ඔබටත් කුණාටුවලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්
මේ අසීරු කාලවලදී හුඟදෙනෙක් කුණාටු බඳු විපත්තිවලට මුහුණ දෙමින් සිටිනවා. සැබෑ ක්‍රිස්තියානීන්ද ඒ දේවල්වලට මුහුණ දුන්නත් දෙවිට ඇති ප්‍රේමය නිසාත් දෙවිගේ ප්‍රතිපත්තිවලට ඇලී සිටීම නිසාත් ඒවා විඳදරාගන්න ඔවුන්ට හැකි වී තිබෙනවා. ඒ කොහොමද? එයට පිළිතුරු යේසුස් පැවසූ එක් උපමාවකින් අපට සොයාගන්න පුළුවන්. ඔහු තමාගේ කීකරු ගෝලයන්ව සමාන කළේ ‘පර්වතය මත තම ගෙය ගොඩනැඟූ නුවණැති මිනිසෙකුටයි.’ ඔහු මෙසේ පැවසුවා. “වැසි වැස, ගංවතුර ගලා, තදින් සුළං හමා, ඒ ගෙට ගැසීය. නමුත්, එය පර්වතය මත පිහිටා තිබුණු බැවින් බිඳ වැටුණේ නැත.”—මතෙව් 7:24, 25.
යේසුස් පැවසූ උපමාවේ සිටි මිනිසා නුවණැති මිනිසෙක්. ඒ වුණත් ඔහුටත් තද වැස්ස, ගංවතුර හා තද සුළඟ වැනි විපත්තිවලට මුහුණ දෙන්න සිදු වූ බව ඔබ දුටුවාද? මේ නිසා අද දින සිටින යේසුස්ගේ අනුගාමිකයන් සියලුම විපත්වලින් මිදී නිතරම සාමය සතුට පිරී ජීවිතයක් ගත කරන බව ඔහු අදහස් කළේ නැහැ. (ගීතාවලිය 34:19; යාකොබ් 4:13-15) ඒ වෙනුවට ඔහු පැවසුවේ දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට නම් එවැනි අසීරු තත්වයන්ට හා විපත්තිවලට සාර්ථකව මුහුණ දීමට හැකි වන බවයි.
යේසුස් තම උපමාව ආරම්භ කළේ මේ ආකාරයටයි. “මාගේ මේ වචන අසා ඒවා පිළිපදින සෑම කෙනෙකුවම, පර්වතය මත තම ගෙය ගොඩනැඟූ නුවණැති මිනිසෙකුට සමාන කරනු ලැබේ.” මෙහිදී යේසුස් කතා කරන්නේ ගෙයක් ගොඩනඟන එක ගැන නෙවෙයි. ඒ වෙනුවට ක්‍රිස්තියානියෙකු දෙවිගේ මඟ පෙන්වීමට එකඟව තම ජීවිතය “ගොඩනඟා” ගත යුතු ආකාරය ගැනයි. යේසුස්ගේ වචනවලට හොඳින් කන් දෙන අයට තම සිතීමේ හැකියාව යොදාගෙන නිවැරදි තීරණ ගන්න පුළුවන්. ඔවුන් ඉගෙනගන්නා දේ ක්‍රියාවට නැංවීමෙන් පෙන්වන්නේ, ශක්තිමත් පර්වතයක් හා සමාන යේසුස්ගේ ඉගැන්වීම්වලට එකඟව තම චේතනා සකස් කරගෙන ඇති බවයි. මෙම උපමාවේ සඳහන් පර්වතය තිබෙන්නේ පොළොව මතුපිට නොවේ. එය තිබෙන්නේ පොළොවේ ‘ගැඹුරටම’ වෙන්නයි. එමනිසා එය හාරා සොයා ගැනීමට නම් වෑයමක් දරන්න අවශ්‍යයි. (ලූක් 6:48) ඒ හා සමානවම යේසුස්ගේ අනුගාමිකයන්ද දෙවිට ළං වෙන්න ඔවුන්ට උපකාර කරන යහපත් ගුණාංග වර්ධනය කරගැනීමට මහත් උත්සාහයක් දරනවා.—මතෙව් 5:5-7; 6:33.
කුණාටු හා සමාන අසීරුතා යේසුස්ගේ අනුගාමිකයන් මතට හමා ඇවිත් ඔවුන්ගේ විශ්වාසවන්තභාවය පරීක්ෂා කරන විට සිදු වන්නේ කුමක්ද? ඔවුන් කැමැත්තෙන්ම යේසුස්ගේ ඉගැන්වීම්වලට කීකරු වී යහපත් ගුණාංග වර්ධනය කරගෙන සිටින නිසා එවන් අසහනකාරී තත්වයන්වලදී මෙන්ම පැමිණීමට නියමිත මේ දුෂ්ට සමාජයේ විනාශයටත් සාර්ථකව මුහුණ දීමට හැකි වෙනවා. (මතෙව් 5:10-12; එළිදරව් 16:15, 16) යේසුස්ගේ ඉගැන්වීම් පිළිපැදීමෙන් බොහෝදෙනෙකුට කුණාටු බඳු කරදරවලට හොඳින් මුහුණ දීමට හැකි වී තිබෙනවා. ඔබටත් එසේ සාර්ථකව ගැටලු විසඳාගත හැකියි.—1 පේතෘස් 2:21-23.