“නිශ්ශබ්දව සිටින්ට කාලයක් සහ කථාකරන්ට කාලයක්”
“මම ඒක නොකියා සිටියා නම් හොඳයි,” කියා ඔබ කෙතරම් වාර ගණනක් ශෝකයෙන් පවසා ඇද්ද? එහෙත්, නිර්භීතව කතා කිරීමට ඔබ අසමත් වූ වෙනත් අවස්ථාද ඔබට මතක තිබෙනවා විය හැක. පසුගිය දේ ගැන කල්පනා කරමින්, ‘මම යමක් පවසා තිබුණා නම් හොඳයි’ කියා ඔබ සිතන්ට පුළුවන.
“නිශ්ශබ්දව සිටින්ට කාලයක් සහ කථාකරන්ට කාලයක්” තිබෙන බව බයිබලය පවසයි. (දේශනාකාරයා 3:7) එසේනම්, ගැටලුව ඇත්තේ මෙතැනය—එනම් කතා කළ යුත්තේ කවර අවස්ථාවේද, නිශ්ශබ්දව සිටිය යුත්තේ කවර අවස්ථාවේද යන්න තීරණය කිරීමය. අපගේ අසම්පූර්ණ මිනිස් ස්වභාවය නිතර නිතර නුසුදුසු අවස්ථාවේදී දේවල් කිරීමට සහ කීමට අපව පොලඹවයි. (රෝම 7:19) අපගේ නොහික්මුණු දිව පාලනය කළ හැක්කේ කෙසේද?—යාකොබ් 3:2.
දිව පාලනය කරගත හැකි ක්‍රම
කතා කරන්නේ සහ නිශ්ශබ්දව සිටින්නේ කොයි අවස්ථාවේද යන්න තීරණය කිරීමට අපට උපකාරවත් වන පිණිස, සෑම තත්වයක්ම ආවරණය වන පරිදි සකස් කළ දිගු ලැයිස්තුවක් අපට අවශ්‍ය නොවේ. ඒ වෙනුවට, ක්‍රිස්තියානි පෞද්ගලිකත්වයේ අනිවාර්ය කොටසක් වන ගුණාංග මගින් අප මඟ පෙන්වීම ලැබිය යුතුය. මෙම ගුණාංග කවරේද?
තම ගෝලයන්ව පොලඹවන ප්‍රධාන ගුණාංගය ප්‍රේමය බව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැහැදිලි කළසේක. “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇතැයි” උන්වහන්සේ පැවසූසේක. (යොහන් 13:35) එවන් සහෝදර ප්‍රේමයක් අප කෙතරම් දුරකට විදහාපෙන්වනවාද, එතරමටම අපගේ දිවත් හොඳින් පාලනය කළ හැක.
මෙයට සම්බන්ධ ගුණාංග දෙකක්ද අපට අතිශයින් උපකාරවත් වේ. මින් එකක් නම්, නිහතමානිකමය. එය ‘අපට වඩා අන් අයව උතුම් කොට සැලකීමට’ අපට හැකි කරවයි. (පිලිප්පි 2:3) අනිත් එක නම් මෘදුකමය, ‘නපුරට මුහුණ දෙන විට සංයමයෙන් සිටීමට’ [NW] එය අපට ඉවහල් වේ. (2 තිමෝති 2:24-26) මෙම ගුණාංග විදහාපෙන්විය යුත්තේ කෙලෙසද යන්න අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිපූර්ණ ආදර්ශයෙන් දක්නට ලැබේ.
පීඩනය යටතේ සිටින විට අපගේ දිව පාලනය කිරීම වඩාත් අපහසු බැවින්, යේසුස්වහන්සේගේ මරණයට පෙර රාත්‍රිය—එනම් උන්වහන්සේ ‘අතිශයින් කැළඹී’ සිටි වෙලාව අපි සලකා බලමු. (මතෙව් 26:37, 38) යේසුස්වහන්සේ දෙවියන්වහන්සේට විශ්වාසවන්තව සිටීම මත සියලුම මනුෂ්‍යවර්ගයාගේ සදාකාලික අනාගතය රඳාපැවති බැවින්, උන්වහන්සේට මේ ආකාරයෙන් හැඟීම පුදුමයක් නොවේ.—රෝම 5:19-21.
නිසැකවම මෙය යේසුස්වහන්සේට තම ස්වර්ගික පියාණන්ට කතා කිරීම සඳහා කාලයක් විය. එමනිසා, අවදිව සිටින මෙන් තම ගෝලයන් තිදෙනෙකුගෙන් ඉල්ලා සිටිමින් උන්වහන්සේ යාච්ඤා කිරීමට පිටත්ව ගියසේක. ටික වෙලාවකට පසු නැවත පැමිණි විට, උන්වහන්සේ ඔවුන් නිදා ඉන්නවා දුටුසේක. එවිට උන්වහන්සේ පේතෘස්ට මෙසේ පැවසූසේක: “මා සමඟ එක පැයක්වත් අවදිව ඉන්ට නුඹලාට බැරි වුණාද?” මෙම ප්‍රේමනීය හික්මවීමට ඔවුන්ගේ දුර්වලකම් තේරුම්ගත් බව පෙන්වන වචනද ඇතුළත් විය. උන්වහන්සේ මෙසේ පැවසූසේක: “ආත්මය නම් කැමතිය, නුමුත් මාංසය බෙලහීනය.” පසුව, යේසුස්වහන්සේ නැවතත් පැමිණි අතර, ගෝලයන් නිදා ඉන්නවා දුටුසේක. උන්වහන්සේ ඔවුන්ට කරුණාවන්ත ලෙස කතා කර, ‘උන්වහන්සේ ගොස්, තුන්වන වරටත් යාච්ඤා කළසේක.’—මතෙව් 26:36-44.
තුන්වන වරටත් ගෝලයන් නිදා ඉන්නවා යේසුස්වහන්සේ දුටු විට, උන්වහන්සේ පරුෂ වූයේ නැති මුත්, මෙසේ පැවසූසේක: “ඉතින් නිදාගෙන නිවාඩු ගනිල්ලා. මෙන්න, පැය ළඟය, මනුෂ්‍ය පුත්‍රයා පව්කාරයන්ගේ අත්වලට පාවාදෙනු ලබයි.” (මතෙව් 26:45) එවන් අසීරු වෙලාවකදී එලෙස දිව පාවිච්චි කළ හැකි වන්නේ, ප්‍රේමයෙන් පූර්ණ වූ හෘදයකින් සහ සැබවින්ම මෘදු හා නිහතමානී චරිත ස්වභාවයකින් යුත් කෙනෙකුට පමණි.—මතෙව් 11:29; යොහන් 13:1.
ඉන්පසු විගසින්ම, යේසුස්වහන්සේව අත්අඩංගුවට ගෙන නඩු විභාගයට භාජන කරන ලදි. මෙහිදී අප ඉගෙනගන්නේ, සමහර අවස්ථාවලදී එනම් ක්‍රිස්තියානි දේවසේවයේ නියැලෙන විටදී පවා නිශ්ශබ්දව සිටීම හොඳම දෙය බවයි. යේසුස්වහන්සේ වරදකරුවෙකු බව ඔප්පු කිරීමේ අභිමතය මිස, කෙසේ හෝ සැබෑව දැනගැනීම සම්බන්ධයෙන් උනන්දුවක් නායක පූජකයන්ට නොතිබිණ. එමනිසා මෙම ඉතා පීඩාකාරි වාතාවරණයේදී යේසුස්වහන්සේ නිශ්ශබ්දව සිටිසේක.—මතෙව් 7:6, සසඳන්න.
කෙසේවෙතත්, “නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස්ද කියා අපට කියන ලෙස ජීවමාන දෙවියන්වහන්සේගේ නාමයෙන් මම නුඹ දිවුරවමි,” කියා උත්තම පූජකයා බලෙන් ඉල්ලා සිටි විට, යේසුස්වහන්සේ නිශ්ශබ්දව නොසිටිසේක. (මතෙව් 26:63) යේසුස්වහන්සේව දිවුරුම යටතේ තැබූ නිසා, එය උන්වහන්සේට කතා කිරීම සඳහා කාලය විය. එබැවින් උන්වහන්සේ මෙසේ පිළිතුරු දුන්සේක: “නුඹ කීවෙහිය. තවද නුඹලාට කියමි, මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයා පරාක්‍රමයේ දකුණු පැත්තේ වාඩිව හිඳිනවාත් අහසේ වලාකුල් පිට එනවාත් නුඹලා දකින්නහුය.”—මතෙව් 26:64.
එම භාරදූර දිනය තුළදී, යේසුස්වහන්සේ තම දිව පරිපූර්ණ ලෙස පාලනය කළසේක. උන්වහන්සේ සම්බන්ධයෙන් ගත් කළ, ප්‍රේමය, මෘදුකම සහ නිහතමානිකම උන්වහන්සේගේ පෞද්ගලිකත්වයේ සහජ අංගයන් විය. අප පීඩනය යටතේ සිටින විට, අපගේ දිව පාලනය කිරීමට මෙම ගුණාංග අපට උපයෝගි කරගත හැක්කේ කෙසේද?
කෝප වූ විට දිව පාලනය කිරීම
කෝප වන විටදී, බොහෝවිට අපගේ දිව පාලනය කිරීමට අපි අසමත් වන්නෙමු. එක් නිදසුනකට, පාවුල් සහ බාර්ණබස්ට වරෙක අදහස්වල එකඟ නොවීමක් තිබිණ. “බාර්ණබස්ද මාර්ක් නම්ලත් යොහන්ද තමුන් සමඟ කැඳවාගන යන්ට කැමතිවූයේය. නමුත් පාවුල්, ඒ වැඩේට නොගොස් පම්පිලියේදී තමුන්ගෙන් අහක්ව ගියාවූ තැනැත්තා තමුන් සමඟ කැඳවාගන යාම නුසුදුසුයයි සිතුවේය. ඒ ගැන සැර විවාදයක් හටගත් බැවින් ඔව්හු එකිනෙකාගෙන් වෙන්ව ගියෝය.”—ක්‍රියා 15:37-39.
වසර ගණනාවකට ඉදි කිරීමේ ව්‍යාපෘතිවල සේවය කර තිබූ මයිකල්,a මෙසේ ප්‍රකාශ කරයි: “ඉදි කිරීම් භූමියේ, මා හොඳින් දැන හඳුනන එමෙන්ම ගෞරව කළ පුද්ගලයෙක් සිටියා. නමුත් පෙනෙන ලෙසට ඔහු නිතරම මගේ වැඩවල වැරදි සොයමින් සිටියා. මට වේදනාවක් හා තරහක් දැනුණත් මම මගේ හැඟීම් එළිපිට ප්‍රකාශ කළේ නැහැ. එක් දවසක් මා මොහොතකට කලින් නිම කළ වැඩක් ඔහු විවේචනය කළ විට, තත්වය උත්සන්න වුණා.
“මම හිර කරගෙන සිටි සියලුම හැඟීම් වේගයෙන් පිට කළා. එම මොහොතේදී වූ අධික කෝපය නිසා, අප අවට සිටි සියලුමදෙනාට මෙයින් ඇති වන නුසුදුසු හැඟීම මගේ සිතට කාවැදුණේ නැහැ. දවසේ ඉතිරි කාලය තුළදී ඔහු සමඟ කතා කිරීමටවත් ඔහුව දකින්ටවත් මට වුවමනා වුණේ නැහැ. මම ගැටලුව නියමාකාරයෙන් හැසිරවූයේ නැති බව මට දැන් අවබෝධ වෙනවා. මම නිශ්ශබ්දව සිට කෝපය පහ වුණාම කතා කළා නම්, හොඳ ප්‍රතිඵල අත් කරගන්න තිබුණා.”
මෙම පුද්ගලයන් දෙදෙනාටම ඔවුන්ගේ එකඟ නොවීම් නිරාකරණය කරගැනීමට ක්‍රිස්තියානි ප්‍රේමය උපකාරවත් වීම සන්තෝෂයට කරුණකි. මයිකල් මෙසේ පැහැදිලි කරයි: “කාරණා නොසඟවා අදහස් හුවමාරු කිරීමෙන් පසු, අපි එකිනෙකාව වඩාත් හොඳින් තේරුම්ගත්තා, දැන් අපට ශක්තිමත් මිත්‍රත්වයක් තිබෙනවා.”
මයිකල් ඉගෙනගත්තාක් මෙන්, සමහරවිට අප කෝපයෙන් සිටින බව දැනුණහොත්, නිශ්ශබ්දව සිටීම ඥාණවන්තය. “නිශ්චල ආත්මයක් ඇත්තාද ඥාණවන්තයෙක්ය” යනුවෙන් හිතෝපදේශ 17:27 පවසයි. අපරීක්ෂාකාරිව වේදනාකාරි යමක් පැවසීමට තිබෙන අපගේ පෙලඹීම පාලනය කිරීමට, විචාර බුද්ධිය සහ සහෝදර ප්‍රේමය උපකාරවත් වේ. අපට අමනාප වීමට හේතුවක් තිබේ නම්, සාමය නැවත ඇති කරගැනීමේ අදහසින් මෘදු සහ නිහතමානී ස්ප්රීතුවකින් යුතුව අපි අනිත් පුද්ගලයා සමඟ තනිවම කතා කරමු. දැනටමත් කෝපය වේගයෙන් පිට කර ඇත්නම් කුමක්ද? එවිට අපගේ අහංකාරය පසෙක තබා කාරණා නිහතමානීව හරිගැස්වීමට ප්‍රේමය අපව පොලඹවනවා ඇත. මෙය කතා කිරීමට, කනගාටුව ප්‍රකාශ කිරීමට සහ අවංක අදහස් හුවමාරුව තුළින් වේදනාකාරි හැඟීම් සුව කිරීමට කාලය වේ.—මතෙව් 5:23, 24.
නිශ්ශබ්දතාව විසඳුම නොවන විට
අපව කෝපයට පත් කරන පුද්ගලයා සමඟ කතා නොකර සිටීමට, කෝපය හෝ නුරුස්සනගතිය හේතු විය හැක. මෙය ඉතා හානිදායක විය හැක. “අපගේ විවාහයේ පළමු වසර තුළදී, යම් අවස්ථාවල දින කිහිපයකට මගේ පුරුෂයා සමඟ මම කතා නොකර ඉඳලා තිබෙනවා,” යනුවෙන් මරියා ප්‍රකාශ කරයි.b “සාමාන්‍යයෙන්, එය ලොකු ප්‍රශ්න නිසා නොවේ, නමුත්, ඒ වෙනුවට, තරහ උපදවන සුළු සුළු දේවල් ගොඩගැසීම නිසයි. කෝපයට පත් කරවන මේ සියලුම දේවල් කන්දකට සමාන බාධාවක් බවට පත් වන තුරු මම ඒවා ගැන හිත හිතා ඉන්නවා. තවදුරටත් එය මට දරාගන්න බැරි වෙන කොට, මම මගේ කලකිරීමේ ස්වභාවය නැති වන අවස්ථාව පැමිණෙන තෙක් මගේ පුරුෂයා සමඟ කතා කිරීම නතර කරනවා.”
මරියා තවදුරටත් මෙසේ කියයි: “විශේෂ බයිබල් පදයක්—එනම් ‘ඉර බසින තුරු ඔබගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න’—යන්න මම සිතන ආකාරය නැවත සකස් කරගැනීමට උපකාරවත් වුණා. ප්‍රශ්න ගොඩ නොගැසෙන පරිදි අපගේ අදහස් හුවමාරුව වැඩි දියුණු කරගැනීමට මගේ පුරුෂයා හා මා වෙහෙස වී වැඩ කළා. එය පහසු දෙයක් වී නැහැ, නමුත් විවාහ වී වසර දහයකට පසු, මෙම දැඩි නිශ්ශබ්දතාවේ කාලපරිච්ඡේද දුර්ලභ බව පැවසීමට මම සතුටු වෙනවා. කෙසේවෙතත්, මෙම නැඹුරුවාව පාලනය කිරීමට මා තවමත් කටයුතු කරන බව මම පිළිගත යුතුයි.”—එපීස 4:26.
මරියා සොයාගත්තාක් මෙන්, පුද්ගලයන් දෙදෙනෙකු අතර යම් පීඩාකාරි තත්වයක් පැනනැඟෙන විට, අදහස් හුවමාරුව නතර කිරීම විසඳුම නොවේ. පෙනෙන ලෙසට මෙම තත්වයන් යටතේදී, අමනාපය වර්ධනය වී සබඳතාව පලුදු විය හැක. අප “ඉක්මනින් . . . සමගි” විය යුතු බව යේසුස්වහන්සේ පැවසූසේක. (මතෙව් 5:25) “කලට සුදුසු වචනය” අපට ‘සමාදානය පස්සේ දිවීමට’ උපකාරවත් විය හැක.—හිතෝපදේශ 25:11; 1 පේතෘස් 3:11.
අපට උපකාරය අවශ්‍ය වූ විට අප කතා කළ යුතුය. අප පීඩා විඳින්නේ ආත්මික ගැටලුවක් නිසා නම්, අන් අය මත බර පැටවීමට අප අකමැති වන්ට පුළුවන. නමුත් ඔබ නිශ්ශබ්දව සිටියේ නම්, ප්රශ්නය වඩාත් නරක අතට හැරිය හැක. පත් කරන ලද වැඩිමහල්ලෝ අප කෙරෙහි සැලකිලිමත් වෙති, තවද අපි ඔවුන්ට ඉඩ දෙන්නෙමු නම්, අපට උපකාර කිරීමට ඔවුන් යුහුසුලු වනු නිසැකය. මෙය අප කතා කළ යුතු වෙලාවයි.—යාකොබ් 5:13-16.
මේ සියල්ලටම වඩා, යේසුස්වහන්සේ කළාක් මෙන් අපත් නිතිපතා හෘදයාංගම යාච්ඤා තුළින් යෙහෝවඃවහන්සේට කතා කළ යුතුය. සැබවින්ම, අපි ස්වර්ගික පියාණන්ට ‘අපේ සිත් වගුරුවමු.’—ගීතාවලිය 62:8; සසඳන්න හෙබ්‍රෙව් 5:7.
දේවරාජ්‍යය පිළිබඳව “කථාකරන්ට කාලයක්”
ක්‍රිස්තියානි දේවසේවය අවසානය පැමිණීමට පෙර සම්පූර්ණ කළ යුතු දිව්‍ය පැවරුමකි. එබැවින්, පෙර කවරදාකටත් වඩා, යෙහෝවඃවහන්සේගේ සේවකයන් විසින් රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම අතිවැදගත් වේ. (මාර්ක් 13:10) ප්‍රේරිතයන්ට මෙන්, සැබෑ ක්‍රිස්තියානීන්ටද ‘ඔවුන් ඇසූ දුටු දේ ගැන කතා නොකර සිටින්ට නුපුළුවන.’—ක්‍රියා 4:20.
සැබවින්ම, සියලුදෙනාම ශුභාරංචියට සවන් දීමට කැමැත්තක් නොදක්වති. ඇත්තවශයෙන්ම, යේසුස්වහන්සේ දේශනා කිරීමට සිය ගෝලයන්ව යවන විට, ඔවුන්ට අවවාද කළේ ‘සුදුසු අය කව්ද කියා විභාග කිරීමටය.’ යෙහෝවඃවහන්සේ උන්වහන්සේට නමස්කාර කිරීමට කිසිවෙකුට කිසිදාක බල නොකරන බැවින්, රාජ්‍ය පණිවුඩය දැඩි ලෙස දිගටම ප්‍රතික්ෂේප කරන කෙනෙකුට, අප අත්නෑර දිගටම කතා කරන්ට යන්නේ නැත. (මතෙව් 10:11-14) එහෙත් “සදාකාල ජීවනයට නිසි නැඹුරුවාවක් දක්වන” [NW] අයට යෙහෝවඃවහන්සේගේ රාජ්‍යතන්ත්‍රය පිළිබඳව කතා කිරීමට අපි සතුටු වන්නෙමු.—ක්‍රියා 13:48; ගීතාවලිය 145:10-13.
දුරදිග නොබලා කතා කිරීම හෝ දැඩි නිශ්ශබ්දතාවකින් පසුවීම වැනි අපගේ අසම්පූර්ණ නැඹුරුවාවන් පාලනය කිරීමට ප්‍රේමය, මෘදුකම සහ නිහතමානිකම වැනි ගුණාංග අපට උපකාරවත් විය හැක. මෙම ගුණාංග වර්ධනය කරගන්නා විට, කතා කිරීමට සුදුසු හා නුසුදුසු වේලාව වෙන් කර හඳුනාගැනීමට අපි හොඳින් සෑදී පැහැදී සිටින්නෙමු.
[පාදසටහන්වල]
a ඔහුගේ සැබෑ නම නොවේ.
b ඇගේ සැබෑ නම නොවේ.
[23වන පිටුවේ පින්තූරය]
හොඳ අදහස් හුවමාරුව තුළින් ගැටලු විසඳාගත හැක