හෘදයෙන්ම සමාව දෙන්න
“නුඹලාත් එකිනෙකා තම තමාගේ සහෝදරයාට සිතින් [හෘදයෙන්, NW] කමා නොකරනවා නම් ස්වර්ගයෙහි සිටින මාගේ [පියාද] නුඹලාට එසේම කරනවා ඇත.”—මතෙව් 18:35.
1, 2. ප්‍රසිද්ධ පව්කාර ස්ත්‍රියක් යේසුස් සඳහා තම අගය පෙන්නුම් කළේ කෙසේද? (ආ) ප්‍රතිචාරයක් වශයෙන් යේසුස් ගෙනහැර දැක්වූයේ කුමන කාරණයද?
ඇය ගණිකාවක්. සාමාන්‍යයෙන් ආගම දහමට ලැදි කෙනෙකුගේ නිවසක නොදකින කෙනෙක්. ඇය එවැනි තැනක සිටිනවා දැක සමහරුන් තිගැස්සුණා නම්, ඇය ඊළඟට කළ දෙයින් ඊටත් වඩා තිගැස්සෙන්න ඇති. ඒ ස්ත්‍රිය උසස්ම සදාචාර ප්‍රමිති ඇති මිනිසා ළඟට ගොස්, තම කඳුළින් ඔහුගේ පාද සෝදා, තම කෙස් කලඹින් ඒවා පිස දැමීමෙන් ඔහුගේ ක්‍රියාවන් සඳහා තම අගය පළ කළා.
2 ඒ මිනිසා යේසුස්ය. “ඒ නුවර සිටි පව්කාර ස්ත්‍රියෙක්” ලෙස ප්‍රසිද්ධ වූ ඇය දැකීමේදී ඔහුට පිළිකුලක් ඇති වුණේ නැහැ. එනමුත් නිවසේ අයිතිකරු වන ඵරිසියෙක් වූ සීමොන් ඇය පව්කාරියක් වූ නිසා කලබල වුණා. යේසුස් ප්‍රතිචාරය දැක්වූයේ ණයහිමියෙකුට ණයව සිටි ණයකාරයන් දෙදෙනෙකු පිළිබඳ කතාවක් කීමෙනුයි. එක්කෙනෙක් සෑහෙන ප්‍රමාණයක්, එනම් කම්කරුවෙකුට ලැබෙන අවුරුදු දෙකක වේතනයකට සමාන ප්‍රමාණයක් ණයව සිටියා. අනික් කෙනා ඉන් දහයෙන් පංගුවකට සමාන මාස තුනක පමණ වේතනයක් ණයව සිටියා. ඔවුන්ගේ ණය ආපසු ගෙවන්න දෙදෙනාටම බැරි වූ විට, ණයහිමියා ‘ඒ දෙදෙනාටම කමා වුණා.’ ප්‍රේමයෙන් ප්‍රතිචාරය දක්වන්න වඩා ප්‍රබල හේතුවක් තිබුණේ වැඩියෙන් සමාව ලැබූ තැනැත්තාට බව පැහැදිලියි. ස්ත්‍රියගේ කාරුණික ක්‍රියාව සම්බන්ධ කරමින් යේසුස් මෙම ප්‍රතිපත්තිය සඳහන් කළා: “යමෙකුට ස්වල්පයක් කමාකරනලද්දේද ඔහු ස්වල්ප කොට ප්රේමකෙරේය.” ඊළඟට යේසුස් ඇයට කිව්වේ, ‘නුඹේ පව් නුඹට කමා කරන ලද්දේය’ කියායි.—ලූක් 7:36-48.
3. අප සම්බන්ධයෙන් අප කුමක් සැලකිල්ලට ගත යුතුද?
3 දැන් ඔබෙන් මෙසේ අසන්න: ‘මම ඒ ස්ත්‍රිය වෙලා හිටියා නම්, එහෙම නැත්නම් ඒ හා සමාන තත්වයක සිටිද්දී මට දයාව පෙන්වා තිබුණා නම්, මම අනුන්ට කර්කශ ලෙස සමාව නොදී ඉන්නවාද?’ ‘නැහැ’ කියා ඔබ පිළිතුරු දෙන්න ඉක්මන් වෙනවා ඇති. හැබැයි, ඔබ සමාව දීමට නැඹුරු කෙනෙක් කියා ඔබ ඇත්තටම විශ්වාස කරනවාද? ඒක ඔබේ සාමාන්‍ය ස්වභාවයද? පසුබසින්නේ නැතුව ඔබ නිතරම වාගේ සමාව දී තිබෙනවාද? අන්‍යයන් ඔබව සලකන්නේ සමාව දීමට කැමති කෙනෙක් ලෙසද? අප සියලුදෙනාම මෙය අවංකව සහ ගැඹුරින් අපගේ අවධානයට යොමු කළ යුත්තේ ඇයි කියා අපි දැන් සලකා බලමු.
අපට සමාව අවශ්‍යයි වගේම ලැබෙනවා
4. අප සම්බන්ධයෙන් අප කුමන සත්‍යය පිළිගත යුතුද?
4 අපි අසම්පූර්ණයි කියා අප කවුරුත් හොඳින් දන්නවා. ඒ ගැන ඔබෙන් විමසුවා නම් ඔබ එය පිළිගන්නවාට සැකයක් නැහැ. “අපට පාපය නැතැයි කියමු නම්, අපි අපම රවටාගනිමුව, සැබෑවද අප තුළ නැත” යන 1 යොහන් 1:8හි සඳහන් වචන ඒ අවස්ථාවේදී මතක් කරමින් ඔබ එය පිළිගන්නවා විය හැකියි. (රෝම 3:23; 5:12) කෙසේවෙතත්, ඇතැම් අයගේ පව්කාර ස්වභාවය ඔවුන් කර ඇති කම්පිත කරවන බරපතළ පාප මගින් පිළිබිඹු වෙනවා. නමුත් දැනුවත්ව එවැනි පව්වලට වරදකාරයෙකුව නොසිටියත්, ඔබ දෙවිගේ ප්‍රමිතිවලින් පහත වැටී, පව් කර ඇති අවස්ථාවන් සහ ක්‍රම රැසක් ඇති බවට සැකයක් නැහැ. එය ඇත්තක් නොවේද?
5. අප දෙවිහට කෘතඥපූර්වක විය යුත්තේ කුමක් සම්බන්ධයෙන්ද?
5 එමනිසා ඔබගේ තත්වය ප්‍රේරිත පාවුල්ගේ මෙම විස්තරයට අනුරූප විය හැකියි: ‘දෙවි, නුඹලාගේ වරදවලද මාංසයේ අචර්මච්ඡේද්යයෙහිද මැරී සිටියාවූ නුඹලා, යේසුස් සමඟ ජීවත් කෙරෙව්වේය. එසේය, දෙවි අපේ සියලු වරද අපට [කාරුණිකව, NW] කමා කළේය.’ (කොලොස්සි 2:13; එපීස 2:1-3) ‘අපේ සියලු වරද අපට කමා කළේය’ යන වාක්‍ය ඛණ්ඩය සැලකිල්ලට ගන්න. එහි සෑහෙන අර්ථයක් ගැබ්ව තිබෙනවා. දාවිත් කන්නලව් කළාක් මෙන් අප සැමට මෙසේ කන්නලව් කරන්න හොඳ හේතු තිබෙනවා: ‘යෙහෝවා, මාගේ අයුතුකම මහත් බැවින් ඔබගේ නාමය නිසා ඊට කමා වුව මැනව.’—ගීතාවලිය 25:11, ඇල අකුරු අපගේය.
6. යෙහෝවා ගැන මෙන්ම සමාව ලැබීම සම්බන්ධයෙන් බලද්දී, අපට කුමක් ගැන සහතික විය හැකිද?
6 ඔබට නැත්නම් අප සැමට සමාව ලැබිය හැක්කේ කෙසේද? එනම් යෙහෝවා දෙවි සමාව දීමට නැඹුරු කෙනෙක් වන නිසයි. මෙම ගතිලක්ෂණය ඔහුගේ පෞද්ගලිකත්වයේ අනිවාර්ය අංගයක්. (නික්මයාම 34:6, 7; ගීතාවලිය 86:5) ඇත්තෙන්ම, යාච්ඤාවෙන් දෙවි වෙත එළඹීමත්, ඔහුගෙන් සමාව ඉල්ලීමත් ඔහු අපෙන් අපේක්ෂා කරනවා. (2 ලේකම් 6:21; ගීතාවලිය 103:3, 10, 14) තවද, එවැනි සමාවක් ලබා දීම සඳහා ඔහු නීතික පදනමක්ද පිළියෙළ කර තිබෙනවා. ඒ තමයි යේසුස්ගේ මිදීමේ පූජාව.—රෝම 3:24; 1 පේතෘස් 1:18, 19; 1 යොහන් 4:9, 14.
7. ඔබ යෙහෝවාව අනුකරණය කළ යුත්තේ කුමන ආකාරයෙන්ද?
7 සමාව දීමට දෙවිට තිබෙන කැමැත්තෙන් ඔබ සෙසු ජනයාට සැලකිය යුතු ආකාරය සම්බන්ධයෙන් ආදර්ශයක් ලැබෙනවා. මෙයට අවධානය දෙමින් පාවුල් මෙසේ ලිව්වා: “නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, [ක්‍රිස්තුස්] තුළ [දෙවි] නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙන්න.” (එපීස 4:32) එසේ නම් අප දෙවිගේ ආදර්ශයෙන් ඉගෙනගත යුතුයි. පාවුල් ගෙනහැර දක්වන්න උත්සාහ කරන කාරණය මෙයට සම්බන්ධ බව පැහැදිලියි. මන්ද ඊළඟ පදයෙහි මෙසේ පැවසේ: ‘එබැවින්, නුඹලා ප්‍රිය දරුවන් මෙන් දෙවි අනුව යන්නෝ වෙන්න.’ (එපීස 5:1) ඔබ එහි සම්බන්ධය දැක්කද? යෙහෝවා දෙවි ඔබට සමාව දෙනවා. එමනිසා ඔහුව අනුකරණය කරමින් ‘අනුකම්පාව ඇතුව, එකිනෙකාට කමා වෙන්න’ ඔබත් බැඳී සිටිනවා. එයයි පාවුල්ගේ ප්‍රබල තර්කය. දැන්, ඔබෙන්ම මෙසේ අසන්න: ‘මම එහෙම කරනවාද? එහෙම කරන්න සහජ පෙලඹීමක් නැතත්, ඒ තත්වයට එන්න මම කොහොම හරි උත්සාහ කරනවාද? සමාව දීමට කැමති දෙවිව අනුකරණය කරන්න මම වෙහෙස මහන්සි වී වැඩ කරනවාද?’
කැමැත්තෙන් සමාව දීමට අප වෑයම් කළ යුතුයි
8. අපගේ සභාවේ සිටින අය සම්බන්ධයෙන් අප කුමක් පිළිගත යුතුද?
8 ක්‍රිස්තියානි සභාවේ සමාව දීමේ දිව්‍යමය ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට අපට සිදු වන අවස්ථා අල්ප වුණා නම් කොතරම් හොඳද කියා අපට සිතන්න පුළුවන්. කෙසේවෙතත්, සැබෑ තත්වය ඊට හාත්පසින්ම වෙනස්. අපගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් ප්‍රේමය සම්බන්ධයෙන් යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීමට උත්සාහ කරන බව ඇත්තයි. (යොහන් 13:35; 15:12, 13; ගලාති 6:2) මේ දුෂ්ට ලෝකයට ආවේණික වූ සිතුම් පැතුම්, අදහස් උදහස් සහ ක්‍රියාකලාපයන් අත්හැරීමට ඔවුන් සෑහෙන කාලයක් තිස්සේ උත්සාහ කර තිබෙනවා. දැනුත් ඒ උත්සාහය අඩු වී නැහැ. අලුත් පෞද්ගලිකත්වය විදහාපෙන්වීම ඔවුන්ගේ සැබෑ ආශාවයි. (කොලොස්සි 3:9, 10) කෙසේවෙතත්, සභා රැසකින් සෑදී ඇති සමස්ත ලෝක සභාව අසම්පූර්ණ මනුෂ්‍යයන්ගෙන් සෑදී ඇති බවට වූ සත්‍යය අපට ප්‍රතික්ෂේප කළ නොහැකියි. සමස්තයක් වශයෙන් බලද්දී, අතීතයට වඩා දැන් ඔවුන්ගේ තත්වය හොඳයි. එනමුත් ඔවුන් තවමත් අසම්පූර්ණයි.
9, 10. සහෝදරයන් අතර ගැටලු පැනනැඟුණොත් අප පුදුමයට පත් නොවිය යුත්තේ මන්ද?
9 අපට සභාවෙහි අපගේ සහෝදර සහෝදරියන්ගෙන් අසම්පූර්ණකම අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්න සිදු වන බව බයිබලය තුළින් දෙවි අපට පවසන්නේ හොඳ හේතු ඇතුවයි. නිදසුනක් වශයෙන්, කොලොස්සි 3:13හි වාර්තා වී ඇති පාවුල්ගේ මෙම වදන් සලකා බලන්න: “එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙන්න; [යෙහෝවා] නුඹලාට [නොමසුරුව, NW] කමාවුණාක්මෙන් නුඹලාත් කරන්න.”
10 අප විසින් අන්‍යයන්ට සමාව දීමට ඇති යුතුකම හා අවශ්‍යතාව මෙන්ම දෙවි විසින් අපට සමාව දීම එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය මෙහිදී බයිබලය තුළින් අපට සිහිගැන්වීම වැදගත් කාරණයක්. මෙය අභියෝගයක් වන්නේ මන්ද? ඇතමෙකුට ‘යමෙකුට විරුද්ධව කාරණයක්’ තිබිය හැකි බව පාවුල් පෙන්නුම් කරන නිසයි. එවැනි කාරණා හටගත හැකි බව ඔහු තේරුම්ගත්තා. ‘ස්වර්ගයෙහි බලාපොරොත්තුව තබා තිබුණාවූ’ පළමු සියවසේ ක්‍රිස්තියානි “ශුද්ධවන්තයන්” අතර පවා මෙවැනි කාරණා තිබුණා විය යුතුයි. (කොලොස්සි 1:2, 3) එසේ නම්, “[දෙවිගේ] ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් හැටියට ශුද්ධාත්මයේ සාක්ෂිය නැති අදදින සිටින සැබෑ ක්‍රිස්තියානීන් බහුතරය අතර එවැනි තත්වයක් උද්ගත නොවෙයි කියා අපට සිතිය හැකිද? (කොලොස්සි 3:12) එමනිසා, ‘යමෙකුට විරුද්ධව කාරණයක්’ ඇත්නම්, ඒ කියන්නේ සැබෑ නැතහොත් සිතින් මවාගත් වැරදි නිසා සිත් රිදවීම් සිදු වී ඇත්නම්, අපගේ සභාව තුළ බරපතළ වරදක් ඇතැයි අප නිගමනය නොකළ යුතුයි.
11. ශ්‍රාවක යාකොබ් අපව අවදි කෙරෙව්වේ කුමක් සම්බන්ධයෙන්ද?
11 යේසුස්ගේ අර්ධ සහෝදර යාකොබ් පැවසූ වදන්වලිනුත් අපට පැහැදිලි වන්නේ, අපගේ සහෝදරයන්ට සමාව දීම අවශ්‍ය කරවන තත්වයන් අඩුම තරමින් විටින් විට හරි පැනනැඟිය හැකියි යන්න අප අපේක්ෂා කළ යුතු බවයි. “නුඹලා අතරෙහි ප්‍රඥාවත්වූ තේරුම්ඇත්තාවූ තැනැත්තා කවුද? ඔහු යහපත් හැසිරීමෙන් තමාගේ ක්‍රියා ප්‍රඥාවේ මෘදුකම ඇතුව පෙන්වාවා. නුමුත් නුඹලාගේ සිත්වල තික්ත ඊර්ෂ්‍යාවද පක්ෂවාදිකමද තිබේ නම්, පාරට්ටුකරමින් සත්‍යයට විරුද්ධව බොරු නොකියන්න.” (යාකොබ් 3:13, 14) සැබෑ ක්‍රිස්තියානීන්ගේ හෘදයන් තුළ ‘තික්ත ඊර්ෂ්‍යාව සහ පක්ෂවාදිකම?’ ඔව්. මුල් සියවසේ ක්‍රිස්තියානි සභාවේ එවැනි දේවල් ඉස්මතු වූ බවත්, වර්තමානයෙහි එවැනිම දේවල් ඉස්මතු වෙන බවත් යාකොබ්ගේ වදන්වලින් පැහැදිලිවම අඟවනවා.
12. මුල් සියවසේ පිලිප්පි සභාවේ ඉස්මතු වූයේ කුමන ප්‍රශ්නයද?
12 ප්‍රේරිත පාවුල් සමඟ උරෙන් උර ගැටී සේවය කිරීමෙන් හොඳ ප්‍රසිද්ධියක් ලැබූ ආලේප ලත් ක්‍රිස්තියානීන් දෙදෙනෙකුට එවැනි ප්‍රශ්නයක් තිබුණා. පිලිප්පි සභාවේ සාමාජිකාවන් දෙදෙනෙකු වූ එවෝදියා සහ සින්තිකී ගැන ඔබ කියවා ඇති. පිලිප්පි 4:2, 3හි හේතුව පිළිබඳව සවිස්තර තොරතුරු සපයා දී නැතත්, ඔවුන් දෙදෙනා අතර යම්කිසි ප්‍රශ්නයක් තිබුණු බව පෙන්නුම් කරනවා. කොහොමද ඒ ප්රශ්නය හටගත්තේ? කවුරු හරි හිතන්නේ නැතුව අකාරුණික යමක් කිව්වාද? එක්කෙනෙකුගේ නෑදෑයෙකුට යම් මදිපුංචිකමක්වත් කළාද? එහෙම නැත්නම් තරඟකාරිත්වයක් හේතුවෙන් ඊර්ෂ්‍යාවක් හටගෙන තිබුණාද? ඒ ප්රශ්නය මොකක් වුණත්, එය කොතරම් බරපතළ වූවාද කිවහොත් ඈත රෝමයේ සිටි පාවුල්ටත් ඒ ගැන ආරංචි වුණා. මෙම ආත්මික සහෝදරියන් දෙදෙනා එකිනෙකාව මඟහරිමින් වචනයක්වත් කතා නොකර ඉන්න ඇති. රැස්වීම්වලදී ඔවුන් එකිනෙකාව අතේ දුරින් තබාගනිමින් ඔවුන්ගේ මිතුරියන් සමඟ අනික් තැනැත්තිය ගැන විවේචනාත්මකව කතා කරන්නත් මෙය මඟ පාදන්න ඇති.
13. එවෝදියා සහ සින්තිකී අතර තිබූ ප්රශ්නය සමථයකට පත් කරන්න ඇතැම්විට ඉවහල් වන්න ඇත්තේ කුමක්ද? එයින් අපට උගත හැකි පාඩම කුමක්ද?
13 ඒක අහලා පුරුදු දෙයක් වගේද? එය ඔබේ සභාවේ කිහිපදෙනෙක් අතර, එහෙම නැත්නම් ඔබත් සම්බන්ධ යම්කිසි ප්‍රශ්නයකට සමාන විය හැකිද? ඒ වගේ ප්‍රශ්නයක් දැන් වුණත් ඔබ අතර පවතිනවා වෙන්න පුළුවන්. අපට කරන්න පුළුවන් මොනවාද? අපි මුල් සියවසේ ගැටලුවට ආපසු යමු. එහිදී පාවුල් එම කැප වූ සහෝදරියන් දෙදෙනාට උනන්දු කළේ ‘ස්වාමීන් තුළ එක්සිත් වෙන්න’ කියායි. කාරණය සාකච්ඡා කර වරදවා තේරුම්ගැනීම් විසඳාගැනීමට, සමාව දෙන්න දෙදෙනාගේම කැමැත්ත පළ කිරීමට සහ එතුළින් අන්තිමේදී යෙහෝවාගේ සමාව දීමේ ආකල්පය අනුකරණය කිරීමට ඔවුන් එකඟ වන්න ඇති. එවෝදියා සහ සින්තිකී එම ප්රශ්නය නිරාකරණය කිරීමට ගත් වෑයම සාර්ථක නොවූ බව සිතීමට කිසිම හේතුවක් නැහැ. එසේ නම්, අපගේ උත්සාහයෙනුත් සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැකියි. සමාව දීමේ එවැනි ආකල්පයක් අදදින වුණත් සාර්ථකව විදහාපෙන්විය හැකියි.
සමාදාන වෙන්න—සමාව දෙන්න
14. පෞද්ගලික එකඟ නොවීම් නිකම්ම නොසලකා හැරීම කළ හැකි මෙන්ම කළ යුතු හොඳම දේ වන්නේ මන්ද?
14 ඔබට වෙනත් ක්‍රිස්තියානියෙකු සමඟ ගැටලුවක් තිබෙන විට, සමාව දෙන්න ඇත්තටම කුමක්ද කළ යුත්තේ? ඇත්තම කියනවා නම්, එක සරල ක්‍රමයක් නැහැ. හැබැයි, බයිබලය උපකාරවත් වන උදාහරණ සහ ක්‍රියාවට නැංවිය හැකි උපදෙස් සපයයි. මූලිකවම නිර්දේශ කර ඇති දෙය නම්, නිකම්ම ඒ ප්රශ්නය අමතක කර දැමීමයි. හැබැයි, එවැනි නිර්දේශයක් පිළිගෙන අදාළ කරගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. බොහෝදුරට එවෝදියා සහ සින්තිකී අතර තිබූ ප්‍රශ්නයට සමාන ප්‍රශ්නයක් තියෙද්දී, ඊට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනාම සිතන්නේ අනික් තැනැත්තා අතින් වරද සිදු වී ඇති බව හෝ ඔහු ඊට වගකිව යුතු බවයි. එමනිසා එවැනි තත්වයකට මුහුණ දෙද්දී, ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ එහෙම නැත්නම් වැඩිම හානියක් සිදු කර ඇත්තේ අනික් ක්‍රිස්තියානියා කියා සිතන්න ඔබ පෙලඹෙනවා ඇති. කෙසේවෙතත්, සමාව දීමෙන් ඔබට එම ගැටලුව නිකම්ම සමථයකට පත් කරන්න පුළුවන්ද? ප්‍රධාන වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ අනික් ක්‍රිස්තියානියා කියා සිතමු. බොහෝදුරට එවැනි අවස්ථා දුර්ලභයි. කෙසේවෙතත්, එවන් අවස්ථාවක් හදිස්සියේම ඉස්මතු වූවොත්, සමාව දී අවසන් කර ඇති කාරණයක් වශයෙන් එම ගැටලුව අමතක කර දැමීමට ඔබට ඉතා කදිම අවස්ථාවක් උදා වී ඇති බව මතක තබාගන්න.
15, 16. (අ) මීකා යෙහෝවා ගැන ඉදිරිපත් කළේ කුමන විස්තරයද? (ආ) දෙවි විසින් ‘අයුතුකම නොසලකා හැරීම’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
15 සමාව දීමේ අපගේ ආදර්ශය වන දෙවිව අමතක නොකරමු. (එපීස 4:32–5:1) අයුතුකම් අමතක කර දැමීම සම්බන්ධයෙන් දෙවි තබන ආදර්ශය ගැන අනාගතවක්තෘ මීකා මෙසේ ලිව්වා: ‘අපරාධය කමා කරන්නාවූ, ස්වකීය උරුමයේ ඉතිරි අයින්ගේ වරදට දඬුවම් නොකර අරින්නාවූ [අයුතුකම් නොසලකා හරින, NW] ඔබට සමාන දෙවිකෙනෙක් සිටීද? ඔහු කරුණාවට ප්‍රිය වන නිසා ස්වකීය උදහස සෑම කල්හිම තබා නොගන්නේය.’—මීකා 7:18.
16 යෙහෝවා “අයුතුකම් නොසලකා හරින” කෙනෙක් ලෙස විස්තර කිරීමේදී, යම් විදිහක අවසිහියකින් පෙළෙන්නාක් මෙන් ඔහුට වැරදි සිහි කරන්න බැහැයි කියා බයිබලය පවසනවා නොවේ. බරපතළ පාප සිදු කළ සම්සොන් සහ දාවිත්ගේ ආදර්ශයන් සලකා බලන්න. බොහෝ කාලයකට පසුව වුණත් එම පාප දෙවිට අමතක වී තිබුණේ නැහැ; යෙහෝවා බයිබලයෙහි ඒවා වාර්තා කර ඇති නිසා, ඔවුන්ගේ පාප සමහරක් ගැන අපත් දන්නවා. කොහොම වුණත්, සමාව දීමට කැමති අපගේ දෙවි මොවුන් දෙදෙනාටම සමාව දී, අනුකරණය කිරීම සඳහා ඔවුන්ව අප ඉදිරියෙහි ඇදහිල්ලේ ආදර්ශ හැටියට තබා තිබෙනවා.—හෙබ්‍රෙව් 11:32; 12:1.
17. (අ) අන්‍යයන්ගේ අයුතුකම් හෝ අමනාප වීමක් නොසලකා හැරීමට අපට උපකාරවත් විය හැක්කේ කුමන එළඹීමද? (ආ) එසේ කිරීමට අප වෑයම් කරනවා නම්, අප යෙහෝවාව අනුකරණය කරන්න යන්නේ කෙසේද? (පාදසටහන බලන්න.)
17 ඔව්, දාවිත් පුන පුනා ඉල්ලා සිටියාක් මෙන්, ඔහුගේ අයුතුකම් නොසලකා හැරීමටa යෙහෝවාට පුළුවන් වුණා. (2 සාමුවෙල් 12:13; 24:10; NW) මේ සම්බන්ධයෙන් අපට දෙවිව අනුකරණය කළ හැකිද? අසම්පූර්ණ මනුෂ්‍යයන් වශයෙන් අපගේම සහෝදරයන් අතින් සිදු වන මදිපුංචිකම් සහ අමනාපයන් නොසලකා හරින්න අපට පුළුවන්ද? ඔබ ගුවන් ධාවන පථයක වේගයෙන් ඇදී යන ජෙට් යානයක සිටිනවායයි සිතන්න. කවුළුවකින් පිටත බලද්දී, ධාවන පථය අසල සිටින ඔබ අඳුරන කෙනෙක් ඔබ දෙස බලා සරදමට වගේ දිව දික් කරනවා ඔබේ නෙත ගැටෙයි. ඇය කැළඹී ඇති බව ඔබට වැටහෙන අතර, සමහරවිට ඔබට විරුද්ධව ඇගේ කෝපය පිට කරනවා ඇති. එහෙම නැත්නම් ඇය ඔබ ගැන කල්පනා නොකරනවා විය හැකියි. කොහොම වුණත්, අහස් යානය ඉහළට ඇදී යද්දී, ඔබ දැන් එම ස්ත්රියව දකින්නේ කුඩා කුහුඹුවෙකු හා සමානවයි. පැයකින් ඔබ සැතපුම් සියගණනක් දුරින් සිටින අතර, ඇය කළ දේ ඔබෙන් බොහෝ සෙයින් දුරස්ව ඇත. ඒ හා සමානව, යෙහෝවා මෙන් අප අමනාපයට හේතුව ප්‍රඥාවන්තව නොසලකා හැරීමට උත්සාහ කරනවා නම්, සමාව දීම සඳහා එය අපට මහෝපකාරි වෙන්න යනවා. (හිතෝපදේශ 19:11) කළ මදිපුංචිකම අවුරුදු දහයකින් පසු, එහෙම නැත්නම් දහස් අවුරුදු පාලනයේ අවුරුදු දෙසීයකින් පමණ පසු, නොදැනෙන තරම් කුඩා දෙයක් බවට පත් වන්නේ නැද්ද? ඇයි එය නොසලකා හරින්නේ නැත්තේ?
18. යම් අමනාප වීමක් නොසලකා හරින්න අපට බැරි බව දැනෙනවා නම්, අපට අදාළ කරගත හැක්කේ කුමන උපදෙසද?
18 කොහොම වුණත්, ඉඳහිට ප්රශ්නය ගැන යාච්ඤා කර සමාව දීමට ඔබ උත්සාහ කර තිබුණත්, එසේ කරන්න ඔබට බැරි බව ඔබට හැඟෙනවා ඇති. එවිට කුමක් කළ හැකිද? අනික් පාර්ශ්වය ළඟට ගොස්, සමාදාන වීමේ අදහසින් එකඟ නොවීම පෞද්ගලිකව විසඳාගැනීමට උත්සාහ කරන්න කියා යේසුස් උනන්දු කළා. “නුඹේ පඬුර පූජාසනය ළඟ පුදන කල්හි, නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි යම් විරුද්ධයක් ඇති බව එහිදී නුඹට සිහිවී නම්, නුඹේ පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට නුඹේ සහෝදරයා හා සමගිවී, පසුව ඇවිත් නුඹේ පඬුර පුදන්න.”—මතෙව් 5:23, 24.
19. අපගේ සහෝදරයා සමඟ සමාදානය සොයද්දී අපට කවර ආකල්පයක් තිබිය යුතුද? කවර ආකල්පයෙන් වැළකී සිටිය යුතුද?
19 ඔබේ සහෝදරයා වෙත යා යුත්තේ, ඔබ හරියි කියා හෝ වරද කළේ ඔහු කියා හෝ ඒත්තුගැන්වීමේ අරමුණින් කියා යේසුස් පැවසුවේ නැති බව සිහියට ගන්න. සමහරවිට වරද කළේ ඔහු වෙන්න පුළුවන්. හැබැයි දෙපැත්තෙන්ම යම් වරදක් සිදුවීමට තිබෙන ඉඩ කඩ වැඩියි. සිදු වී ඇත්තේ කුමක් වුණත්, අනික් පාර්ශ්වය කොහොම හරි වරද පිළිගත යුතුමයි එහෙම නැත්නම් දෙකට තුනට නැමීගෙන හරි සමාව ඉල්ලිය යුතුය යන්න ඔබේ අභිප්‍රාය නොවිය යුතුයි. ඔබ මෙම සාකච්ඡාවට අවතීර්ණ වන්නේ එවැනි දෘෂ්ටියකින් නම්, ඔබ අසමත් වනවා නිසැකයි. සැබෑ නැතහොත් සිතින් මවාගත් වරදෙහි සෑම තොරතුරක්ම ආපසු මතක් කිරීමත් ඔබේ පරමාර්ථයට ඇතුළත් නොවිය යුතුයි. ගැටලුවට මුල් වී ඇත්තේ කනගාටුදායක වරදවා වටහාගැනීමක් බව ක්‍රිස්තියානි ප්‍රේමයෙන් කරන සන්සුන් සාකච්ඡාවකින් හෙළි වන විට, ගැටලුව නිරාකරණය කිරීමට ඔබ දෙදෙනාටම උත්සාහ කළ හැකියි. එනමුත් සාකච්ඡාවෙන් සම්පූර්ණ එකඟතාවකට එළඹෙන්න බැරි වුණොත්? සම්පූර්ණ එකඟතාවක් හැමවිටම අවශ්‍යද? අපගේ සමාව දීමට කැමති දෙවිට දෙදෙනාම සේවය කරන්න අවංකව උත්සාහ කරනවා යන කාරණයවත් අඩුම තරමින් ඔබ දෙදෙනා පිළිගත්තොත් හොඳ නැද්ද? එම යථාර්ථයට අවංකව මුහුණ දෙනවා නම්, එකිනෙකාට හද පත්ලෙන්ම මෙසේ කීමට දෙදෙනාටම පහසු වෙයි: “අපේ අසම්පූර්ණකම නිසා මේ වගේ එකඟ නොවීමක් සිදු වුණු එක ගැන මට සමාවෙන්න. අපි උත්සාහ කරමුද මේක අමතක කරලා ඉදිරියට යන්න.”
20. ප්‍රේරිතයන්ගේ ආදර්ශයෙන් අපට කුමක් උගත හැකිද?
20 ප්‍රේරිතයන්ගෙන් සමහරෙක් වැඩි ගෞරවයක් ලබාගන්න උත්සාහ කළ විට ඔවුන් අතරත් යම් එකඟ නොවීම් සිදු වූ බව මතක තබාගන්න. (මාර්ක් 10:35-39; ලූක් 9:46; 22:24-26) ඒ නිසා සමහරවිට යම් ඝට්ටනයක්, සිත් රිදවීමක් නැතහොත් ගැඹුරු අමනාපයක් පවා හටගන්න ඇති. එනමුත් එවැනි ගැටුම් නොසලකා හැර, සමඟියෙන් එකට වැඩ කරන්න ඔවුන්ට පුළුවන් වුණා. ඔවුන්ගෙන් කෙනෙක් පසුව මෙසේ ලිව්වා: “ජීවිතයට ඇලුම්වෙන්ටත් යහපත් දවස් දකින්ටත් කැමති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද තමාගේ තොල් වංචා කථාකිරීමෙන්ද වලක්වාගනීවා. නපුරෙන් ඉවත්ව යහපත කරාවා; සමාදානය සොයා, එය පස්සේ දුවාවා.”—1 පේතෘස් 3:10, 11.
21. යේසුස් සමාව දීම සම්බන්ධයෙන් කුමන බැරෑරුම් උපදෙස් සපයා දුන්නාද?
21 අප කලින් සැලකිල්ලට ගත්තේ චක්රයක එක අදියරක්: එනම්, අප අතින් අතීතයේ සිදු වූ පව් රාශියට දෙවි සමාව දුන් නිසා, අප ඔහුව අනුකරණය කරමින් අපගේ සහෝදරයන්ට සමාව දිය යුතුය යන්නයි. (ගීතාවලිය 103:12; යෙසායා 43:25) එනමුත් මෙම චක්‍රයෙහි තවත් අදියරක් තිබෙනවා. ආදර්ශ යාච්ඤාව දුන්නායින් පසු යේසුස් මෙසේ පැවසුවා: “නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමාකරන්නහු නම්, නුඹලාගේ ස්වර්ගීයවූ [පියා] නුඹලාටත් [කමා කරන්නේය].” වසරකට පමණ පසු, මෙහි සාරය නැවත සඳහන් කරමින් ඔහු තම ගෝලයන්ට මෙසේ යාච්ඤා කරන්න ඉගැන්නුවා: “අපේ පව් අපට කමාකළ මැනව; මක්නිසාද අපට ණයව සිටින සියල්ලන්ට අපිත් කමාවෙමු.” (මතෙව් 6:12, 14; ලූක් 11:4) ඊළඟට, තම මරණයට දවස් කිහිපයකට කලින් යේසුස් මෙසේ පැවසුවා: “නුඹලා යාච්ඤාකරමින් සිටින කල ස්වර්ගයෙහි සිටින නුඹලාගේ [පියා] නුඹලාගේ වරද නුඹලාට කමාවන පිණිස යමෙකුට විරුද්ධව යමක් නුඹලාට ඇත්නම් නුඹලාත් කමාවෙන්න.”—මාර්ක් 11:25.
22, 23. සමාව දීමට අප දක්වන කැමැත්ත අපගේ අනාගතයට බලපෑ හැක්කේ කෙසේද?
22 ඔව්, අපට දිගටම දෙවිගේ සමාව ලැබීම බොහෝදුරට රඳා පවතින්නේ අපගේ සහෝදරයන්ට සමාව දෙන්න අප දක්වන කැමැත්ත මතයි. ක්‍රිස්තියානීන් අතර පෞද්ගලික ගැටලුවක් ඉස්මතු වන විට ඔබෙන්ම මෙසේ අසන්න: ‘යම් සුළු මදිපුංචිකමක්, පොඩි වරදක් හෝ අසම්පූර්ණත්වය හේතුවෙන් සිදු වූ යමක් සම්බන්ධයෙන් සහෝදරයෙක් හෝ සහෝදරියක් වැරදියි කියා ඔප්පු කරනවාට වඩා දෙවිගෙන් සමාව ලැබීම වැදගත් වන්නේ නැද්ද?’ එයට පිළිතුර ඔබ දන්නවාට සැකයක් නැහැ.
23 කෙසේවෙතත්, යම් කුඩා පෞද්ගලික අමනාප වීමක් හෝ ගැටලුවකට වඩා බැරෑරුම් දෙයක් සිදු වී ඇත්නම් කුමක් කිව හැකිද? තවද මතෙව් 18:15-18හි සඳහන් යේසුස්ගේ උපදෙස් අදාළ වන්නේ මොන අවස්ථාවලදීද? අපි ඊළඟට මේ කාරණා සලකා බලමු.
[පාදසටහන]
a මීකා 7:18හි යොදා ඇති හෙබ්‍රෙව් රූපාලංකාරය “තම අවධානය දීමට අකමැති දෙයක් ගණන් නොගෙන ඉදිරියට යන සංචාරකයෙකු හා සම්බන්ධ” බව එක් විශාරදයෙක් පවසයි. “මින් ගෙනහැර දක්වන අදහස, පාපය දෙවිගේ සැලකිල්ලට ලක් වන්නේ නැහැ යන කාරණය නොවෙයි. එහෙම නැත්නම් එය අල්ප වැදගත්කමකින් හෝ කිසිම වැදගත්කමක් නොමැති යමක් සේ සලකනවා යන්නත් නොවෙයි. ඒ වෙනුවට විශේෂිත අවස්ථාවන්හි දඬුවම් දීමේ අටියෙන් ඒවා සටහන් කර නොතැබීම, එනම් දඬුවම් නොකර ඔහු සමාව දෙනවා යන අදහසයි එහි ගැබ්ව පවතින්නේ.”—විනිශ්චයකාරයන් 3:26; 1 සාමුවෙල් 16:8.
ඔබට මතකද?
◻ සමාව දීම සම්බන්ධයෙන් යෙහෝවා අපට ආදර්ශයක් තබන්නේ කෙසේද?
◻ සභාවේ සිටින අය සම්බන්ධයෙන් අප කුමක් මතක තබාගත යුතුද?
◻ බොහෝ අවස්ථාවලදී, මදිපුංචිකම් හෝ අමනාප වීම් සම්බන්ධයෙන් අපට කුමක් කරන්න පුළුවන් විය යුතුද?
◻ අවශ්‍ය නම්, අපගේ සහෝදරයා සමඟ සමාදාන වීමට අපට කුමක් කළ හැකිද?
[15වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තියානියෙක් සමඟ එකඟ නොවීමක් සිදු වන විට, එය නොසලකා හරින්න උත්සාහ කරන්න; කල් යත්ම එම ප්රශ්නය කෙමෙන් කෙමෙන් නොපෙනී යයි