ගෝලයන් සෑදීමේදී ප්‍රීතිය සොයාගත හැකි ආකාරය
දෙවියන්වහන්සේ සමඟ හවුල් වැඩකරුවෙකු වීම, පුද්ගලයෙකුට අද්දැකිය හැකි අධික ප්රීතිවීම්වලින් එකකි. අදදින, ධර්මිෂ්ඨකමට නැඹුරුවාවක් දක්වන ජනයාව ක්‍රිස්තියානි සභාවට එක්රැස් කිරීම මෙන්ම ඔවුන්ට දැන් සහ නව ලොවකට බේරී ජීවත්වීම සඳහා ක්‍රිස්තියානීන් වශයෙන් ජීවත්වීමට පුහුණු කිරීම දෙවියන්වහන්සේගේ සේවයට ඇතුළත් වේ.—මීකා 4:1-4; මතෙව් 28:19, 20; 2 පේතෘස් 3:13.
වර්ෂ 1980 සිට මනුෂ්‍යයන් මිලියනයක්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වනවා දැකීම, ලතින් අමෙරිකාවේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට ඉමහත් ප්‍රීතියේ උල්පතක් වී තිබේ. බයිබලයට ගරු කර එය විශ්වාස කරන බොහෝදෙනෙකු සිටින මෙම ඵලදායී ක්ෂේත්රයේදී, සෑහෙන සංඛ්‍යාවකට සිය ජීවිත යෙහෝවඃවහන්සේට කැප කිරීම සඳහා උපකාර කිරීමට ඇතැම් පූර්ණ-කාලීන දේවසේවකයන්ට හැකි වී තිබේ. අද්දැකීම් බොහොමයක් තිබෙන බැවින්, සමහරවිට ගෝලයන් සෑදීමේ ප්‍රීතිය සම්බන්ධයෙන් ඔවුන්ට අපට යමක් පැවසිය හැක. ඔබ ජීවත් වන ප්‍රදේශය තුළ ගෝලයන් සෑදීමෙහි ප්‍රීතිය අත් කරගැනීම සඳහා, ඔවුන්ගේ යෝජනා සමහරක් ඔබට උපකාරවත් විය හැකිය.
“බැටළුවන්” විය හැකි අයව හඳුනාගැනීම
යේසුස්වහන්සේ සිය ප්‍රේරිතයන්ව දේශනා කිරීම සඳහා යැවීමේදී මෙසේ ප්‍රකාශ කළසේක: “නුඹලා කොයි නුවරකට නුමුත් ගමකට නුමුත් ඇතුල්වූ කල එහි සුදුස්සා කවුදැයි විභාග [කරපල්ලා].” (මතෙව් 10:11) ඔබ මනුෂ්‍යයන්ව හමුවීමට යන විට, ආත්මික වශයෙන් උපකාර කළ හැකි පුද්ගලයන්ව ඔබට හඳුනාගත හැක්කේ කෙසේද? වසර 50කට වඩා වැඩි කලකට පූර්ණ-කාලීන දේවසේවයේ යෙදී ඇති එඩ්වඩ් මෙසේ ප්‍රකාශ කරයි: “ඔවුන් එය පිළිබිඹු කරන්නේ ඔවුන්ගේ අවංක ප්‍රශ්න තුළින් සහ ඒවාට ශුද්ධ ලියවිලිවලින් උත්තර සැපයූ විට දක්වන තෘප්තිය තුළිනුයි.” කැරල් තවදුරටත් මෙසේ ප්‍රකාශ කරයි: “පුද්ගලයෙක් තමාගේ පෞද්ගලික ගැටලුවක් හෝ කරදරයක් මට විශ්වාසයෙන් යුතුව පවසනවා නම්, එය සැබවින්ම උපකාරය සඳහා ආයාචනයක්. මම වොච් ටවර් සමිතියේ ප්‍රකාශන තුළින් උපකාරවත් තොරතුරු සොයාගැනීමට උත්සාහ කරනවා. බොහෝ අවස්ථාවන්වලදී, එවැනි පෞද්ගලික සැලකිල්ලක් බයිබල් පාඩමකට මඟ පාදනවා.” එහෙත්, අවංක පුද්ගලයන්ව සැමවිටම පහසුවෙන්ම හඳුනාගත නොහැක. ලුයිස් මෙසේ පවසයි: “බෙහෙවින් උනන්දුව දක්වන බව පෙනෙන්ට තිබූ ඇතැම් පුද්ගලයන් පසුව උනන්දුව නොදක්වන අය බවට පත් වුවත්, පළමුවෙන්ම විරුද්ධ බව දක්නට ලැබූ වෙනත් අය පසුව, බයිබලයට ඇත්තෙන්ම පැවසීමට තිබෙන දේ ගැන ඇසූ විට වෙනස් වුණා.” ලතින් අමෙරිකානු ජාතිකයන් බොහෝදෙනෙකු බයිබලයට ගෞරව කරන බැවින්, ඔහු තවදුරටත් මෙසේ පවසයි, “මම ඔවුන්ට බයිබලය උගන්වන දෑ පෙන්නුවායින් පසු, එකවිට පිළිගැනීමට කැමැත්තෙන් සිටින විට, මා ආත්මික වශයෙන් උපකාර කළ හැකි පුද්ගලයන් හඳුනාගන්නවා.” එවැනි ‘සුදුස්සන්ව’ ආත්මික ප්‍රගතියක් කරා යෑමට උපකාර කිරීම, සැබෑ ප්‍රීතියක් සහ තෘප්තියක් ගෙන එයි. ඔබට මෙය කළ හැක්කේ කෙසේද?
බයිබල් පාඩම් ආරම්භ කිරීම
සාමාන්‍යයෙන්, මනුෂ්‍යයන්ට බයිබල් සත්‍යය වටහාගැනීමට උපකාර කළ හැකි හොඳම ක්‍රමය වන්නේ, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” විසින් නිකුත් කරන ලද බයිබල් අධ්‍යයන ආධාරක භාවිත කිරීමය. (මතෙව් 24:45) ඔබට එවන් බයිබල් අධ්‍යයන ආධාරකවල වටිනාකම කෙරෙහි අගය වැඩි කරගත හැක්කේ කෙසේද? එඩ්වඩ් මෙසේ පවසයි: “මනුෂ්‍යයන්ගේ තත්වයන්, පෞද්ගලිකත්ව සහ දෘෂ්ටිකෝණ බෙහෙවින් වෙනස් බැවින්, බයිබල් පාඩම් ආරම්භ කිරීමේදී මා නම්‍යසුලු වන්ට උත්සාහ කරනවා.” ඔබට සියලුදෙනා සමඟම එකම ක්‍රමය භාවිත කළ නොහැක.
ඇතැම් පුද්ගලයන් සමඟ නම්, බයිබල් පාඩම් ආධාරක පොතක් ඉදිරිපත් කිරීමට පෙර ශුද්ධ ලියවිලි මත පදනම් අවිධිමත් සාකච්ඡා කිහිපයක් පැවැත්වීම අවශ්‍ය වනු ඇත. කෙසේවෙතත්, මිෂනාරි යුවළක් මෙසේ වාර්තා කරයි: “අපි සාමාන්‍යයෙන් පළමු හමුවීමේදීම පාඩමක් ඉදිරිපත් කරනවා.” ඒ හා සමානව, පුද්ගලයන් 55දෙනෙකුට කැපවීම තෙක් උපකාර කළ සාක්ෂිකාරියක් මෙසේ පවසයි: “බයිබල් පාඩම් ආරම්භ කිරීමේ මගේ මූලික ක්‍රමය නම්, කෙළින්ම පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නමැති පොතට පිවිසීමයි.” ඕනෑම දෙයක් පාඩම් කිරීමේ අදහසට සමහරුන් අකමැති වුවත්, වෙනත් අය ඔවුන්ට ජීවනය ලබා දිය හැකියයි විශ්වාස කරන කවර දෙයක් නමුත් පාඩම් කිරීමට මහත් ආශාවක් දක්වති. නිවසේදී නොමිලේ ඉදිරිපත් කරනු ලබන බයිබල් පාඨමාලා බොහෝවිට ඔවුන්ට ආකර්ෂණීය යමක් වේ. ඇතැම් මිෂනාරිවරු මෙම ඉදිරිපත් කිරීම පැහැදිලි කර මෙසේ පවසති: “අපි එය කරන ආකාරය ඔබට පෙන්වන්න මම කැමතියි. ඔබ එයට කැමති නම්, දිගටම කරන්න පුළුවන්. ඔබ අකමැති නම් ප්‍රශ්නයක් නැහැ.” එයාකාරයෙන් එය ඉදිරිපත් කරනු ලැබූ විට එය පිළිගැනීමට ජනයා බිය නොවෙති.
දිළිඳු සහ නිසි අධ්‍යාපනයක් නොලැබුණු බොහෝදෙනෙකුට උපකාර කළ තවත් සාක්ෂිකරුවෙක් මෙසේ පවසයි: “බයිබල් පාඩම් ආරම්භ කිරීමට පත්‍රිකා විශේෂයෙන් ප්‍රයෝජනවත් බව මා සොයාගෙන තිබෙනවා.” පූර්ණ-කාලීන ගුරුවරු කුමන ප්රකාශනයක් භාවිත කළත්, එමගින් බයිබලය මූලිකව අවධාරණය කිරීමට ඔවුහු උත්සාහ කරති. කැරොලා මෙසේ පවසයි: “පළමු පාඩමේදී, මම පින්තූරු සහ ශුද්ධ ලියවිලි පද පහක් පමණ පාවිච්චි කරනවා, එසේ කිරීමෙන් මූලික කරුණු කැපීපෙනෙන අතර, බයිබලය තේරුම්ගැනීමට අමාරු දෙයක් ලෙස පෙනෙන්නේ නැහැ.”
උනන්දුව දිගටම පවත්වාගැනීම
ජනයා ප්‍රගතියක් ලැබීමේ හැඟීමෙන් තෘප්තියක් ලබති, එබැවින් ජෙනිෆර් මෙසේ නිර්දේශ කරයි: “පාඩම ප්‍රාණවත් එකක් කරන්න. දිගටම කරගෙන යන්න.” ඔවුන් යම් ප්‍රගතියක් ලබාගන්නවා කියා හැඟීම සඳහා පාඩම නොකඩවා පැවැත්වීම, එනම් ඇතැම් සති අත්හරින්නේ නැතුව පැවැත්වීමද උපකාරයකි. සුළු අධ්‍යාපනයක් ලබා තිබෙන අයට පවා ප්‍රගතියක් ලබාගැනීමට හැකි වන පිණිස, පහදා දීම් සරල කිරීමේ හා මූලික කරුණු මත අවධානය යොමු කිරීමේ ඇති වැදගත්කම සම්බන්ධයෙන්, ගම්බද ප්‍රදේශයක ඇති දැඩි කරනු ලැබූ විශේෂ පුරෝගාමියෙක් පැහැදිලි කරයි. ඔහු මෙසේ පවසයි: “අපේ ගමේ බීජ වැපිරීමෙන් පසු, අපට භූමියට වතුර ඉසින්න සිදු වුණා. අප කුඹුරට වතුර වැඩියෙන් දැම්මොත්, පැළ වෙන බීජවලට ඇතුළට යා නොහැකි ආකාරයකින් පස මත ඝන තට්ටුවක් සෑදෙන අතර, ඒවා මැරෙනවා. ඒ හා සමානව, ඔබ අලුතින් උනන්දුව දක්වන අයට බොහෝ කරුණු ඉදිරිපත් කළොත්, එය ඔවුන්ට හුඟාක් අමාරු ලෙස පෙනෙන්ට තිබිය හැකි අතර, ඔවුන් අත්හැර දැමීමට පවා පුළුවන්.” විමසන මනස් තිබෙන මනුෂ්‍යයන්ට පවා, වටහාගැනීමේ දියුණුවක් ලබාගැනීමට නම්, එක අවස්ථාවක එක විෂයක් මත අවධානය යොමු කිරීමට ඉගෙනගත යුතුය. යේසුස්වහන්සේ සිය ප්‍රේරිතයන්ට මෙසේ පැවසූසේක: “නුඹලාට කියන්ට තව බොහෝ දේවල් මට ඇත්තේය, නුමුත් දැන් ඒවා දරන්ට නුඹලාට බැරිය.”—යොහන් 16:12.
ඔබ බැහැදකින්ට යන පුද්ගලයන්ට, ඔබ ගියායින් පසුව පවා දිගටම දේවවචනය සම්බන්ධයෙන් කල්පනා කිරීමට දිරිගැන්වීම උනන්දුව පවත්වාගැනීමට තවත් ක්රමයකි. යොලාන්ඩා මෙසේ නිර්දේශ කරයි: “ප්‍රශ්නයක් තබා යන්න. බයිබලයෙන් කොටසක් කියවීමට හෝ ඔවුන්ට අදාළ වන විෂයක් මත පර්යේෂණ කිරීම වැනි ගෙදරවැඩ ටිකක් ඔවුන්ට දෙන්න.”
යෙහෝවඃවහන්සේ සඳහා ප්‍රේමය වර්ධනය කිරීම
ඔබගේ ශිෂ්‍යයන්ට, “වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ” වීමට ඔබ උපකාර කරන විට ඔබගේ ප්‍රීතිය වැඩි වනු ඇත. (යාකොබ් 1:22) ඔබට එය කළ හැක්කේ කෙසේද? යෙහෝවඃවහන්සේ සඳහා ඇති ප්‍රේමය මගින් සැබෑ ක්‍රිස්තියානීන්ව පොලඹවනු ලැබේ. මෙක්සිකෝවෙන් පැමිණෙන පේත්රෝ, මෙසේ පැහැදිලි කරයි: “මනුෂ්‍යයන්ට නොදන්නා කෙනෙකුට ප්‍රේම කරන්න බැහැ, එනිසා පාඩමේ මුල සිටම මම ඔවුන්ට බයිබලයෙන් දෙවියන්වහන්සේගේ නම උගන්වන අතර, යෙහෝවඃවහන්සේගේ ගුණාංග අවධාරණය කිරීමට ප්‍රස්තා සොයනවා.” සංවාදයේදී යෙහෝවඃවහන්සේ කෙරෙහි ඔබගේ හැඟීම් ප්‍රකාශ කිරීම තුළින්, ඔබට උන්වහන්සේ කෙරෙහි අගය වර්ධනය කළ හැක. එලිසබත් මෙසේ පවසයි: “මම සැමවිටම යෙහෝවඃවහන්සේගේ යහපත්කම ගැන සඳහන් කිරීමට උත්සාහ කරනවා. මගේ පාඩම් අතරතුර, මා ලස්සන මලක්, අලංකාර කුරුල්ලෙක් හෝ සුරතල් පූස් පැටියෙක් දුටුවොත් මා සැමවිටම එය යෙහෝවඃවහන්සේගේ නිර්මාණයක් බව සඳහන් කරනවා.” “ඔබේ ස්ථිර විශ්වාසය පිළිබිඹු කරමින්, දෙවියන්වහන්සේගේ පොරොන්දු වූ නව ලොවේ යථාර්ථය ගැන කතා කරන්න,” කියා ජෙනිෆර් යෝජනා කරයි. “නව ලෝකයේදී ඔවුන්ට කිරීමට කැමති දේ අහන්න.”
කෙනෙක් යෙහෝවඃවහන්සේ සම්බන්ධයෙන් ඉගෙනගන්නා දේ පිළිබඳ අගයපූර්වකව මෙනෙහි කරන විට, එය ඔහුගේ හෘදයට කිඳා බැස ක්‍රියා කිරීමට ඔහුව පොලඹවයි. එහෙත් ඔහුට මතක නැත්නම් මෙනෙහි කළ නොහැක. සෑම පාඩමක් අවසානයේදීම මූලික කරුණු තුනක් හෝ හතරක් කෙටියෙන් පුනරීක්ෂණය කිරීම මතක තබාගැනීමට උපකාරයකි. ප්‍රධාන ශුද්ධ ලියවිලි පද, සටහනක් සමඟින් තමන්ගේ බයිබලය පිටුපස ලියාගැනීමට, බොහෝ බයිබල් ගුරුවරු නවකයන්ට සලස්වති. එංගලන්තයේ මිෂනාරිවරියක් පුනරීක්ෂණවල තවත් වාසි ප්‍රයෝජනයක් මෙසේ පැහැදිලි කරන්නීය: “මෙම තොරතුරු ඔවුන්ට ප්‍රයෝජනවත් වී තිබෙන්නේ කෙසේද කියා මම අසනවා. මෙය ඔවුන්ව යෙහෝවඃවහන්සේගේ මාර්ග සහ නීති සම්බන්ධයෙන් අගයපූර්වකව මෙනෙහි කිරීමට සලස්වනවා”
ගිලියඩ් පාසැලේ තුන්වන පන්තියෙන් උපාධිය ලැබූ ඇදහිලිවන්ත සාක්ෂිකාරියක් මෙසේ පවසයි: “අපි උද්යෝගවත් විය යුතුයි. අප උගන්වන දේ අප විශ්වාස කරන බව අපගේ ශිෂ්‍යයන් අවබෝධ කරගැනීම අවශ්‍යයි.” ඔබව සන්තෝෂයෙන් “ක්‍රියාකරන කෙනෙක්” වීමට සලස්වා තිබෙන ඇදහිල්ල, ඔබ අන්‍යයන්ට ප්‍රකාශ කළහොත් එය බෝවනසුලු විය හැක.—යාකොබ් 1:25.
“මනුෂ්‍යන්ගේ යාච්ඤාවලට ලැබූ පිළිතුරු හඳුනාගැනීමට මා ඔවුන්ට උපකාර කළහොත්, ඔවුන්ට දෙවියන්වහන්සේ සමඟ වඩාත් සමීපබවක් හැඟෙන බව මා සොයාගෙන තිබෙනවා,” යයි බොහෝදෙනෙකුට යෙහෝවඃවහන්සේට නමස්කාර කිරීමට උපකාර කළ සාක්ෂිකාරියක් පවසයි. “මගේම අද්දැකීම්වලින් මම ඔවුන්ට උදාහරණ දෙනවා, හරියටම මෙම අද්දැකීම වගේ: මගේ සහකාරිය සහ මම පුරෝගාමීන් ලෙස අපගේ නව පැවරුම ලබාගත්තායින් පසු අපට තිබුණේ එළවළු ටිකක් සහ මාගරීන් පැකට් එකක් පමණක් වන අතර, මුදල් කිසිවක් තිබුණේ නැහැ. අපි එම ආහාර රාත්‍රි කෑමට අරගෙන මෙසේ පැවසුවා, ‘දැන් අපට හෙට දවසට මොකුත් නැහැ.’ අපි ඒ ගැන යාච්ඤා කරලා නිදාගත්තා. ඊළඟ උදෑසනම ප්‍රාදේශීය සාක්ෂිකාරියක් අපව හමුවීමට පැමිණ තමා කවුද කියා හඳුන්වා දී මෙසේ පැවසුවා, ‘පුරෝගාමීන් එවන්න කියා මම යෙහෝවඃවහන්සේට යාච්ඤා කළා. මට දැන් දවසේ වැඩිහරියක්ම ඔයගොල්ලන් සමඟ යෑමට පුළුවන්, නමුත් මා පිටිසරබද ජීවත් වන නිසා මට ඔයගොල්ලන් සමඟ දවල් ආහාරය ගැනීමට සිදු වෙයි, එනිසා අපි සියලුදෙනාටත් එක්ක මම මෙම ආහාර ගෙනාවා.’ එය මස් සහ එළවළු විශාල ප්‍රමාණයක්ව තිබුණා. අප යෙහෝවඃවහන්සේගේ කැමැත්ත පළමු ස්ථානයට තබනවා නම්, උන්වහන්සේ කවදාවත් අපව අත්හරින්නේ නැහැ කියලා මම මගේ ශිෂ්‍යයන්ට නිතරම කියනවා.”—මතෙව් 6:33.
ප්‍රායෝගික උපකාර ඉදිරිපත් කරන්න
ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් සෑදීමේදී, බයිබල් පාඩමක් පැවැත්වීමට වඩා දෙයක් ඇතුළත් වේ. සංචාරක අවේක්ෂකයෙකු ලෙස අවුරුදු ගණනාවකට සේවය කළ මිෂනාරි සහෝදරයෙක් මෙසේ පවසයි: “ඔවුන්ට කාලය දෙන්න. පාඩම අවසන් වූ විගසම යන්න එපා. සුදුසු නම් ටික වේලාවක් ඉඳලා කතා කරන්න.” එලිසබත් මෙසේ පවසයි: “ජීවිතය සම්බන්ධ වී තිබෙන නිසා මා ඔවුන් කෙරෙහි උනන්දුව දක්වනවා. ඔවුන් මගේ දරුවන් මෙන් සලකා මා බොහෝ අවස්ථාවලදී ඔවුන් ගැන කනස්සල්ලට පත් වෙනවා.” වෙනත් සාක්ෂිකරුවෝ මෙම යෝජනා ඉදිරිපත් කළහ: “ඔවුන් අසනීපයෙන් සිටින විට බැහැදකින්න යන්න.” “ඔබ ඔවුන්ගේ නිවසට ආසන්නව සිටින විට, උදාහරණයක් වශයෙන් ක්ෂේත්‍ර සේවයේ යන විට වෙනත් සාක්ෂිකරුවන්ව ඔවුන්ට හඳුන්වා දීම සඳහා ඔවුන්ව ස්වල්ප වේලාවකට බැහැදකින්න යන්න.” ඊවා මෙසේ පවසයි: “පුද්ගලයාගේ ජීවිතයේ පසුබිම සහ තත්වය තේරුම්ගැනීම සඳහා හොඳින් සවන් දෙන්න. මෙය මනුෂ්‍යයන් සත්‍යයට ප්‍රතිචාරය දක්වන ආකාරයට බලපාන අතර, ඔවුන්ගේ ප්‍රගතියට බාධා කරන්න පුළුවන්. ඔවුන්ගේ ගැටලු ඔබ සමඟ කතා කිරීමට නිසැකකම ඇති වන පිණිස, ඔවුන්ගේ මිතුරෙක් වෙන්න.” කැරල් තවදුරටත් මෙසේ පවසයි: “එම පුද්ගලයා කෙරෙහි අව්‍යාජ උනන්දුවක් දැක්වීම වැදගත් වෙනවා, එයට හේතුව නම් ඔහු සත්‍යය ඉගෙනගැනීමත් සමඟ ජීවිතයේ කරගන්නාවූ වෙනස්කම් හේතුවෙන් සමහරවිට ඔහුගේ පවුලේ අය සහ මිතුරන් නැති වෙන්න පුළුවන් නිසා. සාමාන්‍යයෙන්, අප ජීවත් වන ස්ථානය ශිෂ්‍යයා දැනගෙන සිටීම හොඳ දෙයක් වන අතර, අප ළඟට ඕනෑම වේලාවක පැමිණීමට ඔහු තුළ නිසැකකමක් තිබිය යුතුයි.” සභාව ඔහුගේ නව පවුල වශයෙන් සැලකීමට ඔහුට උපකාර කරන්න.—මතෙව් 10:35; මාර්ක් 10:29, 30.
“ප්‍රායෝගික උපකාරය සැපයීමට සාවධාන වන්න. රැස්වීම්වලදී ඔවුන් සමඟ වාඩි වී, ඔවුන්ගේ දරුවන් සම්බන්ධයෙන් ඔවුන්ට උපකාර කරන්න,” කියා යොලාන්ඩා පවසයි. නවකයන්ට තම දරුවන් පුහුණු කරන ආකාරය, ඔවුන්ගේ පිරිසිදුකමේ ප්‍රමිති වැඩිදියුණු කරන ආකාරය, රැස්වීම්වලට පිළිතුරු සූදානම් කරන ආකාරය සහ දිව්‍යාණ්ඩු සේවා පාසැල තුළ කතා ඉදිරිපත් කරන ආකාරය පෙන්වා දීම යන සියල්ලක්ම ගෝලයන් සෑදීමේ වැඩයට ඇතුළත් වේ. තවත් සහෝදරියක් තවදුරටත් මෙසේ පවසයි: “දේවසේවයට නවකයන්ව පුහුණු කිරීම වැදගත්. පුහුණු කිරීමේ මෙම අංගය නොසලකා හරිනු ලබන විට, ඇතැම් පුද්ගලයන් දේශනා සේවය සම්බන්ධයෙන් බියසුලු වන අතර, යෙහෝවඃවහන්සේට සේවය කිරීමේ ප්‍රීතිය අහිමි කරගනිමින්, විඳදරාගැනීමට අසමත් වෙනවා.” එබැවින් ගෙයින් ගෙට සේවයේදී, නැවත බැලීම් කිරීමේදී සහ බයිබල් පාඩම් ආරම්භ කිරීමේදී සාවධාන පුහුණුවක් සපයන්න. ඔබගේ උපකාරයෙන් සහ මඟ පෙන්වීම තුළින් ඔබගේ ශිෂ්‍යයා දියුණු වන ආකාරය දැකීමෙන් ඔබට මහත් ප්‍රීතියක් ලැබෙනු ඇත.
විඳදරාගැනීමට ඔවුන්ව ශක්තිමත් කරන්න
“ශිෂ්‍යයා බව්තීස්ම ලැබුවායින් පසු පාඩම් කිරීම නතර කිරීමට පෙලඹීමක් තිබෙනවා,” කියා අද්දැකීම් ලත් ගෝලයන් සාදන්නියක් අනතුරු අඟවන්නීය. අලුතින් බව්තීස්ම ලත් ක්‍රිස්තියානිවරයෙක් ආත්මික වශයෙන් තවමත් මේරූ තත්වයක නොසිටින බව ගුරුවරයා මෙන්ම ශිෂ්‍යයාද මතකයේ තබාගත යුතුය. ඔහුගේ ඇදහිල්ල, දේවනීතිය සඳහා අගය දැක්වීම මෙන්ම යෙහෝවඃවහන්සේ සඳහා ඔහුගේ ප්‍රේමය වර්ධනය කිරීම සඳහා බොහෝ දේ කළ යුතුව තිබේ. ඔහුට දිගටම දියුණු වීම සඳහා, හොඳ පෞද්ගලික පාඩම් පුරුදු වර්ධනය කිරීමට දිරිගැන්වීම වැදගත්ය.—1 තිමෝති 4:15.
නවකයාට ප්‍රගතියක් ලබාගැනීම සඳහා සහ සහෝදර සමාගමේ සත්කාරශීලී සාමාජිකයෙකු වීම සඳහා උපකාර අවශ්‍ය විය හැක. ඔහු සහෝදරයන්ට වඩාත් සමීප වන විට ඔවුන්ගේ අසම්පූර්ණකම් සමඟ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මඟ පෙන්වීමක් අවශ්‍ය විය හැක. (මතෙව් 18:15-35) තමාගේම පර්යේෂණ කරමින් දක්ෂ ගුරුවරයෙක් වීමට ඔහුට උපකාර අවශ්‍ය විය හැක. මිෂනාරිවරියක් මෙසේ ප්‍රකාශ කරන්නීය: “බව්තීස්මයෙන් පසු එක් ශිෂ්‍යාවකට ගුරුවරියක් ලෙස ඇයගේ හැකියාව වැඩිදියුණු කිරීමට අවශ්‍ය වුණා, එනිසා ඇය මට මෙසේ පැවසුවා, ‘මට ලබන සතියේ අලුත් පාඩමක් පවත්වන්න තියෙනවා, නමුත් මා කලින් ඉගෙනගත්ත පරිච්ඡේද සම්බන්ධයෙන් මගේ මතකය අලුත් කරගන්න අවශ්‍යයි. කරුණාකර නැවත වරක් මෙම පරිච්ඡේද මා සමඟ වතාවකට එක බැගින් කරන්න ඔබට පුළුවන්ද? එතකොට මට ශුද්ධ ලියවිලි සහ උපමා පැහැදිලි කරන ආකාරය සටහන් කර, මගේ පාඩමට යන විට ඒවා පාවිච්චි කරන්න පුළුවන් වේවි.’ ඇය දක්ෂ ගුරුවරියක් බවට පත්ව තිබෙනවා, ඒවගේම එක් එක්රැස්වීමකදී ඇයගේ ශිෂ්‍යයන් හතරදෙනෙක් බව්තීස්ම කරනු ලැබුවා.”
ගෝලයන් සෑදීමට දරන වෑයම අගනා දෙයක් වීමට හේතුව
“ගෝලයන් සෑදීමෙන් අදහස් කරන්නේ යෙහෝවඃවහන්සේට තව බොහෝ ප්රශංසාකරුවන් ලැබීමයි. සත්‍යය පිළිගන්න අයට එය ජීවිතය අදහස් කරනවා,” කියා පැමලා පවසයි. “මම අන්‍යයන්ට සත්‍යය ඉගැන්වීමට හුඟාක් ආසයි—එය කොතරම් හොඳද! යෙහෝවඃවහන්සේගේ ආත්මය නොතිබුණා නම්, ජයගැනීමට නොහැකි ලෙස පෙනෙන්ට තිබෙන බාධා ජයගෙන, තමන්ගේ ජීවිතයේ වෙනස්කම් කරමින්, ශිෂ්‍යයන් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන ආකාරය කෙනෙකුට දැකගැනීමට හැකි වෙන්නේ නැහැ. යෙහෝවඃවහන්සේට ප්‍රේම කරන පුද්ගලයන් බවට පත් වී සිටින බොහෝදෙනෙක් මගේ හිතවත් යහළුවන් බවට පත් වී තිබෙනවා.”
ජර්මනියෙන් පැමිණි මිෂනාරිවරයෙක් මෙසේ පවසයි: “ගෝලයන් බවට පත්වීමට මා උපකාර කර තිබෙන පුද්ගලයන් ගැන සිතා බලන විට, මට කිසිසේත් විශ්වාස කරන්ට නොහැකි ලෙස, බෙහෙවින් බයාදුව සිටි ඇතැම් පුද්ගලයන් දෙවියන්වහන්සේගේ සේවකයන් වශයෙන් කොතරම් ප්‍රගතියක් ලබා තිබෙනවාද කියා මට දැන් දකින්ට පුළුවන්. පැහැදිලිවම ජයගැනීමට නොහැකි බාධා යෙහෝවඃවහන්සේගේ උපකාරයෙන් ජයගන්නා මනුෂ්‍යයන් මම දකිනවා. වරක් බෙදුණු පවුල් දැන් එක්සත්ව සිටින ආකාරයත්, වගකීම් නිසි ලෙස උසුලන දෙමාපියන් සමඟ සන්තෝෂවත් දරුවන් සිටින ආකාරයත් මම දැන් දකිනවා. යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කරමින් අර්ථවත් ජීවිත භුක්තිවිඳින මනුෂ්‍යයන් මම දැන් දකිනවා. ගෝලයන් සෑදීමේ ප්‍රීතිය මෙයයි.”
එසේය, ගෝලයන් සෑදීමේ වැඩය තුළ යෙහෝවඃ දෙවියන්වහන්සේ සමඟ හවුල් වැඩකරුවෙකු වීම, සැසඳිය නොහැකි ප්‍රීතියේ උල්පතකි. මිෂනාරිවරුන්ගේ සහ පුරෝගාමීන්ගේ අද්දැකීම් එය ඔප්පු කර තිබේ. ඔබ එම යෝජනා අදාළ කර, මුළු ආත්මයෙන් සේවය කළහොත් ඔබටත් එම ප්‍රීතිය සහ තෘප්තිය සොයාගත හැකිවනු ඇත. යෙහෝවඃවහන්සේගේ ආශීර්වාදය සමඟින් ඔබගේ ප්‍රීතිය සම්පූර්ණ වනු ඇත.—හිතෝපදේශ 10:22; 1 කොරින්ති 15:58.