ඔබේ ඉගැන්වීම කෙරෙහි නිරතුරු අවධානයක් දෙන්න
“ඔබ කෙරෙහිත් ඔබේ ඉගැන්වීම කෙරෙහිත් නිරතුරු අවධානයක් දෙන්න. මේ දේවල පැවතී සිටින්න. එසේ කිරීමෙන් ඔබ ඔබවද ඔබට සවන් දෙන අයවද ගළවන්නෙහිය.”—1 තිමෝති 4:16, NW.
1, 2. ජ්වලිත ගුරුවරුන් සඳහා අදදින හදිසි අවශ්‍යතාවක් ඇත්තේ මන්ද?
“ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, . . . මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න.” (මතෙව් 28:19, 20) යේසුස් ක්‍රිස්තුස්ගේ මෙම ආඥාව හේතුවෙන්, සියලුම ක්‍රිස්තියානීන් ගුරුවරුන් වීමට වෑයම් කළ යුතුයි. ජ්වලිත ගුරුවරුන් සඳහා අවශ්‍යතාවක් තිබෙනවා. ඒ ඇයි? ප්‍රමාද වීමට මත්තෙන් අවංක හදවත් ඇති අයට දෙවි පිළිබඳ දැනුම ලබාගැනීමට උපකාර කිරීම සඳහායි. (යොහන් 17:3; රෝම 13:11) ප්‍රේරිත පාවුල් මෙසේ උදක්ම ඉල්ලා සිටියා: “වචනය දේශනා කරන්න; කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න.” ඉන් අදහස් කරන්නේ සභාව තුළත් ඉන් පිටතත් ඉගැන්වීමක් කළ යුතු බවයි. ඇත්තෙන්ම, නිකම්ම දෙවිගේ පණිවිඩය දැන්වීමට වඩා වැඩි යමක් දේශනා කිරීමේ පැවරුමට ඇතුළත්. උනන්දුවක් දක්වන අය ගෝලයන් වීමට නම්, බලපෑමෙන් යුක්තව ඉගැන්වීම අවශ්‍යයි.
2 අප “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලවල” ජීවත් වෙනවා. (2 තිමෝති 3:1, NW) ලෞකික දර්ශනයන් සහ බොරු ඉගැන්වීම්වලින් ජනයා මුළා වී තිබෙනවා. බොහෝදෙනෙක් “තේරුම්ගැනීමෙන් අඳුරුව,” සදාචාර “හැඟීමක් නැතුව” සිටිනවා. (එපීස 4:18, 19) සමහරදෙනෙකුට වේදනාකාරි චිත්තවේගීය කැළැල් තිබෙනවා. ඔව්, ජනයා සැබෑවටම “එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස්” සිටිනවා. (මතෙව් 9:36) කෙසේවෙතත්, ඉගැන්වීමේ කලාව උපයෝගි කරගැනීමෙන්, අවශ්‍ය වෙනස්කම් කිරීමට අවංක හදවත් ඇති අයට උපකාර කරන්න අපට පුළුවන්.
සභාව තුළ ගුරුවරුන්
3. (අ) ඉගැන්වීමට වූ යේසුස්ගේ පැවරුමට ඇතුළත් වී ඇත්තේ කුමක්ද? (ආ) සභාව තුළ ඉගැන්වීමේ ප්‍රධාන වගකීම දරන්නේ කවුද?
3 නිවාස බයිබල් පාඩම් විධිවිධානය මාර්ගයෙන්, දශලක්ෂ සංඛ්‍යාතයකට පෞද්ගලිකව උගන්වනු ලබනවා. කොහොමවුණත් ඔවුන්ගේ බව්තීස්මයෙන් පසුව, මෙම නවකයන්ට අත්තිවාරම මත “මුල් ඇද පිහිටා” සිටීම සඳහා අමතර උපකාර අවශ්‍යයි. (එපීස 3:17) මතෙව් 28:19, 20හි සඳහන් යේසුස්ගේ පැවරුම ඉටු කරමින්, අප නවකයන්ව යෙහෝවාගේ සංවිධානයට යොමු කරන විට, සභාව තුළ උගන්වනු ලැබීමෙන් ඔවුන් ප්‍රයෝජන ලබනවා. එපීස 4:11-13ට අනුව, “එඬේරුන් සහ ගුරුවරුන් ලෙස” [NW] පුරුෂයන්ව පත් කර ඇත්තේ, “ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණ වීම [යළි සකස්වීම, NW] සඳහා සේවයකිරීමේ වැඩය පිණිසත් [ක්‍රිස්තුස්ගේ] ශරීරයේ වර්ධනයවීම පිණිසත්ය.” ඇතැම් අවස්ථාවලදී, “සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් . . . තරවටුකර, අවවාදකර, අනුශාසනා” කිරීම ඔවුන්ගේ ඉගැන්වීමේ කලාවට ඇතුළත් වෙනවා. (2 තිමෝති 4:2) ගුරුවරුන්ගේ වැඩය කොතරම් වැදගත්ද කිවහොත්, කොරින්තිවරුන්ට ලියන අවස්ථාවේදී, ප්‍රේරිතයන් සහ අනාගතවක්තෲන්ට පසුව පාවුල් ගුරුවරුන්වයි ලැයිස්තුගත කළේ.—1 කොරින්ති 12:28.
4. හෙබ්‍රෙව් 10:24, 25හි වාර්තා වී ඇති පාවුල්ගේ අවවාදයට කීකරු වීම සඳහා, ඉගැන්වීමේ හැකියාව අපට උපකාර කරන්නේ කෙසේද?
4 හැම ක්‍රිස්තියානියෙකුම වැඩිමහල්ලන් නොහොත් අවේක්ෂකයන් ලෙස සේවය නොකරන බව සැබෑවක් වුවද, “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද” එකිනෙකාව පෙලඹවීමට සියලුදෙනාවම දිරිගන්වා තිබෙනවා. (හෙබ්‍රෙව් 10:24, 25) රැස්වීම්වලදී, අනුන්ව දැනුවත් කොට ඔවුන්ව දිරිගැන්විය හැකි හොඳින් සූදානම් කළ හෘදයාංගම අදහස් ප්‍රකාශ කිරීම් මීට ඇතුළත් වෙනවා. අද්දැකීම් ලත් ප්‍රචාරකයන් නවකයන් සමඟ ක්ෂේත්‍ර සේවයෙහි වැඩ කරද්දී, ඔවුන්ගේ දැනුම සහ අද්දැකීම් බෙදාගැනීමෙන්ද ‘යහපත් ක්‍රියාවලට පෙලඹවිය’ හැකියි. එවැනි අවස්ථාවලදී මෙන්ම අනියම් අවස්ථාවන්හිදී, වටිනා උපදෙස් ලබා දිය හැකියි. නිදසුනක් ලෙස, මේරූ ක්‍රිස්තියානි ස්ත්රීන්ට “යහපත් දේ උගන්වන්නාවූ තැනැත්තියන්ව” සිටින්න කියා උනන්දු කර තිබෙනවා.—තීතස් 2:3.
විශ්වාස කරන්නේ ඒත්තුගැන්වීමෙන්
5, 6. (අ) සැබෑ ක්‍රිස්තු ධර්මය බොරු නමස්කාරයට වඩා වෙනස් වන්නේ කෙසේද? (ආ) නවකයන්ට ඥානවන්ත තීරණ ගැනීමට වැඩිමහල්ලන් උපකාර කරන්නේ කෙසේද?
5 මේ අනුව, තම සාමාජිකයන්ගේ සිතුවිලි පාලනය කිරීමට අරඅදින බොහෝ බොරු ආගම්වලට වෙනස්ව, සැබෑ ක්‍රිස්තු ධර්මය කැපීපෙනෙන විශේෂත්වයක් දරනවා. යේසුස් මිහිපිට සිටියදී, පීඩාකාරි මනුෂ්‍ය සම්ප්‍රදායන් මගින් ජනතාවගේ ජීවිතයේ සෑම පාර්ශ්වයක්ම පාහේ පාලනය කිරීමට ආගමික නායකයන් ප්‍රස්තා සෙව්වා. (ලූක් 11:46) ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂය බොහෝවිට ඊට සමානව ක්‍රියා කර තිබෙනවා.
6 කෙසේවෙතත්, සැබෑ නමස්කාරය කියන්නේ අපේ “විමර්ශන ශක්තියෙන්” පිරිනමන “පරිශුද්ධ සේවයක්.” (රෝම 12:1, NW) යෙහෝවාගේ සේවකයන්ට ‘විශ්වාස කිරීමට ඒත්තුගන්වනු’ ලබනවා. (2 තිමෝති 3:14, NW) සභාවේ කටයුතු සාර්ථකව කෙරීගෙන යෑම සඳහා ඇතැම් මඟ පෙන්වීම් සහ ක්‍රියා පිළිවෙත් පිහිටුවීමට පෙරමුණ ගන්නන්ට ඇතැම් අවස්ථාවලදී සිදු විය හැකියි. කෙසේවෙතත්, සෙසු ක්‍රිස්තියානීන් වෙනුවෙන් තීරණ ගැනීමට බලනවා වෙනුවට, වැඩිමහල්ලන් ඔවුන්ට “යහපත සහ අයහපත විමසාබලන්ට” උගන්වනවා. (හෙබ්‍රෙව් 5:14) වැඩිමහල්ලන් මූලිකවම එසේ කරන්නේ ‘ඇදහිල්ලේ හා යහපත් ගුරුකමේ වචනවලින්’ සභාව පෝෂණය කිරීමෙනුයි.—1 තිමෝති 4:6.
ඔබේ ඉගැන්වීමට අවධානය දීම
7, 8. (අ) සාමාන්‍ය හැකියාවන් ඇති අය ගුරුවරුන් ලෙස සේවය කිරීමට සමත් වන්නේ කෙසේද? (ආ) බලපෑමෙන් යුත් ගුරුවරයෙකු වීමට පෞද්ගලික වෑයමක් අවශ්‍ය බව කුමකින් අඟවයිද?
7 හැබැයි, ඉගැන්වීමට වූ අපේ පොදු පැවරුම සලකා බැලීමට අපි නැවතත් පිවිසෙමු. මෙම වැඩයෙහි සහභාගි වීමට යම් විශේෂ කුසලතා, අධ්‍යාපනයක් හෝ හැකියාවන් අවශ්‍යද? අවශ්‍යමයි කියා කිව නොහැකියි. ලෝක ව්‍යාප්ත වූ මෙම ඉගැන්වීමේ කාර්යය වැඩි වශයෙන් සිදු කරන්නේ සාමාන්‍ය හැකියාවන් ඇති සාමාන්‍ය පුද්ගලයන් විසිනුයි. (1 කොරින්ති 1:26-29) පාවුල් ඒ කාරණය මෙසේ පැහැදිලි කරයි: “ඒ බලයේ ඉතා උතුම්කම [සාමාන්‍යය ඉක්මවූ බලය, NW] අපට නොව [දෙවිට] අයිති වන පිණිස මේ වස්තුව [දේවසේවය] අපි මැටි භාජනවල [අසම්පූර්ණ ශරීරවල] දරමු.” (2 කොරින්ති 4:7) සමස්ත ලෝක රාජ්‍ය දේශනා කිරීමේ වැඩය අද්දැක ඇති පුදුම දනවන සාර්ථකත්වය යෙහෝවාගේ ශුද්ධාත්මයේ බලයට කදිම සාක්ෂියක්!
8 කෙසේවෙතත්, “සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්” බවට පත්වීම සඳහා පෞද්ගලික මට්ටමින් සෑහෙන උත්සාහයක් දැරිය යුතුයි. (2 තිමෝති 2:15) පාවුල් තිමෝතිගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටියා: “ඔබ කෙරෙහිත් ඔබේ ඉගැන්වීම කෙරෙහිත් නිරතුරු අවධානයක් දෙන්න. මේ දේවල පැවතී සිටින්න. එසේ කිරීමෙන් ඔබ ඔබවද ඔබට සවන් දෙන අයවද ගළවන්නෙහිය.” (1 තිමෝති 4:16) සභාව තුළ හෝ ඉන් පිටතදී හෝ යමෙක් තමාගේ ඉගැන්වීම කෙරෙහි හරි අවධානයක් දෙන්නේ කෙසේද? එසේ කිරීමට අනිවාර්යයෙන්ම ඇතැම් කුසලතා හෝ ඉගැන්වීමේ ක්‍රම සම්බන්ධයෙන් නිපුණ වීම අවශ්‍යද?
9. සහජ හැකියාවට වඩා වැදගත් වන්නේ කුමක්ද?
9 යේසුස් තම සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනාවේදී ඉගැන්වීමේ ක්‍රම සම්බන්ධයෙන් අතිවිශිෂ්ට දක්ෂතාවක් දැක්වූවා. ඔහු එම දේශනාව කියා නිම කළ කල්හි, ‘සමූහයෝ ඔහුගේ ඉගැන්වීම ගැන විස්මයට පත් වුණා.’ (මතෙව් 7:28) යේසුස් තරම් හොඳට උගන්වන්න අප කාටවත් බැරි බව ඇත්තයි. ඒ වුණත්, බලපෑමෙන් යුත් ගුරුවරුන් වීමට අප ව්‍යක්ත කථිකයන්ම වෙන්න ඕනෑ නැහැ. “මෘගයන්” සහ ‘අහසේ පක්ෂීන්ට’ පවා නිහඬව ඉගැන්විය හැකි බව යෝබ් 12:7 පවසනවා නේද? අපට යම් සහජ හැකියාවන් හෝ කුසලතාවන් තිබුණත්, අප ‘කොයි ආකාර අයද’ කියන එකයි විශේෂයෙන්ම වැදගත් වන්නේ. ඒ කියන්නේ, අප සතුව ඇත්තේ මොන වගේ ගුණාංගද සහ ශිෂ්‍යයන්ට අනුකරණය කළ හැකි අප වර්ධනය කරගෙන ඇති ආත්මික පුරුදු මොනවාද යන්නයි.—2 පේතෘස් 3:11; ලූක් 6:40.
දෙවිගේ වචනයෙහි ශිෂ්‍යයන්
10. දෙවිගේ වචනයෙහි ශිෂ්‍යයෙකු ලෙස යේසුස් කදිම ආදර්ශයක් තැබුවේ කෙසේද?
10 ශුද්ධ ලියවිල්ලේ සත්‍යතාවන් බලපෑමෙන් යුක්තව උගන්වන කෙනෙක් දෙවිගේ වචනයෙහි ශිෂ්‍යයෙකු විය යුතුයි. (රෝම 2:21) මේ සම්බන්ධයෙන් යේසුස් ක්‍රිස්තුස් පුදුම දනවන ආදර්ශයක් තැබුවා. තම දේවසේවයේදී යේසුස් හෙබ්‍රෙව් ලියවිල්ලෙහි පොත්වලින් අඩක පමණ සඳහන් වන වගන්තිවලින් අදහස් ප්‍රකාශ කළා නැතහොත් ඒවාට යොමු දැක්වූවා.a වයස අවුරුදු 12දී, ඔහු “දේවමාළිගාවෙහි පණ්ඩිතයන් මැද වාඩිවී, ඔවුන් කියන දේ අසමින්ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින්ද ඉන්නවා” සොයාගත් අවස්ථාවේදී, දෙවිගේ වචනය ගැන ඔහුට හසළ දැනුමක් තිබුණු බව ප්රත්යක්ෂ වුණා. (ලූක් 2:46) වැඩිහිටියෙකු වශයෙන්, දෙවිගේ වචනය කියවනු ලැබූ සිනගෝගයට යෑම යේසුස්ගේ පුරුද්දක්ව තිබුණා.—ලූක් 4:16.
11. ගුරුවරයෙකු වර්ධනය කරගත යුත්තේ කිනම් හොඳ අධ්‍යයන පුරුදුද?
11 ඔබ දෙවිගේ වචනය උනන්දුමත් ලෙස කියවන කෙනෙක්ද? ‘යෙහෝවා කෙරෙහි භයවීම තේරුම්ගැනීමටත්, දෙවි පිළිබඳ දැනුම ලබාගැනීමටත්’ මඟ එය හොඳින් හාරා විභාග කිරීමයි. (හිතෝපදේශ 2:4, 5, NW) එමනිසා, හොඳ අධ්‍යයන පුරුදු වර්ධනය කරගන්න. දෙවිගේ වචනයෙහි කොටසක් දිනපතා කියවීමට වෑයම් කරන්න. (ගීතාවලිය 1:2) සෑම මුරටැඹ සහ පිබිදෙව්! කලාපයක්ම ලැබුණු විගස එය කියවා බැලීම පුරුද්දක් කරගන්න. සභා රැස්වීම්වලදී කිට්ටු අවධානයක් දෙන්න. හොඳින් ගවේෂණය කිරීමට ඉගෙනගන්න. ‘සියලු කාරණා හරියාකාරව විමසා බැලීමට’ ඉගෙනගැනීමෙන්, උගන්වන විට දේවල් වැඩි කර කීමෙන් හෝ වැරදිසහගත දේවල් පැවසීමෙන් වැළකී සිටීමට ඔබට හැකි වෙයි.—ලූක් 1:4.
ඉගෙනීම ලබන අයට ප්‍රේමය සහ ගෞරවය දක්වන්න
12. යේසුස් තම ගෝලයන් සම්බන්ධයෙන් දැක්වූ ආකල්පය කුමක්ද?
12 ඔබ විසින් උගන්වනු ලබන අය කෙරෙහි නිසි ආකල්පයක් දැක්වීම තවත් වැදගත් ගුණාංගයක්. යේසුස්ට සවන් දුන් අය ගැන ඵරිසිවරුන්ට තිබුණේ අවමන්සහගත ආකල්පයක්. “ව්‍යවස්ථාව නොදන්නාවූ මේ සමූහයා ශාපලද්දෝයයි” ඔවුන් පැවසුවා. (යොහන් 7:49) එනමුත් තම ගෝලයන් සඳහා යේසුස්ට තිබුණේ ගැඹුරු ප්‍රේමයක් සහ ගෞරවයක්. “දාසයා තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදන්නා බැවින් තවත් නුඹලාට දාසයෝයයි නොකියමි; මක්නිසාද මාගේ [පියාගෙන්] මා ඇසූ සියල්ල නුඹලාට දැන්වූ බැවින් නුඹලා මිත්‍රයෝයයි කීමි” කියා ඔහු පැවසුවා. (යොහන් 15:15) යේසුස්ගේ ගෝලයන් තම ඉගැන්වීමේ කටයුතු සිදු කළ යුතු ආකාරය මෙයින් අඟවනු ලැබුවා.
13. තමා ඉගැන්වූ අය ගැන පාවුල්ට හැඟුණේ කෙසේද?
13 නිදසුනකට, පාවුල්ට තම ශිෂ්‍යයන් සමඟ තිබුණේ දුරස් වූ, මිත්රශීලීකමකින් තොර සබඳතාවක් නොවෙයි. ඔහු කොරින්තිවරුන්ට පැවසුවේ, “[ක්‍රිස්තුස්] තුළ නුඹලාට දසදහසක් ගුරුවරු ඇතත් නුඹලාට බොහෝ පියවරු නැත. මක්නිසාද ශුභාරංචිය කරණකොටගෙන ක්‍රිස්තුස් [යේසුස්] තුළ මම නුඹලා ජනිතකෙළෙමි” කියායි. (1 කොරින්ති 4:15) ඇතැම් අවස්ථාවලදී, පාවුල් තමා ඉගැන්වූ අයට අවවාද කරද්දී කඳුළු සැලුවා! (ක්‍රියා 20:31) එමෙන්ම ඔහු පුදුමසහගත ඉවසිල්ලක්ද, කරුණාවක්ද විදහාපෙන්වූවා. එබැවින් තෙසලෝනිකවරුන්ට ඔහු මෙසේ පැවසුවේ හොඳ හේතු ඇතුවයි: “කිරිමවක් ඇගේම දරුවන් පෝෂණයකරන්නාක්මෙන්, නුඹලා අතරෙහි අපි මොළොක් ගුණයෙන් සිටියෙමු.”—1 තෙසලෝනික 2:7.
14. අපේ බයිබල් ශිෂ්‍යයන් කෙරෙහි පෞද්ගලික උනන්දුවක් දැක්වීම එතරම් වැදගත් වන්නේ මන්ද? නිදර්ශනය කරන්න.
14 ඔබ යේසුස් සහ පාවුල්ව ආදර්ශයට ගන්නවාද? සහජ හැකියාවන්වල යම් ඌනතාවක් අපට තිබුණත්, අපේ ශිෂ්‍යයන් සඳහා අවංක ප්‍රේමයක් ඇත්නම්, එය හොඳටම සෑහේ. අපට අපේ බයිබල් ශිෂ්‍යයන් ගැන පෞද්ගලික උනන්දුවක් ඇති බව ඔවුන්ට දැනෙනවාද? ඔවුන්ව දැනහඳුනා ගැනීමට අපි කාලය ගන්නවාද? ශිෂ්‍යාවකට ප්‍රගතියක් ලබන්න උපකාර පිරිනැමීම සම්බන්ධයෙන් එක් ක්‍රිස්තියානි ස්ත්‍රියකට ගැටලුවක් පැනනැඟුණු විට ඇය කාරුණිකව මෙසේ ඇසුවා: “ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාද?” එවිට එම ස්ත්‍රිය ඇගේ විවිධාකාර දුක් කම්කටොලු සම්බන්ධයෙන් විවෘතව කතා කරන්න පටන්ගත්තා. එම ප්‍රේමනීය සංවාදය එම ස්ත්‍රියට වෙනස් වීම සඳහා හේතුවක් වුණා. එවැනි අවස්ථාවලදී ශුද්ධ ලියවිල්ල මත පදනම් අදහස් සහ සැනසිලිදායක හා දිරිගැන්වීමේ වචන පැවසීම යෝග්‍යයි. (රෝම 15:4) හැබැයි, මෙම කෙටි අවවාදය සැලකිල්ලට ගන්න: බයිබල් ශිෂ්‍යයෙක් ඇතැම්විට වේගවත් දියුණුවක් ලැබුවත්, ජයගැනීමට අවශ්‍ය ඇතැම් ක්‍රිස්තියානි විරෝධී පුරුදු ඔහුට තිබිය හැකියි. එමනිසා, අනවශ්‍ය ලෙස කිට්ටු ඇසුරක් ඔහු සමඟ පැවැත්වීම නුවණට හුරු දෙයක් නොවිය හැකියි. ක්‍රිස්තියානීන් නිසියාකාර සීමාවන් තුළ කටයුතු කළ යුතුයි.—1 කොරින්ති 15:33.
15. අපට අපේ බයිබල් ශිෂ්‍යයන්ට ගෞරවය පෙන්විය හැක්කේ කෙසේද?
15 අපේ ශිෂ්‍යයන් සඳහා ගෞරවය දැක්වීමට අයත් වන තවත් දෙයක් නම්, අප විසින් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය පාලනය කිරීමට උත්සාහ නොකිරීමයි. (1 තෙසලෝනික 4:12) නිදසුනක් ලෙස, විවාහ නොවී පුරුෂයෙකු සමඟ ජීවත් වන කාන්තාවක සමඟ අප පාඩම් කරනවා විය හැකියි. ඔවුන් දෙදෙනාට දරු දැරියන් සිටිනවා ඇති. දෙවි පිළිබඳව ඒකාන්ත දැනුමක් ලබා ඇති නිසා, යෙහෝවාගේ ප්‍රමිතිවලට එකඟව තම ජීවිතය හැඩගැස්වීමට ඇයට වුවමනාවක් තිබිය හැකියි. (හෙබ්‍රෙව් 13:4) ඇය එම පුරුෂයාව විවාහ කරගත යුතුද, නැතහොත් ඔහුගෙන් වෙන් විය යුතුද? ආත්මික උනන්දුවක් නැත්තටම නැති පුරුෂයෙකු විවාහ කරගැනීම ඇගේ අනාගත ප්‍රගතියට බාධාවක් වෙයි කියා අපට ප්‍රබල හැඟීමක් තිබෙනවා වෙන්න පුළුවන්. අනික් අතට, ඇගේ දරුවන්ගේ ශුභසිද්ධිය ගැන භයින් සිටින අප, ඇය ඔහු සමඟ විවාහ වුණා නම් හොඳයි කියාත් කල්පනා කරන්න පුළුවන්. කාරණය කුමක් වුණත්, ශිෂ්‍යයෙකුගේ ජීවිතයට අනවසරයෙන් මෙන් ඇතුල් වී, එවැනි කාරණා සම්බන්ධයෙන් අපේ මතයන් තදින් ඉදිරිපත් කිරීමට වෙර දැරීම අගෞරවනීය දෙයක් වෙනවා. ගන්නා තීරණයේ ප්‍රතිවිපාක සමඟ ජීවත් වීමට සිදු වන්නේ ඇයට නේද? එසේ නම්, එවැනි ශිෂ්‍යාවකට ඇගේම “වටහාගැනීමේ ශක්තිය” පාවිච්චි කර, කළ යුතු දේ පෞද්ගලිකව තීරණය කිරීමට පුහුණු කිරීම වඩාත් හොඳ නැද්ද?—හෙබ්‍රෙව් 5:14, NW.
16. දෙවිගේ රැළ සඳහා ප්‍රේමය හා ගෞරවය පෙන්වීමට වැඩිමහල්ලන්ට හැක්කේ කෙසේද?
16 රැළට ප්‍රේමයෙන් සහ ගෞරවයෙන් යුක්තව සැලකීම විශේෂයෙන්ම සභා වැඩිමහල්ලන්ට වැදගත්. පාවුල් පිලෙමොන්ට ලියද්දී මෙසේ පැවසුවා: “ඒ නිසා සුදුසුව තිබෙන දෙය නුඹට ආඥාකරන්ට [ක්‍රිස්තුස්] තුළ මට බොහෝ නිසැකකම තිබෙන නුමුත්, එසේ නොකර, . . . ප්‍රේමය නිසා ඉල්ලා සිටිමි.” (පිලෙමොන් 8, 9) ඇතැම් අවස්ථාවලදී, සභාව තුළ කලකිරීමකට හේතු වන තත්වයන් ඉස්මතු විය හැකියි. ස්ථිරව ක්‍රියා කිරීමට පවා සිදු විය හැකියි. “ඇදහිල්ලෙහි හරිලෙස සිටින පිණිස [වරදකරුවන්ට] තදින් තරවටුකරන්න” කියා පාවුල් තීතස්ගෙන් උදක්ම ඉල්ලා සිටියා. (තීතස් 1:14) කෙසේවෙතත්, සභාවට අකාරුණිකව කතා නොකිරීමට අවේක්ෂකයන් විශේෂ උත්සාහයක් දැරිය යුතුයි. “[ස්වාමීන්ගේ] දාසයා ඩබර නොකර, සියල්ලන් කෙරෙහි ගුණවන්තවූ, උගන්වන්ට සමර්ථවූ, ඉවසිලිවන්තවූ කෙනෙක්ව” සිටිය යුතු බව පාවුල් ලිව්වා.—2 තිමෝති 2:24; ගීතාවලිය 141:3.
17. මෝසෙස් අතින් සිදු වූයේ කුමන වරදද? මෙයින් වැඩිමහල්ලන්ට කුමක් උගත හැකිද?
17 අවේක්ෂකයන් කටයුතු කරමින් සිටින්නේ ‘දෙවිගේ රැළ’ සමඟ බව නිතරම තමුන්ටම මතක් කරගත යුතුයි. (1 පේතෘස් 5:2, ඇල අකුරු අපේය.) නිහතමානී කෙනෙකු වුවත්, මෝසෙස් මොහොතකට මෙම ස්ථාවරය අත්හැරියා. ඉශ්‍රායෙලිතයන් “ඔහුගේ ආත්මයට විරුද්ධව කැරළිගැසුවෝය, ඔහුද තමාගේ කටින් අවිචාරයෙන් කථාකෙළේය.” (ගීතාවලිය 106:33) දෙවිගේ රැළ නිර්දෝෂ තත්වයක නොසිටියද, ඔවුන්ට එලෙස අනිසි ලෙස සැලකීම දෙවිගේ උදහසට හේතුවක් වුණා. (ගණන් කථාව 20:2-12) අදදින ඒ හා සමාන අභියෝගයන්වලට මුහුණ දෙද්දී, වැඩිමහල්ලන් තීක්ෂ්ණ බුද්ධියෙන් හා කරුණාවෙන් යුතුව ඉගැන්වීමටත්, උපදෙස් දීමටත් වෙර දැරිය යුතුයි. අපේ සහෝදරයන්ට, හදන්න බැරි අය හැටියට නොව, නමුත් උපකාර අවශ්‍ය පුද්ගලයන් ලෙස අනුකම්පාවෙන් සලකන විට, ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් බලාපොරොත්තු විය හැකියි. “අප ආඥාකරන දේ නුඹලා කරනවාය කියාද මතුත් කරනවා ඇත කියාද නුඹලා ගැන [ස්වාමීන්] තුළ විශ්වාසය ඇතුව සිටිමු” යන්න පාවුල් පැවසූ විට ඔහුට තිබුණු ඒකාන්ත ආකල්පයම වැඩිමහල්ලනුත් දැරිය යුතුයි.—2 තෙසලෝනික 3:4.
ඔවුන්ගේ අවශ්‍යතාවලට හොඳ ප්‍රතිචාරයක් දක්වන්න
18, 19. (අ) සීමිත හැකියාවන් ඇති බයිබල් ශිෂ්‍යයන්ගේ අවශ්‍යතාවලට අප ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද? (ආ) නිශ්චිත කාරණා සම්බන්ධයෙන් යම් දුෂ්කරතාවක් අද්දකින ශිෂ්‍යයන්ට උපකාර පිරිනැමීමට අපට හැක්කේ කෙසේද?
18 බලපෑමෙන් යුත් ගුරුවරයෙක් තම ශිෂ්‍යයන්ගේ හැකියාවන්ට සහ සීමාවන්ට අනුව සකස් වීමට කැමැත්තෙන් සිටිනවා. (යොහන් 16:12 සසඳන්න.) තලෙන්තු පිළිබඳව යේසුස්ගේ උපමාවේදී, ස්වාමියා “එකිනෙකාගේ පුළුවන්කමේ හැටියට” වරප්‍රසාද දුන්නා. (මතෙව් 25:15) බයිබල් පාඩම් පවත්වද්දී අපට ඒ හා සමාන පිළිවෙතක් අනුගමනය කළ හැකියි. සාමාන්‍යයෙන්, බයිබලය මත පදනම් ප්රකාශනයක් සාධාරණ වූ කෙටි කාලපරිච්ඡේදයක් තුළ පියවීම යෝග්‍යයි. කෙසේනමුත්, සියලුදෙනාටම හොඳින් කියවීමේ හැකියාවද, අලුත් අදහස් ඉක්මනින් උරාගැනීමේ හැකියාවද නැති බව පිළිගත යුතුයි. එමනිසා, පාඩමකදී කරුණු වේගවත්ව පියවද්දී හොඳ ප්‍රතිචාරයක් දක්වන පුද්ගලයන්ට අසීරුතාවක් දැනෙනවා නම්, එක් කරුණක සිට අනික දක්වා යා යුත්තේ මොන අවස්ථාවේදීද යන්න සම්බන්ධයෙන් විචාර බුද්ධිය පාවිච්චි කිරීම අවශ්‍යයි. නියම කරගත් වේගයකින් තොරතුරු පියවනවාට වඩා, ශිෂ්‍යයන් ඉගෙනගනිමින් සිටින දෙය ඇත්තටම තේරුම්ගැනීමට උපකාර කිරීම වැදගත්.—මතෙව් 13:51.
19 ත්‍රිත්වය නැතහොත් ආගමික නිවාඩු දින වැනි නිශ්චිත කාරණා සම්බන්ධයෙන් යම් දුෂ්කරතාවක් අද්දකින බයිබල් ශිෂ්‍යයන් සම්බන්ධයෙන් කිව හැක්කෙත් ඒ දේමයි. අපේ පාඩම්වලදී බයිබලය මත පදනම් පර්යේෂණ ඊට ඇතුළත් කිරීම සාමාන්‍යයෙන් අනවශ්‍ය දෙයක් වුණත්, එසේ කිරීමෙන් පැහැදිලි ප්‍රයෝජනයක් ඇති බවට පෙනීයනවා නම්, අපට විටින් විට එසේ කළ හැකියි. ඇත්තෙන්ම, ශිෂ්‍යයෙකුගේ ප්‍රගතියට අනවශ්‍ය ලෙස බාධා කිරීමෙන් වැළකී සිටීමට හොඳ විනිශ්චයක් පාවිච්චි කළ යුතුයි.
උද්යෝගවත් වන්න!
20. පාවුල් තම ඉගැන්වීමේදී උද්යෝගය සහ නිසැකකම දැක්වීම සම්බන්ධයෙන් ආදර්ශයක් තැබුවේ කෙසේද?
20 “ආත්මයෙන් ජ්වලිතවෙන්න” යයි පාවුල් පවසනවා. (රෝම 12:11) ඔව්, අප නිවාස බයිබල් පාඩමක් පවත්වද්දී හෝ වේවා, සභා රැස්වීමක කොටසක් ඉදිරිපත් කරද්දී හෝ වේවා, අප එය ජ්වලිතයෙන් සහ උද්යෝගයෙන් කළ යුතුයි. පාවුල් තෙසලෝනිකවරුන්ට මෙසේ පැවසුවා: “අපේ ශුභාරංචිය නුඹලා වෙතට පැමුණුණේ වචනයෙන් පමණක් නොව බලයත් ශුද්ධාත්මයත් බොහෝ නිසැකකමත් ඇතුවය.” (1 තෙසලෝනික 1:5) එබැවින්, පාවුල් හා ඔහුගේ සහයකයන් ‘දෙවිගේ ශුභාරංචිය පමණක් නොව ඔවුන්ගේම ප්‍රාණත් දුන්නා.’—1 තෙසලෝනික 2:8.
21. අපේ ඉගැන්වීමේ පැවරුම්වලදී උද්යෝගවත් ආකල්පයක් පවත්වාගන්න අපට හැක්කේ කෙසේද?
21 සැබෑ උද්යෝගය නික්මෙන්නේ, අපට කියන්න තිබෙන දෙයට අපේ බයිබල් ශිෂ්‍යයන් සවන් දිය යුතුයි යන ඒකාන්ත විශ්වාසය තුළිනුයි. කිසිම ඉගැන්වීමේ පැවරුමක් යාන්ත්‍රික යමක් ලෙස නොසැලකීමට අපි අදිටන් කරගනිමු. මේ සම්බන්ධයෙන් බලද්දී, ලියන්නෙකු වූ එස්රා සැබවින්ම තම ඉගැන්වීමට අවධානයක් දුන්නා. ඔහු “[යෙහෝවාගේ] ව්‍යවස්ථාව සොයන්ටත් පවත්වන්ටත් ඉශ්රායෙල්හි පනත්ද විනිශ්චයන්ද උගන්වන්ටත් තමාගේ සිත යොමුකරගත්තේය [තම හෘදය සූදානම් කළේය, NW].” (එස්රා 7:10) හොඳින් සූදානම් වී, තොරතුරුවල වැදගත්කම හොඳින් මෙනෙහි කිරීමෙන් අපද එසේ කළ යුතුයි. අපව ඇදහිල්ලෙන් සහ නිසැකකමින් පූර්ණ කිරීම සඳහා යෙහෝවාට අපි යාච්ඤා කරමු. (ලූක් 17:5) බයිබල් ශිෂ්‍යයන්ට සත්‍යය සඳහා සැබෑ ප්‍රේමයක් වර්ධනය කරගැනීමට අපේ උද්යෝගය ඔවුන්ට උපකාරයක් විය හැකියි. හැබැයි, අපේ ඉගැන්වීමට අවධානයක් දීමට නිශ්චිත ඉගැන්වීමේ ශිල්ප ක්‍රම භාවිත කිරීම ඇතුළත් විය හැකියි. අපේ ඊළඟ ලිපිය මේවායින් සමහරක් සාකච්ඡා කරයි.
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්), 2 වෙළුම, 1071 පිටුව බලන්න.
ඔබට මතකද?
◻අදදින දක්ෂ ක්‍රිස්තියානි ගුරුවරුන් සඳහා අවශ්‍යතාවක් ඇත්තේ මන්ද?
◻අපට පාඩම් කිරීම සම්බන්ධයෙන් වර්ධනය කරගත හැක්කේ කුමන හොඳ පුරුදුද?
◻අප විසින් උගන්වනු ලබන අය සඳහා ප්‍රේමය සහ ගෞරවය දැක්වීම එතරම් වැදගත් වන්නේ මන්ද?
◻අපේ බයිබල් ශිෂ්‍යයන්ගේ අවශ්‍යතාවලට ප්‍රතිචාරය දැක්වීමට අපට හැක්කේ කෙසේද?
◻අනුන්ට උගන්වද්දී, උද්යෝගය සහ නිසැකකම ඉතා වැදගත් වන්නේ මන්ද?
[10වන පිටුවේ පින්තූරය]
හොඳ ගුරුවරු දෙවිගේ වචනයෙහි ශිෂ්‍යයෝ වෙත්
[13වන පිටුවේ පින්තූරය]
බයිබල් ශිෂ්‍යයන් කෙරෙහි පෞද්ගලික උනන්දුවක් දක්වන්න