පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා විය යුත්තේ මන්ද?
“මාගේ ප්‍රිය දරුවෙනි, දේවතා රූපවලින් [පිළිමවලින් NW] දුරුව සිටපල්ලා.”—1 යොහන් 5:21.
1. යෙහෝවඃ වහන්සේට දෙනු ලබන නමස්කාරය පිළිම වන්දනාවෙන් නිදහස් ව තිබෙන්නේ මන්ද?
යෙහෝවඃ වහන්සේ වනාහි ලෝහ, දැව හෝ ගල්වලින් සෑදූ පිළිමයක් නොවේ. භූමික දේවාලයක උන් වහන්සේ ව තබන්නට නොහැකි ය. උන් වහන්සේ වනාහි මිනිසුන්ට නොපෙනෙන, සර්වබලධාරී ආත්මයාණන් බැවින්, උන් වහන්සේගේ රූපයක් සෑදීමට නොහැක. මෙබැවින්, යෙහෝවඃ වහන්සේට පුදන නිර්මල නමස්කාරය මුළුමනින් ම පිළිම වන්දනාවෙන් තොර විය යුතු ය.—නික්මයාම 33:20; ක්‍රියා 17:24; 2 කොරින්ති 3:17.
2. අපගේ සැලකිල්ලට භාජනය විය යුතු ප්‍රශ්න මොනවා ද?
2 ඔබ යෙහෝවඃ වහන්සේට නමස්කාර කරන්නෙකු නම්, ඔබ මෙසේ අසනවා විය හැක, ‘පිළිම වන්දනාව යනු කුමක් ද? යෙහෝවඃ වහන්සේගේ සේවකයන් හට අතීතයේ දී එයින් වැළකී සිටීමට හැකි වී තිබෙන්නේ කෙසේ ද? තව ද අද දින පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා විය යුත්තේ මන්ද?’
පිළිම වන්දනාව යනු
3, 4. පිළිම වන්දනාව අර්ථ දැක්විය හැක්කේ කෙසේ ද?
3 පොදුවේ ගත් කල, පිළිම වන්දනාවට උත්සවයක් හෝ පූජාවිධියක් ඇතුළත් වෙයි. පිළිම වන්දනාව වනාහි පිළිමයකට භක්තිය පිදීම, ප්‍රේම කිරීම, නමස්කාර කිරීම හෝ භක්ත්‍යාදරයක් දැක්වීමකි. පිළිමයක් යනු කුමක් ද? එය රූපයකි, නැතහොත් යම් දෙයක නියෝජනයකි. එසේ නැත්නම් භක්තිය පුදනු ලබන වස්තුවක සංකේතයකි. සාමාන්‍යයෙන්, පිළිම වන්දනාව යොමු වන්නේ, ජීවමාන ව පවතින බවට විශ්වාස කරනු ලබන සැබෑ හෝ උසස් යයි සිතා සිටින බලයක් කෙරෙහි ය (මිනිසෙකු, සතෙකු, හෝ සංවිධානයක්). එහෙත් අජීවි දේවල් (බලවේගයක් හෝ ස්වභාව ධර්මයේ අජීවි වස්තුවක්) සම්බන්ධයෙන් ද පිළිම වන්දනාවක් ක්‍රියාත්මක කළ හැකි වෙයි.
4 ශුද්ධ ලියවිලි තුළ, පිළිමවලට යොමු දක්වන හෙබ්‍රෙව් වචන, බොහෝ විට වටිනාකමින් ශුන්‍ය බව අවධාරණය කරයි, නැතහොත් ඒවා අවමන් සහගත අරුතක් ඇති පද වේ. පරිවර්තනය කොට ඇති වචන අතර මේවා වෙයි; “කැටයම් කරන ලද හෝ නෙළන ලද රූප” (වචනානුසාරයෙන් ගත් කල, නෙළන ලද යමක්); “ලෝහවලින් උණු කොට ගත් ප්‍රතිමාව, රූපය, හෝ පිළිමය” (අඹා ගත් හෝ වක්කර ගත් යමක්); “නිහීන [පිළිකුල්] පිළිමය;” “නිෂ්ඵල පිළිමය” (වචනානුසාරයෙන් ගත් කල, නිෂ්ඵලත්වය); සහ “ගොම මෙන් වූ රූප.” එයිʹඩො·ලොන් යන ග්‍රීක වදන පරිවර්තනය කොට ඇත්තේ “පිළිමය” යනුවෙනි.
5. සියලු පිළිම, පිළිම නොවන බවට පැවසිය හැක්කේ මන්ද?
5 සියලු රූප පිළිම නොවේ. ගිවිසුම් පෙට්ටිය සඳහා රන් කෙරුබ්වරුන් දෙදෙනෙකු සාදන මෙන් ද, මණ්ඩපය සඳහා වූ තිර දහයේ අභ්‍යන්තර ආවරණය මත ද, ශුද්ධස්ථානය සහ අති ශුද්ධස්ථානය වෙන් කරන තිරය මත ද එවන් ආත්ම මැවිලිවල නියෝජනයන් අලංකාර කරන මෙන් ද දෙවියන් වහන්සේ ම ඊශ්රායෙල්වරුනට පැවසූ සේක. (නික්මයාම 25:1, 18; 26:1, 31-33) මූලික වශයෙන් ස්වර්ගික කෙරුබ්වරුන්ගේ පින්තූරයක් වශයෙන් තිබුණා වූ මෙම නියෝජනයන් දුටුවේ සේවය කරමින් සිටි පූජකයන් පමණි. (හෙබ්‍රෙව් 9:24, 25 සසඳන්න.) මණ්ඩපයේ වූ කෙරුබ්වරුන්ගේ නියෝජනයන් හට භක්තිය පුදනු ලැබීමට නොතිබූ බව පැහැදිලි වන්නේ, ධර්මිෂ්ඨ දේව දූතයන් පවා නමස්කාරය පිළිනොගත් බැවිනි.—කොලොස්සි 2:18; එළිදරව් 19:10; 22:8, 9.
යෙහෝවඃ වහන්සේ පිළිම වන්දනාව දෙස බලන අයුරු
6. යෙහෝවඃ වහන්සේ පිළිම වන්දනාව දෙස බලන්නේ කෙසේ ද?
6 යෙහෝවඃ වහන්සේගේ සේවකයෝ පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා වෙති, මන්දයත් උන් වහන්සේ සියලු ම පිළිම වන්දනාත්මක ක්‍රියාවලට විරුද්ධ ව සිටින සේක. භක්තිය පිදීමේ වස්තූන් ලෙස රූප සාදා ගෙන ඒවාට නමස්කාර නොකරන ලෙස දෙවියන් වහන්සේ ඊශ්රායෙල්වරුනට ආඥා කළ සේක. දස පනත අතර මෙම වචන සොයා ගත හැකි ය: “කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්ටයක් තට සාදානොගනුව. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව, මක්නිසාද තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ [තනි භක්තිය තදින් ඉල්ලන්නා වූ NW], මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ, මට ප්‍රේමකරමින් මාගේ ආඥා පවත්වන්නවුන්ගෙන් පැවතෙන දහස් ගණන් පරමප්රා දක්වා දයාව පෙන්වන්නාවූ දෙවිකෙනෙක්ය.”—නික්මයාම 20:4-6.
7. යෙහෝවඃ වහන්සේ සියලු ම පිළිම වන්දනාවන්ට විරුද්ධ වන්නේ මන්ද?
7 යෙහෝවඃ වහන්සේ සියලු ආකාරයේ පිළිම වන්දනාවට විරුද්ධ ව සිටින්නේ මන්ද? ඉහත, දස පනතේ දෙවැන්නේ පෙන්වා ඇති පරිදි මූලික වශයෙන්, ඒ උන් වහන්සේ තනි භක්තිය තදින් ඉල්ලා සිටින නිසා ය. එපමණක් ද නොව, ස්වකීය අනාගතවක්තෘ යෙසායා තුළින් උන් වහන්සේ මෙසේ පැවසූ සේක: “මම ස්වාමීන්වහන්සේය [යෙහෝවඃ වහන්සේ ය NW]; මාගේ නාමය ඒකය; මාගේ ගෞරවය අන්කෙනෙකුටවත් මාගේ ප්‍රශංසාව [කැපූ NW] රූපවලටත් නොදෙන්නෙමි.” (යෙසායා 42:8) එක් අවස්ථාවක දී, පිළිම වන්දනාව ඊශ්‍රායෙල්වරුන් ව කොතරම් දුරකට උගුලට හසු කරගත්තාද කිවහොත්, “ඔව්හු තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද යක්ෂයන්ට [භූතයන්ට NW] පූජා කළෝය.” (ගීතාවලිය 106:36, 37) පිළිම වන්දනාකරුවෝ, යෙහෝවඃ වහන්සේ සැබෑ දෙවියන් වහන්සේ බව ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව, නමුත් භූතයන් ද ඇතුළු උන් වහන්සේගේ ප්‍රධාන විරුද්ධකාරයා වන යක්ෂයාගේ ඕනෑ එපාකම්වලට සේවය ද කරති.
පරීක්ෂාවන් යටතේ පක්ෂපාත ව
8. ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ යන හෙබ්‍රෙව්වරුන් තිදෙනාට මුහුණ දීමට තිබූ පරීක්ෂණය කුමක් ද?
8 යෙහෝවඃ වහන්සේට පක්ෂපාත ව සිටීම, පිළිම වන්දනාවට එරෙහි ව ද අප ව ආරක්ෂා කරයි. මෙය, දානියෙල් 3 වෙනි පරිච්ඡේදයේ වාර්තා වී ඇති සිද්ධියෙන් නිරූපනය වෙයි. තමන් විසින් නංවා තිබූ විශාල රන් රූපයක් උත්සවාකාරයෙන් විවෘත කිරීම පිණිස, බබිලෝනිය රජ වූ නෙබුකද්නෙශර්, තමාගේ අධිරාජ්‍යයේ නිලධාරීන් ව එක්රැස් කළේ ය. ඔහුගේ නියෝගයට, බබිලෝනීය පරිපාලන දිස්ත්‍රික්ක පුරා හෙබ්‍රෙව් පරිපාලකයන් වූ ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ ද ඇතුළත් විණි. එක්තරා සංගීත භාණ්ඩවල නාදයත් සමඟ ම, පැමිණි සිටි සියල්ලන්ට ම රූපය ඉදිරිපිට වැඳ නමස්කාර කිරීමට අණ කොට තිබුණි. මෙය වනාහි, බබිලෝනියේ නියම දෙවියා වූ සාතන් වන යක්ෂයා විසින්, මෙම හෙබ්‍රෙව්වරුන් තිදෙනා ව බබිලෝනීය අධිරාජ්‍යය නියෝජනය කරන රූපයක් ඉදිරියේ වැඳ නමස්කාර කරවීමට ගත් උත්සාහයක් විය. ඔබ එම ජවනිකාව තුළ සිටිනවා කියා කල්පනාවට ගන්න.
9, 10. (අ) මෙම හෙබ්‍රෙව්වරුන් තිදෙනා ගත් ස්ථාවරය කුමක් ද? ඔවුන්ට ඒ සඳහා විපාක ලැබුණේ කෙසේ ද? (ආ) හෙබ්‍රෙව්වරුන් තිදෙනාගේ ක්‍රියා මාර්ගය මගින් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට ලබා ගත හැකි දිරිගැන්වීම කුමක් ද?
9 බලන්න! හෙබ්‍රෙව්වරුන් තිදෙනා සිට ගෙන සිටී. රූප හෝ කැපූ පිළිම සෑදීම හෝ ඒවාට සේවය කිරීමට එරෙහි ව දෙවියන් වහන්සේ පනවා තිබූ නීතිය ඔවුහු සිහියට ගනිත්. නෙබුකද්නෙශර් ඔවුන්ට අන්තිම නියෝගය දෙයි—වැඳ වැටෙනු නැතහොත් මරණය! එහෙත් යෙහෝවඃ වහන්සේට පක්ෂපාතී ව ඔවුහු මෙසේ පවසති: “ඇවිලෙණ ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවයකරන අපේ දෙවියන්වහන්සේට පුළුවන; රජ්ජුරුවෙනි, උන්වහන්සේ ඔබගේ අතින් අප ගළවනසේක. එසේ නොකළත්, රජ්ජුරුවෙනි, ඔබගේ දෙවිවරුන්ට අප සේවයකරන්නේවත් ඔබ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරනේවත් නැති බව ඔබ දැනගත මැනව.”—දානියෙල් 3:16-18.
10 දෙවියන් වහන්සේට පක්ෂපාත මෙම සේවකයන් ව අතිශයින් රත්කරන ලද උදුනකට හෙළනු ලැබේ. පුද්ගලයන් හතර දෙනෙකු උදුන තුළ ඇවිදිනවා දැකීමෙන් පුදුම වන නෙබුකද්නෙශර් හෙබ්‍රෙව් තිදෙනාට පිටතට පැමිණෙන ලෙස කියයි, එමෙන් ම කිසිදු හානියකින් තොර ව ඔවුහු එයින් මතු වී එති. ඒ අවස්ථාවේ දී, රජ හඬ නගා මෙසේ කියයි: “ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ස්වකීය දූතයා [ගිනි උදුනේ සිටි හතරවෙනි පුද්ගලයා] එවා, තමන්වහන්සේ කෙරෙහි විශ්වාසකළාවූ, තමුන්ගේම දෙවියන්වහන්සේට මිස, වෙන කිසි දෙවිකෙනෙකුට සේවයකරන්ටවත්, නමස්කාරකරන්ටවත් නොයෙදන පිණිස, රජුගේ වචනය කඩකර තමුන්ගේ ශරීර භාරදුන්නාවූ, ස්වකීය මෙහෙකරුවන් ගැළවූ සේක. . . . මක්නිසාද මේ ආකාරයෙන් ගළවන්ට පුළුවන් වෙන දෙවිකෙනෙක් නැත.” (දානියෙල් 3:28, 29) එම හෙබ්‍රෙව්වරුන් තිදෙනාගේ අඛණ්ඩතාවය රැකීම, දෙවියන් වහන්සේට පක්ෂපාත වීමටත්, ලෝකය සම්බන්ධයෙන් මධ්‍යස්ථ බව පවත්වා ගැනීමටත්, එමෙන් ම පිළිම වන්දනාවෙන් වැළකීමටත් යෙහෝවඃ වහන්සේගේ වත්මන් සාක්ෂිකරුවන් හට දිරිගැන්වීමක් සපයයි.—යොහන් 17:16.
අධිකරණයේ දී පිළිම පරාජය වේ
11, 12. (අ) යෙහෝවඃ වහන්සේ සහ පිළිම දේවතාවුන් සම්බන්ධ ව යෙසායා විසින් කරන ලද වාර්තාව කුමක් ද? (ආ)යෙහෝවඃ වහන්සේ විසින් අභියෝග කරනු ලැබූ විට, ජාතීන්ගේ දෙවිවරුන්ට සිදු වූයේ කුමක් ද?
11 පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා වීමට තිබෙන තවත් හේතුවක් නම්, පිළිමවලට ගෞරව කිරීම නිෂ්ඵල දෙයක් වීමයි. මිනිසුන් විසින් සාදන ලද ඇතැම් පිළිම—බොහෝ විට මුඛයක්, ඇස්, සහ කන් ඇති ව—ජීවමාන මෙන් පෙනෙන්ට තිබුණත්, ඒවාට කථා කිරීමට, බැලීමට හෝ ඇසීමට නොහැක, එමෙන් ම ඒවාට භක්තිය පුදන අය වෙනුවෙන් කිසිවක් කිරීමටත් ඒවාට බැරි ය. (ගීතාවලිය 135:15-18) යෙහෝවඃ වහන්සේ සහ පිළිම දෙවියන් අතර ඇති වූ අධිකරණ නඩුවක් සම්බන්ධ ව යෙසායා 43:8-28 හි දෙවියන් වහන්සේගේ අනාගතවක්තෘවරයා වාර්තා කරනු ලැබූ, පො.යු.පෙර අට වෙනි සියවසේ දී මෙය පෙන්වන ලදි. එහි දී, දෙවියන් වහන්සේගේ ඊශ්‍රායෙල් ජනයා එක් පැත්තක වූ අතර, ලෝක ජාතීහු අනෙක් පැත්තේ සිටියෝ ය. “පළමු දේවල්,” එනම් නිවැරදි ව අනාවැකි කියන ලෙස යෙහෝවඃ වහන්සේ ජාතීන්ගේ දෙවිවරුන්ට අභියෝග කළ සේක. එක්කෙනෙකුටවත් එසේ කීමට නොහැකි විණි. ස්වකීය සෙනඟ වෙතට හැරෙමින් යෙහෝවඃ වහන්සේ මෙසේ පැවසූ සේක: “නුඹලා මාගේ සාක්ෂිකාරයෝය. . . . මම දෙවියන්වහන්සේය.” තමන්ගේ දෙවිවරුන් යෙහෝවඃ වහන්සේට ප්‍රථමයෙන් සිටි බවටවත් ඔවුන්ට අනාවැකි කියන්නට හැකි බවටවත් ඔප්පු කරන්නට ජාතීන්ට හැකි වුණේ නැත. එහෙත්, බබිලෝනියේ විනාශය ගැන සහ ස්වකීය වහල් සෙනඟගේ මිදීම ගැන යෙහෝවඃ වහන්සේ පුරෝකථනය කළ සේක.
12 තවදුරටත්, යෙසායා 44:1-8 හි දෙවියන් වහන්සේගේ මුදවා ගනු ලැබූ සෙනඟ, විස්තර කර ඇති පරිදි තමන් ‘යෙහෝවඃ වහන්සේට අයිති’ යයි කියන්නෝ ය. උන් වහන්සේ ම මෙසේ පැවසූ සේක: “මම පළමුවෙනියාය, අන්තිමයාත් මම; මා ඇර දෙවිකෙනෙක් නැත.” එම කාරණය නිෂ්ප්රභා කිරීමක් පිළිම දෙවිවරුන්ගෙන් සිදු වූයේ නැත. “නුඹලා මාගේ සාක්ෂිකාරයෝය” යයි යෙහෝවඃ වහන්සේ යළිත් ස්වකීය ජනයා ගැන පැවසුවේ ඊට මෙසේ එකතු කරමිනි: “මා ඇර වෙන දෙවිකෙනෙක් ඇද්ද, නැත වෙන පර්වතයක් නැත.”
13. පිළිම වඳින්නා ගැන පිළිම වන්දනාවෙන් හෙළි කරන්නේ කුමක් ද?
13 අප පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා විය යුතු වන්නේ එහි නියැලීම ප්‍රඥාවේ ඌනතාවයක් අඟවන නිසා ය. පිළිම වන්දනාකරන්නෙක්, තමා තෝරා ගන්නා වූ ගසක කොටසකින් නමස්කාරය පිණිස දෙවියෙක් සාදා ගනී, තව ද අනෙක් කොටසින් ඔහු තමාගේ ආහාර පිස ගැනීම සඳහා ගින්දර පත්තු කරයි. (යෙසායා 44:9-17) මොනතරම් මෝඩකමක් ද! පිළිම දෙවියන් ව සාදා ඊට නමස්කාර කරන තැනැත්තා ලජ්ජා විඳියි, මන්දයත් ඒවායේ දේවත්වය ගැන ඔප්පු කිරීමට ඒත්තු ගන්වන සාක්ෂි ඉදිරිපත් කිරීමට ඔහුට නොහැකි ය. එහෙත් යෙහෝවඃ වහන්සේගේ දේවත්වය ගැන ප්‍රශ්න කළ නොහැකි ය, මන්දයත්, උන් වහන්සේ බබිලෝනියාවෙන් ස්වකීය ජනයාගේ විමුක්තිය ගැන පුරෝකථනය කළා පමණක් නොව, එය සිදු වීමට සැලැස්වූ සේක. යෙරුසලම යළි ජනාවාස විණි, යුදෙයාවේ නුවරවල් නැවත ගොඩ නඟන ලදි, බබිලෝනියාවේ “ජලීය ගැඹුර”—එනම් යුප්‍රටීස් ගඟ—ආරක්ෂාවේ උල්පතක් ලෙස තවදුරටත් පැවැතුණේ නැත. (යෙසායා 44:18-27, NW) දෙවියන් වහන්සේ ද පුරෝකථනය කළාක් මෙන්, පර්සියාවේ කෝරෙෂ් රජ බබිලෝනියා ව පරාජය කළේ ය.—යෙසායා 44:28–45:6.
14. විශ්වනීය ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ දී, සදහට ම ඔප්පු වනු ඇත්තේ කුමක් ද?
14 දේවත්වය පිළිබඳ ව නීතික ප්රශ්නයේ දී පිළිම දේවතාවෝ පරාජය වූහ. තව ද බබිලෝනිය මත පැමිණි දෙය ඇගේ නූතන ප්‍රතිරූපය වන මහා බබිලෝනිය, බොරු ආගම්වල ලෝක අධිරාජ්‍යය මතට පැමිණෙනවා සිකුරුයි. ඈ සහ ඇගේ දේවතාවුන්, ආගමික මෙවලම් සහ පිළිම වන්දනාවේ ද්‍රව්‍යයන් ඉක්මනින් ම සදහට ම පහවී යනවා ඇත. (එළිදරව් 17:12–18:8) යෙහෝවඃ වහන්සේ පමණක් ජීවමාන සැබෑ දෙවියන් වහන්සේ බවටත්, උන් වහන්සේ ස්වකීය අනාවැකිමය වචනය ඉටු කරන බවටත් විශ්වනීය ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ස්ථිර ව ම ඔප්පු කරනු ඇත්තේ එවිට ය.
භූතයින්ට පූජා
15. යෙහෝවඃ වහන්සේගේ ජනයා සහ පිළිම වන්දනාව සම්බන්ධ ව ශුද්ධාත්මය සහ පළමු සියවසේ පාලක මණ්ඩලය ඇඟවූයේ කුමක් ද?
15 යෙහෝවඃ වහන්සේගේ ජනයා පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා වන්නේ, ඔවුන් දෙවියන් වහන්සේගේ ආත්මයෙන් සහ සංවිධානය මගින් මඟ පෙන්වීම ලබන නිසා ය. පළමු සියවසේ යෙහෝවඃ වහන්සේගේ සේවකයන්ගේ පාලක මණ්ඩලය සෙසු ක්‍රිස්තියානින් හට මෙසේ පැවසුවේ ය: “රූපවලට [පිළිමවලට NW] පූජාකළ දේවලින්ද ලෙයින්ද බොටුව මිරිකා මැරූ සතුන්ගෙන්ද වේශ්‍යාකමින්ද නුඹලා වලකින්ට ඕනෑවා මිස, වෙන කිසි බරක් නුඹලා පිට නොතබන්ට ශුද්ධාත්මයාණන්ටත් [ශුද්ධාත්මයටත් NW] අපටත් යහපතැයි පෙනීගියේය. මේවායින් නුඹලා වලකින්නහුනම් නුඹලාට යහපත [සමෘද්ධියක් NW] වන්නේය. නුඹලාට ශුභසිද්ධ වේවා.”—ක්‍රියා 15:28, 29.
16. පිළිමවලට පූජා කළ දේවල් ගැන පාවුල් පැවසූ දෙය, ඔබ ඔබගේ ම වචනවලින් ප්‍රකාශ කරන්නේ කෙසේ ද?
16 රූප වන්දනාවට එරෙහි ව ආරක්ෂා වීමට තිබෙන අනෙක් හේතුව, භූත වන්දනාවෙන් වැළකී සිටීම ය. ස්වාමින්ගේ රාත්‍රි භෝජනය සම්බන්ධයෙන්, ප්‍රේරිත පාවුල් කොරින්තියේ ක්‍රිස්තියානින් හට මෙසේ පැවසී ය: “රූප [පිළිම NW] ඇදහීම කෙරෙන් පලා දුවපල්ලා. . . . අප විසින් ආශීර්වාදකරන ආශීර්වාද කුසලාන වනාහි ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයේ සහභාගිකමක් නොවේද? අප විසින් කඩන රොටිය ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ සහභාගිකමක් නොවේද, කුමක්හෙයින්ද බොහෝ දෙනෙක්වූ අපි එක රොටියක්ය, එක ශරීරයක්ය. මක්නිසාද අපි සියල්ලෝ එක රොටියේ පංගුකාරයෝව සිටිමුව. මාංස ප්‍රකාරවූ ඉශ්රායෙල් බලාපල්ලා. පූජාවන් කන අය පූජාසනය සමග සහභාගිවන්නෝ නොවෙද්ද? එසේවී නම් කුමක් කියම්ද? දේවතා [පිළිමයකට NW] පිදවිල්ලක් යමක්ය කියාවත් නොහොත් දේවතාවෙක් [පිළිමයක් NW] යමක්ය කියාවත් කියම්ද? නුමුත් මිථ්‍යාදෘෂ්ටීන් පූජාකරන දේ ඔවුන් පූජාකරන්නේ දෙවියන්වහන්සේට නොව යක්ෂයන්ටයයි [භූතයන්ට යයි NW] කියමි. නුඹලා යක්ෂයන් [භූතයන් NW] සමග සහභාගිව සිටිනවාට නොකැමැත්තෙමි. නුඹලාට ස්වාමීන්වහන්සේගේ කුසලානෙන්ද යක්ෂයන්ගේ [භූතයන්ගේ NW] කුසලානෙන්ද බොන්ට නුපුළුවන. ස්වාමීන්වහන්සේගේ මේසයටද යක්ෂයන්ගේ [භූතයන්ගේ NW] මේසයටද පංගුකාරයන් වන්ට නුඹලාට නුපුළුවන. නොහොත් අපි ස්වාමීන්වහන්සේ උදහස්කරමුද? [ඊර්ෂ්‍යාවට පොලඹවන්නෙමු ද? NW] අපි උන්වහන්සේට වඩා බලවත්ද?”—1 කොරින්ති 10:14-22.
17. පොදු යුගයේ පළමු සියවසේ දී, පිළිමවලට පූජාකළ මාංස, ක්‍රිස්තියානියෙකු විසින් අනුභව කිරීමට හැකි වූයේ කිනම් තත්ත්වයන් යටතේ ද, එමෙන් ම ඒ මන්ද?
17 සතෙකුගේ කොටසක් පිළිමයට පූජා කරන ලදි, කොටසක් පූජකයන්ට ය, වන්දනාකරුවා ඉන් ටිකක් මංගල්‍යයකට ගත්තේ ය. කෙසේ වෙතත්, මාංසයේ කොටසක් වෙළෙඳ පොළේ විකුණනවා විය හැක. ක්‍රිස්තියානියෙක්, එම මාංස ආගමික චාරිත්‍රයේ කොටසක් වශයෙන් අනුභව නොකළ ද, පිළිමවලින් යුත් දේවාලයකට මස් අනුභව කිරීමට යාම ඔහුට නුවණට හුරු දෙයක් වූයේ නැත, මන්දයත් මෙය අන්‍යයන් ව පැකිලීමට ලක් කළ හැකි ය, නැතහොත් ඔහු ව බොරු නමස්කාරයක් තුළට ඇදී යා හැකි ය. (1 කොරින්ති 8:1-13; එළිදරව් 2:12, 14, 18, 20) සතෙකු ව පිළිමයකට පූජා කිරීම මාංසයේ වෙනසක් ඇති කළේ නැත, එබැවින්, ඉන් ටිකක් වෙළෙඳ පොළේ දී මිලට ගැනීමට ක්‍රිස්තියානියෙකුට හැකි විණි. ඔහු යමෙකුගේ නිවසේ දී ආහාර අනුභව කරන විට මස් ගෙනාවේ කොහෙන්දැයි ඇසීමට ඔහුට අවශ්‍ය වූයේ නැත. එහෙත් එය, “දේවතා පිදවිල්ලක්” යයි යමෙකු ඔහුට පැවසුවා නම්, අන්‍යයන් ව පැකිලීම වැළකීම සඳහා ඔහු එය අනුභව නොකරනු ඇත.—1 කොරින්ති 10:25-29.
18. පිළිමයකට පූජා කළ යමක් අනුභව කරන අය, භූතයන් සමඟ සම්බන්ධ වීමට හැකි වූයේ කෙසේ ද?
18 පූජා කිරීමේ ආගමික චාරිත්‍රයට පසු, මස්වල දෙවියා ආවේශ වූ බවත් එම දෙවියා, වන්දනාකරුවන්ගේ මංගල්‍යයේ දී ඒවා අනුභව කළ අයගේ ශරීර තුළට ඇතුල් වූ බවත් බොහෝ විට කල්පනා කෙරිණි. එකට එකතු වී අනුභව කළ මිනිසුන් තමන් අතර බැඳීමක් ඇති කර ගත් නිසා, පූජා කළ සතුන්ගේ මාංස අනුභව කළ අය පූජාසනයේ පංගුකාරයන් වූ අතර, පිළිමය මගින් නියෝජනය වූ භූත-දේවතාවා සමඟ ඔවුන් ආගමික සම්බන්ධකමක් පැවැත්වූහ. එවන් පිළිම වන්දනාවක් තුළින්, ජනයා විසින් එක ම සැබෑ දෙවියන් වහන්සේ ව නමස්කාර කිරීමෙන් භූතයෝ ඔවුන් ව වළක්වාලමින් සිටියහ. (යෙරෙමියා 10:1-15) යෙහෝවඃ වහන්සේගේ ජනයා පිළිමවලට පූජා කළ දේවලින් වැළකී සිටීමට තිබීම ගැන පුදුම වෙන්නට දෙයක් නැත! දෙවියන් වහන්සේට දක්වන පක්ෂපාතකම, උන් වහන්සේගේ ශුද්ධාත්මයෙන් හා සංවිධානය මගින් ලැබෙන මඟ පෙන්වීම පිළිගැනීම, සහ භූත වන්දනාව සමඟ හවුල්වීමෙන් වැළකී සිටීම අධිෂ්ඨාන කර ගෙන සිටීම ද අද දින පිළිම වන්දනාවට එරෙහි ව ප්‍රබල අනුබලයක් බවට සනාථ වෙයි.
ආරක්ෂාකාරී ව සිටීමට අවශ්‍ය මන්ද?
19. පැරණි එපීසයේ පැවතුණේ කුමන ආකාරයේ පිළිම වන්දනාවන් ද?
19 ක්‍රිස්තියානින් පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා විය යුතු වන්නේ එයට විවිධ ආකාරයන් තිබෙන නිසා ය, තව ද පිළිම වන්දනාවේ එක් ක්‍රියාවකින් පවා ඔවුන්ගේ ඇදහිල්ල පාවා දිය හැකි ය. ප්‍රේරිත යොහන් සෙසු ඇදහිලිවන්තයන් හට මෙසේ පැවසුවේ ය: “දේවතා රූපවලින් [පිළිමවලින් NW] දුරුව සිටපල්ලා.” (1 යොහන් 5:21) මෙම උපදෙස අවශ්‍ය වූයේ මන්දයත් බොහෝ ආකාර පිළිම වන්දනාවන්ගෙන් ඔවුහු වට වී සිටියහ. යොහන් එය ලියුවේ මායාකාර ක්‍රියා සහ බොරු දේවතාවුන් ගැන මිථ්‍යාවන්ගෙන් පිරී ඉතිරී ගියා වූ එපීස නගරයේ සිට ය. එපීස නගරයේ, ලෝකයේ පුදුම හතෙන් එකක් තිබිණි—ඒ අපරාධකරුවන්ගේ උන්මත්තකාගාරයක් සහ දුරාචාර සිරිත්වල මධ්‍යස්ථානයක් වූ අර්තෙමිස්ගේ දේවාලය ය. එපීසයේ හෙරක්ලීටස් නම් දාර්ශනිකයා, එම දේවාලයේ පූජාසනය වෙත වැටී තිබුණු අඳුරු මාවත නීච පහත් ක්‍රියාවල අන්ධකාරයට සම කළ අතර, දේවාලයට සම්බන්ධ වුවන්ගේ සදාචාරය මෘගයන්ගේ සදාචාරයටත් වඩා අති පහත් තත්ත්වයකින් තිබූ බවට හේ සැලකුවේ ය. මෙසේ, එපීස ක්‍රිස්තියානින් හට භූත වන්දනාවට, දුරාචාරයට හා පිළිම වන්දනාවට එරෙහි ව ස්ථිර ව නැගී සිටින්නට සිදු විණි.
20. සුළු වශයෙන් හෝ පිළිම වන්දනාවෙන් වළකින්නට අවශ්‍ය වනුයේ මන්ද?
20 සුළු වශයෙන් පවා පිළිම වන්දනාවට එරෙහි ව වැළකී සිටීමට ක්‍රිස්තියානින් දැඩි අධිෂ්ඨානයක් ගැනීමට අවශ්‍ය වන්නේ මන්දයත්, යක්ෂයාට නමස්කාර කරන එක් ක්‍රියාවකින් හෝ වේවා සිදු වන්නේ, පරීක්ෂාවන් යටතේ දී මිනිසුන් දෙවියන් වහන්සේට ඇදහිලිවන්ත ව සිටින්නේ නැති බවට ඔහු විසින් කරන ලද අභියෝගයට අනුබල දීමකි. (යෝබ් 1:8-12) යේසුස් වහන්සේ හට “ලෝකයේ සියලු රාජ්‍යයන්ද එහි ඓශ්චර්ය්යද” පෙන්වන විට, සාතන් පැවසුවේ මෙසේ ය: “ඔබ බිම වැටී මට නම්සකාරකරන්නෙහි [නමස්කාරයේ ක්‍රියාවක් NW] නම් මේ සියල්ල ඔබට දෙන්නෙමි.” ක්‍රිස්තුස් වහන්සේ විසින් එය ප්‍රතික්ෂේප කිරීම විශ්වනීය පරමාධිපත්‍යය පිළිබඳ ප්රශ්නයේ දී යෙහෝවඃ වහන්සේගේ පැත්ත ඉන් තහවුරු කළ අතර, යක්ෂයා බොරුකාරයෙක් බවට ඔප්පු විය.—මතෙව් 4:8-11; හිතෝපදේශ 27:11.
21. රෝම අධිරාජ්‍යයා සම්බන්ධයෙන් ගත් කල, ඇදහිලිවන්ත ක්‍රිස්තියානින් කිරීමට ප්‍රතික්ෂේප කළේ කුමක් ද?
21 මෙම ප්රශ්නයේ දී සාතන්ගේ පැත්තට අනුබල දෙමින් යේසුස් වහන්සේගේ මුල් අනුගාමිකයන්වත් නමස්කාරයේ ක්‍රියාවක් කළේ නැත. ආණ්ඩුමය “බලයලත් මුලාදෑනියා” කෙරෙහි නිසි ගෞරවයක් ඔවුන් තුළ තිබුණ ද, තමන්ගේ ජීවිතය දෙන්නට සිදු වුණත්, රෝම අධිරාජ්‍යයාගේ ගෞරවය සඳහා ඔවුහු සුවඳ දුම් දවාලන්නට නොගියහ. (රෝම 13:1-7) මේ සම්බන්ධයෙන් ඩැනියල් පී. මැනික්ස් මෙසේ ලීවේ ය: “පහසුව පිණිස සාමාන්‍යයෙන් එළිමහන් රංග භූමියක තිබූ පූජාසනයක් මත ගිනි දැල්වෙමින් තිබුණ ද, තම ඇදහිල්ල පාවා දුන්නේ ක්‍රිස්තියානින් ඉතා සුළු සංඛ්‍යාවක් පමණි. සිරකරුවාට කරන්නට තිබුණේ සුවඳ දුම් කුඩු ටිකක් ගෙන ගින්දර මැදට විසිරුවා දැමීම පමණක් වූ අතර, ඔහුට පූජාවේ සහතිකයක් දෙනු ලැබ නිදහස් කර යවන ලදි. තමා අධිරාජ්‍යයාට නමස්කාර කරමින් නොසිටින බවත්, ඉන් සිදු වන්නේ, අධිරාජ්‍යයාගේ දිව්‍යමය චරිතය රෝමානු ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස හුදෙක් පිළිගැනීමක් බවත් ප්‍රවේසමෙන් පැහැදිලි කර දෙන ලදි. එහෙත්, ක්‍රිස්තියානින් සියලු දෙනා ම පාහේ බේරී යාමට තිබූ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැත.” (දෝස් අබවුට් ටු ඩයි, 137 පිටුව) මේ හා සමාන ව පරීක්ෂා කරනු ලැබුවහොත්, ඔබ සියලු ආකාරයේ පිළිම වන්දනාවන්ට මුළුමනින් ම විරුද්ධ ව සිටිනු ඇත් ද?
ඔබ පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා වනු ඇත් ද?
22, 23. ඔබ පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා විය යුත්තේ ඇයි?
22 පැහැදිලි ව ම, ක්‍රිස්තියානින් සියලු ආකාර පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා විය යුතු ය. යෙහෝවඃ වහන්සේ තනි භක්තිය තදින් ඉල්ලා සිටින සේක. බබිලෝනීය නෙබුකද්නෙශර් විසින් පිහිටුවා තිබූ මහා රූපයට වැඳ නමස්කාර කිරීමට ප්‍රතික්ෂේප කිරීමෙන් ඇදහිලිවන්ත හෙබ්‍රෙව්වරුන් තිදෙනා කදිම ආදර්ශයක් සැපයූවෝ ය. අනාගතවක්තෘ යෙසායා විසින් වාර්තා කරන ලද විශ්වනීය අධිකරණ නඩුවේ දී, සැබෑ ජීවමාන දෙවියන් වහන්සේ බවට පෙන්වන ලද්දේ යෙහෝවඃ වහන්සේ ව පමණි. උන් වහන්සේගේ මුල් ක්‍රිස්තියානි සාක්ෂිකරුවන්ට රූපවලට පූජකළ දේවලින් වැළකී සිටීමට තිබිණි. ඔවුන් අතර සිටියා වූ පක්ෂපාත බොහෝ දෙනෙක්, යෙහෝවඃ වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමට හේතු විය හැකි පිළිම වන්දනාවේ එක් තනි ක්‍රියාවක්වත් කිරීමේ පීඩනයට ගොදුරු වූයේ නැත.
23 එසේ නම්, ඔබ පුද්ගලික ව පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා වෙමින් සිටින්නෙහි ද? ඔබ දෙවියන් වහන්සේට තනි භක්තිය දෙමින් සිටින්නෙහි ද? ඔබ යෙහෝවඃ වහන්සේගේ පරමාධිපත්‍යයට අනුබල දෙමින්, උන් වහන්සේට සැබෑ ජීවමාන දෙවියන් වහන්සේ වශයෙන් මහත් ප්‍රශංසාව දෙන්නෙහි ද? එසේ නම්, පිළිම වන්දනාවේ ක්‍රියාවන්ට එරෙහි ව දිගට ම ස්ථිර ව නැගී සිටීමට ඔබ අධිෂ්ඨාන කර ගෙන සිටිය යුතු ය. එහෙත්, සියලු ආකාරයේ පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා වීමට ඔබට උපකාරවත් විය හැකි වැඩිතර ශුද්ධ ලියවිලිමය කරුණු මොනවා ද?
ඔබගේ සිතිවිලි මොනවා ද?
◻ පිළිම වන්දනාව යනු කුමක් ද?
◻ යෙහෝවඃ වහන්සේ සියලු ආකාරයේ පිළිම වන්දනාවන්ට විරුද්ධ ව සිටින්නේ මන්ද?
◻ පිළිම වන්දනාව සම්බන්ධයෙන් හෙබ්‍රෙව්වරුන් තිදෙනා ගත් ස්ථාවරය කුමක් ද?
◻ පිළිමවලට පූජා කළ දේවල් අනුභව කළ අය, භූතයන් සමඟ සම්බන්ධ විය හැක්කේ කෙසේ ද?
◻ පිළිම වන්දනාවට එරෙහි ව අප ආරක්ෂා විය යුත්තේ ඇයි?
[23වන පිටුවේ පින්තූරය]
ඔවුන්ගේ ජීවිත තර්ජනයට ලක්වුවත් හෙබ්‍රෙව්වරුන් තිදෙනා පිළිම වන්දනාවේ නියැලුණේ නැත