දෙවිගේ මඟ පෙන්වීම් ලබා ඔබේ කැප වීමට එකඟව ජීවත් වන්න
‘දිගටම දෙවි තම බලයෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වන්න. ඔබ එසේ කළොත් ඔබේම පව්කාර ආශාවන්ට අනුව ක්‍රියා කරන්න ඔබ පෙලඹෙන්නේ නැත.’—ගලා. 5:16.
1. පෙන්තකොස්ත දවසේදී බව්තීස්මය සිදු වූ ආකාර දෙක කුමක්ද?
ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී යේසුස්ගේ අනුගාමිකයන් 120දෙනා දෙවිගේ බලයෙන් බව්තීස්ම වූ පසු ඔවුන්ට විවිධ භාෂාවලින් කතා කිරීමේ දීමනාව ලැබුණා. (1 කොරි. 12:4-10) එම දීමනාව ලැබීම නිසාත් පේතෘස් කළ කතාවට සවන් දීම නිසාත් එතැන සිටි බොහෝදෙනාට ඔවුන්ගේ “හදවත පැලෙන තරම් වේදනාවක්” ඇති වුණා. ඉන්පසු ඔවුන් තම පාප ගැන පසුතැවිලි වී ජලයෙන් බව්තීස්ම වුණා. ඒ ගැන බයිබලය මෙසේ පවසනවා. “ඔහු පැවසූ දේවල් මුළු හදවතින්ම පිළිගත් අය බව්තීස්ම වූහ. එදින තුන්දහසක් පමණ දෙනෙක් ඔවුන්ට එකතු වූහ.” (ක්‍රියා 2:22, 36-41) ඔවුන් බව්තීස්ම වුණේ යේසුස් අණ කළ ලෙස පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගෙන බවට කිසිම සැකයක් නැහැ.—මතෙ. 28:19.
2, 3. (අ) දෙවිගේ බලයෙන් බව්තීස්ම වීම හා දෙවිගේ බලයේ ‘ක්‍රියාකාරිත්වය පිළිගෙන’ බව්තීස්ම වීම අතර ඇති වෙනස පැහැදිලි කරන්න. (ආ) සැබෑ ක්‍රිස්තියානීන් වීමට බලාපොරොත්තුවෙන් සිටින සියලුදෙනාම ජලයෙන් බව්තීස්ම විය යුත්තේ ඇයි?
2 දෙවිගේ බලයෙන් බව්තීස්ම වීම හා දෙවිගේ බලයේ ‘ක්‍රියාකාරිත්වය පිළිගෙන’ බව්තීස්ම වීම අතර වෙනසක් තිබෙනවාද? ඔව්. දෙවිගේ බලයෙන් බව්තීස්ම වන අය ඔහුගේ අභිෂේක ලත් පුත්‍රයන් ලෙස අලුත් උපතක් ලබනවා. (යොහ. 3:3) ඔවුන් අනාගතයේදී දේවරාජ්‍යයේ රජවරුන් හා පූජකයන් ලෙස සේවය කරන අතර ක්‍රිස්තුස්ගේ සංකේතාත්මක ශරීරයේ කොටසක් බවටද පත් වෙනවා. (1 කොරි. 12:13; ගලා. 3:27; එළි. 20:6) එමෙන්ම ඔවුන් යේසුස් සමඟ ඔහුගේ රාජ්‍යයේ උරුමක්කාරයන් බවට පත් වෙනවා. ඔවුන්ව යෙහෝවා දෙවි තම බලයෙන් අභිෂේක කිරීම ආරම්භ කළේ ක්‍රි. ව. 33 පෙන්තකොස්ත දවසේදීයි. (රෝම 8:15-17) එසේනම් එක්රැස්වීම් හා සමුළුවල සිදු වන බව්තීස්මයෙන් එනම්, දෙවිගේ බලයේ ‘ක්‍රියාකාරිත්වය පිළිගෙන’ බව්තීස්ම වීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
3 සෑම ක්‍රිස්තියානියෙකුම ජලයෙන් බව්තීස්ම වන්නේ යෙහෝවා දෙවිට කොන්දේසි විරහිතව කැප වී ඇති බවට සංකේතයක් ලෙසයි. ඒ නිසා ස්වර්ගික බලාපොරොත්තුවක් ඇති අය හා පොළොව මත සදාකාල ජීවිතය ගැන බලාපොරොත්තුවෙන් සිටින සියලුම ක්‍රිස්තියානීන් ‘පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගෙන’ ජලයෙන් බව්තීස්ම විය යුතුයි. දෙවිගේ අනුමැතිය ලබාගැනීමට කැමති සියලුදෙනාම එසේ බව්තීස්ම වීම අත්‍යවශ්‍යයි. ඒ වගේම ඔවුන් සියලුදෙනාම “දිගටම දෙවි තම බලයෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත්” විය යුතුයි. (ගලාති 5:16 කියවන්න.) එලෙස ඔබේ කැප වීමට එකඟව ඔබ ජීවත් වෙනවාද?
දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වීම
4. ‘දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙනවා’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
4 කෙනෙක් සෑමවිටම දෙවිගේ කැමැත්ත කුමක්ද කියා සොයා බලා ඊට එකඟව ක්‍රියා කරනවා නම් ඔහු ‘දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙනවා’ කියා පැවසිය හැකියි. එසේ ක්‍රියා කිරීම හා පව්කාර ආශාවන්ට අනුව ක්‍රියා කිරීම අතර වෙනස ගලාති පස්වන පරිච්ඡේදයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා.—ගලාති 5:17, 18 කියවන්න.
5. දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට යටත් වන කෙනෙක් වැළකී සිටින්නේ කුමන දේවලින්ද?
5 ඔබ දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට යටත් වෙනවා නම් පව්කාර ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමට පියවර ගන්නවා. එම පව්කාර ක්‍රියාවලට “වේශ්‍යාකම, අපවිත්‍රකම, නින්දිත හැසිරීම, රූප වන්දනාව, භූතවාදය, සතුරුකම්, අඬදබර, ඊර්ෂ්‍යාව, හදිසි කෝපය, විවාද, භේද, නිකායන්, කුඩුකේඩුකම, බේබදුකම, ඝෝෂාකාරී උත්සව” වැනි දේවල් අයත් වෙනවා. (ගලා. 5:19-21) ඔබ ඒ දේවලට හවුල් නොවී සිටින විට “දෙවිගේ බලයේ උපකාරයෙන් ඔබේ වැරදි ක්‍රියාවන් නසා” දමා ඇති බව පැවසිය හැකියි. (රෝම 8:5, 13) ඉන් පැහැදිලි වන්නේ ඔබ දෙවිගේ බලයේ මඟ පෙන්වීමට එකඟව ක්‍රියා කරන බවයි.
6. දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයෙන් ඇති වන ගුණාංග විදහාපෙන්වීම සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද? නිදර්ශනය කරන්න.
6 දෙවිගේ බලය ඔබ තුළ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස යහපත් ගුණාංග ඔබ තුළ ඇති වෙනවා. (ගලා. 5:22, 23) නමුත් ඔබ ඒ සඳහා වෙහෙසී වැඩ කළ යුතුයි. අපි එය මෙසේ නිදර්ශනය කරමු. වගාවක් සඳහා මහන්සි වී පස සකස් කරන ගොවියෙක් ගැන සිතන්න. ඔහුට හොඳ අස්වැන්නක් ලබන්න නම් හිරු එළිය සහ ජලය අවශ්‍ය බව ඇත්තයි. නමුත් ඔහු වෙහෙසී වැඩ නොකළොත් ඔහුට හොඳ අස්වැන්නක් ලැබෙයිද? යහපත් ගුණාංග ඇති කරගැනීමට නම් ඔබට හිරු එළිය හා සමාන දෙවිගේ බලය අවශ්‍යයි. නමුත් එම ගුණාංග ඇති කරගන්න ඔබද වෙහෙසී වැඩ කළ යුතුයි. (හිතෝ. 10:4) ඒ අනුව එම ගුණාංග ඔබ කොතරම් හොඳින් විදහාපෙන්වනවාද කියා තීරණය වන්නේ ඔබ ඔබේ හදවත නමැති පස සකස් කරගැනීමට වෙහෙසී වැඩ කරන ප්‍රමාණයට අනුවයි. ඒ නිසා ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් ඇති වන ගුණාංග විදහාපෙන්වීම සඳහා මම වෙහෙසී වැඩ කරනවාද?
7. යහපත් ගුණාංග වර්ධනය කරගැනීමට බයිබලය අධ්‍යයනය කිරීම හා ඒ ගැන ගැඹුරින් කල්පනා කිරීම අත්‍යවශ්‍ය වන්නේ ඇයි?
7 හොඳ අස්වැන්නක් ලබාගැනීම සඳහා ගොවියෙක් ඔහුගේ වගාවට වතුරද දැමිය යුතුයි. ඒ හා සමානව දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයෙන් ඇති වන ගුණාංග වර්ධනය කරගැනීමට නම් බයිබලයෙන් හා ක්‍රිස්තියානි සභාවෙන් ලැබෙන සත්‍යය පිළිබඳ දැනුම නමැති වතුර අවශ්‍යයි. (යෙසා. 55:1) ශුද්ධ ලියවිල්ල දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් ලියා ඇති බවත් එහි ඇති දේවල් විශ්වාසවන්ත නුවණ ඇති දාසයා විසින් තේරුම් කර දී ඇති බවත් ඔබ පිළිගන්නවා. (2 තිමෝ. 3:16; මතෙ. 24:45-47) ඒ නිසා දෙවිගේ බලයේ මඟ පෙන්වීම් ලැබීමට නම් ඔබ දෙවිගේ වචනය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුයි. ඔබ එසේ කරනවා නම් අනාගතවක්තෘවරුන්ගේ හා දේවදූතයන්ගේ ආදර්ශය ඔබ අනුකරණය කරනවා කියා පැවසිය හැකියි. අනාගතවක්තෘවරුන් තමන්ට ලැබුණු තොරතුරු ‘දැඩි උත්සාහයක් දරමින් ඉතා උනන්දුවෙන් සෝදිසි කර’ බැලුවා. දේවදූතයන් පොරොන්දු වූ තැනැත්තා සහ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ගැන දෙවි සපයා ඇති තොරතුරු අවබෝධ කරගැනීම සඳහා උනන්දු වුණා.—1 පේතෘස් 1:10-12 කියවන්න.
දෙවිගේ බලයේ මඟ පෙන්වීම් ලබාගත හැකි අයුරු
8. ඔබ යෙහෝවා දෙවිගෙන් ඔහුගේ බලය ඉල්ලීම වැදගත් වන්නේ ඇයි?
8 දෙවිගේ බලයේ මඟපෙන්වීම් ලබන්න නම් බයිබලය අධ්‍යයනය කිරීම හා ඒ ගැන ගැඹුරින් කල්පනා කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඔබ දිගටම යෙහෝවා දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කළ යුතුයි. මන්ද “අප ඉල්ලන ඕනෑම දෙයකට වඩා වැඩියෙනුත් අපට සිතාගත හැකි ඕනෑම දෙයකට වඩා වැඩියෙනුත් දේවල් කිරීමේ හැකියාව” දෙවිට තිබෙනවා. (එෆී. 3:20; ලූක් 11:13) නමුත්, ‘ඉල්ලන්නත් කලින් මට අවශ්‍ය මොනවාද කියා දෙවි දන්නවා නම් මම ඒවා නොකඩවා ඉල්ලිය යුත්තේ ඇයි’ කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. (මතෙ. 6:8) ඔබ එසේ දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කරන විට ඉන් පෙන්වන්නේ ඔබට ඔහුගේ උපකාරය අවශ්‍ය බවයි. එය අපි මෙම උදාහරණය මගින් තේරුම්ගනිමු. කෙනෙක් ඔබෙන් උපකාරයක් ඉල්ලනවා කියා සිතන්න. ඔහු ඔබෙන් එය ඉල්ලන්නේ ඔබ කෙරෙහි විශ්වාසයක් තිබෙන නිසයි. ඒ නිසා ඔහුට උපකාර කරන්න ඔබට හැකි සියල්ල ඔබ කරනවා. (හිතෝපදේශ 3:27 බලන්න.) ඒ හා සමානව ඔබ යෙහෝවා දෙවිගෙන් ඔහුගේ බලය ඉල්ලා සිටින විට ඔහු ඒ ගැන සතුටු වන අතර ඔබට එය ලබා දීමටද ආශාවෙන් සිටිනවා.—හිතෝ. 15:8.
9. දෙවිගේ බලයේ මඟ පෙන්වීම ලබාගැනීමට රැස්වීම්වලට සහභාගි වීම උපකාරවත් වන්නේ කොහොමද?
9 දෙවිගේ බලයේ මඟ පෙන්වීම් ලැබෙන තවත් ආකාරයක් වන්නේ රැස්වීම්, එක්රැස්වීම් හා සමුළුයි. ඒ නිසා ඒවාට සහභාගි වීමට වෑයමක් දැරීමෙන් හා ඊට හොඳ අවධානයක් දීමෙන් “දෙවි එළිදරව් කරන ගැඹුරු කාරණා” අවබෝධ කරගැනීමට ඔබට හැකියි. (1 කොරි. 2:10) ඒ වගේම රැස්වීම්වලදී අදහස් දැක්වීමෙන්ද ඔබට බොහෝ ප්‍රයෝජන අත් කරගත හැකියි. පසුගිය සති හතර තුළදී ඔබ සහභාගි වූ රැස්වීම් ගැන සිතන්න. එම රැස්වීම්වලදී අදහස් දැක්වීම සඳහා ඔබ කී වරක් ඔබේ අත එසෙව්වාද? ඔබට තවත් දියුණු විය හැකි පැති තිබෙනවාද? එසේනම් ඉදිරි සතිවලදී ඔබ ඒ සම්බන්ධයෙන් කිරීමට යන්නේ මොනවාද කියා දැන්ම කල්පනා කර බලන්න. ඔබ රැස්වීමේදී අදහස් දැක්වීමට දරන උත්සාහය යෙහෝවා දෙවි දකින අතර ඔහුගේ බලයේ උපකාරය ඔහු ඔබට ලබා දෙනවා. එවිට ඔබට රැස්වීම්වලින් උපරිම ප්‍රයෝජන ගත හැකියි.
10. දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වන කෙනෙක් කළ යුතු ආරාධනය කුමක්ද?
10 දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වන කෙනෙක් එළිදරව් 22:17හි සඳහන් මෙම ආරාධනාව අන් අයට ඉදිරිපත් කරනවා. “දෙවිගේ බලය හා මනාලිය මාර්ගයෙන් නිරතුරුවම ලැබෙන ආරාධනය නම්, ‘එන්න’ කියාය. ඊට සවන් දෙන තැනැත්තාද, ‘එන්න’ කියා පැවසිය යුතුයි. පිපාසයෙන් සිටින සෑම කෙනෙක්ම පැමිණිය යුතුයි. කැමති කෙනෙකුට ජීවනදායක වතුර නොමිලේ ලබාගත හැක.” දෙවි එම ආරාධනාව ඉදිරිපත් කරන්නේ අභිෂේක ලත් මනාලිය තුළිනුයි. ඔබ එම ආරාධනාව පිළිගෙන තිබෙනවා නම් ඔබත් අන් අයට “එන්න” කියා ආරාධනා කිරීමට අදිටන් කරගෙන සිටිනවාද? මිනිසුන්ගේ ජීවත ගලවන එම කාර්යයෙහි නියැලීමට ලැබීම මොන තරම් ආශීර්වාදයක්ද!
11, 12. ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයට දෙවිගේ බලයේ උපකාරය ලැබෙන්නේ කොහොමද?
11 පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්ට අලුත් ප්‍රදේශවලට ගොස් සේවය කිරීම සඳහා දෙවිගේ බලය තුළින් මඟ පෙන්වීම් ලැබුණා. උදාහරණයකට මැසිඩෝනියාවට ඇවිත් උපකාර කරන්න කියා මිනිසෙක් පවසනවා පාවුල් දර්ශනයකින් දුටුවා. ඉන් පැහැදිලි වුණේ යුරෝපය පුරා ශුභාරංචිය ප්‍රකාශ කිරීමට දෙවි තම බලය මාර්ගයෙන් ඔහුට මඟ පෙන්වූ බවයි. (ක්‍රියා 16:6-10) ඒ වගේම “ආසියා පළාතට ගොස් ශුභාරංචිය ගැන කතා නොකරන ලෙස දෙවි තම බලය මාර්ගයෙන්” පාවුල් සහ ඔහුගේ සහයකයන්ට මඟ පෙන්නුවා. බිතිනියට යෑමෙන්ද දෙවිගේ බලය ඔවුන්ව වැළැක්වුවා.
12 ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයට අද දිනද දෙවිගේ බලයේ මඟ පෙන්වීම ලැබෙනවා. නමුත් ඒ සඳහා දෙවි කිසි කෙනෙකුට දර්ශන ලබා දෙන්නේ නැහැ. ඒ වෙනුවට දෙවි අභිෂේක ලත් අයට ඔහුගේ බලය මාර්ගයෙන් මඟ පෙන්වීම් ලබා දෙනවා. ඒ වගේම ශුභාරංචිය ප්‍රකාශ කිරීමටත් යේසුස්ගේ ගෝලයන් වීමට මිනිසුන්ට ඉගැන්වීමටත් දෙවිගේ බලය ක්‍රිස්තියානීන්ව පොලඹවනවා. ඔබත් එම අතිවැදගත් කාර්යයේ හවුල් වන බවට කිසිම සැකයක් නැහැ. නමුත් ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි උද්යෝගයෙන් හවුල් වෙමින් ඔබේ ප්‍රීතිය වැඩි කරගැනීමට ඔබට හැකිද?
13. ඔබට දෙවිගේ බලයේ මඟ පෙන්වීම් ලබාගත හැකි ආකාරයක් සඳහන් කරන්න. ඊට උදාහරණයක් දෙන්න.
13 දෙවිගේ සංවිධානයට කීකරු වීමෙන්ද දෙවිගේ බලයේ මඟ පෙන්වීම් ලබාගත හැකියි. ඒ සම්බන්ධයෙන් ජපානයේ ජීවත් වන මිහෝකෝගේ අද්දැකීම සලකා බලන්න. පුරෝගාමී සේවයට ඇතුල් වූ මුල් කාලයේදී නැවත බැලීමක් සාර්ථකව කිරීමට නොහැකි බව ඇයට හැඟුණා. ඒ කාලයේදීම අපගේ රාජ්‍ය සේවා පත්‍රිකාවේ, කෙටි වේලාවක් තුළ නැවත බැලීමක් කරන ආකාරය ගැන යෝජනා ඉදිරිපත් කර තිබුණා. ඒ වගේම සතුටින් පිරි ජීවිතයකට මඟ යන විවරණිකාවද ඔවුන්ගේ භාෂාවෙන් මුදා හැරියා. එය ජපානයේ සිටින ජනයාට හුඟක් ප්‍රයෝජනවත් වුණා. එය යොදාගෙන සාකච්ඡාවක් ආරම්භ කරන ආකාරය ගැනත් නැවත බැලීමක් කරන ආකාරය ගැන රාජ්‍ය සේවාවේ ඇති යෝජනාත් මිහෝකෝ අත්හදා බැලුවා. ඉන්පසුව බොහෝදෙනෙක් ඇය සමඟ බයිබලය පාඩම් කිරීමට කැමති වුණා. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “මට කොයි තරම් බයිබල් පාඩම් තිබුණද කිව්වොත් ඒවා කරගන්න මට වෙලාවක් තිබුණේ නැහැ. මම මාසයකට බයිබල් පාඩම් 12ක් විතර කළා.” දෙවිගේ සංවිධානයෙන් ලබා දෙන උපදෙස් පිළිපදිමින් දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට යටත් වෙනවා නම් ඔබටද සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි.
දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට යටත් වන්න
14, 15. (අ) දෙවිට වූ කැප වීමට එකඟව ජීවත් වීමට පාපය උරුම කරගෙන සිටින මිනිසුන්ට පුළුවන් කොහොමද? (ආ) ඔබට හොඳ මිතුරන් සොයාගත හැක්කේ කොහොමද?
14 දේවසේවකයෙක් ලෙස දෙවිට කැප වූ ඔබට ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ වගකීම තිබෙනවා. (රෝම 10:14) කෙසේවෙතත් ඒ වගකීම දරන්න ඔබ තවමත් සම්පූර්ණයෙන්ම සුදුසුකම් ලබා නැති බව ඔබට හැඟෙන්න පුළුවන්. නමුත් ඒ සඳහා ඔබට අවශ්‍ය සුදුසුකම් ලබා දෙන්න දෙවිට හැකියි. අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටත් ඔවුන්ගේ කාර්යය කිරීමට අවශ්‍ය සුදුසුකම් ලබා දී ඇත්තේ දෙවියි. (2 කොරින්ති 3:5 කියවන්න.) ඒ නිසා ඔබට හැකි සියල්ල කිරීමෙන් සහ දෙවිගේ බලයේ මඟ පෙන්වීමට යටත් වීමෙන් දේවසේවකයෙක් ලෙස ඔබගේ කැප වීමට එකඟව ජීවත් වීමට ඔබට හැකියි.
15 අප පව්කාරයන් නිසාත් දෙවි පරිපූර්ණ නිසාත් ඔහුට වූ කැප වීමට එකඟව ජීවත් වීම පහසු නොවන බව ඇත්තයි. ඒ වගේම ඔබ ජීවිතයේ කර ඇති වෙනස්කම් දැක ඔබව කාලයක් තිස්සේ ඇසුරු කළ අයද “ඔබට නින්දා” කිරීමට ඉඩ තිබෙනවා. (1 පේතෘ. 4:4) නමුත් ඔබ දැන් යෙහෝවා දෙවි සහ යේසුස් සමඟ ඉතා වටිනා මිත්‍රත්වයක් ඇති කරගෙන සිටින බව අමතක කරන්න එපා. (යාකොබ් 2:21-23 කියවන්න.) ඊට අමතරව සභාවේ සිටින සහෝදර සහෝදරියන් සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමද වැදගත්. ඒ තුළින් ඔබට ලොව පුරා සිටින සහෝදර කැලට එකතු විය හැකියි. (1 පේතෘ. 2:17; හිතෝ. 17:17) එලෙස හොඳ මිතුරන් සොයාගැනීමට යෙහෝවා දෙවි තම බලයෙන් ඔබට උපකාර කරනවා.
16. පාවුල් මෙන් ‘ඉතා සතුටින් දුර්වලකම් ඉවසීමට’ ඔබට ඔබට පුළුවන් කොහොමද?
16 ඔබට උපකාර කිරීමට ක්‍රිස්තියානි සභාව තුළ මිතුරන් සිටියත් එදිනෙදා ජීවිතයේදී ඇති වන අභියෝගවලට මුහුණ දීම අමාරු බව ඔබට දැනෙන්න පුළුවන්. සමහරවිට එක පිට එක ගැටලු ඇති වන විට ඔබ හෙම්බත් වී ඇති බව ඔබට දැනිය හැකියි. එවැනි අවස්ථාවලදී යෙහෝවා දෙවිගේ බලය ඔබට වැඩියෙන් අවශ්‍ය වන නිසා ඔහුගෙන් එය ඉල්ලන්න. ඕනෑම දුර්වලකමක් ජය ගැනීමට මිනිසුන්ට උපකාර කිරීමට දෙවිගේ බලයට හැකි බව පාවුල් දැන සිටියා. ‘මා දුර්වල වී සිටින අවස්ථාවලදී මම බලවත් වන්නෙමි’ කියා ඔහු පැවසුවේ ඒ නිසයි. (2 කොරින්ති 4:7-10; 12:10 කියවන්න.) ඔහු මෙවැනි දෙයක්ද පැවසුවා. “මම ඉතා සතුටින් මගේ දුර්වලකම් ඉවසන්නෙමි.” ඉන් අදහස් කරන්නේ පාවුල් දුර්වලව සිටි අවස්ථාවලදී දෙවි තම බලය මාර්ගයෙන් උපකාර කරන ආකාරය ඔහුට වැඩියෙන් දැනුණු බවයි. අප දුර්වල වී සිටින ඕනෑම අවස්ථාවක අපට උපකාර කිරීමට දෙවිගේ බලයට හැකි බව ඉන් පැහැදිලි වෙනවා.—රෝම 15:13.
17. කැප වීමට එකඟව ජීවත් වීම සඳහා දෙවිගේ බලයේ මඟ පෙන්වීම් ඔබට ලැබෙන්නේ කොහොමද?
17 ඔබ රුවල් නැවක් හසුරුවනවා කියා සිතන්න. ඔබේ ගමනාන්තයට ආරක්ෂිතව යෑමට නම් සුළං හමන දිශාව හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ හා සමානව දෙවිට වූ කැප වීමට එකඟව සෑම දිනකම ජීවත් වීමට නම් දෙවිගේ බලයේ උපකාරය ඔබට බොහෝ සෙයින් අවශ්‍ය වෙනවා. වැරදි දිශාවකට හමන සුළඟකට ඔබේ නැව හසු වුණොත් ලොකු විනාශයක් සිදු වෙන්න පුළුවන්. ඔබ සාතන්ගේ ලෝකයේ සිටින අයගේ බලපෑමට හසු වුණොත් ඔබටත් විශාල හානියක් සිදු විය හැකියි. (1 කොරි. 2:12) නිවැරදි දිශාවට හමන සුළඟ හා සමාන දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට ඔබ යටත් වෙනවා නම් ඔබට ඔබගේ කැප වීමට එකඟව ජීවත් විය හැකියි. දෙවි එම මඟ පෙන්වීම් ලබා දෙන්නේ ඔහුගේ වචනය හා සංවිධානය මගිනුයි.
18. ඔබගේ අධිෂ්ඨානය වන්නේ කුමක්ද? ඒ ඇයි?
18 ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරමින් රැස්වීම්වලට සහභාගි වුණත් තවමත් කැප වී බව්තීස්ම වී නැත්නම් ඔබගෙන්ම මෙසේ අසාගන්න. ‘මම එය ප්‍රමාද කරන්නේ ඇයි?’ දෙවිගේ කැමැත්ත කිරීම සඳහා ඔහුගේ බලය සිදු කරන කාර්යය තේරුම්ගෙන ඔබ එය අගය කරනවා නම් බව්තීස්ම වීමට පියවර නොගන්නේ ඇයි? ඔබ එසේ කළොත් දෙවි ඔබට ආශීර්වාද කර මඟ පෙන්වන බව නිසැකයි. අනික් අතට ඔබ බව්තීස්ම වී වසර කිහිපයක් හෝ දශක කිහිපයක් ගත වී තිබෙනවා විය හැකියි. ඒ නිසා දෙවිගේ බලය තුළින් ශක්තිමත් වූ අවස්ථා බොහෝමයක් ඔබ අද්දැක තිබෙනවා වෙන්න පුළුවන්. සදාකාලයටම ඔබ වෙනුවෙන් එසේ කිරීමට දෙවිට හැකියි. ඒ නිසා දිගටම දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වීමට අධිෂ්ඨාන කරගන්න.
ඔබට මතකද?
• “දෙවි තම බලයෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත්” වීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
• “දිගටම දෙවි තම බලයෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වන්න” ඔබට උපකාර කරන්නේ මොනවාද?
• ඔබගේ කැප වීමට එකඟව ජීවත් වීමට ඔබට පුළුවන් කොහොමද?
[15වන පිටුවේ පින්තූරය]
ඔබගේ හදවත නමැති පස සකස් කිරීමට වෑයම් කිරීම අවශ්‍යයි
[16, 17වන පිටුවල පින්තූරය]
ඔබ දෙවිගේ බලයේ මඟ පෙන්වීමට යටත් වෙනවාද?