ඔබ දෙවියන්වහන්සේගේ කැමැත්ත කරමින් සිටිනවාද?
සිය ගෙයින්-ගෙට සේවයේ යෙදී සිටියදී, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් දෙදෙනෙකුට එපිස්කොපල් පල්ලියට අයත් පූජකයෙක් හමුවිය. ඔහු සිය පල්ලියේ නාමය මුද්‍රණය කර තිබූ ටී-ෂර්ට් එකක් පැළඳගෙන සිටි, රැවුලක් සහිත, අවුරුදු 60ක් පමණ වයසැති ප්‍රසන්න වූ, කෙනෙක් බව පෙනෙන්නට තිබුණි. එක හුස්මෙන් ඔහු කියා සිටියේ, “අපගේ පල්ලියේ සාමාජිකයනුත් වචනය ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් ඔබ වගේ ඡ්වලිත වන්නේ නම් මම කැමතියි, එහෙත් මගේ නිවසට තවදුරටත් එන්න එපා කියලා මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා” යනුවෙනි.
එසේය, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩ අගය කරමින්, ඔවුන්ගේ ඡ්වලිතය හා උද්යෝගය සඳහා ඔවුන්ට ප්‍රශංසා කරන්නාවූ බොහෝ දෙනෙක් සිටින්නාහ. එහෙත්, සාක්ෂිකරුවන් කරමින් සිටින දෙය ගැන ඔවුන් කිසිසේත් උනන්දු වන්නේ හෝ එම වැඩය තමන්ම කිරීමට හෝ ඔවුන් සලකා බලන්නේ නැත. කෙසේ වෙතත්, පෙනෙන හැටියට කාරණා පිළිබඳ මෙම පරස්පර විරෝධී තත්ත්වය, අලුත් යමක් නොවේ. යේසුස්වහන්සේ විසින් තමන්ගේ කාලයේදී එය දකිනු ලැබූ අතර උන්වහන්සේ මෙම කාරණය පොලඹවන උපමාවක් මගින් එය බලපෑමෙන් යුක්තව අවධාරණය කළ සේක.
“නමුත් නුඹලා සිතන්නේ කුමක්ද? එක් මනුෂ්‍යයෙකුට පුත්‍රයන් දෙදෙනෙක් සිටියෝය; ඔහු පළමුවෙනියා ළඟට ඇවිත්: පුත්‍රය, ගොස් අද මිදි වත්තේ වැඩකරන්නැයි කීවේය. ඔහු උත්තරදෙමින්: යමියි කීවේය; ගියේ නැත. ඔහු දෙවෙනියා ළඟට ඇවිත් එසේම කීවේය. ඔහු උත්තරදෙමින්: ස්වාමිනි, නොයමියි කීවේය; පසුව පසුතැවිලිවී ගියේය. ඒ දෙදෙනාගෙන් පියාගේ කැමැත්ත කළේ කවුදැයි ඇසූසේක.”—මතෙව් 21:28-31, NW.
පිළිතුර පැහැදිලිය. යේසුස්වහන්සේට සවන් දුන් ජනයා මෙන්, “පසුව සඳහන් කළ තැනැත්තා” යයි [NW] අප පිළිතුරු දෙනු ඇත. පැහැදිලිව පෙනෙන කරුණ ඉක්මවා, එම උපමාව මගින්, යේසුස්වහන්සේ අපගේ අවධානයට යොමු කරමින් සිටියේ, වටිනාකමකින් යුක්ත වන්නේ පියාණන්ට වුවමනා කරන දෙය කිරීම බවය. දෙවන පුත්‍රයා, නොයමියි කීවද, ඔහු කෙසේ හෝ එය කළ අතර ඒ සඳහා ප්‍රශංසා කරනු ලැබීය. හරි ආකාරයේ වැඩය කිරීමද ඒ හා සමානව වැදගත්වේ. දෙවන පුත්‍රයා ක්‍රියා කළේ පියාණන්ගේ මිදිවත්තේ වැඩ කිරීමෙනි; ඔහු ගොස් තමාගේ මිදිවත්තේ වැඩ කළේ නැත.
මේ සියල්ල අපහට කුමක් අඟවයිද? දෙවියන්වහන්සේ ස්වකීය නමස්කාරකයන්ගෙන් අද දවසේ කුමක් ඉල්ලන සේක්ද? සිය පියාණන්ගේ කැමැත්ත කරනු පිණිස, අපට උපකාර කරනු ඇති කුමක් යේසුස් වහන්සේගේ ජීවිතයෙන් අපට ඉගෙනගත හැකිද? මේවා වැදගත් ප්‍රශ්න වන අතර “දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම [පවතින]” බැවින්, අප විසින් හරි පිළිතුර සෙවීම අපගේ සදාකාලික සුභසාධනය අදහස් කරනු ඇත.—1 යොහන් 2:17; එපීස 5:17.
“දෙවියන්වහන්සේගේ කැමැත්ත” කුමක්ද?
“කැමැත්ත” (ඉංග්‍රීසි බසින් will) යන නාම පදය කොම්ප‍්‍රිහෙන්සිව් කොන්කෝඩන්ස් ඔෆ් ද නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස් නම් ග්‍රන්ථයේ 80කට වඩා වැඩි වාර ගණනක් සටහන්වී ඇත. මින් 60වාරයක් පමණ (නැතහොත් වාර ගණනින් සියයට 75කදී පමණ) එය යොමු දක්වන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙතටයි. “දෙවියන්වහන්සේගේ කැමැත්ත,” හා “මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත” ‘දේවකැමැත්ත’ වැනි ප්‍රකාශන, වාර 20කට වැඩියෙන් දක්නට ලැබේ. මෙයින් අපට දැකිය හැක්කේ දිව්‍ය කැමැත්ත අපගේ මූලික වැදගත්කමට ලක් විය යුතු බවය. දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීම අපගේ ජීවිතවල සැලකිල්ලට භාජනය වන ප්‍රධාන අංගය විය යුතුය.
ඉංග්‍රීසි බසින් “කැමැත්ත” (විල්) යන නාම පදය ‘ආශාව, ප්‍රාර්ථනාව, අධිෂ්ඨානය, ආශා කරන යමක්, විශේෂාකාරයෙන් ආධිපත්‍යය හෝ බලය දරන්නෙකුගේ තෝරාගැන්ම නැතහොත් අධිෂ්ඨානය’ අදහස් කරයි. එසේනම්, ශ්‍රේෂ්ඨතම ආධිපත්‍යය දරන්නාවූ, යෙහෝවඃවහන්සේට ආශාවක් නැතහොත් අධිෂ්ඨානයක් ඇත. එය කුමක්ද? එහි එක් අංගයක් ශුද්ධ ලියවිල්ල අපට පෙන්වා දෙන්නේ, ‘සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමට පැමිණීම [දෙවියන්වහන්සේගේ] කැමත්ත’ බවය. (1 තිමෝති 2:3) මෙම ඒකාන්ත දැනගැන්ම සියල්ලන් කරා ගෙනඒමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා මුල් ක්‍රිස්තියානින් මුළු ආත්මයෙන් කටයුතු කළහ.—මතෙව් 9:35; ක්‍රියා 5:42; පිලිප්පි 2:19, 22.
අද දවසේ දෙවියන්වහන්සේගේ කැමැත්ත කරමින් සිටින්නේ කවුද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් යයි කියා සිටින බිලියන දෙකකට ආසන්න ජනයා අතරෙන්, යේසුස්වහන්සේගේ උපමාවේ බාල පුත්‍රයා, එනම් ගොස් සිය පියාණන්ගේ කැමැත්ත කළ තැනැත්තා හා සමාන වන්නේ කීදෙනෙක්ද? පිළිතුර සොයා ගැනීම අපහසු නැත. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවර සැබෑ ලෙසින් අනුගමනය කරන්නන්, තමන් කළ යුතු යයි උන්වහන්සේ වදාළ දෙය කරනු ඇත, එනම්, “ශුභාරංචිය පළමුකොට සියලු ජාතීන්ට ප්‍රකාශකරනු ලබන්ට ඕනෑය.” (මාර්ක් 13:10) ලෝක ව්‍යාප්තව සංඛ්‍යාවෙන් මිලියන හතරාමාරකට වඩා වැඩියෙන් සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, සාමය හා සුරක්ෂිතභාවය සඳහා මනුෂ්‍යවර්ගයාට ඇති එකම බලාපොරොත්තුව හැටියට දේව රාජ්‍යයට යොමු දක්වමින්, ඒ පිළිබඳ ශුභාරංචිය ක්‍රියාශීලීව දේශනා කරමින්ද අන්‍යයන්ට උගන්වමින්ද සිටිති. දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමෙහි ඔබ පූර්ණ පංගුකාරකමක් තබාගෙන සිටින්නෙහිද? යේසුස්වහන්සේ කළාක්මෙන් ඔබ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින් සිටින්නෙහිද?—ක්‍රියා 10:42; හෙබ්‍රෙව් 10:7.
දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමෙහි ප්‍රීතිය ලැබීම
පියාණන්වහන්සේගේ කැමැත්ත කුමක්ද කියා දැනගැනීමෙන් ප්‍රීතියක් ලැබිය හැකි අතර, දෙවියන්වහන්සේගේ කැමැත්ත අන්‍යයන්ට ඉගැන්වීමෙන් ඊටත් වඩා වැඩි ප්‍රීතියක් ලැබිය හැකිය. සිය පියාණන්වහන්සේ ගැන ජනයාට ඉගැන්වීමෙන් යේසුස්වහන්සේ ප්‍රීතියක් ලැබූ සේක. එය උන්වහන්සේට ආහාර හා සමාන විය. (යොහන් 4:34) යේසුස්වහන්සේ කළාක් මෙන්, එනම් සිය පියාණන්වහන්සේගෙන් තමන් ලැබුවේ යයි, උන්වහන්සේ ඉගැන්වූ දේවල් දේශනා කර ඉගැන්වීම, අපත් කරන්නේ නම් අපටත් සැබෑ සන්තෝෂය භුක්ති විඳින්නට පුළුවන. (මතෙව් 28:19, 20) යේසුස්වහන්සේ පොරොන්දු වූ ආකාරයට, “මේ දේවල් දන්නාවූ නුඹලා ඒවා කරනවා නම් නුඹලා ආශීර්වාදලද්දෝය [සන්තෝෂවත්ය, NW]”—යොහන් 13:17.
නිදර්ශනයක්: පූර්ණ-කාලීන පුරෝගාමි සේවයට නැවත වරක් ඇතුල් වූ මවක් මෙසේ පැවසුවාය: “විවිධ බයිබල් සත්‍යයන් හෘදයට ඇතුල්වෙත්ම බයිබල් ශිෂ්‍යයෙකුගේ මුහුණ දීප්තිමත් වනු දැකීම ඉතා පොලඹවනසුලුය! එක්තරා බයිබල් ශිෂ්‍යාවක් පාඩමට කලින් සියලුම ශුද්ධලියවිලි පද සම්පූර්ණයෙන් ලියා ගැනීමත්, පාඩමෙන් පසු ඕනෑම පුනරීක්ෂණ පැනයකට ඇයට පිළිතුරු දිය හැකි ලෙසින් පාඩම තුළ සටහන් ගැනීමත් දැකීම, මාහට මහත් ප්‍රීතියක් විය.” ඇගේ තවත් බයිබල් ශිෂ්‍යාවක් ඇගේ නවයොවුන් වියේ මුල් භාගයේදී සත්‍යය සමඟ යම් සම්බන්ධකමක් ඇතිව සිටියාය. දැන් විවාහවී සමහරක් පෞද්ගලික ප්‍රශ්න පිළිබඳව සැලකිල්ලක් දක්වන ඇය, සාක්ෂිකරුවන්ව සොයන්නට බොහෝ සෙයින් වුවමනා වූවාය. පුරෝගාමි සහෝදරිය ඇයව හමුවූ විට ඇය කොතරම් සතුටට පත්වූවාද! තමාගේ බයිබල් පාඩම නැවත පටන් ගැනීමට එම යෞවන කාන්තාව ප්‍රමුදිත වූවාය.
දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමෙහි ප්‍රීතිය පවත්වා ගැනීම
පුරාතන ඊශ්‍රායෙලයේ දාවිත් රජ වනාහි සිය ජීවිතය පුරා දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට සෙවූ කෙනෙකි. තමාට එරෙහිව ගෙනෙන ලද බොහෝ දුෂ්කරතාවයන් හා පීඩනයන් තිබියදීත්, “මාගේ දෙවියන්වහන්ස, ඔබගේ කැමැත්ත කරන්ට ප්‍රියවෙමි; එසේය, ඔබගේ ව්‍යවස්ථාව මාගේ සිත තුළෙහිය” යයි පැවසීමට ඔහු දේවානුභාවය ලැබීය. (ගීතාවලිය 40:8) යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කිරීම දාවිත්ගේ මුළු ආත්මය තුළම, ඔහුගේ මුළු ජීවය තුළම තිබුණ යෙහෝවඃවහන්සේට සේවය කිරීමෙහිලා ඔහුගේ සිඳී නොයන ප්‍රීතියේ රහස වූයේය. දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීම දාවිත්ට දුෂ්කරත්වයක් නොවීය. ඒ වෙනුවට එය සොම්නසක් විය, ඔහුගේ හෘදයෙන් ජනිත වූ යමක් විය. ඇතැම් අවස්ථාවන්හි ඔහු පව්කර නියමිත මට්ටමෙන් පහත වැටුනද, සිය ජීවිතය පුරා, තමාගේ දෙවියන් වන යෙහෝවඃවහන්සේට සේවය කිරීමෙහිලා තමාගේ උපරිමය කිරීමට ඔහු මහත් ආයාසයක් දැරුවේය.
ඇතැම් අවස්ථාවන්හි, අපගේ ප්‍රීතිය අඩු වී යන්නට පුළුවන. මෙහිදී අප බලවත් ලෙස වෙහෙසට පත්වන්නට හෝ අධෛර්යට පත්වන්නට පුළුවන. ඇතැම් විට අපගේ අතීතය අපට යම් ගැටලු ඇති කළ හැකිය, ඈත අතීතයේ කරන ලද යම් වැරදිසහගත ක්‍රියාවක් පිළිබඳව අපගේ හෘදය සාක්ෂිය අපට වද දෙන්නට පුළුවන. බොහෝ අවස්ථාවන්හි, දේව වචනය පිළිබඳ වඩාත් ගැඹුරු අධ්‍යයනයක් කිරීමෙන් අපට මෙම හැඟීම් පරාජය කළ හැකිය. දාවිත් කළාක් මෙන්, අපගේ “සිත තුළෙහි” දේව ව්‍යවස්ථාව සනිටුහන් කිරීමට අපට ඉලක්ක කර ගත හැකිය. අප මුළු ආත්මයෙන්, එනම්, අපට ඇති උපරිම හැකියාවෙන්, දේව කැමැත්ත කිරීමට වෑයම් කරන්නේ නම්, උන්වහන්සේ විශ්වාසනීය වන බැවින් ඒ අනුව උන්වහන්සේ අපට විපාක දෙනවා ඇත.—එපීස 6:6; හෙබ්‍රෙව් 6:10-12; 1 පේතෘස් 4:19.
උනන්දු කරවන ලෙසින්, ප්‍රේරිත පාවුල් ගීතාවලිය 40:6-8හි ඇති දාවිත්ගේ වදන් හෙබ්‍රෙව් 10:5-7හි උපුටා දැක්වූ අතර ඒවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අදාළ කළේය. එසේ කිරීමෙන්, පාවුල් ගෙනහැර දැක්වූයේ යේසුස්වහන්සේ සිය පියාණන්වහන්සේට කොතරම් සමීපව සිටියේද යනවගයි. “කැමැත්ත” සඳහා ඇති හෙබ්‍රෙව් වදන, ඇත්තෙන්ම ‘සොම්නස, ආශාව, අනුග්‍රහය, නැතහොත් ආස්වාදය’ යන අදහස් ගෙනහැරපායි. පදගතාර්ථයෙන්, ගීතාවලිය 40:8 ක්‍රිස්තුස්වහන්සේ ගැන පවසන්නේ, “අහෝ මාගේ දෙවියන්වහන්ස, ඔබ ආස්වාදය ලබන දෙය තුළ යෙදීමට මම ප්‍රිය කළෙමි,” යනුවෙනි.a යේසුස්වහන්සේට වුවමනා වූයේ, සිය පියාණන්වහන්සේව ප්‍රසන්න කළ දෑ කරන්නටයි. යේසුස්වහන්සේ තමන්ගෙන් අපේක්ෂිත ප්‍රමාණය ඉක්මවා ගිය සේක. උන්වහන්සේ සිය පියාණන්ගේ හෘදයට සමීපව තිබූ දෙය ක්‍රියාවට නැගූ අතර, එසේ කිරීම තුළින් උන්වහන්සේ ප්‍රීතිය භුක්ති වින්ඳ සේක.
දෙවියන්වහන්සේගේ කැමැත්ත කුමක්ද යන්නත්, දෙවියන්වහන්සේගේ ආශීර්වාද ලබා ගැනීමට ඔවුන් කුමක් කළ යුතුද යන්නත්, අන්‍යයන්ට ඉගැන්වීම මත යේසුස්වහන්සේගේ මුළු ජීවිතයම කේන්ද්‍රගතව තිබුණි. උන්වහන්සේ පූර්ණ-කාලීන දේශකයෙක් හා ගුරුවරයෙක් වූ අතර එම කාර්යය කිරීමෙහි මහත් ප්‍රීතියක් ලැබූ සේක. ඒ අනුව අප යෙහෝවඃවහන්සේගේ වැඩ කොතරම් වැඩියෙන් කරනවාද, ඒ අනුව වැඩි ප්‍රීතියක් අපට අත්කර ගන්නට පුළුවන. ඔබගේ ප්‍රීතියත් වැඩි වනු පිණිස ඔබටත් පූර්ණ-කාලීන දේශනා සේවයේ නිරත වන්නට හැකියාවක් තිබේද?
දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමෙහි ප්‍රීතිය පවත්වා ගැනීමට තවත් උපකාරකයක් නම් අනාගතය කෙරෙහි තියුණු දෘෂ්ටියක් ඇතිව සිටීමයි. යේසුස්වහන්සේ එසේ කළ සේක. “උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය [වධකණුව, NW]” දැරූ සේක. උන්වහන්සේහට, ප්රීතියව තිබුණේ අවසානය දක්වා දෙවියන්වහන්සේට විශ්වාසනීයව සිටීමත් අනතුරුව සිය පියාණන්ගේ දකුණු පැත්තේ රජකමේ විපාකය ලැබීමත්ය.—හෙබ්‍රෙව් 12:2.
දෙවියන්වහන්සේගේ කැමැත්ත දිගටම කරන්නාවූ අයට පැමිණෙනු ඇති අනාගතික ප්‍රීතිය ගැන කල්පනා කර බලන්න. තම ආත්මාර්ථකාමි අභිලාෂයන් අනුව ක්‍රියා කිරීමට යත්න දැරීමේ හේතුවෙන්, දේව කැමැත්ත කිරීමට වෙර දරන අයට දුක් පමුණුවන අයගේ විනාශය, ඔවුන් විසින් දකිනවා ඇත. (2 තෙසලෝනික 1:7, 8) ඉගෙන ගැනීමටත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමටත් ප්‍රස්තාව අත්කර ගැනීම සඳහා නැවත නැගිටුවනු ලබන ඔබගේ ප්‍රේමනීයන් ලබන්නට යන ප්‍රීතිය ගැන කල්පනා කර බලන්න. එසේත් නැතහොත් පොළොව පාරාදීසයක් බවට නැවතත් පත් කිරීමේ දෙවියන්වහන්සේගේ අරමුණ සලකා බලන්න. තවද අවසානයේ, යෙහෝවඃවහන්සේගේ කැමැත්තේ විරුද්ධකාරයා වන, සාතන්ගේ සම්පූර්ණ විනාශයෙන් විපාක වන්නාවූ නිදහස කල්පනා කර බලන්න.
එසේය, දෙවියන්වහන්සේගේ කැමැත්ත අදදින කිරීම දැන් බොහෝ ප්‍රීතියක් ලබා දිය හැකි අතර අනාගතයේ නිමක් නැති සතුටක් ලබා දෙන්නට පුළුවන. අපගේ දේශනා සේවයේදී අප ලබන ප්‍රතිචාරය කෙබඳු එකක් වුවද, සිය පියාණන්වහන්සේගේ කැමැත්ත කිරීමෙහි සතුටක් ලැබූ යේසුස්වහන්සේගේ ආදර්ශය අපිත් අනුකරණය කරමු.
[පාදසටහන්වල]
a ගීතාවලිය 40:8, [NW] පාද සටහන බලන්න.