2වෙනි පරිච්ඡේදය
දෙවියන්ගේ අරමුණ වෙනුවෙන් ක්‍රිස්තුස් ඉටු කරන කාර්යය පිළිගන්න
“පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළා.” ඒ සියල්ල “ඉතා හොඳින් සාදා තිබුණා.” (උත්. 1:1, 31) යෙහෝවා දෙවියන්ගේ මුල් අරමුණට අනුව මුළු මිනිස් වර්ගයාටම ප්‍රීතිමත් අනාගතයක් සඳහා බලාපොරොත්තුවක් තිබුණා. ඒ බලාපොරොත්තුවට බාධාවක් ඇති වුණේ ඒදන් උයනේදී දෙවියන්ට විරුද්ධව ඇති වුණ කැරැල්ල නිසයි. කොහොමවුණත් මිනිස් වර්ගයා සහ මේ පොළොව සම්බන්ධයෙන් දෙවියන්ගේ අරමුණ වෙනස් වුණේ නැහැ. දෙවියන්ට කීකරු වන අයව ගලවාගන්නවා කියලා දෙවියන් පොරොන්දු වුණා. ඒ වගේම ඔහු සැබෑ නමස්කාරය ආයෙත් පිහිටුවලා සාතන්වත් ඔහු නිසා ඇති වෙලා තියෙන හැම නරක දෙයක්මත් නැති කරලා දානවා. (උත්. 3:15) එතකොට හැම දෙයක්ම පටන්ගැන්මේදී තිබුණා වගේ ‘ඉතා හොඳ’ තත්වයක තියෙයි. යෙහෝවා දෙවියන් ඒ හැම දෙයක්ම ඉටු කරන්නේ ඔහුගේ පුතා වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන්. (1 යොහ. 3:8) ඒ නිසා දෙවියන්ගේ අරමුණ වෙනුවෙන් යේසුස්ට හිමි කාර්යය අපි තේරුම්ගන්න එක හුඟක් වැදගත්.—ක්‍රියා 4:12; ෆිලි. 2:9, 11.
ක්‍රිස්තුස්ට හිමි කාර්යය
2 දෙවියන්ගේ අරමුණ වෙනුවෙන් යේසුස්ට වැදගත් කාර්යයන් රැසක්ම ඉටු කරන්න තියෙනවා. ඔහු තමයි මිනිස් වර්ගයාගේ ගැලවුම්කරු, උත්තම පූජකයා, ක්‍රිස්තියානි සභාවේ හිස වගේම දේවරාජ්‍යයේ රජු විදිහට කටයුතු කරන්නේ. ඒ කාර්යයන් ගැන හොඳින් කල්පනා කරද්දී දෙවියන් ඇති කරලා තියෙන සැලැස්ම අගය කරන්නත් යේසුස් ක්‍රිස්තුස් ගැන තියෙන ආදරය තවත් වැඩි කරගන්නත් පුළුවන් වෙනවා.
යේසුස් තමයි මිනිසුන් සම්බන්ධයෙන් දෙවියන්ට තියෙන අරමුණ ඉටු කරන්න වැදගත්ම වැඩ කොටස කරන්නේ
3 දෙවියන් එක්ක සමාදාන වෙන්න කීකරු මිනිසුන්ට පුළුවන් වෙන්නේ යේසුස් මාර්ගයෙන් කියලා ඔහු පොළොවේ සේවය කරපු කාලයේදී පැහැදිලි වුණා. (යොහ. 14:6) මිනිස් වර්ගයාගේ ගැලවුම්කරු විදිහට යේසුස් බොහෝදෙනෙක් වෙනුවෙන් තම ජීවිතය පූජා කළා. (මතෙ. 20:28) ඒ නිසා යේසුස්ව අපි දකින්න ඕනෙ දෙවියන්ට ළැදි කෙනෙක් විදිහට විතරක් නෙවෙයි. ඔහු තමයි මිනිසුන් සම්බන්ධයෙන් දෙවියන්ට තියෙන අරමුණ ඉටු කරන්න වැදගත්ම වැඩ කොටස කරන්නේ. මිනිසුන්ට දෙවියන් එක්ක සමාදාන වෙන්න පුළුවන් ඔහු මාර්ගයෙන් විතරයි. (ක්‍රියා 5:31; 2 කොරි. 5:18, 19) ඔහු ජීවිතය පූජා කරපු නිසාත් ඔහුව නැවත නැඟිටවපු නිසාත් කීකරු මිනිසුන්ට දේවරාජ්‍යයේ පාලනය යටතේ හැමදාටම ආශීර්වාද ලබන්න අවස්ථාව ලැබෙනවා.
4 අපේ උත්තම පූජකයා වන යේසුස්ට “අපගේ දුර්වලකම් ගැන අනුකම්පාවක්” දැනෙනවා. ඒ වගේම පොළොවේ ඉන්න තම විශ්වාසවන්ත සේවකයන්ට ඔවුන්ගේ වැරදිවලට සමාව ලබාගෙන දෙවියන් එක්ක සමාදාන වෙන්න ඔහු ලොකු වැඩ කොටසක් ඉටු කරනවා. පාවුල් ඔහු ගැන කිව්වේ මෙහෙමයි. “අපට සිටින්නේ අපගේ දුර්වලකම් ගැන අනුකම්පාවක් නොදැනෙන උත්තම පූජකයෙකු නොවේ. ඔහු අප මෙන් සෑම අතින්ම බොහෝ දුක් පීඩාවලට මුහුණ දී ඇති කෙනෙකි. නමුත් ඔහු කිසි පාපයක් නොකළ උත්තම පූජකයෙකි.” ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවියන් එක්ක සමාදාන වෙන්න ඇති කරලා තියෙන සැලැස්මෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා ක්‍රිස්තියානීන්ව දිරිගන්වමින් පාවුල් මෙහෙමත් කිව්වා. “මහත් කරුණාව පෙන්වන තැනැත්තාණන්ගේ සිංහාසනය වෙතට ළඟා වී කිසි බියක් සැකක් නොමැතිව නිදහසේ ඔහුට යාච්ඤා කිරීමට අපට පුළුවන. එහෙයින් අපට උපකාර අවශ්‍ය වේලාවේදීම ඔහුගේ දයාව හා මහත් කරුණාව අපි ලබාගනිමු.”—හෙබ්‍රෙ. 4:14-16; 1 යොහ. 2:2.
5 ක්‍රිස්තියානි සභාවේ හිස විදිහට කටයුතු කරන්නෙත් යේසුස්. පළමු සියවසේදී යේසුස්ගේ අනුගාමිකයන් අතරේ කිසිම මිනිසෙක් නායකයෙක් විදිහට කටයුතු කළේ නැහැ. අදටත් අපි අතරේ මිනිසෙක් නායකයෙක් විදිහට කටයුතු කරන්නේ නැහැ. යේසුස් තමයි දෙවියන්ගේ බලය මාර්ගයෙන් සහ වැඩිමහල්ලන් මාර්ගයෙන් අපට අවශ්‍ය මඟ පෙන්වීම් දෙන්නේ. වැඩිමහල්ලන් දෙවියන්ගේ රැළ ගැන යෙහෝවා දෙවියන්ටත් යේසුස්ටත් ගණන් දෙන්න ඕනේ. (හෙබ්‍රෙ. 13:17; 1 පේතෘ. 5:2, 3) යේසුස් ගැන යෙහෝවා දෙවියන් මේ අනාවැකිය කියලා තිබුණා. “මම ඔහුව සියලු ජාතීන්ගේ නායකයා හා අධිපතියා ලෙස පත් කර සාක්ෂිකරුවෙකු ලෙස ඔවුන් අතරට යවන්නෙමි.” (යෙසා. 55:4) ඒ අනාවැකිය ඉටු වෙලා තියෙන බව යේසුස් ගෝලයන්ට කිව්වේ මෙහෙමයි. “ඔබ අතරේ සිටින කිසිම කෙනෙකුට ‘නායකයා’ කියා නොකියන්න. මන්ද ඔබට සිටින්නේ එකම නායකයෙක්. ඒ ක්‍රිස්තුස්.”—මතෙ. 23:10.
6 යේසුස් අපිට උදව් කරන්න මොන තරම් ආශාවකින් ඉන්නවාද කියන දේ ඔහුගේ මේ ආරාධනාවෙන් පැහැදිලි වෙනවා. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි. මා මෘදු ගුණැති නිහතමානී කෙනෙකු වන නිසා මා ඔබ පිට තබන වියගහ පිළිගෙන මගෙන් ඉගෙනගන්න. එමගින් ඔබට මහත් සහනයක් ලබාගත හැකියි. මන්ද මා ඔබ පිට තබන වියගහ පහසුයි. ඔබට උසුලාගෙන යෑමට තිබෙන බරද සැහැල්ලුයි.” (මතෙ. 11:28-30) මෘදු ආකාරයෙන් වගේම අපිට සහනයක් දැනෙන විදිහට ක්‍රිස්තියානි සභාව මෙහෙයවන එකෙන් යේසුස් ඔප්පු කරලා තියෙනවා ඔහු යෙහෝවා දෙවියන්ව ආදර්ශයට අරන් කටයුතු කරන “උතුම් එඬේරා” කියලා.—යොහ. 10:11; යෙසා. 40:11.
7 යේසුස් ක්‍රිස්තුස් ඉටු කරන තවත් වැදගත් කාර්යයක් ගැන පාවුල් කොරින්ති සභාවට පැහැදිලි කළේ මෙහෙමයි. “දෙවි සියලු සතුරන් ඔහුගේ පාද යට දමන තුරු ඔහු රජකම් කළ යුතුයි. මන්ද සියල්ල පුත්‍රයාට යටත් කළ පසු පුත්‍රයාද තමන්ට සියල්ල යටත් කර දුන් තැනැත්තාණන්ට යටත් වනු ඇත. එසේ කරන්නේ දෙවි සියලුදෙනාගේම එකම පාලකයාණන් ලෙස කටයුතු කිරීම සඳහාය.” (1 කොරි. 15:25, 28) දෙවියන් මුලින්ම නිර්මාණය කරපු යේසුස් පොළොවට එන්න කලින් දෙවියන්ගේ “ප්‍රධාන සේවකයා” විදිහට කටයුතු කළා. (හිතෝ. 8:22-31) පොළොවට ආවාට පස්සෙත් ඔහු කටයුතු කළේ දෙවියන් කැමති විදිහටයි. මිය යන මොහොත දක්වාම ඔහු පියාණන්ට විශ්වාසවන්තව හිටියා. (යොහ. 4:34; 15:10) ඒ නිසා තමයි දෙවියන් ඔහුව නැවත නැඟිටුවලා දේවරාජ්‍යයේ රජු හැටියට පත් කළේ. (ක්‍රියා 2:32-36) රජු විදිහට කටයුතු කරන ක්‍රිස්තුස්ට ස්වර්ගයේ ඉන්න සේනාවත් එක්ක එකතු වෙලා පොළොවේ තියෙන පාලන ක්‍රම සහ හැම දුෂ්ටකමක්ම නැති කිරීමේ පැවරුම ලැබුණා. (හිතෝ. 2:21, 22; 2 තෙස. 1:6-9; එළි. 19:11-21; 20:1-3) ක්‍රිස්තුස් ඒ දේ කළාට පස්සේ ඔහුගේ නායකත්වය යටතේ තියෙන දේවරාජ්‍යයෙන් තමයි මුළු පොළොවම පාලනය වෙන්නේ.—එළි. 11:15.
ක්‍රිස්තුස් ඉටු කරන කාර්යය පිළිගන්නවා කියන එකෙන් අදහස් වන දේ
8 අපිට කදිම ආදර්ශයක් තියලා තියෙන යේසුස් ක්‍රිස්තුස් පරිපූර්ණ කෙනෙක්. අපිව රැකබලා ගන්න පත් කරලා තියෙන්නේ ඔහුවයි. ඔහු අපිට දක්වන සැලකිල්ලෙන් ප්‍රයෝජන ගන්න නම් අපි දිගටම යෙහෝවා දෙවියන්ට කීකරු වෙමින් දෙවියන්ගේ සංවිධානයත් එක්ක ඉදිරියට ගමන් කරන්න ඕනේ.
9 පළමු සියවසේ හිටිය යේසුස්ගේ අනුගාමිකයන් දෙවියන්ගේ අරමුණ වෙනුවෙන් ක්‍රිස්තුස් ඉටු කරන කාර්යය පිළිගත්ත බව ඔවුන් කටයුතු කරපු විදිහෙන් පැහැදිලි වුණා. ඔව්, ක්‍රිස්තුස්ගේ නායකත්වය යටතේ එක්සත්ව කටයුතු කරපු ඔවුන් දෙවියන්ගේ බලය මාර්ගයෙන් යේසුස් ලබා දුන් මඟ පෙන්වීම් කැමැත්තෙන්ම පිළිගත්තා. (ක්‍රියා 15:12-21) අභිෂේක ලත් අයගෙන් සමන්විත සභාව තුළ තිබුණු එක්සත්කම ගැන පාවුල් මෙහෙම කිව්වා. “අපි දිගටම සත්‍යය කතා කරමින්ද සියලු දේවල හිස ලෙස කටයුතු කරන ක්‍රිස්තුස්ව අනුගමනය කරමින්ද ප්‍රේමය ඇතුව අවබෝධයෙන් ක්‍රියා කරන පුද්ගලයන් බවට පත් වන තුරු වර්ධනය වෙමු. ක්‍රිස්තුස් මාර්ගයෙන් මුළු ශරීරයම එකට බැඳී පවතින අතර එහි සෑම අවයවයක්ම තමාට නියමිත වූ කාර්යයන් ඉටු කරමින් සහයෝගයෙන් ක්‍රියා කරයි. සෑම අවයවයක්ම එලෙස තමාට නියම වූ කාර්යය නිසි ලෙස ඉටු කරන විට මුළු ශරීරයේම වර්ධනයට එය දායක වෙයි. එසේ එකිනෙකා අතර තිබෙන ප්‍රේමයෙන් මුළු ශරීරයම ශක්තිමත්ව වැඩෙයි.”—එෆී. 4:15, 16.
10 සභාවේ ඉන්න හැමෝම එකමුතුව වැඩ කරනවා නම් ඒ වගේම ක්‍රිස්තුස්ගේ නායකත්වයට කැමැත්තෙන්ම කීකරු වෙනවා නම් සභාවේ වර්ධනයට ඒක දායක වෙනවා. ඒ වගේම “එක්සත්කමට දායක වන හොඳම බැඳීම” වන ප්‍රේමය ඇතුව කටයුතු කරන්නත් පුළුවන් වෙනවා.—යොහ. 10:16; කොලො. 3:14; 1 කොරි. 12:14-26.
11 බයිබල් අනාවැකි ඉටු කරමින් ලෝකෙ පුරාම සිද්ධ වෙන දේවල් දිහා බලද්දී යේසුස් ක්‍රිස්තුස් 1914දී දේවරාජ්‍යයේ රජු හැටියට පත් වෙලා තියෙන බව හොඳින්ම පැහැදිලියි. සියලු සතුරන්ව යටත් කරගන්න ඔහු දැන් සූදානමිනුයි ඉන්නේ. (ගීතා. 2:1-12; 110:1, 2) රජවරුන්ගේ රජ සහ ස්වාමිවරුන්ගේ ස්වාමියා වන යේසුස් ළඟදීම ඔහුගේ සතුරන්ට විරුද්ධව විනිශ්චය ක්‍රියාත්මක කරනවා. (එළි. 11:15; 12:10; 19:16) ඊටපස්සේ කීකරු මිනිසුන්ව ගලවාගන්න බවට යෙහෝවා දෙවියන් ඒදන් උයනේදී දීපු පොරොන්දුව ඉටු වෙනවා. (මතෙ. 25:34) දෙවියන්ගේ අරමුණ වෙනුවෙන් ක්‍රිස්තුස් ඉටු කරන කාර්යය තේරුම්ගන්න අපිට ලැබිලා තියෙන අවස්ථාව මොන තරම් වරප්‍රසාදයක්ද! අන්තිම දවස්වල ජීවත් වන අපි ක්‍රිස්තුස්ගේ නායකත්වය යටතේ එකමුතුව, ලොව පුරා සිද්ධ වන දේශනා සේවයට දිගටම සහයෝගය දෙමු.