ඔබ ඔබේ අඛණ්ඩතාව පවත්වාගනියිද?
ඊයේ ගේ කුරුල්ලන් කීදෙනෙක් මියගියාද? කිසිවෙක් දන්නේ නැහැ. ඇරත් කුරුල්ලන් අප්‍රමාණ සංඛ්‍යාවක් සිටින නිසා කිසිවෙකු ඒ ගැන ගණනකටවත් ගන්නේ නැහැ. කොහොමනමුත්, යෙහෝවා ඒ ගැන සැලකිලිමත් වෙනවා. පෙනෙනාකාරයට කවුරුත් ගණනකට නොගන්න මෙම කුරුල්ලන් ගැන සඳහන් කරමින් යේසුස් ගෝලයන්ට මෙසේ පැවසුවා. “උන්ගෙන් එකෙක්වත් නුඹලාගේ පියාණන් නොදැනුවත්ව බිම වැටෙන්නේ නැත.” ඔහු මෙලෙසද පැවසුවා. “භය නොවන්න. නුඹලා බොහෝ ගේ කුරුල්ලන්ට වඩා වටින්නහුය.”—මතෙව් 10:29, 31.
යෙහෝවා තමන්වත් කොතරම් අගය කළාද කියා පසු කාලෙකදී ගෝලයන් වඩාත් පැහැදිලිව තේරුම්ගත්තා. ඔවුන්ගෙන් කෙනෙක් වන ප්‍රේරිත යොහන් ඒ පිළිබඳව ලීවේ මෙසේයි. “අප කෙරෙහි තිබෙන දෙවිගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවි ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් කරණකොටගෙන අප ජීවත් වන පිණිස ඔහු ලෝකයට එවූ කාරණයෙන්ය.” (1 යොහන් 4:9) යෙහෝවා මිදීමේ මිලය සැපයුවා පමණක් නොව තම සෑම සේවකයෙකුටම මෙවැනි සහතිකයක්ද දෙනවා. “මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි. කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමි.”—හෙබ්‍රෙව් 13:5.
පැහැදිලිවම, යෙහෝවා තම සෙනඟට දක්වන්නේ නොසැලෙන ප්‍රේමයක්. කෙසේවුවත්, ‘අපි කවදාවත් යෙහෝවාව අත් නොහරින තරමටම යෙහෝවා එක්ක ශක්තිමත් බැඳීමක් ඇති කරගෙන සිටිනවාද’ යන ප්රශ්නය පැනනඟියි.
අපේ අඛණ්ඩතාව බිඳීමට සාතන්ගේ ප්රයත්නයන්
යෝබ් අඛණ්ඩතාව රැකගෙන සිටින ආකාරය බලන්නැයි යෙහෝවා සාතන්ට පැවසූ විට සාතන් වාග් ප්‍රහාරයක් එල්ල කරමින් මෙසේ පැවසුවා. “කිසි ලාභ ප්‍රයෝජනයක් නොලැබෙනවා නම් යෝබ් ඔබට නමස්කාර කරයිද?” (යෝබ් 1:9, ටුඩේස් ඉංග්ලිෂ් වර්ෂන්) දෙවි කෙරෙහි මිනිසුන්ගේ පක්ෂපාතකම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ‘ඔවුන්ට ඉන් ලාභ ප්‍රයෝජනයක් ලැබෙන තුරු පමණක්’ බව ඔහු ඇඟෙව්වා. මෙය සැබෑවක් නම්, පෙලඹවිය හැකි ප්‍රමාණයේ යමක් ඉදිරිපත් කළොත් ඕනෑම ක්‍රිස්තියානියෙකුගේ අඛණ්ඩතාව බිඳ හෙළිය හැකි වෙයි.
යෝබ් සම්බන්ධයෙන් බලන කල, සාතන් මුලින්ම කියා සිටියේ යෝබ් ආශාවෙන් තබාගෙන සිටින වස්තුව නැති වුණොත් දෙවිට තවදුරටත් පක්ෂපාතව සිටින එකක් නැහැ කියායි. (යෝබ් 1:10, 11) මේ අවමානය බොරුවක් බව ඔප්පු වූවාට පසු, සාතන් චෝදනා කළේ මෙලෙසයි. “පණ රැක ගැනුම පිණිස මිනිහෙකු නොදෙන දෙයක් ඇද්ද?” (යෝබ් 2:4, නව අනුවාදය) සාතන් පවසන දේ සමහරෙකු සම්බන්ධයෙන් සැබෑවක් විය හැකි වුවත් යෝබ් තම අඛණ්ඩතාව බිඳ හෙළීම ප්‍රතික්ෂේප කළා. ඓතිහාසික වාර්තාව ඊට සාක්ෂි දරයි. (යෝබ් 27:5; 42:10-17) ඔබත් එවැනිම පක්ෂපාතකමක් දක්වනවාද? නැතහොත් ඔබේ අඛණ්ඩතාව බිඳ හෙළීමට සාතන්ට ඉඩහරිනවාද? සෑම ක්‍රිස්තියානියෙකුටම අදාළ සත්‍යයන් කීපයක් ගැන දැන් අප සෝදිසි කර බලන විට ඔබේ තත්වය ගැන සිතා බලන්න.
සැබෑ ක්‍රිස්තියානි පක්ෂපාතිත්වය ඉතා ශක්තිමත් එකක් බව ප්‍රේරිත පාවුල් විශ්වාස කළා. ඔහු පැවසුවේ “මරණයටවත්, ජීවනයටවත්, . . . දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, . . . අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් තුළ ඇත්තාවූ දෙවිගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්ට නොහැකි වන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි” කියායි. (රෝම 8:38, 39) යෙහෝවා කෙරෙහි අප දක්වන ප්‍රේමය ශක්තිමත් නම් අපටත් එවැනිම විශ්වාසයකින් සිටිය හැකියි. එවැනි ප්‍රේමයක් විනාශ කර දැමිය නොහැකි බන්ධනයක් වන අතර මරණයට පවා එය පැරදවිය නොහැකියි.
දෙවි සමඟ අපට එවැනි සබඳතාවක් තිබෙනවා නම් ‘තව අවුරුදු කීපයක් යනකොට මම යෙහෝවාට සේවය කරයිද’ කියා අපි කවදාවත් අහන එකක් නෑ. එවන් අස්ථිරත්වයක් තිබීමෙන් අඟවන්නේ අපි දෙවිට පක්ෂපාතව සිටින්නේ අපේ ජීවිත කාලයේදී සිදු විය හැකි දේවල් අනුව බවයි. සැබෑ අඛණ්ඩතාව බාහිර තත්වයන් යටතේ සැලෙන්නේ නැහැ. එය රඳා පවතින්නේ අප ඇතුළාන්තයෙන් කුමනාකාරයේ පුද්ගලයන්ද යන කාරණය මතයි. (2 කොරින්ති 4:16-18) අපේ මුළු හදින් අප යෙහෝවාට ප්‍රේම කරනවා නම් අපි කිසිදා ඔහුව අසතුටු කරන්නේ නැහැ.—මතෙව් 22:37; 1 කොරින්ති 13:8.
කෙසේනමුත් සාතන් අපේ අඛණ්ඩතාව බිඳ හෙළීමට නිරතුරුවම වෑයමක යෙදෙන බව අප මතක තබාගත යුතුයි. මාංසයේ ආශාවන්වලට නැඹුරු වීම, තුල්‍ය පීඩනයට අසුවීම හෝ මොනයම් ආකාරයක හෝ විරුද්ධවාදිකමක් තුළින් අපව සත්‍යයෙන් ඈත් කිරීමට ඔහු අපව පෙලඹවිය හැකියි. මෙම ප්‍රහාරයේදී දෙවිගෙන් ඈත් වූ මේ ලෝකය සාතන්ගේ ප්‍රධාන ආධාරකරු වී සිටින මුත්, අපේ අසම්පූර්ණත්වයන්ද ඔහුගේ කාර්යය වඩාත් පහසු කරවයි. (රෝම 7:19, 20; 1 යොහන් 2:16) කෙසේනමුත් මෙම සටනේදී අපට වාසි කීපයක්ද තිබෙනවා. ඉන් ප්රමුඛ ස්ථානය ගන්නේ, අප සාතන්ගේ උපායන් නොදැන සිටිනවා නොවේය යන කාරණයයි.—2 කොරින්ති 2:11.
සාතන්ගේ උපායන් මොනවාද? පාවුල් එපීසයේ සිටින්නන්ට ලියද්දී ඒවා විස්තර කළේ “ප්රයෝගයන්” හෝ “කපටි ක්‍රියා” හැටියටයි. (එපීස 6:11; NW පාදසටහන) අපේ අඛණ්ඩතාව බිඳ හෙළීමට සාතන් අපේ ගමන් මඟෙහි කපටි උගුල් අටවා තබනවා. යක්ෂයාගේ උපක්‍රම ගැන දෙවිගේ වචනය තුළ අපට වාර්තා කර තිබෙන නිසා එම කපටි ක්‍රියා අවබෝධ කරගත හැකිවීම භාග්‍යයක්. යේසුස්ගේ හා යෝබ්ගේ අඛණ්ඩතාව විනාශ කර දැමීමට සාතන් ගත් උත්සාහයන් තුළින් අපේ ක්‍රිස්තියානි අඛණ්ඩතාව බිඳ හෙළීමට ඔහු මාන බලන ක්‍රම කීපයක් ගැන නිදර්ශනය කරයි.
යේසුස්ගේ අඛණ්ඩතාව බිඳ හෙළීමට හැකි වුණේ නැහැ
ගලක් රොටි කරන්නයයි අභියෝගාත්මක ආරාධනාවක් කරමින් දෙවිගේ පුත්‍රයාව පොලඹවාගැනීම සඳහා උත්සාහ කිරීමට තරම් නිර්භීතකමක් සාතන් තුළ තිබුණා. එය මොනතරම් කපටිකමක්ද! දවස් 40ක්ම නිරාහාරව සිටි බැවින් යේසුස් දැඩි කුසගින්නෙන් පෙළුණ බවට කිසිම සැකයක් නැහැ. (ලූක් 4:2, 3) යෙහෝවාගේ කැමැත්තට පටහැනි ක්‍රමයකින් යේසුස්ට තම ස්වාභාවික ආශාව වහාම සන්සිඳුවාගන්න කියා සාතන් යෝජනා කළා. එලෙසම අදදිනත් ලෝකයේ ප්රචාරක මාධ්‍යයන් පසු ප්‍රතිවිපාක සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකරම දිරිගන්වන්නේ ක්ෂණික පිනවීමක් ලැබීමටයි. ‘එය ඔබට අවශ්‍යමයි’ නැතහොත් ‘ආයි දෙපාරක් හිතන්න ඕන නැහැ කරලා බලන්න!’ යන පණිවිඩයයි ඒවායින් දෙන්නේ.
පසු විපාක නොතකා යේසුස් කුසගින්න නිවාගත්තා නම් යේසුස්ගේ අඛණ්ඩතාව බිඳ හෙළීමට සාතන් දැරූ ප්රයත්නය සාර්ථක වීමට තිබුණා. යේසුස් කාරණා දෙස බැලුවේ ආත්මික පැත්තෙන් වන අතර ඔහු ස්ථිරව මෙසේ පිළිතුරු දුන්නා. “මනුෂ්‍යයා රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේ.”—ලූක් 4:4; මතෙව් 4:4.
එවිට සාතන් එළඹීමට වෙනත් ක්‍රමයක් යොදාගත්තා. යේසුස් උපුටා දැක්වූ ශුද්ධ ලියවිලි පාඨ වැරදියට අදාළ කරමින්, දේවමාළිගාවේ ආරක්ෂක පවුරෙන් බිමට පනින්න යක්ෂයා යේසුස්ට දිරිගැන්නුවා. ‘දේවදූතයෙක් ඔබව රැකගනියි’ කියා සාතන් පැවසුවා. තමාට අවධානය යොමු කරගැනීමේ අටියෙන් පියාගෙන් ප්රාතිහාර්යමය ලෙස ආරක්ෂාවක් ඉල්ලා සිටීමට යේසුස් අදහස් කළේ නැහැ. “නුඹේ දෙවි වූ යෙහෝවාව පරීක්ෂා නොකරව” කියා යේසුස් පැවසුවා.—මතෙව් 4:5-7; ලූක් 4:9-12.
සාතන් අන්තිමට ඍජු උපක්‍රමයක් යොදාගත්තා. නමස්කාරයේ එක ක්‍රියාවක් සඳහා මුළු ලෝකයත්, එහි තේජසත් ඉදිරිපත් කරමින් ඔහු යේසුස් සමඟ හුවමාරුවක් කරගැනීමට වෑයම් කළා. සාතන්ට තිබෙන සියල්ලම ඉදිරිපත් කිරීමට සිදු වුණා. එහෙත් යේසුස්ට තම පියාගේ පරම සතුරා ඉදිරියේ වැඳ වැටිය හැකිද? කොහොමටවත් බැහැ! “ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වූ යෙහෝවාටය. පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණය” කියා යේසුස් පිළිතුරු දුන්නා.—මතෙව් 4:8-11, NW; ලූක් 4:5-8.
උත්සාහයන් තුනම අසාර්ථක වූ පසුව, සාතන් ‘වෙන සුදුසු වේලාවක් පැමිණෙන තෙක් යේසුස්ගෙන් අහක්ව ගියා.’ (ලූක් 4:13, NW) මින් ඇඟවෙන්නේ සාතන් නිරන්තරයෙන්ම යේසුස්ගේ අඛණ්ඩතාව පරීක්ෂණයට ලක් කිරීමට අවස්ථාවක් සොයමින් සිටි බවයි. ඉන් වසර දෙකහමාරකට පසු යේසුස් නොබෝ කලකින් සිදු වන තම මරණය සඳහා තම ගෝලයන්ව සූදානම් කිරීමට පටන්ගත් අවස්ථාවේදී සුදුසු වේලාවක් පැමිණියා. ප්‍රේරිත පේතෘස් මෙසේ පැවසුවා. “ස්වාමිනි, ඔබ ගැන හිතන්න. ඔබට එවැන්නක් කවදාවත් සිදු නොවේ.”—මතෙව් 16:21, 22, NW.
එය වැරදි උපදෙසක් වුවද ඔහුගේම ගෝලයෙකු හොඳ හිතින් ඉදිරිපත් කළ නිසා එයට යේසුස්ගේ සිත ඇදී ගියාද? එම වචනවලින් පිළිබිඹු කළේ යෙහෝවාගේ නොව සාතන්ගේ සිතුවිලි බව එක විගස යේසුස් වටහාගත්තා. ක්‍රිස්තුස් තරයේ මෙසේ පිළිතුරු දුන්නා. “සාතන් මා පස්සට යව. නුඹ මට බාධාවක්ය. මක්නිසාද නුඹ මනුෂ්‍යයන්ගේ කාරණා මිස දෙවිගේ කාරණා කල්පනා කරන්නේ නැත.”—මතෙව් 16:23.
යෙහෝවා කෙරෙහි වූ යේසුස්ගේ නොමියෙන ප්‍රේමය නිසා ඔහුගේ අඛණ්ඩතාව බිඳීමට සාතන්ට හැකි වුණේ නැහැ. දේවල් ඉදිරිපත් කිරීමෙන් හෝ දරුණුම පීඩාවක් ගෙන ඒමෙන් හෝ තම ස්වර්ගික පියා කෙරෙහි යේසුස් දැක්වූ පක්ෂපාතකම දුර්වල කිරීමට යක්ෂයාට පුළුවන් වුණේ නැහැ. අපගේ අඛණ්ඩතාව පවත්වාගැනීමට අසීරු තත්වයන්වලදී අපටත් එවැනිම අධිෂ්ඨානයක් තිබේවිද? අපට මුහුණ දීමට සිදු විය හැකි අභියෝගයන් ගැන වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට යෝබ්ගේ ආදර්ශය අපට උපකාරවත් වෙයි.
විපත්ති හමුවේ පක්ෂපාතකම
යෝබ් අද්දුටු පරිදි, අපටද ඕනෑම අවස්ථාවක විපත්ති සිදු විය හැකියි. දරුවන් දහදෙනෙකු සිටි සතුටුදායක විවාහ දිවියක් ගත කළ ඔහු හොඳ ආත්මික දිනචර්යාවක් පවත්වගත්තා. (යෝබ් 1:5) එහෙත් ඔහු නොදැන සිටි මුත් දෙවිට ඔහු දක්වන අඛණ්ඩතාව සම්බන්ධයෙන් ස්වර්ගයේ ප්‍රශ්නයක් හටගත් අතර, කෙසේ හෝ යෝබ්ගේ අඛණ්ඩතාව බිඳීමට සාතන් අදිටන් කරගත්තා.
වැඩි කල් යන්න මත්තෙන් යෝබ්ගේ ද්‍රව්‍යමය ධන සම්පත් විනාශ වුණා. (යෝබ් 1:14-17) කොහොමවුණත්, යෝබ් කිසිදා මුදල් කෙරෙහි සිය විශ්වාසය තබා නොතිබූ බැවින් යෝබ්ගේ අඛණ්ඩතාව සැලුණේ නැහැ. ඔහු ධනවත්ව සිටි කාලය සිහියට නඟමින් යෝබ් මෙසේ පැවසුවා. ‘මම කවදාවත් මාගේ රන් රිදී කෙරෙහි විශ්වාසය නොතැබීමි. මාගේ යස ඉසුරු ගැන අහංකාර නොවූයෙමි. එය සව් බලැති දෙවිඳුන්ට පිටුපා යාමකි.’—යෝබ් 31:24, 25, 28, න. අ.
අදදිනද, එක රැයකින් අපේ මුළු සේසතම අපට අහිමි විය හැකියි. යෙහෝවාගේ සාක්ෂිකාර ව්‍යාපාරිකයෙකුට විශාල මුදලක් වංචා කර තිබූ නිසා අන්තිමේදී ඔහු බංකොලොත් වුණා. ඔහු අවංකවම මෙසේ පැවසුවා. “මට හෘදයාබාධයක් ඇති නොවී බේරුණේ අනූනවයෙන්. මම දෙවි එක්ක සබඳකමක් පවත්වාගෙන නොතිබුණා නම් මෙලහකටත් හෘදයාබාධයක් ඇති වෙලා. කොහොමවුණත් මේ අද්දැකීමෙන් මගේ ජීවිතයේ පළමු තැනට ආත්මික දේවල් දමා තිබුණේ නැහැයි කියන එක මම තේරුම්ගත්තා. මුදල් ඉපැයීමේ ප්‍රීතිය අනිත් හැම දෙයක්ම අබිබවා ගොස් තිබුණා.” එදා පටන් මේ සාක්ෂිකරුවා තම ව්‍යාපාරික කටයුතු අවම කරගෙන පැය 50ක් හෝ ඊට වැඩි ගණනක් සෑම මසකම ක්‍රිස්තියානි දේවසේවයේ යෙදෙමින් නොකඩවාම උපකාරික පුරෝගාමි සේවයෙහි නියැලෙනවා. කෙසේවෙතත්, කෙනෙකුගේ වස්තුව අහිමි වීමෙන් සිදු වන විපතට වඩා වැඩි විපතක් ඔහු අද්දකින වෙනත් ගැටලුවලින් සිදු විය හැකියි.
තම දරුවන් දහදෙනාම මියගිය බව දැනගන්න විට ඔහුගේ ධන සම්පත් විනාශ වී ගිය බව යෝබ්ට යන්තමින් සැලවී තිබුණා. එහෙත් ඔහු තරයේම කියා සිටියේ ‘යෙහෝවාගේ නාමයට ප්‍රශංසා වේවා’ කියායි. (යෝබ් 1:18-21) අපේ පවුලේ සාමාජිකයන් කීපදෙනෙකු හදිසියේ මියගියොත් අප අපේ අඛණ්ඩතාව පවත්වනු ඇද්ද? ඛේදනීය බස් රථ අනතුරක් නිසා ස්පාඤ්ඤයේ ක්‍රිස්තියානි අවේක්ෂකයෙකු වූ ෆ්රැන්සිස්කෝගේ දරුවන් දෙදෙනා මියගියා. යෙහෝවාට සමීප වීමෙන් සැනසීමක් ලද ඔහු ක්‍රිස්තියානි දේවසේවයේ ක්‍රියාකාරකම් වැඩි කළා.
දරුවන්ගේ හද සසල කරවන වියෝවෙන් පසුව පවා යෝබ්ට පැමිණි දරුණු පීඩා නැවතුණේ නැහැ. පිළිකුල්, වේදනාකාරි රෝගයකින් සාතන් ඔහුට පහර දුන්නා. ඒ අවස්ථාවේදී යෝබ්ට සිය භාර්යාවගෙන් ලැබුණේ වැරදි උපදෙසක්. “දෙවියන්ට ශාප කොට මැරෙන එක වඩා හොඳ නැද්ද” කියා ඈ ඉතා දැඩි ලෙස ඔහුට කීවා. යෝබ් ඇගේ වදන් ගණනකටවත් නොගෙන “වචන මාත්රයකින්වත් පව්” නොකර සිටියා. (යෝබ් 2:9, 10, න. අ.) ඔහුගේ අඛණ්ඩතාව රඳා පැවතුණේ සිය පවුලේ සහයෝගය මත නොව නමුත් දෙවි සමඟ ඔහු පැවැත්වූ පෞද්ගලික සබඳතාව මතයි.
වසර දහයකට වැඩි කලකට පෙර ෆ්ලෝරාගේ සැමියා හා වැඩිමල් පුතා ක්‍රිස්තියානි මාර්ගයෙන් ඉවත්ව ගිය විට ඈ යෝබ්ට ඇති වූ හැඟීම් අවබෝධ කරගත්තා. “පවුලේ සාමාජිකයන්ගේ සහය එකපාරටම නැති වෙලා යන එක ලොකු මානසික පීඩනයක්” බව ඈ පිළිගනියි. “යෙහෝවාගේ සංවිධානයෙන් පිට වෙලා මට සතුට ළඟා කරගන්න බැරි බව මම දැනගෙන හිටියා. ඒ නිසා හොඳ බිරිඳක් හා මවක් වෙන්න නිතරම වෙහෙස දරමින් ස්ථිරව, යෙහෝවාට මුල් ස්ථානය දෙමින් හිටියා. මම නොකඩවාම යාච්ඤා කළ අතර යෙහෝවා මාව ශක්තිමත් කළා. මගේ සැමියාගේ දරුණු විරුද්ධවාදිකම් මැද මුළුමනින්ම යෙහෝවා මත රඳා ඉන්න ඉගෙනගත්ත නිසා දැන් මම සතුටෙන් ඉන්නේ.”
යෝබ්ගේ අඛණ්ඩතාව බිඳ හෙළීමට සාතන් යෙදූ ඊළඟ උපක්රමයට යෝබ්ගේ මිතුරන් තිදෙනා සම්බන්ධයි. (යෝබ් 2:11-13) ඔවුන් ඔහුව විවේචනය කිරීමට පටන්ගත් විට මොනතරම් මානසික පීඩනයක් ඔහුට ඇති වෙන්න ඇද්ද! ඔහු ඔවුන්ගේ තර්කයන් පිළිගත්තා නම් යෙහෝවා දෙවි කෙරෙහි ඔහු තබා තිබූ විශ්වාසය පලුදු වෙන්න ඉඩ තිබුණා. ඔවුන්ගේ අධෛර්යය කරවනසුලු අවවාදය නිසා ඔහුගේ ස්ථාවරත්වය හා ඔහුගේ අඛණ්ඩතාව බිඳ වැටීමට ඉඩ තිබූ අතර සාතන්ගේ සැලැස්ම සාර්ථක වීමට ඉඩ තිබුණා.
කෙසේවෙතත්, යෝබ් තරයේ මෙසේ කියා සිටියා. “මා නසින තුරුම මාගේ අවංකකම [අඛණ්ඩතාව, NW] පහ නොකරන්නෙමි.” (යෝබ් 27:5) ‘ඕගොල්ලන්ට මගේ අඛණ්ඩතාව බිඳින්න මම ඉඩ දෙන්නේ නැහැ’ කියා ඔහු පැවසුවේ නැහැ. තම අඛණ්ඩතාව රඳා තිබුණේ තමා හා යෙහෝවාට තමා දැක්වූ ප්‍රේමය මත බව යෝබ් දැනගෙන හිටියා.
අලුත් ගොදුරක් ඇල්ලීමට ඉපැරණි උපක්‍රමයක්
සාතන් දැනුදු මිත්‍රයන්ගේ හා සෙසු ඇදහිලිවන්තයන්ගේ නොමඟ යවන උපදෙස් හෝ අනුවණ අදහස් යොදාගනියි. සභාවට පිටින් පැමිණෙන පීඩාවලට වඩා සභාව තුළින්ම එන අධෛර්යය වීම් මගින් පහසුවෙන්ම අපේ විශ්වාසය පලුදු විය හැකියි. එක් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක්, ඇතැම් සෙසු ක්‍රිස්තියානීන්ගේ අනුවණ වචන හා ක්‍රියා හේතුවෙන් වින්ද වේදනාවයි, ඔහු හමුදා සේවකයෙකු වශයෙන් සිටි කාලයේදී කළ සටනයි සසඳා බැලුවා. මුලින්ම සඳහන් කළ දෙය ගැන ඔහු පැවසුවේ මෙලෙසයි. “මම අද්දැක්ක අමාරුම දේ එයයි.”
තවත් කෝණයකින් බලන කල, සෙසු ඇදහිලිවන්තයන්ගේ අසම්පූර්ණකම් නිසා අපි මොනතරම් කලකිරෙනවාද කිවහොත් ඇතැම් අය සමඟ කතා කිරීම පවා අප නවතා දැමිය හැකියි. එසේ නැතහොත් ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑම අතපසු කිරීමට පවා පටන්ගන්න පුළුවන්. වඩාත්ම වැදගත් දේ රිදුණු හැඟීම්වලින් ගොඩ ඒම බව පෙනී යා හැකියි. එහෙත් එවැනි අදූරදර්ශි ආකල්පයක් ඇති කරගෙන අපේ වටිනාම වස්තුව, එනම් යෙහෝවා සමඟ තිබෙන අපේ සබඳතාව දුර්වල කිරීමට වෙන කෙනෙකුගේ ක්‍රියාවලට හෝ වදන්වලට ඉඩහැරීම මොනතරම් කනගාටුදායක දෙයක්ද! එසේ වීමට ඉඩහරිනවා නම් අපි සාතන්ගේ ඉපැරණි උපක්‍රමයක ගොදුරක් බවට පත් වෙයි.
ක්‍රිස්තියානි සභාවේ උසස් ප්‍රමිති තිබිය යුතුයි කියා අපි අපේක්ෂා කරන බව ඇත්තයි. නමුත් අසම්පූර්ණ සෙසු නමස්කාරකයන්ගෙන් අපි වුවමනාවට වඩා දේවල් අපේක්ෂා කරනවා නම් අනිවාර්යයෙන්ම අපි කලකිරෙනවා. ඊට වෙනස්ව, යෙහෝවා සිය සේවකයන්ගෙන් අපේක්ෂා කරන දේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ යථාර්ථවාදීවයි. ඔහුගේ ආදර්ශය අනුකරණය කරනවා නම්, ඔවුන්ගේ අසම්පූර්ණකම් ගණන් නොගෙන සිටීමට අප සූදානමින් සිටියි. (එපීස 4:2, 32) ප්‍රේරිත පාවුල් මේ උපදෙස දුන්නා. “කෝප වුවත් පව් නොකරන්න. ඉර බහින තුරු හිතේ කෝපය තබා නොගන්න. යක්ෂයාට ඉඩ නොදෙන්න.”—එපීස 4:26, 27, න. අ.
බයිබලයේ පැහැදිලිව පෙන්වන පරිදි, සාතන් ක්‍රිස්තියානි අඛණ්ඩතාව කඩා බිඳ දැමීමට මාර්ග සොයමින් විවිධ කපටි උපායන් බොහෝමයක් භාවිත කරයි. ඔහුගේ ඇතැම් උපායන් අසම්පූර්ණ මාංසය ඇදී යන ඒවා වන අතර අනිත් ඒවා වේදනාවේ උල්පතක් වෙයි. ඉහත කළ සාකච්ඡාවෙන් ඔබට දැකගත හැකි වන්නේ, ඔබ කිසිදා අසු නොවීමට සෑදී පැහැදී සිටිය යුත්තේ මන්ද කියායි. දෙවි කෙරෙහි ඔබේ හෘදයෙහි පැලපදියම්ව ඇති ප්‍රේමයෙන් යක්ෂයා බොරුකාරයෙක් බව ඔප්පු කරමින් යෙහෝවාව සතුටු කිරීමට අදිටන් කරගන්න. (හිතෝපදේශ 27:11; යොහන් 8:44) මොන පීඩාවකට මූණ දීමට සිදු වුණත් සැබෑ ක්‍රිස්තියානි අඛණ්ඩතාව බිඳ නොහෙළීමට මතක තබාගන්න.