‘දෙවිගේ බලයේ උපකාරයෙන් ගැඹුරු කාරණා තේරුම්ගත හැකියි’
‘දෙවිගේ බලය අපගේ සිත් තුළ ක්‍රියාත්මක වන නිසා ඔහු එළිදරව් කර තිබෙන ගැඹුරු කාරණා පවා තේරුම්ගැනීමට හැකි වී තිබේ.’—1 කොරි. 2:10.
1. පළමුවන කොරින්ති 2:10හි සඳහන් ලෙස දෙවිගේ බලය අපට උපකාර කරන්නේ කුමන ආකාරයෙන්ද? අප සලකා බලන ප්‍රශ්න මොනවාද?
යෙහෝවා දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් අපට උපකාර කිරීම ගැන අප ඔහුට කොතරම් ස්තුතිවන්ත විය යුතුද! දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් අපට උපකාර කරන විවිධ ක්‍රම ගැන බයිබලයේ සඳහන් කර තිබෙනවා. (යොහ. 14:16; ක්‍රියා 2:38; රෝම 8:16, 26, 27) ඒ වගේම දෙවි අපට උපකාර කරන තවත් විශේෂ ක්‍රමයක් ගැන පාවුල් මෙසේ සඳහන් කළා. “ඔහුගේ බලය අපගේ සිත් තුළ ක්‍රියාත්මක වන නිසා අපට දෙවි එළිදරව් කරන ගැඹුරු කාරණා පවා තේරුම්ගැනීමට හැකි වී තිබේ.” (1 කොරි. 2:10) දෙවි ඔහුගේ බලය ලබා දුන්නේ නැත්නම් අපට ඔහුගේ අරමුණු ගැන දැනගන්න ලැබෙන්නේ නැහැ. (1 කොරින්ති 2:9-12 කියවන්න.) දෙවි එළිදරව් කරන ගැඹුරු කාරණා අවබෝධ කරගැනීමට ඔහුගේ බලයේ උපකාරය ලැබෙන්නේ කොහොමද? පළමු ශතවර්ෂයේදී ඔහු ඒවා එළිදරව් කළේ කා තුළින්ද? අද දින ඔහු ඒවා එළිදරව් කරන්නේ කොහොමද? කවුරුන් මාර්ගයෙන්ද?
2. දෙවිගේ බලය අපට උපකාර කරන ආකාර දෙක කුමක්ද?
2 යේසුස් තම මරණයට ටික වේලාවකට කලින් අනුගාමිකයන්ට ලබා දුන් පොරොන්දුවේ දෙවිගේ බලයේ උපකාරය ලැබෙන ආකාර දෙකක් ගැන මෙසේ සඳහන් කළා. “ඔබේ උපකාරයට පියාණන් මගේ නාමයෙන් ඔහුගේ බලය ඔබට ලබා දෙයි. ඒ බලය මාර්ගයෙන් ඔබ සෑම දෙයක්ම ඉගෙනගන්නා අතර මා ඔබට පැවසූ සියල්ල මතකයට නඟන්නත් ඔබට හැකි වෙයි.” (යොහ. 14:26) ඒ අනුව බයිබලයේ සඳහන් ගැඹුරු කාරණා ඉගෙනගෙන අවබෝධ කරගන්නත් අවශ්‍ය අවස්ථාවලදී ඒවා මතකයට නඟාගෙන අදාළ කරගන්නත් දෙවිගේ බලය අපට උපකාර කරනවා.
පළමු ශතවර්ෂයේදී උපකාර කළ ආකාරය
3. “දෙවි පිළිබඳ ගැඹුරු කාරණා” අවබෝධ වන්නේ ක්‍රමානුකූලව බව යේසුස් පැවසූ දෙයින් පැහැදිලි වන්නේ කොහොමද?
3 යේසුස් තම ගෝලයන්ට බොහෝ අලුත් කාරණා ඉගැන්නුවා. ඒ වගේම ඔවුන්ට තවත් දේවල් ඉගෙනගැනීමටද තිබුණා. ඒ ගැන යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවා. “ඔබට කියන්න තව බොහෝ දේ මට තිබුණත් ඒවා දරාගන්න දැන් ඔබට බැහැ. නමුත් ඔබට සත්‍යය එළිදරව් කරන දෙවිගේ බලය ලැබෙන විට සත්‍යය ගැන වඩාත් පූර්ණ අවබෝධයක් ලබාගැනීමට ඔබට මඟ පෙන්වීම් ලැබෙයි.” (යොහ. 16:12, 13) දෙවිගේ බලය ලැබෙන විට ඔවුන් ක්‍රමානුකූලව ගැඹුරු කාරණා අවබෝධ කරගන්නා බව යේසුස් ඉන් ඇඟෙව්වා.
4. කාරණා අවබෝධ කරගන්න හා මතකයට නඟාගන්න ක්‍රි. ව. 33 පෙන්තකොස්ත දවසේදී දෙවිගේ බලයේ උපකාරය ලැබුණේ කොහොමද?
4 ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී “සත්‍යය එළිදරව් කරන දෙවිගේ බලය” ඔහුගේ සේවකයන් 120දෙනෙකුට ලැබුණා. ඊට සාක්ෂිද පැහැදිලිව දැකගැනීමට තිබුණා. (ක්‍රියා 1:4, 5, 15; 2:1-4) ඒ අවස්ථාවේදී යේසුස්ගේ ගෝලයන් “දෙවිගේ බලවත් ක්‍රියා” ගැන විවිධ භාෂාවලින් කතා කිරීමට පටන්ගත්තා. (ක්‍රියා 2:5-11) දෙවිගේ සෙනඟට ඔහුගේ බලයේ උපකාරය ලැබෙන බව යෝවෙල් පවා අනාවැකි පවසා තිබුණා. (යෝවෙ. 2:28-32) එතැනට රැස් වූ අය අපේක්ෂා නොකළ ආකාරයෙන් එම අනාවැකිය ඉටු වුණා. (ක්‍රියා 2:14-18 කියවන්න.) එය අනාවැකියක ඉටු වීමක් බව දෙවිගේ බලයේ උපකාරයෙන් පේතෘස් අවබෝධ කරගත්තා. ඒ අවස්ථාවේදී පේතෘස්, යෝවෙල්ගේ අනාවැකිය ගැන පමණක් නොව දාවිත් ලියූ ගීතිකා දෙකක් ගැනද සඳහන් කළා. ඔහුට එය මතකයට නඟාගැනීමට හැකි වුණේ දෙවිගේ බලයේ උපකාරය ලැබුණු නිසයි. (ගීතා. 16:8-11; 110:1; ක්‍රියා 2:25-28, 34, 35) ඒ අවස්ථාවේ එළිදරව් වූ සියල්ල දෙවිගේ ගැඹුරු කාරණායි.
5, 6. (අ) ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසෙන් පසු අලුත් ගිවිසුම ගැන පැහැදිලි කිරීම් අවශ්‍ය වුණේ කුමන කාරණා ගැනද? (ආ) ඒවා සාකච්ඡා කළේ කවුද? තීරණ ගත්තේ කොහොමද?
5 පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන්ට පැහැදිලි කරගැනීමට තවත් බොහෝ දේ තිබුණා. පෙන්තකොස්ත දවසේ සිට ක්‍රියාත්මක වූ අලුත් ගිවිසුම ගැන තවත් පැහැදිලි කිරීම් ඔවුන්ට අවශ්‍ය වුණා. උදාහරණයකට එම අලුත් ගිවිසුමට ඇතුළත් වන්නේ යුදෙව්වන් හා යුදෙව් ආගම වැලඳගත් අය පමණද? වෙනත් ජාතීන්ටත් ඊට ඇතුළත් විය හැකිද? ඒ සඳහා ඔවුන් මෝසෙස්ගේ නීතිය යටතේ චර්මච්ඡේදනය විය යුතුද? (ක්‍රියා 15:1, 5) ඔවුන්ටත් දෙවිගේ බලය ලැබෙනවාද? (ක්‍රියා 10:45) එවැනි බැරෑරුම් ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීමට ඔවුන්ට දෙවිගේ බලයේ උපකාරය අවශ්‍ය වුණා. දෙවි ඒවා එළිදරව් කරන්නේ කවුරුන් මාර්ගයෙන්ද?
6 එවැනි කාරණා ගැන සාකච්ඡා කළේ එදා සිටි වග කිව යුතු සහෝදරයනුයි. පේතෘස්, පාවුල් සහ බානබස් වෙනත් ජාතීන්ටත් ශුභාරංචියට සවන් දී එය විශ්වාස කිරීමට අවස්ථාවක් දෙවි ලබා දී තිබුණු බව පාලක මණ්ඩලයේ රැස්වීමේදී පැවසුවා. (ක්‍රියා 15:7-12) ඉන්පසුව හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ සඳහන් කාරණා ගැන සොයා බලා දෙවිගේ බලයේ උපකාරය ඇතුව පාලක මණ්ඩලය තීරණයකට පැමිණියා. එම තීරණය ඔවුන් ලිඛිතව සභාවන්ට දැනුම් දුන්නා.—ක්‍රියා 15:25-30; 16:4, 5 කියවන්න; එෆී. 3:5, 6.
7. ගැඹුරු කාරණා පිළිබඳ අවබෝධය ලැබුණේ කොහොමද?
7 යොහන්, පේතෘස්, යාකොබ් හා පාවුල් දෙවිගේ බලයේ උපකාරයෙන් ලියූ ලිපිවලින් තවත් ගැඹුරු කාරණා පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා දුන්නා. නමුත් ග්‍රීක ශුද්ධ ලියවිල්ල ලියා අවසන් කළ පසු අනාවැකි කීමත් ආශ්චර්යවත් ලෙස තොරතුරු එළිදරව් කිරීමත් නතර වුණා. (1 කොරි. 13:8) ඉන් අදහස් කරන්නේ කාරණා අවබෝධ කරගන්නත් ඒවා මතකයට නඟාගන්නත් දෙවි ඔහුගේ බලය තුළින් උපකාර කිරීම නතර කළ බවද? නැහැ.
අවසාන කාලයේදී
8, 9. අවසාන කාලයේදී “දීප්තියෙන්” බැබළෙන්නේ කවුද?
8 අවසාන කාලය ගැන දේවදූතයෙක් මෙවැනි දෙයක් පැවසුවා. ‘ගැඹුරු අවබෝධය ඇති අය දීප්තිමත් අහස මෙන් බැබළෙන්නෝය. ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට බොහෝදෙනෙකුට උදව් කරන සියලුදෙනා තාරකා මෙන් සදාකාලයෙන් සදාකාලයටම බැබළෙන්නෝය. නිවැරදි දැනුම ඔවුන්ට නොඅඩුව ලැබෙන්නේය.’ (දානි. 12:3, 4) ගැඹුරු අවබෝධයක් තිබෙන දීප්තියෙන් බැබළෙන අය කවුද? ඊට පිළිතුර සොයාගැනීමට යේසුස් සඳහන් කළ තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාව අපට උපකාරවත් වෙයි. ඔහු පැවසුවේ, ‘පවතින මේ සමාජයේ අවසාන කාලයේදී ධර්මිෂ්ඨයන් තම පියාණන්ගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් දීප්තියෙන් බැබළෙයි’ කියායි. (මතෙ. 13:39, 43) එම උපමාව පැහැදිලි කරන විට “ධර්මිෂ්ඨයන්” වන්නේ “රාජ්‍යයේ පුත්‍රයෝ” එනම්, අභිෂේක ලත් අය බව යේසුස් පැවසුවා.—මතෙ. 13:38.
9 සියලුම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් “දීප්තියෙන්” බැබළෙනවාද? ඔවුන් ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ, යේසුස්ගේ ගෝලයන් වීම සඳහා ජනයාට ඉගැන්වීමේ හා රැස්වීම්වලදී එකිනෙකාව දිරිගැන්වීමේ කාර්යයේ පෙරමුණ ගෙන ක්‍රියා කරනවා. ඒ ආකාරයෙන් ඔවුන් සියලුදෙනාම බැබළෙනවා කියා පැවසිය හැකියි. එමගින් ඔවුන් අපට ආදර්ශයක් සපයනවා. (සෙක. 8:23) තවත් ගැඹුරු කාරණා අවසාන කාලයේදී එළිදරව් වීමට නියමිතව තිබුණා. දානියෙල් පැවසූ අනාවැකි පවා අවසාන කාලය දක්වා “වසා මුද්‍රා” කර තිබෙන බව සඳහන් වීමෙන් ඒ බව පැහැදිලියි. (දානි. 12:9) දෙවි ඔහුගේ බලයේ උපකාරය ලබා දී ගැඹුරු කාරණා එළිදරව් කරන්නේ කොහොමද? එමෙන්ම කවුරුන් මාර්ගයෙන්ද?
10. (අ) අවසාන කාලයේදී දෙවි ගැඹුරු කාරණා එළිදරව් කරන්නේ කවුරුන් මාර්ගයෙන්ද? (ආ) යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා ඇති කළ අලුත් සැලැස්ම ගැන ලැබුණු අලුත් අවබෝධය කුමක්ද?
10 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සිටින “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” නියෝජනය කරන සහෝදරයන් තොරතුරු ගවේෂණය කරන විට මීට කලින් කර තිබූ පැහැදිලි කිරීමක් නිවැරදි කිරීම අවශ්‍ය බව ඔවුන්ට අවබෝධ විය හැකියි. ඒ සඳහා ඔවුන්ට දෙවිගේ බලයේ උපකාරය ලැබෙනවා. (මතෙ. 24:45; 1 කොරි. 2:13) එවිට ඔවුන් එනම්, පාලක මණ්ඩලය එකතු වී එම තොරතුරු ගැන ගැඹුරින් සලකා බලනවා. (ක්‍රියා 15:6) ඉන්පසු ඔවුන් එම තොරතුරු ප්‍රකාශන තුළින් සියලුදෙනාටම දැනුම් දෙනවා. (මතෙ. 10:27) කාලයත් සමඟම එම කාරණය පිළිබඳ අවබෝධය තවත් වැඩි වන විට ඔවුන් ඉතා නිහතමානිව ඒ දේවල් පැහැදිලි කරනවා.—“දෙවිගේ බලයේ උපකාරයෙන් සංකේතමය දේවමාලිගාව ගැන අවබෝධය වැඩි වෙයි” යන කොටුව බලන්න.
දෙවිගේ බලය අද දින අපට උපකාර කරන අයුරු
11. දෙවිගේ ගැඹුරු කාරණා අවබෝධ කරගැනීමට ඔහුගේ බලය සියලුම ක්‍රිස්තියානීන්ට උපකාර කරන්නේ කොහොමද?
11 අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට මෙන් දෙවිගේ සියලුම විශ්වාසවන්ත සේවකයන්ටද ඔහුගේ බලයේ උපකාරය ලැබෙනවා. ඒ නිසා දෙවිගේ වචනය අධ්‍යයනය කරන්නත් ඒවා මතකයට නඟාගන්නත් ජීවිතයට අදාළ කරගන්නත් අපට හැකියි. (ලූක් 12:11, 12) විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ප්‍රකාශයට පත් කර තිබෙන ගැඹුරු කාරණා අවබෝධ කරගැනීමට අප උගතුන් විය යුතු නැහැ. (ක්‍රියා 4:13) ඒ සඳහා අපට කළ හැකි දේවල් ගැන දැන් අපි සලකා බලමු.
12. අප දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කළ යුත්තේ කුමන අවස්ථාවලදීද?
12 දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කරන්න. ශුද්ධ ලියවිල්ල හා ඊට අදාළ ප්‍රකාශන අධ්‍යයනය කිරීමට පෙර දෙවිගේ බලයේ උපකාරය ඉල්ලා යාච්ඤා කරන්න. අප අධ්‍යයනය කරන්නේ තනියෙන් වුණත් නැත්නම් එය කරන්නේ සුළු වේලාවකට වුණත් දෙවිගේ බලය ඉල්ලීම වැදගත්. අප අවංකව කරන එවැනි ඉල්ලීම් ගැන යෙහෝවා දෙවි බොහෝ සෙයින් සතුටු වෙනවා. යේසුස් පැවසූ ලෙස අප දෙවිගේ බලය ඉල්ලද්දී ඔහු එය නොමසුරුව ලබා දෙනවා.—ලූක් 11:13.
13, 14. ගැඹුරු කාරණා තේරුම්ගැනීමට රැස්වීම්වලට සුදානම් වීම උපකාරයක් වන්නේ කොහොමද?
13 රැස්වීම්වලට සූදානම් වන්න. විශ්වාසවන්ත නුවණ ඇති දාසයා අපට “නියම වේලාවට ආහාර” ලබා දෙනවා. ඔවුන් ඒවා ලබා දෙන්නේ බයිබලය මත පදනම්වයි. ඔවුන් සතිපතා පැවැත්වෙන රැස්වීම්වල වැඩසටහන් සැලසුම් කරනවා. යම් කාරණා ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්න කියා දාසයා ‘සහෝදරයන් සියලුදෙනාගෙන්ම’ ඉල්ලා සිටින්නේ ඒවායේ වැදගත්කම ඔවුන් දන්න නිසයි. (1 පේතෘ. 2:17; කොලො. 4:16; යූද් 3) එම උපදෙස් අනුගමනය කරනවා නම් දෙවි ඔහුගේ බලය තුළින් ලබා දෙන මඟ පෙන්වීම්වලට අප කීකරු වන බව පැවසිය හැකියි.—එළි. 2:29.
14 අප රැස්වීම්වලට සූදානම් වන විට උපුටා දක්වා නැති බයිබල් පද කියවා ඒවා එම විෂයට අදාළ වන ආකාරය තේරුම්ගන්න උත්සාහ කරනවා. ඒ තුළින් අපට බයිබලයේ සඳහන් ගැඹුරු කාරණා තේරුම්ගැනීමට හැකියි. (ක්‍රියා 17:11, 12) එවිට බයිබල් පදවල ඇති අදහස මතකයට නඟාගන්න දෙවිගේ බලයේ උපකාරය අපට ලැබෙනවා. ඒ වගේම බයිබල් පදයක් තිබෙන්නේ පිටුවේ කොතැනද කියා සොයාගැනීමටත් පහසු වෙනවා.
15. අප නිතිපතා අපගේ ප්‍රකාශන කියවිය යුත්තේ ඇයි? ඒ සඳහා ඔබ කරන්නේ කුමක්ද?
15 ප්‍රකාශන නිතිපතා කියවන්න. අපගේ ප්රකාශනවල ඇති සියලුම තොරතුරු අප රැස්වීම්වලදී සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් ඒවා සැලසුම් කර තිබෙන්නේ අපගේ ප්‍රයෝජනය සඳහායි. අප මහජනයාට ඉදිරිපත් කරන ප්රකාශනවල ඇති තොරතුරු දාසයා සකස් කර ඇත්තේද අපගේ ප්‍රයෝජනයටයි. ඒ නිසා අපගේ ප්‍රකාශන කියවීමට අප කාලය සොයාගත යුතුයි. ඒ සඳහා අපට කරන්න පුළුවන් කුමක්ද? යම් කෙනෙක් පැමිණෙන තුරු හෝ යම් කාර්යයක් කරගන්නා තුරු බොහෝ වේලාවක් බලා සිටීමට අපට සිදු වෙනවා. එවැනි අවස්ථාවලදී කියවීම සඳහා ප්රකාශනයක් රැගෙන යෑම ප්‍රයෝජනවත් විය හැකියි. සමහරුන් වාහනයක යන අතරතුර හෝ ඇවිදින විට පටිගත කරන ලද ප්රකාශනවලට සවන් දෙනවා. සාමාන්‍ය කියවීමේ හැකියාවක් ඇති කෙනෙකුට පවා කියවා තේරුම්ගත හැකි ආකාරයට හොඳින් ගවේෂණය කර සකසා ඇති අපගේ ප්‍රකාශනවලින් අපගේ දැනුමත් ඒවා කෙරෙහි අපගේ අගයත් වැඩි කරනවා.—හබ. 2:2.
16. ප්‍රශ්න සටහන් කරගැනීමෙන් හා ඒ ගැන ගවේෂණය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?
16 ගැඹුරින් කල්පනා කරන්න. බයිබලය හෝ ඊට සම්බන්ධ ප්‍රකාශන කියවන විට ඔබ කියවන දේ ගැන කල්පනා කරන්න. ඔබ කියවන කොටසේ අදහස් පෙළගස්වා ඇති ආකාරය ගැන ප්‍රශ්න මතු වෙනවා නම් එම ප්‍රශ්න කොළයක ලියා වෙනත් අවස්ථාවක ඒ ගැන ගවේෂණය කරන්න. අපගේ උනන්දුව අවුස්සන විෂයන් ගැන අප නිතරම අධ්‍යයනය කරනවා නම් ගැඹුරු කාරණා අධ්‍යයනය කිරීමට අපට තිබෙන ආශාව වැඩි වෙනවා. එසේ කිරීමෙන් අප ලබාගන්නා අවබෝධය වස්තුවකට සමානයි. අපට අවශ්‍ය අවස්ථාවලදී එමගින් ප්‍රයෝජන ගත හැකියි.—මතෙ. 13:52.
17. පෞද්ගලිකව හෝ පවුලේ පාඩමට ඔබ යොදා ඇති සැලසුම් මොනවාද?
17 පවුලේ නමස්කාරය සඳහා වේලාවක් වෙන් කරන්න. පෞද්ගලිකව හෝ පවුලක් ලෙස දෙවිගේ වචනය අධ්‍යයනය කිරීම සඳහා සෑම සතියකම වේලාවක් වෙන් කරන්න කියා අප සියලුදෙනාටම පාලක මණ්ඩලය දිරිගැන්නුවා. රැස්වීම්වල කර ඇති වෙනස්කම නිසා දැන් අපට ඒ සඳහා කාලය ලැබී තිබෙනවා. පවුලේ නමස්කාරය සඳහා වෙන් කළ කාලයේදී ඔබ කරන්නේ කුමක්ද? සමහර අය බයිබලය කියවන විට තේරුම්ගැනීමට නොහැකි පද ගැන ගවේෂණය කර, සොයාගත් තොරතුරු බයිබලයේ සටහන් කරගන්නවා. තවත් බොහෝ පවුල් රැස්වීම්වල සාකච්ඡා කළ තොරතුරු අදාළ කරගන්න ආකාරය ගැන සලකා බලනවා. සමහර පවුල් මූලිකයන් පවුලේ අවශ්‍යතාවන්ට අනුව සාකච්ඡා කළ යුතු විෂයන් තොරාගන්නවා. එසේත් නැත්නම් පවුලේ අය සාකච්ඡා කළ යුතු බවට පැවසූ තොරතුරු සලකා බලනවා. කාලයක් යන විට විවිධ විෂයන් ගැන සලකා බැලීමටද ඔබ පෙලඹිය හැකියි.a
18. ගැඹුරු කාරණා අධ්‍යයනය කිරීමෙන් අප වැළකී නොසිටිය යුත්තේ ඇයි?
18 දෙවිගේ බලයේ උපකාරය ලැබෙන බව යේසුස් අපට පැවසූ නිසා ගැඹුරු කාරණා අධ්‍යයනය කිරීමෙන් අප වැළකී නොසිටිය යුතුයි. එම තොරතුරු දෙවිව වඩාත් හොඳින් ‘දැන හඳුනා ගැනීමට’ අපට උපකාර කරනවා. අපට එය දිගටම කරන ලෙසද දිරිගන්වා තිබෙනවා. (හිතෝපදේශ 2:1-5 කියවන්න.) අප එසේ කරනවා නම් “දෙවි තමන් ප්‍රේම කරන අය වෙනුවෙන් සූදානම් කර ඇති දේවල්” ගැන දැනගත හැකියි. දෙවිගේ වචනය ගැන ඉගෙනගැනීමට අප වෑයම් කරනවා නම් ‘දෙවිගේ බලය ගැඹුරු කාරණා පවා තේරුම්ගැනීමට’ අපට උපකාර කරනවා.—1 කොරි. 2:9, 10.
[පාදසටහන]
a වර්ෂ 2008 ඔක්තෝබර් අපගේ රාජ්‍ය සේවාවේ අටවන පිටුව බලන්න.
ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?
• ‘ගැඹුරු කාරණා’ තේරුම්ගැනීමට දෙවිගේ බලය අපට උපකාර කරන ආකාර දෙක කුමක්ද?
• පළමු ශතවර්ෂයේදී දෙවි ගැඹුරු කාරණා තේරුම් කර දුන්නේ කවුරුන් මාර්ගයෙන්ද?
• අද දින ගැඹුරු කාරණා අවබෝධ කරගැනීමට දෙවිගේ බලයේ උපකාරය ලැබෙන්නේ කොහොමද?
• දෙවිගේ බලයේ උපකාරය තුළින් ගැඹුරු කාරණා අවබෝධ කරගැනීමට ඔබ කුමක් කළ යුතුද?
[22වන පිටුවේ කොටුව]
දෙවිගේ බලයේ උපකාරයෙන් සංකේතමය දේවමාලිගාව ගැන අවබෝධය වැඩි වෙයි
පුරාණයේ තිබූ ශුද්ධ කූඩාරමෙන් හා දේවමාලිගාවෙන් ශ්‍රේෂ්ඨ සැලැස්මක් නියෝජනය වූ බව තේරුම්ගැනීමට පළමු ශතවර්ෂයේදී දෙවිගේ බලයේ උපකාරය ලැබුණා. පාවුල් එය ‘මිනිසා විසින් නොව යෙහෝවා දෙවි විසින් ඉදි කරන ලද සැබෑ කූඩාරම’ කියා හැඳින්නුවා. (හෙබ්‍රෙ. 8:2) පාවුල් එහිදී සඳහන් කරන්නේ ශුද්ධ කූඩාරම හෝ දේවමාලිගාව වෙනුවට දෙවිට ළඟා වීමට සහ ඔහුට නමස්කාර කිරීමට තිබෙන ශ්‍රේෂ්ඨ සැලැස්මක් ගැනයි. එය ක්‍රියාත්මක වුණේ යේසුස්ගේ ජීවිත පූජාව හා පූජකයෙක් ලෙස ඔහු කළ කාර්යය නිසයි.
ක්‍රිස්තු වර්ෂ 29දී යේසුස් බව්තීස්ම වීමත් සමඟම දෙවි ඔහුව පරිපූර්ණ පූජාවක් ලෙස පිළිගත්තා. එදා සිට ‘සැබෑ කූඩාරම’ පිළිබඳ සැලැස්ම ආරම්භ වුණා. (හෙබ්‍රෙ. 10:5-10) යේසුස් නැවත නැඟිටීමෙන් පසු ස්වර්ගයට යෑම හරියට උත්තම පූජකයා අතිශුද්ධස්ථානයට ඇතුල් වීම හා සමානයි. යේසුස් එහිදී ‘දෙවි ඉදිරියේ පෙනී සිටියා.’ ඉන් අදහස් කළේ යේසුස්ගේ ජීවිත පූජාවේ පදනම මත මනුෂ්‍ය වර්ගයාව පාපයෙන් ගලවාගැනීම සඳහා දෙවිට එතැන් සිට පියවර ගැනීමට හැකි වූ බවයි.—හෙබ්‍රෙ. 9:11, 12, 24.
පාවුල් තවත් තැනක ශුද්ධ දේවමාලිගාවක් ගැන කතා කළා. ඔහු එහිදී අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව “යෙහෝවා දෙවි වෙනුවෙන් ඉදි කරනු ලබන ශුද්ධ දේවමාලිගාවක්” ලෙස හැඳින්නුවා. (එෆී. 2:20-22) එම දේවමාලිගාව ඔහු හෙබ්‍රෙව් පොතේ කතා කරන ‘සැබෑ කූඩාරමට’ සමානද? වසර ගණනාවක් පුරා යෙහෝවා දෙවිගේ සේවකයන් තේරුම්ගෙන සිටියේ එය සමාන බවයි. ඔවුන් සිතුවේ දෙවිගේ ස්වර්ගික දේවමාලිගාවේ “ගල්” ලෙස අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව පොළොවේදී සූදානම් කරන බවයි.—1 පේතෘ. 2:5.
කෙසේවෙතත් දෙවිගේ බලයේ උපකාරය තුළින් 1971දී එම අදහස වැරදි බව තේරුම්ගත්තා. විශ්වාසවන්ත දාසයාට අයත් වග කිව යුතු සාමාජිකයන් එම වසරේදී තේරුම්ගත්තේ පාවුල් එෆීස පොතේ සඳහන් කරන දේ හා හෙබ්‍රෙව් පොතේ සඳහන් කරන දේ අතර සමානකමක් නැති බවයි. පාවුල් හෙබ්‍රෙව් පොතේ සඳහන් කරන සැබෑ කූඩාරම අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සෑදී ඇත්නම් එම සැලැස්ම ආරම්භ විය යත්තේ ඔවුන් නැවත නැඟිටීම ලැබීමෙන් පසුවයි. එනම් “ස්වාමීන් පැමිණ සිටින” කාලයේදීයි. (1 තෙස. 4:15-17) නමුත් පාවුල් ශුද්ධ කූඩාරම ගැන සඳහන් කරමින් මෙසේ ලිව්වා. “එම කූඩාරම කලින් නියම කර තිබූ මෙම කාලයේදී සිදු වන දේවලට සංකේතයක්.”—හෙබ්‍රෙ. 9:9.
ශුද්ධ ලියවිල්ල පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් කිරීමෙන් පසු ඔවුන් තේරුම්ගත්තේ දෙවිට නමස්කාර කිරීමට තිබෙන ශ්‍රේෂ්ඨ සැලැස්ම එනම්, සැබෑ කූඩාරම ඉදිවෙමින් පවතින එකක් නොව එය බොහෝ කලකට ඉහතදී ආරම්භ වී තිබූ බවයි. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ගැන කුමක් කිව හැකිද? ඔවුන් දෙවිට නමස්කාර කිරීම සඳහා දැන් පිහිටුවා ඇති ශ්‍රේෂ්ඨ සැලැස්ම යටතේ “දෙවිට කරන ප්‍රශංසාව, පූජාවක් මෙන්” ඔප්පු කරමින් සිටිනවා. එය, එදා සිටි පූජකයන් දේවමාලිගාවේ ඇතුල් මළුවේ හා ශුද්ධස්ථානයේ කළ සේවයට සමානයි.—හෙබ්‍රෙ. 13:15.
[23වන පිටුවේ පින්තූරය]
‘දෙවිගේ ගැඹුරු කාරණා’ පිළිබඳ අවබෝධය අප වැඩි කරගන්නේ කොහොමද?