පාඨකයන්ගෙන් ප්‍රශ්න
යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් තමුන්ගේ විවාහ සංවත්සරය පවත්වනවා. උපන් දිනය යම් ආකාරයක සංවත්සරයක්, ඒ කියන්නේ ඔබේ උපත වාර්ෂිකව සැමරීමක්. එහෙමනම් විවාහ සංවත්සර පවත්වන්නත්, උපන් දින උත්සව නොපවත්වන්නත් හේතුව මොකක්ද?
ඇත්තෙන්ම කියනවා නම්, ක්‍රිස්තියානියෙකුට ඒ දෙකෙන් එකක්වත් පැවැත්වීම අවශ්‍ය නැහැ. ඒ වුණත්, ඒ දෙකම වැදගත්කම අතින් එක සමාන බව හෝ ක්‍රිස්තියානීන් උපන් දින සලකන්නාක් මෙන් විවාහ සංවත්සරත් සැලකිය යුතු බව හෝ එයින් අදහස් කරන්නේ නැහැ.
අපේ අවධානයට ලක් වූ පරිදි, ඒ දෙකම සංවත්සර කියා පැවසිය හැකියි. මන්ද “සංවත්සරයක්” කියන්නේ ‘යම් සිද්ධියක් සනිටුහන් කරන දිනයක් වාර්ෂිකව පැවැත්වීම’ යන්නයි. ඕනෑම සිද්ධියක සංවත්සරයක් තියෙන්න පුළුවන්: ඔබ රිය අනතුරකට භාජන වූ දිනය, චන්ද්‍රග්‍රහණයක් දුටු දිනය හෝ පවුල සමඟ විනෝද චාරිකාවක් ගිය දවසක් ආදි වශයෙන්. ක්‍රිස්තියානීන් හැම “සංවත්සරයක්ම” විශේෂ දවසකට හරවා උත්සවයක් පවත්වන්නේ නැති බව පැහැදිලියි. යම් සිද්ධියක විවිධ පැති සලකා, යෝග්‍යයි කියන්නේ මොකක්ද කියලා තීරණය කරන්න කෙනෙකුට සිදු වෙනවා.
උදාහරණයක් හැටියට, මිසරයේදී දෙවිගේ දූතයා ඉශ්‍රායෙලිතයන්ගේ නිවෙස් පසු කර යෑම මෙන්ම එහි ප්‍රතිඵලයක් හැටියට පො.යු.පෙ. 1513දී සිදු වුණ නික්මයෑම සමරන්න කියා දෙවි ඉශ්රායෙල්වරුන්ට පැහැදිලි උපදෙස් සැපයුවා. (නික්මයාම 12:14) යේසු ඇතුළු යුදෙව්වන් වාර්ෂිකව එය සැමරුවත් එසේ කළේ දෙවිගේ මඟ පෙන්වීමට අනුකූල වන පරිද්දෙනි. තවද එය සැමරුවේ සාදයක් පැවැත්වීමෙන් හෝ තෑගි දීමෙන් නොවෙයි. දේවමාළිගාව නැවත කැප කිරීමද යුදෙව්වන් විශේෂ සංවත්සරයක් හැටියට සැලකුවා. මෙම ඓතිහාසික වැදගත්කමකින් යුත් සිද්ධිය සැමරීම බයිබල් ආඥාවක් නොවූවත්, යොහන් 10:22, 23න් යෝජනා කරන අන්දමට යේසු එය විවේචනයට ලක් කළේද නැහැ. අන්තිම වශයෙන්, යේසුගේ මරණය සැමරීම සඳහා ක්‍රිස්තියානීන්ට විශේෂ රැස්වීමක් තිබෙනවා. නමුත් ඔවුන් එසේ කරන්නේ දේවවචනයෙහි සොයාගත හැකි පැහැදිලි ආඥාවකට කීකරු වීමක් වශයෙනුයි.—ලූක් 22:19, 20.
විවාහ සංවත්සරයන් ගැන කුමක් කිව හැකිද? ස්වාමිපුරුෂයන් සහ භාර්යාවන් තම විවාහය එනම් දෙවි මුලින්ම ස්ථාපිත කළ සැලැස්මට ඇතුල් වීමේ සංවත්සරය පැවැත්වීම ඇතැම් රටවල පොදු දෙයක්. (උත්පත්ති 2:18-24; මතෙව් 19:4-6) ඇත්තෙන්ම බයිබලය විවාහය නිෂේධාත්මක දෙයක් හැටියට සලකන්නේ නැහැ. යේසු පවා විවාහ මංගල්‍යයකට ගිය අතර එහි ආස්වාදයටද දායක වුණා.—යොහන් 2:1-11.
අවස්ථාවේ ප්‍රීතිය ගැන සිතා බලන්නත්, යුවළක් වශයෙන් සාර්ථකත්වය උදෙසා වැඩ කිරීමට තමන් ගෙන තිබෙන අධිෂ්ඨානය අලුත් කරගන්නත් යුවළක් තම විවාහ සංවත්සරයේදී කාලය ගැනීමට තෝරාගත්තොත්, එය පුදුමයට හේතු වන දෙයක් වෙන්නේ නැහැ. මෙම සන්තෝෂවත් අවස්ථාව යුවළක් හැටියට පෞද්ගලිකව ගත කරන්න, නැතහොත් නෑදෑයන් හෝ කිට්ටු මිතුරන් කිහිපදෙනෙක් සමඟ ගත කරන්න තෝරාගැනීම ඔවුන්ගේ පෞද්ගලික තීරණයක්. ඒ අවස්ථාව, විශාල, සමාජීය එකතුවක් පැවැත්වීම සඳහා හේතුවක් කර නොගත යුතු බව තේරුම්ගන්න අවශ්‍යයි. ඒ දවසේදී, අපේ ජීවිතයේ හැම දිනකදීම අදාළ වන ප්රතිපත්තිවලින් මඟ පෙන්වීමක් ලබන්න අපිට ඕනෑකමක් තිබිය යුතුයි. එමනිසා කෙනෙකු විවාහ සංවත්සරයක් පවත්වනවාද නැද්ද කියන එක පෞද්ගලික කාරණයක්.—රෝම 13:13, 14.
ඒත්, උපන් දිනයකට විශේෂ අවධානයක් දීම ගැන මොකක්ද කියන්න පුළුවන්? එවැනි සංවත්සරයක් ගැන අපිට බයිබලයෙහි යම් ඇඟවීම් දී තියෙනවාද?
ඇත්තටම මේ සියවසේ මුල්භාගයේදී, බයිබල් ශිෂ්‍යයන් කියා එවකට හැඳින්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන් උපන් දින සැලකිල්ලට ගත්තා. දිනපතා ස්වර්ගික මන්නා (ඉංග්‍රීසියෙන්) කියන කුඩා පොත් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් ළඟ තිබුණා. හැම දවසකටම බයිබල් පාඨයක් තිබුණ අතර, මේවාට ඔවුන්ගේ සෙසු බයිබල් ශිෂ්‍යයන්ගේ උපන් දින සලකුණු කළ කුඩා ඡායාරූපද ඇතුල් කළා. එමෙන්ම, 1909 පෙබරවාරි 15 මුරටැඹහි (ඉංග්‍රීසියෙන්) විස්තරයක් තිබුණා කොහොමද සහෝදර රසල්ව අ.එ.ජ. ෆ්ලොරිඩාහි ජැක්සන්විල්වල පැවැත්වූ සමුළු වේදිකාවට පිළිගත්තේ කියලා. ඇයි? උපන් දින තෑග්ගක් හැටියට, ජම්බෝල, අන්නාසි සහ දොඩම් තිබුණු පෙට්ටි කිහිපයක් ඔහුට දුන්නා. අතීතය ගැන යම් අදහසක් අපිට එයින් ලැබෙනවා. ඒ කාලපරිච්ඡේදයේදී, සහෝදරයන් දෙසැම්බර් 25 යේසුගේ උපතේ හෝ උපන් දිනයේ සංවත්සරය හැටියට පැවැත්වූ එකත් සැලකිල්ලට ගැනීම වටිනවා. බෘක්ලින් බෙතෙල්හි නත්තල් භෝජන සංග්‍රහයකුත් පැවැත්වීම චාරිත්‍රානුකූල දෙයක් වුණා.
ඇත්තවශයෙන්ම, ඒ කාලයට වඩා දෙවිගේ සෙනඟ ආත්මික අතින් වර්ධනය වී තිබෙනවා. එක්දහස් නවසිය විසිගණන්වල වැඩි වූ සත්යාලෝකයෙන් සහෝදරයන්ට හැකි වුණා මේ දේවල් පැහැදිලි කරගන්න:
යේසු උපත ලැබුවේ දෙසැම්බර් 25වනදා නොවන බවත් එම දිනය බොරු ආගමට සම්බන්ධ එකක් බවත්. බයිබලය අපිට අණ කරන්නේ, යේසුගේ උපතේ සංවත්සරයවත් වෙනත් ඕනෑම කෙනෙකුගේ උපතවත් සමරන්න නෙවෙයි, නමුත් යේසු මිය ගිය දිනය සිහි කරන්න කියලයි. යේසුගේ මරණය සිහි කිරීම, දේශනාකාරයා 7:1ට එකඟ වන අතරම, කෙනෙකුගේ උපන් දවසට වඩා ඇදහිලිවන්ත පුද්ගලයෙකුගේ ජීවිතයේ අවසානයේදී ගොඩනැඟී ඇති තත්වය වැදගත් වෙනවාය යන කාරණයටත් එකඟයි. කිසිම විශ්වාසවන්ත සේවකයෙක් තම උපන් දිනය සැමරුවා කියා බයිබලයේ වාර්තා වී නැහැ. එය වාර්තා කරන්නේ මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ උපන් දින සැමරීම් විතරයි; එම උපන් දිනවලට කෲර ක්‍රියා සම්බන්ධ කර තිබෙනවා. අපි එම උපන් දින සැමරීම්වල පසුබිම විපරම් කර බලමු.
පළමු උපන් දිනය වන්නේ යෝසෙප්ගේ දවසේ පැවති ඵාරාවෝගේ උපන් දින උත්සවයයි. (උත්පත්ති 40:20-23) මේ සම්බන්ධයෙන් ගත් කල, හේස්ටිංගේ ආගම හා ආචාරවිධි පිළිබඳ විශ්වකෝෂයෙහි (ඉංග්‍රීසියෙන්) උපන් දින සම්බන්ධ ලිපිය මෙසේ ආරම්භ කරනවා: “උපන් දිනය සැමරීම ශුභ වේලාවන් සමඟ සම්බන්ධ වී ඇති අතර, එය පවත්වන ආකාරය යනාදිය ගත් කල, එයට යම් ඉපැරණි ආගමික ප්රතිපත්තිද සම්බන්ධ වෙනවා.” පසුව ඊජිප්තුව පිළිබඳ පුරාවිද්‍යාඥයෙකු වන ශ්‍රීමත් ජේ. ගාඩ්න විල්කින්සන් පැවසූ දේ විශ්වකෝෂය මෙසේ උපුටා දක්වයි: “හැම ඊජිප්තු ජාතිකයෙක්ම තම උපන් දිනයට මෙන්ම එම පැයට මහත් වැදගත්කමක් සම්බන්ධ කරගත්තා; තවද පර්සියාවේ මෙන් පුද්ගලයන් තම උපන් දින මහත් ප්‍රීතියකින් යුතුව සමරමින්, සියලුම විනෝදාංශ සමඟින් තම මිත්රයන්ව සාදරයෙන් පිළිගත් අතර, සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන ප්‍රණීත ආහාරද මෙයට ඇතුළත් කළා විය හැකියි.”
බයිබලයේ සඳහන් වන තවත් උපන් දින උත්සවයක් වන්නේ යොහන් බව්තීස්තගේ හිස ගසා දමනු ලැබූ හෙරොද්ගේ උපන් දිනයයි. (මතෙව් 14:6-10) ජාත්‍යන්තර සම්මත බයිබල් විශ්වකෝෂය [ඉංග්‍රීසියෙන්] (1979 සංස්කරණය) මෙම ගැඹුරු අවබෝධය අපට සපයයි: “ප්රාග් හෙලනිස්තික ග්‍රීකයන් දෙවිවරුන්ගේ හා ප්රමුඛ පෙළේ මිනිසුන්ගේ උපන් දින සැමරුවා. ග්‍රීක් ජෙනේත්ලියාවලින් මෙම උත්සව බිහි වූ අතර, ජෙනේසියාවලින් අර්ථවත් වූයේ වැදගත් පුද්ගලයෙකුගේ වියෝවෙන් පසු මතක් වීම පිණිස පවත්වනු ලබන උත්සවයයි. මක[බිවරුන්] 2, 6:7හි IVවන ඇන්ටිඕකස් මාසික ජෙනේත්ලියා සැමරූ බවට කරුණු ඇති අතර, එම අවස්ථාවලදී ‘පූදපූජාවලට සහභාගි’ වීමට යුදෙව්වන්ට බල කරනු ලැබුවා. . . . එහෙයින් හෙරොද් තම උපන් දිනය සමරමින් සිටි විට ඔහු හෙලනිස්තික චාරිත්‍රයට අනුව ක්‍රියා කරමිනුයි හිටියේ; ප්රාග් හෙලනිස්තික කාලවල ඉශ්රායෙල්හි උපන් දින උත්සව සැමරුවා යන්නට කිසිම සාක්ෂියක් නැහැ.”
එසේනම් පිළිගත හැකි ලෙස, අද හාත්පස දක්නට ඇති සෑම වත්පිළිවෙතකම හා චාරිත්රයකම, ආරම්භය හා එය පෞරාණික ආගම්වලට සම්බන්ධ වන්නේ කෙසේද යන්න ගැන සැබෑ ක්‍රිස්තියානීන් අනවශ්‍ය ලෙස කරදර වෙන්නේ නැති නමුත්, දෙවිගේ වචනයේ ඒ ගැන ඍජුවම කර ඇති යොමු දැක්වීම් නොතකා හැරීමටද නැඹුරුවාවක් දක්වන්නේ නැහැ. තවද උපන් දින උත්සව පිළිබඳව බයිබල් වාර්තා මිථ්‍යාවට හා කෲරත්වයේ අවස්ථාවලට සම්බන්ධ වීමද මෙයට අයත් වෙනවා. එහෙයින්, ශුද්ධ ලියවිලිවල උපන් දින උත්සව ගැන කතා කරද්දී එය නිෂේධාත්මකව විස්තර කර ඇති අතර, අවංක ක්‍රිස්තියානීන් මෙම යථාර්ථය නොතකා සිටින්නේ නැහැ.
ප්‍රතිඵලයක් හැටියට, ක්‍රිස්තියානියෙක් විවාහ සංවත්සරයක් සැමරීමට තෝරාගනීයි නම් එය සම්පූර්ණයෙන්ම පෞද්ගලික තීරණයක් වන නමුත්, මේරූ ක්‍රිස්තියානීන් උපන් දින උත්සවයන් පැවැත්වීමෙන් වැළකීමට හොඳ හේතු තිබෙනවා.