ලොව පුරා වෛරයට අවසානයක්
අවුරුදු දෙදහකට පමණ පෙර, එක්තරා සුළුතර කණ්ඩායමක් වෛරයට ලක් වෙමින් සිටියහ. ටර්ටූලියන්, මුල් ක්‍රිස්තියානීන් කෙරෙහි පැවති රෝම ආකල්පය මෙසේ පැහැදිලි කරයි: “අහසින් වර්ෂාව ඇදහැළෙන්නේ නැත්නම්, භූමිකම්පාවක් සිදුවේ නම්, සාගතයක් හෝ වසංගතයක් සිදුවේ නම්, ‘ක්‍රිස්තියානීන්ව සිංහයන්ට හෙළන්න!’ යන ප්‍රකාශය ක්ෂණිකව පතළ වේ.”
මුල් ක්‍රිස්තියානීන් වෛරයේ ඉලක්ක වුවත්, ඔවුහු අයුක්තිය වෙනුවෙන් පළිගැනීමට වූ චේතනාවට විරුද්ධ වූහ. සිය සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනාවේදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ වදාළසේක: “තාගේ අසල්වාසියාට ප්‍රේමකරව, තාගේ සතුරාට වෛරකරවයි කී බව නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරපල්ලා, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරපල්ලා.”—මතෙව් 5:43, 44.
‘සතුරෙකුට වෛර කිරීම’ කළ යුතු හරි දෙය බවට සඳහන් වූයේ යුදෙව්වරුන්ගේ වාචික සම්ප්රදායන්වලය. කෙසේවෙතත්, අපේ මිතුරාට පමණක් නොව, අපේ සතුරාටත් ප්‍රේම කළ යුතු බව යේසුස්වහන්සේ පැවසූසේක. මෙය දුෂ්කර වුවද, එය කළ නොහැකි දෙයක් නොවේ. සතුරෙකුගේ මාර්ග සියල්ල නැතහොත් ඔහුගේ ක්‍රියා සියල්ලට කැමැත්තක් දැක්වීම ඔහුට ප්‍රේම කිරීම යන්නෙන් අදහස් නොකෙරේ. මතෙව්ගේ වාර්තාවේ සොයාගත හැකි ග්‍රීක් වචනය රැගෙන තිබෙන්නේ අ·ගාʹපේ යන්නෙනි, ඉන් විස්තර කෙරෙන්නේ ප්‍රතිපත්තිවලට එකඟව ක්‍රියා කරන ප්‍රේමයකි. අ·ගාʹපේ, එනම් ප්‍රතිපත්තිමය ප්‍රේමය විදහා පෙන්වන තැනැත්තා, තමාට වෛර කරන හා නරක අන්දමින් සලකන සතුරෙකුට පවා යහපත කරන්නේය. ඒ මන්ද? මන්දයත්, එය වූ කලි ක්‍රිස්තුස්වහන්සේ අනුගමනය කළ යුතු අන්දමත්, වෛරය පරාජය කළ හැකි අන්දමත් වන බැවිනි. එක්තරා ග්‍රීක් විශාරදයෙක් මෙම කාරණය ගෙනහැර දැක්වීය: “කෝපය හා අප්‍රියභාවය සම්බන්ධයෙන් අප සතු සහජ ප්‍රවණතාව මර්දනය කිරීමට [අ·ගාʹපේ] අපට උපකාර කරයි.” එහෙත් වෛරයෙන් පිරුණු වත්මන් ලෝකයෙහි මෙය ක්‍රියාත්මක වනු ඇත්ද?
ක්‍රිස්තියානීන් බවට කියා සිටින සෑමදෙනෙකුම ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමට අදිටන් කරගෙන නොසිටින බව පිළිගත යුත්තකි. රුවන්ඩාවේ මෑතක සිදුවූ බිහිසුණු ක්‍රියා, ක්‍රිස්තියානීන් බවට කියා සිටින සාමාජිකයන් බොහෝදෙනෙකු ඇතුළත් වාර්ගික කණ්ඩායම් මගින් කරනු ලැබීය. අවුරුදු 20ක් පුරා රුවන්ඩාවේ සේවය කර තිබෙන, පිලාර් ඩිඑස් එස්පෙලෝසින් නමැති රෝමානු කතෝලික කන්‍යා සොහොයුරිය එක් කැපීපෙනෙන සිද්ධියක් සිහි කළාය. මිනිසෙක් හෙල්ලයක් ලෙළවමින් ඇගේ පල්ලිය කරා ළඟා වූයේය, ඔහු එම හෙල්ලය භාවිත කර තිබූ බව පැහැදිලි විය. මෙම කන්‍යා සොහොයුරිය ඔහුගෙන් මෙසේ ඇසුවාය: “මොකද ඔහේ හැම තැනම ගිහින් මිනිසුන් ඝාතනය කරන්නේ? ඔහේට ක්‍රිස්තුස්වහන්සේ ගැන තැකීමක් නැද්ද?” තමාට එවන් තැකීමක් තිබූ බව පැවසූ ඔහු, පල්ලිය තුළට පිවිස, දණගසා, මහත් භක්තියකින් නමෝමරියා යාච්ඤාව පුන පුනා දෙඩුවේය. එහෙත් එය අවසන් කළ පසු, සිය ඝාතන ව්‍යාපාරය තවදුරටත් කරගෙන යෑම සඳහා ඔහු පිට වී ගියේය. “අප ශුභාරංචිය හරිහැටි උගන්වන්නේ නැති බව මෙයින් පෙනී යනවා” යයි මෙම කන්‍යා සොහොයුරිය පිළිගත්තාය. කෙසේවෙතත්, යේසුස්වහන්සේගේ පණිවුඩයේ යම් ඌනතාවක් තිබෙන බව මෙවන් අසමත්වීම්වලින් අදහස් නොකෙරේ. වෛරය පරාජය කළ හැක්කේ, සැබෑ ක්‍රිස්තියානි ධර්මය අදහන අය විසිනි.
ගාල් කඳවුරක වෛරය පරාජය කිරීම
යුදෙව් සමූලඝාතන වැඩ පිළිවෙළින් බේරී ජීවත්වූ ස්වාභාවික යුදෙව්වෙකි මාක්ස් ලීබ්ස්ටර්. ඔහුගේ අවසාන නමට “ප්‍රියාදර” යන තේරුම තිබුණත්, ඔහු වනාහි ඕනෑ තරම් වෛරය අද්දැක ඇත්තෙකි. ප්‍රේමය හා වෛරය පිළිබඳ ඔහු නාට්සි ජර්මනියේදී ඉගෙනගත් දෙය ඔහු මෙසේ විස්තර කරයි.
“මා ඇති දැඩි කරනු ලැබුවේ 1930 ගණන්වල, ජර්මනියේ මාන්හයිම් අසලය. යුදෙව්වරුන් ජර්මානු ජනයාගෙන් අයුතු වාසි ප්‍රයෝජන ලබමින් සිටින ධනවත් අයුතු ලාභ ලබන්නන් බව හිට්ලර් කියා සිටියා. හැබැයි ඇත්ත කියනවා නම්, මගේ පියා නිකම්ම නිහතමානී සපත්තු මහන්නෙකි. කොහොම නමුත්, නාට්සි ප්‍රචාරවල බලපෑම හේතුකොටගෙන, අසල්වැසියෝ අපට විරුද්ධ වෙන්න පටන්ගත්තා. මා නහඹරයෙකුව සිටි අවදියේ, ගම්වැසියෙක් බලාත්කාරයෙන් මගේ නළලේ ඌරු ලේ තැවරුවා. මෙම නීච නින්දාව ඉදිරියෙහි සිදුවීමට තිබූ දේවල කුඩා පෙරනිමිත්තක් පමණි. වර්ෂ 1939දී ගෙස්ටාපෝ පොලිසිය මාව අත්අඩංගුවට ගෙන මා සතු දේපොළ සියල්ල රාජසන්තක කළා.
“වර්ෂ 1940 ජනවාරි සිට 1945 මැයි දක්වා, වෙන වෙනම ගාල් කඳවුරු පහක බේරී ජීවත්වීමට වූ මගේ උත්සාහය මා ගෙනගියා: ඒවා නම්, සාක්සන්හව්සන්, නොයිඑන්ගාමේ, ඖෂ්විට්ස්, බූනා සහ බූකන්වාල්ට් යන කඳවුරුය. සාක්සන්හව්සන් කඳවුරටත් එවනු ලැබූ මගේ පියා, 1940 ඉතා අමාරු වූ සිසිර සමයෙහි මියගියා. මම ඔහුගේ මළ සිරුර පෞද්ගලිකවම ආදාහනගාරයට ගෙනගියා, එහිදී පිළිස්සීම සඳහා මළ සිරුරු ගොඩක් තිබුණා. මුළුමනින්ම, මගේ පවුලේ අටදෙනෙකු කඳවුරුවල මියගියා.
“එස්එස් මුරකරුවන්ටත් වඩා සිරකරුවන් විසින් වැඩියෙන් වෛර කරනු ලැබුවේ කාපොස් නමැති කට්ටියයි. කාපොස් කියන්නේ එස්එස් භටයන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කළාවූද, ඒ හේතුවෙන් යම් වරප්‍රසාද භුක්තිවින්දාවූ සිරකරුවන්ය. ඔවුන්ගේ වගකීම ආහාර බෙදාහැරීමයි, එමෙන්ම වෙනත් සිරකරුවන්ට කසයෙන් පහරදීමත් ඔවුන්ගේ කාර්යයක් වුණා. ඔවුන් නිතරම අසාධාරණව හා හිතුවක්කාරව ක්‍රියා කළා. එස්එස් භටයන් හා කාපොස් දෙපිරිසට වෛර කිරීම සඳහා මට ඕනෑ තරම් හේතු තිබුණු බව මම හිතනවා, නමුත් මා සිරගතවූ කාලපරිච්ඡේදයේදී, වෛරයට වඩා ප්‍රේමය බලවත් බව මම ඉගෙන ගත්තා.
“යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් වූ සිරකරුවන්ගේ ධෛර්යය සම්පන්නභාවය මාහට ඒත්තුගැන්වූයේ ඔවුන්ගේ ඇදහිල්ල ශුද්ධ ලියවිලි මත පදනම් වූ එකක් බවයි—එමෙන්ම පසුව මමද සාක්ෂිකරුවෙක් බවට පත්වුණා. නොයිඑන්ගාමේ ගාල් කඳවුරේ මට හමුවුණු සාක්ෂිකරුවෙකු වූ, එර්න්ස්ට් වැඌඅර් මගෙන් උදක්ම ඉල්ලා සිටියේ ක්‍රිස්තුස්වහන්සේගේ මානසික ආකල්පය වගා කරගන්නා ලෙසටය. බයිබලය කියන්නේ, ‘උන්වහන්සේ නින්දාකරනු ලැබූ කල නින්දා නොකළසේක; වධවින්ද කල තර්ජන නොකර, ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරන තැනැන්වහන්සේට කාරණය භාරදුන්’ බවය. (1 පේතෘස් 2:23) ඒ හා සමානව ක්‍රියා කිරීමට, එනම් සියලුදෙනාගේ විනිශ්චයකරු වන දෙවියන්වහන්සේගේ හස්තයට පළිගැනීම භාර කිරීමට මා වෑයම් කළා.
“කඳවුරුවල මා ගත කළ වර්ෂ ගණනාව මට ඉගැන්වූයේ ජනයා බොහෝදුරට නපුරු දේවල් කරන්නේ නොදැනුවත්කම හේතුකොටගෙන බවයි. හැම එස්එස් මුරකරුවෙකුම දුෂ්ටයි කියලා කියන්නත් බැහැ—ඉන් එක්කෙනෙක් මගේ ජීවිතය බේරගත්තා. වරක් මා අතීසාරයෙන් හොඳටම පහර ලැබූ නිසා, මා වැඩ කළ ස්ථානය සිට කඳවුර දක්වා ඇවිදීමට මට අවශ්‍ය තරම් ශක්තිය තිබුණේ නැහැ. හරි නම්, ඊළඟ උදෑසන ඖෂ්විට්ස්හි ගෑස් කාමරවල දැමීම සඳහා මා යා යුතුව තිබුණා, නමුත් ජර්මනියේ මා සිටි පළාතෙන් පැමිණි එස්එස් මුරකරුවෙක් මා වෙනුවෙන් මැදිහත් වුණා. මට එස්එස් ආපන ශාලාවේ වැඩ කිරීමට ඔහු කටයුතු යෙදුවා, එහිදී යථා තත්වයට පැමිණෙන තාක්කල් මට යම් විවේකයක් ගැනීමට හැකි වුණා. එක් දවසක් ඔහු මට තම සිතෙහි අදහස් මෙසේ හෙළි කළා: ‘මාක්ස්, මට තේරෙන්නේ මම අධිවේගයෙන් හා පාලනයෙන් තොරව ගමන් කරන්නාවූ දුම්රියක සිටිනවා වගෙයි. මම ඉන් ඉවතට පැන්නොත් මැරෙන එක සහතිකයි. එහි රැඳී සිටියොත් අනතුරකට භාජන වන එක සහතිකයි!’
“මට ප්‍රේමය වුවමනා වූවාක් මෙන්ම, මේ ජනයාටත් ප්‍රේමය අවශ්‍යව තිබුණා. ඇත්තෙන්ම කියනවා නම්, මෙම දුක්මුසු තත්වයන් සමඟද, ඝාතනය කරනු ලැබීමේ දෛනික තර්ජනය සමඟද, කටයුතු කිරීමට මට ශක්තිය ලබා දුන්නේ දෙවියන්වහන්සේ කෙරෙහි මගේ ඇදහිල්ල සමඟ මුසු වූ ප්‍රේමය හා දයානුකම්පාවයි. කිසිම අහිතකර බලපෑමක් නොවිඳ මා බේරී ජීවත් වූ බව මට කියන්න බැහැ, නමුත් මට චිත්තවේගීය වශයෙන් සිදුවූ හානි අවම මට්ටමක තිබුණා.”
අවුරුදු 50කටත් පසුව මාක්ස් තවමත් විහිදුවීමට සලස්වන උණුසුම්භාවය හා කරුණාව, ඔහුගේ වදන්වල සත්‍යතාවට මනා සාක්ෂි වේ. මාක්ස්ගේ අද්දැකීම දුර්ලභ එකක් නොවේ. වෛරය පරාජය කිරීම සඳහා ඔහුට ස්ථිරසාර හේතුවක් තිබිණ—ඔහුගේ කැමැත්ත වී තිබුණේ, ක්‍රිස්තුස්වහන්සේ අනුකරණය කිරීමය. ශුද්ධ ලියවිලි මගින් මඟ පෙන්වීම ලබා තිබෙන වෙනත් අය මේ හා සමානව ක්‍රියා කර ඇත. ප්‍රංශයේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියක වන සිමෝන්, පරාර්ථකාමී ප්‍රේමයේ සැබෑ අර්ථය කුමක්ද කියා ඇය ඉගෙනගත් අන්දම මෙසේ පැහැදිලි කරන්නීය.
“දෙවන ලෝක සංග්‍රාමයට මදක් කලින් සාක්ෂිකාරියක බවට පත්වූ මගේ අම්මා වූ එමා මට ඉගැන්වූයේ, මිනිසුන් බොහෝවිට නරක දේවල් කරන්නේ නොදැනුවත්කම නිසා බවයි. අපි අපේ සතුරන්ට ප්‍රේම කළ යුතු බවත්, අපට පීඩා කරන අය වෙනුවෙන් යාච්ඤා කළ යුතු බවත්, යේසුස්වහන්සේ පැවසූ බැවින්, ප්‍රතිචාරයක් වශයෙන්, අපිත් ඔවුන්ට වෛර කරනවා නම්, අපි සැබෑ ක්‍රිස්තියානීන් නොවන බව ඈ පැහැදිලි කළා.—මතෙව් 5:44.
“මෙම ස්ථිර විශ්වාසය පරීක්ෂණයට භාජන කළ ඉතාමත් දුෂ්කර තත්වයක් මට මතකයි. ප්‍රංශය නාට්සි ආධිපත්‍යය යටතේ පැවති කාලයේදී, අපේ ගොඩනැගිල්ලේ සිටි අසල්වැසියෙකුගෙන් අම්මා දහදුක් වින්දා. ඈ අම්මා ගැන ගෙස්ටාපෝ පොලිසියට වාර්තා කළා, එහි ප්‍රතිඵලයක් වශයෙන් මගේ මව ජර්මානු ගාල් කඳවුරුවල අවුරුදු දෙකක් ගත කළා, එහිදී ඇය තව පොඩ්ඩෙන් මියයනවා. යුද්ධයෙන් පසු, මෙම කාන්තාව ජර්මානුවන් සමඟ සහයෝගීව ක්‍රියා කළ බවට සාක්ෂි ඉදිරිපත් කරන පත්රයකට අත්සන් තබන ලෙස ප්‍රංශ පොලිසිය අම්මාගෙන් ඉල්ලා සිටියා. ‘විනිශ්චයකරුවාත් යහපත හා නපුර සඳහා විපාක දෙන්නාත් දෙවියන්වහන්සේ’ කියා පැවසීමෙන් අම්මා එසේ කිරීමට ප්‍රතික්ෂේප කළා. වර්ෂ ස්වල්පයකට පසු, මෙම අසල්වැසියාටම මරණයෙන් අවසන් වන පිළිකාවක් වැළඳුණා. ඇය ගොදුරු වූ අවාසනාවන්ත ඉරණම ගැන සතුටු වනවා වෙනුවට, ඇගේ ජීවිතයේ අවසන් මාස ස්වල්පය හැකි තරම් පහසු කරවීම සඳහා මගේ මව පැය ගණනාවක්ම ගත කළා. වෛරය අභිබවා ප්‍රේමයේ මෙම ජයග්‍රහණය මම කිසිදාකවත් අමතක කරන්නේ නැහැ.”
අයුක්තිය හමුවේ ප්‍රතිපත්තිමය ප්‍රේමයේ බලය මෙම උදාහරණ දෙක කැපීපෙනෙන්ට සලස්වයි. කෙසේවෙතත්, “ප්‍රේමකරන්ට කාලයක් සහ ද්වේෂකරන්ට කාලයක්” තිබෙන බව බයිබලයම පවසයි. (දේශනාකාරයා 3:1, 8) එලෙස සිදුවිය හැක්කේ කෙසේද?
ද්වේෂ කිරීමට කාලයක්
දෙවියන්වහන්සේ සෑම වෛරයක්ම හෙළා නොදකිනසේක. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සම්බන්ධයෙන් බයිබලය මෙසේ පවසයි: “ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව අධර්මිෂ්ඨකමට [නොපනත්කමට, NW] ද්වේෂකළසේක.” (හෙබ්‍රෙව් 1:9) කෙසේවෙතත්, වැරදි දෙයට ද්වේෂ කිරීම හා වරද කළ පුද්ගලයාට වෛර කිරීම අතර වෙනසක් තිබේ.
යේසුස්වහන්සේ සිය ආදර්ශයෙන් ප්‍රේමය හා වෛරය අතර නිසි සමබරතාව දැක්වූසේක. උන්වහන්සේ කුහකකමට ද්වේෂ කළ නමුත්, කුහකයන් කල්පනා කරන අන්දම වෙනස් කිරීම සඳහා ඔවුන්ට උපකාර කිරීමට උන්වහන්සේ වෙර දැරූසේක. (මතෙව් 23:27, 28; ලූක් 7:36-50) උන්වහන්සේ සාහසිකකම හෙළා දුටු නමුත්, උන්වහන්සේව ඝාතනය කළ අය වෙනුවෙන් යාච්ඤා කළසේක. (මතෙව් 26:52; ලූක් 23:34) ඇරත් ලෝකය උන්වහන්සේට නිෂ්කාරණයේ වෛර වූ නමුත්, ලෝකයට ජීවනය දෙන පිණිස උන්වහන්සේ තමන්ගේම ජීවිතය පුද කළසේක. (යොහන් 6:33, 51; 15:18, 25) ප්‍රතිපත්තිමය ප්‍රේමය හා දේව වෛරය සම්බන්ධයෙන් උන්වහන්සේ අපට පරිපූර්ණ ආදර්ශයක් තබා ගියසේක.
යේසුස්වහන්සේට සිදුවූවාක් මෙන්, අයුක්තිය අප තුළ සදාචාරමය ප්රකෝපවීමක් හටගැන්වීමට සැලැස්විය හැක. (ලූක් 19:45, 46) කෙසේවෙතත්, ක්‍රිස්තියානීන්ට පළිගැනීම සඳහා අධිකාරයක් නොමැත. “කාටවත් නපුරට නපුර නොකරල්ලා” යයි පාවුල් රෝමයේ ක්‍රිස්තියානීන්ට උපදෙස් දුන්නේය. “පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටපල්ලා. . . . පළි නොගෙන, . . . නපුරුකමෙන් පරාජය නොවී, යහපත්කමෙන් නපුරුකම පරාජයකරපල්ලා.” (රෝම 12:17-21) වෛරය සිතෙහි තබාගැනීමත්, කළ වරදට පළිගැනීමත්, අප පෞද්ගලිකව ප්‍රතික්ෂේප කරන විට, ප්‍රේමය ජය අත්කරගන්නේය.
වෛරයෙන් තොර ලොවක්
ලෝක ව්‍යාප්ත පරිමාණයකින් වෛරය අතුරුදහන් වීමට නම්, මිලියන ගණන් ජනකායකගේ තදින් මුල්බැසගත් ආකල්ප වෙනස් විය යුතුය. මෙය ඉටු කරගත හැක්කේ කෙසේද? මහාචාර්ය අර්වින් ස්ටැඋබ් මතු දැක්වෙන නිර්දේශය කරයි: “අපෙන් පීඩාවට පත්වන අය අපි අවතක්සේරු කරමු, තවද අපේ උපකාරය ලබන අය අපි අගය කරමු. අපේ උපකාරය ලබන ජනයා අප වැඩියෙන් අගය කිරීමට පටන්ගන්නා අතරම, උපකාර පිරිනැමීමේදී නිරායාසයෙන්ම පැමිණෙන තෘප්තිය අද්දකිත්ම, අපි වඩාත් සැලකිල්ල දක්වන උපකාරවත් වන අය බව අපිම දකිමු. අනුන් වෙනුවෙන් දේවල් කිරීමට හැකි උපරිම සහභාගිත්වය තිබෙන සමාජයන් බිහි කිරීම අපේ ඉලක්ක අතර විය යුතුය.”—ද රූට්ස් ඔෆ් ඊවල්.
වෙනත් වචනවලින් කිවහොත්, වෛරය පිටුදැකීමට නම්, එකිනෙකාට උපකාර පිරිනැමීමෙන් ප්‍රේමය ඉගෙන ගන්නා ජන සමාජයක් බිහි කළ යුතුය, එය අගතිය, ජාතිකවාදය, වර්ගවාදය හා ගෝත්රිකවාදයෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඉස්මතු වන එදිරිවාදය ජනයා විසින් සම්පූර්ණයෙන්ම අමතක කරනු ලබන සමාජයක් විය යුතුය. එවන් සමාජයක් පවතීද? චීනයේ සංස්කෘතික විප්ලවයෙහි කෙළින්ම වෛරයට මුහුණ දුන් මිනිසෙකුගේ අද්දැකීම සලකා බලන්න.
“සංස්කෘතික විප්ලවය ආරම්භ වූ විට, ‘පක්ෂ අරගලයේදී’ සමගි සන්ධානයකට එළඹීම සඳහා, කිසිම ඉඩ කඩක් නොතිබුණු බව අපට උගන්වා තිබුණා. වෛරය පැවති ප්රවණතාවයි. තරුණ රතු ව්‍යාපාරයට සම්බන්ධ වූ මම, ‘පක්ෂයේ සතුරන්’ සෙවීමෙහි නිරත වුණා—මගේ පවුල අතර පවා එවන් අය සිටීද කියා මම සෙව්වා. එවකට මම නහඹරයෙකුව සිටියද, මම නිවාස සෝදිසි කර බැලීම්වලට සහභාගි වුණා, එහිදී ‘විරුද්ධවාදීකම් පෑමට නැඹුරුවාවක්’ දැක්වූ අය සිටින බවට සාක්ෂි සඳහා අපි සෝදිසි කළා. ‘විප්ලවයට විරුද්ධ වූ කෙනෙකු’ හෙළා දුටු ප්‍රසිද්ධ රැස්වීමක්ද මම මෙහෙයවූවා. ඇත්තෙන්ම කියනවා නම්, සමහරවිට මෙම චෝදනා පදනම් වී තිබුණේ දේශපාලනමය හේතුවලට වඩා පෞද්ගලික එදිරිවාදීකම් මතය.
“තරුණ මහලු, ස්ත්‍රී පුරුෂ, පුද්ගලයන් බොහෝදෙනෙකුට ශාරීරික දඬුවම් දෙනු ලැබූ ආකාරය මම දුටුවා, මෙම දඬුවම් දිගින් දිගට වඩ වඩාත් කෲර වුණා. යහපත් මිනිසෙකු වූ මගේ පාසැල් ගුරුවරයෙකුව අපරාධකරුවෙකු මෙන් වීථි පුරා ගෙන යමින් ප්‍රදර්ශනය කරනු ලැබුවා. මාස දෙකකට පසුව, මගේ පාසැලේ හොඳින් ගරු කරනු ලැබූ තවත් ගුරුවරයෙකුගේ මළ සිරුර සූජෝ ගඟෙන් ගොඩ ගනු ලැබූ අතර, මගේ ඉංග්‍රීසි ගුරුවරයාට එල්ලීමෙන් තමාගේම මරණය සලසා ගැනීමට බල කරනු ලැබුවා. මහත් කම්පනයට පත්වූ මට, වියවුල් බවක් හැඟුණා. මේ අය කාරුණික පුද්ගලයෝ. ඔවුන්ට මෙලෙස සැලකීම වැරදි දෙයක් වුණා! එනිසා තරුණ රතු ව්‍යාපාරයත් සමඟ මගේ සියලුම සම්බන්ධකම් මම කපා හැරියා.
“චීනය තාවකාලිකව ගොදුරු කළාවූ මෙම වෛරයේ කාලපරිච්ඡේදය අද්විතීය සිද්ධියක් වූ බව මම හිතන්නේ නැහැ. මෙම සියවසෙහි වෛරයේ ප්‍රකාශයන් මොනතරම් ප්‍රමාණයක් සිදු වී තිබේද! කොහොම වුණත්, ප්‍රේමයට වෛරය පරාජය කළ හැකි බව මම තදින් විශ්වාස කරනවා. මෙය මම පෞද්ගලිකව දැක තිබෙන දෙයක්. මම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ ආශ්‍රය කරන්ට පටන්ගත් විට, විවිධ ජාතිවලින් හා පසුබිම්වලින් පැමිණි ජනයාට ඔවුන් පෙන්නූ අව්‍යාජ ප්‍රේමය මගේ සිත්ගත්තා. බයිබලය පොරොන්දු කරන පරිදි, මුළුමහත් ජනයා එකිනෙකාට ප්‍රේම කිරීමට ඉගෙන ගෙන තිබෙන කාලයක් පැමිණෙන තෙක් මම ඕනෑකමින් බලා සිටිනවා.”
එසේය, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ අන්තර්ජාතික සමාජය වෛරය පිටු දැකිය හැකි බවට ජීවමාන සාක්ෂියකි. සාක්ෂිකරුවන්ගේ පසුබිම කුමක් වෙතත්, ඔවුහු අගතිය වෙනුවට අන්‍යොන්‍ය ගෞරවය පිහිටුවීමත්, ගෝත්රිකවාදයේ, වර්ගවාදයේ හෝ ජාතිකවාදයේ සෑම අංශුමාත්‍රයක්ම මුලිනුපුටා දැමීමටත් වෙරදරමින් සිටිති. ප්‍රතිපත්ති මගින් මඟ පෙන්වනු ලබන ප්‍රේමය විදහාපෑමේදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය අනුකරණය කිරීමට ඔවුන්ගේ අධිෂ්ඨානය ඔවුන්ගේ සාර්ථකත්වයට එක පදනමක් වේ. ඔවුන් අද්දකින ඕනෑම අයුක්තියක් අවසානයකට ගෙන ඒම සඳහා ඔවුන් දේවරාජ්‍යය දෙස බැලීම තවත් පදනමකි.
වෛරයෙන් තොර ලොවක්, ඇරත් වෛර කිරීමට නපුරු යමක් පවා නොමැති ලොවක් අත්කරගැනීම සඳහා නිශ්චිත පිළියම දේවරාජ්‍යය වේ. “අලුත් අහස” ලෙස බයිබලයෙහි විස්තර කර තිබෙන මෙම ස්වර්ගික ආණ්ඩුව, අයුක්තියෙන් තොර ලොවක් සහතික කරන්නේය. “අලුත් පොළොවක්” නොහොත් එකිනෙකාට ප්‍රේම කිරීම සඳහා දැනුවත් කර තිබෙන්නාවූ නව ජන සමාජයක් කෙරෙහි එය පාලනය කරන්නේය. (2 පේතෘස් 3:13; යෙසායා 54:13) මාක්ස්, සිමෝන් හා වෙනත් බොහෝදෙනෙකුගේ අද්දැකීම්වලින් මනාව පැහැදිලි වන පරිදි, මෙම දැනුවත් කිරීම දැනටමත් දියත් කොට තිබේ. එය වනාහි වෛරයද එහි හේතුද පිටුදැකීමට වූ ලෝක ව්‍යාප්ත වැඩ පිළිවෙළක කලින් රස බැලීමක් වන්නේය.
ස්වකීය අනාගතවක්තෘ යෙසායා කරණකොටගෙන, යෙහෝවඃවහන්සේ එහි ප්‍රතිඵලය මෙසේ විස්තර කරනසේක: “මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, ස්වාමීන්වහන්සේ ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය. (යෙසායා 11:9) දෙවියන්වහන්සේම වෛරයට නැවතීමේ ලකුණක් දමනසේක. එය සැබවින්ම ප්‍රේමය සඳහා කාලයක් වන්නේය.
[7වන පිටුවේ පින්තූර]
නාට්සිවාදීහු මාක්ස් ලීබ්ස්ටර්ගේ වම් බාහුවේ සිර අංකයක් කෙටූහ
[8වන පිටුවේ පින්තූරය]
ළඟදීම වෛරය අතීතයේ යමක් වන්නේය