යේසුස් වගේ නිහතමානී, දයාන්විත කෙනෙක් වෙන්න
“ක්‍රිස්තුස් ඔබ වෙනුවෙන් දුක් විඳ ඔබට ආදර්ශයක් තැබුවේය. එසේ කළේ ඔබටත් ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කිරීම සඳහාය.”—1 පේතෘ. 2:21.
1. යේසුස්ව අනුකරණය කරද්දී අපි යෙහෝවා දෙවිට ළං වෙන්නේ කොහොමද?
අපි ගරු කරන අයව අනුකරණය කරන්න අපි කැමතියි. මෙතෙක් ජීවත් වුණු අයගෙන් අනුකරණය කරන්න පුළුවන් හොඳම කෙනා තමයි යේසුස්. ඒ ඇයි කියලා යේසුස් කිව්ව දේකින්ම දැනගන්න පුළුවන්. ඔහු කිව්වේ “මාව දැක ඇති තැනැත්තා පියාණන්වත් දැක තිබෙනවා” කියලයි. (යොහ. 14:9) යේසුස්ට එහෙම කියන්න පුළුවන් වුණේ ඒ තරමට ඔහු තම පියාව කිට්ටුවෙන් අනුකරණය කරපු නිසයි. යේසුස් ගැන අධ්‍යයනය කරනවා කියන්නේ යෙහෝවා දෙවි ගැන අධ්‍යයනය කරනවා කියන එකයි. යේසුස් ගැන ඉගෙනගෙන ඔහුව අනුකරණය කරද්දී මේ විශ්වයේ උතුම්ම කෙනාට ළං වෙන්න අපිට අවස්ථාව ලැබෙනවා.
2, 3. (අ) යෙහෝවා දෙවි යේසුස් ගැන තොරතුරු බයිබලේට ඇතුළත් කළේ ඇයි? දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? (ආ) මේ ලිපියෙත් ඊළඟ ලිපියෙත් අපි බලන්නේ මොනවද?
2 යෙහෝවා දෙවි ඔහුගේ පුතා ගැන වටිනා තොරතුරු රාශියක් බයිබලේට ඇතුළත් කළා. දෙවි එහෙම කළේ අපි යේසුස් ගැන අධ්‍යයනය කරලා ඔහුව අනුකරණය කරනවා දකින්න කැමති නිසයි. (1 පේතෘස් 2:21 කියවන්න.) යේසුස්ගේ ආදර්ශය බයිබලේ සමාන කරන්නේ ‘පිය සටහන්වලට.’ යෙහෝවා දෙවිට ඕනෙ අපි හැමෝම යේසුස්ගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරනවටයි. ඒ කියන්නේ ඔහු කියපු, කරපු දේවල් අපි අනුකරණය කරන්න ඕනෙ කියලයි. යේසුස් පරිපූර්ණ කෙනෙක් නිසා සීයට සීයක්ම යේසුස් වගේ අපි වැඩ කරයි කියලා දෙවි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් අපේ උපරිමයෙන් එහෙම කරනවා නම් දෙවි කැමතියි.
3 දැන් අපි යේසුස්ගේ ගතිලක්ෂණ කීපයක් බලමු. මේ ලිපියෙන් ඔහුගේ නිහතමානිකම සහ දයානුකම්පාව ගැනත් ඊළඟ ලිපියෙන් ඔහුගේ නිර්භීතකම සහ අවබෝධයෙන් වැඩ කිරීමේ හැකියාව ගැනත් දැනගමු. ඒ හැම ගතිලක්ෂණයක් ගැනම ඉගෙනගද්දී අපි ප්‍රශ්න 3කට උත්තර බලනවා. (1) ඒ ගතිලක්ෂණය තියෙන කෙනෙක් කොයි වගේද? (2) යේසුස් ඒ ගතිලක්ෂණය විදහා පෙන්නුවේ කොහොමද? (3) ඔහුව අනුකරණය කරන්න අපිට පුළුවන් කොහොමද?
යේසුස් නිහතමානී කෙනෙක්
4. නිහතමානී කෙනෙක්ව විස්තර කරන්න.
4 නිහතමානී කෙනෙක් මොන වගේද? නිහතමානී කෙනෙක් අහංකාර නැහැ. උඩඟු අය හිතන්නේ නිහතමානී වෙන එක දුර්වලකමක් කියලයි. එහෙම කෙනෙක්ට තමන් ගැන විශ්වාසයක් නැහැ කියලයි ඔවුන් හිතන්නේ. ඒත් නිහතමානීව වැඩ කරන්න කෙනෙක්ට ලොකු ධෛර්යයක්, ශක්තියක් තියෙන්න ඕනේ. නිහතමානී වෙන්න නම් අපි මුලින්ම තේරුම්ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අපිට අපි ගැන වුවමනාවට වඩා හිතන්න හේතුවක් නැහැ කියන දේ. බයිබල් ශබ්දකෝෂයක ඒ ගැන කියන්නේ මෙහෙමයි. “නිහතමානී කියන්නේ දෙවි එක්ක බලද්දී අපි ඉන්නේ මොන තරම් පහත් තත්වයකද කියලා තේරුම්ගන්න එකටයි.” අපි නිහතමානී නම් අනිත් අයට වඩා අපි උසස්, දක්ෂයි කියලා හිතන්නෙත් නැහැ. (රෝම 12:3; ෆිලි. 2:3) අපි පරිපූර්ණ නැති නිසා නිහතමානී වෙන එක ලේසි නැහැ. ඒත් යෙහෝවා දෙවි මොන තරම් උසස් දෙවි කෙනෙක්ද කියලා කල්පනා කරනවා නම් යේසුස්ව අනුකරණය කරනවා නම් අපිට ඒක කරන්න පුළුවන්.
5, 6. (අ) මිකායෙල් කියන්නේ කාටද? (ආ) ඔහුගේ නිහතමානිකම පැහැදිලි වුණේ කොහොමද?
5 යේසුස් ඒ ගතිලක්ෂණය විදහා පෙන්නුවේ කොහොමද? ඔහු බලවත් දේවදූතයෙක්ව ඉද්දීත් මිනිසෙක් විදිහට ඉද්දීත් නිහතමානීව වැඩ කළා.
6 අපි මුලින්ම යේසුස් පොළොවට එන්න කලින් වෙච්ච සිද්ධියක් ගැන යූද් පොතෙන් බලමු. ඒකෙන් අපිට යේසුස් හිතපු විදිහ තේරුම්ගන්න පුළුවන්. (යූද් 9 කියවන්න.) මෝසෙස් මිය ගියාට පස්සේ ඔහුගේ සිරුර කාටවත් හොයාගන්න බැරි වෙන්න යෙහෝවා දෙවි භූමදාන කළා. (ද්වි. 34:5, 6) ඒත් ‘මෝසෙස්ගේ මළ සිරුර ගැන අග්‍රදේවදූත මිකායෙල් සහ යක්ෂයා අතර මතභේදයක් ඇති වුණා.’ යක්ෂයාට මෝසෙස්ගේ මළ සිරුර ඕන වෙන්න ඇත්තේ ඒක පාවිච්චි කරලා ඊශ්‍රායෙල්වරුන්ව වැරදි නමස්කාරයකට පොලඹවන්න වෙන්න පුළුවන්. හේතුව මොකක් වුණත් මිකායෙල් ඒකට ඉඩ දුන්නේ නැහැ. එතනදී ‘මතභේදයක් ඇති වුණා’ කියලා කියන්න යූද් පාවිච්චි කරපු වචනයම තමයි නීතිමය කාරණයක් ගැන ඇති වෙන විවාදයක් විස්තර කරන්න යොදාගන්නේ කියලා එක පොතක සඳහන් වෙනවා. යක්ෂයාට මෝසෙස්ගේ මළ සිරුර ගන්න තියෙන අයිතිය ගැන මිකායෙල් ප්‍රශ්න කළා වෙන්න පුළුවන් කියලත් ඒ පොතේ තියෙනවා. ඒත් ඒ ගැන තනි තීරණයක් ගන්න තරම් අධිකාරියක් තමන්ට නැහැ කියලා මිකායෙල් දැනගෙන හිටියා. ඒ නිසා ඔහු සාතන්ව විනිශ්චය කරන්න අයිතිය තියෙන ශ්‍රේෂ්ඨතම විනිශ්චයකරුට ඒ කාරණය භාර දුන්නා.
7. කතාබහෙන් සහ දේවල් කරපු විදිහෙන් යේසුස්ගේ නිහතමානිකම පැහැදිලි වුණේ කොහොමද?
7 යේසුස් පොළොවේ හිටපු කාලෙදීත් ඔහු නිහතමානී කෙනෙක් කියලා ඔප්පු වුණා. ඔහු අනිත් අයගේ අවධානය ගන්න විදිහට කවදාවත් කතා කළේ නැහැ. ඔහුට ඕන වුණේ හැම ගෞරවයක්ම දෙවිට දෙන්න. (මාක් 10:17, 18; යොහ. 7:16) ‘අපි මෝඩයි, අපෙන් කිසි වැඩක් නැහැ’ කියලා තමන්ගේ ගෝලයන්ගේ හිතේ සිතුවිල්ලක්වත් ඇති වෙන විදිහේ දෙයක් ඔහු කවදාවත් කිව්වේ නැහැ. ඒ වෙනුවට ඔහු ඔවුන්ට ගරු කළා. ඔවුන්ගේ හොඳ ගුණාංග අගය කරලා, තමන්ට ඔවුන්ව විශ්වාසයි කියලා පෙන්නුවා. (ලූක් 22:31, 32; යොහ. 1:47) ඔහු දේවල් කරපු විදිහෙනුත් ඔහුගේ නිහතමානිකම පැහැදිලි වුණා. ඔහු පොළොවේ ගත කරන්න තෝරගත්තේ හුඟක් දේවල් නැති, සරල ජීවිතයක්. (මතෙ. 8:20) අන් අය කරන්න අකමැති, දාසයන් කරන දේවල් වුණත් කරන්න ඔහු කැමති වුණා. (යොහ. 13:3-15) අවසානය දක්වාම කීකරුව ඉඳලා නිහතමානිකම ගැන හොඳම ආදර්ශය තිබ්බෙත් ඔහුයි. (ෆිලිප්පි 2:5-8 කියවන්න.) කීකරු වෙන්න අකමැති, උඩඟු මිනිසුන්ට වඩා වෙනස්ව ඔහු නිහතමානීව යෙහෝවා දෙවි කියපු හැම දේම කළා. ඒ වෙනුවෙන් “මරණය විඳීමට” ඔහු කැමති වුණා. යේසුස් මොන තරම් ‘නිහතමානී කෙනෙක්ද!’—මතෙ. 11:29.
යේසුස් වගේ නිහතමානී වෙන්න
8, 9. යේසුස් වගේ නිහතමානී වෙන්න අපිට පුළුවන් කොහොමද?
8 යේසුස්ව අනුකරණය කරන්න අපිට පුළුවන් කොහොමද? අපි නිහතමානී නම් අපි හිතන විදිහට ඒක බලපානවා. අපිට තියෙන අධිකාරියට, බලතලවලට යම් සීමාවක් තියෙනවා කියලා අපි තේරුම්ගන්නවා. අනිත් අයව විනිශ්චය කරන්න අපිට අයිතියක් නැහැ කියලා තේරුම්ගන්නවා. ඒ අයව විවේචනය කරන්නවත් ඒ අයගේ චේතනා ගැන සැක කරන්නවත් අපිට බැහැ කියලා මතක තියාගන්නවා. (ලූක් 6:37; යාකො. 4:12) ‘පමණට වඩා ධර්මිෂ්ඨ නොවී ඉන්නත්’ නිහතමානිකම අපිට උදව්වක්. ඒ කොහොමද? අපිට තියෙන හැකියාවන්, වරප්‍රසාද සමහරුන්ට නැහැ. ඒත් අපි නිහතමානී නම් අපි ඒ අයට වඩා උසස් කියලා හිතන්නේ නැහැ. (දේශ. 7:16) නිහතමානී වැඩිමහල්ලන් සභාවේ සහෝදර සහෝදරියන්ට වඩා තමන් උසස් කියලා හිතන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් හිතන්නේ ‘අන් අය ඔවුන්ට වඩා උතුම් කියලයි.’—ෆිලි. 2:3; ලූක් 9:48.
9 1894 ඉඳන් චාරිකා සේවය කරපු වෝල්ටර් තෝන් කියන සහෝදරයාගේ අද්දැකීම බලන්න. අවුරුදු ගාණකට පස්සේ ඔහුගේ පැවරුම වෙනස් වුණා. ඔහුගේ අලුත් පැවරුම වුණේ නිව් යෝර්ක්වල වොච්ටවර් ගොවිපොළේ කුකුළන් බලාගන්න එක. ‘මට හරි නම් මීට වඩා වැදගත් පැවරුමක් දෙන්න ඕනේ’ කියලා හිතෙන හැම වතාවකම සහෝදර තෝන් ඔහුටම මෙහෙම කියාගත්තා. “මං නිකම්ම නිකං දූවිලි අංශුවක් විතරයි. මං ගැන ඕනෑවට වඩා හිතන්න මට මොනවද තියෙන්නේ?”—යෙසායා 40:12-15 කියවන්න.
10. කෙනෙක් නිහතමානී කියලා කතාබහෙන් සහ දේවල් කරන විදිහෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?
10 අපි නිහතමානී නම් ඒක අපි කතා කරන විදිහෙනුත් පේනවා. (ලූක් 6:45) අනිත් අය එක්ක කතා කරද්දී සභාවේ අපිට තියෙන වගකීම් ගැන, කරපු සේවය ගැන ඕනෑවට වඩා කතා කරන්නේ නැහැ. (හිතෝ. 27:2) ඒ වෙනුවට අනිත් අය කරන දේවල් ගැන, ඒ අයගේ හොඳ ගුණංග, දක්ෂතා අගය කරනවා. (හිතෝ. 15:23) නිහතමානිකම අපි කරන දේවලිනුත් පේන්න ඕනේ. නිහතමානී කෙනෙක් මේ සමාජයේ ප්‍රසිද්ධ, වැදගත් කෙනෙක් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට දෙවිට උපරිමයෙන් සේවය කරන්න පුළුවන් වෙන විදිහේ සරල ජීවිතයක් ගත කරනවා. (1 තිමෝ. 6:6, 8) කීකරු වෙන්න ඉගෙනගන්න එක තමයි නිහතමානී වෙන්න පුළුවන් හොඳම විදිහ. යෙහෝවා දෙවිගේ සංවිධානයෙන් දෙන මඟ පෙන්වීම් පිළි අරන් ඒ විදිහට කරන්නත් සභාවේ ‘පෙරමුණ ගෙන ක්‍රියා කරන අයට කීකරු වෙන්නත්’ පුළුවන් වෙන්නේ අපි නිහතමානී නම් විතරයි.—හෙබ්‍රෙ. 13:17.
යේසුස් දයාන්විත කෙනෙක්
11. දයාන්විත කෙනෙක්ව විස්තර කරන්න.
11 දයාන්විත කෙනෙක් මොන වගේද? ඒ වගේ කෙනෙක් රළු, දැඩි කෙනෙක් නෙමෙයි. අනිත් අයව තේරුම්ගන්නවා. ඒ අය ගැන තියෙන ආදරේ නිසා ඒ අයගේ යහපත වෙනුවෙන් දේවල් කරනවා. එක පොතක සඳහන් විදිහට දයාන්විත කෙනෙක් තව කෙනෙක් දුක් විඳිනකොට ඒ ගැන දුක් වෙලා විතරක් නතර වෙන්නේ නැහැ. ඒ කෙනාගේ ජීවිතේ හොඳ අතට හරවන්න පුළුවන් හැම දේම කරනවා. ඒකට හොඳම ආදර්ශය යෙහෝවා දෙවි සහ යේසුස්.—ලූක් 1:78; 2 කොරි. 1:3; ෆිලි. 1:8.
12. යේසුස්ගේ හිතේ අනිත් අය ගැන සෙනෙහසක් තිබුණා කියලා ඔප්පු වුණේ කොහොමද? ඒ නිසා ඔහු පෙලඹුණේ මොනවා කරන්නද?
12 යේසුස් ඒ ගතිලක්ෂණය විදහා පෙන්නුවේ කොහොමද? අනිත් අය ගැන යේසුස්ගේ හිතේ තිබුණු සෙනෙහස සහ ඔහු ඒ අය වෙනුවෙන් කරපු දේවල් නිසා ඒක පැහැදිලි වුණා. මරියා සහ තවත් පිරිසක් ලාසරුස්ගේ මරණය නිසා හඬමින් ඉන්නවා දැක්කම යේසුස්ටත් ඒ දුක දැනුණා. ඔහුගේ දෑස් කඳුළින් බර වුණේ ඔහුගේ හිතේ ඔවුන් ගැන තිබුණු සෙනෙහස නිසයි. (යොහන් 11:32-35 කියවන්න.) ඊට කලින් අවස්ථාවකත් පුතාගේ මරණය නිසා දුක් වුණු වැන්දඹුව ගැන යේසුස් තුළ ලොකු අනුකම්පාවක් ඇති වුණා. ඇගේ පුතාව නැවත නැඟිටුවන්න යේසුස් පෙලඹුණේ ඒ නිසයි. මරියා ඇතුළු පිරිස ගැනත් යේසුස්ගේ හිතේ ඇති වුණේ ඒ වගේම අනුකම්පාවක්. ඒ නිසා ඔහු ලාසරුස්ව නැවත නැඟිටෙව්වා. (ලූක් 7:11-15; යොහ. 11:38-44) අනුකම්පාවෙන් පෙලඹිලා යේසුස් කරපු ඒ ක්‍රියාව නිසා ස්වර්ගයේ ජීවත් වීමේ බලාපොරොත්තුව ලාසරුස්ට ලැබුණා. තවත් අවස්ථාවක ඔහු ළඟට ආපු සෙනඟ ගැන ඔහු තුළ “මහත් අනුකම්පාවක් ඇති විය.” ඒ නිසා ‘ඔහු ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත්තා.’ (මාක් 6:34) හුඟක් අයට ජීවිත වෙනස් කරගන්න පුළුවන් වුණේ යේසුස් ඒ විදිහට උගන්වපු නිසයි. ඒ දේවලින් පේන්නේ යේසුස් තුළ තිබුණු දයානුකම්පාව නිකම්ම හැඟීමක් විතරක් නෙමෙයි උදව් අවශ්‍ය අයට උදව් කරන්න ඔහු පෙලඹුණා කියලයි.—මතෙ. 15:32-38; 20:29-34; මාක් 1:40-42.
13. යේසුස්ගේ දයානුකම්පාව ඔහු කියපු දේවලින් පැහැදිලි වුණේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
13 යේසුස්ගේ දයානුකම්පාව ඔහුගේ වචනවලිනුත් පැහැදිලි වුණා. යෙසායා පොතෙන් උපුටා දක්වපු මතෙව්, යේසුස් ගැන මෙහෙම සඳහන් කළා. “ඔහු තැළුණු බට ගසක් පොඩි කරන්නේවත් නිවී යන පහන් තිරයක් නිවා දමන්නේවත් නැත.” (යෙසා. 42:3; මතෙ. 12:20) ඒක ඉටු වුණේ කොහොමද? පීඩිත, දුක් විඳින මිනිසුන්ව යේසුස් තවත් තළා පෙළා දානවා වෙනුවට ඔහු ඔවුන්ට ප්රබෝධයක් ලැබෙන විදිහට කතා කළා. දේවරාජ්‍යය ගැන ඔහු දේශනා කරපු පණිවිඩය නිසා ‘බිඳුණු සිත් ඇති අයට සුවයක් දැනුණා.’ (යෙසා. 61:1) “වෙහෙස වූ බරින් පීඩිත වූ” අයට ඔහු කිව්වේ ඔහු වෙතට ඇවිත් “මහත් සහනයක්” ලබන්න කියලයි. (මතෙ. 11:28-30) දෙවිට නමස්කාර කරන හැම කෙනා ගැනම දෙවි සැලකිලිමත් වෙනවා කියලා යේසුස් සහතික වුණා. සමාජයේ වැඩිදෙනෙක් ඒ තරම් වැදගත් නැහැ කියලා හිතන “කුඩා දරුවන් හා සමාන” අයවත් දෙවි අමතක කරන්නේ නැහැ කියලා ඔහු මතක් කළා.—මතෙ. 18:12-14; ලූක් 12:6, 7.
යේසුස් වගේ දයාන්විත කෙනෙක් වෙන්න
14. අනිත් අය ගැන හිතේ සෙනෙහසක් ඇති කරගන්නේ කොහොමද?
14 යේසුස්ව අනුකරණය කරන්න අපිට පුළුවන් කොහොමද? අපේ හිතෙත් අනිත් අය ගැන ලොකු සෙනෙහසක් තියෙන්න ඕනේ. බයිබලේ අපිට කියන්නේ “ඉමහත් දයානුකම්පාවකින්” වැඩ කරන්න කියලයි. සමහරවිට අපිට උපතින්ම ඒ ගුණාංගය ලැබිලා නැතුව ඇති. ඒත් ඒ ගුණාංගය ඇති කරගන්න අපි මහන්සි වෙන්න ඕනේ. මොකද “අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න” එක යෙහෝවා දෙවි තමන්ට සේවය කරන හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනවා. දයානුකම්පාව පෙන්නන එකත් අලුත් පෞද්ගලිකත්වයට අයිති දෙයක්. (කොලොස්සි 3:9, 10, 12 කියවන්න.) ඒක කරන්න පුළුවන් විදිහක් තමයි “හදවත්වල ඇති ප්‍රේමය තව තවත් වැඩි කරගන්න” එක. (2 කොරි. 6:11-13) කවුරු හරි කෙනෙක් එයාට හැඟෙන විදිහ ගැන, හිතට වධ දෙන දෙයක් ගැන කියද්දී හොඳට සවන් දෙන්න. (යාකො. 1:19) ‘මං එයාගේ තත්වයේ හිටියා නම් මට කොහොම හැඟෙයිද? මට ඕන කරන්නේ මොන වගේ උදව්වක්ද’ කියලා හිතන්න.—1 පේතෘ. 3:8.
15. දුකෙන් ඉන්න අයට, අමාරුකම් අද්දකින අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?
15 අපි තුළ දයානුකම්පාව තියෙනවා නම් දුකෙන් ඉන්න අයට, අමාරුකම් අද්දකින අයට උදව් කරන්න අපි පෙලඹෙනවා. රෝම 12:15 කියන්නේ “හඬන අයත් සමඟ හඬන්න” කියලයි. හුඟක් වෙලාවට මිනිසුන්ට ඕන කරන්නේ ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් නෙමෙයි. ඔවුන්ව තේරුම් අරන් සහනයක් වෙන්න පුළුවන් යාළුවෙක්වයි. ඔවුන් ගැන හොයලා බලන, ඔවුන්ට සවන් දෙන කෙනෙක්වයි. දුවගේ මරණය ගැන දුකෙන් ඉන්න වෙලාවේ සභාවේ අය තමන්ට සහනයක් වුණු විදිහ ගැන එක සහෝදරියක් මෙහෙම කියනවා. “එයාලා ඇවිත් මාත් එක්ක එකට අඬලා මගේ දුක බෙදාගත්තා. ඒගොල්ලො මට ලොකු හයියක් වුණා.” අනිත් අයට උදව්වක් ඕන කරන වෙලාවකදී ඒක කරලා දෙන එකත් දයානුකම්පාව පෙන්නන්න පුළුවන් විදිහක්. වැන්දඹු සහෝදරියකගේ නිවසේ මොකක් හරි කැඩුණු බිඳුණු දෙයක් හදලා දෙන්න පුළුවන්ද? මහලු කෙනෙකුට රැස්වීම්වලට යන්න, සේවයේ යන්න, වෛද්‍යවරයෙක් ළඟට යන්න උදව් කරන්න පුළුවන්ද? කෙනෙක්ට උදව් කරන්න අපි කරන පුංචි දේ ඒ කෙනාට ඒ වෙලාවේ අත්‍යවශ්‍යම දේ වෙන්න පුළුවන්. (1 යොහ. 3:17, 18) ඒත් දයානුකම්පාව පෙන්නන්න පුළුවන් හොඳම විදිහ ශුභාරංචිය දේශනා කරන එකයි. මොකද ජීවිතවල සැබෑ වෙනසක් ඇති කරන්න පුළුවන් ඒ පණිවිඩයටයි.
16. කලකිරිලා ඉන්න අයව සනසවන්න අපිට කියන්න පුළුවන් මොනවද?
16 අපි තුළ දයානුකම්පාව තියෙනවා නම් ‘කලකිරී සිටින අයව සනසවන’ විදිහට කතා කරන්න අපි පෙලඹෙනවා. (1 තෙස. 5:14) ඒ අයව දිරිගන්වන්න, සනසවන්න අපිට කියන්න පුළුවන් මොනවද? අපි ඒ අයගේ උපකාරයට ඉන්නවා කියන දේ කියන්න. ඔවුන් තුළ තියෙන හොඳ ගතිගුණ, හැකියාවන් ගැන ඔවුන්ව අගය කරන්න. සත්‍ය නමස්කාරයට එන්න ඔවුන්ට අවස්ථාව දුන්නේ දෙවි කියලත් ඔහු එහෙම කළේ ඔහුට ඒ අයව වටින නිසා කියලත් මතක් කරන්න. (යොහ. 6:44) ‘බිඳුණු සිත් ඇති, තැළුණු හදවත් ඇති’ තම සේවකයන් ගැන යෙහෝවා දෙවි සැලකිලිමත් කියලා ඒ අයට කියන්න. (ගීතා. 34:18) ඒ අයගේ තත්වය තේරුම් අරන් අපි කතා කරනවා නම් ඒ වචන ඔවුන්ගේ හිතට සුවයක් වෙයි.—හිතෝ. 16:24.
17, 18. (අ) දෙවි වැඩිමහල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ තම බැටළුවන්ව කොහොම බලාගනියි කියලද? (ආ) ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?
17 වැඩිමහල්ලෙනි, තමන්ගේ බැටළුවන්ට දයානුකම්පාවෙන් සලකයි කියලා යෙහෝවා දෙවි ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. (ක්‍රියා 20:28, 29) එයාලට උගන්වන එක, දිරිගන්වන එක, සහනයක් වෙන එක ඔයාලගේ වගකීමක්. (යෙසා. 32:1, 2; 1 පේතෘ. 5:2-4) දයාන්විත වැඩිමහල්ලෙක් සභාවේ අයව පාලනය කරන්න හදන්නේ නැහැ. ඒ කියන්නේ ඒ අයට නීති දාන්නේ නැහැ. ඒ අය ඉන්නේ වැඩිපුර සේවයක් කරන්න බැරි තත්වයක කියලා දැන දැනත් තව වැඩියෙන් සේවය කරන්න කියලා බලපෑම් කරන්නේ නැහැ. ඒ වෙනුවට වැඩිමහල්ලන්ට ඕනෙ සභාවේ අය සතුටින් ඉන්නවා දකින්නයි. යෙහෝවා දෙවිට තියෙන ආදරේ නිසා තමන්ගේ උපරිමයෙන් දෙවිට සේවය කරන්න සහෝදරයන් පෙලඹෙයි කියලා ඒ අයට ලොකු විශ්වාසයක් තියෙනවා.—මතෙ. 22:37.
18 යේසුස්ගේ නිහතමානිකම සහ දයානුකම්පාව ගැන හිතද්දී ඔහු වගේ වෙන්න අපි තුළත් ආසවක් ඇති වෙන්නේ නැද්ද? ඊළඟ ලිපියෙන් අපි යේසුස්ගේ නිර්භීතකම සහ ඔහු අවබෝධයෙන් වැඩ කරපු විදිහ ගැන බලමු.