95වෙනි පරිච්ඡේදය
දික්කසාදය සහ දරුවන්ට ආදරය කිරීම ගැන උගන්වයි
මතෙව් 19:1-15 මාක් 10:1-16 ලූක් 18:15-17
දික්කසාදය ගැන දෙවියන් හිතන විදිහ යේසුස් කියයි
විවාහ නොවී සිටීමේ දීමනාව
දරුවන් වගේ වෙන එකේ වටිනාකම
ගලීලයේ හිටිය යේසුස් සහ ගෝලයන් යොර්දාන් ගඟ හරහා, දකුණින් පිහිටලා තියෙන පෙරයාවට එනවා. කලින් වතාවේ යේසුස් පෙරයාවේ ඉද්දී දික්කසාදය ගැන දෙවියන් හිතන විදිහ පරිසිවරුන්ට පැහැදිලි කළා. (ලූක් 16:18) දැන් ඔවුන් යේසුස්ගේ වරදක් අල්ලාගන්න හිතාගෙන ආයෙත් ඒ ගැන කතා කරනවා.
ස්ත්‍රියක් “නොමනා ආකාරයකින්” හැසිරෙනවා නම් ඇයව දික්කසාද කරන්න පුළුවන් කියලා දෙවියන් මෝසෙස් මාර්ගයෙන් දීපු නීතියේ සඳහන් වුණා. (ද්විතීය කතාව 24:1) දික්කසාද වෙන්න තියෙන පදනම ගැන විවිධ මත දරපු පරිසිවරුන් හිතුවේ පුංචි පුංචි කාරණා නිසාත් දික්කසාද වෙන්න පුළුවන් කියලයි. ඒ නිසා තමයි “කුමන හේතුවක් නිසා හෝ මිනිසෙකු තම බිරිඳව දික්කසාද කිරීම නීත්‍යනුකූල දෙයක්ද” කියලා ඔවුන් යේසුස්ගෙන් අහන්නේ.—මතෙව් 19:3.
දෙවියන් ඇති කරපු විවාහ සැලැස්ම ගැන යේසුස් දැන් මෙහෙම පැහැදිලි කරනවා. “ඔබ ඒ ගැන කලින් කියවා නැද්ද? දෙවි මිනිසුන්ව සෑදූ කාලයේදී ඔහු ඔවුන්ව පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් සෑදුවා. ‘ඒ නිසා මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී තම බිරිඳට ඇලුම් වන්නේය කියාද ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය’ කියාද ලියා තිබෙනවා. එසේ ඔවුන් එතැන් පටන් දෙදෙනෙකු නොව එක් කෙනෙකු මෙන් වෙනවා. දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි.” (මතෙව් 19:4-6) දෙවියන් ආදම්ට ඒවව විවාහ කර දුන්න අවස්ථාවේදී දික්කසාද වෙන්න සැලැස්මක් ඇති කළේ නැහැ.
“එසේනම් අත්හැරීමේ පත්‍රයක් දී ඇයව දික්කසාද කළ හැකි බව මෝසෙස් පැවසුවේ ඇයි” කියලා පරිසිවරු දැන් යේසුස්ගෙන් අහනවා. (මතෙව් 19:7) යේසුස් ඔවුන්ට කියන්නේ මෙහෙමයි. “ඔබේ භාර්යාවන් දික්කසාද කිරීමට මෝසෙස් ඉඩ දුන්නේ ඔබ ඉතා දැඩි සිත් ඇති පිරිසක් වන නිසයි. නමුත් පටන්ගැන්මේදී එවැනි දෙයක් සිදු වූයේ නැහැ.” (මතෙව් 19:8) “පටන්ගැන්මේදී” කියලා යේසුස් කියන්නේ දෙවියන් ඒදන් උයනේදී මුල්ම විවාහය සිද්ධ කරපු අවස්ථාව ගැනයි.
දැන් යේසුස් මේ වැදගත් කාරණය ගැන කියනවා. “මා ඔබට කියන්නේ, වේශ්‍යාකම [“පෝර්නියා”] නිසා මිස වෙන හේතුවකට තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්නා කෙනෙක් අනාචාරයේ යෙදෙන බවයි.” (මතෙව් 19:9) දික්කසාද වෙන්න බයිබලයේ අවසර දීලා තියෙන්නේ වේශ්‍යාකම නිසා විතරයි කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.
ගෝලයන් දැන් කියන්නේ “මිනිසෙකු හා තම බිරිඳ අතර තත්වය එසේනම් විවාහ නොවී සිටීම වඩාත් හොඳයි” කියලයි. (මතෙව් 19:10) ඇත්තෙන්ම විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම තේරුම්ගන්න ඕනෙ විවාහය කියන්නේ ජීවත් වෙලා ඉන්න තාක් කල් තියෙන බැඳීමක් කියන එක.
දැන් යේසුස් කතා කරන්නේ විවාහ නොවී ඉන්න එක ගැනයි. සමහර අය උපතින් නපුංසකයන් වෙන නිසා ඒ අයට ලිංගික සම්බන්ධකම් පවත්වන්න බැහැ. ඒ වගේම ලිංගික අවයවවලට හානි කරලා තියෙන නිසාත් සමහර අයට ලිංගික සම්බන්ධකම් පවත්වන්න බැහැ. හැබැයි තවත් අය ලිංගික සම්බන්ධකම් පවත්වන්න තියෙන ආශාව කැප කරලා විවාහ නොවී ඉන්නවා. එහෙම ඉන්නේ දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න තියෙන ආශාව නිසයි. යේසුස් හැමෝටම කියන්නේ “එවැනි සේවයක් කිරීමට ඉඩකඩ සලසාගන්නා [විවාහ නොවී සිටින] පුද්ගලයාට එසේ කළ හැකියි” කියලයි.—මතෙව් 19:12.
දැන් මිනිසුන් යේසුස් ළඟට ඔවුන්ගේ දරුවන්ව අරන් එනවා. හැබැයි ගෝලයන් ඒ මිනිසුන්ට සැරෙන් කතා කරනවා. සමහරවිට ඔවුන් එහෙම කරන්නේ යේසුස්ට ටිකක් විවේක ගන්න අවස්ථාව දෙන්න හිතාගෙන වෙන්න ඇති. ඒක දකින යේසුස් මෙහෙම කියනවා. “මේ කුඩා දරුවන්ට මා ළඟට එන්න ඉඩහරින්න. මන්ද දෙවිගේ රාජ්‍යය අයිති වන්නේ මේ දරුවන් වගේ සිටින අයටයි. ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, කෙනෙක් කුඩා දරුවෙක් මෙන් වී දෙවිගේ රාජ්‍යය පිළිගත යුතු බවයි. එසේ නොකළොත් ඊට ඇතුල් වන්න ඔහුට බැරි වෙයි.”—මාක් 10:14, 15; ලූක් 18:15.
මොන තරම් වටිනා පාඩමක්ද! දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න කැමති හැමෝම දරුවන් වගේ නිහතමානී, මඟ පෙන්වීම් පිළිගන්න කැමති අය වෙන්න ඕනේ. යේසුස් දැන් දරුවන්ව තුරුල් කරගෙන ඔවුන්ට ආශීර්වාද කරනවා. ‘කුඩා දරුවෙක් මෙන් වී දෙවිගේ රාජ්‍යය පිළිගන්න’ හැමෝටම යේසුස් ඒ වගේ ආදරෙයි.—ලූක් 18:17.