පාඨකයන්ගෙන් ප්‍රශ්න
යේසුස් ඔහුගේ ආදර්ශ යාච්ඤාව ඉදිරිපත් කළ කාලය වන විට දුෂ්ට දූතයන්ව ස්වර්ගයෙන් පහ කර දමා තිබුණේ නැතත්, දෙවිගේ කැමැත්ත ස්වර්ගයෙහි ඉටු වෙමින් තිබූ බව ඔහු අදහස් කළාද?
මතෙව් 6:10හි සඳහන් වන පරිදි යේසුස් මෙසේ පැවසුවේය. “ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා.” මෙම ඉල්ලීමේ අරුත තේරුම්ගත හැක්කේ පහත සඳහන් ආකාර දෙකෙන් එක් ආකාරයකිනි. මුල් ආකාරය වන්නේ දෙවිගේ කැමැත්ත ඒ වන විටත් ස්වර්ගයෙහි ඉටු වෙමින් තිබුණා හා සමානව පොළොවෙහිද ඉටු කරනු ලැබීම සඳහා කරන අයැදීමකි. දෙවන ආකාරය වන්නේ දෙවිගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන්ම පොළොවෙහිද පූර්ණ ලෙස ඉටු කරනු ලැබීම සඳහා කරන ඉල්ලීමකි.a “ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියා යේසුස් කලින් සඳහන් කළ වදන්වලින් අදහස් කරන දෙයින් පෙනී යන්නේ දෙවන ආකාරය ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වෙනත් දේවල් සමඟ වඩාත් හොඳින් එකඟ වන බවයි. එමෙන්ම යේසුස් පොළොව මත සිටි කාලයේදී හා ඉන් පසු ගත වූ දීර්ඝ කාලය පුරා පැවති තත්වය දෙවන ආකාරයෙන් කියවේ. ඒ කෙසේද?
දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටුවන ලද අවස්ථාවේදී ඇති වූ සුවිශේෂි ප්‍රතිඵල දෙකක් එළිදරව් පොත පෙන්වා දෙයි. එහි ප්‍රතිඵල මුලින්ම ස්වර්ගයටත් දෙවනුව පොළොවටත් බලපෑවේය. එළිදරව් 12:7-9, 12හි [NW] මෙසේ සඳහන් වේ. “ස්වර්ගයෙහි යුද්ධයක් ඇති විය. මිකායෙල් සහ ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව යුද්ධ කළෝය. මකරා සහ උගේ දූතයෝද යුද්ධ කළ නමුත්, ඌ ජයගත්තේ නැත. එතැන් පටන් ඔවුන්ට ස්වර්ගයෙහි ස්ථානයක් තිබුණේද නැත. එබැවින් ඒ මහත් මකරා පහතට හෙළනු ලැබුවේය. ඒ, මකරා නම්, යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන, මුළු පොළොවම නොමඟ යවන මුල් සර්පයාය. ඔහු පොළොවට හෙළනු ලැබුවේය, ඔහුගේ දූතයෝද ඔහු සමඟ පහතට හෙළනු ලැබුවෝය. මේ නිසා ස්වර්ගයෙනි, එහි වාසය කරන්නෙනි, ප්‍රීති වන්න! පොළොවටත් මුහුදටත් දුක් වේ. මන්ද යක්ෂයා, තමාට ඇත්තේ කෙටි කාල පරිච්ඡේදයක් බව දැන, ඔහු මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටින්නේය.”
වර්ෂ 1914න් පසු සාතන්ව හා ඔහුගේ භූතයන්ව ස්වර්ගයෙන් පහ කර දමා, සියලුම කැරලිකාර ආත්ම එයින් නෙරපා දමමින් එය පිරිසිදු කරන ලදි. යෙහෝවාගේ ආත්ම මැවිලිවලින් විශාල පිරිසක් නියෝජනය කරනු ලබන ඔහුගේ පක්ෂපාත දේවදූතයන්ගේ ඉමහත් ප්‍රීතියට එය හේතු විය. (යෝබ් 1:6-12; 2:1-7; එළිදරව් 12:10) මේ අනුව යේසුස්ගේ ආදර්ශ යාච්ඤාවෙන් කළ ඉල්ලීම ස්වර්ගයෙහි ඉටු විය. ස්වර්ගයේ ඉතුරු වූ සියලුදෙනාම යෙහෝවාට පක්ෂපාත මෙන්ම ඔහුගේ පරමාධිපත්‍යයට පූර්ණ ලෙස යටත් වන අය වූහ.
මෙය සිදුවීමට කලින් දුෂ්ට දේවදූතයන්ට ස්වර්ගයට ඇතුල් වීමට අවස්ථාවක් තිබුණද ඔවුන්ව දෙවිගේ පවුලෙන් ඉවත් කර නිශ්චිත සීමා යටතේ තබා තිබිණ. උදාහරණයක් හැටියට යූද් 6හි අනාවරණය කරන්නේ මුල් සියවසේදී ඔවුන්ව “මහත් දවසේ විනිශ්චය සඳහා ඝන [ආත්මික] අන්ධකාරය යට සදාකාල බැඳුම්වලින් බැඳ වෙන් කර තබා” තිබූ බවයි. ඒ හා සමානව 2 පේතෘස් 2:4හි [NW] මෙසේ පවසයි. “පව් කළ දේවදූතයන්ට දඬුවම් කිරීමෙන් දෙවි නොවැළකී, ඔවුන්ව ටාටරස්හි [සම්පූර්ණයෙන්ම පහ කර දමා තිබෙන තත්වයකට] හෙළා, විනිශ්චය පිණිස වෙන් කර තැබීමට ඝන [ආත්මික] අන්ධකාර වළවල්වලට භාර දුන්නේය.”b
දුෂ්ට දූතයන් ස්වර්ගයෙහි සිටියදී දෙවිගේ ආත්මික පවුලෙන් පහ කර දමා සිටි තත්වයට වඩා වෙනස්ව ඔවුන් පොළොව කෙරෙහි මහත් බලයකින් ක්‍රියා කර තිබෙන බව පෙන්වා තිබේ. ඇත්තෙන්ම දේවවචනය සාතන්ව “මේ ලෝකයේ පාලකයා” කියාද භූතයන්ව “මේ අන්ධකාරයේ ලෝක පාලකයන්” කියාද හඳුන්වයි. (යොහන් 12:31; එෆීස 6:11, 12; 1 යොහන් 5:19; NW) එක වරක් වැඳ වැටී නමස්කාර කළොත්, ඒ වෙනුවෙන් “ලෝකයේ සියලු රාජ්‍යයන්ද ඒවායේ තේජසද” යේසුස්ට ලබා දෙන බව පැවසීමට සාතන්ට හැකි වූයේ ඔහු සතුව තිබූ බලතල නිසයි. (මතෙව් 4:8, 9, NW) එසේ නම් පොළොව ගැන සලකා බලන කල දේවරාජ්‍යය ‘පැමිණි’ පසු ප්‍රබල වෙනස්කම් සිදු වනු ඇති බව පැහැදිලියි.
දේවරාජ්‍යය ‘පැමිණීමේ’ ප්‍රතිඵලයක් හැටියට මේ පොළොවෙහි පවතිනු ඇත්තේ සම්පූර්ණයෙන්ම අලුත් සමාජ ක්රමයකි. දේවරාජ්‍යය සියලුම මිනිස් පාලන සුනුවිසුනු කර දමා මුළු පොළොවම පාලනය කරන එකම ආණ්ඩුව බවට පත්වීමට නියමිතයි. ඒ කාලයේදී ‘අලුත් පොළොව’ සමන්විත වන්නේ එම ආණ්ඩුවේ දේවබියැති යටත්වැසියන්ගෙනි. (2 පේතෘස් 3:13; දානියෙල් 2:44, 45ආ) දේවරාජ්‍යය මගින් කීකරු මනුෂ්‍ය වර්ගයාගෙන් පාපය පහ කර දමනු ලබන අතර අවසානයේදී මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කරනු ඇත. මේ ආකාරයට සාතන්ගේ පාලනයේ සෑම අංශු මාත්‍රයක්ම පහ කරනු ලැබේ.—රෝම 8:20, 21; එළිදරව් 19:17-21.
දහස් අවුරුදු පාලනය අවසානයේදී මෙසියානු රාජ්‍යය මගින් දෙවි අරමුණු කළ සියල්ල ඉටු කරනු ඇත. ඉන්පසු “පුත්‍රයාද තමන්ට සියල්ල යටත් කර දුන් තැනැත්තාට යටත් වන්නේය. එසේ කරන්නේ දෙවි සියල්ලන්ට සියල්ල වන පිණිසය.” (1 කොරින්ති 15:28, NW) ඉන්පසු අවසන් පරීක්ෂණයක් තිබෙනු ඇත. මෙම පරීක්ෂණයෙන් පසු සාතන්වද ඔහුගේ භූතයන්වද නොමඟ ගිය කැරලිකාර මිනිසුන්වද ‘දෙවන මරණයට’ පත් කිරීමෙන් සදාකාලයටම පහ කර දමනු ලබනවා ඇත. (එළිදරව් 20:7-15) ඉන්පසු ස්වර්ගයෙහිද පොළොවෙහිද සිටින සියලුම බුද්ධිමත් මැවිලි යෙහෝවාගේ ප්‍රේමණීය පරමාධිපත්‍යයට ප්‍රීතියෙන් යටත් වනු ඇත. යේසුස්ගේ ආදර්ශ යාච්ඤාවේ වදන් සෑම පැත්තකින්ම සම්පූර්ණ ලෙස ඉටු වනු ඇත්තේ එලෙසයි.—1 යොහන් 4:8.
[පාදසටහන්වල]
a යේසුස්ගේ ආදර්ශ යාච්ඤාවේ මෙම කොටස එක් අනුවාදයක (The Bible—An American Translation) පරිවර්තනය කර තිබෙන්නේ මෙසේය. “ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත පොළොවෙහිද ස්වර්ගයෙහිද ඉටු වේවා!”—මතෙව් 6:9, 10.
b ආත්මික අර්ථයෙන් පහ කර දමා තිබෙන මේ තත්වය ප්‍රේරිත පේතෘස් සමාන කර දක්වන්නේ “සිරගෙයි” සිටීමටයි. කෙසේවෙතත්, අනාගතයේදී එම භූතයන්ව අවුරුදු දහසකට “ආගාධයට” දමනු ලැබීම ඔහු එයින් අදහස් කළේ නැත.—1 පේතෘස් 3:19, 20; ලූක් 8:30, 31; එළිදරව් 20:1-3, NW.