මුල්තැන දිය යුතු දේට මුල්තැන දීමට වගබලා ගන්න!
රැස්වීම් පැවැත්වෙන රාත්‍රියක්, නමුත් ඔබට වැඩ තිබෙනවා. ඔබ මුල්තැන දෙන්නේ කුමකටද?
ඔබ ස්වාමිපුරුෂයෙක් මෙන්ම පියෙක්. දවස පුරාම මහන්සි වී වැඩ කළ පසු, ඔබේ සිතුවිලි හවස සභා රැස්වීම් වැඩසටහන දෙසට යොමු වෙයි. ඔබ ඒ මොහොතේදීම වැඩ නතර කර යනවා නම්, ඇඟපත සෝදාගෙන, ඇඳුම් මාරු කර, රැස්වීමට යන්න පෙර මොනවා හරි ඉක්මනින් කාලා යන්න වෙලාව තිබෙනවා. හදිසියේම, ඔබේ ලොක්කා පැමිණ අතිකාල වැඩ කරන්න කියා ඔබට කියයි. ඔහු ඔබට හොඳින් ගෙවන බවට පොරොන්දු වෙයි. ඔබට මුදලුත් අවශ්‍යයි.
එහෙමත් නැත්නම් ඔබ භාර්යාවක් මෙන්ම මවක්. ඔබ රෑ කෑම පිළියෙළ කරද්දී, මැද්දේ නැති ඇඳුම් තොගයක් වෙත ඔබේ නෙත් දිව යයි; ඒවායින් සමහරක් හෙටට අවශ්‍ය වෙයි. ඔබ ඔබෙන්ම මෙසේ අසාගනියි, ‘මම අද රැස්වීමට ගියොත්, ඇඳුම් මදින්නේ කොයි වෙලාවටද?’ මෑතකදී පූර්ණ කාලීන රැකියාවක නිරත වෙන්න පටන්ගත් ඔබ, ජීවත් වෙන්න හම්බ කරන ගමන්ම ගෙදර දොරේ වැඩකටයුතු බලාගන්න එක කොයිතරම් අමාරුද කියා තේරුම්ගනිමිනුයි ඉන්නේ.
එහෙමත් නැත්නම් ඔබ ශිෂ්‍යයෙක්. ඔබේ කාමරයේ, ඔබේ මේසය ගෙදර වැඩ කරන්න තියෙන පොත් පත්වලින් පිරිලා තිබෙනවා. ඒවායින් වැඩි හරියක් පැවරුවේ ටික කාලෙකට පෙර වුණත් ඔබ ඒවා කල් දැම්ම නිසා දැන් වැඩ කීපයක්ම එක සැරේම කරන්න තිබෙනවා. ඔබේ ගෙදර වැඩ ඉවර කරන්න තියෙන නිසා රැස්වීමට යන්නේ නැතුව ගෙදර ඉන්න ඔබේ දෙමාපියන්ගේ අවසරය ඉල්ලීමට ඔබ පෙලඹෙනවා.
ඔබ මුල්තැන දෙන්නේ කුමකටද: බාහිර රැකියාවේදී අමතරව ලැබෙන වැඩටද? මැදීමටද? ගෙදර වැඩටද? එහෙමත් නැත්නම් සභා රැස්වීමටද? ආත්මික ආකාරයෙන් කියනවා නම්, මුල්තැන දිය යුතු දේට මුල්තැන දෙන්න කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? යෙහෝවාගේ දෘෂ්ටිකෝණය මොකක්ද?
මුලට පැමිණිය යුත්තේ කුමක්ද?
ඉශ්රායෙල්වරුන්ට දසපනත ලැබී ටික කලකට පසුව, මනුෂ්‍යයෙක් සබත් දවසේදී දර අහුළමින් ඉඳලා අහු වුණා. මේක ව්‍යවස්ථාවේ දැඩි ලෙස තහනම් කර තිබුණ දෙයක්. (ගණන් කථාව 15:32-34; ද්විතීය කථාව 5:12-15) ඔබ එහි සිටියා නම් මේ සිද්ධිය කොහොම විනිශ්චය කරයිද? ඔහු එසේ වැඩ කළේ සුඛෝපභෝගි ජීවන-රටාවක් ගත කරන්න නෙවෙයි නමුත් ඔහුගේ පවුලේ අවශ්‍යතා සැපයීමටයි කියා තර්ක කරමින්, ඔබ ඒ මනුෂ්‍යයාට සමාව දෙයිද? සබත් පවත්වන්න අවුරුද්ද පුරාම බොහෝ අවස්ථා තිබෙනවා කියාත්, සමහරවිට කලින් සැලසුම් කිරීමට ඒ මිනිසා අසමත් වුණු නිසා එක අවස්ථාවක් අතපසු වීම සම්බන්ධයෙන් පහසුවෙන්ම සමාව දිය හැකියි කියාත් ඔබ හේතු දක්වයිද?
යෙහෝවා මේ සිද්ධිය දෙස බැලුවේ ඊට වඩා බැරෑරුම් ලෙසයි. ‘ඒ මනුෂ්‍යයා සැබවින් මරනු ලැබිය යුතුය කියා යෙහෝවා මෝසෙස්ට පැවසූ’ බව බයිබලයේ සඳහන් කරනවා. (ගණන් කථාව 15:35) ඒ මනුෂ්‍යයා කළ දේ ගැන යෙහෝවාට එතරම් තදින් දැනුණේ මන්ද?
දර එකතු කරන්නත්, ආහාර, ඇඳුම් පැළඳුම් හා ඉඳුම් හිටුම් සම්බන්ධයෙන් තමන්ගේ අවශ්‍යතා සපුරාගන්නත් ජනයාට දවස් හයක් තිබුණා. හත්වන දවස ඔවුන්ගේ ආත්මික අවශ්‍යතා වෙනුවෙන් කැප කිරීමට තිබුණා. දර එකතු කිරීම වැරදි නොවුණත්, යෙහෝවාගේ නමස්කාරය සඳහා වෙන් කර තිබෙන කාලය එයට පාවිච්චි කිරීම වැරදි වුණා. ක්‍රිස්තියානීන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ නොසිටියත්, අදදින අපේ ප්‍රමුඛතා සුදුසු අන්දමින් තැබීමට මේ සිද්ධිය අපට පාඩමක් උගන්වන්නේ නැද්ද?—පිලිප්පි 1:10.
පාළුකරයේ අවුරුදු 40ක් ගත කළ පසු, ඉශ්රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල් වීමට සූදානම් වුණා. පාළුකරයේදී දිව්‍යමය ලෙස සැපයූ මන්නා කාලා ඇති වුණ සමහරු ආහාර වේලේ වෙනසක් සිදු වෙනවා දකින්න ආශාවෙන් හිටිය බවට කිසි සැකයක් නැහැ. “කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට” ඇතුල් වෙද්දී ඔවුන්ට නිසි දෘෂ්ටිකෝණයක් තබාගන්න උපකාර කිරීම සඳහා, “මනුෂ්‍යයා ජීවත්වෙන්නේ රොටිවලින් පමණක් නොවන බවත් [යෙහෝවාගේ] මුඛයෙන් නික්මෙන සියල්ලෙන් මනුෂ්‍යයා ජීවත්වන බවත්” යෙහෝවා ඔවුන්ට සිහිගැන්නුවා.—නික්මයාම 3:8; ද්විතීය කථාව 8:3.
තම “කිරි හා මීපැණි” සඳහා ඉශ්රායෙල්වරුන්ට මහන්සි වී වැඩ කරන්න සිදු වුණා. සේනාවන් පරාජය කිරීමටත්, ගෙවල් ගොඩනැඟීමටත්, කෙත්වල වගා කිරීමටත් තිබුණා. එහෙම වුණත්, ආත්මික කාරණා ගැන මෙනෙහි කිරීමට සෑම දවසකින්ම කාලය වෙන් කර තබන්න කියා යෙහෝවා ජනයාට අණ කළා. තම දරුවන්ට දෙවිගේ මාර්ග ඉගැන්වීමටත් ඔවුන්ට කාලය ගන්න සිදු වුණා. යෙහෝවා මෙසේ පැවසුවා: “මාගේ මේ වචන [මාගේ ආඥා] . . . නුඹ ගෙදර ඉන්න විටත් මාර්ගයෙහි යන විටත් නුඹ නිදාගන්න විටත් නැගිටින විටත් ඒවා ගැන කථාකරමින්, ඒවා නුඹලාගේ දරුවන්ට උගන්වන්න.”—ද්විතීය කථාව 11:19, 20.
අවුරුද්දකට තුන් වතාවක් දේශයෙහි සෑම පිරිමි ඉශ්රායෙල්වරයෙකුටම හා යුදෙව් ආගමට හැරුණ සෑම කෙනෙකුටම යෙහෝවා ඉදිරියේ පෙනී සිටීමට අණ කර තිබුණා. එවැනි අවස්ථාවලින් මුළු පවුලම ආත්මිකව ප්‍රයෝජනය ලබන බව වටහාගනිමින්, පවුල් ප්‍රධානීන් බොහෝදෙනෙක් තම භාර්යාව හා දරුවන්ට තමන් සමඟ යෑමට සැලසුම් යෙදුවා. නමුත් පවුලම පිට වී සිටින අතරේදී තමන්ගේ ගෙවල් හා වතු සතුරු ප්‍රහාරවලින් ආරක්ෂා කරන්න යන්නේ කවුද? යෙහෝවා මෙසේ පොරොන්දු වුණා: “නුඹ අවුරුද්දකට තුන් වරක් නුඹේ දෙවිවූ [යෙහෝවා] ඉදිරියෙහි පෙනෙන්ට යන කල්හි කිසිවෙක් නුඹේ දේශයට ආශා නොකරන්නේය.” (නික්මයාම 34:24) තමන් ආත්මික කාරණාවලට මුල්තැන දෙනවා නම්, තමන්ට ද්‍රව්‍යමය දේවල් අහිමි නොවනු ඇති බව විශ්වාස කිරීම සඳහා ඉශ්රායෙල්වරුන්ට ඇදහිල්ල අවශ්‍ය වුණා. යෙහෝවා ඔහුගේ වචනය සත්‍යය බවට ඔප්පු කළාද? ඔව්, ඇත්තෙන්ම!
පළමුව රාජ්‍යය සොයමින් සිටින්න
ආත්මික සාරධර්ම, සෑම දේටම වඩා ඉදිරියෙන් තැබීමට යේසු තම අනුගාමිකයන්ට ඉගැන්නුවා. කන්ද උඩ දේශනාවේදී ඔහු තම සවන් දෙන්නන්ට මෙසේ අවවාද කළා: “ ‘අප කන්නේ කුමක්ද?’ ‘අප බොන්නේ කුමක්ද?’ හෝ ‘අප අඳින්නේ කුමක්ද?’ කියා කිසිවිටක කනස්සලු නොවන්න. . . . රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද පළමුව සොයමින් සිටින්න; එවිට මේ සියලු [අත්‍යවශ්‍ය ද්‍රව්‍යමය] දේවල් ඔබට එකතු කරනු ලැබේ.” (මතෙව් 6:31, 33, NW) යේසුගේ මරණයෙන් වැඩි කලක් යෑමට පෙර, අලුත බව්තීස්ම වූ ක්‍රිස්තියානීන් එම උපදෙස පිළිපැද්දා. පොදු යුගයේ 33දී පෙන්තකොස්ත උත්සවය සැමරීමට යෙරුසලමට ගමන් කළ බොහෝදෙනෙක්, යුදෙව්වන් හෝ යුදෙව් ආගමට හැරුණු අයයි. එහිදී, අනපේක්ෂිත දෙයක් සිදු වුණා. ඔවුන්ට යේසුස් ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය අහන්න ලැබුණු අතර, එය වැලඳගත්තා. ඔවුන්ට ලැබුණ නව ඇදහිල්ල ගැන වැඩි යමක් ඉගෙනීමට ඔවුන් යෙරුසලමෙහි නැවතුණා. ඔවුන්ගේ ආහාර පානාදිය හිඟ වෙන්න පටන්ගත් නමුත්, ද්‍රව්‍යමය පහසුකම් වැදගත්කමින් දෙවන තැනට පත් වුණා. ඔවුන්ට මෙසියස්ව සම්බ වී තිබුණා! ඔවුන්ගේ ක්‍රිස්තියානි සහෝදරයන් තමන්ට තිබුණ ද්‍රව්‍යමය දේවල් හවුලේ බෙදාගත් නිසා සියලුදෙනාටම නොකඩවා “ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද . . . යාච්ඤාවලද ස්ථිරලෙස [පැවතීමට]” හැකි වුණා.—ක්‍රියා 2:42.
කාලයාගේ ඇවෑමෙන්, රැස්වීම්වලදී නිතිපතා ඇසුර සඳහා ඇති අවශ්‍යතාව සම්බන්ධයෙන් සමහර ක්‍රිස්තියානීන්ගේ දෘෂ්ටිය බොඳ වී ගියා. (හෙබ්‍රෙව් 10:23-25) තමන් සඳහා මෙන්ම තම පවුල් සඳහා මූල්‍යමය සුරක්ෂිතබවක් සහතික කරගැනීමට වෑයම් කරන අතරතුරේදී, ආත්මික කාරණා අතපසු කරමින් සමහරවිට ඔවුන් ද්‍රව්‍යවාදීන් බවට පත් වෙන්න ඇති. රැස්වීම් අත් නොහරින්න කියා තම සහෝදරයන්ගෙන් උදක්ම ඉල්ලුවාට පසුව, ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: “නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි [ඔහුම] කියා තිබේ.”—හෙබ්‍රෙව් 13:5.
පාවුල්ගේ උපදෙස ඉතා කාලෝචිත එකක් බවට පත් වුණා. පාවුල් තම ලිපිය හෙබ්‍රෙව්වරුන්ට ලියා අවුරුදු පහකට පමණ පසුව, සෙස්ටියස් ගැලස්ගේ රෝම හමුදාව යෙරුසලම වැටලුවා. ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ට යේසුගේ අවවාදය මතක් වුණා: “[මෙය] නුසුදුසු ස්ථානයේ සිටිනවා නුඹලා යම් කලක දකින්නහුද . . . , ගෙය උඩ සිටින්නා බසින්ටවත් තමාගේ ගෙයින් කිසිවක් ගන්නා පිණිස එහි ඇතුල්වෙන්ටවත් නොයෙදේවා. කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත්‍ර ගන්ට හැරී ආපසු නොයේවා.” (මාර්ක් 13:14-16) ඔවුන්ගේ ගැළවීම රඳාපැවතුණේ ඔවුන්ගේ රැකියාවේ ස්ථාවරත්වය මතවත්, ඔවුන් සතු ද්‍රව්‍යමය වස්තුවල වටිනාකම මතවත් නොව, නමුත් යේසුගේ උපදෙස්වලට තමන් දක්වන කීකරුකම මත බව ඔවුන් දැනගෙන හිටියා. මුදල්වලට තිබෙන තණ්හාව අත් නොහැරිය අයට වඩා, පාවුල්ගේ අවවාදයට ප්‍රතිචාරය දක්වා ආත්මික කාරණාවලට මුල්තැන දුන් අයට නිවස, රැකියාව, ඇඳුම් හා රැකබලාගත් පෞද්ගලික වස්තු පසෙකලා කඳුකරයට පලායෑම පහසු වුණා.
සමහරු අදදින මුල්තැන දිය යුතු දේට මුල්තැන දෙන අයුරු
ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් අදදින තම සහෝදරයන්ගේ නිරතුරු ඇසුර අගය කරන අතර, රැස්වීම්වලට යෑම සඳහා බොහෝදෙනෙක් පරිත්‍යාගයන් කරනවා. සමහර ප්‍රදේශවල සොයාගත හැක්කේ වැඩමුරයට අනුව කරන රැකියා පමණයි. තම සමාජයේ වැඩිදෙනෙක් විනෝද වීමට කැමති සෙනසුරාදා රාත්රිවල තම සෙසු සේවකයන්ට වැඩමුරය වැටී තිබෙන විට, රැස්වීම් පැවැත්වෙන රාත්රිවල වැඩමුරය ඔවුන්ට දී ඔවුන්ගේ සෙනසුරාදා රාත්‍රි වැඩමුරය කිරීමට එක සහෝදරයෙක් ඉදිරිපත් වෙනවා. වැඩමුරයට අනුව වැඩ කරන වෙනත් සහෝදරයන්, තමන්ගේම සභාවේ රැස්වීම්වලට යෑම වළක්වන රැකියාවක නිරත වනවා නම්, ඒ කිට්ටුව තිබෙන සභාවක රැස්වීම්වලට යනවා. මෙයාකාරයෙන්, ඔවුන් එක රැස්වීමක්වත් අතපසු කරන්නේ නැති තරම්. කැනඩාවේ මෑතකදී උනන්දුවක් දැක්වූ කෙනෙක්, දිව්‍යාණ්ඩු සේවා පාසැලේ හා සේවා රැස්වීමේ වැදගත්කම විගස වටහාගත් නමුත්, ඇයට රැස්වීම්වලට යෑමට රැකියාවේ වේලාවන් බාධාවක් වුණා. මේ නිසා, මේ වැදගත් රැස්වීම්වලට යන්න තමාව නිදහස් කරගත හැකි වන පිණිස ඇගේ වැඩමුරයේ වැඩ කිරීමට ඇය සෙසු සේවකයෙකුට මුදල් ගෙව්වා.
නිදන්ගත අසනීපයකින් පෙළෙන බොහෝදෙනෙක් රැස්වීමක් අතපසු කරන්නේ කලාතුරකින්. ඔවුන්ට රාජ්‍ය ශාලාවේ රැස්වීම්වලට යන්න නොහැකි අවස්ථාවලදී, දූරකථන සම්බන්ධ වීමකින් හෝ පටිගත කරන ලද්දක් මගින් ඔවුන් වැඩසටහනට සවන් දෙනවා. “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මගින් සපයන යෙහෝවාගේ ආත්මික සැපයුම් සඳහා ඔවුන් ප්‍රශංසනීය අගයක් දක්වනවා! (මතෙව් 24:45) සාත්තු කරන්නාට සභා රැස්වීමට යන්න හැකිවීම සඳහා, සහෝදරයෙක් හෝ සහෝදරියක් දෙමාපියා සමඟ ඉන්න ඉදිරිපත් වන විට සාත්තු කරන්නන් වශයෙන් මෙහෙ කරන ක්‍රිස්තියානීන් ඇත්තෙන්ම එය අගය කරනවා.
කලින් සැලසුම් කරන්න!
තමන්ගේම ආත්මික අවශ්‍යතා ගැන සැලකිලිමත් වන දෙමාපියන්, තම දරුවන්ට ක්‍රිස්තියානි රැස්වීම් අගය කිරීමට උපකාර කරනවා. සාමාන්‍ය ප්‍රතිපත්තියක් හැටියට, දරුවන්ට ගෙදර වැඩ කිරීමට තිබෙන විට, ඒවා කල්දැමීමෙන් එකතු වීමට ඉඩහරිනවා වෙනුවට, පැවරුම ලැබුණු වහාම ඒවා හමාර කිරීම ඔවුන් දරුවන්ගෙන් අපේක්ෂා කරනවා. රැස්වීම් තිබෙන දවස්වලදී දරුවන් පාසැලෙන් ගෙදර පැමිණි විගස ඔවුන්ගේ ගෙදර වැඩ අවසන් කරනවා. විනෝදාංශ හා වෙනත් ක්‍රියාකාරකම් සභා රැස්වීම්වලට බාධාවක් වීමට ඉඩහරින්නේ නැහැ.
ස්වාමිපුරුෂයෙක් මෙන්ම පියෙක් වශයෙන්, ඔබ රැස්වීම්වලට යෑමට ප්රමුඛ ස්ථානය දෙනවාද? භාර්යාවක් මෙන්ම මවක් හැටියට, ඔබ රැස්වීම්වලට වෙලාව වෙන් කිරීම සඳහා ඔබේ වගකීම් සැලසුම් කිරීමට වෑයම් කරනවාද? නහඹරයෙකු වශයෙන්, ඔබ මුල්තැන දෙන්නේ කුමකටද? ගෙදරවැඩටද? එහෙමත් නැත්නම් රැස්වීම්වලටද?
සභා රැස්වීමක් කියන්නේ යෙහෝවාගේ ප්‍රේමනීය සැපයුමක්. ඒ විධිවිධානයෙහි හවුල් වීමට සෑම ප්රයත්නයක්ම දැරිය යුතුයි. ඔබ මුල්තැන දිය යුතු දේට මුල්තැන දෙනවා නම් යෙහෝවාගේ මහඟු ආශීර්වාද ඔබට ලැබේවි!