යෙහෝවාගේ වචනය ජීවමානය
පෙළමුවෙනි ලේකම් පොතෙන් විශේෂාංග
යුදෙව්වන් බැබිලෝනියෙන් නිදහස් වී තමන්ගේ දේශයට ඇවිත් මේ වෙනකොට අවුරුදු 77ක් වෙනවා. ඒවගේම සෙරුබ්බාබෙල්ගේ අධීක්ෂණය යටතේ දේවමාලිගාව ඉදි කර අවුරුදු 55ක් ගත වෙලා. යුදෙව්වන් යෙරුසලමට නැවත පැමිණීමේ මූලික අරමුණ වුණේ දෙවිට කළ සැබෑ නමස්කාරය නැවත එහි ඇති කිරීමයි. ඒ වුණත් මේ කාලය වෙන කොට යෙහෝවා දෙවිට කරන නමස්කාරය ගැන යුදෙව්වන්ට එතරම් උද්යෝගයක් තිබුණේ නැහැ. මේ නිසා ඔවුන්ව දිරිගැන්වීම අත්‍යවශ්‍ය දෙයක් වුණා. පළමුවෙනි ලේකම් පොතේ ප්‍රධාන අරමුණ වුණේ ඒ දිරිගැන්වීම ඔවුන්ට සැපයීමයි.
පෙළපත් පිළිබඳ වාර්තාවලට අමතරව සාවුල් රජුගේ මරණය සිට දාවිත් රජුගේ මරණය දක්වා අවුරුදු 40ක කාලයක් ගැන විස්තර මෙහි ඇතුළත්. මේ පොතේ ලේඛකයා පූජක එස්රා වූ අතර එය ලියනු ලැබුවේ ක්‍රි.පූ. 460දීයි. පළමුවෙනි ලේකම් පොතේ ඇති තොරතුරු ගැන අපි උනන්දු විය යුත්තේ එහි දේවමාලිගාවේ කරනු ලැබූ නමස්කාරය ගැන අපට හොඳ අවබෝධයකුත් ගැලවුම්කරුගේ පෙළපත පිළිබඳ විස්තරයකුත් එහි ඇති නිසයි. මෙය දේවානුභාවයෙන් ලියනු ලැබූ බයිබලයේ පොත්වලින් එකක්. මෙහි අඩංගු තොරතුරු මුළු බයිබලයම හොඳින් තේරුම්ගැනීමට අපට උපකාර කරන අතර අපගේ ඇදහිල්ලද ශක්තිමත් කරනවා.—හෙබ්‍රෙව් 4:12.
අර්ථවත් නාම ලේඛනයක්
පෙළපත් පිළිබඳව එස්රා සකස් කළ මෙම සවිස්තරාත්මක ලේඛනය වැදගත් වීමට අඩුම තරමින් හේතු තුනක් සඳහන් කරන්න පුළුවන්. පළමු හේතුව වන්නේ පූජකයන් හැටියට සේවය කරන්නේ නියම සුදුසුකම් තිබෙන අය පමණක් කියා තහවුරු කිරීමටයි. දෙවෙනි හේතුව, එක් එක් ගෝත්‍රවලට අයත් අයට උරුම වී තිබූ ප්‍රදේශ පැහැදිලි කර දීමටයි. තුන්වෙනි හේතුව, ගැලවුම්කරු පැමිණෙන පෙළපත ගැන වාර්තාවක් සකස් කිරීමටයි. මුල් මිනිසා දක්වා යුදෙව්වන්ගේ පරම්පරාව දිව යන ආකාරය මෙහි පැහැදිලි කරනවා. ආදම් සිට නෝවා දක්වා පරම්පරා දහයක් ගැනද ඉන්පසුව ආබ්‍රහම් දක්වා තවත් පරම්පරා දහයක් ගැනද එහි සඳහන් වෙනවා. ඉන්පසුව ඉෂ්මායෙල්ගේ පුත්‍රයන්ගේ නම්ද ආබ්‍රහම්ගේ උපභාර්යාව වූ කෙතුරාගේ පුත්‍රයන්ගේ නම්ද ඒසව්ගේ පුත්‍රයන්ගේ නම්ද සඳහන් කරනු ලබනවා. එතැන් පටන් ඒ වාර්තාවේ සම්පූර්ණයෙන්ම සඳහන් කරන්නේ ඊශ්‍රායෙල් හෙවත් යාකොබ්ගේ පුත්‍රයන් 12දෙනාගේ පෙළපත් ගැනයි.—1 ලේකම් 2:1.
යූදාගේ පෙළපතින් දාවිත් රජ පැවත ආ නිසා එය රාජකීය පෙළපතක් වුණා. මේ පෙළපත ගැන පැහැදිලි විස්තරයක් එස්රා සපයන්නේ ඒ නිසයි. ආබ්‍රහම් සිට දාවිත් දක්වා පරම්පරා 14ක්ද බැබිලෝනියට පිටුවහල් කිරීම දක්වා තවත් පරම්පරා 14ක්ද සඳහන් වෙනවා. (1 ලේකම් 1:27, 34; 2:1-15; 3:1-17; මතෙව් 1:17) යොර්දානයට නැඟෙනහිරින් වාසය කළ ගෝත්‍රවල පෙළපත්ද ඉන්පසුව ලෙවීගේ පුත්‍රයන්ගේ පෙළපත්ද එස්රා වාර්තා කරයි. (1 ලේකම් 5:1-24; 6:1) යොර්දාන් ගඟට බටහිරින් වාසය කළ සමහර ගෝත්‍ර පිළිබඳ කෙටි විස්තරයක්ද ඉන් අනතුරුව බෙන්ජමින්ගේ වංශය ගැන පැහැදිලි විස්තරයක්ද එහි සපයා තිබෙනවා. (1 ලේකම් 8:1) බැබිලෝනියෙන් නිදහස් වීමට පසුව යෙරුසලමේ මුලින්ම පදිංචි වූ අයගේ නම්ද වාර්තා කර තිබෙනවා.—1 ලේකම් 9:1-16.
ශුද්ධ ලියවිලිවල ප්‍රශ්නෝත්තර:
1:18—ෂෙලාගේ පියා කායිනන්ද ආර්පක්ෂද්ද? (ලූක් 3:35, 36) ෂෙලාගේ පියා වුණේ ආර්පක්ෂද්. (උත්පත්ති 10:24; 11:12) ලූක් 3:36දී “කල්දිවරුන්” යන යෙදුම වැරදියට “කායිනන්” යනුවෙන් සඳහන් වෙන්න ඇති. එය එසේ වූවා නම් මුල් පිටපතේ ඒ පදය සඳහන් වෙන්න ඇත්තේ “කල්දිවරයෙක් වූ ආර්පක්ෂද්ගේ පුත්‍රයා” කියායි. එහෙමත් නැත්නම් කායිනන් සහ ආර්පක්ෂද් යන නම්වලින් හඳුන්වන්න ඇත්තේ එකම පුද්ගලයා විය හැකියි. “කායිනන්ගේ පුත්‍රයා” යන යෙදුම සමහර අත්පිටපත්වල නැති බවත් සැලකිල්ලට ගත යුතු කරුණක්.—ලූක් 3:36.
2:15—දාවිත් යෙස්සේගේ හත්වන පුත්‍රයාද? නැහැ. යෙස්සේට පුත්‍රයන් අටදෙනෙක් සිටි අතර දාවිත් බාලයා වුණා. (1 සාමුවෙල් 16:10, 11; 17:12) යෙස්සේගේ එක් පුත්‍රයෙක් දරුවන් නොලබා මිය ගිය නිසා ඔහුට පෙළපතක් තිබුණේ නැහැ. ඒ නිසා එස්රා ඔහුගේ නම පෙළපත් ලේඛනයෙන් ඉවත් කළා විය හැකියි.
3:17—යෙකොනියාගේ පුත්‍රයා වූ ෂෙයල්ටියල්ව නේරිගේ පුත්‍රයා කියා ලූක් 3:27හි හඳුන්වන්නේ ඇයි? ෂෙයල්ටියල්ගේ පියා වුණේ යෙකොනියා. ඒ වුණත් පෙනෙනාකාරයට නේරි තම දියණියව ෂෙයල්ටියල්ට විවාහ කර දුන්නා. ඒ නිසා ලූක් නේරිගේ බෑනාව නේරිගේ පුත්‍රයා ලෙස හැඳින්නුවා. ලූක් යෝසෙප් ගැන වාර්තා කරද්දීත් ඔහුව හැඳින්වූයේ මරියාගේ පියා වූ හේලිගේ පුත්‍රයා ලෙසටයි.—ලූක් 3:23.
3:17-19—සෙරුබ්බාබෙල්, පෙදායා සහ ෂෙයල්ටියෙල් අතර ඇති නෑකම කුමක්ද? සෙරුබ්බාබෙල්, ෂෙයල්ටියෙල්ගේ සහෝදරයා වූ පෙදායාගේ පුත්‍රයෙක් වුණා. නමුත් ඇතැම් අවස්ථාවලදී බයිබලයේ සෙරුබ්බාබෙල්ව හඳුන්වා ඇත්තේ ෂෙයල්ටියෙල්ගේ පුත්‍රයා හැටියටයි. (මතෙව් 1:12; ලූක් 3:27) මෙයට හේතුව වෙන්නට ඇත්තේ පෙදායා මිය ගියායින් පසුව සෙරුබ්බාබෙල්ව හදා වඩාගත්තේ ෂෙයල්ටියෙල් නිසා විය හැකියි. එහෙමත් නැත්නම් ෂෙයල්ටියෙල් මිය යද්දී ඔහුට දරුවන් නොසිටි නිසා ඒ කාලයේ සිරිතට අනුව ෂෙයල්ටියල්ගේ සහෝදරයා වූ පෙදායා, ෂෙයල්ටියල්ගේ භාර්යාවව විවාහ කරගත්තා විය හැකියි. ඒ විවාහයේ පළමු පුත්‍රයා සෙරුබ්බාබෙල් වෙන්නට ඇති.—ද්විතීය කතාව 25:5-10.
5:1, 2—යෝසෙප්ට කුලුඳුල්කමට අයිතිය ලැබීමෙන් අදහස් කළේ කුමක්ද? ඉන් අදහස් කළේ යෝසෙප්ට තම පියාගෙන් උරුම වෙන්න තිබුණ කොටස මෙන් දෙගුණයක් ලැබුණු බවයි. (ද්විතීය කතාව 21:17) මේ නිසා ඔහු එෆ්‍රායිම් සහ මනස්සේ යන ගෝත්‍ර දෙකේ පියා වුණා. ඊශ්‍රායෙල්ගේ අනෙකුත් පුත්‍රයන්ට ලැබුණේ එක ගෝත්‍රයක් බැගිනුයි.
අපට ගත හැකි පාඩම්:
1:1–9:44. ඇත්තටම ජීවත් වූ පුද්ගලයන්ගේ පෙළපත් වාර්තා කර තැබීමෙන්, සැබෑ නමස්කාරය සම්පූර්ණයෙන්ම පදනම් වී තිබෙන්නේ මිථ්‍යා ප්‍රබන්ධ මත නොව නමුත් සැබෑ දේවල් මත බව ඔප්පු වෙනවා.
4:9, 10. දේවභය ඇති පුද්ගලයන් වැඩි පිරිසකට වාසය කරන්න හැකි වන පිණිස තම ඉඩම්වල සීමාව විශාල කර දෙන මෙන් යාබෙශ් මුළු හදින්ම කළ යාච්ඤාවට යෙහෝවා සවන් දුන්නා. අපිත් ගෝලයන් සෑදීමේ වැඩයෙහි උද්යෝගයෙන් හවුල් වන අතර දෙවිට නමස්කාර කරන්නන්ගේ සංඛ්‍යාව වර්ධනය කරන්න කියා යෙහෝවාට මුළු හදින්ම යාච්ඤා කළ යුතුයි.
5:10, 18-22. සාවුල් රජගේ කාලයේදී යොර්දාන් ගඟට නැඟෙනහිරින් විසූ ගෝත්‍ර ඔවුන්ට වඩා දෙගුණයක් පමණ සිටි හග්රිවරුන් සමඟ සටන් කර ඔවුන්ව පරාජය කළා. මෙයට හේතුව ඒ ගෝත්‍රවල සිටි යුද්ධයට දක්ෂ වික්‍රමාන්විත මනුෂ්‍යයයන් යෙහෝවාව විශ්වාස කර ඔහුගේ උපකාරය පැතූ නිසයි. අපගේ ඇදහිල්ල ආරක්ෂා කරගැනීම සඳහා අපිට සටන් කරන්න සිදු වන්නේ අපිට වඩා විශාල හා බලවත් සතුරු පිරිසකට එරෙහිව වුවත් අපිත් යෙහෝවා කෙරෙහි සම්පූර්ණ නිසැකකමක් ඇතුව සිටිමු.—එෆීස 6:10-17.
9:26, 27. ලෙවී දොරටු පාලකයන්ට තිබුණේ වගකිව යුතු තනතුරක්. ඔවුන් කෙරෙහි විශාල විශ්වාසයක් තබා තිබුණා. දේවමාලිගාවේ ශුද්ධ ස්ථානවලට ඇතුල් වීමේ දොරටුවල යතුරු ඔවුන්ට භාරදී තිබුණා. සෑම දිනකම දේවමාලිගාවේ දොරටු විවෘත කිරීමේ වගකීම ඔවුන් නොපිරිහෙළා ඉටු කළා. අපට අයත් ප්‍රදේශයේ සිටින ජනයා වෙතට ගොස් යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට ඔවුන්ට උපකාර කිරීම අපට තිබෙන වගකීමක්. ලෙවී දොරටු පාලකයන් මෙන් අපිත් ඒ වගකීම විශ්වාසවන්තව ඉටු කළ යුතුයි.
දාවිත් පාලනය කරයි
ගිල්බෝවා කන්දේ පිලිස්තිවරුන් සමඟ කළ සටනේදී සිදු වූ සාවුල් රජ සහ ඔහුගේ පුත්‍රයන් තුන්දෙනාගේ මරණය ගැන සඳහන් කරමින් මෙම වාර්තාව ආරම්භ වෙනවා. යෙස්සේගේ පුත්‍ර දාවිත් යූදා ගෝත්‍රයේ රජ බවට පත් වෙනවා. සියලුම ගෝත්‍රවලට අයත් සෙනඟ හෙබ්‍රොන්වලට ඇවිත් ඔහුව මුළු ඊශ්‍රායෙල් කෙරෙහි රජ කරගන්නවා. (1 ලේකම් 11:1-3) ඊට පසුව දාවිත් යෙරුසලම අල්ලාගන්නවා. ඉන් අනතුරුව ඊශ්‍රායෙලිතයන් “මහත් ඝෝෂාවක් කරමින් නළාවෙනුත් . . . කුඩා වීණාවලිනුත් මහ වීණාවලිනුත් මහත් ශබ්ද පවත්වමින්” ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙනෙනවා.—1 ලේකම් 15:28.
සැබෑ දෙවිට ගෘහයක් තැනීමට ඇති තම ආශාව දාවිත් පෙන්වූවත් එම වරප්‍රසාදය යෙහෝවා දෙවි ලබාදෙන්නේ සලමොන්ටයි. නමුත් දෙවි දාවිත් සමඟ රාජ්‍ය ගිවිසුමක් ඇති කරගන්නවා. ඊශ්‍රායෙල්වරුන්ගේ සතුරන්ට එරෙහිව ඔහු කළ සටනේදී යෙහෝවා ඔහුට පිට පිට ජයග්‍රහණය ලබාදෙනවා. දෙවි අනුමත නොකළ දෙයක් වූ ජනයාව ගණන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 70,000දෙනෙක් මිය යනවා. යෙහෝවාට පූජාසනයක් තැනීම සඳහා දේවදූතයෙක්ගෙන් මඟ පෙන්වීම ලැබීමෙන් පසුව දාවිත් යෙබූසිය වූ ඔර්ණාන්ගෙන් ඉඩමක් මිල දී ගනියි. ඒ ඉඩමේ යෙහෝවා දෙවිට “අතිශයෙන් අලංකාර” ගෘහයක් ගොඩනැඟීම සඳහා දාවිත් “බොහෝ දේ සූදානම්” කරයි. (1 ලේකම් 22:5) ලෙවීවරුන් ඉටු කළ යුතු වගකීම් දාවිත් සංවිධානය කරයි. ඒ වගකීම් ගැන විස්තරාත්මකව සඳහන් වෙන්නේ බයිබලයේ මේ පොතේ පමණයි. දේවමාලිගාව සඳහා රජුත් සෙනඟත් බොහෝ දේවල් සම්මාදම් කරනවා. වසර 40ක් පාලනය කිරීමෙන් පසුව දාවිත් “වයසින්ද වස්තුවෙන්ද ගෞරවයෙන්ද සම්පූර්ණව සිට හොඳ මහලු වයසේදී මළේය. ඔහුගේ පුත්‍ර වූ සලමොන් ඔහු වෙනුවට රජකම් [කරන්න පටන්ගනියි.]”—1 ලේකම් 29:28.
ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:
11:11—මේ පදයේ සඳහන් පරිදි මරනු ලබන අයගේ සංඛ්‍යාව 300ක් වන අතර එම වාර්තාවම සඳහන් වන 2 සාමුවෙල් 23:8හි මරනු ලබන අයගේ සංඛ්‍යාව 800ක් ලෙස සඳහන් වෙන්නේ ඇයි? දාවිත්ගේ බලසම්පන්නම මනුෂ්‍යයන් තිදෙනා අතර ප්‍රධානියාගේ නම යාෂොබෙයාම් හෙවත් යොෂෙබ්බෂ්ෂෙබෙත් වුණා. අනික් දෙදෙනා වුණේ එලෙයාසර් සහ ෂම්මා. (2 සාමුවෙල් 23:8-11) මේ වෙනසට හේතුව විය හැක්කේ එකම පුද්ගලයා අවස්ථා දෙකකදී කළ දේවල් එම වාර්තා දෙකේ සඳහන් වන නිසයි.
11:20, 21—දාවිත්ගේ බලසම්පන්න මනුෂ්‍යයන් තිදෙනා සමඟ සසඳද්දී අබිෂයිට තිබුණේ මොන වගේ තත්වයක්ද? දාවිත්ට සේවය කළ බලසම්පන්න මනුෂ්‍යයන් තිදෙනාට අබිෂයි ඇතුළත් වුණේ නැහැ. ඒ වුණත් 2 සාමුවෙල් 23:18, 19ට අනුව යුද්ධයට දක්ෂ වූ 30දෙනෙකුගේ ප්‍රධානියා මෙන්ම ඔවුන් අතර සිටි දක්ෂතම මෙන්ම ගෞරවය දිනූ තැනැත්තාද වුණේ අබිෂයි. දාවිත්ගේ බලසම්පන්නම මනුෂ්‍යයන් තිදෙනාගෙන් එක් කෙනක් වන යාෂොබෙයාම් කළ බලවත් ක්‍රියාවකට සමාන ක්‍රියාවක් අබිෂයි කළ නිසා ඒ බලවන්තයන් තිදෙනාට තිබුණා හා සමාන නමක් අබිෂයි දිනාගෙන හිටියා.
12:8—යුද්ධයට දක්ෂ වූ ගාද්වරුන්ගේ මුහුණු “සිංහයන්ගේ මුහුණු මෙන්” වුණේ කෙසේද? මෙම වික්‍රමාන්විත මනුෂ්‍යයන් පාළුකරයේදී දාවිත් සමඟ සිටියා. ඔවුන්ගේ හිසකෙස් දිගට වැවී තිබූ අතර ඒ නිසා ඔවුන්ට සිංහයෙකුගේ පෙනුම වැනි භයානක පෙනුමක් තිබුණා.
13:5—“ඊජිප්තුවේ ෂීහෝර් ඔය” යනු කුමක්ද? සමහරු කියන්නේ මෙය ඊජිප්තුවේ නයිල් ගඟේ අතු ගංගාවක් කියායි. කෙසේවෙතත් මෙම “ඊජිප්තු ඔය” පොරොන්දු දේශයේ ගිනිකොන සීමාව වෙන් කරන දිග මිටියාවතකට යොමු දක්වන බව සාමාන්‍යයෙන් සලකනවා.—ගණන් කතාව 34:2, 5; උත්පත්ති 15:18.
16:30—යෙහෝවා ඉදිරියේ ‘වෙවුලමින් සිටියා’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මින් අදහස් කරන්නේ යෙහෝවාට ගෞරවාන්විත බයක් දැක්වීමයි.
16:1, 37-40; 21:29, 30; 22:19—ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙනා කාලයේ සිට දේවමාලිගාව ගොඩනඟන තෙක් ඊශ්‍රායෙල් දේශයේ නමස්කාරය සම්බන්ධයෙන් තිබුණේ මොන වගේ සැලැස්මක්ද? දාවිත් ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙනැවිත් ඔහු විසින් සෑදූ කූඩාරමක තැබීමට පෙර අවුරුදු ගණනාවක් පුරා එය තිබුණේ එය තැබීමට නියමිත වූ මණ්ඩපයේ නෙවෙයි. එයට හේතුව වුණේ මණ්ඩපය තිබුණේ ගිබියොන් නුවරේ නිසයි. උත්තම පූජක ශාදොක් සහ ඔහුගේ සහෝදරයන් මෝසෙස්ගේ නීතියේ සඳහන් පූජා ඔප්පු කළේ ගිබියොන් නුවර තිබූ ඒ මණ්ඩපයෙයි. යෙරුසලමේ දේවමාලිගාව ගොඩනඟා අවසන් වන තුරු ඒ සැලැස්ම ක්‍රියාත්මක වුණා. දේවමාලිගාව සාදා නිම වුණායින් පසුව ගිවිසුම් පෙට්ටිය දේවමාලිගාවේ අතිශුද්ධස්ථානයේ තබනු ලැබුවා. ඒ සමඟම ගිබියොන් නුවර මෙතෙක් තිබූ මණ්ඩපය යෙරුසලමට ගෙනෙනු ලැබුවා.—1 රාජාවලිය 8:4, 6.
අපට ගත හැකි පාඩම්:
13:11. අපි දරන යම් වෑයම් අසාර්ථක වන විට යෙහෝවා දෙවිට දොස් තබනවා වෙනුවට අපි තත්වය හොඳින් සෝදිසි කර බලා එය අසාර්ථක වීමට හේතුව තේරුම්ගැනීමට උත්සාහ කළ යුතුයි. දාවිත් එසේ කළ බවට සැකයක් නැහැ. තමා කළ වරදින් පාඩමක් ඉගෙනගත් ඔහු පසුව සුදුසු ක්‍රමයට අනුව ගිවිසුම් පෙට්ටිය සාර්ථකව යෙරුසලමට ගෙනාවා.a
14:10, 13-16; 22:17-19. දෙවි සමඟ ඇති අපගේ සම්බන්ධයට බලපෑ හැකි ඕනෑම කටයුත්තක් පටන්ගැනීමට පෙර යෙහෝවා දෙවිට යාච්ඤා කර ඔහුගේ මඟ පෙන්වීම පැතීම අප විසින් කළ යුත්තක්.
16:23-29. අපගේ ජීවිතයේ ප්රමුඛ ස්ථානය ගත යුත්තේ යෙහෝවාට කරන නමස්කාරයයි.
18:3. යෙහෝවා තම පොරොන්දු ඉටු කරයි. ආබ්‍රහම්ගේ වංශයට “ඊජිප්තුවෙහි ගංගාව පටන් ප්‍රාත් ගංගාව නම් මහත් ගංගාව දක්වා” වූ මුළු කානාන් දේශයම දෙන බවට වූ ඔහුගේ පොරොන්දුව දාවිත් තුළින් ඉටු කළා.—උත්පත්ති 15:18; 1 ලේකම් 13:5.
21:13-15. යෙහෝවා දේවදූතයාට වසංගතය නතර කිරීමට අණ කළේ ඔහු තම සෙනඟගේ දුක් වේදනා තේරුම්ගන්න දෙවි කෙනෙක් නිසයි. ඇත්තෙන්ම “ඔහුගේ කරුණාව ඉතා මහත්ය.”b
22:5, 9; 29:3-5, 14-16. දේවමාලිගාව ගොඩනැඟීමට යෙහෝවා දාවිත්ට අවසර දුන්නේ නැතත් දාවිත් ත්‍යාගශීලී ස්වභාවයක් පෙන්නුවා. ඒ ඇයි? ඊට හේතුව ඔහුට තිබුණු හැම දේම ලැබුණේ යෙහෝවාගේ යහපත්කම නිසා බව ඔහු තේරුම්ගත් නිසයි. දාවිත් වගේ ත්‍යාගශීලී ස්වභාවයක් පෙන්වීම සඳහා අපත් නිතරම කෘතඥතාවයේ හැඟීමක් ඇතිව සිටිය යුතුයි.
24:7-18. දේවදූතයෙක් යොහන් බව්තීස්තගේ පියා වූ සෙකරියා වෙතට පැමිණ යොහන්ගේ උපත ගැන දැනුම් දෙන අවස්ථාව වන විටත් දාවිත් ස්ථාපිත කළ පූජක පංති 24 ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඒ දේවදූතයා පැමිණි අවස්ථාවේදී “අබියාගේ පංතියට අයත් වූ” සෙකරියා දේවමාලිගාවේදී තමාගේ පැවරුම ඉටු කරමින් සිටියා. (ලූක් 1:5, 8, 9) සැබෑ නමස්කාරය සම්බන්ධ වී තිබෙන්නේ මිථ්‍යා ප්රබන්ධවලට නොව නමුත් සැබෑ පුද්ගලයන්ටයි. අද කාලයේ ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාගේ’ මඟ පෙන්වීම යටතේ යෙහෝවා දෙවිට කරන නමස්කාරය හොඳ සංවිධානාත්මක ක්‍රමයකට සිදු වෙයි. ඔවුන් සමඟ සහයෝගයෙන් පක්ෂපාතව කටයුතු කරන විට අපත් ආශීර්වාද ලබනවා.—මතෙව් 24:45.
“කැමැත්තෙන්” යෙහෝවාට සේවය කරන්න
පළමුවෙනි ලේකම් පොත පෙළපත් නාමාවලියක් අඩංගු පොතක් විතරක් නෙවෙයි. එහි බොහෝ තොරතුරුද අඩංගු වෙනවා. ඒවා අතර දාවිත් විසින් ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙන ඒම, යුද්ධයේදී ඔහු ලද ජයග්රහණයන්, දේවමාලිගාව ඉදි කිරීම සඳහා කළ සූදානම් වීම මෙන්ම ලෙවී ගෝත්‍රයට අයත් පූජකයන්ගේ පන්ති පිහිටුවීම වැනි දේ ඇතුළත්. එස්රා විසින් පළමුවෙනි ලේකම් පොත ලිවීම නිසා අනිවාර්යයෙන්ම ඊශ්‍රායෙලිතයන්ට මහත් ප්‍රයෝජන රාශියක් ලැබුණා. ඒ නිසා නව උද්යෝගයකින් යුතුව යෙහෝවාගේ මාලිගාවේදී ඔහුට සේවය කිරීමට ඔවුන්ට හැකි වුණා.
යෙහෝවාගේ නමස්කාරය සඳහා තම ජීවිතයේ මුල් තැන දීමෙන් දාවිත් තැබුවේ මොන තරම් කදිම ආදර්ශයක්ද! තමාටම විශේෂ වරප්‍රසාද ලබාගැනීමට උත්සාහ කරනවා වෙනුවට දාවිත් නිතරම දේවකැමැත්ත කළා. දාවිත්ගේ උපදෙස අදාළ කරමින් යෙහෝවාට “සම්පූර්ණ සිතකින් හා කැමැත්තෙන්” සේවය කිරීමට අපටත් දිරිගන්වා තිබෙනවා. —1 ලේකම් 28:9.
[පාදසටහන්වල]
a දාවිත් ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙනයෑමට උත්සාහ කිරීමේදී ඉගෙනගත හැකි වෙනත් පාඩම් දැනගැනීම සඳහා 2005 මැයි 15, මුරටැඹ කලාපයේ 16-19 පිටු බලන්න.
b දාවිත් දෙවිගේ කැමැත්තට පටහැනිව කළ ජනයාව ගණන් කිරීම යන කාරණය සම්බන්ධයෙන් අපට ගත හැකි පාඩම් සඳහා 2005 මැයි 15 මුරටැඹ කලාපයේ 16-19 දක්වා පිටු බලන්න.
[8-11වන පිටුවේ වගුව/පින්තූර]
(මුද්‍රිත පිටපත බලන්න)
ආදම් සිට නෝවා දක්වා පරම්පරා (අවුරුදු 1,056)
ක්‍රි.පූ. 4026 ආදම්
අවු. 130යි ⇩
සෙත්
105 ⇩
ඒනොෂ්
90 ⇩
කේනාන්
70 ⇩
මහලලෙල්
65 ⇩
යරෙද්
162 ⇩
ඒනොක්
65 ⇩
මෙතුසෙලා
187 ⇩
ලාමෙක්
182 ⇩
ක්‍රි.පූ. 2970දී නෝවාගේ උපත
නෝවා සිට ආබ්‍රහම් දක්වා පරම්පරා (අවුරුදු 952)
ක්‍රි.පූ. 2970 නෝවා
අවුරුදු 502 ⇩
ෂෙම්
100 ⇩
ජලගැල්ම ක්‍රි.පූ. 2370
අර්පක්ෂද්
35 ⇩
ෂෙලා
30 ⇩
ඒබෙර්
34 ⇩
පේලෙග්
30 ⇩
රෙව්
32 ⇩
සේරග්
30 ⇩
නාහොර්
29 ⇩
තේරා
130 ⇩
ක්‍රි.පූ. 2018දී ආබ්‍රහම්ගේ උපත
ආබ්‍රහම් සිට දාවිත් දක්වා: පරම්පරා 14ක් (අවුරුදු 911)
ක්‍රි.පූ. 2018 ආබ්‍රහම්
අවු. 100
ඊසාක්
60 ⇩
යාකොබ්
88ක් පමණ ⇩
යූදා
⇩
පෙරෙශ්
⇩
හෙශ්රොන්
⇩
රාම්
⇩
අම්මිනාදාබ්
⇩
නාෂොන්
⇩
සල්මා
⇩
බෝවස්
⇩
ඕබෙද්
⇩
යෙස්සේ
⇩
ක්‍රි.පූ. 1107 දාවිත්ගේ උපත