“මහත් පීඩාවට” පෙර ආරක්ෂාව වෙත පලායෑම
“යම් කලක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහුද, . . . යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායත්වා.”—ලූක් 21:20, 21.
1. තවමත් ලෝකයේ කොටසක්ව සිටින අය සඳහා පලායෑම හදිසි කාරණයක් වන්නේ මන්ද?
සාතන්ගේ ලෝකයෙහි කොටසක්ව සිටින සියලුදෙනා සඳහා, පලායෑම හදිසි කාරණයකි. වත්මන් දේවල පිළිවෙළ මේ පොළොවෙන් අතුගා දමන විට, ඔවුන් ගළවනු ලැබීමට නම්, තමුන් ස්ථිරවම යෙහෝවඃවහන්සේගේ පැත්ත ගෙන ඇති බවටත්, සාතන් පාලනය කරන ලෝකයේ තවදුරටත් කොටසක් නොවන බවටත් ඔවුන් ඒත්තුගන්වන සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.—යාකොබ් 4:4; 1 යොහන් 2:17.
2, 3. අප සාකච්ඡා කිරීමට යන්නේ, මතෙව් 24:15-22හි වාර්තා වී ඇති යේසුස්වහන්සේගේ වචන හා සම්බන්ධ කවර ප්‍රශ්නද?
2 මේ දේවල පිළිවෙළේ සමාප්තිය පිළිබඳ සිය ශ්‍රේෂ්ඨ අනාවැකියෙහි, යේසුස්වහන්සේ එලෙස පලායෑමට තිබෙන හදිසි අවශ්‍යතාව අවධාරණය කළසේක. මතෙව් 24:4-14හි වාර්තා වී තිබෙන දේ අපි නිරතුරුවම සාකච්ඡා කරන්නෙමු; එහෙත් ඉන් අනතුරුව සිදු වන දේ වැදගත්කමින් කොහෙත්ම අඩු නැත. දැන් ඔබේ බයිබලය විවෘත කොට මතෙ 24:15 සිට 22වන පදය දක්වා කියවීමට අපි ඔබට දිරිගන්වමු.
3 එම අනාවැකියෙහි අර්ථය කුමක්ද? පළමු සියවසෙහි “පාළුකරන පිළිකුල” කුමක් වීද? එය “ශුද්ධස්ථානයෙහි” තිබීමෙන් ඇඟවූයේ කුමක්ද? එම සිදුවීම අපහට කොපමණ වැදගත්කමකින් යුක්තද?
“කියවන්නා තේරුම් ගනීවා”
4. (අ) දානියෙල් 9:27 පවසන පරිදි, යුදෙව්වන් මෙසියස්වහන්සේව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු කුමක් සිදු වනු ඇද්ද? (ආ) මෙයට යොමු දක්වද්දී, පෙනෙන ප්‍රකාරයට, යේසුස්වහන්සේ “කියවන්නා තේරුම් ගනීවා” යනුවෙන් පැවසුවේ මන්ද?
4 යේසුස්වහන්සේ මතෙව් 24:15හි, දානියෙල් පොතෙහි ලියා තිබුණු දෙයට යොමු දැක්වූ බව සැලකිල්ලට ගන්න. මෙසියස්වහන්සේගේ පැමිණීම ගැනත්, උන්වහන්සේව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් යුදෙව් ජාතිය පිට ඉටු කරනු ඇති විනිශ්චය ගැනත් පුරෝකථනය කළ අනාවැකියක් එම පොතෙහි දානි 9වන පරිච්ඡේදයෙහි තිබේ. විසිහත්වන පදයෙහි දෙවන කොටස මෙසේ පවසයි: “පාළුකරන්නෙක් පිළිකුල්වල මුදුන පිට එන්නේය.” පොදු යුගයට පෙර දෙවන සියවසේ IVවන ඇන්ටියෝකස් විසින් යෙරුසලමෙහි යෙහෝවඃවහන්සේගේ දේවමාළිගාව කෙලසනු ලැබූ අවස්ථාවට, මුල් යුදෙව් සම්ප්රදාය මගින් දානියෙල්ගේ අනාවැකියේ එම කොටස අදාළ කරන ලදි. එහෙත් යේසුස්වහන්සේ මෙසේ අවවාද කළසේක: “කියවන්නා තේරුම් ගනීවා.” සිව්වන ඇන්ටියෝකස් විසින් දේවමාළිගාව කෙලසනු ලැබීම සැබවින්ම පිළිකුල්සහගත යමක් වුවද, යෙරුසලම, දේවමාළිගාව හෝ යුදෙව් ජාතිය පාළු වී යෑමට හේතුවක් නොවීය. එනිසා පෙනෙන ප්‍රකාරයට මෙහි ඉටුවීම අතීතයේ නොව ඉදිරි අනාගතයෙහි බව යේසුස්වහන්සේ සිය ශ්‍රාවකයන්ට අනතුරු අඟවමින් සිටිසේක.
5. (අ) සුවිශේෂ වාර්තා සසඳා බැලීම, පළමු සියවසේ “පිළිකුල” හඳුනාගැනීමට අපට උපකාර කරන්නේ කෙසේද? (ආ) සෙස්ටියස් ගැලස් පො.යු. 66දී රෝම හමුදා යෙරුසලම වෙත වහා පිටත් කර යැවුවේ මන්ද?
5 ඔවුන්ට සෝදිසියෙන් බලා සිටීමට සිදු වනු ඇති “පිළිකුල” කුමක් වීද? මතෙව්ගේ වාර්තාව මෙසේ පැවසීම සැලකිල්ලට ගත යුත්තකි: “පාළුකරන පිළිකුල ශුද්ධස්ථානයෙහි තිබෙනවා නුඹලා යම් කලෙක දක්නහුද.” කෙසේවෙතත්, ලූක් 21:20හි සමාන්තර වාර්තාවෙහි මෙසේ කියවේ: “යම් කලක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහුද, එකල එහි විනාශය ආසන්න බව දැනගනිල්ලා.” පොදු යුගයේ 66දී, යෙරුසලමෙහි වාසය කරමින් සිටි ක්‍රිස්තියානීහු යේසුස්වහන්සේ පුරෝකථනය කර තිබූ දේ දුටූහ. යුදෙව් හා රෝම නිලධාරීන් අතර ඇති වූ ඝට්ටන හා සම්බන්ධ වූ සිදුවීම් වැලක් හේතුකොටගෙන, යෙරුසලම රෝමයට එරෙහිව කැරලි ගැසීමේ තෝතැන්නක් බවට පත් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, යුදය, සමාරිය, ගලීලය, දෙකපොලිස පුරාද උතුරු දෙසට සිරියාවේ පෙනීකියේද, දකුණු දෙසට මිසරයේද සාහසිකකම උද්ගත විය. රෝම අධිරාජ්‍යයෙහි එම කොටසට නැවත සාමය යම් දුරකට ගෙන දීම සඳහා සෙස්ටියස් ගැලස්, සිරියාවේ සිට, තම “ශුද්ධ නුවර” හැටියට යුදෙව්වන් විසින් හඳුන්වනු ලැබූ යෙරුසලම බලා යුද සේනා වහා පිටත් කර යැවීය.—නෙහෙමියා 11:1; යෙසායා 52:1.
6. පාළුවීමක් සිදු කළ හැකි ‘පිළිකුලක්’ ‘ශුද්ධස්ථානයක පිහිටා තිබෙනවා’ යන්න සැබෑවක් වූයේ කෙසේද?
6 රෝම පාබළ සේනාංක විසින් ධජ නොහොත් පතාක රැගෙන යනු ලැබීම චාරිත්‍රයක් වූ අතර, ඔවුන් ඒවා පරිශුද්ධ යමක් සේ සැලකුවද යුදෙව්වෝ ඒවා රූප නමස්කාරයට සම්බන්ධ ඒවා සේ සැලකූහ. දානියෙල් පොතෙහි ‘පිළිකුල’ හැටියට පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනය මූලිකව භාවිත කොට තිබෙන්නේ, රූප මෙන්ම රූප නමස්කාරය හා සම්බන්ධව බව සැලකිල්ලට ගත යුත්තකි.a (ද්විතීය කථාව 29:17) යුදෙව්වන් දැඩි ලෙස සටන් කළත්, තම ප්රතිමාපූජක පතාක සමඟ පැමිණි රෝම හමුදා, පො.යු. 66 නොවැම්බර් මස යෙරුසලමට ඇතුල් වී, උතුරු දෙසට පිහිටි දේවමාළිගා තාප්පය යටින් හාරන්ට පටන්ගත්තෝය. ඒ ගැන කිසිදු සැකයක් නොතිබිණ—යෙරුසලම කෙරෙහි සම්පූර්ණ විනාශයක් සිදු කළ හැකි ‘පිළිකුලක්’ ‘ශුද්ධස්ථානයක පිහිටා තිබිණ’! එහෙත් කිසිම කෙනෙකුට පලායෑමට හැකි වන්නේ කෙසේද?
පලායෑම හදිසි විය!
7. අනපේක්ෂිත ලෙස රෝම හමුදාව කළේ කුමක්ද?
7 මිනිස් දෘෂ්ටිකෝණයකින් බැලූ කල පෙනෙන ප්‍රකාරයට කිසිදු හේතුවක් නොමැතිව, යෙරුසලමට පහසුවෙන් ජයගත හැකි බව පෙනෙන්ට තිබූ අවස්ථාවක, හදිසියේම රෝම හමුදාව ඉවත්ව ගියේය. යුදෙව් කැරලිකාරයන් ඉවත් වෙමින් සිටි රෝම හමුදා ලුහුබැඳ ගියත්, ඔවුන් එසේ කළේ යෙරුසලමෙන් කිලෝමීටර් 50ක් පමණ දුරින් පිහිටි අන්තිපත්රිස දක්වා පමණි. අනතුරුව ඔවුහු ආපසු හැරී පැමිණියෝය. යෙරුසලමට පැමිණි විට, තම ඉදිරි යුද්ධෝපාය සැලසුම් කිරීමට ඔවුහු දේවමාළිගාවෙහි රැස්වූහ. බලකොටු ශක්තිමත් කිරීමටත් හමුදාවෙහි සේවය කිරීමටත් තරුණයන්ව බඳවා ගනු ලැබීය. ක්‍රිස්තියානීන් මීට සම්බන්ධ වනු ඇද්ද? ඔවුන් ඉන් වැළකී සිටියත්, රෝම හමුදා ආපසු පැමිණි විට, ඔවුන් තවමත් අන්තරාදායක ප්‍රදේශයක සිටිනු ඇද්ද?
8. යේසුස්වහන්සේගේ අනාවැකිමය වදන්වලට කීකරු වෙමින් ක්‍රිස්තියානීන් ගත් හදිසි ක්‍රියාමාර්ගය කුමක්ද?
8 යෙරුසලමේ හා මුළු යුදයෙහි ක්‍රිස්තියානීහු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් දෙන ලද අනාවැකිමය අවවාද අනුව ක්‍රියා කොට එම අන්තරාදායක ප්‍රදේශයෙන් පලා ගියහ. පලායෑම හදිසි කාරණයක් විය! කල් යත්ම, ඔවුන් කඳුකර ප්‍රදේශ බලා ගමන් කළ අතර, ඇතැම්විට සමහරදෙනෙකු පෙරිය ප්‍රදේශයේ පෙලාහි පදිංචි වන්ට ඇත. යේසුස්වහන්සේගේ අවවාදය හෘදයට ගත් අය, තම ද්‍රව්‍යමය වස්තු බේරාගැනීමට වෑයම් කරමින්, අඥාන ලෙස නැවත හැරී නොගියහ. (ලූක් 14:33, සසඳන්න.) එම තත්වයන් යටතේ ඉවත්ව ගිය ගර්භිණි ස්ත්රීන්ට හා කිරි දෙන මව්වරුන්ට මෙම පා ගමන දුෂ්කර එකක් වූ බව නිසැකය. ඔවුන්ගේ පලායෑම සබත් දවසේ සීමා මගින් බාධාවට පත් නොවූ අතර, සිසිර සමය ළං වී තිබුණත්, ඒ වන විටත් පැමිණ තිබුණේ නැත. විගස පලායෑමට වූ යේසුස්වහන්සේගේ අවවාදයට අවනත වූ අය වැඩි කල් යන්ට මත්තෙන් යෙරුසලමෙන් හා යුදයෙන් පිටත සිටියෝය. ඔවුන්ගේ ජීවිත මේ මත රඳා පැවතිණ.—යාකොබ් 3:17 NW, සසඳන්න.
9. රෝම හමුදා කෙතරම් විගස නැවත පැමිණියේද, තවද එහි ප්‍රතිඵලය කුමක් වීද?
9 ඊළඟ අවුරුද්දේදීම, පො.යු. 67දී රෝමවරු යුදෙව්වන්ට එරෙහිව යුද කටයුතු යළි ඇරඹූහ. පළමුව, ගලීලය යටත් කරගන්නා ලදි. ඊළඟ වසරේදී, යුදය විනාශ කරනු ලැබීය. පොදු යුගයේ 70 වන විට, රෝම හමුදා යෙරුසලම වට කළෝය. (ලූක් 19:43) සාගතය ඉතා දරුණු විය. නුවර තුළ කොටු වී සිටි අය එකිනෙකාට විරුද්ධව සටන් කළෝය. පලායෑමට වෑයම් කළ ඕනෑම කෙනෙකු ඝාතනය කරනු ලැබීය. යේසුස්වහන්සේ පවසා තිබූ පරිදි, ඔවුන් අද්දැක තිබුණේ “මහත් පීඩාවක්[ය].”—මතෙව් 24:21.
10. අපි තේරුම්ගැනීමෙන් යුතුව කියවන්නෙමු නම්, තවත් කුමන දෙයක් අපේ සැලකිල්ලට භාජන වේවිද?
10 යේසුස්වහන්සේ පුරෝකථනය කර තිබූ දේ එමගින් සම්පූර්ණයෙන්ම ඉටු වීද? නැත, තවත් සිදුවීම් තිබිණ. යේසුස්වහන්සේ උපදෙස් දුන් පරිදි, අප ශුද්ධ ලියවිලි විචාර බුද්ධියකින් යුතුව කියවනවා නම්, තවමත් ඉදිරියෙහි තිබෙන දේ සැලකිල්ලට ගැනීමට අපි අපොහොසත් නොවන්නෙමු. අපේම ජීවිත කෙරෙහි එහි බලපෑම ගැනද බැරෑරුම් ලෙස අපි කල්පනා කරන්නෙමු.
නවීන-දින “පිළිකුල”
11. දානියෙල් ‘පිළිකුලක්’ වෙත යොමු දක්වන්නේ වෙන කුමන වගන්ති දෙකේදීද, තවද එහිදී සාකච්ඡා කරනු ලබන කාලපරිච්ඡේදය කුමක්ද?
11 දානියෙල් 9:27හි අප දැක තිබෙන දෙයට අමතරව, දානියෙල් 11:31හි හා 12:11හි “පාළුකරන පිළිකුල” සම්බන්ධයෙන් සඳහන් කරන තවත් යොමු දැක්වීම් තිබෙන බව සැලකිල්ලට ගන්න. පසුව සඳහන් මෙම අවස්ථා දෙකේදීම යෙරුසලමේ විනාශය සාකච්ඡාවට භාජන කෙරෙන්නේ නැත. ඇත්තෙන්ම, දානියෙල් 12:11හි පවසනු ලබන දේ පැමිණෙන්නේ, “අන්තිම කාලය[ට]” යොමු දැක්වීමෙන් පද දෙකකට පසුවය. (දානියෙල් 12:9) වර්ෂ 1914 පටන් අපි එවන් කාලපරිච්ඡේදයක ජීවත් වෙමින් සිටින්නෙමු. එනිසා නවීන-දින “පාළුකරන පිළිකුල” හඳුන්වා දීමටත්, ඉන් අනතුරුව අන්තරාදායක ප්‍රදේශයෙන් ඉවත්වීමට වගබලා ගැනීමටත් අප පිබිද සිටිය යුතුය.
12, 13. ජාතීන්ගේ සංගමය නවීන-දින “පිළිකුල” ලෙස විස්තර කිරීම උචිත වන්නේ මන්ද?
12 එම නවීන-දින “පිළිකුල” කුමක්ද? එය ජාතීන්ගේ සංගමය බව සාක්ෂිවලින් පැහැදිලි වේ, ලෝකය එහි අන්තිම කාලය තුළට පිවිසීමෙන් වැඩි කල් යන්ට මත්තෙන් 1920දී මෙය ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය. එහෙත් එය “පාළුකරන පිළිකුල[ක්]” විය හැක්කේ කෙසේද?
13 බයිබලයෙහි “පිළිකුල” යන හෙබ්‍රෙව් වචනය මූලිකව භාවිත කරන්නේ රූපවලට හා රූප නමස්කාරික ක්‍රියාවලට යොමු දක්වන අවස්ථාවන්හිදී බව මතක තබාගන්න. ජාතීන්ගේ සංගමය රූපයක් සේ සලකනු ලැබීද? ඇත්තෙන්ම එසේ සිදු විය! පූජක පක්ෂය එය ‘ශුද්ධස්ථානයෙහි’ තැබූ අතර, ඔවුන්ගේ අනුගාමිකයෝ ඊට බලවත් හැඟීමෙන් යුත් භක්තියක් පිදීමෙහි නිරත වූහ. අමෙරිකාවේ තිබෙන ඒකාබද්ධ ක්‍රිස්තු සභා මණ්ඩලය ප්‍රකාශ කළේ ජාතීන්ගේ සංගමය “පොළොව මත දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ දේශපාලන ප්‍රකාශය” වනු ඇති බවය. ජාතීන්ගේ සංගමයේ ගිවිසුම ස්ථිර කරන මෙන් බලවත් ලෙස ඉල්ලා සිටිමින් ලිපි සම්භාරයක් එ.ජ. සෙනට් සබයට ආගමික කණ්ඩායම්වලින් ලැබිණ. බ්‍රිතාන්‍යයෙහි පිහිටි බැප්ටිස්ට්, කොන්ග්රිගේෂනලිස්ට් හා ප්‍රෙස්බිටේරියන් නිකායවලින් සමන්විත පොදු මණ්ඩලය එය පැසසුමට ලක් කළේ, “[මිහිපිට සාමය] අත් කර දීමට තිබෙන එකම මෙවලම” හැටියටය.—එළිදරව් 13:14, 15 බලන්න.
14, 15. ජාතීන්ගේ සංගමය හා ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ‘ශුද්ධස්ථානයක’ තිබුණේ කවර අන්දමකින්ද?
14 දෙවියන්වහන්සේගේ මෙසියානු රාජ්‍යය ස්වර්ගයෙහි ස්ථාපිත කොට තිබුණේ 1914දීය, එනමුත් තමුන්ගේම ස්වෛරීභාවය සඳහා සටන් කිරීමෙහි ජාතීහු නියැලුණෝය. (ගීතාවලිය 2:1-6) ජාතීන්ගේ සංගමය යෝජනා කරනු ලැබූ විට, පළමු ලෝක සංග්රාමයෙහි සටන් වැද සිටි ජාතීන් සහ එම හමුදාවන්ට ආශීර්වාද පැතූ පූජක පක්ෂය ඒ වන විටත් විදහාපෙන්වා තිබුණේ, තමුන් දෙවියන්වහන්සේගේ නීතිය අත්හැර දමා තිබූ බවය. රජාණන් හැටියට ඔවුහු ක්‍රිස්තුස්වහන්සේ දෙස බලමින් නොසිටියෝය. මෙසේ දෙවියන්වහන්සේගේ රාජ්‍යයට හිමි භූමිකාව ඔවුහු මිනිස් සංවිධානයකට පවරා දුන්හ; ඔවුහු ජාතීන්ගේ සංගමය එයට අයිතිවාසිකමක් නොතිබූ ස්ථානයක් වන ‘ශුද්ධස්ථානයක’ තැබූහ.
15 ජාතීන්ගේ සංගමයේ අනුප්‍රාප්තික වශයෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය 1945 ඔක්තෝබර් 24වන දින බිහි විය. ඉන්පසුව, රෝමයේ පාප්වරු, “සමගියේ හා සමාදානයේ අවසාන බලාපොරොත්තුව” මෙන්ම “සාමය සහ යුක්තිය සඳහා ප්‍රධානතම ක්‍රමෝපාය” වශයෙන් එක්සත් ජාතීන්ව පැසසුමට ලක් කළෝය. එසේය, ජාතීන්ගේ සංගමය, එහි අනුප්‍රාප්තික වන එක්සත් ජාතීන් සමඟ සැබවින්ම දෙවියන්වහන්සේ හා ස්වකීය සෙනඟ ඉදිරියෙහි රූපයක් එනම් ‘පිළිකුලක්’ බවට පත් වී තිබේ.
පලායන්නේ කුමකින්ද?
16. ධර්මිෂ්ඨකමට ප්‍රේමකරන්නන් අදදින කුමකින් ඉවතට පලා යා යුතුද?
16 මෙය ‘දකින’ කල, එනම් එම අන්තර්ජාතික සංවිධානය කුමක්ද යන වගත් එය පිළිමයක් සේ සලකනු ලබන අන්දමත් තේරුම්ගන්නා විට, ධර්මිෂ්ඨකමට ප්‍රේමකරන්නන් ආරක්ෂාව වෙත පලා යා යුතුය. කුමකින් පලා යා යුතුද? නොඇදහිලිකාර යෙරුසලමේ නවීන-දින ප්‍රතිරූපය වන ක්‍රිස්තියානි ලෝකයෙන්ද, බොරු ආගමේ ලෝක ව්‍යාප්ත පිළිවෙළ වන මහා බබිලෝනියෙන්ද පලා යා යුතුය.—එළිදරව් 18:4.
17, 18. නවීන-දින “පිළිකුල” සිදු කරනු ඇති පාළුවීම කුමක්ද?
17 පළමු සියවසේ රෝම හමුදාව එහි ප්රතිමාපූජක ධජ සමඟ පැමිණ යුදෙව්වන්ගේ ශුද්ධ නුවරට ඇතුල් වූ විට, එය පැමිණ සිටියේ යෙරුසලම හා එහි නමස්කාර පිළිවෙත පිටට පාළුවක් ගෙන ඒමට බව මතක තබාගන්න. අපේ කාලයේදී පාළුවීම එක නුවරක් පිට නැතහොත් ක්‍රිස්තියානි ලෝකය පිට පමණක් නොව, නමුත් බොරු ආගමේ මුළු මහත් ලෝක ව්‍යාප්ත පිළිවෙළ පිටටම පැමිණෙනවා ඇත.—එළිදරව් 18:5-8.
18 එක්සත් ජාතීන්ගේ සංවිධානය බවට ඔප්පු වී තිබෙන උපමේය රතු පැහැති වනමෘගයෙකු, වේශ්‍යාවක් බඳු මහ බබිලෝනියට විරුද්ධ වී ඇය සාහසික අන්දමකින් විනාශ කරන බව එළිදරව් 17:16හි පුරෝකථනය කර තිබේ. විචිත්‍ර භාෂාවක් භාවිත කරමින්, එහි මෙසේ පැවසේ: “නුඹ දුටු අං දසයද මෘගයාද වේශ්‍යාවට වෛරවී, ඈ පාළුද නග්නද කර, ඇගේ මාංස කා, ඈ සහමුලින් ගින්නෙන් දවන්නෝය.” මින් අදහස් කරනු ලබන දේ ගැන කල්පනා කිරීම ගරුබිය දනවන්නකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පොළොවේ සෑම තැනකම ඇති බොරු ආගම නිමාවට පත් වන්නේය. මහත් පීඩාව ඇරඹී තිබෙන බව මින් පැහැදිලිව දිස්වනු ඇත.
19. එක්සත් ජාතීන් බිහි වූ දා පටන්, ඊට අයත් වී තිබෙන පාර්ශ්වයන් කවරේද, තවද මෙය වැදගත් වන්නේ මන්ද?
19 වර්ෂ 1945දී එක්සත් ජාතීන් ක්‍රියාත්මක වීමට පටන්ගත් දා සිට, එහි සාමාජිකත්වය තුළ අදේවවාදී, ආගම් විරෝධී පාර්ශ්වයන් මතු වී තිබෙන බව සැලකිල්ලට ගැනීම වටී. ලොව පුරා විවිධ අවස්ථාවල, ආගමික පිළිවෙත් දැඩි ලෙස සීමා කිරීම හෝ සම්පූර්ණයෙන් තහනම් කිරීම පිටුපස ක්‍රියා කර තිබෙන්නේ එවන් විප්ලවවාදී මූලිකාංගයන්ය. කෙසේවෙතත්, මෑත වර්ෂ කිහිපය තුළ, බොහෝ ප්‍රදේශවල ආගමික කණ්ඩායම් කෙරෙහි ආණ්ඩුවලින් තිබූ පීඩනය ලිහිල් කර තිබේ. ආගමට එල්ල වී තිබෙන සෑම අන්තරායක්ම අතුරුදහන් වී ඇති බව ඇතැම් ජනයාට පෙනී යා හැක.
20. ලෝක ආගම් තමුන් වෙනුවෙන් ගොඩනඟා ඇත්තේ කවර ප්‍රසිද්ධියක්ද?
20 මහා බබිලෝනියේ ආගම් ලෝකයෙහි දරුණු භේද ඇති කරවන බලපෑම් සේ දිගටම කටයුතු කරත්. පුවත්පත් සිරස්තලවල, සටන් වදින පක්ෂ හා ත්‍රස්තවාදී කණ්ඩායම් නිතරම හඳුන්වා දෙනු ලබන්නේ ඔවුන් සම්බන්ධ වී සිටින ආගම නම් කිරීමෙනි. එදිරිවාදී ආගමික පක්ෂ අතර සාහසික ක්‍රියා නතර කිරීම සඳහා කැරලි කෝලාහල මර්දන පොලීසියට හා සොල්දාදුවන්ට බලෙන් දේවස්ථාන තුළට කඩා වැදීමට සිදු වී තිබේ. ආගමික මණ්ඩල දේශපාලන විප්ලවයන්ට මූල්‍යාධාර සපයා තිබේ. වාර්ගික කණ්ඩායම් අතර ස්ථාවර සබඳතා පවත්වාලීමට එක්සත් ජාතීන් දරන වෑයම් ආගමික බද්ධ වෛරය හේතුකොටගෙන නිෂ්ඵල වී තිබේ. සාමය හා සුරක්ෂිතභාවය නමැති ඉලක්කය ලුහුබඳිද්දී, තමුන්ට බාධා පමුණුවන ඕනෑම ආගමික බලපෑමක් ඉවත් කර දමනවා දැකීමට එක්සත් ජාතීන් තුළ සිටින ඇතැම් පාර්ශ්වයන් රුචියක් දක්වයි.
21. (අ) මහා බබිලෝනිය විනාශ කරනු ලබන අවස්ථාව තීරණය කරන්නේ කවරෙක්ද? (ආ) ඊට පෙර කුමක් කිරීම හදිසිතාවක්ව තිබේද?
21 සලකා බැලිය යුතු තවත් වැදගත් සාධකයක්ද තිබේ. මහා බබිලෝනිය විනාශ කිරීමට එක්සත් ජාතීන්ගෙන් නික්මෙන හමුදා බලෙන් සන්නද්ධ වී සිටින අං යොදාගනු ලැබුවත්, එම විනාශය ඇත්තටම දිව්‍යමය විනිශ්චයේ ප්‍රකාශයක් වනු ඇත. විනිශ්චය ඉටු කිරීම දෙවියන්වහන්සේගේ නියම කරන ලද කාලයේදී පැමිණෙනවා ඇත. (එළිදරව් 17:17) ඒ අතරතුර අප කුමක් කළ යුතුද? “ඇගෙන්,” එනම් මහා බබිලෝනියෙන් “ඉවත්ව වරෙල්ලා”—බයිබලයේ පිළිතුර එයයි.—එළිදරව් 18:4.
22, 23. එවන් පලායෑමකට ඇතුළත් වන්නේ කුමක්ද?
22 යෙරුසලම අත්හැර ගිය විට යුදෙව් ක්‍රිස්තියානීන් කළාක් මෙන්, ආරක්ෂාව වෙත පලායෑම ස්ථාන මාරු කිරීමක් නොවේ. එය වූ කලි, ක්‍රිස්තියානි ලෝකයේ ආගම්, එසේය, මහා බබිලෝනියේ ඕනෑම කොටසකින් ඉවත්ව පලායෑමක් වේ. බොරු ආගමික සංවිධානවලින් මුළුමනින්ම තමුන්ව වෙන් කරවාගැනීම පමණක් නොව, නමුත් ඒවායේ චාරිත්‍රවලින් හා ඒවා දිරි දෙන ස්වභාවයෙන්ද මුළුමනින්ම වෙන් විය යුතුය. එය වූ කලි, යෙහෝවඃවහන්සේගේ දිව්‍යාණ්ඩු සංවිධානය තුළ තිබෙන ආරක්ෂිත ස්ථානය වෙත පලායෑමකි.—එපීස 5:7-11.
23 පළමු ලෝක සංග්රාමයෙන් පසු, යෙහෝවඃවහන්සේගේ නවීන-දින අභිෂේක ලත් සේවකයන් විසින් මුල් වතාවට ජාතීන්ගේ සංගමය වූ නවීන-දින පිළිකුල හඳුන්වා දෙනු ලැබූ විට, සාක්ෂිකරුවන් ප්‍රතික්‍රියා කළේ කෙසේද? ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි සමඟ ඔවුන් එවිටමත් සිය සාමාජිකත්ව අත්හැර තිබිණ. එහෙත් කුරුසය භාවිතය හා නත්තල මෙන්ම වෙනත් මිථ්‍යාදෘෂ්ටික නිවාඩු පැවැත්වීම වැනි ක්‍රිස්තියානි ලෝකයේ ඇතැම් සිරිත් විරිත් හා වත් පිළිවෙත් තමුන් තවදුරටත් පිළිපදිමින් සිටින බව ඔවුහු ක්‍රමානුකූලව තේරුම්ගත්තෝය. මේ දේවල් සම්බන්ධයෙන් සත්‍යය ඉගෙනගත් විට, ඔවුහු යුහුසුලුව ක්‍රියා කළහ. යෙසායා 52:11හි උපදෙස ඔවුහු හෘදයට ගත්හ: “පිටවෙයල්ලා, පිටවෙයල්ලා, ඔතනින් පිටතට පලයල්ලා, කිසි අපවිත්‍ර දෙයකට අත නොගසා, ඈ තුළින් පිටතට පලයල්ලා; ස්වාමීන්වහන්සේගේ භාණ්ඩ දරන්නෙනි, පිරිසිදුව සිටපල්ලා.”
24. විශේෂයෙන්ම 1935 පටන්, පලායෑමට එක්වී තිබෙන්නේ කවුරුන්ද?
24 විශේෂයෙන්ම 1935 පටන්, පාරාදීස පොළොවක සදාකල් ජීවත්වීමේ අපේක්ෂාව වැලඳගත් ජනකායක් වන වැඩි වෙමින් පැවති වෙනත් පිරිසක්, ඒ හා සමාන ක්‍රියාමාර්ගයක් ගැනීමට පටන්ගත්හ. ඔවුන්ද ‘ශුද්ධස්ථානයෙහි තිබෙන පිළිකුල දැක ඇති’ අතර, ඔවුහු එහි තේරුම වටහාගනිති. පලායෑමට තීරණයක් ගැනීමෙන් පසු, මහා බබිලෝනියේ කොටසක් වන සංවිධානවල සාමාජිකත්ව ලැයිස්තුවලින් ඔවුන් සිය නම් ඉවත් කරගෙන ඇත.—2 කොරින්ති 6:14-17.
25. පුද්ගලයෙකුට බොරු ආගම සමඟ තිබුණා විය හැකි ඕනෑම සම්බන්ධයක් අත්හැරීමට අමතරව අවශ්‍ය වන්නේ කුමක්ද?
25 කෙසේවෙතත්, මහා බබිලෝනියෙන් ඉවත්වීමට නම්, බොරු ආගම අත්හැරීමට වඩා වැඩි යමක් ඇතුළත් වේ. රාජ්‍ය ශාලාවක රැස්වීම් කිහිපයකට යෑම හෝ මාසයකට වරක් හෝ දෙවරක් ක්ෂේත්‍ර සේවයේ ශුභාරංචිය දේශනා කිරීමෙහි නිරතවීමට වඩා වැඩි දෙයක් එයට සම්බන්ධය. පුද්ගලයෙකු ශරීරාකාරව මහා බබිලෝනියෙන් ඉවත් වී සිටින්ට පුළුවන, නමුත් ඔහු එය සැබවින්ම අත්හැර තිබේද? මහා බබිලෝනිය ප්රමුඛ කොටසක් වන ලෝකයෙන් ඔහු ඉවත් වී ඇද්ද? එහි ස්වභාවය එනම් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ ප්‍රමිති නොසලකා හරින ස්වභාවය පිළිබිඹු කරන දේවලට ඔහු තවමත් ඇලී සිටීද? ඔහු ලිංගික සදාචාරය හා විවාහය තුළ විශ්වාසවන්තකම සුළු කොට සලකන්නේද? ආත්මික කාරණාවලට වඩා ඔහු පෞද්ගලික හා ද්‍රව්‍යමය කාරණා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවාද? මේ දේවල පිළිවෙළට අනුව සකස් වීමට එරෙහිව ඔහු කටයුතු කළ යුතුය.—මතෙව් 6:24; 1 පේතෘස් 4:3, 4.
ඔබේ පලායෑමට බාධා කිරීමට කිසිවකට ඉඩ නොදෙන්න!
26. පලායෑම පටන්ගැනීමට පමණක් නොව, නමුත් එය සාර්ථකව නිම කිරීමට අපට කුමක් උපකාරවත් වේවිද?
26 ආරක්ෂාව වෙත අපේ පලායෑමේදී, අත්හැර ගිය දේවල් දෙස ආශාවෙන් බලා නොසිටීම අත්‍යවශ්‍යය. (ලූක් 9:62) දෙවියන්වහන්සේගේ රාජ්‍යය හා උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම කෙරෙහි අප අපේ මනස් හා හෘදයන් ස්ථිරව යොමු කොට තැබීම අවශ්‍යය. මේ දේවල් පළමු කොට සෙවීමේ විශ්වාසවන්ත ක්‍රියාමාර්ගයකට යෙහෝවඃවහන්සේ ආශීර්වාද කරන බවට නිසැකකමින් යුතුව එසේ කිරීමෙන්, අපේ ඇදහිල්ල විදහාපෙන්වීමට අපි අදිටන් කරගෙන සිටින්නෙමුද? (මතෙව් 6:31-33) වැදගත් සිද්ධීන් ලෝක දර්ශනයේ දිස්වන තෙක් අප අපේක්ෂාවෙන් බලා සිටින අතරතුර, එම අරමුණ කරා අපව පෙලඹවීමට ශුද්ධ ලියවිල්ල මත පදනම් අපේ විශ්වාසයන් සමත් විය යුතුය.
27. මෙහිදී අසනු ලබන ප්‍රශ්න ගැන බැරෑරුම් ලෙස කල්පනා කිරීම වැදගත් වන්නේ මන්ද?
27 දිව්‍ය විනිශ්චයේ ක්‍රියාකාරිත්වය ඇරඹෙන්නේ මහා බබිලෝනියේ විනාශයත් සමඟය. වේශ්‍යාවක් බඳු බොරු ආගමේ අධිරාජ්‍යය සදහටම තුරන් කරනු ලබනවා ඇත. එම කාලය ඉතා ළඟය! ඒ බාරදූර කාලය පැමිණෙන විට, පුද්ගලයන් වශයෙන් අපේ ස්ථාවරය කෙබඳු එකක් වනු ඇද්ද? තවද මහත් පීඩාවේ උච්චාවස්ථාවේදී, සාතන්ගේ දුෂ්ට පිළිවෙළේ ඉතිරි කොටස් විනාශ කරනු ලබන විට, අප කාගේ පැත්තේ සිටින බව හෙළි වේවිද? අපි දැන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නෙමු නම්, අපට ආරක්ෂාව ලැබෙන බව ස්ථිරය. යෙහෝවඃවහන්සේ අපට මෙසේ පවසනසේක: “මට ඇහුම්කන්දෙන තැනැත්තේ සුවසේ වාසය[කරන්නේය].” (හිතෝපදේශ 1:33) මෙම පිළිවෙළේ සමාප්තිය අතරතුරේදී යෙහෝවඃවහන්සේට පක්ෂපාතව හා ප්‍රීතිමත්ව දිගටම සේවය කිරීම තුළින්, යෙහෝවඃවහන්සේට සදාකල් සේවය කිරීමට සුදුසුකම් ලැබීමට අපට හැක.
[පාදසටහන]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්‍රකාශිත ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්, 1 වෙළුම, 634-5 පිටු බලන්න.
ඔබට මතකද?
◻ නවීන-දින “පිළිකුල” කුමක්ද?
◻ “පිළිකුල” ‘ශුද්ධස්ථානයක පිහිටා තිබෙන්නේ’ කවර අර්ථයකින්ද?
◻ ආරක්ෂාව වෙත පලායෑමට දැන් ඇතුළත් වන්නේ කුමක්ද?
◻ එවන් ක්‍රියාමාර්ගයක් හදිසි වන්නේ මන්ද?
[16වන පිටුවේ පින්තූරය]
බේරී ජීවත්වීම සඳහා, යේසුස්වහන්සේගේ අනුගාමිකයන්ට අප්‍රමාදව පලායෑමට සිදු විය