සිහි බුද්ධියෙන් සිටින්න—අන්තිමය ළඟ ය
“සියලු දේවල අන්තිමය ළංවී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව [සිහි බුද්ධියෙන් NW] සිට, යාච්ඤාකිරීම පිණිස පිබිද සිටපල්ලා.”—1 පේතෘස් 4:7.
1. (අ) එක් ආගමික නායකයෙක් හා ඔහුගේ අනුගාමිකයන් අත්දුටුවේ කිනම් බලාපොරොත්තු කඩවීමක් ද? (ආ) යම් අපේක්ෂාවන් ඉටු නොවී තිබෙන නිසා, කුමන ප්‍රශ්න ඇසිය හැකි ද?
“මා ඊයේ රාත්‍රියේ අවසාන යාච්ඤාව කරද්දී මට දෙවියන් වහන්සේගෙන් පණිවුඩයක් ලැබුණා. පුද්ගලයන් 1,16,000ක් ස්වර්ගයට නඟිනු ඇති බවත්, මිය ගිය ඇදහිලිවන්තයන් මිලියන 3.7කගේ මිනීවලවල් අහස දෙසට විවෘත වනු ඇති බවත් උන් වහන්සේ මට පැවසුවා.” වර්ෂ 1992 ඔක්තෝබර් 28දා සවස් යාමයේ දී එසේ පැවසුවේ මිෂන් ෆෝර් ද කමිං ඩේස් යන සභාවේ නායකයෙකි. එම දිනය තමන්ට ගණන් දීමේ දවස වශයෙන් ඔවුහු සැලකූහ. කෙසේ වුවද, ඔක්තෝබර් 29දා එළැඹීමත් සමඟ, එක් පුද්ගලයෙක්වත් ස්වර්ගයට නැඟී ගියේ නැත, මළවුන්ගේ කිසි ම සොහොනක් විවෘත වූයේ ද නැත. ස්වර්ගික අහස් නැගීමක් තුළ ක්ෂණික ව ඇදගන්නවා වෙනුවට, කොරියාවේ වෙසෙන ලෝක විනාශ දිනය විශ්වාස කළ එම පිරිස දුටුවේ, තවත් දිනක් උදා වනවා පමණි. ලෝක විනාශය සිදුවන බවට අනාවැකි පළ කරන ලද දවස් උදා වී ඒවා ගෙවී ගොස් තිබෙන නමුත්, ලෝක විනාශය ගැන අනාවැකි පළ කරන්නෝ තවමත් ඒකාන්ත ස්වභාවයකින් සිටිති. ක්‍රිස්තියානින් කුමක් කළ යුතු ද? අන්තිමය වේගයෙන් එළැඹෙමින් තිබෙන බව විශ්වාස කිරීම ඔවුන් විසින් නැවැත්විය යුතු ද?
2. අනාගතයේ පැමිණෙන විනිශ්චය දවසක් පිළිබඳ ප්‍රේරිතයන් හට කථා කළේ කවුද, තව ද ඔවුන් මෙය දැන ගත්තේ කිනම් තත්ත්වයන් යටතේ ද?
2 මීට පිළිතුරු ලබා ගැනීමට, යේසුස් වහන්සේ සිය ගෝලයන් සමඟ පුද්ගලික සංවාදයක යෙදෙමින් සිටි අවස්ථාව සිහියට නංවමු. එහි, එනම් ගලීල මුහුදට ඊසාන දිගින් පිහිටි පිලිප්පියේ කායිසර දිස්ත්‍රික්කයේ හර්මොන් කඳුවැටියේ චමත්කාර දසුන පසුබිම් කරගෙන, උන් වහන්සේ තමා ව මරා දමනු ලබන බව නොවළහා පවසනවා ඔවුහු අසාගෙන සිටියෝ ය. (මතෙව් 16:21) බැරෑරුම් ලෙස අවධානය යෙමු කළ යුතු තවත් වදන් ගලා එන්නට විය. ගෝලත්වය යනු නොකඩවා ආත්ම පරිත්‍යාගි ජීවිතයක් ගත කිරීම අදහස් කරන බව පහදා දීමෙන් පසු, යේසුස් වහන්සේ මෙසේ අනතුරු ඇඟවූ සේක: “මනුෂ්‍ය පුත්‍රයා තමන් පියාණන්වහන්සේගේ තේජසින් යුක්තව තමන් දුතයන් සමග එන්නේය; එකල උන්වහන්සේ එකිනෙකාට තම තමාගේ ක්‍රියා ලෙස [හැසිරීමට අනුව NW] විපාක දෙනසේක.” (මතෙව් 16:27) අනාගත පැමිණීමක් ගැන යේසුස් වහන්සේ කථා කළ සේක. කෙසේ වුවද, මේ අවස්ථාවේ දී, උන් වහන්සේ විනිශ්චයකරුවෙකු වනු ඇත. එකල සියලු දේ රඳා පවතින්නේ, යම් පුද්ගලයෙක් තමන් වහන්සේ ව අනුගමනය කරමින් සිටිනවා ද නැද්ද යන්න මත ය. එම පුද්ගලයාට ලෞකික භාණ්ඩ කොතරම් තිබුණත් නැතත්, යේසුස් වහන්සේගේ විනිශ්චය රඳා පවතින්නේ හැසිරීම මත ය. උන් වහන්සේගේ ගෝලයන්ට මෙම කරුණ තම මනස්වල ස්ථිර ලෙස තබා ගැනීමට තිබිණි. (මතෙව් 16:25, 26) මෙබැවින්, එහි විනිශ්චය කිරීමත් සමඟ සිය තේජවත් පැමිණීම දෙස බලා සිටින මෙන් සිය අනුගාමිකයන් හට පවසන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ම ය.
3. තම අනාගත පැමිණීමේ ස්ථිර භාවය ගැන යේසුස් වහන්සේ ආදර්ශනය කළේ කෙසේ ද?
3 යේසුස් වහන්සේ ඊළඟට පවසන දෙය, උන් වහන්සේගේ අනාගත පැමිණීමේ ස්ථිරත්වය කියාපායි. අධිකාරිත්වයක් සමඟින් උන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: “සැබවක් නුඹලාට කියමි; මනුෂ්‍ය පුත්‍රයා ස්වකීය රාජ්‍යයෙන් යුක්තව එනවා දකින තෙක් මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් කිසිසේත් මරණ රසය නොවිඳින්නෝය.” (මතෙව් 16:28) මෙම වදන් දවස් හයකට පසු ව ඉටු වෙයි. යේසුස් වහන්සේ අන්‍යරූප විලාශ වීමේ මනස්කාන්ත දර්ශනය උන් වහන්සේගේ කුලුපග ගෝලයන් ව මවිතයට පත් කරවයි. යේසුස් වහන්සේගේ මුහුණ හිරු මෙන් බැබළෙන ආකාරයත් උන් වහන්සේගේ වස්ත්‍ර සුදු පැහැ දීප්තියෙන් දිදුළන ආකාරයත් ඔවුහු ඇත්තට ම දකිති. මෙම අන්‍යරූප විලාශ වීම, ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සහ රාජ්‍යයේ පෙර දසුනක් විය. රාජ්‍යය අනාවැකිවල මොනතරම් ශක්තිමත් තහවුරුවක් ද! සිහි බුද්ධියෙන් යුතු ව සිටීමට ගෝලයන් හට මොනතරම් ප්‍රබල ධෛර්යයක් ද!—2 පේතෘස් 1:16-19.
සිහි බුද්ධියෙන් සිටීම හදිසි දෙයක් වීමට හේතුව
4. උන් වහන්සේගේ පැමිණීම සම්බන්ධයෙන් ක්‍රිස්තියානින් ආත්මික ව සුපරීක්ෂාකාරී ව සිටිය යුත්තේ මන්ද?
4 වසරකට වඩා අඩු කලකට පසු, යේසුස් වහන්සේ නැවතත් සිය ගෝලයන් සමඟ ඔලීව කන්ද මත වාඩි වී පෞද්ගලික සංවාදයක යෙදෙමින් සිටිනවා අපට දැකිය හැක. ඔවුන්ගේ ඇස් යෙරුසලමේ නගරය සිසාරා ගමන් කරනවාත් සමඟ ම, තමාගේ අනාගත පැමිණ සිටීමේ ලකුණ කුමක්දැයි පහදා දෙන උන් වහන්සේ, ඊළඟට මෙසේ අනතුරු අඟවන සේක: “එබැවින් අවදිව සිටපල්ලා. මක්නිසාද නුඹලාගේ ස්වාමියා කොයි දවසේ එනසේක්දැයි නුඹලා දන්නේ නැත.” උන් වහන්සේගේ පැමිණීමේ වේලාව නොදන්නා හෙයින්, උන් වහන්සේගේ අනුගාමිකයන් නිරතුරු ව ම සුපරීක්ෂාවෙන් සිටිය යුතු ය. ඔවුන් සෑම කල්හි ම එයට සූදානමින් සිටිය යුතු ය.—මතෙව් 24:42.
5. පිබිද සිටීමේ අවශ්‍යතාවය ආදර්ශනය කළ හැක්කේ කෙසේ ද?
5 උන් වහන්සේ පැමිණෙන ආකාරය ගැන සැලකීමේ දී, ස්වාමියා සොරෙකු සාදෘශ්‍ය කෙරේ. උන් වහන්සේ මෙසේ පවසන සේක: “නුමුත් සොරා කොයි යාමයේ එන්නේදැයි ගෙයි ස්වාමියා දැනගන සිටියේ නම්, ඔහු අවදිව සිටිමින් තමාගේ ගෙය උමං කණින්ට නොදෙන බව දැනගනිල්ලා.” (මතෙව් 24:43) ගෙවල් මංකොල්ලකරුවෙක්, තමා පැමිණෙන්නේ කොයි වේලාවේ ද කියා ගෙවැසියාට දැනුම් දෙන්නේ නැත; ඔහුගේ ප්‍රධාන ලක්ෂණය නම් හදිසියෙන් ම කඩා වැදීමයි. එමනිසා, ගෙවැසියා නිරතුරු ව ම රැකවල් ලා සිටිය යුතු ය. කෙසේ වුවද, ඇදහිලිවන්ත ක්‍රිස්තියානියෙකු සඳහා, නොපිරිහෙළා දක්වන සුපරීක්ෂාකාරී බව යම් බියජනක සැක සහිත භාවයක් නිසා නොවේ. ඒ වෙනුවට, මෙය පොලඹවනු ලැබ ඇත්තේ, සාමයේ දහස් වසරේ පාලනය දියත් කිරීමට ක්‍රිස්තුස් වහන්සේ තේජසින් යුතු ව පැමිණෙනවා දැකීමේ උනන්දුමත් අපේක්ෂාව මගිනි.
6. අප සිහි බුද්ධියෙන් සිටිය යුත්තේ මන්ද?
6 මේ සම්බන්ධයෙන් කොතරම් අවදි ව බලා සිටියත්, උන් වහන්සේ පැමිණෙන නියම දවස කිසිවෙකුට කලින් කියන්නට කිසිවිටෙකත් නොහැකි වනු ඇත. යේසුස් වහන්සේ මෙසේ පවසන සේක: “එබැවින් නුඹලාත් සෑදී සිටපල්ලා. මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එනසේක.” (මතෙව් 24:44) මෙබැවින්, සිහි බුද්ධියෙන් සිටීමේ අවශ්‍යතාවයක් තිබේ. යම් ක්‍රිස්තියානියෙක්, අහවල් දවසේ උන් වහන්සේ පැමිණෙන්නේ නැතැයි සිතයි නම්, සමහරවිට ඇත්තට ම උන් වහන්සේ එන්නට යන්නේ එම දවසේ දී විය හැක! ඇත්තෙන් ම, ඇදහිලිවන්ත ක්‍රිස්තියානින් අතීතයේ දී හොඳ චේතනාවෙන් යුතු ව අන්තිමය පැමිණෙනු ඇත්තේ කවදා ද කියා කලින් පැවසීමට උත්සාහ දරා තිබේ, එහෙත්, යේසුස් වහන්සේගේ අවවාදය සත්‍යය බවට යළි යළිත් ඔප්පු වී තිබේ: “ඒ දවස හා පැය මාගේ පියාණන්වහන්සේ මිස දන්නා කෙනෙක් නැත; ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත.”—මතෙව් 24:36.
7. ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් වීමට නම්, අප අපගේ ජීවිත ගත කළ යුත්තේ කෙසේ ද?
7 එමනිසා, අප කුමන නිගමනයට එළැඹිය යුතු ද? ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් වීමට නම්, මෙම දුෂ්ට පිළිවෙළේ අන්තිමය ඉතා ආසන්න බවට විශ්වාස කරමින් සෑම විට ම ජීවත්වීම අපට අවශ්‍ය ය.
8. ක්‍රිස්තියානි ධර්මයේ ආරම්භක දවස්වල පටන් ක්‍රිස්තියානින්ගේ හඳුනාගැනීමේ ලකුණ වී තිබෙන්නේ කුමක් ද?
8 ලෞකික ඉතිහාසඥයන් හා බයිබල් විශාරදයන් විසින් පිළිගන්නාක් මෙන්, එවැනි ආකල්පයක් සෑම විට ම ක්‍රිස්තියානින්ගේ හඳුනාගැනීමේ ලකුණ වී තිබේ. නිදසුනක් වශයෙන්, ද ට්‍රාන්ස්ලේටර්ස් න ටෙස්ටමන්ට් හි සංස්කාරකයෝ, තම පාරිභාෂික ශබ්ද මාලාවේ “දවස” යන වචනය යටතේ මෙසේ සඳහන් කරති: “න[ව] ගි[විසුමේ] කාලවල ක්‍රිස්තියානින් ජීවත් වූයේ, වත්මන් ලෝකය එහි සියලු නපුරුකම් හා දුෂ්ටකම් නිමාවකට ගෙන එනු ලබන සහ සියලු මනුෂ්‍ය වර්ගයා විනිශ්චය කිරීමට යේසුස් වහන්සේ පොළොවට පැමිණ, සාමයේ නව යුගයක් උදාකර, මුළු ලොව සිසාරා තමන්ගේ ස්වාමිත්වය ආරම්භ කරන දවස (හෙවත් කාල පරිච්ඡේදය) අපේක්ෂාවෙන් ය.” එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා මෙසේ සටහන් කරයි: “ක්‍රිස්තියානි ධර්මයේ අද්විතීය සමස්ත ලෝක ව්‍යාප්තිය, අන්තිම කාලයේ ක්‍රිස්තියානි අපේක්ෂාවට, එනම්, ක්‍රිස්තුස් වහන්සේ ඉතා ඉක්මනින් යළි පැමිණීමේ අපේක්ෂාවක ආකාරයකට කෙලින් ම සම්බන්ධ ය. අන්තිම කාලයේ ක්‍රිස්තියානි අපේක්ෂාව, කිසිවිටෙකත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පැමිණීම සඳහා, හුදෙක් උදාසීන ව බලා සිටීමකින් සමන්විත වූයේ නැත.”
සිහි බුද්ධියෙන් සිටීම යන්නෙහි අදහස
9. මෙසියස් වහන්සේ පිළිබඳ පේතෘස්ගේ අපේක්ෂාවන් සමහරක් වැරදි සහගත වුවත්, ඔහුට නිසැක ව සිටීමට හැකි වූයේ මන්ද?
9 යේසුස් වහන්සේ සිය සමීපතම ගෝලයන් සමඟ එම සමීප සංවාදයන් කර වසර 30ක පමණ කාලයක් ගත වී තිබුණ ද, ප්‍රේරිත පේතෘස්, පැමිණෙන්නට යන අන්තිමය ගැන බලා සිටීමෙන් වෙහෙසට පත් වූයේ නැත. මෙසියස් වහන්සේ පිළිබඳ ව ඔහුගේ සහ ඔහුගේ සෙසු ගෝලයන්ගේ මූලික අපේක්ෂාවන් වැරදි සහගත වුවද, යෙහෝවඃ වහන්සේගේ ප්‍රේමය සහ බලය මගින් තම බලාපොරොත්තුව සහතික කරනු ඇති බවට ඔහු නිසැක ව සිටියේ ය. (ලූක් 19:11; 24:21; ක්‍රියා 1:6; 2 පේතෘස් 3:9, 10) ග්‍රීක් ශුද්ධ ලියවිල්ල පුරා නිරන්තරයෙන් ම අසන්නට ලැබෙන යම් කරුණක් ඔහු ප්‍රකාශයට පත් කරන්නේ මෙසේ පවසන විට ය: “සියලු දේවල අන්තිමය ළංවී තිබේ.” ඉන් පසු, ඔහු සෙසු ක්රිස්තියානින්ගෙන් මෙසේ උදක් ම ඉල්ලා සිටී: “එබැවින් නුඹලා සිහියෙන් යුක්තව [සිහි බුද්ධියෙන් NW] සිට, යාච්ඤා කිරීම පිණිස පිබිද සිටපල්ලා.”—1 පේතෘස් 4:7.
10.. (අ) සිහි බුද්ධියෙන් සිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? (ආ) යෙහෝවඃ වහන්සේගේ කැමැත්තට අනුව දේවල් නිසි ලෙස සම්බන්ධ වී ඇති ආකාරයට අප විසින් ඒවා දෙස බැලීමට ඇතුළත් වන්නේ මොනවා ද?
10 “සිහි බුද්ධියෙන්” සිටීම යන්නෙන් අදහස් කරන්නේ, ලෞකික ප්‍රමිතිවලට අනුව දක්ෂයෙකු ව සිටිනවා යන්න නොවේ. යෙහෝවඃ වහන්සේ මෙසේ පවසන සේක: “මම ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැති කරන්නෙමි, බුද්ධිමත් අයගේ බුද්ධිය පහකරන්නෙමි.” (1 කොරින්ති 1:19) පේතෘස් භාවිතා කරන වචනයට “මත් නොවූ මනසක් ඇතුව සිටීම” යන්න අරුත් දිය හැක. මෙම ආත්මික මත් නොවී සිටීමේ ස්වභාවය අපගේ නමස්කාරය සමඟ බැඳී තිබේ. එමනිසා, මනසින් ස්ථිර ව සිටීමෙන්, යෙහෝවඃ වහන්සේගේ කැමැත්තට අනුව දේවල් නිසි ලෙස සම්බන්ධ වී ඇති ආකාරයට අපි ඒවා දෙස බලන්නෙමු; වැදගත් වන්නේ කොයි දේවල් ද එසේ නොවන්නේ කොයි දේවල් ද යන්න අපි වටහා ගන්නෙමු. (මතෙව් 6:33, 34) අන්තිමය ඉතා ආසන්න වී ඇති හෙයින්, වියරු වැටුණු ජීවන රටාවක් තුළ අපි ඉවතට ගසා ගෙන නොයන්නෙමු; අප ජීවත් වන කාල පරිච්ඡේදය සම්බන්ධයෙන් අප උදාසීන වනවා ද නොවේ. (මතෙව් 24:37-39 සසඳන්න.) ඒ වෙනුවට, අප ව පාලනය කරනු ලබන්නේ සිතුවිලි, චරිත ස්වභාවය හා හැසිරීම සම්බන්ධයෙන් පමණ දැන කටයුතු කිරීමෙන් හා සමබර වීමෙන් ය, මෙය පළමු ව දෙවියන් වහන්සේ කෙරෙහි ද (“යාච්ඤා කිරීමට පිබිද සිටීම”) ඊළඟට අපගේ අසල් වාසීන් කෙරෙහි ද (“එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටීම”) දක්වනු ලැබේ.—1 පේතෘස් 4:7, 8.
11. (අ) “[අපගේ] මනස ක්‍රියාත්මක කරවන බලය තුළ අලුත් කරනු ලැබීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? (ආ) නව මානසික බලයක්, අප විසින් යහපත් තීරණ ගැනීමට උපකාර කරන්නේ කෙසේ ද?
11 සිහි බුද්ධිය ඇතුව සිටීම යන්නට, “[අපගේ] මනස ක්‍රියාත්මක කරවන බලය තුළ අලුත් කරනු ලැබීම” අයත් වෙයි. (එපීස 4:23, NW) අලුත් කරනු ලැබෙන්නේ මන්ද? අපට උරුම වූ අසම්පූර්ණකම තිබෙන නිසා සහ අප පව්කාර වාතාවරණයක ජීවත් වන නිසා, අපගේ මනස, ආත්මිකත්වයට විරුද්ධ වූ ප්‍රවණතාවයකින් පාලනය වන හෙයිනි. එම බලය, සිතුවිලි හා නැඹුරුවාවන් නිරතුරු ව ම ද්‍රව්‍යවාදි, ආත්මාර්ථකාමි දිශාවකට තල්ලු කරයි. මේ නිසා, යම් අයෙක් ක්‍රිස්තියානියෙක් බවට පත් වන විට, ඔහුගේ කල්පනාවන් හරි දිශාවට, එනම් ආත්මික දිශාවට යොමු කරවන, ආත්ම පරිත්‍යාගය සඳහා සූදානම් වීමට අලුත් බලයක්, එනම් බලපවත්වන මානසික ආකල්පයක් ඔහුට අවශ්‍ය ය. මෙසේ, යම් තෝරා ගැනීමක් කිරීමට තිබෙන විට, නිදසුනක් වශයෙන්, අධ්‍යාපනයේ, වෘත්තියේ, රැකියාවේ, විනෝදාස්වාදයේ, විවේකයේ, ඇඳුම් මෝස්තරයේ හෝ ඕනෑ ම දෙයක් තුළ වේවා, යම් තේරීමක් කිරීමට තිබෙන විට, ඔහුගේ ප්‍රථම නැඹුරුවාව වනු ඇත්තේ, එම කාරණය, මාංසික, ආත්මාර්ථකාමි දෘෂ්ටි කෝණයකින් සලකනු වෙනුවට ආත්මික දෘෂ්ටි කෝණයකින් සලකා බැලීමයි. මෙම නව මානසික ආකල්පය, අන්තිමය ළං වී ඇති බව සිහියේ තබා ගෙන, සිහි බුද්ධියෙන් යුතු ව කාරණා ගැන තීරණ ගැනීමට පහසු කරවයි.
12. අපට “ඇදහිල්ල තුළ සෞඛ්‍ය සම්පන්න ව” සිටිය හැක්කේ කෙසේ ද?
12 අප සිහි බුද්ධියෙන් සිටිනවා යන්නෙන් ඇඟවෙන්නේ අප හොඳ ආත්මික සෞඛ්‍යකින් සිටිනවා යන්න ය. “ඇදහිල්ල තුළ සෞඛ්‍ය සම්පන්න ව” සිටීමට අපට හැක්කේ කෙසේ ද? (තීතස් 2:2, NW) හරි ආකාරයේ ආහාරවලින් අපි අපේ මනස පෝෂණය කළ යුතු ය. (යෙරෙමියා 3:15) දෙවියන් වහන්සේගේ ආත්මයේ ක්‍රියාකාරිත්වය ඇතුව, දේව වචනයෙන් අප ගන්නා ස්ථිර ආහාර වේලක්, අපගේ ආත්මික සමබරතාවය පවත්වා ගැනීමට අපට උපකාර කරනවා ඇත. එමනිසා, නිති පතා පුද්ගලික පාඩම, එමෙන් ම, ක්ෂේත්‍ර සේවය, යාච්ඤාව, සහ ක්‍රිස්තියානි ආශ්‍රය අතිශයින් වැදගත් ය.
සිහි බුද්ධිය අප ව ආරක්ෂා කරන අයුරු
13. සිහි බුද්ධිය අප ව මෝඩ වැරදි කිරීමෙන් ආරක්ෂා කරන්නේ කෙසේ ද?
13 අපගේ සදාකාල ජීවනය අහිමි කරවන අඥාන වරදක් කිරීමෙන් අප ව ආරක්ෂා කරන්නට සිහි බුද්ධියට හැක. මෙය සිදු විය හැක්කේ කෙසේ ද? ප්‍රේරිත පාවුල්, “මනසේ ව්‍යවස්ථාව” ගැන කථා කළේ ය. ඇදහිල්ලේ සෞඛ්‍ය සම්පන්න ව සිටින පුද්ගලයෙක් තුළ, මනසේ ව්‍යවස්ථාව පාලනය වන්නේ, ඔහු මහත් ආස්වාදයක් ලබන දෙයක් මගින්, එනම් “දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව” මගිනි. “පාපයේ ව්‍යවස්ථාව” මනසේ ව්‍යවස්ථාව සමඟ පොර බදන බව සැබෑ ය. කෙසේ වෙතත්, යෙහෝවඃ වහන්සේගේ උපකාරය ඇතුව ක්‍රිස්තියානියෙකුට ජය අත්කර ගත හැකි ය.—රෝම 7:21-25.
14, 15. (අ) මනස පාලනය කිරීම සඳහා පොරබදින්නේ කුමන බලපෑම් දෙක ද? (ආ) මනසේ සටනින් අපට ජය ගත හැක්කේ කෙසේ ද?
14 තමා ව පිනවා ගැනීමේ ජීවිතයක් මත අවධානය යොමු වී තිබෙන පව්කාර මාංසය මගින් පාලනය වන මනසක් සහ යෙහෝවඃ වහන්සේට ආත්ම පරිත්‍යාගි සේවයක් පුද කිරීමේ ජීවිතයක් මත අවධානය යොමු වී තිබෙන, දෙවියන් වහන්සේගේ ආත්මයෙන් පාලනය වන මනසක් අතර තිබෙන තියුණු වෙනස ප්‍රේරිත පාවුල් දිගට ම විස්තර කරයි. පාවුල් රෝම 8:5-7 [NW] හි මෙසේ ලියයි: “මාංසය අනුව හැඩගැසී සිටින අය තම මනස් මාංසික දේවල් මත යොමු කරති, නමුත් ආත්මය අනුව හැඩගැසී සිටින අය ආත්මික දේවල් මත යොමු වෙති. මන්දයත් මාංසයේ ඇලීගැලී සිටීම මරණය අදහස් කරන හෙයිනි, ආත්මයේ ඇලීගැලී සිටීම ජීවිතයත් සාමයත් අදහස් කරන හෙයිනි; මාංසයේ ඇලීගැලී සිටීම දෙවියන් වහන්සේ සමඟ සතුරුකම අදහස් කරන නිසා ය, මන්ද එය දෙවියන් වහන්සේගේ නීතියට යටත් නොවන අතර, ඇත්ත වශයෙන් ම එසේ නොකළ හැකි හෙයිනි.”
15 මනස ශුද්ධාත්මය සමඟ සහයෝගයෙන් ක්‍රියා කර, පොර බැදීම ජය ගන්නා ආකාරය පාවුල් ඊළඟට රෝම 8:11 වෙනි පදයේ පැහැදිලි කරයි: “තවද යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවූ තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ [ආත්මය NW] නුඹලා තුළ වාසයකරනසේක් [වාසය කෙරේ NW] නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවූ තැනන්වහන්සේ තුළෙහි වසන තමන්ගේ ආත්මයාණන්වහන්සේ [ආත්මය NW] කරණකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක.”
16. සිහි බුද්ධිය අප ව කුමන ආකර්ෂණයන්ගෙන් ආරක්ෂා කරයි ද?
16 එමනිසා, සිහි බුද්ධියෙන් සිටීම මගින්, සියලු ආකාරයේ වින්දනයන්හි, ද්‍රව්‍යමය දේවල, සහ වැරදි සහගත ලිංගික හැසිරීමේ ඉවක් බවක් නොමැතිව ඇලීගැලී සිටින මේ ලෝකයේ හාත්පස විහිදී පවතින පෙලඹීම්වලින් අප මුළා වෙන්නේ නැත. “වේශ්‍යාකමෙන් පලා ගොස්” එහි ව්‍යසනකාරී ඵල විපාකවලින් බේරී සිටින මෙන්, සිහි බුද්ධිය අප හට පවසනු ඇත. (1 කොරින්ති 6:18) සිහි බුද්ධියෙන් යුත් අපගේ මානසික ආකල්පය, රාජ්‍යය පිළිබඳ කාරණා පෙරට තැබීමට අප ව පොලඹවන අතර, යෙහෝවඃ වහන්සේ සමඟ ඇති අපගේ සම්බන්ධතාවය දුර්වල කළ හැකි ලෞකික වෘත්තියක් ඉදිරිපත් කරනු ලැබීමෙන් පරීක්ෂා කෙරෙන විට, අපගේ සිතුවිලි ආරක්ෂා කෙරෙනවා ඇත.
17. එක් පුරෝගාමි සහෝදරියක් මූල්‍යමය වගකීම්වලට මුහුණ පා සිටි විට සිහි බුද්ධිය පෙන්වූයේ කෙසේ ද?
17 නිදසුනක් වශයෙන්, ගිණිකොන දිග ආසියාවේ නිවර්තන කලාපීය රටක, රාජ්‍යය සම්බන්ධ කාරණා තම මනසේ ඉහළින් ම රඳවා ගෙන සිටි එක් යෞවන සහෝදරියක් සිටී. ඈ පූර්ණ කාලීන සේවය සඳහා ප්‍රේමයක් ගොඩ නංවා ගෙන සිටියා ය. එම රටේ රැකියාවන් වැඩි ප්‍රමාණයක, දවස් හයක් හෝ හතක් පූර්ණ කාලීන ව වැඩ කිරීම අවශ්‍ය කරයි. ඈ සරසවියෙන් සමත් වූ පසු, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙකු නොවූ ඇගේ පියා, පවුල උදෙසා බොහෝ මුදල් ඉපයීම ඇගෙන් අපේක්ෂා කළේ ය. එහෙත්, පුරෝගාමි සේවය කිරීමට ඈ තුළ බලවත් ආශාවක් තිබූ හෙයින්, අර්ධ කාලීන රැකියාවක් සොයා ගත් ඈ, පුරෝගාමි සේවය ආරම්භ කළා ය. මින් කෝපයට පත් ඇගේ පියා, ඈට අයත් දේවල් පාරට විසි කර දමන බවට තර්ජනය කළේ ය. සූදුවේ නියැලීම නිසා ඔහු අධික ණය බරෙන් සිටි අතර, තමාගේ ණය තම දියණිය විසින් පියවා දැමීම ඔහු අපේක්ෂා කළේ ය. ඇගේ බාල සහෝදරයා සරසවියක ඉගෙනුම ලබමින් සිටියේ ය, තව ද ණය නිසා, ඔහුගේ පංති ගාස්තු ගෙවීමට මුදල් තිබුණේ නැත. ඈ ඔහුට උදව් කළොත් ඔහු රැකියාවක් ලබා ගත් විට තම පවුලේ අය ව රැකබලා ගන්නා බවට බාල සහෝදරයා පොරොන්දු විය. තම සහෝදරයා කෙරෙහි තිබූ ප්‍රේමය සහ පුරෝගාමි සේවය සඳහා ඈට තිබූ ප්‍රේමය අතර ඇගේ හදවත බෙදී ගියේ ය. මෙම කාරණය ප්‍රවේසමෙන් සලකා බැලීමෙන් පසු, පුරෝගාමි සේවය දිගට ම කර ගෙන යන්නටත්, වෙනත් රැකියාවක් සොයා ගන්නටත් ඈ අධිෂ්ඨාන කළා ය. ඇගේ යාච්ඤාවන්ට පිළිතුරු වශයෙන්, ඈ හොඳ රැකියාවක් සොයා ගත් අතර, ඉන් ඇගේ පවුලට හා ඇගේ සහෝදරයාට මූල්‍යමය අතින් උපකාර කරන්නට ඈට හැකි වුණා පමණක් නොව, නමුත් ඈ මුලින් ප්‍රේම කළ පුරෝගාමි සේවය දිගට ම කර ගෙන යාමට ද හැකි විණි.
සිහි බුද්ධිය පවත්වා ගැනීමේ දී යෙහෝවඃ වහන්සේගේ උපකාරය පතන්න
18. (අ) ඇතැම් අය හදවතින් මළානික වන්නේ ඇයි? (ආ) හදවතින් මළානික වී සිටින අයට කුමන ශුද්ධ ලියවිලිවලින් සහනය ලැබිය හැකි ද?
18 තම සිහි බුද්ධිය පවත්වා ගැනීම අසීරු කරුණක් බව ක්‍රිස්තුස් වහන්සේගේ ඇතැම් අනුගාමිකයන්ට හැඟී යා හැක. මෙම වත්මන් දේවල දුෂ්ට පිළිවෙළ තමන් අපේක්ෂා කළාට වඩා වැඩි කලක් පවතින හෙයින් ඔවුන්ගේ ඉවසීම පිරිහී යනවා විය හැක. ඒ හේතුවෙන් ඔවුන් හදවතින් මලානික වන්නට පුළුවන. කෙසේ වෙතත්, අන්තිමය නියත වශයෙන් ම පැමිණෙන්නේ ය. යෙහෝවඃ වහන්සේ එය පොරොන්දු වන සේක. (තීතස් 1:1) එමෙන් ම උන් වහන්සේ පොරොන්දු කර ඇති පාරාදීස පොළොව ද එසේ ම පැමිණෙන්නේ ය. යෙහෝවඃ වහන්සේ එය සහතික කරන සේක. (එළිදරව් 21:1-5) නව ලෝකය සැබවින් ම පැමිණෙන විට, තමන්ගේ සිහි බුද්ධිය පවත්වා ගත් සියල්ලන්ට ම “ජීවන වෘක්ෂයක්” තිබෙනු ඇත.—හිතෝපදේශ 13:12.
19. සිහි බුද්ධිය පවත්වා ගත හැක්කේ කෙසේ ද?
19 අපගේ සිහි බුද්ධිය පවත්වා ගත හැක්කේ කෙසේ ද? යෙහෝවඃ වහන්සේගේ උපකාරය පතන්න. (ගීතාවලිය 54:4) උන් වහන්සේට සමීප ව සිටින්න. යෙහෝවඃ වහන්සේ අප සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කර ගැනීමට ආශා වීම ගැන අපි කොතරම් සතුටු වන්නෙමු ද! “දෙවියන්වහන්සේට ළංවෙයල්ලා, එවිට උන්වහන්සේ නුඹලාට ළංවෙනසේක” යයි ශ්‍රාවක යාකොබ් ලියයි. (යාකොබ් 4:8) පාවුල් මෙසේ කියයි: “ස්වාමීන්වහන්සේ තුළ නිතරම ප්රීතිවෙයල්ලා. ප්රීතිවෙයල්ලායයි නැවතත් කියමි. නුඹලාගේ ඉවසිලිවන්තකම [සාධාරණකම NW] සියලු මනුෂ්‍යයන්ට දැනගන්ට ලැබේවා. ස්වාමීන්වහන්සේ ළංව සිටිනසේක. නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තූතිදීම සමග යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වාපල්ලා. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද [හෘද ද NW] සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.” (පිලිප්පි 4:4-7) මිය යමින් තිබෙන මෙම දේවල පිළිවෙළේ පීඩාකාරී බර තවදුරටත් රැගෙන යන්නට නොහැකි යයි පෙනෙන විට, ඒවා යෙහෝවඃ වහන්සේ මත තබන්න, එවිට උන් වහන්සේ ම ඔබ ව දරා ගන්නා සේක.—ගීතාවලිය 55:22.
20. පළමු වෙනි තිමෝති 4:10ට අනුව, අප දිගට ම ගත යුතු ක්‍රියා මාර්ගය කුමක් ද?
20 එසේ ය, අන්තිමය ඇත්තෙන් ම ළඟ ය, එමනිසා සිහි බුද්ධියෙන් සිටින්න! එය මීට වසර 1900කට පෙර හොඳ අවවාදයක් විය; අද දින ද එය අති වැදගත් අවවාදයක් ය. යෙහෝවඃ වහන්සේ ස්වකීය නව ලොව තුළට අප ව ආරක්ෂා සහිත ව නොකඩවා මඟ පෙන්වනවාත් සමඟ ම, අපි අපගේ සිහි බුද්ධියෙන් යුක්ත වූ මානසික ඉන්ද්රියයන් දිගට ම උපයෝගි කර ගනිමු.—1 තිමෝති 4:10.
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේ ද?
◻ සිහි බුද්ධිය යනු කුමක් ද?
◻ සිහි බුද්ධිය ඇතුව සිටීම මෙතරම් හදිසි දෙයක් වන්නේ මන්ද?
◻ අපට අපගේ මනස ක්‍රියාත්මක කරවන බලය තුළ අලුත් කරනු ලැබිය හැක්කේ කෙසේ ද?
◻ අප අපගේ මනසේ නිරතුරු ව ම කිනම් සටනක් කළ යුතු ද?
◻ අප සිහි බුද්ධිය පවත්වා ගන්නේ කෙසේ ද?
[15වන පිටුවේ පින්තූරය]
යාච්ඤාවෙන් දෙවියන් වහන්සේ වෙතට ළං වීම සිහි බුද්ධිය පවත්වා ගැනීමට අපට උපකාරවත් වෙයි
[17වන පිටුවේ පින්තූරය]
සිහි බුද්ධිය ඇති ව සිටීමෙන්, අප මේ ලෝකයේ පෙලඹවීම්වලින් මුළා නොවනු ඇත