ඔබ දෙවියන් වහන්සේගේ අනතුරු ඇඟවීමට අවධානය යොමු කරනු ඇත් ද?
මිනිස්සු බොහෝ විට ජීවිත ගලවන අනතුරු ඇඟවීම් නොසලකා හරිති. පොම්පාය නගරයේ වැසියන්ගෙන් බොහෝ දෙනෙක්, වෙසුවියස් කන්දේ කුපිත ශබ්ද නොසලකා හැරීමට තෝරා ගත්හ. ඒ හා සමාන විලාශයකින්, අද දින සිටින බොහෝ අය ද පැමිණෙමින් තිබෙන සමස්ත ලෝක ව්‍යසනයක් ගැන කෙරෙන අනතුරු ඇඟවීම නොසලකා හරිමින් සිටිත්. එහෙත්, සත්‍ය කරුණුවලට මුහුණ දෙන්නට කැමැත්තෙන් සිටින අයට, මෙම අනතුරු ඇඟවීම, පළමු සියවසේ අතීතයේ වූ වෙසුවියස් කන්දෙන් නික්මුණු විදුලි ගිනි දහරා මෙන් සැබෑවකි. ලෝක යුද්ධ දෙකක්, සිය ගණනකින් යුත් කුඩා අවි සටන්, සාගත, මහා භූමිකම්පා, වසංගත, එක පිට එක සිදු වූ අපරාධ සහ ප්‍රචණ්ඩතාවයන් සහ ලෝක ව්‍යාප්ත දේශනා ව්‍යාපෘතිය යන මේ සියල්ල ම, වේගයෙන් එළෙඹෙමින් තිබෙන්නා වූ ව්‍යසනකාරී අර්බුදයක් ගැන මිනිස් සමාජයට අනතුරු අඟවයි.
බයිබලය මෙම බැරෑරුම් පුරෝකථනය දෙයි: “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක් ඒ කාලයෙහි වන්නේය.” (මතෙව් 24:21) පොම්පායේ සිදු වූ ව්‍යසනය සම්බන්ධ සිද්ධියේ දී මෙන්, බේරෙන්නා වූ අය සිටිනු ඇත—එනම් “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක්,” බේරී ජීවත් වනු ඇත, එනම් ඔවුහු “මහත් පීඩා මැදින් [පිටතට NW] එන්නෝය.”—එළිදරව් 7:9, 14.
ප්රශ්නය නම්, මෙම විනාශය පැමිණෙනු ඇත්තේ කවදා ද යන්නයි. පීඩාව තදාසන්න බව විශ්වාස කිරීමට ප්‍රබල හේතු තිබේ. පෙනෙන හැටියට, සිදුවන කාලය දැනගැනීම මනසේ තබා ගෙන, යේසුස් වහන්සේගේ ගෝලයෝ මෙසේ ඇසුවෝ ය: “ඔබගේ පැමිණ සිටීමටත් මෙම දේවල පිළිවෙළේ සමාප්තියටත් ලකුණ කුමක් වනු ඇත් ද?” (මතෙව් 24:3, NW) යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දුන් පිළිතුර සැලකිල්ලට ගන්න.
යුද්ධ—සංයුක්ත ලකුණේ ප්‍රමුඛතම අංගයක්
යේසුස් වහන්සේ හුදෙක් එක් කැපී පෙනෙන සිද්ධියක් පුරෝකථනය කළා නොවේ. ඒ වෙනුවට, සියල්ල එකට ගත් කල, දිව්‍ය අනතුරු ඇඟවීමක් කෙරෙන—එනම් දේවල පිළිවෙළේ සමාප්තියේ සංයුක්ත ලකුණක් වන්නා වූ—සිද්ධීන් මාලාවක් ගැන උන් වහන්සේ කථා කළ සේක. පුරෝකථනය කරන ලද පළමු සිදුවීම මතෙව් 24:7 හි විස්තර කොට තිබේ: “ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත.” එළිදරව් 6:4 හි සඳහන් සාමාන්තර අනාවැකියක, ‘පොළොවෙන් සාමය ඉවත් කරනු ලබනවා ඇත’ යයි බයිබලය පුරෝකථනය කළේ ය. මින් අදහස් කළේ, පෙර නොවූ විරූ ආකාරයක යුද්ධ ඇති වීමයි.
සමස්ත ලෝක යුද්ධ ගැන කියා ඇති මෙම අනාවැකිය, අමතක නොවන 1914 වසරේ පටන් ඉටු වෙමින් තිබෙන බව ඉතිහාසය අපට කියයි. වර්ෂ 1914ට පෙර වූ වර්ෂයන් සම්බන්ධයෙන් අමෙරිකන් ඇඩ්වෙන්චර් පොත මෙසේ පවසයි: “අමෙරිකානුවන් බොහෝ දෙනෙකු, නව සියවසකට අවතීර්ණ වී සිටියේ බලාපොරොත්තු පිරුණු ස්වභාවයකිනි. මේවා ‘යහපත් අවුරුදු’ වූ අතර, මේවා පැවතුණේ සියවසේ දෙවෙනි දශකය දක්වා ය. . . . ඉන් පසු, 1914 ජූලි 28 දා, එක් වචනයක් මගින් මෙම ස්වරූපය සොලවා දමන ලදි: එනම් යුද්ධයයි.” මෙසේ, 1914 සිට 1918 දක්වා පැවති පළමු ලෝක යුද්ධය, සමහරුන් විසින් හඳුන්වන ලද්දේ, “සියලු යුද්ධ අවසන් කරන යුද්ධය” යනුවෙන් ය. රටවල් විසි අටක් ඊට කෙළින් ම සම්බන්ධ විය. ඔවුන්ට යටත් විජිතයන් ව තිබූ රටවල් ද ඔබ ඊට ඇතුළත් කළහොත්, යුද්ධය කළා වූ ජාතීන් එවකට සිටි ලෝක ජනගහණයෙන් සියයට 90ක් පමණ ඉන් නියෝජනය විය.
මැෂින් තුවක්කු, විෂ වායු, ගිනිදැල් විහිදුවන අවි, යුද්ධ ටැංකි, ගුවන් යානා සහ සබ්මැරීන වැනි නවීන සහ ප්‍රබල මාරාන්තික යුද්ධ අවිවල භාවිතය Iවන ලෝක යුද්ධයේදී දක්නට ලැබුණි. දළ වශයෙන් සොල්දාදුවන් මිලියන දහයක් පමණ මරා දමන ලද අතර, මෙය මීට වසර 100 අතරතුර සටන් කරන ලද සියලු ප්‍රධාන යුද්ධවල දී මිය ගිය සොල්දාදුවන් සියල්ලන්ට ම වඩා වැඩි විය! මිලියන 21ක් පමණ තුවාල ලැබූහ. ඇත්තට ම, එය 1914 වසර, “අන්තිම දවස්” ආරම්භ වූ බව සටහන් කළා වූ සමස්ත ලෝක යුද්ධයක් විය. (2 තිමෝති 3:1) කෙසේ වුවද, යුද්ධ වනාහි යේසුස් වහන්සේගේ ලකුණේ හුදෙක් එක් අංගයක් පමණි!
ලකුණේ අනෙක් අංගයන්
යේසුස් වහන්සේ මෙසේ ද එකතු කළ සේක: “නොයෙක් තැන්වල සාගතද [ආහාර හිඟකම් NW] පොළෝකම්පාද සිදුවෙනවා ඇත. මේ සියල්ල වනාහි ගාවිනාවල පටන්ගැන්මය.” (මතෙව් 24:7, 8) ලූක් 21:11 එම ලැයිස්තුවට “වසංගත” ද එකතු කරයි. පළමු ලෝක යුද්ධය අවසන් වීමට පෙර, ස්පාඤ්ඤ උණ නමැති වසංගත රෝගය පොළොව සිසාරා හඹා යාමට පටන් ගත්තේ ය. අන්තිමේ දී, එය මිනිසුන් මිලියන 20කට වැඩියෙන් මරා දැමූ අතර, එය යුද්ධයේ දී මිය ගොස් සිටි සියල්ලන්ටත් වඩා වැඩි සංඛ්‍යාවක් විය.
යුද්ධය අතරතුරේ දී හා ඉන් පසු ව, තවත් අය මිලියන ගණනක් මරු දුටහ. භූමිකම්පා නිසා ද විශාල සංඛ්‍යාවකට දිවි අහිමි විය. වර්ෂ 1915 දී ඉතාලියේ 30,000කට වඩා මිය ගියහ; 1920 දී චීනයේ 2,00,000ක් පමණ නැසී ගියහ; 1923 දී ජපානයේ 1,43,000ක් පමණ මරු වැළඳ ගත්හ. එහෙත්, තවමත්, යේසුස් වහන්සේ ඇඟ වූ පරිදි, මේ සියල්ල ම ගාවිනාවල පටන් ගැන්ම වූවා පමණි. එක් ශබ්දකෝෂයක්, “ගාවිනා” යන වචනය, “හදිසියේ ම පසාරු කර ගෙන යන වේදනාවක්” ලෙස අරුත් දක්වයි. මේ ලෝකය, 1914 සිට, එන්ට එන්ට ම තද බල ලෙසින් හා වැඩි අවස්ථා ගණනක දී, පසාරු කර ගෙන යන්නාවූ එක් වේදනාවක සිට, තවත් වේදනාවක් දක්වා ඇද වැටෙමින් තිබේ. නිදසුනක් වශයෙන්, පළමු ලෝක යුද්ධයෙන් හුදෙක් වසර 21කට පසු, දෙවෙනි ලෝක යුද්ධය ඇති වූ අතර, මිලියන 50ක් පමණ එයට ගොදුරු කර ගෙන, මිනිස් සංහතිය ම න්‍යෂ්ටික යුගයකට අවතීර්ණ කළේ ය.
මෑත වසරවල දී, තවත් ව්‍යසනයක හේතුකාරකයක් ගැන බොහෝ දේ පවසනු ලැබ තිබේ: එනම්, මිනිසා විසින් පරිසරය විනාශ කිරීමයි. යේසුස් වහන්සේ සිය අනාවැකියේ මේ ගැන විශේෂයෙන් සඳහන් නොකළ ද, පැමිණෙමින් තිබෙන විනාශයට පෙර, මිනිසා, ‘පොළොව විනාශ කරමින් සිටින’ බව එළිදරව් 11:18 අඟවයි. මෙම විනාශ කිරීම සිදුවෙමින් තිබෙන බවට සාක්ෂි එමට ය. ස්ටේට් ඔෆ් ද වර්ල්ඩ් 1988 නමැති පොතෙන් උපුටා දැක්වෙන ලෙස, පරිසර උපදේශක නෝමන් මයර්ස් මෙම තැතිගන්වන සුලු පණිවුඩය ඉදිරිපත් කරයි: “අතීතයේ වූ කිසි ම පරම්පරාවක්, තම ජීවිත කාලය තුළ මුළු මිනිස් සංහතියේ අභාවයට පත්වීමේ අපේක්ෂාවට මුහුණ දී නොමැත. අනාගතයේ කිසිදු පරම්පරාවක් මේ හා සමාන අභියෝගයකට කිසිදා මුහුණ නොදෙනු ඇත; මෙම වත්මන් පරම්පරාව මෙම අභියෝගය සමඟ කටයුතු කරන්නට අසමත් වුවහොත්, හානිය සිදු කරනු ලැබ තිබෙන අතර, ‘දෙවෙනි අවස්ථාවක්’ තිබෙන්නට යන්නේ නැත.”
වායු ගෝලයේ ඕසෝන් වායුවේ ක්ෂය වීම පිළිබඳ ව, 1992 පෙබරවාරි 17 දා න්යූස්වීක් කලාපයේ සඳහන් වූ වාර්තාව සලකා බලන්න. ඕසෝන් අහිමි වීම, “පෘථිවියේ සියලු ජීවින්ගේ අනාගතය තර්ජනය කිරීමක් හා සමාන වනු” ඇතැයි හරිතසාම ඕසොන් විශේෂඥ ඇලෙක්සැන්ඩ්රා ඇලන් නැමැත්තිය විසින් අනතුරු අඟවන බවට උපුටා දක්වනු ලැබ තිබේ.—පෘථිවියේ පාරිසරික විනාශය ගැන වැඩිදුර විස්තර සඳහා මෙම පිටුවේ කොටුව බලන්න.
යේසුස් වහන්සේගේ අනාවැකියේ සියලු අංගයන් ගැන විස්තරාත්මක සාකච්ඡාවක් කරන්නට මෙහි ඉඩ ප්‍රමාණවත් නැත. (අනෙකුත් අනාවැකිමය අංගයන්හි මූලික අවබෝධයක් ලබා ගැනීම සඳහා 5වන පිටුවේ වගුව බලන්න.) එනමුත්, නොසලකා හැරිය නොහැකි එක් අංගයක්, මතෙව් 24:14 හි [NW] විස්තර කොට තිබේ: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොවේ දේශනා කරනු ලබන්නේ ය; ඉන් පසු අන්තිමය පැමිණෙනු ඇත.” මෙම සමස්ත ලෝක දේශනා වැඩය කරනු ලබන්නේ කවුරුන් විසින්දැයි යන්න ගැන ප්‍රශ්නයක් නැති තරම් ය. රටවල් 229ක සිටින, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ, 1992 වසරේ දී පමණක්, මෙම සේවය සඳහා පැය එක් බිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් වැය කොට තිබේ. මෙසේ, අප අන්තිම දවස්වල ජීවත් වන බවට ඔවුන්ගේ වැඩය වඩාත් දෘශ්‍යමාන වූ සාක්ෂිවලින් එකක් වෙයි.
මුළා නොවන්න!
එනමුත්, “අන්තිම දවස්” ගැන මේ කරන සියලු කථා බහ හුදෙක් සර්වාශුභවාදී අදහස් යයි යමෙකු තර්ක කරන්නට පුළුවන. ‘නැගෙනහිර යුරෝපයේ මෑතක දී දක්නට ලැබුණු කොමියුනිස්ට් වාදයේ අභාවය ගැන කුමක් කිව හැකි ද?’ යයි ඔවුන් අසනවා විය හැක, ‘නැත්නම් සාමය ඇති කිරීම සඳහා සුපිරි බලවතුන් ගන්නා ප්රයත්නයන්? දේවල් වඩාත් හොඳ අතට හැරෙමින් තිබෙන බව මෙය සාක්ෂියක් නොවේ ද?’ නැත. අවසාන දවස් අතරතුරේ දී, මුළු මහත් ලෝකය ම යුද්ධ, භූමිකම්පා සහ සාගත තුළ දිගට ම ගිලී තිබෙන්නට යන බවක් යේසුස් වහන්සේ නොපැවසූ බව සැලකිල්ලට ගන්න. ශුභාරංචිය ලොව වටා දේශනා කරනු ලැබීම සඳහා, අඩු තරමින් සාපේක්ෂ වශයෙන් යම් තරමක සන්සුන් බවකින් යුත් යම් කාල පරිච්ඡේදයන් තිබිය යුතු ය.
යේසුස් වහන්සේ, අන්තිම දවස්, නෝවාගේ ජල ගැල්මට පෙර, දවස්වලට සන්සන්දනය කළ බවත් සිහිකරන්න. එම වකවානුවේ දී, මිනිසුන්, කෑම, බීම සහ විවාහ වීම වැනි ජීවිතයේ සාමාන්‍ය වැඩකටයුතුවල ඕනෑවට වඩා නියැලෙමින් සිටියෝ ය. (මතෙව් 24:37-39) අවසාන දවස්වල තත්ත්වයන් පීඩාකාරී වන අතරේ දී, එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය ලුහුබැඳීම් අසීරු වන තරමට පිරිහීමක් නැති බව මින් අඟවනු ඇත. නෝවාගේ දවස්වල දී මෙන්, මිනිස් වර්ගයාගෙන් බහුතරයක් තමන්ගේ එදිනෙදා වැඩකටයුතුවල ඕනෑවට වඩා කොතරම් ඇලී ගැලී සිටින්නට යනවා ද කිවහොත් ඔවුන් කාලවල ඇති බැරෑරුම්කම ගැන කිසිදු තැකීමක් කරන්නේ නැත.
එමනිසා, දේශපාලනික වශයෙන් යම් හිතකර වැඩි දියුණු වීම් දක්නට තිබෙන නිසා ම, උදාසීන බවට ඇද වැටී යාම භයානක දෙයක් වනු ඇත. (1 තෙසලෝනික 5:3 සසඳන්න.) යේසුස් වහන්සේගේ අනාවැකිය දැන් ඉටු වෙමින් තිබෙන බවට සාක්ෂි බොහෝ තිබේ.—එනම් විනාශය ළඟ බවට අනතුරු ඇඟවීම ය!
විනාශයෙන් පසු ව ඇති වන තේජාන්විත ප්‍රතිඵලය
පොම්පායේ විනාශය ගෙන ආවේ මරණය හා දුක්ඛිත භාවයයි. කෙසේ වුවද, මෙම දේවල පිළිවෙළේ අවසානය මගින් සුන්දර පාරාදීස පොළොවක් මත සදාකාල ජීවනය සඳහා මාර්ගය විවෘත වෙනවා ඇත. (එළිදරව් 21:3, 4) බෙදුණු මිනිස් ආණ්ඩු විසින් තවදුරටත් පොළොව යුද්ධවලින් විනාශ කරන්නේ නැත. න්‍යෂ්ටික ව්‍යසනයක තර්ජනය නිසා මිනිසුන් තවදුරටත් භයෙන් තැති ගන්නේ නැත. පරිසරයට විෂ රසායනික ද්‍රව්‍ය පිට කරන කර්මාන්ත ශාලා තවත් නොතිබෙනු ඇත.—දානියෙල් 2:44, 45.
එම කාලයේ දී, ජීවත් වන සෑම පුද්ගලයෙකු ම රාජ්‍යයේ පාලනයට සම්පූර්ණ කීකරුකම දක්වන්නා වූ, ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන්නෙකු සහ සැබෑ මිත්‍රයෙකු වනවා ඇත. (ගීතාවලිය 37:10, 11) රෝහල්, අවමංගල්‍ය ශාලා සහ සොහොන් පිටි අතීතයේ දේවල් වනවා ඇත. දික්කසාදය, වෙන්වීම, අසහනය [විෂාදය], සහ දරුවන් ව දූෂණය කිරීම ද ඒ හා සමාන ව තවදුරටත් නොතිබෙනු ඇත.—යෙසායා 25:8; 65:17.
මෙම අවසාන දවස්වලින් බේරී ජීවත් වී, දෙවියන් වහන්සේගේ තේජාන්විත නව ලෝකය දැකීම සඳහා ජීවත්වීමට ඔබට වුවමනා ද? එසේ නම්, “ඒ [නියම කරන ලද NW] කාලය කවදා වේදැයි නුඹලා නොදන්න බැවින් ප්‍රවේසම්වී, අවදිව” සිටින්න. (මාර්ක් 13:33) එහෙත්, ලෝක සිද්ධීන් පැහැදිලි ව කියා පාන්නේ නියමිත කාලය ළඟ බව ය—බොහෝ දෙනෙකුට භයානක ලෙස එය ළං ව තිබේ. අතපසු කිරීමට කාලයක් නැත. එමනිසා, ජීවිත ගලවා ගැනීමේ ක්‍රියා මාර්ගය ගන්න, අවසාන දවස්වල සමස්ත ලෝක ලකුණට අවධානය යොමු කරමින් සිටින අය ව සොයා ගන්න. සමඟ ඔබ ම පෙළ ගැසෙන්න. ඔවුන් ව පහසුවෙන් හඳුනා ගත හැකියි, මන්දයත්, ලොව වටා රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමට යේසුස් වහන්සේ දී තිබෙන අණට කීකරු වන්නේ ඔවුන් පමණක් නිසා ය. “ඔහුගේ නාමය කෙරෙහි අන්‍ය ජාතීහු බලාපොරොත්තුවන්නෝය” යයි රජාණන් වන ක්‍රිස්තුස් යේසුස් වහන්සේ සම්බන්ධයෙන් පවසා ඇති අතර, උන් වහන්සේ සමඟ පෙළ ගැසීමට, එවන් අය සමඟ ඔබ ද පියවර ගනු ලැබේවා.—මතෙව් 12:18, 21.
[5වන පිටුවේ කොටුව]
ලකුණේ අංගයන් විසි හතරක්
1. පෙර නොවූ විරූ යුද්ධ—මතෙව් 24:6, 7; එළිදරව් 6:4
2. භූමිකම්පා—මතෙව් 24:7; මාර්ක් 13:8
3. ආහාර හිඟකම්—මතෙව් 24:7; මාර්ක් 13:8
4. වසංගත—ලූක් 21:11; එළිදරව් 6:8
5. නොපනත්කම වර්ධනය වීම—මතෙව් 24:12
6. පොළොව විනාශ කිරීම—එළිදරව් 11:18
7. ප්‍රේමය හීන වී යාම—මතෙව් 24:12
8. භයානක දර්ශනයන්—ලූක් 21:11
9. මුදලට අධිකතර ආශාව—2 තිමෝති 3:2
10. දෙමාපියන්ට අකීකරු වීම—2 තිමෝති 3:2
11. දෙවියන් වහන්සේට වඩා සැප සෙල්ලමට ප්‍රේම කිරීම—2 තිමෝති 3:4
12. තමාට ම ප්‍රේම කිරීම රජ කරයි—2 තිමෝති 3:2
13. ජන්ම ස්නේහයේ පොදු ඌනතාවය—2 තිමෝති 3:3
14. කිසිදු එකඟත්වයකට නොපැමිණෙන මිනිසුන්—2 තිමෝති 3:3
15. සමාජයේ සෑම මට්ටමක ම ආත්ම දමනය හීන වීම—2 තිමෝති 3:3
16. යහපතට ප්‍රේම කිරීම නොමැතිකම දසත පැතිරීම—2 තිමෝති 3:3
17. බොහෝ දෙනෙක් කුහක ලෙස ක්‍රිස්තියානින් යයි කියා සිටීම—2 තිමෝති 3:5
18. බොහෝ දෙනා අධිකතර කෑමට බීමට වහල් වීම—ලූක් 21:34
19. අපහාස කරන්නෝ ලකුණ ප්‍රතික්ෂේප කරති—2 පේතෘස් 3:3, 4
20. බොරු අනාගතවක්තෘවරු බොහෝ දෙනෙක් ක්‍රියාශීලී ව සිටිති—මතෙව් 24:5, 11; මාර්ක් 13:6
21. දෙවියන් වහන්සේගේ පිහිටුවන ලද රාජ්‍යය ගැන දේශනා කිරීම—මතෙව් 24:14; මාර්ක් 13:10
22. සැබෑ ක්‍රිස්තියානින්ට පීඩා—මතෙව් 24:9; ලූක් 21:12
23. අන්තිම දවස් උච්චාවස්ථාවකට ගෙන එමින් සාමය හා සුරක්ෂිත භාවයේ මොරගැසීම—1 තෙසලෝනික 5:3
24. අන්තරාය ගැන ජනයා කිසිදු සැලකිල්ලක් නොදැක්වීම—මතෙව් 24:39
[6වන පිටුවේ කොටුව]
පාරිසරික ගැටලු—කාලවල ලකුණකි
◻ උතුරු ගෝලාර්ධයේ බොහෝ සෙයින් ජනාවාස වූ අක්ෂයන්හි තිබෙන ආරක්ෂිත ඕසෝන් ස්ථරය, මීට වසර කිහිපයකට පෙර විද්‍යාඥයන් සිතුවාට වඩා දෙගුණයකින් සිහින් වෙමින් තිබේ.
◻ සෑම දිනක ම, අවම වශයෙ ශාක හා සත්ත්ව ප්රභේදයන් 140ක් අභාවයට පත්වෙති.
◻ තාපය අල්ලන කාබන්ඩයොක්සයිඩ් වායුවේ වායු ගෝලීය මට්ටම් දැන් කාර්මික යුගයට පෙර තිබුණාට වඩා සියයට 26කින් ඉහළින් තිබෙන අතර, ඒවා දිගට ම ඉහළ යමින් තිබේ.
◻ දහනව වැනි සියවසේ මැද භාගයේ සිට වාර්තා තැබීමට පටන් ගත් ඕනෑ ම වසරකට වඩා පොළොවේ පෘෂ්ඨය 1990 දී උණුසුම් විය; වාර්තා ගත වී ඇති උණුසුම් ම වසර හතෙන් හයක් ම 1980 පටන් වාර්තා වී ඇත.
◻ අවුරුද්දකට අක්කර 4,00,00,000ක පමණ අනුපාතයකින්, එනම් ෆින්ලන්තයේ ප්‍රමාණයෙන් භාගයක පමණ ප්‍රමාණයක, වනාන්තර විනාශ වෙමින් තිබේ.
◻ ලෝක ජනගහණය වාර්ෂික ව මිලියන 92කින් වැඩිවෙමින් තිබේ—මෙය දළ වශයෙන්, සෑම වසරක ම තවත් මැක්සිකෝවක් එකතු කරනවාට සමාන ය; මෙම එකතුවට, දියුණු වෙමින් පවතින රටවල, මිලියන 88ක් එකතු කෙරෙමින් තිබේ.
◻ බිලියන 1.2ක පමණ ජනයා හට පානය සඳහා ආරක්ෂිත ජලය නැත.
න යෝර්ක්, ලන්ඩන් හි ඩබ්. ඩබ්. නෝර්ටන් ඇන්ඩ් කම්පනි, වර්ල්ඩ්වොච් ඉන්ස්ටිටියුට් විසින් ප්‍රකාශිත “ස්ටේට් ඔෆ් ද වර්ල්ඩ් 1992” පොතේ පිටු 3, 4 අනුව.
[7වන පිටුවේ පින්තූරය]
විනාශයට පසු ව පැමිණෙන්නේ දෙවියන් වහන්සේගේ තේජාන්විත නව ලෝකයයි