස් වහන්සේට ඇති තම පුද්ගලික භක්තිය පරීක්ෂා කිරීමට සෑම ආලේප ලත් ගෝලයෙකුට ම අභියෝග කරන්නා වූ එක් ප්‍රශ්නයක්, මතෙව් 24:45-47 හි වාර්තා කර ඇති පරිදි, යේසුස් වහන්සේ ඇසූ සේක: “ඉඳින් ස්වාමියා විසින් තමාගේ ගෙයි වැසියන්ට නියම වේලාවට කෑම දෙන්ට ඔවුන් කෙරෙහි පත්කළ විශ්වාසවූ නුවණ ඇති දාසයා කවුද? ස්වාමියා එන කල යම් දාසයෙකු එසේ කරනවා දක්නේද, ඒ දාසයා ආශීර්වාදලද්දෙක්ය [සන්තෝෂ ලද්දෙක් ය NW ]. සැබවක් නුඹලාට කියමි—ඒ ස්වාමියා තමා සන්තක සියල්ල කෙරෙහි ඔහු අධිපති කරන්නේය.”
5 මෙම විශ්වාසවන්ත දාසයා ගැන යේසුස් වහන්සේ කළ විස්තරය යම් මිනිස් පුද්ගලයෙකුට අදාළ වන්නේ නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ නොවේ, නමුත් ඉන් ඇත්තට ම විස්තර කෙරෙන්නේ, ක්‍රිස්තුස් වහන්සේගේ විශ්වාසවන්ත ආලේප ලත් සභාව සමස්තයක් වශයෙනි, එනම් කණ්ඩායමක් වශයෙනි. මෙම ගෙයි වැසියන් නම්, පුද්ගලයන් වශයෙන් සිටින ක්‍රිස්තුස් වහන්සේගේ ආලේප ලත් අනුගාමිකයන් ය. යේසුස් වහන්සේ, සිය ආලේප ලත් අනුගාමිකයන් ව තමන් වහන්සේගේ ම රුධිරයෙන් මිලේට ගන්නට යන බව දැන සිටි හෙයින්, උන් වහන්සේ උචිත ලෙස ඔවුන් ව සාමුහික ව සිය දාසයා වශයෙන් හැඳින් වූ සේක. පළමු වෙනි කොරින්ති 7:23 හි ඔවුන් ගැන මෙසේ පවසයි: “නුඹලා [සාමුහික ව අමතමින්] මිලේට ගන්නාලද්දෝය, මනුෂ්‍යයන්ගේ වාල්ලු නොවෙල්ලා.” තම ආලෝකය බැබලෙන්නට සලස්වා, ආකර්ෂණය කොට වෙනත් ගෝලයන් සාදා, නියමිත වේලාවට ආත්මික ආහාර දීම මගින් තම ගෙවැසියන් ප්රගතිශීලී ව පෝෂණය කරන මෙන් යේසුස් වහන්සේ සිය දාස පංතියට බලය පැවරූ සේක.
6. යේසුස් වහන්සේගේ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙන්, දාසයා විපාක ලැබුවේ කෙසේ ද?
6 ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණ සිටීමේ පටන් 1918 දක්වා, දාස පංතිය, අප්රසිද්ධියේ වුවත්, පීඩාවන් මැද, එමෙන් ම යම් වියවුල් සහගත තත්ත්වයන් මැද පවා, ගෙවැසියන් හට කාලෝචිත කෑම දෙන්නට සොයමින් සිටියේ ය. ස්වාමියාගේ පරීක්ෂණය ආරම්භ වූ විට උන් වහන්සේට හමු වූ දෙය මෙයයි. ස්වාමි වූ යේසුස් වහන්සේ සතුටු වී, එම විශ්වාසවන්ත අනුමැතිය ලත් දාසයා සන්තෝෂ වන්නේ යයි 1919 දී ප්‍රකාශ කළ සේක. තමාගේ ස්වාමියා විසින් කරන්නට තමා වෙත පැවරූ වැඩය කිරීම නිසා දාසයාට ලැබූ ප්‍රීතිදායක විපාක සහිත දීමනාව කුමක් වී ද? උසස් වීමකි! එසේ ය, තම ස්වාමියාගේ කාරණා කටයුතු වැඩි දියුණු කිරීම සඳහා වඩාත් විශාල වගකීම් දෙන ලදි. දැන් මෙම ස්වාමියා ස්වර්ගික රජෙකු වීම නිසා, උන් වහන්සේගේ භූමික වස්තු ඊටත් වඩා වටිනා දේ බවට පත් විණි.
7, 8. (අ) ස්වාමියා ‘සන්තක දේවල්’ මොනවා ද? (ආ) මෙම සන්තක දේවල් අධීක්ෂණය කිරීමේ දී දාසයාගෙන් ප්‍රබල ව අපේක්ෂා කරන්නේ කුමක් ද?
7 එසේ නම්, “ඔහු සන්තක සියල්ල” මොනවා ද? පැහැදිලි ව ම මේවා නම්, ස්වර්ගික රජු වශයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ අධිකාරිත්වය සම්බන්ධ ව පොළොව මත උන් වහන්සේගේ දේපළ බවට පත් ව ඇති සියලු ආත්මික දේවල් ය. ලොවේ සියලු ජාතීන් හට පිහිටුවන ලද දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ නියෝජිතයන් වශයෙන් ක්‍රියා කිරීමේ උදාර වරප්‍රසාදය සමඟින් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් සෑදීමේ නියෝගය ස්ථිර වශයෙන් ම මීට ඇතුළත් විය.
8 රාජ්‍යය වැඩකටයුතු කර ගැනීමේ ලා, එසේ ය, එම වැඩය සඳහා වඩාත් විශාල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා වඩාත් වැඩි කාලයක් සහ අවධානයක් දීම, ස්වාමියාට අයත් සියලු දේවල් කෙරෙහි එවන් උසස්වීමකින් අවශ්‍ය කරවූයේ ය. එයට දැන් බොහෝ සෙයින් විශාල වූ වැඩ ක්ෂේත්රයක් තිබිණි, එම ක්ෂේත්රය නම් මුළු ජනාවාස පොළොව ම ය.
බැටළුවන් එක්රැස් කිරීම
9. ස්වාමියාගේ ක්‍රියාකාරකම් පුළුල් කිරීමෙන් ඇති වී තිබෙන ප්‍රතිඵල මොනවා ද?
9 එසේ නම්, ක්‍රිස්තුස් වහන්සේගේ විශ්වාසවන්ත නුවණ ඇති දාස පංතිය කීකරු ලෙස තමන්ගේ කටයුතු ව්‍යාප්ත කළේ ය. ප්‍රතිඵලය? ආලේප ලත් 1,44,000 දෙනාගේ අවසාන අය ව එකතු කරන ලදි. එවිට එළිදරව් 7:9-17 දක්වා වාර්තා කොට තිබෙන යොහන්ගේ දර්ශනය ආනන්දනීය, හද උණුසුම් කරවන යථාර්ථයක් බවට පත් විය. විශේෂයෙන් ම, 1935 සිට, දාස පංතිය, දර්ශනයේ ඉටුවීම සම්බන්ධ ක්රමානුකූල නියත අනාවරණය වීම සියැසින් දැකීම භුක්ති විඳිමින් සිටිත්. ලෝකයේ දස දෙසින් ම මිලියන ගණනකින් යුත් “මහත් සමූහයක්”, යෙහෝවඃ වහන්සේගේ නමස්කාරකයන් වශයෙන් උන් වහන්සේගේ ආත්මික දේවමාලිගාවේ සීමා මාලකයට දැන් එක් රොක් වෙමින් සිටිත්. මෙම මහත් සමූහය කිසිවෙකුට ගණන් කළ නොහැකි බව යෙහෝවඃ වහන්සේගේ දේව දූතයා යොහන්ට පැවසුවේ ය. මින් අදහස් කරන්නේ, දාස පංතිය විසින් යෙහෝවඃ වහන්සේගේ ආත්මික දේවමාලිගාවට ගෙන එන්නට යන ජන සංඛ්‍යාවට සීමාවක් නියම කර නැති බව ය. මාර්ගය විවෘත වී තිබෙන තාක්කල්, ඔවුන් ව එක්රැස් කිරීමේ වැඩය දිගට ම පවතිනු ඇත.
10. අද දින දාසයා නියැලී සිටින්නේ කිනම් ප්‍රේමනීය ක්‍රියාකාරකමක ද?
10 සියලු ජාතීන්ගෙන් පැමිණි මෙම බැටළු ගුණැති අය ස්වාමි වූ යේසුස් වහන්සේට ඉතා හිතවත් බව දන්නා විශ්වාසවන්ත දාස පංතියට සංඛ්‍යාත්මක වශයෙන් වැඩි වෙමින් සිටින “මහත් සමූහය” ව රැකබලා ගැනීමට බැරෑරුම් වගකීමක් තිබේ. ඔවුන් ඇත්තට ම උන් වහන්සේගේ රැළ ය. (යොහන් 10:16; ක්‍රියා 20:28; 1 පේතෘස් 5:2-4) එබැවින් ස්වාමියා සහ බැටළුවන් කෙරෙහි ඇති ප්‍රේමය සමඟින්, දාස පංතිය ඔවුන්ගේ ආත්මික අවශ්‍යතාවයන් සතුටින් බලා කියා ගනියි.
11-13. දාසයාගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වොච් ටවර් සමිතියේ එවකට සිටි සභාපති කළ උචිත ප්රකාශනය කුමක් ද?
11 එසේ ය, දාසයාගේ ආලෝකය දැරීමේ බල පැවරුමේ වැඩි කොටසකට ඇතුළත් වන්නේ, දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ භූමික යටත් වැසියන් එක්රැස් කිරීමයි. නිරන්තරයෙන් ම වර්ධනය වන්නා වූ විශ්වාසවන්ත දාසයාගේ ක්‍රියාකාරකම් ගැන සාකච්ඡා කරමින්, වොච් ටවර් සමිතියේ එවකට සභාපති වූ එෆ්. ඩබ්. ෆ්රාන්ස්, 1992 දෙසැම්බර් මස සිය මරණයට ටික කලකට පෙර මෙසේ පැවසුවේ ය:
12 “මගේ ජීවිතයේ වසර 99ක අත්දැකීමට අනුව, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, සංවිධානය සෑම කාලවල දී ම පුදුමාකාර අන්දමින් වඩ වඩාත් යොදා ගෙන ඇත. සංවිධානය මෙහෙය වන්නේ හුදෙක් මිනිසෙකු නොවේ, නමුත් ඒ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විය යුතු ය. මක්නිසාදයත් අප මෙතුවක් කල් සිතුවාටත් වඩා එය බොහෝ උසස් හා පුදුමාකාර අන්දමින් ක්‍රියාත්මක වී තිබෙන බැවිනි. අද අපට ඇත්තේ ලොව පුරා ව්‍යාප්ත වූ සංවිධානයකි. එය උතුරු අර්ධගෝලයේ ද, දකුණු අර්ධගෝලයේ ද ක්‍රියාත්මක වෙමින් තිබේ. නැගෙනහිර ද බටහිර ද එය ක්‍රියාත්මක වෙයි. මෙම කැපී පෙනෙන ව්‍යාප්තියට වගකිව යුතු වන්නේ එක ම තැනැත්තෙකි, එනම් විශ්වාසවන්ත නුවණ ඇති දාස පංතිය මෙහෙයවන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය. උන් වහන්සේ මෙම වගකීමට උර දීම සම්බන්ධයෙන් මනා අයුරින් කටයුතු කර ඇති අතර, අප විසින් දැක ඇති මෙම මහත් ව්‍යාප්තියට දායක වී ඇත්තේ එයයි.
13 “මෙම කාරණය ඉටු කරනු ලබන්නේ එක් මිනිසෙකු මගින් නොවේ. අපට තිබෙන්නේ දිව්‍යාණ්ඩු සංවිධානයකි, තව ද එය ක්‍රියාත්මක වන්නේ දිව්‍යාණ්ඩු විලාශයකිනි, දෙවියන් වහන්සේ විසින් මෙහෙයවනු ලබන ආකාරයකට ය. මුළු පොළොව සිසාරා ඉටු කරනු ලැබ තිබෙන දෙය සම්බන්ධ ව ඇති වගකීම ගැන කිසි මනුෂ්‍යයෙකුට, ඒ තබා වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි හි ආරම්භකයාටවත් අයිතිවාසිකම් කියන්නට හෝ ඒ ගැන ඔහුට ගෞරවයක් දෙනු ලබන්නටවත් නොහැක. සරල ව කිවහොත් එය මහා ආශ්චර්යයකි.” මහත් සමූහයට අයත් සියල්ලන් ම නැසී ගිය සහෝදර ෆ්රාන්ස්ගේ මෙම අදහස් හා සමඟ එකඟ වන්නේ නැත් ද? එසේ ය, ඇත්ත වශයෙන් ම, විශ්වාසවන්ත දාසයාගේ පුළුල් කරන ලද ක්‍රියාකාරකම් උදෙසා ඔවුහු බොහෝ සෙයින් කෘතඥ වෙති.
රාජ්‍යයේ යටත් වැසියෝ
14, 15. (අ) තලෙන්ත පිළිබඳ උපමාවේ දී යේසුස් වහන්සේ නිදර්ශනය කළේ කුමක් ද? (මතෙව් 25:14-30) (ආ) මීට උචිත ලෙස, මතෙව් 25 වෙනි පරිච්ඡේදයේ ඊළඟට සඳහන් වන්නේ කුමක් ද?
14 දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ භූමික යටත් වැසියන් එක්රැස් කිරීමේ මෙම මහා වැඩය, එළුවන් සහ බැටළුවන් පිළිබඳ මතෙව් 25 වෙනි පරිච්ඡේදයේ සඳහන් යේසුස් වහන්සේගේ උපමාවෙහි විස්තර වෙයි. ඊට පෙර සඳහන් උපමාවෙහි, එනම් තලෙන්ත පිළිබඳ උපමාවෙහි, තමන් වහන්සේ සමඟ සිය ස්වර්ගීය රාජ්‍යයේ රජකම් කිරීමට බලාපොරොත්තු වන ඇදහිලිවන්ත ගෝලයන් තමන්ට අයත් භූමික දේවල් වැඩි වර්ධනය කිරීමට වැඩ කළ යුතු බව උන් වහන්සේ නිදර්ශනය කළ සේක. එසේ නම්, උචිත ලෙසින් උන් වහන්සේගේ ඊළඟ උපමාවෙහි, සිය ස්වර්ගීය රාජ්‍යයේ යටත් වැසියන් බවට පත්වීමට වුවමනා කරන අයගෙන් ඉල්ලා සිටිනු ලබන දේ ගැන යේසුස් වහන්සේ දක්වන සේක.
15 මතෙව් 25:31-33 හි උන් වහන්සේ පැවසූ දෙය කල්පනාවට ගන්න: “මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමග තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ සිංහාසනයෙහි වැඩ හිඳිනසේක. එවිට සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස්කරනු ලබන්නෝය. උන්වහන්සේ එඬේරෙකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන්කරන්නාක්මෙන් ඔවුන් වෙන්කොට, බැටළුවන් තමන්ගේ දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද සිටුවනසේක.”
16. ජාතීන් එක්රැස් කරනු ලැබ, ජනයා වෙන් කරනු ලබන්නේ කෙසේ ද?
16 යේසුස් වහන්සේ සිය තේජසින් යුතු ව 1914 දී පැමිණි සේක. ප්‍රහාරක ක්‍රියා මාර්ගයක් ගැනීමට මුල පුරමින්, උන් වහන්සේ සිය දේව දූතයන් සමඟ, තමන් වහන්සේගේ භූතමය සතුරන්ට ප්‍රහාර එල්ල කොට, ස්වර්ගයෙන් පිටමං කළ සේක. උන් වහන්සේගේ උපමාවේ ඊළඟට සඳහන් වන දෙය එනම්, උන් වහන්සේගේ පැමිණ සිටීම අතරතුරේ දී, උන් වහන්සේ තේජවත් සිංහාසනයක වැඩ හිඳීම, විනිශ්චයක ඉරියව්වක් නියෝජනය කරන බවට අගය කිරීමට අපට උපකාර කරයි. සියලු ජාතීන් උන් වහන්සේ ඉදිරියට රැස් කරනු ලැබීම යන්නෙන් උපමාලංකාර බසින් අදහස් කරන්නේ, ජාතීන් තම අපේක්ෂිත රැළ වශයෙන් සලකා උන් වහන්සේ ඔවුන් කෙරෙහි ක්‍රියා කරන්නට යන බවයි. එය බැටළුවන්ගෙන් සහ එළුවන්ගෙන් සෑදුණු රැළකි. සැබෑ රැළක සිටින එළුවන්ගෙන් බැටළුවන් වෙන් කිරීමට දවසකින් වරුවක් පමණ ගත වුවද, හරි දේ සහ වැරදි දේ අතර තෝරා ගැනීමේ නිදහසක් තිබෙන සදාචාරමය පුද්ගලයන් ව ලෝක ව්‍යාප්ත මට්ටමින් වෙන් කිරීමට ඊට වඩා බොහෝ කාලයක් ගත වනු ඇත. මෙය මෙසේ වන්නේ මන්දයත් වෙන් කිරීම රඳා පවතින්නේ එක් එක් පුද්ගලයා විසින් ගනු ලබන ක්‍රියා මාර්ගය මත නිසා ය.
17. සියල්ලන් උදෙසා අද දින තත්ත්වය බැරෑරුම් වන්නේ මන්ද?
17 මෙම උපමාවේ, එඬේර රජ, බැටළු ගුණැති අය ව තමන්ගේ දකුණු පැත්තේ ද, එළු ගුණැති අය තමන්ගේ වම් පැත්තේ ද තබන සේක. දකුණු පැත්තේ සිටින්නන්ට අනුමැතිය ලත් ප්‍රසන්න විපාකයකි, එනම් සදාකාල ජීවනය ය. වම් පැත්තේ සිටින්නන්ට අප්‍රසාදිත දඬුවමක් ය, එනම් සදාකාල විනාශය ය. මෙම කාරණය සම්බන්ධයෙන් රජුගේ තීරණයට බැරෑරුම් ඵල විපාක තිබේ.
18. රජුගේ අදෘශ්‍යමාන බව කිසිවෙකුටත් නිදහසට කරුණක් නොදෙන්නේ මන්ද?
18 රජකම් කරමින් සිටින මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින අතරේ දී, හෙවත් ප·රූ·සිʹයා හි දී, උන් වහන්සේගේ අදෘශ්‍යමාන ව සිටීම, කිසිවෙකු සඳහා නිදහසට කරුණක් නොදෙයි. අද දින, වැඩි වෙමින් පවතින බැටළු ගුණැති සංඛ්‍යාවක් තමන්ගේ ආලෝකය බබලවමින්, දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය ලෝක ව්‍යාප්ත ව දේශනා කිරීමේ ලා දාස පංතිය සමඟ හවුල් වී සිටිත්. ඇත්තෙන් ම, ඔවුන්ගේ සාක්ෂි දැරීම පොළොවේ සියලු ඈත සීමා දක්වා විහිදී ගොස් තිබේ.—මතෙව් 24:14.
19. බැටළුවන් සහ එළුවන් පිළිබඳ උපමාවේ, බැටළු පංතියේ කිනම් ගුණාංග නිදර්ශනය කර තිබේ ද?
19 එඬේර රජු මෙම බැටළු පංතියට ආශීර්වාද ලත් අනාගතයක් සමඟින් විපාක දෙන්නේ මන්ද? මක්නිසාදයත්, රාජ්‍යය දේශනා කිරීමේ වැඩයට ඔවුන් මුළු හදින් ම දක්වන සහයෝගයත්, යේසුස් වහන්සේ විසින් තමන් වහන්සේට ම කළා යයි සලකනු ලබන දෙයක් වන, උන් වහන්සේගේ ආලේප ලත් අයට ඔවුන් දක්වන කරුණාව නිසාත් ය. එමනිසා, රාජකීය මනුෂ්‍ය පුත්‍රයා ඔවුන්ට මෙසේ පවසන සේක: “මාගේ පියාණන්ගෙන් ආශීර්වාදලත්තෙනි, වරෙල්ලා, ලෝකය පටන්ගැන්මේ සිට නුඹලාට සූදානම්කර තිබෙන රාජ්‍යය උරුම කරගනිල්ලා.”—මතෙව් 25:34; 28:19, 20.
රජුට උපකාර කිරීම
20, 21. බැටළුවන් රාජ්‍යය පැත්තේ සිටින බවට ඔවුන් දෙන සාක්ෂිය කුමක් ද?
20 දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ භූමික විෂය උරුම කර ගන්නා මෙන් රජ මෙම බැටළුවන් හට ආරාධනා කරන විට, ඔවුන් මවිතයට පත් වන බව කල්පනාවට ගන්න. ඔවුහු උන් වහන්සේගෙන් මෙසේ අසති: ‘ස්වාමිනී, අප මේ සියල්ල ඔබට කළේ කවදා ද?’ උන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: “සැබවක් නුඹලාට කියමි—මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටය.” (මතෙව් 25:40) යේසුස් වහන්සේ නැවත නැගිටුණු දවසේ දී මග්දලායේ මරියාට දර්ශනය වූ විට, “මාගේ සහෝදරයන් ළඟට” යන්න යයි පැවසූ විට සිය ආත්මික සහෝදරයන් ගැන කථා කළ සේක. (යොහන් 20:17) තම අදෘශ්‍යමාන පැමිණ සිටීමේ කාලය තුළ දී, යේසුස් වහන්සේ හට මාංසාකාරයෙන් මේ පොළොව මත ඉතිරි ව සිටින්නේ උන් වහන්සේගේ ආත්මික සහෝදරයන් 1,44,000 ගෙන් ඉතා සුළු ඉතිරි කොටසක් පමණි.
21 යේසුස් වහන්සේ ස්වර්ගයේ අදෘශ්‍යමාන ව සිටින නිසා, මෙම බැටළු ගුණැති ජනයා යේසුස් වහන්සේ හට මෙම දේවල් කරන්නේ වක්‍රාකාරයෙන් ය. සිංහාසනය මත සිටින උන් වහන්සේ ව ඔවුන් දකින්නේ ඔවුන්ගේ ඇදහිල්ල නැමැති ඇස්වලින් පමණි. ස්වර්ගික උරුමක්කාරයින් බවට පත් වනු ඇති යේසුස් වහන්සේගේ ආත්මික සහෝදරයන් හට උපකාර කිරීම සඳහා ඔවුන් ගන්නා වූ සියලු ප්රයත්නයන් උන් වහන්සේ අගය කරන සේක. තම සහෝදරයන් හට කරනු ලැබූ දෙය උන් වහන්සේ ගණන් ගන්නේ තමන්ට පුද්ගලික ව කරනු ලැබුවාක් මෙන් ය. එවැන්නන් ක්‍රිස්තුස් වහන්සේගේ සහෝදරයන් ම බව හඳුනා ගන්නා හෙයින් මෙම බැටළු ගුණැති අය හිතාමතා ම ඔවුන්ට යහපත කරති. යේසුස් වහන්සේගේ ආත්මික සහෝදරයන් වනාහි යෙහෝවඃ වහන්සේගේ රාජ්‍යයේ තානාපතියන් බව ඔවුන් අගය කරන අතර, එම රාජ්‍යයේ පැත්ත උදෙසා ඔවුන් සමඟ ස්ථාවරයක් ගන්නා බව පෙන්වීමට ස්ථිර සාක්ෂි ඉදිරිපත් කිරීමට ඔවුන්ට වුවමනා ය.
22. බැටළු පංතියට විපාක ලැබෙන්නේ කෙසේ ද? (එළිදරව් 7:14-17 සමඟ සසඳන්න.)
22 ස්වකීය පුත්‍රයාණන්ගේ පැමිණ සිටීමේ කාලයේ දී, බැටළු ගුණැති පංතිය පෙනී සිටින්නට යන බව යෙහෝවඃ වහන්සේ කළින් දුටු අතර උන් වහන්සේ ඔවුන් උදෙසා පුදුමාකාර විපාකයක් ගබඩා කොට ඇත! යෙහෝවඃ වහන්සේගේ රජු වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සන්තෝෂවත් දහස් අවුරුදු පාලනය තුළ දී, මහත් සමූහය, මේ පොළොව මත සමාදානයේ ආශීර්වාදයන් උරුම කර ගනු ඇත.
23. බැටළුවන් දැනුවත් ව ම රජුගේ සහෝදරයන්ට උපකාර කරන්නේ කිනම් ආකාරවලින් ද?
23 බැටළුවන් සහ එළුවන් පිළිබඳ යේසුස් වහන්සේගේ උපමාව සමඟ, ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණ සිටීමේ කාලය තුළ දී අදාළ වන්නා වූ බයිබල් අනාවැකි අප විසින් සැලකිල්ලට ගන්නා විට, අපට පෙනෙන්නේ කුමක් ද? මෙයයි: පුද්ගලයෙකු ව දෙවියන් වහන්සේ සහ උන් වහන්සේගේ රජු ඉදිරියෙහි ධර්මිෂ්ඨ පිහිටීමක් ඇති අයෙකු කරවන්නේ, ඔහු දැන නොගෙන හෝ අහම්බෙන් රජුගේ ආත්මික සහෝදරයෙකුට යහපත කිරීම මගින් නොවේ. මෙම බැටළුවන් පාලනය කරමින් සිටින රජු ව තමන්ගේ පදගතාර්ථමය ඇස්වලින් නොදුටුවත්, තමන් කරමින් සිටින්නා වූ දේ ගැන ඔවුහු දනිති. ද්‍රව්‍යමය අතින් පමණක් නොව නමුත් ආත්මික අතින් ද රජුගේ සහෝදරයන්ට උපකාර කිරීමට ඔවුහු දැඩි ප්රයත්නයක් දරති. කෙසේ ද? දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමෙන් සහ ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ගෝලයන් සාදන්නා වූ බයිබල් පාඩම් පැවැත්වීමෙනි. මෙසේ, අද දින ආලෝකය දරමින් සිටින දෙවියන් වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරන්නන් මිලියන හතරකට වඩා වැඩි ගණනක් සිටිත්.
පුළුල් ක්‍රියාකාරකම්
24. දාස පංතිය අද දින පොළොව මත සිටින සන්තෝෂවත් ම අය බවට පත් කර තිබෙන්නේ කුමන ප්‍රේමනීය ශ්‍රම ප්රයත්නයන් ද?
24 විශ්වාසවන්ත දාස පංතියේ මාහැඟි වැඩ බොහොමයක් ගැන අපි එකිනෙක සැලකිල්ලට ගෙන බලමු. පළමුවෙන් ම, දාස පංතිය ස්වාමියාට අයත් දේවල් කෙරෙහි පත් කොට තිබේ—එනම් පොළොව මත උන් වහන්සේගේ රාජ්‍යය කටයුතු ය—තව ද මෙම අයත් දේවල් ක්‍රමයෙන් වැඩි වෙමින් තිබේ. දෙවෙනු ව, එම පංතිය ආත්මික ආහාරවලින් පෝෂණය කරන්නේ ආලේප ලත් ගෙවැසියන් පමණක් නොව, නමුත් නිරන්තරයෙන් ම වර්ධනය වෙමින් සිටින මහත් සමූහයත් ය. තුන් වෙනු ව, දාස පංතිය, රාජ්‍යය ආලෝකය විහිදු වීමේ ලා පෙරමුණ ගනිමින් සිටී. සිව්වෙනු ව, එහි ක්‍රියාකාරකම්වල මහත් ම ව්‍යාප්තිය නම්, වෙනත් බැටළුවන්ගේ මහත් සමූහය ව යෙහෝවඃ වහන්සේගේ ආත්මික දේවමාලිගාවට ගෙන එමින් ඔවුන් ව එක්රැස් කිරීම ය. පස්වෙනු ව, එම දාස පංතිය, බැටළු ගුණැති අයගේ හෘදයාංගම අනුබලය ඇතුව, ලොව වටා ශාඛා සංවිධානවල මෙන් ම එක්සත් ජනපදයේ මූලස්ථානයට විශාල කරන ලද පහසුකම් සපයමින් සිටී. එවැනි ප්‍රේමනීය ශ්‍රම ප්රයත්නයන්, දාස පංතිය අද දින මේ පොළොව මත සිටින සන්තෝෂවත් ම ජනයා බවට පත් කර තිබේ, තව ද, ඔවුන් වෙනත් මිලියන ගණනක් ජනයා ව ද සන්තෝෂවත් කර තිබේ. මේ සියලු දෙනා ම, නුවණ ඇති දාසයාගේ පුළුල් ක්‍රියාකාරකම් මෙහෙයවා ඇති යෙහෝවඃ දෙවියන් වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ස්තුති දෙති!
25. බැටළුවන්ට දාසයා පංතියට නොකඩවා උපකාර කළ හැක්කේ කෙසේ ද, තව ද කුමන අපේක්ෂාවන් මනසේ තබා ගෙන ද?
25 දැන් දාස පංතිය වෙන කවරදාටත් වඩා දෙවියන් වහන්සේ ඒ කෙරෙහි පවරා ඇති වගකීම් ඉටු කිරීමට වෙහෙස මහන්සි වී ක්‍රියා කරමින් සිටී. “මහත් පීඩාවේ” ආරම්භය සඳහා කාලයක් ඇත්තෙන් ම ඉතිරි වී නැති තරම් ය! (මතෙව් 24:21) දෙවියන් වහන්සේගේ බැටළුවන් වන අය උන් වහන්සේගේ එඬේර රජුගේ අනුමැතිය ලත් දකුණු පැත්තේ සිටීම මොනතරම් අතිශයින් වැදගත් දෙයක් ද! එසේ නම්, අපි සියලු දෙනා ම ජ්වලිතවත් ලෙස නොකඩවා විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට අපගේ අනුබලය දක්වමු. ඉතා ඉක්මනින් යම් මතු දවසක බැටළු ගුණැති සියලු දෙනාට ම මෙම සන්තෝෂදායක වදන් අසන්නට හැකි වනු ඇත්තේ එසේ කළොත් පමණි: එනම් “මාගේ පියාණන්ගෙන් ආශීර්වාදලත්තෙනි, වරෙල්ලා, ලෝකය පටන්ගැන්මේ සිට නුඹලාට සූදානම්කර තිබෙන රාජ්‍යය උරුම කරගනිල්ලා.”
ඔබට පිළිතුරු දිය හැකි ද?
◻ රජුගේ සිංහාසනාරූඪ වීමෙන් පසු, කිනම් මූලික විනිශ්චයක් සිදු වුණි ද?
◻ මතෙව් 24:45-47ට නවීන දින ඉටු වීමක් තිබුණේ කෙසේ ද?
◻ පුළුල් ක්‍රියාකාරකම් ගත් කල, දාසයා පංතිය හා මහත් සමූහය වඩාත් කෘතඥ වන්නේ කුමක් සඳහා ද?
◻ ප·රූ·සිʹයා අතරතුරේ දී, මතෙව් 25:34-40 ඉටු වන්නේ කෙසේ ද?
[16වන පිටුවේ පින්තූරය]
ස්වාමියා තමාට අයත් සියල්ල විශ්වාසවන්ත දාසයට භාර දෙයි
[18වන පිටුවේ පින්තූරය]
මිනිස් වර්ගයා විනිශ්චය කිරීමට යේසුස් වහන්සේ සිය තේජාන්විත සිංහාසනයේ අසුන් අරා සිටින සේක