පරිච්ඡේදය 20
ගණන් කළ නොහැකි මහත් සමූහයක්
1. යොහන් 1,44,000දෙනාගේ මුද්‍රා කිරීම විස්තර කළ පසු දකින්නේ මොන පිරිසද?
එක්ලක්ෂ හතළිස්හාරදහස මුද්‍රා කිරීම ගැන විස්තර කළායින් පසුව, මුළු බයිබලය පුරා දකින්න ලැබෙන ඉතා සුවිශේෂ වූ එළිදරව් කිරීම්වලින් එකක් යොහන් දකිනවා. ඔහු හද පිරි සතුටකින් මෙසේ සඳහන් කරනවා. “ඉන්පසු, බලන්න! කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක් මම දුටිමි. සියලු ජාතීන්ගෙන්ද ගෝත්‍රවලින්ද ජනයාගෙන්ද භාෂාවලින්ද වූ ඔවුන්, සුදු සළු පැළඳ, සිංහාසනය ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත් සිටගෙන සිටිනවා දුටිමි. ඔවුන් අත තාල පත්‍ර තිබිණ.” (එළිදරව් 7:9) දෙවිගේ ඊශ්රායෙලයට අයත් සාමාජිකයන් 1,44,000දෙනාට අමතරව සතරදිග සුළංවලින් සිදුවීමට නියමිත විනාශය පමා කරනු ලබන නිසා ගැලවීම ලබන තවත් කණ්ඩායමක් සිටිනවා. ඒ තමයි සියලු භාෂා කතා කරන කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහය.—එළිදරව් 7:1.
2. විවිධ විචාරකයන් “මහත් සමූහය” ගැන පළ කර ඇති අදහස් මොනවාද? අතීතයේදී බයිබල් ශිෂ්‍යයන් පවා මොවුන් ගැන දැරූ මතය කුමක්ද?
2 විවිධ බයිබල් විචාරකයන් කියන්නේ මේ මහත් සමූහය ක්‍රිස්තියානි ආගමට හැරී ඇති යුදෙව් නොවන ජාතිකයන් බවයි. එසේ නැත්නම් ඝාතනය කළ පසු ස්වර්ගයට යන ක්‍රිස්තියානීන් බවයි. බයිබල් ශිෂ්‍යයන් පවා අතීතයේදී සිතුවේ මොවුන් ස්වර්ගයට යන දෙවන පිරිසක් බවයි. මේ බව ඔවුන් 1886දී පළ කළ පොතක මෙසේ සඳහන් කළා. “ඔවුන්ට ස්වර්ගයේ සිංහාසන හිමිවීමේ වරප්‍රසාදය හා අමරණීයත්වය අහිමි වුණත්, ස්වර්ගයේ ජීවීන් ලෙස සිටීමේ ප්‍රස්තාව ඔවුන්ට අවසානයේදී හිමි වෙනවා. එයට හේතුව ඔවුන් දෙවිට කැප වී සිටියත් ඔවුන් පොළොවේ සිටියදී ලෝකයේ ස්වභාවයට හසු වී සිටි නිසා ආත්ම පරිත්‍යාගශීලී ජීවිතයක් ගත කරන්න අසමත්ව සිටීමයි.” (Studies in the Scriptures, The Divine Plan of the Ages) ඒ වගේම 1930දී පවා පළ කළ පොතක මෙසේ සඳහන් වුණා. “මෙම මහත් සමූහයට අයත් අය දෙවිට යම් සේවයක් කළත් ස්වාමීන්ගේ උද්යෝගිමත් සාක්ෂිකරුවන් වීමේ ඇරයුම පිළිගෙන නැහැ.” (Light, Book One) ඔවුන්ව විස්තර කළේ තමාගේම ධර්මිෂ්ඨකම ගැන සෑහීමට පත්ව සිටි පිරිසක් ලෙස හා සත්‍යය ගැන දැනුවත්ව සිටියත් එය දේශනා කිරීමට වැඩි වෙහෙසක් දැරුවේ නැති අය ලෙසයි. මේ අනුව ස්වර්ගයට ගියත් එහි යේසුස් සමඟ පාලනයට හවුල් නොවන දෙවන පිරිසක් හැටියට ඔවුන්ව සලකනු ලැබුවා.
3. (අ) පසුව දේශනා සේවයට උද්යෝගයෙන් සහභාගි වූ ඇතැම් අවංක අයට ඉදිරිපත් කළේ මොන බලාපොරොත්තුවද? (ආ) වර්ෂ 1923දී මුරටැඹ සඟරාවේ බැටළුවන් සහ එළුවන් පිළිබඳ උපමාව විස්තර කර තිබුණේ කෙසේද?
3 නමුත් දේශනා සේවයට උද්යෝගයෙන් සහභාගි වූ තවත් පිරිසක් සිටියා. ඔවුන් අභිෂේක ලත් අය නෙවෙයි. ස්වර්ගයට යන්න ඔවුන් තුළ කිසිම ආශාවක් තිබුණේ නැහැ. ඔවුන්ට බලාපොරොත්තු විය හැකි දේ 1918 සිට 1922 දක්වා දෙවිගේ සේවකයන් ඉදිරිපත් කළ ප්‍රසිද්ධ කථාවක් තුළ සඳහන් වුණා. එම කතාවේ තේමාව වුණේ “ලෝකය අවසාන වී තිබේ—දැන් ජීවත් වන මිලියන ගණනක් කිසිදා මිය නොයනු ඇත” යන්නයි.a ඉන් ටික කලකට පසුව 1923 ඔක්තෝබර් 15 මුරටැඹ සඟරාවේ බැටළුවන් සහ එළුවන් පිළිබඳ යේසුස් කී උපමාව (මතෙව් 25:31-46) පැහැදිලි කළේ මෙසේයි. “බැටළුවන්ගෙන් නියෝජනය වෙන්නේ සියලු ජාතීන්ට අයත් ජනයායි. නමුත් ඒ අය අභිෂේක ලත් අය නෙවෙයි. ධර්මිෂ්ඨකමට නැඹුරුවාවක් දක්වන ඔවුන් ස්වාමීන් හැටියට යේසුස් ක්‍රිස්තුස්ව පිළිගන්නවා. ඔවුන්ගේ බලාපොරොත්තුව වෙන්නේ ඔහුගේ පාලනය යටතේ වඩාත් හොඳ ජීවිතයක් භුක්ති විඳින්නයි.”
4. වර්ෂ 1931දී, 1932දී හා 1934දී පොළොවේ ජීවත් වන පිරිස ගැන අවබෝධය වැඩි වුණේ කෙසේද?
4 ඉන් වසර කිහිපයකට පසු 1931දී පළ කළ වින්ඩිකේෂන් නම් පොතේ පළමු කාණ්ඩයේ එසකියෙල් 9වන පරිච්ඡේදය ගැන තොරතුරු විස්තර කර තිබුණා. එහි සඳහන් වන නළල්වල ලකුණක් ලබා ලෝක විනාශයෙන් බේරෙන අය යේසුස්ගේ උපමාවේ සඳහන් බැටළුවන්ට සමාන බව පැහැදිලි කරනු ලැබුවා. වර්ෂ 1932දී වින්ඩිකේෂන් නම් පොතේ තුන්වන කාණ්ඩය නිකුත් කළා. ඒ පොතේ ඊශ්‍රායෙල් රාජ්‍යයේ රජ වීමට අභිෂේක කළ යේහු සහ ඊශ්‍රායෙල් ජාතිකයෙකු නොවූ යෙහෝනාදාබ් ගැන විස්තර කළා. බාල් දෙවියාට නමස්කාර කළ අය මරා දැමීමට යේහු ගත් පියවරවලට යෙහෝනාදාබ් තම පූර්ණ සහයෝගය දුන්නා. (2 රාජාවලිය 10:15-17) මෙයින් අදහස් වූ දේ ඒ පොතේ පැහැදිලි කර තිබුණේ මෙසේයි. “දැන් යේහුට සමාන කාර්යයක් [එනම් දෙවිගේ විනිශ්චයයන් ප්‍රකාශ කිරීමේ කාර්යයක්] සිදු කරනවා. යෙහෝනාදාබ්ගෙන් නියෝජනය වෙන්නේ පොළොව මත සිදු වන එම කාර්යයට පූර්ණ සහයෝගයක් දෙන පිරිසක්. ඔවුන් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇලී සිටිනවා. ඒ වගේම මෙම දුෂ්ට ලෝකය විනාශ වෙද්දී දෙවි ඔවුන්ව එම විනාශයෙන් ආරක්ෂා කර උදා වන අලුත් පොළොවේ සදාකාල ජීවනය ලබා දෙනවා. මේ අය තමයි යේසුස්ගේ උපමාවේ සඳහන් ‘බැටළුවන්.’” ඉන්පසුව 1934දී මුරටැඹ සඟරාවේ පැහැදිලි කළේ පොළොවේ ජීවත් වීමට බලාපොරොත්තු වන මේ ක්‍රිස්තියානීන් යෙහෝවා දෙවිට කැප වී, බව්තීස්ම විය යුතු බවයි. මේ අය ගැන අවබෝධය වැඩි වූ ආකාරය මෙයින් පැහැදිලි වෙනවා.—හිතෝපදේශ 4:18.
5. (අ) වර්ෂ 1935දී මහත් සමූහය ගැන හෙළි කළේ කුමක්ද? (ආ) පොළොවේ සදාකල් ජීවත් වීමට බලාපොරොත්තුව ඇති අයට නැඟිටින්න කියා සහෝදර රදෆඩ් පැවසූ විට සිදු වුණේ කුමක්ද?
5 එළිදරව් 7:9-17හි සඳහන් දේවල් පැහැදිලිව තේරුම්ගැනීමට ඉන්පසුව හැකි වුණා. (ගීතාවලිය 97:11) මුරටැඹ සඟරාවේ නැවත නැවතත් පැහැදිලි කළේ 1935 මැයි 30 සිට ජූනි 3 දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් ඩී.සී. නුවරෙහි පැවැත්වීමට නියමිත සමුළුව යෙහෝනාදාබ් විසින් නියෝජනය කළ පන්තියට “මහත් සැනසීමක් හා ප්‍රයෝජනයක්” වන බවයි. ඒ කාලයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතුවල පෙරමුණ ගෙන සිටි සහෝදර ජේ.එෆ්. රදෆඩ්, එහි පැමිණ සිටි 20,000කින් පමණ යුත් සමූහයකට “මහත් සමූහය” යන මැයින් කතාවක් ඉදිරිපත් කළා. ශුද්ධ ලියවිල්ලෙන් පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කරමින් ඔහු කිව්වේ වෙනත් බැටළුවන්, එළිදරව් 7:9හි සඳහන් මහත් සමූහයට සමාන බවයි. කතාව අවසානයේදී සහෝදර රදෆඩ් මෙසේ ඇසුවා. “පොළොවේ සදාකල් ජීවත් වීමට බලාපොරොත්තුව ඇති අය නැඟිටින්න කැමතිද?” පැමිණ සිටි අයගෙන් විශාල පිරිසක් නැඟිට සිටි විට “බලන්න! මේ තමයි මහත් සමූහය” කියා ඔහු පැවසුවා. මුලින්ම දැඩි නිහඬතාවක් ඇති වුණත්, සියලුදෙනාම ප්‍රීතියෙන් ඔල්වරසන් දෙන්න පටන්ගත්තා. එයින් යොහන් පන්තියේ මෙන්ම යෙහෝනාදාබ් කණ්ඩායමේ ප්‍රීතිය කදිමට ප්‍රකාශ වුණා. ඊළඟ දිනේදී නවක සාක්ෂිකරුවන් 840ක් බව්තීස්ම වූ අතර ඔවුන්ගෙන් වැඩිදෙනා මහත් සමූහයට අයත් බව කියා සිටියා.
මහත් සමූහය තවත් තහවුරු වෙයි
6. (අ) මහත් සමූහය පොළොව මත සදාකල් ජීවත් වීමට බලාපොරොත්තු වන අද දින සිටින කැප වූ ක්‍රිස්තියානීන් බව අපට පැහැදිලි කිව හැක්කේ ඇයි? (ආ) මහත් සමූහය පැළඳ සිටින සුදු සළුවලින් සංකේතවත් වෙන්නේ කුමක්ද?
6 මහත් සමූහය පොළොව මත සදාකල් ජීවත් වීමට බලාපොරොත්තු වන අද දින සිටින කැප වූ ක්‍රිස්තියානීන් බව අපට පැහැදිලිවම කිව හැක්කේ ඇයි? යොහන් දුටු දර්ශනයේ මහත් සමූහය දකින්න පෙර ස්වර්ගයට යන අය “සියලු ගෝත්‍රවලින්ද භාෂාවලින්ද ජනයාගෙන්ද ජාතීන්ගෙන්ද . . . දෙවි උදෙසා මිල දී ගත්” බව පැවසුවා. (එළිදරව් 5:9, 10) මහත් සමූහයත් තෝරාගෙන තිබෙන්නේ ඒ හා සමානවයි. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තුව වෙනස්. දෙවිගේ ඊශ්රායෙලයට අයත් සංඛ්‍යාව සීමිත වුණත් මහත් සමූහයට නිශ්චිත සංඛ්‍යාවක් නැහැ. අන්තිමේදී ඊට කීදෙනෙක් ඇතුළත් වෙනවාද කියා කාටවත් කියන්න බැහැ. ඔවුන්ගේ සළු බැටළු පැටවාණන්ගේ රුධිරයෙන් සෝදා සුදු කරගෙන තිබෙනවා කීමෙන් අදහස් වෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඔවුන් තබන ඇදහිල්ල නිසා ඔවුන් යෙහෝවා දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ ස්ථාවරයක් ලබාගෙන සිටින බවයි. (එළිදරව් 7:14) ඔවුන් අත තාල පත්‍ර තිබෙනවා කීමෙන් අදහස් වෙන්නේ රජු හැටියට තමුන් යේසුස් ක්‍රිස්තුස්ව පිළිගන්නා බවයි.
7, 8. (අ) මහත් සමූහයේ අත තාල පත්‍ර දුටු යොහන්ට කුමන අතීත සිද්ධීන් සිහි වෙන්න ඇද්ද? (ආ) මහත් සමූහයට අයත් අය තාල පත්‍ර අතැතිව සිටීමෙන් අදහස් වෙන්නේ කුමක්ද?
7 මේ දර්ශනය දකිද්දී වසර 60කට ඉහත යේසුස් පොළොව මත ගත කළ අන්තිම සතියේ සිදු වූ දේ යොහන්ට සිහි වෙන්න ඇති. ඒ සිද්ධිය වුණේ ක්‍රි.ව. 33 නීසාන් මාසයේ 9වනදායි. යෙරුසලමට පැමිණි යේසුස්ව පිළිගැනීමට එක් රොක් වූ සමූහයා “තාල ගස්වල අතු රැගෙන ඔහුව හමුවීමට පිටතට ගියෝය. එවිට ඔවුහු, ‘ආරක්ෂා කරන්න! යෙහෝවාගේ නාමයෙන් එන තැනැත්තා, එනම් ඊශ්‍රායෙලයෙහි රජ ආශීර්වාද ලද්දේය’ කියා කෑගසන්න පටන්ගත්හ.” (යොහන් 12:12, 13) ඒ හා සමානව මහත් සමූහයද තම අත්වල තාල පත්‍ර ඇතුව සිටීමෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් ඉමහත් ප්‍රීතියෙන් යේසුස්ව යෙහෝවා දෙවි පත් කළ රජු ලෙස පිළිගන්නා බවයි.
8 තාල පත්‍ර භාවිත කර ප්‍රීතියෙන් සිටි තවත් අවස්ථාවකුත් යොහන්ට මතක් වෙන්න ඇති. එනම් පුරාණ ඊශ්‍රායෙලයේ පැවති කූඩාරම් මංගල්‍යයයි. එම මංගල්‍යය පැවැත්වීම සඳහා දෙවි මෙසේ අණ කර තිබුණා. “පළමුවෙනි දින හොඳ ගස්වල පලද තල් ගස්වල අතුද බොහෝ කොළ ඇති ගස්වල අතුද ගං ඉවුරුවල තිබෙන නළා ගස්ද රැගෙන හත් දවසක් ඔබගේ දෙවි වූ යෙහෝවා ඉදිරියෙහි ප්‍රීති වන්න.” තාල ගස්වල අතු භාවිත කළේ ප්‍රීතිය ප්‍රකාශ කිරීමටයි. ඔවුන් ඒ අතුවලින් තනාගත් තාවකාලික කූඩාරම්වලින් සිහිගැන්වූයේ යෙහෝවා දෙවි ඔවුන්ව ඊජිප්තුවෙන් ගලවා පාළුකරයේ කූඩාරම්වල ජීවත් කෙරෙවූ ආකාරයයි. මෙම මංගල්‍යයට “විදේශීයාද පියා නැත්තාද වැන්දඹුවද” සහභාගි වුණා. මෙහිදී ඊශ්‍රායෙලයේ සියලුදෙනාම මහත් සේ “ප්‍රීති” වුණා.—ලෙවී කතාව 23:40; ද්විතීය කතාව 16:13-15.
9. මහත් සමූහයත් තම හඬ එකතු කරන්නේ කිනම් ප්‍රීතිමත් ප්රකාශයටද?
9 මහත් සමූහය දෙවිගේ ඊශ්‍රායෙල්ට අයිති කොටසක් නොවුණත් ඔවුන්ද තමන්ගේ අත්වල තාල පත්‍ර ඇතිව ඉතා ප්‍රීතියෙන් තමන්ට ලබා දුන් ගැලවීම ගැන මහා හඬින් දෙවිටත් බැටළු පැටවාණන්ටත් ප්‍රශංසා කරනවා. යොහන් එය දකින්නේ මෙලෙසයි. “ඔවුහු මහත් හඬින් කෑගසමින්, ‘ගැලවීම අපට ලබා දුන්, සිංහාසනය මත ඉඳගෙන සිටින අපේ දෙවිටත් බැටළු පැටවාටත් අපි ණයගැතිව සිටිමු’ යි කියති.” (එළිදරව් 7:10) මේ මහත් සමූහය සියලු ජාතීන්ගෙන් හා ගෝත්‍රවලින් පැමිණ සිටියත්, ඔවුන් මේ දේ කියන්නේ එක “මහත් හඬින්.” ඔවුන් එය කරන්නේ කෙසේද?
10. විවිධ ජාතීන්ට හා භාෂාවන්ට අයත් මහත් සමූහයට ප්‍රීතියෙන් “එක හඬින්” කෑගැසිය හැක්කේ කෙසේද?
10 අද ලෝකයේ එක්සත්ව සිටින එකම අන්තර්ජාතික සංවිධානයට මෙම මහත් සමූහය අයත් වෙනවා. වෙනස් රටවල ජීවත් වුණත් ඔවුන්ට එකිනෙකට වෙනස් ප්‍රමිති නැහැ. ඔවුන් කොහේ ජීවත් වුණත් එකම බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙනයි ජීවත් වෙන්නේ. ඔවුන් ජාතිවාදී, විප්ලවකාරී ව්‍යාපාරවලට හවුල් වෙන්නේ නැහැ. ඔවුන් සැබවින්ම ‘කඩුවලින් හීවැල් තලාගෙන’ සිටිනවා. (යෙසායා 2:4) ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල ආගම් මෙන් ඔවුන් විවිධ ආගමික නිකායන් හෝ කණ්ඩායම්වලට බෙදී නැහැ. එනිසා එකිනෙකට වෙනස් වියවුල්සහගත මත හෝ විශ්වාසයන් ඔවුන්ට නැහැ. තමන් වෙනුවෙන් දෙවිට ප්‍රශංසා කරන්න ඔවුන් පූජක පක්ෂයකට භාර දී නැහැ. ඔවුන් ත්‍රිත්ව දෙවියෙකුට නමස්කාර නොකරන නිසා තමාගේ ගැලවීම සඳහා ශුද්ධාත්මයට ණයගැතියි කියා පවසන්නේ නැහැ. ලොව පුරා රටවල් 200කට වැඩි ගණනක ඔවුන් එක හඬින් යෙහෝවා දෙවිට අයැදිමින් සත්‍යය නමැති පවිත්‍ර භාෂාව කතා කරනවා. (ශෙපනියා 3:9) තමන්ගේ ගැලවීම පැමිණෙන්නේ ගැලවීමේ දෙවි වන යෙහෝවාගෙන් සහ ගැලවීමේ ප්‍රධාන නියෝජිතයා වන යේසුස් ක්‍රිස්තුස් මගින් බවත් ඔවුන් ප්‍රසිද්ධියේ පිළිගන්නවා.—ගීතාවලිය 3:8; හෙබ්‍රෙව් 2:10.
11. මහත් සමූහයේ හඬ තවත් ප්‍රබල කිරීමට නවීන තාක්ෂණය උපකාරවත් වී තිබෙන්නේ කෙසේද?
11 මහත් සමූහයේ හඬ තවත් ප්‍රබල කිරීමට නවීන තාක්ෂණය උපකාරවත් වී තිබෙනවා. ඔවුන් එය යොදාගෙන භාෂා 400කට වඩා වැඩියෙන් බයිබලය තේරුම්ගැනීමට උපකාරවත් වන පොත් පත් ප්‍රකාශයට පත් කරනවා. එවැනි දෙයක් කිරීමට වෙනත් කිසිම ආගමික කණ්ඩායමකට අවශ්‍යතාවක් ඇති වී නැහැ. මන්ද එකම පණිවුඩය මුළු පොළොව පුරාම සිටින අයට දෙන්න ඔවුන්ට වුවමනාවක් නැති නිසයි. මෙම අරමුණු වඩාත් සාර්ථක ලෙස ඉටු කිරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අභිෂේක ලත් පාලක මණ්ඩලය යම් පියවර ගෙන තිබෙනවා. ඔවුන්ගේ අධීක්ෂණය යටතේ භාෂා රැසකින් පරිවර්තන කටයුතු සිදු කිරීමට උපකාරවත් වන පරිගණක වැඩසටහනක් නිපදවනු ලැබුවා. එය හඳුන්වන්නේ මෙප්ස් (MEPS) ලෙසයි. මෙම මෙප්ස් (MEPS) ක්‍රමය යොදා දැනට ලොව වටා මධ්‍යස්ථාන 125ක පරිවර්තන කටයුතු සිදු කරන අතර, අර්ධ මාසිකව පළ කරන මුරටැඹ සඟරාව භාෂා 150කට වැඩි ගණනකින් ප්‍රකාශයට පත් වෙනවා. ඒ වගේම මේ පොත ඇතුළුව පොත් කිහිපයක්ම සමාගාමීව භාෂා ගණනාවකින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ප්‍රතිඵලයක් ලෙස යෙහෝවාගේ සාක්ෂිකරුවන් වාර්ෂිකව පොත් පත් සඟරා මිලියන සිය ගණනක් ප්‍රධාන භාෂා ගණනාවකින්ම බෙදාහරිනවා. මේ මගින් සියලු ගෝත්‍රවලට සහ භාෂාවලට අයත් තවත් විශාල පිරිසකට දේවවචනය අධ්‍යයනය කර, තමන්ගේ හඬත් මහත් සමූහයේ මහා හඬට එකතු කරන්න හැකියාව ලැබී තිබෙනවා.—යෙසායා 42:10, 12.
ස්වර්ගයේද? පොළොවේද?
12, 13. මහත් සමූහය “සිංහාසනය ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත්” සිටින්නේ කිනම් ආකාරයෙන්ද?
12 මහත් සමූහය “සිංහාසනය ඉදිරියෙහි” සිටිනවා කීමෙන් ඔවුන් ස්වර්ගයේ සිටිනවා කියා අදහස් කරන්නේ නැහැ. මේ කාරණය ඔප්පු කිරීමට බොහෝ සාක්ෂි තිබෙනවා. උදාහරණයක් වශයෙන්, මෙහි “ඉදිරියෙහි” යනුවෙන් පරිවර්තනය කර තිබෙන ග්‍රීක වචනය (එනොපියොන්) පොළොවේ සිටින මිනිසුන් දෙවි “ඉදිරියෙහි” සිටින ආකාරය විස්තර කිරීමට කිහිප වතාවක්ම භාවිත කර තිබෙනවා. (1 තිමෝති 5:21; 2 තිමෝති 2:14; රෝම 14:22; ගලාති 1:20) ඊශ්‍රායෙල් ජාතිය පාළුකරයේ සිටින විට මෝසෙස් ආරොන්ට මෙසේ පැවසුවා. “යෙහෝවා ඔබගේ කෙඳිරීම් ඇසූ හෙයින් ඔහු ඉදිරියට ළං වෙන්නයි ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කියන්න.” (නික්මයාම 16:9) යෙහෝවා දෙවි ඉදිරියට යන්න ඔවුන්ට ස්වර්ගයට යන්න අවශ්‍ය වුණේ නැහැ. (ලෙවී කතාව 24:8ද බලන්න.) ඔවුන් පාළුකරයේ සිටිද්දීම දෙවි ඉදිරියේ සිටියා. එනම් ඔවුන් වෙතට ඔහු තම අවධානය යොමු කළා.
13 මීට අමතරව යේසුස් පැවසූ මේ වදන් සැලකිල්ලට ගන්න. “මනුෂ්‍ය පුත්‍රයා තම තේජසින් සියලු දේවදූතයන් සමඟ එන කල, . . . සියලු ජාතීන් ඔහු ඉදිරියෙහි රැස් කරනු ලැබේ.” මේ අනාවැකිය ඉෂ්ට වෙද්දී මිනිස් සංහතිය සිටින්නේ ස්වර්ගයේ නෙවෙයි. ‘සදහටම කපාහරිනු ලබන’ අය සිටින්නේත් ස්වර්ගයේ නොවන බව පැහැදිලියි. (මතෙව් 25:31-33, 41, 46) එදාට පොළොවේ සිටින මිනිස් සංහතිය යේසුස් ඉදිරියට පැමිණෙන්නේ ඔහුගේ අවධානයට ලක් වී ඔහුගෙන් විනිශ්චයක් ලැබීමටයි. ඒ හා සමානව මහත් සමූහය “සිංහාසනය ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත්” සිටිනවා කීමෙන් අදහස් කරන්නේ ඔවුන් යෙහෝවා දෙවි සහ ඔහු පත් කර ඇති රජ වන යේසුස් ක්‍රිස්තුස් ඉදිරියෙහි සිටින බවයි. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් සදාකාල ජීවනය ලබාගැනීමට සුදුසු බව තීන්දු කරනවා.
14. (අ) “සිංහාසනය වටේට” සහ “[ස්වර්ගයේ] සියොන් කන්දේ” සිටින්නේ කවුරුන්ද? (ආ) මහත් සමූහය ‘දේවමාලිගාවේ’ සේවය කළත් ඔවුන් පූජක පන්තියක් නොවන්නේ ඇයි?
14 වැඩිමහල්ලන් 24දෙනා සහ 1,44,000දෙනා වන අභිෂේක ලත් අයව විස්තර කර තිබෙන්නේ යෙහෝවා දෙවිගේ “සිංහාසනය වටේට” සිටින අය සහ “[ස්වර්ගයේ] සියොන් කන්දේ” සිටින අය හැටියටයි. (එළිදරව් 4:4; 14:1) නමුත් මහත් සමූහයට මෙම ශ්‍රේෂ්ඨ වරප්‍රසාදය ලැබෙන්නේ නැහැ. එයට හේතුව ඔවුන් පූජකයන් නොවන නිසයි. එළිදරව් 7:15හි ඔවුන්ව විස්තර කර තිබෙන්නේ “දේවමාලිගාවෙහි” සේවය කරන අය හැටියටයි. නමුත් මෙහිදී දේවමාලිගාව කීමෙන් අදහස් කරන්නේ අතිශුද්ධ ස්ථානය වන ස්වර්ගය නෙවෙයි. ඔවුන් සේවය කරන්නේ දෙවිට කරන නමස්කාරය පිළිබිඹු කරන ඔහුගේ සංකේතවත් දේවමාලිගාවේ මළුව වන පොළොවෙයි. මෙහි “දේවමාලිගාව” යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක වචනයේ (නාඔස්) පුළුල් අර්ථය නම් දෙවිට නමස්කාර කිරීම සඳහා තනා ඇති සම්පූර්ණ ගොඩනැඟිලි සංකීර්ණයයි. මේ අර්ථයට අනුව දෙවිට කරන නමස්කාරය ස්වර්ගයෙහි මෙන්ම පොළොවෙහිත් සිදු වෙනවා.—මතෙව් 26:61; 27:5, 39, 40ද, මාක් 15:29, 30ද, යොහන් 2:19-21ද බලන්න.
විශ්වය පුරාම ඇසෙන ප්‍රශංසාවක්
15, 16. (අ) මහත් සමූහය දකින ස්වර්ගයේ ජීවීන් ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? (ආ) දෙවිගේ අරමුණේ අලුත් දේවල් අනාවරණය වෙද්දී ඔවුන් ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? (ඇ) පොළොව මත සිටින අපට මෙම ප්‍රශංසා ගීයට හවුල් විය හැක්කේ කෙසේද?
15 මහත් සමූහය යෙහෝවා දෙවිට ප්‍රශංසා කරමින් සිටින අතර, වෙනත් අයද දෙවිට ප්‍රශංසා කරමින් සිටිනවා. යොහන් මෙසේ පවසනවා. “තවද සියලු දේවදූතයෝ, සිංහාසනයද වැඩිමහල්ලන්ද ජීවීන් සතරදෙනාද වට කර සිටගෙන සිටියහ. ඔවුහු සිංහාසනය ඉදිරියෙහි මුණින් වැටී දෙවිට නමස්කාර කරමින් මෙසේ කීවෝය: ‘ආමෙන්! අපේ දෙවිට සදාකාලයෙන් සදාකාලයට ආශීර්වාදයද මහිමයද ප්‍රඥාවද ස්තුතියද ගෞරවයද පරාක්‍රමයද ශක්තියද වේවා! ආමෙන්.’”—එළිදරව් 7:11, 12.
16 යෙහෝවා දෙවි පොළොව මැවූ අවස්ථාවේදී ඔහුගේ සියලු ශුද්ධ දූතයන් ‘එකතු වී ගීතිකා කී බවත්, දෙවිගේ සියලු පුත්‍රයන් ප්‍රීති නාද පැවැත්වූ’ බවත් අපට කියවන්නට තිබෙනවා. (යෝබ් 38:6) දෙවිගේ අරමුණේ තවත් අලුත් දේවල් අනාවරණය වෙද්දී දේවදූතයන් ඒ හා සමාන ප්‍රශංසාවක් කරන්න ඇති. වැඩිමහල්ලන් 24දෙනා, එනම් ස්වර්ගයේ තේජසින් සිටින 1,44,000දෙනා බැටළු පැටවාණන්ව පිළිගෙන මහා හඬින් ප්‍රීති නාද කරද්දී, ස්වර්ගයේ සියලුම ජීවීන් ඒ නාදයට තමන්ගේ හඬවල් එකතු කරන්නේ යේසුස්ට සහ යෙහෝවා දෙවිට ප්‍රශංසා දෙමිනුයි. (එළිදරව් 5:9-14) යෙහෝවා දෙවි විශ්වාසවන්ත අභිෂේක ලත් අයව ස්වර්ගයේ අමරණීය ජීවිතයකට නැවත නැඟිටුවීම ගැන මෙම ජීවීන් දැනටමත් සිටින්නේ ප්‍රීතියෙන්. නමුත් මහත් සමූහය දකින විට ඔවුන්ගේ ප්‍රීතිය තවත් වැඩි වෙනවා. ඔවුන් සැම දෙවිට ප්‍රශංසා ගී ගයනවා. මින් පැහැදිලි වෙන්නේ ස්වාමීන්ගේ දවස යෙහෝවා දෙවිගේ සියලුම සේවකයන් සඳහා ඉතාමත් ප්‍රීතිමත් කාලයක් වන බවයි. (එළිදරව් 1:10) දේවරාජ්‍යය ගැන සාක්ෂි දැරීමෙන් මෙම ප්‍රශංසා ගීයට පොළොවේ සිටින අපටත් හවුල් වීමේ වරප්‍රසාදය තිබෙනවා.
මහත් සමූහය රැස් කිරීම ආරම්භ වෙයි
17. (අ) වැඩිමහල්ලන් 24දෙනාගෙන් එක් කෙනෙක් අසන ප්රශ්නය කුමක්ද? ඊට පිළිතුර ඒ වැඩිමහල්ලාගෙන්ම ලැබෙන නිසා ඉන් පැහැදිලි වෙන්නේ කුමක්ද? (ආ) වැඩිමහල්ලාගේ ප්‍රශ්නයට පිළිතුරු ලැබුණේ කවදාද?
17 යොහන්ගේ කාලයේ සිට ස්වාමීන්ගේ දවස දක්වා අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට මහත් සමූහය කවුද යන්න හඳුනාගන්න අමාරු දෙයක් වුණා. ස්වර්ගයේ දැනටමත් සිටින අභිෂේක ලත් අයව නියෝජනය කරන වැඩිමහල්ලන් 24දෙනාගෙන් කෙනෙක් දැන් මේ ප්රශ්නය ඇසීම සුදුසුයි. ඒ ප්රශ්නය යොහන්ටත් මහත් සේ බලපාන්න ඇති. “එවිට වැඩිමහල්ලන්ගෙන් එක් කෙනෙක් මට කතා කොට, ‘සුදු සළු පැළඳ සිටින මොවුහු කවරහුද? ඔවුන් ආවේ කොතැනින්ද’ කියා ඇසුවේය. එකෙණෙහිම මම ඔහු අමතා, ‘මාගේ ස්වාමිනි, එය දන්නේ ඔබය’ යි කීවෙමි.” (එළිදරව් 7:13, 14අ) එයට පිළිතුරු දෙන්න හැකියාව තිබුණේ ඒ වැඩිමහල්ලාටමයි. එයින් අදහස් වෙන්නේ නැවත නැඟිටුවා ඇති අභිෂේක ලත් අයව නියෝජනය කරන වැඩිමහල්ලන් 24දෙනා අද දින දෙවි හෙළි කරන සත්‍යයන් දැනුම් දීමට ඇතැම්විට හවුල් වන බවයි. යොහන් පන්තියක් මහත් සමූහය කවුද කියා තේරුම්ගත්තේ යෙහෝවා දෙවි පොළොව මත සිටින තම සේවකයන් සම්බන්ධයෙන් සිදු කරන දේ ගැන ඔවුන් විමසිලිමත්ව සිටි නිසයි. මේ නිසා දෙවි සුදුසුයි කියා තීරණය කළ කාලය වන 1935දී හෙළි කළ දේ ඔවුන් විගස අවබෝධ කරගත්තා.
18, 19. (අ) එක්දහස් නවසිය විසි ගණන්වල හා 1930 ගණන්වල යොහන් පන්තිය බොහෝ සෙයින් කතා කළේ මොන බලාපොරොත්තුව ගැනද? නමුත් ශුභාරංචියට වැඩියෙන් කන් දුන්නේ මොන අයද? (ආ) වර්ෂ 1935දී මහත් සමූහය ගැන හෙළි වූ දෙයින් 1,44,000දෙනා ගැන පැහැදිලි වුණේ කුමක්ද? (ඇ) සිහි කිරීමට පැමිණෙන අයගේ සංඛ්‍යාව දෙස බලන විට පැහැදිලි වෙන්නේ කුමක්ද?
18 එක්දහස් නවසිය විසි ගණන්වල හා 1930 ගණන්වල මුල් භාගයේදී යොහන් පන්තිය ශුභාරංචිය දේශනා කිරීමෙන් හා පළ කළ පොත් පත්වලින් බොහෝ සෙයින් කතා කළේ ස්වර්ගික බලාපොරොත්තුව ගැනයි. මෙයින් පෙනී ගියේ 1,44,000දෙනාගේ ගණන තවමත් සම්පූර්ණ වී නැති බවයි. නමුත් ශුභාරංචියට මහත් කැමැත්තෙන් ප්‍රතිචාරය දක්වා සාක්ෂි දැරීමේ කාර්යයට ඉතා උද්යෝගයෙන් හවුල් වූ වැඩිදෙනාගේ ආශාව වුණේ පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමයි. ස්වර්ගයට යන්න ඔවුන් තුළ කිසිම ආශාවක් තිබුණේ නැහැ. ඔවුන් කුඩා රැළට නොව වෙනත් බැටළුවන්ට අයිතිව සිටියා. (ලූක් 12:32; යොහන් 10:16) වර්ෂ 1935දී මෙම වෙනත් බැටළුවන් මහත් සමූහයට අයත් බව පැහැදිලි කරනු ලැබූ විට 1,44,000දෙනාව තෝරාගැනීම බොහෝදුරට අවසන් බව පැහැදිලි වුණා.
19 මෙය තහවුරු කරන්න අපට යම් සංඛ්‍යා ලේඛන උපකාරවත් වෙනවාද? ඔව්. වර්ෂ 1938දී ලොව වටා දේවසේවයේ හවුල් වී සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ගණන 59,047ක් වුණා. වාර්ෂිකව පැවැත්වූ යේසුස්ගේ මරණය සිහි කිරීමේදී මේ අයගෙන් 36,732ක් තමන්ට ස්වර්ගික කැඳවීමක් ඇති බව දක්වමින් සංකේතවලට පංගුකාරයන් වුණා. නමුත් එදා පටන් අද දක්වා සංකේතවලට පංගුකාරයන් වෙන අයගේ සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩු වී තිබෙනවා. ඊට හේතුව යෙහෝවා දෙවිගේ මෙම විශ්වාසවන්ත සාක්ෂිකරුවන් මිය ගොස් ස්වර්ගයේ ජීවිතයක් ලබාගැනීමයි. වර්ෂ 2005දී ලොව පුරා 1,63,90,116ක් මෙම සිහි කිරීමට සහභාගි වූ අතර, සංකේතවලට පංගුකාරයන් වුණේ 8,524ක් පමණයි. ඒ කියන්නේ සහභාගි වූ අයගෙන් සියයට 0.05ක ප්‍රතිශතයක්.
20. (අ) දෙවන ලෝක මහා යුද්ධය පැවති කාලයේදී සහෝදර රදෆඩ් මහත් සමූහය ගැන තම මිතුරන් කිහිපදෙනෙකුට පැවසුවේ කුමක්ද? (ආ) “මහත් සමූහය” ඇත්තටම මහත් සමූහයක් කියා පැවසිය හැක්කේ ඇයි?
20 දෙවන ලෝක මහා යුද්ධය ආරම්භ වෙද්දී මහත් සමූහය එකතු කිරීමේ කාර්යය නැවැත්වීමට සාතන් ඉතා බලවත් ප්රයත්නයක් දැරුවා. මේ නිසා යෙහෝවා දෙවිගේ වැඩකටයුතුවලට බොහෝ රටවල තහංචි වැටුණා. මේ හේතු නිසා 1942 ජනවාරි මාසයේදී සහෝදර ජේ.එෆ්. රදෆඩ් මිය යෑමට ටික කලකට පෙර තම මිත්‍රයන් කිහිපදෙනෙකුට මෙසේ පවසා තිබුණා. “පෙනෙන විදිහට මහත් සමූහය මීට වඩා වැඩි වෙන එකක් නැහැ.” නමුත් එවැනි දෙයක් සිදු වෙන්නේ දෙවි ඉඩ දුන්නේ නැහැ. වර්ෂ 1946දී ලොව පුරා සාක්ෂිකරුවන්ගේ ගණන 1,76,456 දක්වා වැඩි වුණා. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් මහත් සමූහයට අයත් අයයි. වර්ෂ 2005දී රටවල් 235ක යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කළ සාක්ෂිකරුවන්ගේ ගණන 63,90,022ක් වුණා. ඇත්තටම මෙය මහත් සමූහයක්! මේ සංඛ්‍යාව තව තවත් වැඩි වෙමින් තිබෙනවා.
21. (අ) දෙවිගේ ජනයාව එක් රැස් කිරීමේ කාර්යය ස්වාමීන්ගේ දවසේදී සිදු වී තිබෙන්නේ යොහන්ගේ දර්ශනයට අනුව බව කිව හැක්කේ කෙසේද? (ආ) මෙයට අදාළ වූ වැදගත් අනාවැකි කිහිපයක් ඉටු වෙන්න පටන්ගත්තේ කෙසේද?
21 දෙවිගේ ජනයාව එක් රැස් කිරීමේ කාර්යය ස්වාමීන්ගේ දවසේදී සිදු වී තිබෙන්නේ යොහන්ගේ දර්ශනයට අනුව බව කිව හැකියි. මුලින්ම එකතු කළේ 1,44,000දෙනාගේ ඉතිරි කොටසයි. ඊළඟට රැස් කරන්නේ මහත් සමූහයයි. යෙසායා පැවසූ ආකාරයට මේ “අන්තිම දවස්වලදී” සියලු ජාතීන්ට අයත් ජනයා යෙහෝවා දෙවිට කරන පවිත්‍ර නමස්කාරය කරා ඇදී එනවා. දෙවි විසින් ‘අලුත් අහසක් සහ අලුත් පොළොවක්’ පිහිටුවීම ගැන අප සැමට ප්‍රීති විය හැකියි. (යෙසායා 2:2-4; 65:17, 18) දෙවි ‘ස්වර්ගයේ තිබෙන දේවල් හා පොළොවේ තිබෙන දේවල් යන සියල්ල නැවතත් ක්‍රිස්තුස් තුළ එක්සත් කරමින්’ සිටිනවා. (එෆීස 1:10) ‘ස්වර්ගයේ තිබෙන දේවල්’ කියන්නේ යේසුස්ගේ කාලයේ පටන් දේවරාජ්‍යයේ අභිෂේක ලත් උරුමක්කාරයන් ලෙස තෝරාගනු ලැබූ අයටයි. ‘පොළොවේ තිබෙන දේවලට’ මූලිකව ඇතුළත් වෙන්නේ වෙනත් බැටළුවන්ට අයත් මහත් සමූහයයි. දෙවිගේ මෙම සැලැස්මට එකඟව සේවය කිරීමෙන් ඔබට සදාකාලික ආශීර්වාද හිමි විය හැකියි.
මහත් සමූහයට ලැබෙන ආශීර්වාද
22. මහත් සමූහය ගැන යොහන්ට තවත් ලැබෙන තොරතුරු මොනවාද?
22 යොහන්ට වැඩිමහල්ලාගෙන් මහත් සමූහය ගැන තවත් තොරතුරු ලැබෙනවා. “එවිට ඔහු මට මෙසේ කීවේය: ‘ඔවුහු, මහත් පීඩාවෙන් බේරී එන අයය. ඔවුහු තමුන්ගේ සළු බැටළු පැටවාගේ රුධිරයෙන් සෝදා සුදු කරගත්තෝය. ඔවුන් දෙවිගේ සිංහාසනය ඉදිරියෙහි සිටින්නේ ඒ නිසාය. ඔවුහු දිවා රෑ දෙකෙහි ඔහුගේ දේවමාලිගාවෙහි ඔහුට පරිශුද්ධ සේවය පිරිනමති. සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තා තම කූඩාරම ඔවුන්ට ඉහළින් විදහන්නේය.’”—එළිදරව් 7:14ආ, 15.
23. මහත් සමූහය ‘බේරී එන්නේ’ කුමන මහත් පීඩාවෙන්ද?
23 තමා දේවරාජ්‍යයේ රජු ලෙස පැමිණ සිටින කාලයේදී යම් අවස්ථාවක “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ, නැවත නොවන්නාවූ මහත් පීඩාවක්” සිදු වන බව යේසුස් මීට පෙර අවස්ථාවක පවසා තිබුණා. (මතෙව් 24:21, 22) මේ අනාවැකිය ඉටු වෙන්නේ දේවදූතයන් සතරදිග සුළං මුදාහැර සාතන්ගේ මේ දුෂ්ට මිනිස් සමාජය විනාශ කර දමන විටයි. පළමුවෙන්ම විනාශ වෙන්නේ මහා බැබිලෝනිය හෙවත් අසත්‍ය උගන්වන සියලු ආගම්. ඉන් අනතුරුව මහත් පීඩාවේ උච්චම අවස්ථාවේදී යේසුස් පොළොව මත ඉතිරිව සිටින අභිෂේක ලත් අයව සහ අසංඛ්‍යාත මහත් සමූහය ගලවාගන්නවා.—එළිදරව් 7:1; 18:2.
24. මහත් සමූහයට අයත් පුද්ගලයන් බේරී ජීවත් වෙන්න සුදුසු අය බවට පත් වෙන්නේ කෙසේද?
24 මහත් සමූහයට අයත් පුද්ගලයන් බේරී ජීවත් වෙන්න සුදුසු අය බවට පත් වෙන්නේ කෙසේද? වැඩිමහල්ලා යොහන්ට පවසන්නේ ඔවුන් “තමුන්ගේ සළු බැටළු පැටවාගේ රුධිරයෙන් සෝදා සුදු කරගත්” බවයි. මින් අදහස් කරන්නේ ඔවුන් යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තබමින් යෙහෝවා දෙවිට තම ජීවිත කැප කර එය බව්තීස්මයෙන් ප්‍රකාශ කර ඇති බවයි. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් නිර්දෝෂ ජීවිතයක් ගත කරන නිසා දෙවි ඉදිරියේ “යහපත් හෘදය සාක්ෂියක්” ඇතිව සිටීමට ඔවුන්ට හැකි වෙනවා. (1 පේතෘස් 3:16, 21; මතෙව් 20:28) ඒ නිසා යෙහෝවා දෙවි ඔවුන්ව පවිත්‍ර හා ධර්මිෂ්ඨ අය හැටියට සලකනවා. ඔවුන් “ලෝකයෙන් කිලිටි නොවී සිටීමට” දිගටම උත්සාහ කරනවා.—යාකොබ් 1:27.
25. (අ) මහත් සමූහය යෙහෝවා දෙවිට “දිවා රෑ දෙකෙහි ඔහුගේ දේවමාලිගාවෙහි” සේවය කරනවා කීමෙන් අදහස් වෙන්නේ කුමක්ද? (ආ) යෙහෝවා දෙවි මහත් සමූහයට ඉහළින් ‘තම කූඩාරම විදහනවා’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
25 මහත් සමූහය ගැන කතා කරමින් වැඩිමහල්ලා පවසන්නේ “ඔවුහු දිවා රෑ දෙකෙහි ඔහුගේ දේවමාලිගාවෙහි ඔහුට පරිශුද්ධ සේවය පිරිනමති” කියායි. මින් අදහස් වෙන්නේ ඔවුන් යෙහෝවා දෙවිට ඉතා උද්යෝගයෙන් සේවය කරන බවයි. මහත් කැපවීමකින් සේවය කරන මෙම මහත් සමූහයට ඔබත් අයිතිද? එසේනම් ඔබට තිබෙන්නේ පොළොව මත අත්නෑර යෙහෝවා දෙවිට සේවය කිරීමේ වරප්රසාදයයි. අද දින සාක්ෂි දැරීමේ කාර්යයෙන් වැඩි කොටසක් ඉටු කරන්නේ මහත් සමූහයයි. ඔවුන් සේවය කරන්නේ අභිෂේක ලත් අයගේ මඟ පෙන්වීම යටතේයි. ඔවුන්ට යම් අමතර වගකීම් තිබුණත් පුරෝගාමීන් ලෙස සේවය කිරීමට ලක්ෂ ගණනක් ඉදිරිපත් වී සිටිනවා. නමුත් ඔබ පුරෝගාමියෙකු වුවත් නැතත්, මහත් සමූහයට අයත් පුද්ගලයෙකු ලෙස ඔබට සතුටු විය හැකියි. ඔබේ ඇදහිල්ල හා ක්‍රියා නිසා ඔබ දෙවිගේ මිත්‍රයෙකු ලෙස සිටීමට තරම් සුදුසු ධර්මිෂ්ඨ කෙනෙක් ලෙස ඔහුගේ මණ්ඩපයේ හෙවත් කූඩාරමේ අමුත්තෙකු වශයෙන් ඔබව පිළිගෙන තිබෙනවා. (ගීතාවලිය 15:1-5; යාකොබ් 2:21-26) දෙවි තමන් ප්‍රේම කරන අයව සාදරයෙන් පිළිගෙන ආරක්ෂා කරනවා. ඔහු ඔවුන්ට ඉහළින් ‘තම කූඩාරම විදහනවා’ කීමෙන් අදහස් කරන්නේ එයයි.—හිතෝපදේශ 18:10.
26. මහත් සමූහය ලබන වෙනත් ආශීර්වාද මොනවාද?
26 වැඩිමහල්ලා තවත් මෙසේ කියනවා. “ඔවුන්ට තවත් කුසගිනි ඇති වන්නේවත් පිපාසය ඇති වන්නේවත් නැත; දැඩි සූර්ය රශ්මියවත් දැවෙන රස්නයක්වත් ඔවුන්ට වැදෙන්නේ නැත. මන්ද, සිංහාසනය අසල සිටින බැටළු පැටවා එඬේරෙකු මෙන් ඔවුන්ව රැකබලා ගෙන, ඔවුන්ව ජීවන වතුර ඇති උල්පත්වලට මඟ පෙන්වන්නේය. දෙවිද ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය.” (එළිදරව් 7:16, 17) ඔවුන් අද්දකින්නේ දෙවිගේ නිම් හිම් නැති ත්‍යාගශීලිත්වයයි. නමුත් මෙම වචනවල ඉතා ගැඹුරු අර්ථයක් ගැබ්ව තිබෙනවා.
27. (අ) වැඩිමහල්ලා කී වචනවලට සමානව යෙසායා පැවසුවේ කුමක්ද? (ආ) යෙසායාගේ අනාවැකිය පාවුල්ගේ කාලයේ ක්‍රිස්තියානි සභාව සම්බන්ධයෙන් ඉටු වූ බව පැහැදිලි වෙන්නේ කෙසේද?
27 මේ හා සමාන අදහස් ඇතුළත් අනාවැකියක් ගැන සලකා බලමු. “යෙහෝවා මෙසේ කියන්නේය: පිළිගත යුතු කලක මම ඔබට උත්තර දී ගැලවීමේ දවසක ඔබට පිහිට වීමි. . . . ඔවුන්ට බඩගින්නවත් පිපාසයවත් නොවන්නේය. ග්රීෂ්මයවත් අව්වවත් ඔවුන්ට නොවදින්නේය. මක්නිසාද ඔවුන්ට කරුණා ඇති තැනැත්තා ඔවුන් ගෙන ගොස් දිය උල්පත් ළඟින් ඔවුන්ට මඟ පෙන්වන්නේය.” (යෙසායා 49:8, 10; ගීතාවලිය 121:5, 6ද බලන්න.) පාවුල් මෙම අනාවැකියේ කොටසක් උපුටා දක්වා එය ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසෙන් පටන්ගත් “ගැලවීමේ දවසට” අදාළ කළා. ඔහු ලිව්වේ මෙසේයි. “මන්ද, ඔහු [යෙහෝවා] මෙසේ කියන්නේය: ‘පිළිගැනීමේ කාලයකදී මම ඔබට සවන් දුන්නෙමි. ගැලවීමේ දවසකදී මම ඔබට උපකාර කළෙමි.’ මෙන්න! මෙය විශේෂ පිළිගැනීමේ කාලයකි. මෙන්න! දැන් ගැලවීමේ දවසය.”—2 කොරින්ති 6:2.
28, 29. (අ) යෙසායාගේ වචන පළමු සියවසේදී ඉටු වුණේ කෙසේද? (ආ) එළිදරව් 7:16හි වචන මහත් සමූහය සම්බන්ධයෙන් ඉටු වෙන්නේ කෙසේද? (ඇ) මහත් සමූහය “ජීවන වතුර ඇති උල්පත්වලට” මඟ පෙන්වනු ලැබීමේ ප්‍රතිඵලය කුමක්ද? (ඈ) මහත් සමූහයට ලැබෙන්නේ මොන සුවිශේෂ ආශීර්වාදයද?
28 කුසගිනි වන්නේවත්, පිපාස වන්නේවත් දැඩි හිරු රශ්මියකින් දැවෙන්නේවත් නැති බවට වූ පොරොන්දුව ඉටු වුණේ කෙසේද? මුල් සියවසේ විසූ ක්‍රිස්තියානීන් ඇතැම් අවස්ථාවලදී ඇත්තටම කුසගින්නෙන් හා පිපාසයෙන් පෙළුණා. (2 කොරින්ති 11:23-27) නමුත් ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරගන්න ඔවුන්ට ඕනෑ තරම් සංකේතවත් ආහාර තිබුණා. ඔවුන්ට ඒවා බහුල ලෙස සපයනු ලැබූ නිසා ඒ අතින් ඔවුන්ට කිසිම ආකාරයක ‘බඩගින්නක්වත් පිපාසයක්වත්’ දැනුණේ නැහැ. ඒ වගේම ක්‍රි.ව. 70දී යුදෙව් සමාජය විනාශ වෙද්දී යෙහෝවා දෙවි සිය උදහසේ රශ්මිය ඔවුන්ට වැදෙන්න සැලැස්සුවේත් නැහැ. එළිදරව් 7:16හි වචන ඒ හා සමානව අද දින මහත් සමූහය සම්බන්ධයෙනුත් ඉටු වී තිබෙනවා. ඔවුන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සමඟ කිසිම හිඟයක් නැතුව කදිම පෝෂණයක් ලබනවා.—යෙසායා 65:13; නාහුම් 1:6, 7.
29 ඔබ මහත් සමූහයට අයිති කෙනෙක් නම් සාතන්ගේ මේ දුෂ්ට සමාජය පවතින අවසන් කාලයේ මොන තරම් දුෂ්කරතා හා පීඩන ඔබට විඳදරාගන්නට සිදු වුණත්, ඔබේ සිතේ ඇති ප්‍රීතිය නිසා “සතුටින් ගී” කීමට හැකි වෙනවා. (යෙසායා 65:14) ඉන් අදහස් වෙන්නේ යෙහෝවා දෙවි දැන් වුණත් ‘ඔබේ ඇස්වලින් සියලු කඳුළු පිස දමා’ ඇති බවයි. දෙවිගේ උදහස නමැති ‘සූර්යයාගෙන්’ කිසිම තර්ජනයක් වෙන්නේ නැහැ. එනම් විනාශය නමැති සතරදිග සුළං මුදාහරින විට ඔබ යෙහෝවා දෙවිගේ අප්‍රසාදය නමැති ‘දැඩි සූර්ය රශ්මියෙන්’ බේරෙනවා. දුෂ්ටයන්ගේ විනාශයෙන් පසුව බැටළු පැටවාණන් ඔබව “ජීවන වතුර ඇති උල්පත්වලට” ගෙන යනවා. මින් අදහස් වෙන්නේ සදාකාල ජීවනය ලබාගැනීම සඳහා යෙහෝවා දෙවි බොහෝ දේවල් එහිදී සපයන බවයි. මේවායින් ප්‍රයෝජන ගැනීමට ඔබටත් අවස්ථාව උදා වෙනවා. බැටළු පැටවාණන්ගේ රුධිරය කෙරෙහි ඔබ තැබූ ඇදහිල්ල නිසා ක්‍රමානුකූලව ඔබෙන් පව්කාර ස්වභාවය දුරු කර ඔබව පරිපූර්ණ තත්වයකට පත් කරනු ලබනවා. මහත් සමූහයට අයත් කෙනෙකු ලෙස ඔබට මෙහිදී ලැබෙන්නේ මොන තරම් සුවිශේෂ ආශීර්වාදයක්ද! කිසිදා මිය නොයන “මිලියන” ගණනක් දෙනා අතර සිටින කෙනෙක් වීමට ඔබටත් හැකි වෙනවා. ඔබේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමනවා යන පොරොන්දුව ඔබට පූර්ණ අර්ථයකින් අද්දකින්න හැකි වෙනවා.—එළිදරව් 21:4.
කැඳවීම ස්ථිර කරගැනීම
30. යොහන්ගේ දර්ශනය තුළින් අපගේ මනස්වල මැවෙන්නේ මොන වගේ ලස්සන චිත්‍රයක්ද? දෙවිගේ උදහස් දවසට “මුහුණ දිය හැක්කේ” කාටද?
30 ඇත්තටම මේ වදන් තුළින් අපගේ මනස්වල මැවෙන්නේ මොන තරම් ලස්සන චිත්‍රයක්ද! යෙහෝවා දෙවි තම තේජවත් සිංහාසනයේ ඉඳගෙන සිටිනවා. ස්වර්ගයේ සහ පොළොවේ සිටින ඔහුගේ සියලුම සේවකයන් ඔහුට එක හඬින් ප්‍රශංසා කරනවා. මෙම ප්‍රශංසා ගී හඬට තමන්ගේ හඬත් එකතු කරන්න ලැබීම කොතරම් උතුම් වරප්‍රසාදයක්ද කියා පොළොව මත සිටින ඔහුගේ සේවකයන් දන්නවා. ඉතා ළඟදීම යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් තම විනිශ්චයන් ක්‍රියාත්මක කරයි. එවිට “ඔවුන්ගේ උදහසේ මහත් දවස ඇවිත් තිබේ. ඊට මුහුණ දිය හැක්කේ කාටද” කියන ප්රශ්නය ඉස්මතු වෙනවා. (එළිදරව් 6:17) ඊට පිළිතුර වෙන්නේ මිනිස් වර්ගයා අතරින් ඉතා කුඩා කොටසක් යන්නයි. එනම් මුද්‍රා කරනු ලැබූ 1,44,000දෙනාගෙන් තවමත් පොළොව මත ඉතිරි වී සිටින අතළොස්ස සහ ඔවුන් සමඟ බේරෙන වෙනත් බැටළුවන්ට අයත් මහත් සමූහයයි.—යෙරෙමියා 35:19; 1 කොරින්ති 16:13.
31. යොහන් දුටු දර්ශනයේ ඉටුවීම අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට හා මහත් සමූහයේ අයට බලපෑ යුත්තේ කෙසේද?
31 මේ හේතුව නිසා යොහන් පන්තියට අයත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් දැඩි වීර්යයක් ගෙන දෙවිට සේවය කරනවා. පාවුල් පැවසූ ලෙස ඔවුන් “ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවිගේ ස්වර්ගික කැඳවීම නමැති තෑග්ග ලබන පිණිස ඉලක්කය” ලුහුබඳිමින් සිටිනවා. (ෆිලිප්පි 3:14) මේ කාලයේදී සිදු වන දේවල් නිසා තමන්ට විශේෂ විඳදරාගැනීමක් අවශ්‍ය බව ඔවුන් හොඳින් දන්නවා. (එළිදරව් 13:10) යෙහෝවා දෙවිට වසර ගණනාවක් විශ්වාසවන්තව සේවය කර ඇතත් ඔවුන් තවමත් ඇදහිල්ලේ ස්ථිරව සිටිනවා. ඒ වගේම ඔවුන්ගේ නාම “ස්වර්ගයේ ලියා තිබෙන නිසා” ඒ ගැන ඉමහත් ප්‍රීතියකින්ද සිටිනවා. (ලූක් 10:20; එළිදරව් 3:5) ‘ගලවාගනු ලබන්නේ අවසානය දක්වා විඳදරාගන්නා තැනැත්තන්ව’ බව මහත් සමූහයේ අයත් හොඳින් දන්නවා. (මතෙව් 24:13) සමස්තයක් හැටියට මුළු මහත් සමූහය මහත් පීඩාවෙන් බේරෙන බව ඇත්තයි. නමුත් එම සමූහයට අයත් වෙන්න නම් සියලුම පුද්ගලයන් දෙවි ඉදිරියේ පවිත්‍රව හා ක්‍රියාශීලීව සිටීම සඳහා තම උපරිමය කළ යුතුයි.
32. යෙහෝවා දෙවිගේ උදහස් දවසට ‘මුහුණ දෙන්න’ හැකි වෙන්නේ කණ්ඩායම් දෙකකට පමණක් වන නිසා, ඉක්මනින්ම කළ යුත්තේ කුමක්ද?
32 මේ කණ්ඩායම් දෙකට අයිති නැති කිසිම කෙනෙකුට යෙහෝවා දෙවිගේ උදහස් දවසට ‘මුහුණ දෙන්න’ පුළුවන් වෙයි කියා කිසිම සාක්ෂියක් ශුද්ධ ලියවිල්ලේ නැහැ. අවුරුදු පතා යේසුස්ගේ ජීවිත පූජාවට යම් ගෞරවයක් පෙන්වමින් ඔහුගේ මරණය සිහි කිරීමට සහභාගි වෙන අය ගැන කුමක් කිව හැකිද? ඔවුන් තවමත් දෙවිට කැප වී බව්තීස්ම වී ක්‍රියාශීලීව සේවය කරන අය නෙවෙයි. මීට අමතරව කලින් දෙවිට ක්‍රියාශීලීව සේවය කළත් දැන් ‘ජීවිතයේ කරදරවලින් තමන්ගේ සිත් බර කරගෙන’ සිටින අය ගැන කුමක් කිව හැකිද? “සිදු වන්න නියමිත මේ සියල්ලෙන් බේරෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටීමට හැකියාව ලැබෙන පිණිසද” ඒ සියලුදෙනාම අවදි විය යුතුයි. ඒ සඳහා ඇත්තේ තව කෙටි කාලයක් පමණයි.—ලූක් 21:34-36.
[පාදසටහන]
a වර්ෂ 1918 අප්‍රියෙල් 1 මුරටැඹ කලාපයේ 98වන පිටුව බලන්න.
[119වන පිටුවේ කොටුව]
තේරුම කියා දෙන්නේ දෙවියි
දශක ගණනාවක් පුරා මහත් සමූහය කියන්නේ කාටද කියා තේරුම්ගන්න යොහන් පන්තිය උත්සාහ කළත් ඔවුන්ට පිළිතුරක් ලැබුණේ නැහැ. දෙවිට විශ්වාසවන්තව සිටි යෝසෙප් එයට හේතුව පැහැදිලි කළේ “අර්ථය කීම දෙවිට අයිති නොවේද” කියා පැවසීමෙනුයි. (උත්පත්ති 40:8) දෙවි සාමාන්‍යයෙන් තම අනාවැකි ඉටු වන ආකාරය තෝරා දෙන්නේ ඒවා ඉටුවීමට නියමිත කාලය ළං වන විට හෝ ඒවා ඉටු වෙමින් පවතින විටයි. එවිට සෝදිසියෙන් සිටින තම සේවකයන්ට ඒවා පැහැදිලිව වටහාගැනීමට හැකි වෙනවා. මේ අවබෝධය ලැබෙන්නේ ‘අපගේ ඉගෙනීම සඳහායි.’ එවිට ‘අපේ විඳදරාගැනීම මාර්ගයෙන් හා ශුද්ධ ලියවිල්ලෙන් ලැබෙන සැනසිල්ල මාර්ගයෙන් අපට බලාපොරොත්තුවක් ඇතුව සිටිය හැකි වෙනවා.’—රෝම 15:4.
[124වන පිටුවේ කොටුව]
මහත් සමූහයේ සාමාජිකයෝ
▪ සියලුම ජාතීන්ගෙන් ගෝත්‍රවලින් ජනයාගෙන් හා භාෂාවලින් පැමිණෙන අයයි
▪ යෙහෝවා දෙවිගේ සිංහාසනය ඉදිරියෙහි සිටිනවා
▪ තම සළු බැටළු පැටවාගේ රුධිරයෙන් සෝදා සුදු කරගෙන සිටිනවා
▪ තමන්ව ගැලවීම ගැන ඔවුන් දෙවිට හා යේසුස්ට ප්‍රශංසා කරනවා
▪ මහත් පීඩාවෙන් බේරෙනවා
▪ යෙහෝවා දෙවිගේ මාලිගාවේ රෑ දවල් සේවය කරනවා
▪ යෙහෝවා දෙවිගේ ප්‍රේමණීය රැකවරණය ලබනවා
▪ යේසුස් ඔවුන්ව ජීවන වතුර ඇති උල්පත්වලට මඟ පෙන්වනවා
[121වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]
[127වන පිටුවේ පින්තූරය]
මහත් සමූහය ලබන ගැලවීමට ඔවුන් දෙවිට හා බැටළු පැටවාණන්ට ණයගැතියි
[128වන පිටුවේ පින්තූරය]
බැටළු පැටවාණන් මහත් සමූහයව ජීවන දිය උල්පත් කරා ගෙන යනවා