තීක්ෂ්ණ බුද්ධියෙන් සහ ඒත්තුගන්වනසුලුභාවයෙන් උගන්වන්න
“ඥානවන්තයාගේ හෘදය ඔහුගේ මුඛයෙන් තීක්ෂ්ණ බුද්ධිය පෙන්වීමට සලස්වා, ඔහුගේ තොල්වලට ඒත්තුගන්වනසුලුභාවය එකතු කරයි.”—හිතෝපදේශ 16:23, NW.
1. දෙවිගේ වචනය ඉගැන්වීමේදී, නිකම්ම තොරතුරු ඉදිරිපත් කිරීමට වඩා වැඩි යමක් ඊට ඇතුළත්ව ඇත්තේ මන්ද?
දෙවිගේ වචනයෙහි ගුරුවරුන් වශයෙන් අපේ ඉලක්කය වන්නේ අපේ ශිෂ්‍යයන්ගේ මනස පමණක් නොව ඔවුන්ගේ හෘදයනුත් ආලෝකවත් කිරීමයි. (එපීස 1:18, 19) එමනිසා නිකම්ම තොරතුරු සපයා දෙනවාට වඩා වැඩි යමක් ඉගැන්වීමට අයත් වෙනවා. හිතෝපදේශ 16:23හි මෙසේ පවසා තිබෙනවා: “ඥානවන්තයාගේ හෘදය ඔහුගේ මුඛයෙන් තීක්ෂ්ණ බුද්ධිය පෙන්වීමට සලස්වා, ඔහුගේ තොල්වලට ඒත්තුගන්වනසුලුභාවය එකතු කරයි.”
2. (අ) ඒත්තුගන්වනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) සියලුම ක්‍රිස්තියානීන්ට ඒත්තුගන්වනසුලු ගුරුවරුන් විය හැක්කේ කෙසේද?
2 ප්‍රේරිත පාවුල් තම ඉගැන්වීමේ වැඩකටයුතුවලදී මෙම ප්‍රතිපත්තිය සැබෑවටම අදාළ කරගත්තා. කොරින්තියේ සිටි විට, ඔහු ‘සියලු සබත් දවස්වල සිනගෝගයෙහිදී තර්ක කර, යුදෙව්වරුන්ටද ග්‍රීක්වරුන්ටද ඇදහිල්ල [ඒත්තුගැන්වීමට] උත්සාහ කළේය.’ (ක්‍රියා 18:4) එක් අධිකාරයකට අනුව, “ඒත්තුගන්වන්න” කියා මෙහිදී පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනයෙන් අදහස් කරන්නේ, “තර්කයේ හෝ සදාචාරමය කාරණාවල බලපෑමෙන් මනසෙහි යම්කිසි වෙනසක් සිදු කිරීමයි.” ඒත්තුගන්වනසුලු තර්ක මාර්ගයෙන්, මනුෂ්‍යයන්ගේ මුළු චින්තන රටාවම වෙනස් කිරීමට පවා පොලඹවන්න පාවුල්ට හැකි වුණා. ඒත්තුගැන්වීම සඳහා ඔහුට තිබුණු හැකියාව කොතරම් ප්‍රබල වූවාද කිවහොත්, ඔහුගේ සතුරන් පවා ඔහුට භය වුණා. (ක්‍රියා 19:24-27) කෙසේවෙතත්, පාවුල්ගේ ඉගැන්වීම මනුෂ්‍ය හැකියාවේ ප්‍රදර්ශනයක් කියා කිව නොහැකියි. ඔහු කොරින්තිවරුන්ට මෙසේ පැවසුවා: “මාගේ කථාවත් මාගේ දේශනාකිරීමත් ප්‍රඥාවේ සිත් පොලඹවන්නාවූ වචනවලින් නොව [ආත්මයේද] බලයේද ප්‍රකාශකිරීමෙන් විය. එසේ වුණේ නුඹලාගේ ඇදහිල්ල [දෙවිගේ] බලයෙන් මිස මනුෂ්‍යයන්ගේ ප්‍රඥාවෙන් නොපිහිටන පිණිසය.” (1 කොරින්ති 2:4, 5) සියලුම ක්‍රිස්තියානීන්ට යෙහෝවා දෙවිගේ ශුද්ධාත්මයේ උපකාරය තිබෙන නිසා, ඔවුන් සැමට ඒත්තුගන්වනසුලු ගුරුවරුන් වීමේ ප්‍රස්තාව තිබෙනවා. ඒ කෙසේද? බලපෑමෙන් යුත් ඉගැන්වීමේ ශිල්ප ක්‍රම කිහිපයක් අපි සලකා බලමු.
හොඳ සවන්දෙන්නෙකු වන්න
3. අනුන්ට උගන්වද්දී තීක්ෂ්ණ බුද්ධිය අවශ්‍ය වන්නේ මන්ද? බයිබල් ශිෂ්‍යයෙකුගේ හෘදයට ළඟා වන්න අපට හැක්කේ කෙසේද?
3 ඉගැන්වීමේ මුල්ම ශිල්ප ක්‍රමයට අයත් වන්නේ, කතා කිරීම නොව, සවන් දීමයි. හිතෝපදේශ 16:23හි දක්වා ඇති ආකාරයට, ඒත්තුගැන්වීම සඳහා අපට තීක්ෂ්ණ බුද්ධියක් තිබිය යුතුයි. යේසුස්ට නම් තමා ඉගැන්වූ අය සම්බන්ධයෙන් ඇත්තෙන්ම තීක්ෂ්ණ බුද්ධියක් තිබුණා. යොහන් 2:24හි පවසන්නේ, ඔහු “මනුෂ්‍යයා තුළ තිබෙන්නේ කුමක්දැයි දන්න” බවයි. එනමුත් අප උගන්වන අයගේ හෘදවල ඇත්තේ කුමක්දැයි දැනගැනීමට අපට හැක්කේ කෙසේද? එක් විදිහක් නම්, හොඳ සවන්දෙන්නෙකු වීමයි. යාකොබ් 1:19 මෙසේ කියයි: “එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමට . . . ප්‍රමාද වේවා.” සෑම පුද්ගලයෙකුම තම සිතේ අදහස් කැමැත්තෙන්ම ප්‍රකාශ නොකරන බව ඇත්තයි. කෙසේවෙතත්, අපේ බයිබල් ශිෂ්‍යයන් කෙරෙහි අපට සැබෑ උනන්දුවක් ඇති බව ඔවුන්ට ඒත්තුයන විට, ඔවුන්ගේ සැබෑ හැඟීම් ප්‍රකාශ කරන්න ඔවුන් වැඩි නැඹුරුවාවක් දැක්විය හැකියි. කාරුණික නමුත් හොඳ අවබෝධයකින් යුතුව අසන ප්‍රශ්න බොහෝවිට හෘදයට ළඟා වන්නත්, එවැනි අදහස් ‘ඇදගන්නත්’ උපකාර කළ හැකියි.—හිතෝපදේශ 20:5.
4. ක්‍රිස්තියානි වැඩිමහල්ලන් හොඳ සවන්දෙන්නන් විය යුත්තේ මන්ද?
4 ක්‍රිස්තියානි වැඩිමහල්ලන් හොඳ සවන්දෙන්නන් වීම විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඇත්තෙන්ම ‘ඔවුන්ට එකිනෙකාට උත්තර දිය යුත්තේ කෙසේදැයි දැනගත’ හැක්කේ එවිට පමණයි. (කොලොස්සි 4:6) හිතෝපදේශ 18:13 මෙසේ අනතුරු අඟවයි: “අසන්ට පළමුවෙන් යමෙක් උත්තර දෙන්නේ නම්, එය ඔහුට මෝඩකමක්ව ලජ්ජාවක්ව තිබේ.” වරක් යහපත් චේතනාවකින් පෙලඹුණු සහෝදරයන් දෙදෙනෙකු සහෝදරියක රැස්වීම් කිහිපයක් අතපසු කළ නිසා, ඇයට ලෝකයට බර වී කටයුතු කිරීම ගැන උපදෙස් දුන්නා. ඇයට පැමිණෙන්න බැරි වුණ හේතුව ඔවුන් විමසුවේ නැති බැවින්, එම සහෝදරියට ඉමහත් වේදනාවක් දැනුණා. ඇය මෑතකදී සිදු කළ ශල්‍යකර්මයකින් සුවයක් ලබමිනුයි සිටියේ. එසේ නම්, උපදෙස් දීමට කලින් සවන් දීම අපට කොතරම් වැදගත්ද!
5. සහෝදරයන් අතර ඇති වන ආරවුල් හැසිරවීමට වැඩිමහල්ලන්ට හැක්කේ කෙසේද?
5 වැඩිමහල්ලන් සඳහා, ඉගැන්වීමට බොහෝදුරට ඇතුළත් වන තවත් දෙයක් නම් අනුන්ට උපදෙස් දීමයි. නැවතත් මෙහිදී හොඳ සවන්දෙන්නෙකු වීම වැදගත්. සෙසු ක්‍රිස්තියානීන් අතර ආරවුල් ඇති වෙද්දී සවන් දීම විශේෂයෙන්ම වැදගත්. ‘මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා විනිශ්චය කරන පියාව’ අනුකරණය කිරීමට වැඩිමහල්ලන්ට හැක්කේ සවන් දුන්නොත් පමණයි. (1 පේතෘස් 1:17) එවැනි අවස්ථාවලදී, බොහෝදුරට හැඟීම් උත්සන්න වන අතර, වැඩිමහල්ලන් හිතෝපදේශ 18:17හි සඳහන් උපදේශය මනසෙහි තබාගත යුතුයි: “තමාගේ පැමිණිල්ල පළමුකොට කියන අය ධර්මිෂ්ඨව පෙනේ; එහෙත් ඔහුගේ අසල්වාසියා ඇවිත් ඔහු සෝදිසිකරන්නේය.” බලපෑමෙන් යුත් ගුරුවරයෙක් දෙපාර්ශ්වයටම සවන් දෙයි. යාච්ඤාවක් ඉදිරිපත් කිරීමෙන්, සන්සුන් වාතාවරණයක් ඇති කිරීමට ඔහු උපකාර කරයි. (යාකොබ් 3:18) හැඟීම් උත්සන්න වෙනවා නම්, දෙදෙනා එකිනෙකා සමඟ සණ්ඩු සරුවල් කරගන්නවා වෙනුවට, දෙදෙනාටම වෙන වෙනම කාරණය පැහැදිලි කරන්න කියා ඔහුට යෝජනා කළ හැකියි. උචිත ප්‍රශ්න ඇසීමෙන්, සලකා බලන ගැටලු තව තවත් පැහැදිලි කරගැනීමට වැඩිමහල්ලන්ට පුළුවන් වේවි. බොහෝ අවස්ථාවලදී, විවාදවලට හේතුව වන්නේ යම් නපුරු චේතනාවක් නොව නමුත් දුර්වල අදහස් හුවමාරු කරගැනීමයි. එනමුත් බයිබල් ප්‍රතිපත්ති උල්ලංගනය කර ඇත්නම්, දෙපාර්ශ්වයටම සවන් දී ඇති නිසා, ප්‍රේමනීය ගුරුවරයෙකුට තීක්ෂ්ණ බුද්ධියෙන් යුක්තව උපදෙස් දීමට පුළුවන් වෙනවා.
සරල වීමේ වටිනාකම
6. සරලව ඉගැන්වීම සම්බන්ධයෙන් පාවුල් සහ යේසුස් ආදර්ශයක් තැබුවේ කෙසේද?
6 තවත් වැදගත් ඉගැන්වීමේ ශිල්ප ක්‍රමයක් සඳහන් කරනවා නම්, ඒ තමයි දේවල් සරලව පැවසීම. අපේ බයිබල් ශිෂ්‍යයන් “සියලු ශුද්ධවන්තයන් සමඟ” සත්‍යයෙහි ‘පළල, දිග, උස, ගැඹුර කිමෙක්ද කියා [මනසින් හොඳට, NW] තේරුම්ගන්නවා’ දකින්න අපට ඕනෑ බව ඇත්තයි. (එපීස 3:18, 19) බයිබල් ඉගැන්වීම්වල චිත්තාකර්ෂණීය මෙන්ම ඇතැම්විට අභියෝගාත්මක පැති තිබෙනවා. (රෝම 11:33) කෙසේවෙතත්, පාවුල් ග්‍රීක්වරුන්ට දේශනා කළ විට, ‘ක්‍රිස්තුස් ඇණගසනු ලැබූ’ බවට වූ සරල පණිවිඩයටයි ඔහු යොමු දැක්වූයේ. (1 කොරින්ති 2:1, 2) ඒ හා සමානව, යේසුස් පැහැදිලි, සිත්ගන්නා ක්‍රමයකින් දේශනා කළා. කන්ද උඩ දේශනාවේදී ඔහු සරල වාග් මාලාවක් භාවිත කළත්, මෙතෙක් ප්‍රකාශ කර ඇති ගැඹුරුම සත්‍යතාවන් එතුළ ගැබ්ව තිබෙනවා.—මතෙව්, 5-7 පරිච්ඡේද.
7. බයිබල් පාඩම් පවත්වද්දී, අපට කාරණා සරලව ඉදිරිපත් කළ හැක්කේ කෙසේද?
7 ඒ හා සමානව, බයිබල් පාඩම්වලදී උගන්වන විට දේවල් සරලව ඉදිරිපත් කරන්න අපට පුළුවන්. ඒ කෙසේද? ‘වඩා වැදගත් දේවලට’ මුල් තැන දීමෙන්. (පිලිප්පි 1:10, NW) ගැඹුරු විෂයන් පියවන විට, සරල භාෂාවකින් අපේ අදහස් ප්‍රකාශ කිරීමට අප වෑයම් කළ යුතුයි. යම් ප්රකාශනයක සඳහන් සෑම බයිබල් පාඨයක්ම කියවන්න වෑයම් කරනවා වෙනුවට, ප්‍රධාන ශුද්ධ ලියවිලි පාඨවලට අප අවධානය දිය යුතුයි. මේ සඳහා අප හොඳින් සූදානම් විය යුතුයි. දරාගන්න බැරි තරමටම ශිෂ්‍යයාව තොරතුරුවලින් යටපත් කිරීමෙන් අප වැළකිය යුතු අතර, එතරම් වැදගත්කමක් නැති කාරණා මගින් වෙනතකට යොමුවීමෙන්ද අප වැළකී සිටිය යුතුයි. ශිෂ්‍යයා පාඩමට කෙළින්ම සම්බන්ධ නැති ප්‍රශ්නයක් අසනවා නම්, පාඩම අවසන් කළායින් පසුව එය සාකච්ඡා කළ හැකි බව අපට උපායශීලීව යෝජනා කළ හැකියි.
බලපෑමෙන් යුක්තව ප්‍රශ්න භාවිත කිරීම
8. යේසුස් ප්‍රශ්න බලපෑමෙන් යුක්තව භාවිත කළේ කෙසේද?
8 ඉගැන්වීමේ තවත් ප්‍රයෝජනවත් ශිල්ප ක්‍රමයක්, බලපෑමෙන් යුත් ප්‍රශ්න ඇසීමට සම්බන්ධයි. යේසුස් ක්‍රිස්තුස් තම ඉගැන්වීමේදී ප්‍රශ්න පුළුල්ව භාවිත කළා. නිදසුනක් ලෙස, යේසුස් පේතෘස්ගෙන් මෙසේ විමසුවා: “සීමොන්, නුඹ හිතන්නේ මොකද? පොළොවේ රජවරුන් සුංගම් නොහොත් ආදායම් ගන්නේ කාගෙන්ද? තමුන්ගේ පුත්‍රයන්ගෙන්ද නොහොත් අන්‍යයන්ගෙන්දැයි [ඇසීය]. අන්‍යයන්ගෙන්යයි ඔහු කී කල [යේසුස්] කථාකොට: එසේ නම් පුත්‍රයෝ නිදහස්ය.” (මතෙව් 17:24-26) දේවමාළිගාවෙහි නමස්කාර කරනු ලැබූ තැනැත්තාගේ ඒකජාතක පුත්‍රයා වශයෙන්, දේවමාළිගාවේ බද්ද ගෙවීමට යේසුස් ඇත්තටම බැඳී සිටියේ නැහැ. එනමුත් මෙම සැබෑව යේසුස් කාවැද්දුවේ ප්‍රශ්න බලපෑමෙන් යුක්තව භාවිත කිරීම තුළිනුයි. මේ අනුව පේතෘස් ඒ වන විටත් දැන සිටි දේ පදනම් කරගෙන නිසි නිගමනයකට එළඹෙන්න යේසුස් පේතෘස්ට උපකාර කළා.
9. බයිබල් පාඩම්වලදී අපට ප්‍රශ්න භාවිත කළ හැක්කේ කෙසේද?
9 බයිබල් පාඩම්වලදී අපට දක්ෂ ලෙස ප්‍රශ්න භාවිත කළ හැකියි. ශිෂ්‍යයෙකු වැරදි උත්තරයක් දුන්නොත්, නිවැරදි එක කියන්න අප තුළ පෙලඹීමක් තිබිය හැකියි. එනමුත්, එම තොරතුරු ඇත්තටම ඔහුගේ මනසෙහි රැඳී පවතීද? බොහෝවිට, ප්‍රශ්න ඇසීමෙන් ශිෂ්‍යයාව හරි නිගමනයට මඟ පෙන්වීමට උත්සාහ කිරීම තමයි හොඳම ක්‍රමය. උදාහරණයක් හැටියට, දිව්‍ය නාමය භාවිත කළ යුත්තේ ඇයි යන්න තේරුම්ගැනීමට ඔහුට අමාරු නම්, අපට මෙසේ ඇසිය හැකියි: ‘ඔයාගේ නම ඔයාට වැදගත්ද? . . . ඇයි ඒ? . . . ඔයාගේ නම පාවිච්චි කරන්න බැහැයි කියලා කෙනෙක් කිව්වොත් ඔයාට මොන වගේ හැඟීමක් ඇති වෙයිද? . . . එහෙම නම් අපි දෙවිගේ පෞද්ගලික නාමය පාවිච්චි කිරීම අවශ්‍යයි කියලා දෙවි බලාපොරොත්තු වෙන එක සාධාරණ නැද්ද?’
10. චිත්තවේගීය කැළැල්වලින් පීඩා විඳින පුද්ගලයන්ට උපකාර කරද්දී වැඩිමහල්ලන්ට ප්‍රශ්න භාවිත කළ හැක්කේ කෙසේද?
10 රැළ රැකබලා ගැනීමේදී වැඩිමහල්ලන්ටද ප්‍රශ්න හොඳින් භාවිත කළ හැකියි. සභාවේ බොහෝදෙනෙකු සාතන්ගේ ලොවෙන් චිත්තවේගීයව බැට කා ඇති අතර, තමුන් අපවිත්‍රයි කියාත්, කවුරුත් තමුන්ට ප්‍රේම කරන්නේ නැහැ කියාත් හැඟිය හැකියි. එවැනි පුද්ගලයෙකුට තර්කයෙන් ඒත්තුගැන්වීම සඳහා වැඩිමහල්ලෙකුට මෙසේ පැවසිය හැකියි: ‘ඔයා අපවිත්‍රයි කියලා දැනෙනවයි කිව්වට, යෙහෝවා ඔයා දිහා බලන්නේ කොහොමද? අපේ ප්‍රේමනීය ස්වර්ගික පියා තමන්ගේ පුතාට මැරෙන්න ඉඩ දීලා, ඔයා වෙනුවෙන් මිදීමේ පූජාවක් සැපයුවා නම්, දෙවි ඔයාට ප්‍රේම කරනවා කියන එක ඒකෙන් අදහස් කරන්නේ නැද්ද?’—යොහන් 3:16.
11. අලංකෘත ප්‍රශ්නවලින් ඉටු වන දේ පැහැදිලි කරන්න. ප්‍රසිද්ධියේ කතා ඉදිරිපත් කරද්දී ඒවා භාවිත කළ හැක්කේ කෙසේද?
11 අලංකෘත ප්‍රශ්න ඇසීම තවත් ප්‍රයෝජනදායක ඉගැන්වීමේ ශිල්ප ක්‍රමයක් වෙනවා. මේවාට ශබ්දනඟා උත්තර සපයන්න සවන්දෙන්නන්ගෙන් අපේක්ෂා නොකළද, අදාළ කාරණාව ගැන තර්ක කිරීමට උපකාරයක් ලැබෙනවා. පුරාණයේ අනාගතවක්තෲන් තම ශ්‍රාවකයන්ට ගැඹුරින් කල්පනා කරන්න එවැනි ප්‍රශ්න නිතරම පාහේ ඇසුවා. (යෙරෙමියා 18:14, 15) යේසුස්ද අලංකෘත ප්‍රශ්න බලපෑමෙන් යුක්තව භාවිත කළා. (මතෙව් 11:7-11) එවැනි ප්‍රශ්න විශේෂයෙන්ම ප්‍රසිද්ධියේ කතා කරද්දී බලපෑමෙන් යුක්ත වෙනවා. යෙහෝවාව සතුටු කරන්න මුළු හෘදයෙන්ම සේවය කළ යුතුයි කියා ශ්‍රාවක පිරිසකට පවසනවා වෙනුවට, ‘අපේ සේවයේදී අපි මුළු හෘදයෙන්ම කටයුතු කරන්නේ නැත්නම්, යෙහෝවා සතුටු වේවිද?’ කියා ඇසීම වඩාත් ඵලදායී විය හැකියි.
12. අදහස් විමසන ප්‍රශ්න ඇසීමේ ඇති වටිනාකම කුමක්ද?
12 බයිබල් ශිෂ්‍යයෙකු තමන් ඉගෙනගන්නා දේ ඇත්තටම විශ්වාස කරනවාද නැද්දැයි නිශ්චය කරගැනීමට, අදහස් විමසන ප්‍රශ්න ප්‍රයෝජනදායක කාර්යයක් ඉටු කරනවා. (මතෙව් 16:13-16) වේශ්‍යාකම වැරදියි කියා ශිෂ්‍යයෙකු නිවැරදි උත්තරයක් දෙනවා විය හැකියි. එනමුත් ඊළඟට මතු දැක්වෙන ප්‍රශ්න ඇසීමද යෝග්‍යයි: දෙවිගේ සදාචාර ප්‍රමිතිය ගැන ඔයාට පෞද්ගලිකව හැඟෙන්නේ කොහොමද? තහංචි වැඩියි කියලා ඔයා හිතනවාද? අපි දෙවිගේ ප්‍රමිති අනුගමනය කරන එක නැත්නම් නොකරන එක ඇත්තටම වැදගත් කියලා ඔයා හිතනවාද?
හදවතට තට්ටු කරන උපහැරණ
13, 14. (අ) යම්කිසි දෙයක් උපහැරණයකින් දක්වනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) හොඳ උපහැරණ බලපෑමෙන් යුක්ත වන්නේ මන්ද?
13 සවන්දෙන්නන්ගේ සහ බයිබල් ශිෂ්‍යයන්ගේ හදවතට තට්ටු කළ හැකි තවත් ක්‍රමයක් වන්නේ බලපෑමෙන් යුත් උපහැරණ භාවිතයයි. “උපහැරණය” ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක් යෙදුම වචනයෙහි පරිසමාප්තියෙන්ම ගත් කල ඉන් අදහස් කරන්නේ, යමක් “එක ළඟ නොහොත් එකට තැබීම” යන්නයි. උපහැරණයක් පාවිච්චි කරද්දී, ඔබ යමක් පැහැදිලි කරන්නේ ඊට සමාන දෙයක් ‘එක ළඟ තැබීමෙනුයි.’ නිදසුනක් වශයෙන්, යේසුස් මෙසේ ඇසුවා: “[දෙවිගේ] රාජ්‍යය කුමකට සමානකරමුද? නොහොත් කවර උපමාවකින් එය දක්වාදෙමුද?” පිළිතුරු වශයෙන්, යේසුස් කාටත් හුරු පුරුදු අබ ඇටය ගැන සඳහන් කළා.—මාර්ක් 4:30-32.
14 දෙවිගේ අනාගතවක්තෲන් ප්‍රබල උපහැරණ රැසක් භාවිත කළා. ඉශ්‍රායෙලිතයන්ට දඬුවම් කිරීමට දෙවිගේ මෙවලම ලෙස කටයුතු කළ අෂූරිවරුන් සිත් පිත් නැති කෲරකම්වලට යොමු වූ විට, යෙසායා ඔවුන්ගේ හිතුවක්කාරකම් මෙම උපහැරණයෙන් හෙළි කළා: “පොරොව ඒකෙන් කපන්නාට විරුද්ධව පාරට්ටු කරගනීද? නොහොත් කියත එයින් ඉරන්නාට විරුද්ධව උඩඟුවේද?” (යෙසායා 10:15) අනුන්ට උගන්වද්දී, යේසුස්ද උපහැරණ පුළුල් ලෙස භාවිත කළා. “උපමාවක් නැතුව [ඔහු] ඔවුන්ට කථානොකළ” බව වාර්තා වී තිබෙනවා. (මාර්ක් 4:34) හොඳ උපහැරණයකින් සෑහෙන බලපෑමක් කළ හැකියි. මන්ද ඒවා මනසට මෙන්ම හෘදයට කාවදින නිසයි. එයින් සවන්දෙන්නන්ට ඒ වන විටත් තමුන්ට හුරු වූ යමක් සමඟ සැසඳීමක් කිරීමෙන් අලුත් තොරතුරු ග්‍රහණය කරගැනීමට හැකියාවක් ලැබෙනවා.
15, 16. උපහැරණ වඩාත් බලපෑමෙන් යුක්ත වීමට අවශ්‍ය වන්නේ මොනවාද? උදාහරණ දෙන්න.
15 සැබවින්ම හදවතට තට්ටු කරන උපහැරණ භාවිත කිරීමට අපට හැක්කේ කෙසේද? පළමුව, උපහැරණයක් පැහැදිලි කරනු ලබන දෙයට සාධාරණ ලෙස සමාන විය යුතුයි. සැසඳීම ඇත්තටම ගැළපෙන්නේ නැත්නම්, සවන්දෙන්නන්ව ආලෝකවත් කරනවා වෙනුවට, එම උපහැරණය ඔවුන්ව වෙනතකට යොමු කරවයි. වරක් හොඳ චේතනාවකින් පෙලඹුණු කථිකයෙක්, ආලේප ලත් ඉතිරි කොටස යේසුස් ක්‍රිස්තුස්ට දක්වන යටත්කම ගෙනහැර පෑමට, ඔවුන්ව විශ්වාසවන්ත බල්ලෙකු හා සැසඳුවා. එනමුත් එවැනි නිග්‍රහාත්මක සැසඳීමක් ඇත්තටම යෝග්‍යද? බයිබලය ඒ අදහසම ඊටත් වඩා සිත්ගන්නා, ගෞරවනීය ආකාරයකින් ඉදිරිපත් කරයි. එය යේසුස්ගේ ආලේප ලත් අනුගාමිකයන් 1,44,000දෙනාව “තමාගේ පුරුෂයාට සරසනලද මණමාලියෙකු” හා සසඳනවා.—එළිදරව් 21:2.
16 උපහැරණයක් විශේෂයෙන්ම බලපෑමෙන් යුක්ත වන්නේ ඒවා මිනිසුන්ගේ ජීවිත සම්බන්ධ කරගෙන ඉදිරිපත් කරන විටයි. මරනු ලැබූ බැටළු වැස්සිය ගැන නාතාන් දුන් උපහැරණය දාවිත් රජගේ හෘදයට තට්ටු කළේ, යෞවනයෙකු වශයෙන් එඬේරෙකු ලෙස සේවය කළ ඔහු බැටළුවන්ට ප්‍රේම කළ නිසයි. (1 සාමුවෙල් 16:11-13; 2 සාමුවෙල් 12:1-7) එම උපහැරණයට ගොනෙකුව පාවිච්චි කර තිබුණා නම්, එතරම් බලපෑමක් නොවන්න ඉඩ තිබුණා. මෙයාකාරයෙන්, විද්‍යාත්මක කාරණා හෝ අපැහැදිලි ඓතිහාසික සිද්ධීන් මත පදනම් උපහැරණ අපේ සවන්දෙන්නන්ට හොඳින් කාවදියි කියා හිතන්න බැහැ. යේසුස් තම උපහැරණවල පදනම වශයෙන් දෛනික ජීවිතය හා බැඳුණු දේවල් යොදාගත්තා. ඔහු පහනක්, අහසේ පක්ෂීන් සහ කෙතේ මානෙල් වැනි සාමාන්‍ය දේවල් ගැනයි කතා කළේ. (මතෙව් 5:15, 16; 6:26, 28) යේසුස්ගේ ශ්‍රාවකයන්ට මේ දේවල් පහසුවෙන් ග්‍රහණය කරගැනීමට පුළුවන් වුණා.
17. (අ) අපේ උපහැරණ කුමක් මත පදනම් කරගත හැකිද? (ආ) අපේ ප්රකාශනවල දක්නට ලැබෙන උපහැරණ අපේ ශිෂ්‍යයන්ගේ තත්වයන්ට සම්බන්ධ කළ හැක්කේ කෙසේද?
17 අපේ දේවසේවයේදී, සරල නමුත් බලපෑමෙන් යුත් උපහැරණ පාවිච්චි කිරීමට අපට ප්‍රස්තා රැසක් උදා වෙනවා. හොඳ නිරීක්ෂකයෙකු වන්න. (ක්‍රියා 17:22, 23) සමහරවිට, උපහැරණයක් සවන්දෙන්නෙකුගේ දරු දැරියන්, නිවස, රැකියාව හෝ විනෝදාංශය මත පදනම් කරගත හැකියි. එසේ නැතහොත්, අපේ පාඩම් පොතේ සපයා ඇති උපහැරණවල බලපෑම තවත් වැඩි කිරීමට බයිබල් ශිෂ්‍යයෙකු ගැන අප පෞද්ගලිකව දන්නා දේවල් අපට යොදාගත හැකියි. නිදසුනක් ලෙස, සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොතේ 8වන පරිච්ඡේදයේ 14වන ඡේදයෙහි යොදා ඇති බලපෑමෙන් යුත් උපහැරණය සලකා බලන්න. අසල්වැසියෙකුගේ අපහාසයට ලක් වන ප්‍රේමනීය දෙමාපියෙකු ගැනයි එය කතා කරන්නේ. බයිබල් ශිෂ්‍යයා දෙමාපියෙකු නම්, ඔහුගේ තත්වයන්ට එම උපහැරණය අදාළ කළ හැකි ආකාරය ගැන අපට කල්පනා කර බැලිය හැකියි.
ශුද්ධ ලියවිලි පද දක්ෂ ලෙස කියවීම
18. අප ව්‍යක්ත ලෙස කියවන්නන් වීමට වෙර දැරිය යුත්තේ මන්ද?
18 පාවුල් තිමෝතිට මෙසේ දිරිගැන්වුවා: “[ප්‍රසිද්ධ, NW] කියවීමෙහිද අවවාදකිරීමෙහිද ඉගැන්වීමෙහිද යෙදී සිටින්ට බලාගන්න.” (1 තිමෝති 4:13) බයිබලය අපේ ඉගැන්වීමට පදනම සපයන නිසා, එය ව්‍යක්ත ලෙස කියවීම ප්‍රයෝජනදායකයි. මෝසෙස්ගේ ව්‍යවස්ථාව දෙවිගේ සෙනඟ ඉදිරියේ කියවීමේ වරප්‍රසාදය ලෙවීවරුන්ට තිබුණා. ඔවුන් ගොත ගසමින්ද කියෙව්වේ? එසේ නැතහොත් නිරස ස්වරයකින්ද කියෙව්වේ? නැහැ. නෙහෙමියා 8:8හි [NW] බයිබලය මෙසේ පවසයි: “ඔවුන් පොතෙන්, එනම් සැබෑ දෙවිගේ ව්‍යවස්ථාවෙන් දිගටම ශබ්ද නඟා කියවා, අර්ථය පැහැදිලි කළ අතර, ඊට යම්කිසි හරයක් එකතු කරන ලද්දේය. තවද ඔවුහු කියවද්දී එය තේරුම් කර දුන්නෝය.”
19. ශුද්ධ ලියවිලි පද කියවීම අපට වැඩිදියුණු කරගත හැක්කේ කෙසේද?
19 ව්‍යක්ත කථිකයන් වන ඇතැම් ක්‍රිස්තියානි පුරුෂයන් කියවීමේදී දුර්වලතාවක් පෙන්වනවා. ඔවුන්ට වැඩිදියුණු විය හැක්කේ කෙසේද? පෙරහුරු කිරීම වැදගත්. ඉන් අදහස් කරන්නේ ව්‍යක්ත ලෙස කියවීමට හැකි වන තෙක් නැවත නැවතත් ශබ්ද නඟා කියවීමයි. ඔබේ භාෂාවෙන් බයිබල් කියවීම ශ්‍රව්‍ය කැසට්පටවලින් ලබාගත හැකි නම්, කියවන්නා අර්ථය කාවද්දන අයුරු සහ හඬ පාලනය මෙන්ම නම් සහ නුහුරු වචන උච්චාරණය කරන ආකාරය සැලකිල්ලට ගැනීම නුවණට හුරුයි. තම භාෂාවෙන් නව ලෝක පරිවර්තනය (ඉංග්‍රීසියෙන්) ඇති අයට උච්චාරණය සඳහා දී ඇති උපකාරකවලින් ප්‍රයෝජන ගත හැකියි.a පෙරහුරු කිරීමෙන්, මහෙර්-ෂාලාල්-හාෂ්-බස් වැනි නම් වුණත් පහසුවෙන් කියවන්න පුළුවන් වෙයි.—යෙසායා 8:1.
20. ‘අපේ ඉගැන්වීමට අවධානය දෙන්න’ අපට හැක්කේ කෙසේද?
20 යෙහෝවාගේ සෙනඟ වශයෙන්, අපව ගුරුවරුන් හැටියට යොදාගැනීම මොනතරම් වරප්‍රසාදයක්ද! අප සැම එම වගකීම බැරෑරුම් ලෙස සැලකිල්ලට ගන්න අදිටන් කරගනිමු. ‘අප කෙරෙහිත් අපේ ඉගැන්වීම කෙරහිත් නිරතුරු අවධානයක්’ දීමටද උත්සාහ කරමු. (1 තිමෝති 4:16, NW) හොඳ ගුරුවරුන් වීමට, අප හොඳ සවන්දෙන්නන් විය යුතු අතර, දේවල් සරලව ඉදිරිපත් කළ යුතුයි. එමෙන්ම අදහස් විමසන ප්‍රශ්නද, බලපෑමෙන් යුත් උපහැරණද භාවිත කළ හැකි අතර, ශුද්ධ ලියවිලි පද දක්ෂ ලෙස කියවිය යුතුයි. යෙහෝවා තම සංවිධානය තුළින් සපයන පුහුණුව අපට ‘උගතුන්ගේ දිවක්’ ලබාගැනීමට උපකාර වන නිසා, එයින් ප්‍රයෝජන ලබාගැනීමට අපි සැම අදිටන් කරගනිමු. (යෙසයා 50:4) විවරණිකා, ශ්‍රව්‍ය කැසට්පට සහ වීඩියෝ කැසට්පට ඇතුළු, අපේ සේවය සඳහා සපයා ඇති හැම මෙවලමකින්ම සම්පූර්ණ ප්‍රයෝජන ලබාගැනීමෙන්, අපට තීක්ෂ්ණ බුද්ධියෙන් සහ ඒත්තුගන්වනසුලුබවින් යුතුව ඉගැන්වීමට ඉගෙනගත හැකියි.
[පාදසටහන]
a සංඥා නාම ශබ්ද ඒකකවලට බෙදා ඇති අතර, එසේ කිරීමට තිතක් හෝ උච්චාරණ ලකුණක් සටහන් කර ඇත. කියවද්දී අවධාරණය කරන්නේ උච්චාරණ ලකුණින් සනිටුහන් වී ඇති ශබ්ද ඒකකයයි. ශබ්ද ඒකකය ප්රාණාක්ෂර ශබ්දයකින් අවසන් වේ නම්, එම ශබ්දය ඇදෙයි. ශබ්ද ඒකකය ගාත්රාක්ෂරයකින් අවසන් වේ නම් ශබ්දය කෙටි විය යුතුයි. (මෙය මූලිකව අදාළ වන්නේ ඉංග්‍රීසි බසටයි.)
ඔබට මතකද?
◻ හොඳ සවන්දෙන්නෙකු වීම අපේ ඉගැන්වීමට උපකාරයක් විය හැක්කේ කෙසේද?
◻ සරල ආකාරයට ඉගැන්වීම සම්බන්ධයෙන්, පාවුල් සහ යේසුස්ව අනුකරණය කිරීමට අපට හැක්කේ කෙසේද?
◻ අනුන්ට උගන්වද්දී, අපට භාවිත කළ හැක්කේ මොන වගේ ප්‍රශ්නද?
◻ වඩාත්ම බලපෑමෙන් යුක්ත වන්නේ මොන වගේ උපහැරණද?
◻ ප්‍රසිද්ධ කියවන්නන් හැටියට අපේ දක්ෂතාව අපට වැඩිදියුණු කරගත හැක්කේ කෙසේද?
[16වන පිටුවේ පින්තූරය]
හොඳ ගුරුවරයෙකු තීක්ෂ්ණ බුද්ධියෙන් කටයුතු කිරීමේ අදහසින් සවන් දෙයි
[18වන පිටුවේ පින්තූරය]
යේසුස් තම උපහැරණවල පදනම වශයෙන් දෛනික ජීවිතය හා බැඳුණු දේවල් යොදාගත්තා