35වෙනි පරිච්ඡේදය
සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනය
කන්ද උඩ දේශනය
මුළු රාත්‍රියක් පුරාම යාච්ඤා කරලා නියෝජිතයන් 12දෙනෙක්ව තෝරාගත්තාට පස්සේ යේසුස්ට යම් වෙහෙසක් දැනෙනවා ඇති. ඒත් මිනිසුන්ට උදව් කරන්න ඔහුට තියෙන උවමනාව නම් පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. ඒ නිසා ඔහු ගලීලයේ කඳුකර ප්‍රදේශයකට යනවා. සමහරවිට ඒක කපර්ණවුමට කිට්ටු තැනක් වෙන්න ඇති.
විශාල සෙනඟක් දුර ඈත ඉඳන් යේසුස්ව හොයාගෙන ඇවිත්. යුදයේ විවිධ පළාත්වලින්, යෙරුසලමෙන්, තීර් සහ සීදොන් කියන මුහුදුබඩ පළාත්වලින් ඔවුන් ඇවිත් ඉන්නේ යේසුස්ට ‘සවන් දෙන්න’ සහ ‘ලෙඩ සුව කරගන්න.’ යේසුස්ව ස්පර්ශ කරද්දී ඔවුන් ‘සියල්ලන්ටම සුවය ලැබෙනවා.’ සාතන්ගේ පැත්තේ ඉන්න භූතයන්ගේ හිරිහැරවලට ලක් වූ අයවත් යේසුස් භූතයන්ගේ ග්රහණයෙන් නිදහස් කරනවා.—ලූක් 6:17-19.
යේසුස් කන්දෙන් ටිකක් පහළට බැහැලා සමතලා තැනකට ආවාම සෙනඟ ඔහු වටේ රොක් වෙනවා. ඔහුගේ ගෝලයන් විශේෂයෙන්ම ඔහුගේ නියෝජිතයන් 12දෙනා ඔහුට කිට්ටුවෙන්ම ඉන්න ඇති. බලවත් ක්‍රියා කරන මේ දක්ෂ ගුරුවරයාට සවන් දෙන්න හැමෝම බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්. යේසුස් ඉදිරිපත් කරන්නේ වටිනා තොරතුරු ඇතුළත් දේශනයක්. එදා මෙදා තුර ඒ දේශනයෙන් බොහෝදෙනෙක් ප්‍රයෝජන ලබා තියෙනවා. ඒ දේශනයෙන් යේසුස් වැදගත් සත්‍යයන් සරලව, පැහැදිලිව උගන්වපු නිසා ඒක අපිටත් ප්‍රයෝජනවත්. ඔහු උදාහරණ හැටියට පාවිච්චි කළේ සරල, එදිනෙදා ජීවිතේ මිනිසුන් අහන දකින දේවල්. ඒ නිසා දෙවියන් කැමති විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන හැමෝටම ඒ තොරතුරු හොඳින් තේරුම්ගන්න පුළුවන්. යේසුස් ඒ දේශනයෙන් උගන්වපු වටිනා දේවල් මොනවාද?
සැබෑ සන්තෝෂය අද්දකින්නේ කවුද?
හැමෝම කැමති සතුටින් ඉන්න. ඒ නිසා තමයි යේසුස් සැබෑ සතුට ලබාගන්න පුළුවන් විදිහ ගැන ඔහුගේ දේශනයේ මුලින්ම සඳහන් කරන්නේ. සෙනඟ මොන තරම් උනන්දුවකින් ඊට සවන් දෙන්න ඇද්ද! ඒත් යේසුස් කියන සමහර දේවල් ගැන ඒ අය පුදුම වෙන්න ඇති.
යේසුස් මෙහෙම කියනවා. ‘නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්. මන්ද ස්වර්ග රාජ්‍යය හිමි වන්නේ ඔවුන්ටයි. වැලපෙමින් සිටින අය සන්තෝෂවත්. මන්ද ඔවුන්ව සනසනු ලබයි. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මහත් ඇල්මක් දක්වන අය සන්තෝෂවත්. මන්ද ඔවුන් තෘප්තියට පත් වෙයි. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීම නිසා පීඩා විඳින අය සන්තෝෂවත්. මන්ද ස්වර්ග රාජ්‍යය හිමි වන්නේ ඔවුන්ටයි. මා නිසා මිනිසුන් ඔබට නින්දා පීඩා කළත් ඔබ සන්තෝෂවත් බව මතක තබාගන්න. ඒ නිසා ප්‍රීති වන්න, ප්‍රීතියෙන් ඉපිල යන්න.’—මතෙව් 5:3-12.
යේසුස් කතා කරන්නේ විනෝද වෙද්දී දැනෙන ‘සන්තෝෂය’ ගැන නෙවෙයි. මොකද සැබෑ සන්තෝෂය ඊට වඩා වෙනස්. ඒක අද්දකින කෙනෙක් ගෙවන්නේ තෘප්තිමත් ජීවිතයක්. ඔහුට ජීවිතයේ හිස් බවක් දැනෙන්නේ නැහැ.
සන්තෝෂවත් අය විදිහට යේසුස් හඳුන්වන්නේ නිතරම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න ආශාවකින් ඉන්න, තමන්ට උරුම වෙලා තියෙන පව්කාර තත්වය ගැන වැලපෙන සහ දෙවිව දැන හඳුනා ගෙන ඔහුට සේවය කරන අයවයි. දෙවිගේ කැමැත්ත කරන නිසා මිනිසුන් ඒ අයට වෛර කළත් පීඩා කළත් ඔවුන් ඉන්නේ සතුටින්. මොකද ඔවුන් ජීවත් වෙන විදිහ ගැන දෙවියන් සතුටු වෙනවා කියලත් සදහටම ජීවත් වෙන්න දෙවියන් ඔවුන්ට අවස්ථාව දෙනවා කියලත් ඔවුන් දන්නවා.
සැබෑ සන්තෝෂය ලැබෙන්නේ ධන සම්පත් හුඟක් රැස් කරගෙන විනෝදබර ජීවිතයක් ගෙවීමෙන් කියලයි හුඟක් අය හිතන්නේ. ඒත් ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් ගැන උගන්වන යේසුස් මෙහෙම කියනවා. “ධනවත් වූ ඔබට අද්දකින්න සිදු වන විපත මොන තරම්ද! මන්ද ඔබ දැන් භුක්ති විඳින සැප සම්පත්වලට වඩා තව කිසිවක් ඔබට ලැබෙන්නේ නැහැ. දැන් තෘප්තිමත් වී සිටින ඔබට අද්දකින්න සිදු වන විපත මොන තරම්ද! මන්ද ඔබට කුසගින්නෙන් සිටින්න සිදු වෙයි. දැන් සිනාසෙමින් සිටින ඔබට අද්දකින්න සිදු වන විපත මොන තරම්ද! මන්ද ඔබට හඬා වැලපෙන්න සිදු වෙයි. සියලුදෙනා ඔබේ ගුණ වර්ණනා කළත් ඔබට අද්දකින්න සිදු වන විපත මොන තරම්ද! මන්ද ඒ සියලුදෙනාගේ මුතුන්මිත්තනුත් බොරු අනාගතවක්තෘවරුන්ව ඒ හා සමානව වර්ණනා කළා.”—ලූක් 6:24-26.
ධනවත් අයට, සිනාසෙමින් ඉන්න අයට සහ ගුණ වර්ණනා ලබන අයට විපත් අද්දකින්න සිද්ධ වෙන්නේ ඇයි? ඒකට හේතුව කෙනෙක්ට ඒ දේවල් තියෙද්දී සැබෑ සන්තෝෂය ලබා දෙන මූලිකම දේ ඒ කියන්නේ දෙවිට කරන සේවය ලෙහෙසියෙන්ම අතපසු වෙන්න ඉඩ තියෙන නිසයි. ඒත් දුප්පත් අයටත් බඩගින්නේ ඉන්න අයටත් ඉබේම සන්තෝෂය ලැබෙනවා කියලා යේසුස් කිව්වේ නැහැ. හැබැයි හුඟක් වෙලාවට අසරණ තත්වයේ ඉන්න අය තමයි යේසුස්ගේ ඉගැන්වීම්වලට සවන් දීලා සැබෑ සන්තෝෂය අද්දකින්නේ.
දැන් යේසුස් ගෝලයන්ට මෙහෙම කියනවා. “ඔබ පොළොවෙහි ලුණු හා සමානයි.” (මතෙව් 5:13) සාමාන්‍යයෙන් ආහාර නරක් නොවී තියාගන්න ලුණු පාවිච්චි කරනවා. දේවමාලිගාවේ පූජාසනය අසලත් ඇති තරම් ලුණු ගබඩා කරලා තිබුණා. ඒ වගේම හැම පූජාවකටම ලුණු එකතු කළා. (ලෙවී කතාව 2:13; එසකියෙල් 43:23, 24) දූෂ්‍ය නොවීම සහ දිරාපත් නොවීම වගේ දේවල් ලුණුවලින් නියෝජනය වෙනවා. යේසුස් ගෝලයන්ව ‘පොළොවෙහි ලුණුවලට’ සමාන කළේ ඒ අය මිනිසුන්ට දූෂ්‍ය නොවී ඉන්න උදව් කරන නිසයි. ඒ කියන්නේ දෙවියන් එක්ක තියෙන බැඳීම නැති කරගන්නේ නැතුව සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න ඔවුන් මිනිසුන්ට උදව් කරන නිසයි. ඔව්, ගෝලයන් දැනුම් දෙන පණිවිඩය පිළිගන්න හැමෝටම ඒ අයගේ ජීවිත ආරක්ෂා කරගන්න පුළුවන්.
“ලෝකයේ ආලෝකය ඔබයි” කියලත් යේසුස් ගෝලයන්ට කියනවා. සාමාන්‍යයෙන් කෙනෙක් පහනක් දල්වලා ඒක බඳුනකින් වහන්නේ නැහැ. ආලෝකය විහිදුවන්න ඒක පහන් රුකක් මත තියනවා. ඒ නිසා තමයි යේසුස් ගෝලයන්ට මෙහෙම කියන්නේ. “ඔබත් ඔබේ ආලෝකය මිනිසුන් ඉදිරියෙහි විහිදුවන්න. එවිට ඔවුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ට ප්‍රශංසා කරයි.”—මතෙව් 5:14-16.
අනුගාමිකයන්ට උසස් ප්‍රමිතියක්
යුදෙව් ආගමික නායකයන් හිතන්නේ යේසුස් දෙවිගේ නීතිය කඩ කරනවා කියලයි. ඒ නිසා තමයි ඔවුන් යේසුස්ව මරා දමන්නත් කුමන්ත්‍රණය කළේ. ඒ බව හොඳින්ම දන්න යේසුස් දැන් ප්‍රසිද්ධියේම මෙහෙම කියනවා. “මා පැමිණියේ නීතිය හෝ අනාගතවාක්‍යය නැති කර දමන්න කියා නොසිතන්න. මා පැමිණියේ ඒවා සම්පූර්ණ කිරීමට මිස නැති කර දැමීමට නොවෙයි.”—මතෙව් 5:17.
වෙන කිසිම කෙනෙකුට වඩා යේසුස් දෙවිගේ නීතියට ගරු කරනවා. ඒ වගේම එහෙම කරන්න කියලා අනිත් අයටත් උනන්දු කරනවා. ඔහු කියන මේ දෙයින් ඒක පැහැදිලියි. “මේ අණපනත්වලින් ඉතා සුළු එකක් වුණත් කඩ කරන හෝ කඩ කිරීමට අනුන්ව පොලඹවන ඕනෑම කෙනෙකුව ස්වර්ග රාජ්‍යයට සුදුසු නැති ‘සුළු’ තැනැත්තෙකු ලෙස හඳුන්වනු ලැබෙයි. නමුත් යමෙක් ඒවා පිළිපැද ඒවා උගන්වනවා නම් ඔහුව ස්වර්ග රාජ්‍යයට සුදුසු ‘උතුම්’ තැනැත්තෙකු ලෙස හඳුන්වනු ලැබෙයි.”—මතෙව් 5:19.
දෙවිගේ නීති කඩ කරන්න හේතු වන සිතුවිලි පවා යේසුස් හෙළාදකිනවා. “මිනී නොමරන්න” කියා නීතියේ සඳහන් දේ මතක් කරන යේසුස් මෙහෙමත් කියන්නේ ඒ නිසයි. “තම සහෝදරයා සමඟ දිගින් දිගටම කෝපයෙන් සිටින සෑම කෙනෙකුම අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුයි.” (මතෙව් 5:21, 22) කෙනෙක් එක්ක දිගින් දිගටම කේන්තියෙන් ඉන්න එක බරපතළ වරදක්. සමහරවිට ඒ වගේ කෙනෙක් මිනී මරුවෙක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා තමයි සාමය ඇති කරගන්න කොයි තරම් වෑයමක් දරන්න ඕනෙද කියන එක කාවද්දන්න යේසුස් මෙහෙම කියන්නේ. “ඔබ යමක් පරිත්‍යාග කිරීමට පූජාසනය ළඟට යන විට ඔබේ සහෝදරයාට ඔබ සමඟ යම් ගැටලුවක් තිබෙන බව එහිදී ඔබට මතක් වෙයි නම්, පරිත්‍යාග කිරීමට රැගෙන ආ දේ පූජාසනය ඉදිරිපිට තබන්න. මුලින්ම ගොස් ඔබේ සහෝදරයා සමඟ සමාදාන වන්න. ඉන්පසුව ඇවිත් ඒ දේ පරිත්‍යාග කරන්න.”—මතෙව් 5:23, 24.
අනාචාරය සම්බන්ධයෙන් නීතියේ සඳහන් ආඥාව ගැන යේසුස් මෙහෙම කියනවා. “‘අනාචාරයේ නොහැසිරෙන්න’ කියා පවසා තිබෙන බව ඔබ අසා ඇති. නමුත් මා ඔබට කියන්නේ, කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ අනාචාරයේ හැසිරී ඇති බවයි.” (මතෙව් 5:27, 28) යේසුස් කතා කරන්නේ කෙනෙක්ට ක්ෂණිකවම ඇති වෙන්න පුළුවන් නරක සිතුවිල්ලක් ගැන නෙවෙයි. ඒ වෙනුවට ඔහු පෙන්වා දෙන්නේ කෙනෙක් දිහා “දිගින් දිගටම බලමින්” ඉන්න එකේ තියෙන අනතුර ගැනයි. එහෙම කරන කෙනෙක් තුළ කාමාශාවක් ඇති වෙනවා. ප්‍රතිඵලයක් විදිහට අවස්ථාවක් ලැබුණු ගමන්ම ඒ කෙනා අනාචාරයේ හැසිරෙන්න පෙලඹෙයි. ඒ අනතුරට හසු නොවී ඉන්න නම් කරන්න ඕනෙ මොනවාද? සමහරවිට ලොකු කැප කිරීමක් කරන්න සිද්ධ වෙයි. යේසුස් ඒ ගැන කිව්වේ මෙහෙමයි. ‘ඔබේ දකුණු ඇස නිසා ඔබ වරදක් කිරීමට පෙලඹෙනවා නම් එය උගුලා අහකට විසි කරන්න. ඔබේ දකුණත නිසා ඔබ වරදක් කිරීමට පෙලඹෙනවා නම් එය කපා අහකට විසි කරන්න.’—මතෙව් 5:29, 30.
සමහර අය ජීවිතය බේරගන්න ඕන නිසා අතක් පයක් වුණත් කපා ඉවත් කරන්න කැමති වෙනවා. ඒ හා සමානව යේසුස් කියන්නෙත් නරක සිතුවිලි සහ ඒ නිසා ඇති වන හානිකර ප්‍රතිඵලවලින් වැළකෙන්න නම් ඇසක් නැත්නම් අතක් තරම් වටින ඕනම දෙයක් වුණත් “අහකට විසි කරන්න” කියලයි. ඔහු තවදුරටත් කියන්නේ “ඔබේ මුළු ශරීරය ගෙහෙන්නාවෙහි [කුණු කසළ පුලුස්සන්න යෙරුසලමෙන් පිටත තිබුණු ස්ථානයක්] හෙළනවාට වඩා ඔබේ ශරීරයේ එක අවයවයක් අහිමි වීම වඩාත් හොඳයි” කියලයි. ගෙහෙන්නාවෙන් සංකේතවත් කරන්නේ සදාකාල විනාශය.
නින්දා, පීඩා කරන අය එක්ක කටයුතු කරන්න ඕන විදිහ ගැනත් යේසුස් මෙහෙම කියනවා. ‘දුෂ්ට අයට විරුද්ධව කිසිම දෙයක් නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත් ඔහුට අනික් කම්මුලත් හරවන්න.’ (මතෙව් 5:39) කෙනෙක් පහර දෙද්දී තමන්ව නැත්නම් පවුලේ අයව ආරක්ෂා කරගන්න පියවර ගන්න එක වැරදියි කියලා යේසුස් ඒකෙන් අදහස් කළේ නැහැ. සාමාන්‍යයෙන් කෙනෙක් තව කෙනෙකුගේ කම්මුලට ගහන්නේ ඒ කෙනාව මරලා දාන්න නෙවෙයි, නින්දා කරන්න. ඒ නිසා යේසුස් කියන්නේ කෙනෙක් ඇත්තටම කම්මුල් පහරක් දීලා හරි නින්දා කරලා හරි රණ්ඩුවක් නැත්නම් වාදයක් පටන්ගන්න උත්සාහ කරද්දී එකට එක කරන්න එපා කියලයි.
ඒ උපදෙස අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා දෙවියන් දීපු නීතියට එකඟයි. ඒ නිසා තමයි යේසුස් මෙහෙම කියන්නේ. ‘ඔබේ සතුරන්ටත් නොකඩවා ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න.’ එහෙම කරන්න ඕනෙ ඇයි කියලා යේසුස් මෙහෙම පැහැදිලි කරනවා. “ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයන් බව ඔප්පු කිරීම සඳහා එසේ කරන්න. මන්ද ඔහු දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවයි.”—මතෙව් 5:44, 45.
ඔහු කතා කරපු ඒ තොරතුරුවල සාරාංශයක් විදිහට යේසුස් මෙහෙම කියනවා. “ඔබේ පියාණන් පරිපූර්ණව සිටින්නා සේම ඔබද පරිපූර්ණව සිටිය යුතුයි.” (මතෙව් 5:48) පව්කාරකම උරුම වෙලා තියෙන මිනිසුන්ගෙන් යේසුස් පරිපූර්ණත්වය බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි දෙවිව අනුකරණය කරනවා නම් අපිට සතුරුකම් කරන අයටත් ප්‍රේම කරන්න පුළුවන් වෙනවා. යේසුස් ඉහත පවසපු දේ ලූක් වාර්තා කරලා තියෙන්නේ මෙහෙමයි. “ඔබේ පියාණන් මෙන් ඔබත් දිගටම දයාව දක්වන්න.”—ලූක් 6:36.
යාච්ඤාව සහ දෙවියන් ගැන විශ්වාසය
යේසුස් දැන් මෙහෙම කියනවා. “ඔබ යම් ධර්මිෂ්ඨ ක්‍රියාවක් කරනවා නම් එය කළ යුත්තේ මිනිසුන්ට පෙන්වීමේ අදහසින් නොවෙයි.” අනිත් අයට පෙනෙන්න යහපත් දේවල් කරන එක කුහකකමක් නිසා ඔහු එය හෙළාදකිනවා. ඒ නිසා තමයි “ඔබ දිලිඳුන්ට යම් යහපතක් කරන විට ඔබට ඉදිරියෙන් හොරණෑවක් පිඹිමින් එය ප්‍රසිද්ධ නොකරන්න” කියා ඔහු පවසන්නේ. (මතෙව් 6:1, 2) එහෙමනම් වඩාත්ම සුදුසු වෙන්නේ දිලිඳු අයට උපකාර කරද්දී අනිත් අයට නොපෙනෙන විදිහට ඒක කරන එකයි.
ඊළඟට යේසුස් මෙහෙම කියනවා. ‘ඔබ යාච්ඤා කරද්දී, කුහකයන් මෙන් කටයුතු කරන්න එපා. මන්ද ඔවුන් කැමති වන්නේ සිනගෝගවලදීත් ප්‍රධාන මංසන්ධිවලදීත් සිටගෙන යාච්ඤා කිරීමටයි. ඔවුන්ගේ අරමුණ වන්නේ මිනිසුන්ට පෙනෙන්න ඒ දේවල් කිරීමයි. ඔබ යාච්ඤා කරන විට ඔබේම කාමරයට ගොස් දොර වසාගෙන ස්වර්ගයේ සිට බලා සිටින ඔබේ පියාණන්ට යාච්ඤා කරන්න.’ (මතෙව් 6:5, 6) ප්‍රසිද්ධියේ කරන හැම යාච්ඤාවක්ම යේසුස් හෙළාදකින්නේ නැහැ. ඔහුත් සමහර අවස්ථාවලදී ප්‍රසිද්ධියේ යාච්ඤා කළා. හැබැයි මිනිසුන්ගේ අවධානයත් ප්‍රශංසාවත් තමන්ට ලැබෙන විදිහට යාච්ඤා කරන එක ඔහු හෙළාදකිනවා.
“ඔබ යාච්ඤා කරන විට වෙනත් ජාතීන් කරන ආකාරයට එකම දේ නැවත නැවතත් නොකියන්න” කියාත් ඔහු පවසනවා. (මතෙව් 6:7) එකම කාරණයක් ගැන නැවත නැවත යාච්ඤා කරන එක වැරදියි කියලා යේසුස් ඒකෙන් අදහස් කළේ නැහැ. ඒ වෙනුවට කටපාඩම් කරලා එකම වචන “නැවත නැවතත්” කියන එක තමයි ඔහු හෙළාදකින්නේ. යාච්ඤා කරන්න ඕන විදිහ තේරුම් කරන්න ඔහු ආදර්ශ යාච්ඤාවක් කියලා දෙනවා. ඒ යාච්ඤාවට ඉල්ලීම් හතක් ඇතුළත්. මුල්ම ඉල්ලීම් තුනට ඇතුළත් වෙන්නේ පාලනය කරන්න දෙවිට තියෙන අයිතිය සහ දෙවිගේ අරමුණුවලට සම්බන්ධ කාරණා. ඒ තමයි දෙවිගේ නාමය ශුද්ධ වීම, දෙවිගේ රාජ්‍යය පැමිණීම සහ දෙවිගේ කැමැත්ත ඉටු වීම. අපි යාච්ඤා කරද්දී මුලින්ම ඒ දේවල් ගැන කියලා ඊටපස්සේ තමයි අපේ පෞද්ගලික දේවල් ගැන කියන්න ඕනේ. ඒ දේවල්වලට එදිනෙදා කෑම ඉල්ලන එක, වැරදිවලට සමාව ඉල්ලන එක, වැරදි පෙලඹීම්වලට හසු නොවී ඉන්න උදව් ඉල්ලන එක සහ දුෂ්ටයාගෙන් අපිව ගලවාගන්න කියලා ඉල්ලන එක ඇතුළත්.
අපි ධන සම්පත් ගැන හිතන්න ඕනෙ කොහොමද? ඒ ගැන යේසුස් කියන්නේ මෙහෙමයි. “තවදුරටත් මෙලොවෙහි වස්තු රැස් කර නොගන්න. මන්ද කාවෝ සහ මලකඩ නිසා ඒවා නාස්ති වී යයි. සොරුන් ඇවිත් ඒවා සොරාගනියි.” ධන සම්පත් කවදා හරි දවසක නැති වෙනවා. දෙවිත් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න ඒවා උදව් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි “ස්වර්ගයෙහි වස්තු රැස් කරගන්න” කියලා යේසුස් කියන්නේ. දෙවිට කරන සේවයට අපි මුල් තැන දෙනවා නම් අපිට ඒ දේ කරන්න පුළුවන්. අපිට දෙවිත් එක්ක තියෙන බැඳීමවත් සදාකාල ජීවනයවත් අපෙන් උදුරගන්න කාටවත්ම බැහැ. “ඔබේ වස්තුව කොතැනද ඔබේ සිතත් ඇත්තේ එතැනමයි” කියලා යේසුස් කියන දේ කොයි තරම් ඇත්තද!—මතෙව් 6:19-21.
ඒ කාරණය තවත් කාවද්දන්න යේසුස් මෙහෙම කියනවා. “ඇස ශරීරයට පහනක් හා සමානයි. එමනිසා ඔබේ ඇස වෙනතකට යොමු නොකර එකම දෙයක් කෙරෙහි යොමු කර තැබුවොත් එයින් ඔබේ මුළු ජීවිතයම ආලෝකවත් වෙයි. නමුත් ඔබේ ඇස වෙනතකට ගොස් දුෂ්ට දේවලට යොමු වෙයි නම් ඔබේ මුළු ජීවිතයම අඳුරු වෙයි.” (මතෙව් 6:22, 23) අපේ ඇස හරි දේට යොමු කරලා තියාගත්තොත් අපේ ජීවිතය ආලෝකවත් වෙනවා. හැබැයි අපේ ඇස වෙනතකට යොමු වුණොත් දෙවිට සේවය කරනවාට වඩා ධන සම්පත් ලබාගන්න එක වැදගත් කියලා අපිට හිතෙන්න පුළුවන්. එතකොට ‘මුළු ජීවිතයම අඳුරු වෙනවා.’ සමහරවිට වංචනික දෙයක් වුණත් කරන්න පෙලඹෙයි.
යේසුස් දැන් මේ ප්‍රබල උදාහරණය කියනවා. “ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න කිසිවෙකුටවත් බැහැ. මන්ද ඔහු එක් කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරන්න පෙලඹෙයි. නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළාදකියි. එසේම දෙවිට සේවය කරන අතරම ඔබට මුදල් පසුපස හඹා යන්න බැහැ.”—මතෙව් 6:24.
යේසුස්ට සවන් දෙමින් ඉන්න අය එදිනෙදා අවශ්‍යතා ඉටු කරගන්න එක ගැන හිතන්න ඕනෙ කොහොමද කියලා කල්පනා කරන්න ඇති. දෙවිගේ සේවයට මුල් තැන දෙනවා නම් ඒ දේවල් ගැන කනස්සලු වෙන්න ඕනෙ නැහැ කියලා පැහැදිලි කරන්න යේසුස් මෙහෙම කියනවා. “අහසේ කුරුල්ලන් දෙස හොඳින් බලන්න. උන් බීජ වපුරන්නේවත් කපන්නේවත් ගබඩාවලට රැස් කරන්නේවත් නැහැ. නමුත් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් උන්ව පෝෂණය කරනවා.”—මතෙව් 6:26.
තණබිම්වල වැවෙන ලිලී මල් ගැනත් සඳහන් කරමින් යේසුස් මෙහෙම කියනවා. ‘මේ මල්වල තිබෙන අලංකාරය සලමොන් තම රාජකීය තේජසින් යුතුව පැළඳ සිටි ඇඳුම්වලවත් තිබුණේ නැහැ.’ දැන් ඔහු අහන්නේ “අද තිබී හෙට දවා දමන තණබිමේ පැළෑටි දෙවි එසේ සරසනවා නම් ඔහු කෙරෙහි යම් විශ්වාසයක් ඇති ඔබව පළඳවන්න ඔහු ඊටත් වඩා සතුටු වන්නේ නැද්ද” කියලයි. (මතෙව් 6:29, 30) ඊටපස්සේ යේසුස් මේ වැදගත් කාරණය ඔවුන්ට කියනවා. ‘“කන්නේ බොන්නේ මොනවාද” කියාවත් “අඳින්නේ මොනවාද” කියාවත් සිතමින් කිසිවිටක කනස්සලු නොවන්න. ඒ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නා බව මතක තබාගන්න. එහෙයින් නොකඩවා දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න. එවිට ඔබට අවශ්‍ය ඒ සියලු දේම ඔබට දෙනු ලැබෙයි.’—මතෙව් 6:31-33.
ජීවනය ලබාගන්න පුළුවන් විදිහ
යේසුස්ගේ නියෝජිතයන් සහ අවංක හදවත් තියෙන තවත් අය දෙවියන් කැමති විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනවා. නමුත් ඒක ඔවුන්ට ලෙහෙසි දෙයක් නම් නෙවෙයි. මොකද හුඟක් පරිසිවරුන් මිනිසුන්ව විවේචනය කරමින් විනිශ්චය කරන නිසා ඔවුන්ව අනුකරණය කරන්න අනිත් අයත් පෙලඹෙන්න පුළුවන්. ඒ ගැන අනතුරු අඟවන යේසුස් මෙහෙම කියනවා. “තවදුරටත් අනුන්ව විනිශ්චය නොකරන්න. එවිට ඔබවත් විනිශ්චය කරනු ලබන්නේ නැහැ. මන්ද ඔබ අනුන්ව යම් ආකාරයකින් විනිශ්චය කරනවාද එයාකාරයෙන්ම ඔබවත් විනිශ්චය කරනු ලබනවා.”—මතෙව් 7:1, 2.
මිනිසුන්ව විවේචනය කරන පරිසිවරුන්ව අනුගමනය කරන එක කොච්චර භයානකද කියලා පෙන්වන්න යේසුස් දැන් මේ නිදර්ශනය කියනවා. “අන්ධ මිනිසෙක් ගැන සිතන්න. ඔහුට මඟ පෙන්වන්න තවත් අන්ධ මිනිසෙකුට පුළුවන්ද? එහෙම කළොත් දෙදෙනාම ගොස් වළක වැටෙනවා නේද?” අනිත් අයව විවේචනය කරන එක කොයි තරම් බරපතළද කියලා යේසුස් පැහැදිලි කරන්නේ මෙහෙමයි. “ඔබේම ඇසෙහි පරාලයක් තිබියදී ඔබේ සහෝදරයාට ‘ඔබේ ඇසෙන් රොඩ්ඩ ඉවතට ගන්න මට ඉඩ දෙන්න’ කියා ඔබ කියන්නේ කොහොමද? එය මොන තරම් කුහකකමක්ද! මුලින්ම ඔබේ ඇසෙන් පරාලය ඉවතට ගන්න. එවිට ඔබේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ ඉවතට ගන්න පුළුවන් කොහොමද කියා ඔබට පැහැදිලිව පෙනෙයි.”—ලූක් 6:39-42.
යේසුස් අදහස් කළේ ගෝලයන් කිසිම දෙයක් ගැන විනිශ්චය කරන එක සුදුසු නැහැ කියලා නෙවෙයි. මොකද “දෙවිට අයිති දේවල් බල්ලන්ට නොදෙන්න. ඔබේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න” කියලත් ඔහු කියනවා. (මතෙව් 7:6) දෙවිගේ වචනයේ සඳහන් සත්‍යය අගනා මුතු වගෙයි. මිනිසුන් සතුන් වගේ හැසිරෙමින් ඒ සත්‍යයන් අගය කරන්නේ නැත්නම් ඒ වගේ අයට දෙවිගේ වචනයේ සඳහන් සත්‍ය තොරතුරු කියනවා වෙනුවට ඒ තොරතුරු අගය කරන අයත් එක්ක ඒ ගැන කතා කරන්න ගෝලයන්ට සිද්ධ වෙනවා.
යාච්ඤා කරන එක ගැන නැවතත් කතා කරන යේසුස් නොකඩවාම යාච්ඤා කරන එකේ වැදගත්කම කාවද්දමින් මෙහෙම කියනවා. “නොකඩවාම ඉල්ලන්න. එවිට ඔබට දෙනු ලැබෙයි.” දෙවියන් ඕනෑම වෙලාවක යාච්ඤාවලට පිළිතුරු දෙන්න සූදානමින් ඉන්නවා. යේසුස් ඒ ගැන කාවද්දන්නේ මෙහෙමයි. ‘ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් තමන්ගේ පුතා රොටියක් ඉල්ලුවොත් ඔහුට ගලක් දෙයිද? ඔබ දුෂ්ට වුණත් ඔබේ දරුවන්ට හොඳම දේ දෙන්නේ කෙසේද කියා ඔබ දන්නවා. එසේනම් ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන් තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊටත් වඩා කොපමණ වැඩියෙන් හොඳම දේ දෙයිද!’—මතෙව් 7:7-11.
යේසුස් ඊළඟට කියන්නේ අනිත් අයත් එක්ක කටයුතු කරද්දී අදාළ කරගන්න ඕන මේ වැදගත් ප්‍රතිපත්තිය ගැනයි. “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.” අනිත් අයත් එක්ක කටයුතු කරද්දී ඒක අදාළ කරගන්න එක කොයි තරම් වැදගත්ද! හැබැයි ඒක ලෙහෙසි නැහැ. යේසුස් කියන මේ දෙයින් ඒක පැහැදිලියි. “පටු දොරටුවෙන් ඇතුල් වන්න. මන්ද විනාශය කරා යන පාර පළල්. එහි බොහෝ ඉඩකඩද තිබෙනවා. එයින් ඇතුල් වන්නන්ද බොහෝයි. නමුත් ජීවනය කරා යන පාරේ අවහිරකම් තිබෙයි. එහි දොරටුවත් පටුයි. එය සොයාගන්නේ ස්වල්පදෙනෙක් පමණයි.”—මතෙව් 7:12-14.
ජීවනය කරා යන පාරෙන් ගෝලයන්ව ඉවතට ගන්න උත්සාහ කරන අය ගැන යේසුස් මෙහෙම අනතුරු අඟවනවා. “බොරු අනාගතවක්තෘවරුන් ගැන සෝදිසියෙන් සිටින්න. ඔවුන් බැටළු වෙස් ගෙන ඔබ වෙතට පැමිණියත් ඔවුන් ඇතුළතින් රෞද්‍ර වෘකයෝයි.” (මතෙව් 7:15) ඒ අයව හඳුනාගන්න පුළුවන් කොහොමද? සාමාන්‍යයෙන් හොඳ ගස් සහ නරක ගස් ඒවායේ පලවලින් හඳුනාගන්න පුළුවන්. ඒ හා සමානව බොරු අනාගතවක්තෘවරුන් කවුද කියලා ඒ අය උගන්වන දේවලින් සහ ඒ අය හැසිරෙන විදිහෙන් හඳුනාගන්න පුළුවන්. කෙනෙක් යේසුස්ගේ සැබෑ ගෝලයෙක්ද කියලා හඳුනාගන්න පුළුවන් වෙන්නේ ඔහු කරන දේවලින් මිසක් ඔහු කියන දේවලින් නෙවෙයි. සමහර අය තමන් යේසුස්ගේ අනුගාමිකයන් කියා පැවසුවත් ඔවුන් දෙවියන් කැමති විදිහට ජීවත් වෙන්නේ නැහැ. ඒ වගේ අය ගැන යේසුස් මෙහෙම කියනවා. “මම ඔවුන්ට පවසන්නේ මෙයයි. මම ඔබව කිසි කලක හඳුනාගෙන සිටියේ නැහැ! අධර්මිෂ්ඨ ක්‍රියා කරන්නෙනි, මා වෙතින් අහක්ව යන්න.”—මතෙව් 7:23.
යේසුස් තමන්ගේ දේශනය අවසන් කරමින් මෙහෙම කියනවා. “මගේ මේ වචන අසා ඒවා පිළිපදින සෑම කෙනෙක්ම පර්වතයක් මත තම ගෙය ගොඩනැඟූ නුවණැති මිනිසෙකුට සමානයි. වැසි වැස, ගංවතුර ගලා, තද සුළං හමා, ඒ ගෙට ගැසුවත් එය පර්වතයක් මත ගොඩනඟා තිබුණු නිසා එය බිඳ වැටුණේ නැහැ.” (මතෙව් 7:24, 25) ඒ ගෙය බිඳ වැටුණේ නැත්තේ ඒ පුද්ගලයා “ගල මතු වන තෙක්ම පොළොව ගැඹුරට හාරා ඒ ගල මත තම ගෙයි අත්තිවාරම දමා” තිබුණු නිසයි. (ලූක් 6:48) යේසුස් කියපු ඒ දෙයින් පැහැදිලි වෙන්නේ මොකක්ද? ඔහු උගන්වන දේවල් අහගෙන ඉන්න එක විතරක් මදි, ලොකු උත්සාහයක් දරලා ඒවා ‘පිළිපදින්නත්’ ඕනේ.
යේසුස් කියන දේවල් “අසා ඒවා පිළිපදින්නේ නැති” අය ගැන කියන්න පුළුවන් මොනවාද? යේසුස් ඒ අය ගැන මෙහෙම කියනවා. ඒ “සෑම කෙනෙක්ම වැලි මත තම ගෙය ගොඩනැඟූ නුවණ නැති මිනිසෙකුට සමානයි.” (මතෙව් 7:26) වැස්ස, ගංවතුර, තද සුළං වගේ හේතු නිසා ඒ වගේ ගෙයක් ලේසියෙන්ම කඩා වැටෙනවා.
යේසුස් උගන්වන විදිහ ගැන හැමෝම පුදුම වෙනවා. ඔහු දෙවියන් මත රඳා සිටිමින් උගන්වන නිසා ඔහු උගන්වන විදිහ යුදෙව් ආගමික නායකයන් උගන්වන විදිහට වඩා වෙනස්. ඒ අවස්ථාවේදී ඔහුට සවන් දීපු හුඟදෙනෙක් ඔහුගේ ගෝලයන් වෙන්න තීරණය කරන්න ඇති.