“සෑම දෙයකටම නියමිත කාලයක් ඇත”
“සෑම දෙයකටම නියමිත කාලයක් ඇත. අහස යට සිදු වන සෑම කාරණයකටම පවා කාලයක් ඇත.”—දේශනාකාරයා 3:1, NW.
1. අසම්පූර්ණ මනුෂ්‍යයන්ට ඇත්තේ මොන අසීරුතාවද? තවද ඇතැම් අවස්ථාවලදී මෙය කුමකට මඟ පාදා තිබෙනවාද?
“අපරාදේ, මට ඒක කලින් කරන්න තිබ්බනේ.” බොහෝදෙනෙක් එහෙම කියනවා. එහෙම නැත්නම්, “මට හදිස්සි වෙන්නෙ නැතුව ඉන්න තිබ්බනේ” කියමින් ඔවුන් පසුතැවෙනවා. ඇතැම් දේවල් කළ යුතු නියමිත වේලාව තීරණය කිරීම අසම්පූර්ණ මනුෂ්‍යයන්ට අසීරු කාර්යයක් බව මෙවැනි ප්‍රතිචාරවලින් අපට පෙනී යනවා. මෙම දුර්වලතාව හේතුකොටගෙන මානව සබඳතා බිඳ වැටී තිබෙනවා. ඇතමුන්ගේ බලාපොරොත්තු සුන් වී ගොස් ඔවුන් අසරණ වී තිබෙනවා. කෙසේවෙතත්, වඩාත්ම බරපතළ දේ වන්නේ, එහි ප්‍රතිඵලයක් වශයෙන් යෙහෝවා සහ ඔහුගේ සංවිධානය කෙරෙහි පුද්ගලයන්ගේ ඇදහිල්ල දුර්වල වීමයි.
2, 3. නියමිත කාලයන් සම්බන්ධයෙන් යෙහෝවා තීරණය කරන දේ පිළිගැනීම ප්‍රඥාවන්ත ක්‍රියාමාර්ගයක් වන්නේ මන්ද? (ආ) බයිබල් අනාවැකි ඉටුවීම සම්බන්ධයෙන් අපට තිබිය යුත්තේ කුමන සමබර දෘෂ්ටියද?
2 මනුෂ්‍යයන්ට නොමැති ප්‍රඥාවක් සහ තීක්ෂ්ණ බුද්ධියක් යෙහෝවාට තිබෙන නිසා, හැම ක්‍රියාවකම අවසාන ප්‍රතිඵලය අවශ්‍ය නම් කලින් වුණත් දැනසිටීමේ හැකියාව ඔහු සතුයි. “අන්තිමය මුල පටන්” දැනගන්න ඔහුට පුළුවන්. (යෙසායා 46:10) එමනිසා, තමාට කරන්න අවශ්‍ය ඕනෑම දෙයක් කළ යුතු වඩාත්ම උචිත වේලාව හරියටම තීරණය කරන්න ඔහුට පුළුවන්. එබැවින්, දේවල් කවදා සිදු වෙයිද යන්න පිළිබඳ අපගේ දොස් සහිත මතයන් මත රඳා සිටිනවාට වඩා, නියමිත කාලවල් යෙහෝවා විසින් තීරණය කරන ආකාරය පිළිගැනීම නුවණට හුරුයි.
3 නිදසුනක් ලෙස, ඇතැම් බයිබල් අනාවැකිවල ඉටුවීම සම්බන්ධයෙන් මේරූ ක්‍රිස්තියානීන් පක්ෂපාතීව යෙහෝවාගේ නියමිත කාලය පැමිණෙන තෙක් බලා සිටිනවා. ඔවුන් දෙවිගේ සේවයෙහි කඩිසරව යෙදී සිටින අතර, විලාප ගී 3:26හි ඇති මෙම ප්‍රතිපත්තිය පැහැදිලිව මනසෙහි තබාගන්නවා: ‘යෙහෝවාගෙන් වන ගැළවීම නිශ්චලව බලා සිටීම මනුෂ්‍යයෙකුට හොඳය.’ (හබක්කුක් 3:16 සසඳන්න.) ඒත් සමඟම, යෙහෝවාගේ ප්‍රකාශිත විනිශ්චය දවස “ප්‍රමාදවෙතත් . . . එය පසු නොබැස පැමිණෙන” බව ඔවුන්ට ස්ථිරයි.—හබක්කුක් 2:3.
4. යෙහෝවා කෙරෙහි ඉවසිලිවන්තව බලා සිටින්න ආමොස් 3:7 සහ මතෙව් 24:45 අපට උපකාරවත් විය යුත්තේ කෙසේද?
4 අනික් අතට, ඇතැම් බයිබල් පද හෝ වොච් ටවර් ප්රකාශනවල සපයා ඇති ඇතැම් පැහැදිලි කිරීම් තේරුම්ගැනීමට අප අපොහොසත් වෙනවා නම්, නොඉවසිලිවන්ත වීමට අපට හේතුවක් තිබෙනවාද? යම් කාරණා පැහැදිලි කර දීමට යෙහෝවාගේ නියමිත කාලය පැමිණෙන තෙක් බලා සිටීම ප්‍රඥාවන්ත ක්‍රියාමාර්ගයයි. “පරමාධිපති ස්වාමි වූ යෙහෝවා තමා සතු රහසිගත කාරණය තම සේවකයන් වූ අනාගතවක්තෲන්ට එළිදරව් නොකර කිසිවක් නොකරන්නේය.” (ආමොස් 3:7, NW) මොනතරම් මවිතකර පොරොන්දුවක්ද! එනමුත්, යෙහෝවා තමාගේ රහසිගත කාරණා එළිදරව් කරන්නේ තමාට යෝග්‍යයයි සැලකෙන කාලයක යන්න අප වටහාගත යුතුයි. ඒ අරමුණ පෙරදැරි කරගෙන, දෙවි “විශ්වාසවූ නුවණ ඇති දාසයා” පත් කර තිබෙන්නේ තම සෙනඟට ‘නියම වේලාවට [ආත්මික] කෑම දීමටයි.’ (මතෙව් 24:45, ඇල අකුරු අපේය.) එමනිසා, ඇතැම් කාරණා සම්පූර්ණයෙන්ම පැහැදිලි නොකරන විට, ඕනෑවට වඩා චංචල වීමට හෝ කලබල වීමට කිසිම හේතුවක් අපට නැහැ. ඒ වෙනුවට, අප යෙහෝවා කෙරෙහි ඉවසිලිවන්තව බලා සිටිනවා නම්, “නියම වේලාවට” අවශ්‍ය වන දේ විශ්වාසවන්ත දාසයා තුළින් ඔහු සපයයි කියා අපට නිසැක විය හැකියි.
5. දේශනාකාරයා 3:1-8 සලකා බැලීමෙන් අපට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද?
5 ප්‍රඥාවන්ත සාලමොන් රජ “නියමිත කාලයක්” තිබෙන දේවල් 28ක් ගැන කතා කළා. (දේශනාකාරයා 3:1-8) සාලමොන් පැවසූ දෙයෙහි තේරුම සහ එය බලපාන අන්දම තේරුම්ගැනීම, දෙවිගේ දෘෂ්ටියට අනුව ඇතැම් ක්‍රියාවන්වල සුදුසු කාලය සහ නුසුදුසු කාලය තීරණය කිරීමට අපට මහෝපකාරි වෙයි. (හෙබ්‍රෙව් 5:14) එහි ප්‍රතිඵලයක් වශයෙන්, අපගේ ජීවිතය ඊට සරිලන ආකාරයෙන් සකස් කරගැනීමට අපට පුළුවන්කමක් ලැබෙනවා.
“අඬන්ට කාලයක් සහ සිනාසෙන්ට කාලයක්”
6, 7. (අ) අදදින සැලකිලිමත් පුද්ගලයන් ‘අඬන්නේ’ මොන හේතු නිසාද? (ආ) ලෝකය වෙළී සිටින බරපතළ තත්වයෙන් ගොඩ ඒමට කුමන උපක්‍රම යොදාගන්නවාද?
6 “අඬන්ට කාලයක් සහ සිනාසෙන්ට කාලයක්” තිබුණත්, අඬනවාට වඩා සිනාසීමට වැඩි මනාපයක් නොදක්වන්නේ කවුද? (දේශනාකාරයා 3:4) අද අප ජීවත් වන්නේ ඇඬීමට හේතු රැසක් තිබෙන ලෝකයක වීම කනගාටුවට කරුණක්. ජන මාධ්‍යයෙහි වැඩියෙන්ම දක්නට තිබෙන්නේ දුක්ඛදායක ප්රවෘත්ති. තරුණයන් පිරිසක් සෙසු පාසැල් ශිෂ්‍යයන්ට වෙඩි තබා මරා දමයි. දෙමාපියන් තමන්ගේම දරුවන්ට අඩන්තේට්ටම් කරයි. අහිංසක ජනතාව ත්‍රස්තවාදී ප්‍රහාරවලට ගොදුරු වී මියයයි නැත්නම් අබ්බගාතයන් වෙයි. ස්වාභාවික ආපදා නිසා මිනිස් ජීවිත බිලිගනිමින් දේපොළ හානියට ලක් වේ. මෙවැනි පුවත් ආරංචි වෙද්දී අප මොනතරම් කම්පා වෙනවාද! රූපවාහිනී තිරයේ නිතරම පාහේ අපේ නෙත ගැටෙන්නේ ඇස් ගිලුණු, කුස නෙරා ආ හාමතින් පෙළෙන අහිංසක දරු පැටවුන්ගේ සහ සීසිකඩ විසිරී යන සරණාගතයන්ගේ දර්ශනයි. මීට කලින් අපට එතරම් හුරු නොවූ වාර්ගික ශුද්ධීකරණය, ඒඩ්ස්, ජීවාණු සංග්‍රාමය සහ එල් නීනෝ වැනි යෙදුම් දැන් අපගේ මනස් සහ හදවත් තුළ යම්කිසි කම්පාවක් ජනිත කිරීමට කෙසේ හෝ සමත් වෙනවා.
7 වත්මන් ලොව විපත් සහ දැඩි ශෝකයෙන් වෙළී ඇති බවට කිසිදු සැකයක් නැහැ. කොහොම වුණත්, වත්මන් තත්වයේ බැරෑරුම්කම සැහැල්ලු කරවීමට විනෝදජනක මාධ්‍යයන් බාල, නීචකර බොහෝවිට දුරාචාරමය සහ සාහසික දේවල් අප හමුවට තබන්නේ, වෙනත් අය විඳින දුක් ගැහැට අප විසින් නොසලකා හැරීම සඳහා කූට උපක්‍රමයක් වශයෙනුයි. කෙසේවෙතත්, එවන් විනෝදජනක මාධ්‍යයන් තුළින් දිරිගැන්වෙන සැහැල්ලු, මෝඩ විහිළු තහළු මෙන්ම වැදගැම්මකට නැති නොසැලකිලිමත් ස්වභාවය සැබෑ ප්‍රීතිය සමඟ පටලවා නොගත යුතුයි. දෙවිගේ ශුද්ධාත්මයේ ඵලයක් වන ප්‍රීතිය සාතන්ගේ ලෝකයට කොහොමටවත් සපයන්න බැරි දෙයක්.—ගලාති 5:22, 23; එපීස 5:3, 4.
8. ක්‍රිස්තියානීන් අදදින මුල් තැන දිය යුත්තේ ඇඬීමටද, සිනාසීමටද? පැහැදිලි කරන්න.
8 ලෝකය සෑහෙන්න පිරිහී ඇති බව අපට තේරෙන නිසා, මේ සිනාසීමට මුල් තැනක් දිය යුතු කාලයක් නොවන බව අපට පහසුවෙන්ම අවබෝධ කරගන්න පුළුවන්. මෙය විනෝදාංශ සහ විනෝදය පසුපස හඹා යෑමට කාලයවත්, ආත්මික කාරණා අබිබවා “විනෝද වීමට” යොමු වන්න කාලයවත් නොවෙයි. (දේශනාකාරයා 7:2-4 සසඳන්න.) ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවා: “මේ ලෝකය භුක්ති විඳින්නෝ අධිකලෙස භුක්ති නොවිඳින්නන් මෙන්ද සිටිය” යුතුයි. ඇයි? “මක්නිසාද මේ ලෝකයේ අන්දම පහවෙවී යන්නේය.” (1 කොරින්ති 7:31) සැබෑ ක්‍රිස්තියානීන් ජීවිතයේ සෑම දවසක්ම ගත කරන්නේ අප ජීවත් වන කාලවල බැරෑරුම්කම මනා ලෙස තේරුම්ගෙනයි.—පිලිප්පි 4:8.
වැලපුණත් සැබෑ සන්තෝෂයෙන්!
9. ජලගැල්මට කලින් පැවතුණේ කිනම් කනගාටුදායක තත්වයක්ද? එමෙන්ම මෙය අදදින අපට බලපාන්නේ කෙසේද?
9 සමස්ත ලෝක ජලගැල්ම පැවති කාලයේදී විසූ ජනයා ජීවිතය දෙස බැරෑරුම්ව බැලුවේ නැහැ. ඔවුන් සිය දෛනික දින චර්යාවෙහි යෙදී සිටි අතර, “මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත්” සේ පැතිරීම සම්බන්ධයෙන් වැලපීමට අපොහොසත් වුණා. “පොළොව බලාත්කාරයෙන් පිරී” තිබුණත්, ඔවුන් එය කිසිම ගණනකට ගත්තේ නැහැ. (උත්පත්ති 6:5, 11) ඇත්තවශයෙන්ම කනගාටුදායක වූ එම තත්වයට යොමු දැක්වූ යේසුස්, අපගේ කාලයේ වෙසෙන ජනයා තුළ ඒ හා සමාන ආකල්පයක් තියෙන්න යන බව පුරෝකථනය කළා. ඔහු මෙසේ අනතුරු ඇඟෙව්වා: “ජලගැලීමට පළමු දවස්වලදී, නෝවා නැවට ඇතුල්වූ දවස දක්වා, ඔව්හු කමින් බොමින්, සරණපාවාගනිමින්, සරණපාවාදෙමින් සිටියෝය. ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔව්හු නොදැන [කිසිවක් ගණනකට නොගෙන, NW] සිටියෝය; මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය.”—මතෙව් 24:38, 39.
10. හග්ගයිගේ කාලයේ විසූ ඉශ්‍රායෙලිතයන් යෙහෝවාගේ නියමිත කාලය සඳහා අගයේ ඌනතාවක් පෙන්වූයේ කෙසේද?
10 ජලගැල්මෙන් වසර 1,850කට පමණ පසු, හග්ගයිගේ කාලයේ සිටි ඉශ්රායෙල්වරුන් බොහෝදෙනෙක් ආත්මික කාරණාවලට ඒ හා සමාන උදාසීනකමක් දැක්වූවා. යෙහෝවාගේ කාරණාවලට මුල් තැන දීමේ කාලයක තමන් සිටි බව ඔවුන් තේරුම්ගැනීමට අසමත් වූ අතර, ඔවුන් තම පෞද්ගලික කාරණා පසුපස හඹා ගියා. අපට මෙසේ කියවීමට තිබෙනවා: “[යෙහෝවාගේ] ගෘහය ගොඩනගන්ට නිසි කාලය පැමුණුණේ නැතැයි මේ සෙනග කියති. . . . එකල [යෙහෝවාගේ] වචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන පැමිණ කියනුයේ: මේ ගෘහය පාළුව තිබෙද්දීම ඇතුළත ලෑලිවලින් වසා තිබෙන නුඹලාගේ ගෙවල්වල වාසයකිරීමට නුඹලාට මෙය නිසි කාලයද? එබැවින් සේනාවල [යෙහෝවා] මෙසේ [කියන්නේය]: නුඹලාගේ මාර්ග සිතට ගන්න.”—හග්ගයි 1:1-5.
11. අපෙන්ම මොන වගේ ප්‍රශ්න ඇසීම යෝග්‍ය විය හැකිද?
11 හග්ගයිගේ කාලයේ විසූ ඉශ්‍රායෙලිතයන් මෙන්, යෙහෝවා ඉදිරියෙහි වගකීම් මෙන්ම වරප්‍රසාද දරන වත්මන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් වශයෙන්, බැරෑරුම් ආකල්පයකින් අපගේ මාර්ග සිතට ගැනීම නුවණට හුරු දෙයක්. ලෝකයේ තිබෙන තත්වය සහ ඒ හේතුවෙන් දෙවිගේ නාමයට සිදු වන කැළල ගැන අපි ‘අඬනවාද?’ ජනයා දෙවිගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරද්දී, ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට හිතුවක්කාර ලෙස පිටුපාද්දී අපට වේදනාවක් දැනෙනවාද? අවුරුදු 2,500කට පෙර එසකියෙල් දර්ශනයකින් දුටු ලකුණ ලැබූ පුද්ගලයන්ට සමානව අප ප්‍රතික්‍රියා කරනවාද? ඔවුන් ගැන අපට මෙසේ කියවීමට තිබෙනවා: “[යෙහෝවා තීන්ත කූඩුවක් ඇතුව සිටි මනුෂ්‍යයාට] කථාකොට: නුවර මුළුල්ලෙහි, එනම් යෙරුසලම මුළුල්ලෙහි ගොස්, ඒ තුළ කෙරෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලා කෙඳිරිගාන මනුෂ්‍යයන්ගේ නළල්වල ලකුණක් කරන්නැයි [කීවේය].”—එසකියෙල් 9:4.
12. අදදින සිටින මනුෂ්‍යයන්ට එසකියෙල් 9:5, 6හි සඳහන් දේ වැදගත් වන්නේ කෙසේද?
12 අදදින අපට මෙම වාර්තාවේ තිබෙන වැදගත්කම පැහැදිලි වන්නේ මරණායුධ ඇති මනුෂ්‍යයන් හයදෙනාට දුන් මෙම නියෝග කියවීමෙන් පසුවයි: “නුඹලා නුවර තුළට ඔහු පස්සේ ගොස් පහරදෙන්න. නුඹලාගේ ඇස් දයා නොකෙරේවා, නුඹලා කරුණා නොකරන්න. මාගේ ශුද්ධස්ථානයෙන් පටන් ගෙන මහල්ලන්ද යෞවනයන්ද කන්‍යාවන්ද බාලයන්ද ස්ත්‍රීන්ද මරා නාස්තිකර දමන්න. නුමුත් ලකුණ ඇති කිසිවෙකුට ළං නොවෙන්න.” (එසකියෙල් 9:5, 6) වේගයෙන් අප හමුවට ඇදී එන එම මහත් පීඩාවෙන් අප බේරී ජීවත් වන්න යන්නේ මූලික වශයෙන් මේ හැඬීමට කාලයක් බව අප විසින් තේරුම්ගත්තොත් පමණයි.
13, 14. (අ) යේසුස් සන්තෝෂයි කියා හැඳින්වූයේ මොන වගේ පුද්ගලයන්වද? (ආ) මේ විස්තරය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට හොඳින් ගැළපෙනවා කියා ඔබ සිතීමට හේතු පැහැදිලි කරන්න.
13 හැබැයි, යෙහෝවාගේ සේවකයන් ලෝකයේ පවතින දුක්ඛදායක තත්වය නිසා ‘ඇඬුවද,’ මෙය ඔවුන්ගේ සන්තෝෂයට බාධාවක් වෙන්නේ නැහැ. ඇත්තෙන්ම මිහිපිට සිටින ප්‍රීතිමත්ම සෙනඟ ඔවුනුයි. සන්තෝෂයට යතුර කුමක්දැයි යේසුස් මෙසේ පවසමින් අවධාරණය කළා: “තම ආත්මික අවශ්‍යතාව ගැන සාවධානව සිටින්නෝ . . . ශෝකවන්නෝ . . . මොළොක් ගුණ ඇත්තෝ . . . ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ . . . දයාවන්තයෝ . . . හෘදයෙන් නිර්මලව සිටින්නෝ . . . සමාදානයකරන්නෝ . . . ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද තැනැත්තෝ සන්තෝෂවත්ය.” (මතෙව් 5:3-10, NW) වෙනත් කිසිදු ආගමික සංවිධානයකට වඩා මෙම විස්තරය සමූහයක් හැටියට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ගැළපෙන බවට තිබෙන සාක්ෂිවල අඩුවක් නැති තරම්ය.
14 වර්ෂ 1919දී සැබෑ නමස්කාරයේ යළි පිහිටුවීමේ සිට, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ‘සිනාසීමට’ විශේෂ හේතු තිබෙනවා. ආත්මික දෘෂ්ටියකින් ගත් කල, පො.යු.පෙ. හයවන සියවසේ බබිලෝනියෙන් ආපසු පැමිණි අයගේ ප්‍රබෝධවත් කරවන අද්දැකීම ඔවුන්ද ලැබුවා. “[යෙහෝවා] සියොන් කෙරෙන් වාලට ගෙනයනලද්දවුන් ආපසු ගෙනා කල, අපි හීනයක් දුටුවන් මෙන් වීමුව. එකල අපේ කට සිනාවෙන්ද අපේ දිව ගායනාවෙන්ද පිරුණේය. . . . [යෙහෝවා] අප උදෙසා මහත් දේ [කළේය]; එබැවින් අපි සන්තෝෂවෙමු.” (ගීතාවලිය 126:1-3) කෙසේවෙතත්, ආත්මිකව සිනාසෙමින් සිටියද, ජීවත් වන කාලයේ බැරෑරුම්කම යෙහෝවාගේ සාක්ෂිකරුවන් නුවණැතිව මනසෙහි තබාගන්නවා. නව ලොව යථාර්ථයක් වී පෘථිවියේ වැසියන් ‘සැබෑ ජීවනය තදින් අල්ලාගත්’ පසු, සිනාසීම, සදහටම ඇඬීමේ තැන ගන්නා කාලය එළඹ තිබේවී කියා කිව හැකියි.—1 තිමෝති 6:19, NW; එළිදරව් 21:3, 4.
“වැලඳගන්ට කාලයක් සහ වැලඳගැනීමෙන් වලකින්ට කාලයක්”
15. මිතුරන් තේරීමේදී ක්‍රිස්තියානීන් තෝරා බේරා කටයුතු කරන්නේ මන්ද?
15 ක්‍රිස්තියානීන් මිත්‍රත්වයේ නාමයෙන් වැලඳගන්නා අය සම්බන්ධයෙන් තෝරා බේරා කටයුතු කරනවා. “නොරැවටෙන්න. නපුරු සමාගමෙන් හොඳ චරිත නරක්වන්නේය” කියන පාවුල්ගේ අවවාදය ඔවුන් මනසෙහි තබාගන්නවා. (1 කොරින්ති 15:33) ප්‍රඥාවන්ත සාලමොන් රජද මෙසේ පැවසුවා: “ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.”—හිතෝපදේශ 13:20.
16, 17. යෙහෝවාගේ සාක්ෂිකරුවන්, මිත්‍රකම්, ප්‍රේම සම්බන්ධයන් සහ විවාහය සලකන්නේ කෙසේද? ඒ මන්ද?
16 යෙහෝවාගේ සේවකයන් තම මිත්‍රයන් හැටියට තෝරාගන්නේ යෙහෝවා සහ ඔහුගේ ධර්මිෂ්ඨකම කෙරෙහි ඔවුන් සතු ප්‍රේමයට සමාන ප්‍රේමයක් ඇති අයවයි. ඔවුන් තම මිතුරන්ගෙන් ලබන ආශ්‍රය අගය කරමින් එය භුක්ති වින්දත්, ප්‍රේම සම්බන්ධයන් පිළිබඳව අදදින ඇතැම් රටවල පවතින සීමා නැති ඕනෑවට වඩා ලිහිල් ප්‍රතිපත්තියෙන් ඔවුන් නැණවත්ව වැළකී සිටිනවා. එවැනි සම්බන්ධයක් හානියක් සිදු නොවන විනෝදයක් කියා සලකා එහි යෙදී සිටිනවා වෙනුවට ඔවුන් එය සලකන්නේ විවාහය වෙතට යොමු කරවන බැරෑරුම් පියවරක් හැටියටයි. එනම්, යමෙක් ස්ථිර සම්බන්ධයකට එළඹෙන්න ශාරීරික, මානසික සහ ආත්මික සූදානමකින් මෙන්ම ශුද්ධ ලියවිල්ලට එකඟව නිදහසකින් සිටින විට ගත යුතු පියවරක් ලෙසයි.—1 කොරින්ති 7:36.
17 ප්‍රේම සම්බන්ධයන් සහ විවාහය ගැන ඒ වගේ අදහසක් දරන එක නූතන කාලයට ගැළපෙන්නේ නැහැ කියා ඇතමුන්ට හැඟෙන්න පුළුවන්. එනමුත්, මිත්‍රයන් තෝරාගැනීමට හෝ ප්‍රේම සම්බන්ධයන් සහ විවාහය පිළිබඳව ඔවුන් ගන්නා තීරණවලට බලපෑම් කරන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන් තුල්‍ය පීඩනයට ඉඩ දෙන්නේ නැහැ. ‘ප්‍රඥාව නිදොස්යයි එහි ක්‍රියාවලින් ඔප්පු වී තිබෙන’ බව ඔවුන් දන්නවා. (මතෙව් 11:19) යෙහෝවාගේ තේරීම විශ්වාසදායකයි. එමනිසා, ‘ස්වාමීන් තුළ පමණක්’ විවාහ වීමට ඔහු දී ඇති උපදේශය ඔවුන් බැරෑරුම්ව සලකනවා. (1 කොරින්ති 7:39; 2 කොරින්ති 6:14) ඔවුන් හදිස්සි වී විවාහ දිවියකට පා තබන්නේ නැහැ. මන්ද විවාහ සම්බන්ධය බිඳ වැටෙන්න පටන්ගත්තොත් දික්කසාද වීම හෝ වෙන්වීම උචිත විකල්පයන් කියා ඔවුන් වැරදිසහගත ලෙස සිතන්නේ නැති නිසයි. විවාහයේ පොරොන්දු දුන්නායින් පසු, ‘ඔවුන් එවක් පටන් දෙදෙනෙක් නොව එකම මාංසය වන බවත්, දෙවි එක් කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකරන්න’ කියන යෙහෝවාගේ නීතිය අදාළ වන බවත් තේරුම්ගන්න නිසා, යෝග්‍ය සහකරුවෙක් සොයාගැනීමට ඔවුන් කාලය ගන්නවා.—මතෙව් 19:6; මාර්ක් 10:9.
18. ප්‍රීතිමත් විවාහ දිවියකට අඩිතාලම හැටියට කුමක් ප්‍රයෝජනවත් විය හැකිද?
18 විවාහය කියන්නේ ජීවිතාන්තය දක්වා පවතින බැඳීමක්. එමනිසා, ඒ සඳහා හොඳින් සැලසුම් කිරීම අවශ්‍යයි. පුරුෂයෙකුට මෙසේ ඇසීම තර්කානුකූලයි: ‘ඇය ඇත්තටම මට ගැළපෙනවාද?’ එනමුත් ඔහු මෙලෙස ඇසීමද වැදගත්: ‘මම ඇත්තටම ඇයට ගැළපෙනවාද? මම ඇගේ ආත්මික අවශ්‍යතා පිරිමැසිය හැකි මේරූ ක්‍රිස්තියානියෙක්ද?’ අපේක්ෂිත සහකරුවා සහ සහකාරිය යන දෙදෙනාටම ආත්මික ලෙස ශක්තිමත්ව සිටීමටත්, දිව්‍යමය අනුමැතිය ලබන ශක්තිමත් විවාහ බන්ධනයක් ඇති කිරීමට හැකියාව ඇතුව සිටීමටත් යෙහෝවා ඉදිරියෙහි වගකීමක් තිබෙනවා. ක්‍රිස්තියානි යුවළයන් රැසකගේ ආදර්ශයෙන් කියාපාන්නේ පූර්ණ කාලීන සේවය ප්‍රීතිමත් විවාහ දිවියකට කදිම ආරම්භක ස්ථානයක් බවයි. ඊට හේතුව එම සේවය ගැනීමට වඩා දීමට මුල් තැන දෙන නිසයි.
19. ඇතැම් ක්‍රිස්තියානීන් තනිකඩව සිටින්නේ මන්ද?
19 ශුභාරංචිය උදෙසා තනිකඩව සිටීමට තෝරාගැනීමෙන් ඇතැම් ක්‍රිස්තියානීන්, “වැලඳගැනීමෙන් වලකින්ට” තීරණය කරනවා. (දේශනාකාරයා 3:5) වෙනත් අය විවාහ වීමේ අදහසින් යෝග්‍ය සහකරුවෙක් හෝ සහකාරියක් සෙවීමට තැත් කරන්නේ ඔවුන්ට ආත්මික සුදුසුකම් ඇති බව සහතික වූවායින් පසුවයි. කෙසේවෙතත්, විවාහ දිවියක සමීපත්වයට සහ ආශීර්වාදවලට බෙහෙවින් ආශා කළත්, සහකරුවෙක් හෝ සහකාරියක් සොයාගැනීමට අපොහොසත් වන, අප අතර සිටින තනිකඩ ක්‍රිස්තියානීන්ව අපි අමතක කරන්නේ නැහැ. විවාහ දිවියක් භුක්ති විඳින්න කැමති වුවත් දිව්‍යමය ප්‍රතිපත්ති ඔවුන් කොහෙත්ම පාවා නොදීම ගැන යෙහෝවා සන්තෝෂ වන බවට අපට නිසැක විය හැකියි. ඔවුන්ගේ පක්ෂපාතකම අගය කිරීමත්, ඔවුන්ට ලැබිය යුතු සහයෝගය ලබා දීමත් අතපසු නොකිරීමට අප වගබලා ගත යුතුයි.
20. විවාහකයන් පවා ඇතැම් අවස්ථාවලදී ‘වැලඳගැනීමෙන් වැළකී’ සිටින්නේ මන්ද?
20 විවාහක යුවළයන් වුණත් ඉඳහිට ‘වැලඳගැනීමෙන් වැළකී’ සිටීම යෝග්‍යද? යම් අර්ථයකින් එසේ කිරීම උචිතයි. පාවුල් එම කාරණය මෙසේ පැහැදිලි කළා: “නුමුත් සහෝදරයෙනි, කාලය ලුහුඬුකරනලද්දේය. මෙතැන් පටන් භාර්යාවන් ඇත්තෝ භාර්යාවන් නැත්තන් මෙන්” සිටිය යුතුයි. (1 කොරින්ති 7:29) එහෙයින්, දිව්‍යාණ්ඩු වගකීම් හේතුවෙන්, විවාහ දිවියක ආශීර්වාද සහ ආස්වාදයන් ඇතැම් අවස්ථාවලදී දෙවන ස්ථානයට තැබිය යුතුයි. මේ කාරණය සම්බන්ධයෙන් සමබර දෘෂ්ටියක් දැරීමෙන් විවාහයක් දුර්වල වෙනවා වෙනුවට ශක්තිමත් වෙනවා. ඒ මන්ද කිවහොත්, ඔවුන්ගේ සම්බන්ධයේ ප්‍රධාන, යම් ස්ථාවරභාවයක් ගෙන දෙන පුද්ගලයා යෙහෝවා බව එයින් ඔවුන් දෙදෙනාටම නිතරම සිහිගැන්වෙන නිසයි.—දේශනාකාරයා 4:12.
21. දරුවන් බිහි කිරීමේ කාරණය සම්බන්ධයෙන් අප විවාහක යුවළයන්ව විනිශ්චය නොකළ යුත්තේ මන්ද?
21 මීට අමතරව, ඇතැම් විවාහක යුවළයන් දරුවන් බිහි නොකර සිට ඇත්තේ, දෙවිට වැඩි නිදහසක් ඇතුව සේවය කිරීමේ අදහසිනි. මෙය ඔවුන්ගේ පැත්තෙන් කරන කැප කිරීමක් වුණත්, යෙහෝවා ඔවුන්ට විපාක දෙන බවට සැකයක් නැහැ. ශුභාරංචිය උදෙසා තනිකඩව සිටීම බයිබලයෙහි දිරිගැන්වුවද, එම හේතුව නිසාම දරුවන් බිහි නොකර සිටීම ගැන ඍජු අදහසක් දී නැහැ. (මතෙව් 19:10-12; 1 කොරින්ති 7:38; මතෙව් 24:19 සහ ලූක් 23:28-30 සසඳන්න.) මේ අනුව, තම පෞද්ගලික තත්වයන් මෙන්ම හෘදය සාක්ෂියට එකඟව හැඟීම් පදනම් කරගනිමින්, විවාහක යුවළයන් තම පෞද්ගලික තීරණය ගත යුතුයි. ඔවුන් කවර තීරණයක් ගත්තද, විවාහක යුවළයන්ව විවේචනයට ලක් නොකළ යුතුයි.
22. අප විසින් කුමක් තීරණය කිරීම වැදගත්ද?
22 ඔව්, “සෑම දෙයකටම නියමිත කාලයක් ඇත. අහස යට සිදු වන සෑම කාරණයකටම පවා කාලයක් ඇත.” ‘යුද්ධයට කාලයක් මෙන්ම සමාදානයට පවා කාලයක්’ තිබෙනවා. (දේශනාකාරයා 3:1, NW, 8) දැන් කාලය වී තිබෙන්නේ ඒ දෙකින් කොයි එක සඳහාද කියන කාරණය තීරණය කිරීම වැදගත් වන්නේ ඇයි කියා ඊළඟ ලිපියෙහි පැහැදිලි කරනවා.
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ ‘සෑම දෙයකටම නියමිත කාලයක් ඇති’ බව දැනසිටීම අපට වැදගත් වන්නේ මන්ද?
◻ අදදින විශේෂයෙන්ම “අඬන්ට කාලයක්” වී තිබෙන්නේ මන්ද?
◻ ක්‍රිස්තියානීන් ‘ඇඬුවද’ සැබවින්ම සන්තෝෂයෙන් සිටින්නේ මන්ද?
◻ වර්තමානය “වැලඳගැනීමෙන් වලකින්ට” සුදුසු කාලයක් ලෙස සලකන බව ඇතැම් ක්‍රිස්තියානීන් පෙන්නුම් කරන්නේ කෙසේද?
[6, 7වන පිටුවේ පින්තූර]
ලෝක තත්වය නිසා ක්‍රිස්තියානීන් ‘ඇඬුවද’ . . .
. . . මෙලොවේ සිටින ප්‍රීතිමත්ම ජනකාය ඔවුන් කියා පැවසිය හැකියි
[8වන පිටුවේ පින්තූරය]
ප්‍රීතිමත් විවාහ ජීවිතයකට කදිම අඩිතාලමකි, පූර්ණ-කාලීන දේවසේවය