ප්‍රීතිමත්ව “වචනය පිළිපදින්නෝ”
“ඔබේ ප්‍රාණ ගළවන්ට පුළුවන් වූ, පැලපදියම් කරන ලද වචනය මෘදුකමින් යුක්තව පිළිගන්න. කෙසේවෙතත්, . . . අසන්නෝ පමණක් නොවී, වචනය පිළිපදින්නෝ බවට පත්වන්න.” —යාකොබ් 1:21, 22, NW.
1. වර්ෂ 1996 සඳහා අපේ වාර්ෂික පදය සැලකිය යුත්තේ කෙසේද?
“වචනය පිළිපදින්නෝ බවට පත්වන්න.” මෙම සරල ප්‍රකාශයේ ප්‍රබල පණිවිඩයක් ගැබ්ව තිබේ. එය බයිබලයේ “යාකොබ්ගේ ලිපියෙන්” රැගෙන තිබෙන අතර, 1996 පුරා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පදය වශයෙන් එය රාජ්‍ය ශාලාවල ප්‍රදර්ශනය කරනු ලැබේ.
2, 3. යාකොබ් සිය නම දරන ලිපිය ලිවීම යෝග්‍ය වූයේ මන්ද?
2 ස්වාමි වූ යේසුස්වහන්සේගේ අර්ධ සහෝදරයා වූ යාකොබ්, මුල් ක්‍රිස්තියානි සභාවේ ප්රමුඛ කෙනෙක් වූයේය. යේසුස්වහන්සේගේ නැවත නැඟිටීමෙන් පසු එක් අවස්ථාවකදී, අපේ ස්වාමීන්වහන්සේ යාකොබ්ට පෞද්ගලිකවද, පසුව සියලු ප්‍රේරිතයන්ටද පෙනුණුසේක. (1 කොරින්ති 15:7) පසුව, ප්‍රේරිත පේතෘස්ව ආශ්චර්යවත් ලෙස හිරගෙයින් මුදාහරිනු ලැබූ විට, ඔහු රැස්ව සිටි ක්‍රිස්තියානි කණ්ඩායමට මෙසේ පැවසීය: “යාකොබ්ටද සහෝදරයන්ටද මේ කාරණා දන්වාපල්ලා.” (ක්‍රියා 12:17) ක්‍රිස්තියානි භක්තිකයන් බවට හැරුණු අන්‍යජාතිකයන්ට චර්මච්ඡේදනය අනවශ්‍ය බව ප්‍රේරිතවරුන් හා වැඩිමහල්ලන් යෙරුසලමේ පාලක මණ්ඩල රැස්වීමේදී තීරණය කළ විට, ප්‍රේරිතවරයෙකු නොවූ යාකොබ් එහි මුලසුන දැරූ බවක් පෙනෙන්ට තිබේ. යාකොබ් කාරණා සියල්ල සාරාංශ කොට දැක්වූ අතර, ශුද්ධාත්මය මගින් සනාථ කරන ලද තීරණය සියලු සභා වෙත යවන ලදි.—ක්‍රියා 15:1-29.
3 යාකොබ් මේරූ ලෙස කළ තර්කයෙහි ඉමහත් බලපෑමක් තිබූ බවට කිසිදු සැකයක් නැත. කෙසේවෙතත්, තමා හුදෙක් “දෙවියන්වහන්සේගෙත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙත් දාසයෙක්වූ” බව හේ නිහතමානීව පිළිගත්තේය. (යාකොබ් 1:1) අදදින ක්‍රිස්තියානීන් සඳහා ඔහුගේ දේවානුභාවය ලත් ලිපියෙහි ස්ථිරසාර උපදෙස් හා දිරිගැන්වීම් සම්භාරයක් අන්තර්ගතය. සේනාධිපති සෙස්ටියස් ගැලස් විසින් යෙරුසලමට එරෙහිව මෙහෙයවන ලද ප්‍රථම රෝමානු ප්‍රහාරයට වර්ෂ සතරකට පමණ කලින්ද, ශුභාරංචිය “අහසින් යට මුළු මැවිල්ලෙහි” දේශනා කර තිබුණාට පසුවද එය නිම කර තිබිණ. (කොලොස්සි 1:23) එවකට අර්බුදකාරි කාලවල් පැවති අතර, යුදෙව් ජාතියට එරෙහිව යෙහෝවඃවහන්සේගේ විනිශ්චය ඉටු කිරීම ආසන්නව පැවති බව උන්වහන්සේගේ සේවකයෝ හොඳින් දැන සිටියෝය.
4. මුල් ක්‍රිස්තියානීන්ට දේවවචනය කෙරෙහි ඉමහත් නිසැකකමක් තිබූ බව අඟවන්නේ කුමක්ද?
4 මුළු හෙබ්‍රෙව් ලියවිලිද, ග්‍රීක් ලියවිලිවලින් බහුතරයක්මද එම ක්‍රිස්තියානීන්ට ඒ වන විට තිබිණ. ක්‍රිස්තියානි බයිබල් ලේඛකයන් කලින් ලියන ලද දේවලට නිතර නිතර යොමු දැක්වීමෙන් ඇඟවෙන පරිදි, ඔවුන්ට දේවවචනය කෙරෙහි ඉමහත් නිසැකකමක් තිබූ බවට කිසිදු සැකයක් නැත. ඒ හා සමානව, අප අදදින දේවවචනය උනන්දුවෙන් අධ්‍යයනය කොට, එය අපේ ජීවිත තුළ අදාළ කරගත යුතුය. විඳදරාගැනීමට නම්, ශුද්ධ ලියවිලි සපයන ආත්මික ශක්තිය හා එඩිතරකම අපට අවශ්‍යය.—ගීතාවලිය 119:97; 1 තිමෝති 4:13.
5. අපට අදදින විශේෂ මඟ පෙන්වීම අවශ්‍ය මන්ද, තවද අප එය ලබාගන්නේ කොතැනින්ද?
5 “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක්” අද්දර අදදින මිනිස්වර්ගයා සිටිත්. (මතෙව් 24:21) අපේ බේරී ජීවත්වීම රඳා පවතින්නේ දිව්‍ය මඟ පෙන්වීම ලබාගැනීම මතය. අපට මෙය සොයාගත හැක්කේ කෙසේද? දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයේ ආනුභාවයෙන් ලද වචනයේ ඉගැන්වීම්වලට අපේ හදවත් විවර කිරීමෙනි. අතීතයේ විසූ යෙහෝවඃවහන්සේගේ පක්ෂපාත සේවකයන්ට සමානව, “වචනය පිළිපදින්නෝ බවට” පත්වීමට මෙය අපහට මඟ පාදනවා ඇත. වෙහෙස මහන්සිය නොබලා දේවවචනය කියවා අධ්‍යයනය කළ යුතු අප, එය යෙහෝවඃවහන්සේගේ ප්‍රශංසාව පිණිස භාවිත කළ යුතුය.—2 තිමෝති 2:15; 3:16.
ප්‍රීතියෙන් යුක්තව විඳදරාගැනීම
6. පීඩාවලට මුහුණ දීමේදී අපට ප්‍රීතිය අත්විය යුත්තේ මන්ද?
6 යාකොබ් සිය ලිපිය ආරම්භ කරන විට, දෙවියන්වහන්සේගේ ආත්මයේ දෙවන ඵලය වන ප්‍රීතිය ගැන සඳහන් කරයි. ඔහු මෙසේ ලියයි: “මාගේ සහෝදරයෙනි, නුඹලාගේ ඇදහිල්ල සෝදිසිකිරීමෙන් ක්ෂාන්තිගුණය [විඳදරාගැනීම, NW] උපදින බව දැන, අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල, ඒ සියල්ල ප්‍රීතියක්යයි සිතාපල්ලා. නුමුත් නුඹලා කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පූර්ණව සිටින පිණිස ක්ෂාන්තිගුණය [විඳදරාගැනීම, NW] සම්පූර්ණලෙස ක්‍රියාකෙරේවා.” (යාකොබ් 1:2-4; ගලාති 5:22, 23) බොහෝ පීඩාවලට උර දීම “ප්‍රීතියක්යයි” කිව හැක්කේ කෙසේද? හොඳයි, යේසුස්වහන්සේ පවා සිය කන්ද උඩ දේශනාවේදී, මෙසේ පැවසූසේක: “මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩාකොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශීර්වාදලද්දෝය. ප්රීතිවෙයල්ලා, ඉතා සන්තෝෂවෙයල්ලා; මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය.” (මතෙව් 5:11, 12) සදාකාල ජීවනය නමැති ඉලක්කය කරා අප ආයාසයක් දරමින් සිටින අතරතුර, අපේ වෑයම් කෙරෙහි යෙහෝවඃවහන්සේගේ ආශීර්වාද දැකීමෙහිලා ප්‍රීතිමත් තෘප්තියක් ඇත.—යොහන් 17:3; 2 තිමෝති 4:7, 8; හෙබ්‍රෙව් 11:8-10, 25, 35.
7. (අ) විඳදරාගැනීමට අපට කුමන උපකාරයක් ලැබිය හැකිද? (ආ) යෝබ්ට සමානව, අපට කුමන හොඳ විපාකයක් ලැබිය හැකිද?
7 “තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය” හේතුකොටගෙන යේසුස්වහන්සේම විඳදරාගත්සේක. (හෙබ්‍රෙව්12:1, 2) යේසුස්වහන්සේගේ නිර්භීත ආදර්ශය දෙස බලමින්, අපටද විඳදරාගත හැක! යාකොබ් සිය ලිපියේ අවසානයට වෙන්න සඳහන් කරන පරිදි, යෙහෝවඃවහන්සේ අඛණ්ඩතාව පවත්වන්නන්හට විපුල විපාක දෙනසේක. බලව! “ඉවසූ [විඳදරාගත්, NW] අය ආශීර්වාදලද්දෝයයි අපි කියමු” කියා යාකොබ් පවසයි. “යෝබ්ගේ ඉවසීම [විඳදරාගැනීම, NW] ගැන නුඹලා අසා තිබේ, ස්වාමීන්වහන්සේගේ තීරණයද නුඹලා දුටුවහුය, ස්වාමීන්වහන්සේ බොහෝ අනුකම්පාව ඇත්තාවූ දයාවන්තවූ කෙනෙක්ය.” (යාකොබ් 5:11) යෝබ්ට නැවතත් යහපත් සෞඛ්‍ය තත්වයක්ද ප්‍රේමකරන අය සමඟ තෘප්තිමත් සන්තෝෂවත් ජීවිතයක් භුක්තිවිඳීමට අවස්ථාවක්ද දානය කරනු ලැබූ විට ඔහුගේ අඛණ්ඩතාව හොඳ විපාකයක් ලැබූ අන්දම සිහියට නඟන්න. අඛණ්ඩතාව ඇතුව විඳදරාගැනීමෙන්, දෙවියන්වහන්සේගේ පොරොන්දු කරන ලද නව ලොවෙහි එවැනිම ප්‍රීතිවීමක් ඔබටත් අත් කරගත හැක, මෙසේ වන්නේ යෙහෝවඃවහන්සේට මේ දැන්ම සේවය කිරීමෙන් ලැබෙන ප්‍රීතියේ උච්චාවස්ථාවක් වශයෙනි.
ප්‍රඥාව සෙවීම
8. අපට සැබෑ, ප්‍රායෝගික ප්‍රඥාව සොයාගත හැක්කේ කෙසේද, මෙහිදී යාච්ඤාව දරන කොටස කුමක්ද?
8 අප වෙහෙස නොබලා දේවවචනය අධ්‍යයනය කිරීමත් සමඟම, එය ප්‍රායෝගිකව අදාළ කරගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන්, දිව්‍ය ප්‍රඥාව ලැබෙන අතර, සාතන්ගේ මියයන පිළිවෙළේ දූෂණය මධ්‍යයෙහි පීඩා විඳදරාගැනීමට අපට හැකියාවක් දෙනවා ඇත. එවන් ප්‍රඥාවක් සෙවීම සම්බන්ධයෙන් අපට සහතික විය හැක්කේ කෙසේද? යාකොබ් අපට මෙසේ පවසයි: “නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ. නුමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා. මක්නිසාද අනුමානකරන්නා සුළඟින් ගෙනයන්නාවූ, සෙලවෙන්නාවූ මුහුදේ රැළට සමානය.” (යාකොබ් 1:5, 6) යෙහෝවඃවහන්සේ අපේ ඉල්ලීම්වලට සවන් දෙමින්, ස්වකීය නිසි කාලයේදී හා ස්වකීය ආකාරයට අනුව ඒවාට පිළිතුරු දෙන බවට නොසැලෙන නිසැකකමක් ඇතුව, අප ඕනෑකමින් යාච්ඤා කළ යුතුය.
9. දිව්‍ය ප්‍රඥාව හා එය අදාළ කිරීම සම්බන්ධයෙන් යාකොබ් විස්තර කරන්නේ කෙසේද?
9 දිව්‍ය ප්‍රඥාව යෙහෝවඃවහන්සේගෙන් ලද තිළිණයකි. එවන් තිළිණ ගැන විස්තර කරමින්, යාකොබ් මෙසේ පවසයි: “සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තාවූ ආලෝකවල පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය.” සැබෑ ප්‍රඥාව අත් කරගැනීමෙන් ලබන ප්‍රතිඵලය පිළිබඳව පසු අවස්ථාවකදී, යාකොබ් සිය ලිපියෙහි පැහැදිලි කරන්නේ මෙසේ පවසමිනි: “නුඹලා අතරෙහි ප්‍රඥාවත්වූ තේරුම්ඇත්තාවූ තැනැත්තා කවුද? ඔහු යහපත් හැසිරීමෙන් තමාගේ ක්‍රියා ප්‍රඥාවේ මෘදුකම ඇතුව පෙන්වාවා. . . . ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට පිරිසිදුව, ඊළඟට සමාදානව, ඉවසිලිවන්තව, යටහත්ව, දයාවෙනුත් යහපත් ඵලවලිනුත් පූර්ණව, අපක්ෂවාදිව, අවංකව තිබේ.”—යාකොබ් 1:17; 3:13-17.
10. බොරු ආගම සැබෑ එකට වඩා වෙනස් වන්නේ කෙසේද?
10 ක්‍රිස්තියානි ලෝකයේ හෝ වෙනත් දේශවල හෝ වේවා, බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය පුරා, ඇතැම් ගීතිකා ගැයීම, පුන පුනා කරන යාච්ඤාවලට සවන් දීම හා ඇතැම්විට යම් අනුශාසනාවක් අසන්ට ලැබීම බොහෝවිට වන්දනාකරුවන්ගේ චාරිත්‍රය වේ. ආගම් බොහොමයක් තුළ අනාගතය සඳහා දීප්තිමත් බලාපොරොත්තුවක් නැති බැවින්, බලාපොරොත්තුවේ පණිවිඩයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු දිරිගැන්වීමක් නොදෙනු ලැබේ. දෙවියන්වහන්සේගේ මෙසියානු රාජ්‍යයේ තේජාන්විත බලාපොරොත්තුව සඳහන් කෙරෙන්නෙවත් නැත, එසේ නැතහොත් එය සහමුලින්ම වරදවා තේරුම්ගනු ලැබේ. ක්‍රිස්තියානි ලෝකයේ බැතිමතුන් ගැන යෙහෝවඃවහන්සේ මෙසේ පවසනසේක: “මාගේ සෙනග නපුරු දේවල් දෙකක් කළෝය; ඔව්හු ජීවන වතුර උල්පතවූ මා අත්හැර, කටාරම්, එනම් වතුර නාල්ලන්නාවූ බිඳුණාවූ කටාරම් තමුන්ට කපාගත්තෝය.” (යෙරෙමියා 2:13) ඔවුන්ට සත්‍යතාවේ වතුර නැත. ස්වර්ගික ප්‍රඥාවේ ඌනතාවක් තිබේ.
11, 12. (අ) දිව්‍ය ප්‍රඥාව අපව පෙලඹවිය යුත්තේ කෙසේද? (ආ) දිව්‍ය ප්‍රඥාව අපට අනතුරු අඟවන්නේ කුමක් සම්බන්ධයෙන්ද?
11 අදදින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අතර තත්වය කොතරම් වෙනස්ද! දෙවියන්වහන්සේගෙන් ලද බලෝත්පාදක ශක්තිය ඇතුව, ඔවුහු උන්වහන්සේගේ පැමිණෙන රාජ්‍යයේ ශුභාරංචියෙන් පොළොව පිරී ඉතිරී යෑමට සලස්වමින් සිටිති. ඔවුන් කතා කරන ප්‍රඥාව දෙවියන්වහන්සේගේ වචනය මත ස්ථිරව පදනම්ව තිබේ. (සසඳන්න හිතෝපදේශ 1:20; යෙසායා 40:29-31.) ඇත්තෙන්ම, අපේ දෙවියන්වහන්සේගේද මැවුම්කරුවාණන්ගේද උදාර අරමුණු ප්‍රකාශයට පත් කිරීමෙහිලා ඔවුහු සැබෑ දැනුම හා අවබෝධය ප්‍රායෝගිකව භාවිත කරති. සභාවේ සිටින සියලුදෙනාම “සියලු ආකාර ප්‍රඥාවද ආත්මික නුවණද ලබන ලෙස [දෙවියන්වහන්සේගේ] කැමැත්ත දැනගැනීමෙන් පූර්ණවී” සිටීම අපේ ආශාව විය යුතුය. (කොලොස්සි 1:9) මෙම අඩිතාලම ඇතුව බාල මහලු සියලුදෙනාම හැමවිටම “වචනය පිළිපදින්නෝ බවට” පත්වීමට පෙලඹීම් ලබනවා ඇත.
12 දිව්‍ය අප්‍රසාදයට භාජන විය හැකි පාප ගැන “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” අපට අවවාද කරයි. “මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නුඹලා මේක දන්නහුය” කියා යාකොබ් පවසයි. “එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා. මක්නිසාද මනුෂ්‍යයාගේ උදහසින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය.” එසේය, දිව්‍ය උපදෙස්වලට සවන් දී එය අදාළ කරගැනීමට අප යුහුසුලු මෙන්ම උනන්දුමත් විය යුතුය. කෙසේවෙතත්, “කුඩා අවයවයක්” වන දිව අනිසි ලෙස භාවිත කිරීමට එරෙහිව අප පරෙස්සම් විය යුතුමය. පාරට්ටු කරගැනීම, අඥාන ඕපාදූප නැතහොත් හිතූ මතයේ කරන මුරණ්ඩු කතා මගින්, උපහැරණාත්මකව “මහත් වනාන්තරයක්” ගිනි ඇවිළීමට දිවට හැක. එමනිසා අපේ සියලු ආශ්රයන්හිදී ප්‍රියමනාපභාවය හා ආත්ම-දමනය වගා කිරීම අවශ්‍යය.—යාකොබ් 1:19, 20; 3:5.
13. අප ‘වචනය පැලපදියම් කිරීම’ පිළිගැනීම වැදගත් වන්නේ මන්ද?
13 “එහෙයින්” යාකොබ් මෙසේ ලියයි, “සියලු කිලුටුකමද අධික දුෂ්ටකමද පහ කොට, නුඹලාගේ ප්‍රාණ ගළවන්ට පුළුවන් වූ, පැලපදියම් කරන ලද වචනය මෘදුකමින් යුක්තව පිළිගනිල්ලා.” (යාකොබ් 1:21, NW) ප්‍රදර්ශනාත්මක, ද්‍රව්‍යවාදී, මමත්වයට දිරි දෙන ජීවන රටාවෙන් හා පිරිහුණු සදාචාරයෙන් සමන්විත මෙම ගිජු ලෝකය පහව යෑමට ආසන්නය. “නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.” (1 යොහන් 2:15-17) එසේනම්, අප ‘වචනය පැලපදියම් කිරීම’ පිළිගැනීම කොතරම් වැදගත්ද! මෙම මියයන ලෝකයේ අයහපත්කමට එරෙහිව දේවවචනයෙන් සපයන ලද ප්‍රඥාව ඉඳුරාම වෙනස්ය. අපට එම අයහපත්කමින් කිසිවක් වුවමනා නැත. (1 පේතෘස් 2:1, 2) යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨ මාර්ගවලින් නොමඟ නොයෑමට අධිෂ්ඨානයක් ඇතුව සිටීමට හැකි වන පරිද්දෙන්, අපේ හදවත් තුළ සත්‍යය සඳහා ප්‍රේමයක් හා ශක්තිමත් ඇදහිල්ලක් පැලපදියම් කරගැනීම අවශ්‍යය. එහෙත් දෙවියන්වහන්සේගේ වචනයට සවන් දීම පමණක් සෑහේද?
“වචනය පිළිපදින්නෝ” බවට පත්වීම
14. අපට වචනය “අසන්නෝ” මෙන්ම “පිළිපදින්නෝ” බවට පත්විය හැක්කේ කෙසේද?
14 යාකොබ් 1:22හි [NW], අපට මෙසේ කියවීමට තිබේ: “බොරු තර්කවලින් තමන්ම රවටාගනිමින්, අසන්නෝ පමණක් නොවී, වචනය පිළිපදින්නෝ බවට පත්වන්න.” “වචනය පිළිපදින්නෝ බවට පත්වන්න”! යන මෙම තේමාව යාකොබ්ගේ ලිපියෙහි පැහැදිලිවම කැපීපෙනෙන්ට සලස්වා තිබේ. අප සවන් දිය යුතුය, අනතුරුව, ‘එසේම කළ’ යුතුය! (උත්පත්ති 6:22) යම් දේශනාවක් ඇසීම හෝ යම් චාරිත්‍රානුකූල නමස්කාර පිළිවෙතකට සහභාගි වීම ප්‍රමාණවත්යයි අදදින කියා සිටින බොහෝ ජනයා, ඉන් ඔබ්බට වැඩි යමක් කිරීමට උත්සුක නොවෙති. තම ප්‍රමිතිවලට අනුව, ‘යහපත් ජීවිතයක්’ ගත කරන තාක්කල්, එය ප්‍රමාණවත් වන බව ඔවුන් කල්පනා කරනවා විය හැක. එහෙත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක: “යමෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාම නොසලකා, තමාගේ කුරුසිය රැගෙන, මා අනුව [නොකඩවා, NW] ඒවා.” (මතෙව් 16:24) ආත්ම පරිත්‍යාගශීලී ක්‍රියාමාර්ගයක්ද, දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමෙහිලා යේසුස්වහන්සේගේ ආදර්ශය අනුකරණය කිරීමේදී විඳදරාගැනීමද සැබෑ ක්‍රිස්තියානීන්ගෙන් පැහැදිලිවම අවශ්‍ය කෙරේ. “එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා” යනුවෙන් නැවත නැඟිටුවන ලද යේසුස්වහන්සේ පළමු සියවසේදී ආඥා කළ විට තිබූ තත්වයට සමාන තත්වයක්, ඔවුන්ට අදදින දේවකැමැත්ත කිරීමේදී ඇතුළත් වේ. (මතෙව් 28:19) මේ සම්බන්ධයෙන් ඔබේ තත්වය කවරේද?
15. (අ) අපට “වචනය පිළිපදින්නෝ” වශයෙන් සන්තෝෂවත් විය හැකි අන්දම පෙන්වමින්, යාකොබ් දුන්නේ කුමන උපහැරණයද? (ආ) නිකම්ම යම් විධිමත් නමස්කාර පිළිවෙතක් අනුගමනය කිරීම ප්‍රමාණවත් නොවන්නේ මන්ද?
15 අප දිගටම දේවවචනය දෙස හොඳින් බලා කටයුතු කරනවා නම්, අප ඇත්තටම කෙබඳු පුද්ගලයන්ද යන වග පිළිබිඹු කිරීමෙහිලා එය කැඩපතක් මෙන් කටයුතු කළ හැක. යාකොබ් මෙසේ පවසයි: “නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගන, මතක නැතිකරන අසන්නෙක් නොවී, ක්‍රියාකරන කෙනෙක්ව, එසේ පවතින්නාවූ තැනැත්තේම තමාගේ ක්‍රියාකිරීමෙහිදී ආශීර්වාද ලබන්නේය.” (යාකොබ් 1:23-25) එසේය, ඔහු සන්තෝෂවත් ‘වචනය පිළිපදින්නෙක්’ වන්නේය. එපමණක්ද නොව, අපේ ක්‍රිස්තියානි ජීවිතවල සෑම පාර්ශ්වයකම ‘පිළිපදින්නෙකු’ වීම වැදගත්ය. නිකම්ම යම් විධිමත් නමස්කාරයක යෙදීම ප්‍රමාණවත්යයි සිතීමට අප අපවම රවටා නොගත යුතුය. ජ්වලිත ක්‍රිස්තියානීන් පවා ඇතැම්විට නොසලකා හැරියාවූ සැබෑ නමස්කාරයේ ඇතැම් අංශ පැවැත්වීමට යාකොබ් අපට උපදෙස් දෙයි. ඔහු මෙසේ ලියයි: “අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදුවූ නොකිලුටුවූ භක්තිය නම්, මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීමත්, ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම ආරක්ෂාකරගැනීමත්ය.”—යාකොබ් 1:27.
16. ආබ්‍රහම් ‘යෙහෝවඃවහන්සේගේ මිත්‍රයා’ බවට පත් වූයේ කවර ආකාරවලින්ද, තවද අපට උන්වහන්සේගේ මිත්‍රත්වය අත් කරගත හැක්කේ කෙසේද?
16 ‘මම දෙවියන්වහන්සේව අදහනවා,’ කියා පවසා ඉන් ඔබ්බට වැඩියමක් නොකිරීම ප්‍රමාණවත් නොවේ. යාකොබ් 2:19 කරුණු පැහැදිලි කරන පරිදි: “ඇත්තේ එකම දෙවියන්වහන්සේ බව නුඹ විශ්වාසකරන්නෙහිය; නුඹ කරන එක හොඳය. යක්ෂයොත් විශ්වාසකර වෙවුලති.” “ක්‍රියා නැති ඇදහිල්ල නිෂ්ඵල බව” අවධාරණය කරන යාකොබ්, ආබ්‍රහම්ට යොමු දක්වමින් මෙසේ පවසයි: “ඇදහිල්ල ඔහුගේ ක්‍රියාවල් සමඟ ක්‍රියාකළ [අතර,] ඇදහිල්ල ක්‍රියාවලින් සම්පූර්ණ” වූයේය. (යාකොබ් 2:17, 20-22) සිය ඥාතීන් වෙනුවෙන් පිහිටවීම, ආගන්තුක සත්කාරය පෙන්වීම, ඊසාක්ව පූජා කිරීමට සූදානම් වීම හා සැබෑ ‘අත්තිවාරම් ඇත්තාවූ නුවර’ වන අනාගත මෙසියානු රාජ්‍යය පිළිබඳ දෙවියන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි නොසැලෙන ඇදහිල්ල ‘ප්‍රසිද්ධියේ කියා දීම’ ආබ්‍රහම්ගේ ක්‍රියාවලට ඇතුළත් විය. (උත්පත්ති 14:16; 18:1-5; 22:1-18; හෙබ්‍රෙව් 11:8-10, 13, 14; 13:2) ආබ්‍රහම් ‘යෙහෝවඃවහන්සේගේ මිත්‍රයායයි කියනු ලැබුවේ’ උචිත ලෙසිනි. (යාකොබ් 2:23) උන්වහන්සේගේ මතු පැමිණෙන රාජ්‍යය කෙරෙහි අප අපේ ඇදහිල්ල හා බලාපොරොත්තුව ප්‍රකාශ කිරීමෙහි ක්‍රියාශීලීව නිරත වෙත්ම, අපද ‘යෙහෝවඃවහන්සේගේ මිත්‍රයන්’ හැටියට ගණන් ගනු ලැබිය හැක.
17. (අ) රාහබ් “ධර්මිෂ්ඨ” බවට ප්‍රකාශ කරනු ලැබුවේ මන්ද, තවද ඇයට විපාක ලැබුණේ කෙසේද? (ආ) ‘වචනය පිළිපදින්නන් බවට පත් වූ’ අය පිළිබඳව බයිබලය සපයන්නේ කවර දීර්ඝ ලැයිස්තුවද? (ඇ) යෝබ් විපාක ලැබුවේ කෙසේද, ඒ මන්ද?
17 “වචනය පිළිපදින්නෝ බවට” පත් වන අය, සැබවින්ම “ඇදහිල්ල පමණකින් නොව ක්‍රියාවලිනුත් ධර්මිෂ්ඨකරනු” ලබන්නෝය. (යාකොබ් 2:24) යෙහෝවඃවහන්සේගේ බලවත් ක්‍රියා සම්බන්ධයෙන් රාහබ් අසා තිබුණු “වචනය” කෙරෙහි වූ ඇදහිල්ලට ඈ ක්‍රියාද එකතු කළ කෙනෙක් වූවාය. ඉශ්රායෙල් ජාතික ඔත්තුකාරයන් සඟවා, ඔවුන්ට පලා යෑමට උපකාර කළ ඈ, අනතුරුව ආරක්ෂා කිරීම සඳහා ඇගේ පියාගේ පවුල රැස් කළාය. ක්‍රියාවලින් අනුබල ලැබූ ඇගේ ඇදහිල්ල, මෙසියස්වහන්සේගේ මුතුන්මිත්තනියක බවට පත්වීමට ඇයට මඟ පෑදූ බව, නැවත නැඟිටීමේදී දැනගන්ට ලැබෙන විට ඇය කොතරම් ප්‍රීතිමත් වේවිද! (යෝෂුවා 2:11; 6:25; මතෙව් 1:5) සිය ඇදහිල්ල විදහාපෙන්වීමෙහිලා ‘පිළිපදින්නන්’ බවට පත් වූ අයගේ දීර්ඝ ලැයිස්තුවක් හෙබ්‍රෙව් 11වන පරිච්ඡේදයෙහි සපයනු ලැබෙන අතර, ඔවුන්ට විපුල විපාක අත්වන්නේය. දරුණු පීඩා යටතේ, “ස්වාමීන්වහන්සේගේ නාමයට [දිගටම, NW] ප්‍රශංසාවේවයි” පැවසූ යෝබ්ද අප අමතක කළ යුතු නොවේ. අප දැනටමත් සැලකිල්ලට ගෙන තිබෙන පරිදි, ඔහුගේ ඇදහිල්ල හා ක්‍රියා, මහඟු විපාකයක් ලැබීමට මඟ පෑදීය. (යෝබ් 1:21; 31:6; 42:10; යාකොබ් 5:11) ඒ හා සමානව, අපි අදදින “වචනය පිළිපදින්නෝ” වශයෙන් විඳදරාගන්නෙමු නම්, යෙහෝවඃවහන්සේගේ අනුමැතියේ මදහස ලැබෙනවා නියතය.
18, 19. බොහෝ කලක් පුරා විරුද්ධවාදිකම්වලට ලක් වී තිබෙන සහෝදරයන් “වචනය පිළිපදින්නෝ බවට” පත් වී තිබෙන්නේ කෙසේද, තවද ඔවුන්ගේ ක්‍රියාකාරකම් ලබා දී තිබෙන ආශීර්වාදය කුමක්ද?
18 ගතවී තිබෙන අවුරුදු ගණනාව පුරා බොහෝ දේ විඳදරාගෙන තිබෙන අය අතර නැඟෙනහිර යුරෝපයේ වෙසෙන අපේ සහෝදරයෝ සිටිත්. දැන් සීමා තහංචි රාශියක් ඉවත් කර තිබෙන නිසා, ඔවුහු සිය නව වාතාවරණය යටතේ සැබවින්ම “වචනය පිළිපදින්නෝ බවට” පත් වී ඇත්තාහ. ඉගැන්වීමට හා සංවිධානය කිරීමට සහය දීම සඳහා අසල්වැසි දේශවල මිෂනාරිවරුන් හා පුරෝගාමීන් පැමිණ තිබේ. ෆින්ලන්ත ශාඛා කාර්යාලය හා වොච් ටවර් සමිතියේ ළඟපාත වෙනත් ශාඛා කාර්යාල මගින් ප්‍රවීණ ගොඩනඟන්නන් එවා තිබෙන අතර, අලුත් ශාඛා කාර්යාල හා රාජ්‍ය ශාලා ඉදි කිරීමට මූල්‍යාධාර ලැබී තිබෙන්නේ ලෝක ව්‍යාප්ත සහෝදරත්වයේ ත්යාගශීලිත්වයෙනි.—2 කොරින්ති 8:14, 15 සසඳන්න.
19 බොහෝ කලකට විරුද්ධවාදිකම්වලට මුහුණ දී තිබෙන එම සහෝදරයන් ක්ෂේත්රයේදී ප්‍රතිචාරය දක්වා තිබෙන්නේ කෙතරම් ජ්වලිත ලෙසද! ‘කරදරකාරි කාලවල’ විවෘතව නොතිබූ ප්රස්තාවලට වන්දි වශයෙන්, ඔවුහු වෙහෙස මහන්සි වී ‘වැඩ කරමින්, වීර්යය කරමින්’ සිටිති. (1 තිමෝති 4:10; 2 තිමෝති 4:2) උදාහරණයක් වශයෙන්, පසුගිය අප්‍රියෙල් මස, කෲර මර්දනය කිරීමේ ප්‍රතිපත්තියක් තිබූ ඇල්බේනියාවේ, “ජීවිතය මෙතරම් ගැටලුවලින් පිරී ඇත්තේ මන්ද?” යන මැයින් යුත් රාජ්‍ය ආරංචියේ මුළු සැපයුම බෙදාහැරීමට ගත වූයේ දවස් තුනක් පමණි. මෙය පුද්ගලයන් 3,491දෙනෙකු පැමිණි යේසුස්වහන්සේගේ මරණය සිහිකිරීමෙන් පසුව ලද විශිෂ්ට ප්රතිඵලයකි—ඔවුන්ගේ ක්‍රියාශීලී ප්‍රචාරකයන් 538දෙනාට වඩා මෙය බෙහෙවින් අධික සංඛ්‍යාවකි.
20. මෑතකදී සිහිකිරීමට පැමිණි සංඛ්‍යාවෙන් අඟවනු ලබන්නේ කුමක්ද, තවද බොහෝදෙනෙකුට උපකාර පිරිනැමිය හැක්කේ කෙසේද?
20 මෑත වර්ෂවලදී 1,00,00,000කට වඩා බෙහෙවින් වැඩි වී තිබෙන සිහිකිරීමට පැමිණි සංඛ්‍යාවට, වෙනත් දේශ සැලකිය යුතු අන්දමින් දායක වී ඇත. බොහෝ පෙදෙස්වල සිහිකිරීමට පැමිණ එය පැවැත්වීමෙන් සිය ඇදහිල්ල ශක්තිමත් කර තිබෙන නවකයෝ, ‘වචනය පිළිපදින්නෝ බවට පත්වෙමින් සිටිති.’ එම වරප්‍රසාදයට සුදුසුකම් ලැබීම සඳහා අපට තවත් නවක ආශ්‍රිතයන්ට දිරිගැන්විය හැකිද?
21. අපේ වාර්ෂික පදයට එකඟව, අප ලුහුබැඳිය යුතු ක්‍රියාමාර්ගය කුමක්ද, තවද කුමන ඉලක්කයක් පෙරදැරි කරගෙනද?
21 පළමු සියවසේ එම ජ්වලිත ක්‍රිස්තියානීන් මෙන්ම එවක් පටන් සිටි බොහෝදෙනෙකුට සමානව, අපිද ස්වර්ග රාජ්‍යයෙහි හෝ එහි භූමික විෂයෙහි හෝ වේවා, සදාකාල ජීවනය නමැති ‘දිනුම්පළ කරා දිවීමේදී,’ වීර්යය කිරීමට අදිටන් කරගෙන සිටිමු. (පිලිප්පි 3:12-14) එම ඉලක්කය අත් කරගැනීමට අප ඕනෑම ප්රයත්නයක් දැරීම වටී. අසන්නන් පමණක්ව සිටීමේ තත්වයට වැටීමට මෙය කාලය නොවේ, නමුත් මෙය වනාහි ‘බලවත්ව සිට වැඩ කිරීමට’ අතිශයින් වැදගත් කාලය වේ. (හග්ගයි 2:4; හෙබ්‍රෙව් 6:11, 12) අපි ‘වචනය පැලපදියම් කිරීම පිළිගෙන’ තිබෙන බැවින්, දැනටත් සදාකාලයටත් ‘ප්‍රීතිමත් වචනය පිළිපදින්නෝ බවට පත් වෙමු.’
ඔබ කෙලෙස උත්තර දෙන්නෙහිද?
◻ අපට ප්‍රීතියෙන් යුක්තව විඳදරාගත හැක්කේ කෙසේද?
◻ “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” කුමක්ද, අපට එය ලුහුබැඳිය හැක්කේ කෙසේද?
◻ අප “අසන්නෝ පමණක් නොවී, වචනය පිළිපදින්නෝ බවට” පත්විය යුත්තේ මන්ද?
◻ “වචනය පිළිපදින්නෝ බවට” පත්වීමට අපව පෙලඹිය යුත්තේ කුමන වාර්තාද?
[17වන පිටුවේ පින්තූරය]
අපිද දිව්‍ය ඉගැන්වීමට අපේ හෘද විවෘත කරගනිමු
[18වන පිටුවේ පින්තූරය]
තම ප්‍රේම කරන අය සමඟ තෘප්තිමත්, සන්තෝෂවත් ජීවිතයක් නැවත ලබාදීමෙන් යෝබ්ට සිය අඛණ්ඩතාවට හොඳ විපාකයක් ලැබිණ