බයිබලයේ දෘෂ්ටිකෝණය
දෙවිගේ නෙත් හමුවේ ඔබ වටියි!
“මගේ මුළු ජීවිත කාලය පුරාම වගේ මා තුළ නොවටිනාකමේ හැඟීම් පිරී තිබිලා තියෙනවා. මම යෙහෝවාට මොනතරම් ප්‍රේම කළත්, ඔහුට සේවය කිරීමට මොනතරම් වෑයමක් දැරුවත් ඒක ප්‍රමාණවත් මදි කියලා මට හැමවිටම හැඟෙනවා” යයි එක් ක්‍රිස්තියානි ස්ත්‍රියක් ලිව්වා.
නුසුදුසුබවේ හෝ නොවටිනාබවේ ගැඹුරු හැඟීම්වලින් ව්‍යාකූලව සිටින කෙනෙක්ව ඔබ දන්නවාද? නැතහොත් ඔබටත් ඇතැම් අවස්ථාවලදී එම හැඟීම් තිබෙනවාද? එවැනි හැඟීම් දෙවිගේ නමස්කාරකයන් අතර පවා අසාමාන්‍ය ඒවා නොවෙයි. “කටයුතු කිරීමට අසීරු” මෙම ‘අර්බුදකාරි කාලවල’ ජීවත් වීමේදී ඇති වන ප්‍රතිඵලවලින් මිදීමට කිසිවෙකුට නොහැකියි. බොහෝදෙනා, “අන්තිම දවස්වලදී” බෙහෙවින් දක්නට ඇති “ආත්ම දමනය නැති, කෲර, යහපතට ප්‍රේම නොකරන” පුද්ගලයන්ගෙන්, නොසලකාහැරීම හා පීඩාවන් අද්දැක තිබෙනවා. (2 තිමෝති 3:1-5, NW) එවැනි වේදනාකාරි අද්දැකීම්, අන්තයටම නොවටිනාබවේ හැඟීම් ඇති කරමින් ගැඹුරු චිත්තවේගීය කැළැල් ඉතිරි කළ හැකියි.
තවත් අවස්ථාවලදී, තමුන්ටම වුවමනාවට වඩා උසස් ප්‍රමිති තබාගැනීමෙන් සමහරෙකුට නිෂේධාත්මක හැඟීම් ඇති විය හැකියි. මේ ප්‍රමිති අත් කරගැනීමට නොහැකි වීම තමන් හොඳ මදියි කියා ඔවුන් තුළ ඇති හැඟීම තවත් ස්ථිර කරනවා. හේතුව කුමක් වුවත්, නොවටිනාබවේ හැඟීම්වලින් ව්‍යාකූලව සිටින අයට දෙවි තියා වෙනත් කෙනෙක් හරි තමන්ට ප්‍රේම කරන්නේ මන්දැයි තේරුම්ගැනීම අසීරු විය හැකියි. ඇත්තෙන්ම, තමන්ට ආදරය කොහොමටවත් ලැබිය නොහැකියි කියාත් ඔවුන් සිතිය හැකියි.
නමුත් යෙහෝවා දෙවිට හැඟෙන්නේ ඒ ආකාරයට නොවෙයි! තම විරුද්ධකාරයා වූ යක්ෂයා වන සාතන්ගේ “කපටි උපායන්වලට” එරෙහිව ආරක්ෂා වීමට යෙහෝවා දෙවි ඔහුගේ වචනය තුළින් අපට අවවාද කරනවා. (එපීස 6:11, යුදෙව් නව තෙස්තමේන්තුව, [ඉංග්‍රීසියෙන්]) අපේ දෙවිට නමස්කාර කිරීමෙන් අපව නැවැත්වීමට වෑයම් කරමින් සාතන් කපටි උපායන් පාවිච්චි කරනවා. සාතන් එම පරමාර්ථය ඉටු කරගැනීම සඳහා අප තුළ අපි වටින්නේ නැහැ, යෙහෝවා කවදාවත් අපව ආදරණීය අය වශයෙන් සලකන්නේ නැහැ යන හැඟීම් වර්ධනය කරමින් සිටිනවා. නමුත් සාතන් “බොරුකාරයෙක්”—ඇත්තවශයෙන්ම, “බොරුවේ පියාය.” (යොහන් 8:44) එබැවින්, ඔහුගේ කපටි උපායන්වලින් අප මුළා නොවිය යුතුයි! යෙහෝවාගේ නෙත් හමුවේ අපේ වටිනාකම සම්බන්ධයෙන් අපට නැවත නැවත තහවුරු කරමින් යෙහෝවා තමා ගැන බයිබලයෙහි පවසනවා.
අපේ වටිනාකම සම්බන්ධයෙන් සමබර දෘෂ්ටියක්
අධෛර්යයට පත්වීමෙන් ඇති විය හැකි නිෂේධාත්මක බලපෑම ගැන බයිබලය අනතුරු අඟවනවා. හිතෝපදේශ 24:10 මෙසේ ප්‍රකාශ කරයි: “නුඹ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් නුඹේ ශක්තිය අල්පය.” අප තුළ දිගටම පවතින නිෂේධාත්මක හැඟීම්, අප තුළ දුර්වල හා පහසුවෙන් පීඩාවට ලක් වන හැඟීමක් ඇති කරමින් අපේ ශක්තිය සොරාගත හැකියි. සාතන් මෙය හොඳින් දන්න බවට ඔබට ස්ථිරත්වයක් තබාගත හැකියි. අපේ හෘදය තුළ පවතින නොවටිනාකමේ හැඟීම් නිසා අපි වේදනා විඳිනවා නම් එය ඊටත් වඩා දුෂ්කරයි. කෙසේවුවත්, සාතන් එවැනි හැඟීම්වලින් ප්‍රයෝජන ගැනීමට වෑයම් කරනවා නම්, තත්වය ඊටත් වඩා දුෂ්කර අතට හැරෙයි.
එසේනම්, අපේ වටිනාකම සම්බන්ධයෙන් අපට සුදුසු, සමබර දෘෂ්ටියක් තිබීම වැදගත් වෙනවා. “නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, . . . පමණදැන සිතන හැටියට, . . . නුඹලා අතරෙහි එකිනෙකාට කියමි” යයි ප්‍රේරිත පාවුල් ප්‍රබල අයුරින් පැවසුවා. (රෝම 12:3) තවත් පරිවර්තනයක් මේ වචන මෙසේ දක්වයි: “තමාගේ සැබෑ වටිනාකමට ඉහළින් තමාව තක්සේරු නොකර, තමා ගැන සාධාරණ තක්සේරුවක් කරන ලෙස මම සෑමදෙනාටම පවසමි.” (චාල්ස් බී. විලියම්ස් [ඉංග්‍රීසියෙන්]) එබැවින් අප ගැනම සමබර දෘෂ්ටිකෝණයක් තබාගැනීමට ශුද්ධ ලියවිල්ල අපට උනන්දු කරනවා. එක් අතකින්, අප අහංකාර නොවී සිටිය යුතුයි; අනික් අතට, අපි අනිත් අන්තයටත් නොයෑමට වෑයම් කළ යුතුයි. මන්ද පාවුල් පමණ දැන සිතන්න කියා පවසන බැවින් අප ගැන යම් ප්‍රමාණයකට සිතීම අත්‍යවශ්‍යයි. ඔව්, දේවානුභාවයෙන් පාවුල් අඟවන්නේ යෙහෝවාගේ නෙත් හමුවේ අපි හැමකෙනාටම වටිනාකමක් තිබෙන බවයි.
“නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව” කියා යේසු පැවසූ වචනවල ආත්ම-වටිනාකමේ සමබර හැඟීමක් අඟවනවා. (මතෙව් 22:39) “නුඹට මෙන්” යන වචනවලින් අපට ආත්ම-වටිනාකමේ හෙවත් ආත්ම-ගෞරවයේ යම් හැඟීමක් තිබිය යුතු බව අඟවනවා. අපේ වැරදි තිබෙන බව හා අප වැරදි කරන බව ඇත්තයි. නමුත් අපි දෙවිව සතුටු කිරීමට වෑයම් කරන විට, අපේ අඩුලුහුඬුකම් ගැන කනගාටු වන විට සහ ඔහුගේ සමාව සොයන විට වුවත් අපට යම් දුරකට ආත්ම-වටිනාකමේ හැඟීමක් ඇතුව සිටිය හැකියි. අපේ විවේචනාත්මක හෘද ආත්ම-ගෞරවයක් නැති බව තරයේ කියා සිටිය හැකි නමුත් “[දෙවි] අපේ සිතට [හෘදවලට, NW] වඩා උතුම්” බව මතක තබාගන්න. (1 යොහන් 3:20) වෙනත් වචනවලින් පවසනවා නම්, අපි අප දෙස බලන ආකාරයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකටයි යෙහෝවා අප දෙස බලන්නේ.
බිඳුණු හෘද, තැළුණු ආත්ම
ගීතිකාකාර දාවිත් මෙසේ ලිව්වා: ‘යෙහෝවා බිඳුණු සිත් [හෘද, NW] ඇත්තන්ට ළංව සිටින්නේය, තැළුණු ආත්ම ඇත්තන් ගළවන්නේය.’ (ගීතාවලිය 34:18) මේ පදය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, මතෙව් හෙන්රිගේ සමස්ත බයිබල් විවරණය (ඉංග්‍රීසියෙන්) මෙසේ පවසයි: “එය ධර්මිෂ්ඨයාගේ චරිත ලක්ෂණයයි . . . ඔවුන් බිඳුණු හෘදයක් හා පසුතැවෙන ආත්මයක් ඇති අයයි; පාපය නිසා යටහත්ව සිටියි; තමන්ගේ කිසිම වටිනාකමක් නැති බව හැඟෙයි; තමන්ගේම නෙත් හමුවේ ඔවුන් පහත් වන අතර තමන්ගේම වටිනාකම සම්බන්ධයෙන් ඔවුන්ට කිසි නිසැකකමක් නැත.”
‘හෘද බිඳී’ ඇති හෝ “තැළුණු ආත්ම” ඇති අයට යෙහෝවා හුඟාක් ඈත්ව සිටින බවක් හා තමන් ගැන යෙහෝවා සලකන්නේ නැති තරමටම තමන් නොවැදගත් බවක් හැඟිය හැකියි. නමුත් කාරණාව එය නොවෙයි. ‘තමන්ගේම නෙත් හමුවේ පහත් වන’ අයව යෙහෝවා අත්හරින්නේ නැති බවට දාවිත්ගේ වචන අපට සහතික කරනවා. එවැනි අවස්ථාවලදී අපට ඔහුව වෙන කවරදාකටත් වඩා අවශ්‍ය බව අපේ දයානුකම්පිත දෙවි දන්නවා; එමෙන්ම ඔහු අපට කිට්ටුවෙන් සිටිනවා.
උදාහරණයක් සලකා බලන්න. වසර කීපයකට පෙර මවක් ඇගේ දෙහැවිරිදි පුතාව වහාම රෝහලට ගෙන ගියා; එසේ ගෙන ගියේ ඔහු ගිරිසන නම් දරුණු රෝගයකින් පීඩා විඳිමින් සිටි නිසයි. ළමයාව පරීක්ෂා කළ පසු, රාත්‍රිය පුරාම දරුවාව රෝහලේ තබාගන්න තමන්ට සිදු වෙනවා කියා වෛද්‍යවරුන් මවට දැනුම් දුන්නා. මව ඒ රාත්‍රිය ගත කළේ කොතැනද? රෝහලේ ඇගේ පුතාගේ ඇඳ ළඟ තිබුණ පුටුවකයි. ඇගේ කුඩා දරුවා අසනීපයෙන් සිටි අතර, ඇයට වුවමනා වුණා ඔහු ළඟටම වී සිටින්න. අපව තමන්ගේම ස්වරූපයෙන් සාදා තිබෙන අපේ ප්‍රේමනීය ස්වර්ගික පියාගෙන් ඇත්තෙන්ම අපට ඊටත් වඩා යමක් අපේක්ෂා කළ හැකියි! (උත්පත්ති 1:26; යෙසායා 49:15) අපේ ‘හෘද බිඳී’ තිබෙන විට, ප්‍රේමනීය දෙමාපියෙක් වගේ යෙහෝවා ඉමහත් සෝදිසියෙන්, සවන් දෙමින්, උපකාර කිරීමට සූදානම්ව අපට ‘ළං’ වී සිටින බව ගීතාවලිය 34:18හි ඇති සිතට කාවදින වචන අපට සහතික කරනවා.—ගීතාවලිය 147:1, 3.
“නුඹලා බොහෝ ගේකුරුල්ලන්ට වඩා වටින්නහුය”
තම භූමික දේවසේවයේ නිරත වූ සමයේදී යේසු යෙහෝවාගේ සිතුවිලි හා හැඟීම් ගැන බොහෝමයක් හෙළි කළා; යෙහෝවාට තම භූමික සේවකයන් ගැන හැඟෙන ආකාරයත් ඊට ඇතුළත් කළා. යෙහෝවාගේ නෙත් හමුවේ තම ගෝලයන් කොතරම් වටිනවාද කියා යේසු එක වතාවකට වඩා සහතික කළා.—මතෙව් 6:26; 12:12.
උදාහරණයක් හැටියට, තම ගෝලයන් සෑමදෙනාගේම පෞද්ගලික වටිනාකම ගැන නිදර්ශනය කරමින් යේසු මෙසේ පැවසුවා: “ගේකුරුල්ලන් දෙදෙනෙකු ශතයකට නොවිකුණද්ද? එහෙත් උන්ගෙන් එකෙක්වත් නුඹලාගේ [පියා] නොදැනුවත්ව බිම වැටෙන්නේ නැත. නුඹලාගේ සියලු හිසකේ පවා ගණන්කර තිබේ. එබැවින් භය නොවෙන්න; නුඹලා බොහෝ ගේකුරුල්ලන්ට වඩා වටින්නහුය.” (මතෙව් 10:29-31) යේසුගේ මුල් සියවසේ සවන් දෙන්නන්ට එම වචනවලින් අදහස් වුණේ කුමක්ද කියා සලකා බලන්න.
ආහාර සඳහා ප්‍රයෝජනයට ගත් සියලුම කුරුල්ලන්ගෙන් පැහැදිලිවම ලාභම කුරුල්ලන් වුණේ ගේකුරුල්ලනුයි. මේ කුඩා කුරුල්ලන්ව සාමාන්‍යයෙන් පිහාටු සුද්ද කර, ලී කෝටුවල ඇන පුලුස්සනවා. තමන්ට කොපමණ ගේකුරුල්ලන් මිල දී ගත හැකිද කියා කාසි ගණන් කරමින් වෙළඳපොළෙහි සිටි දිළිඳු ස්ත්‍රීන්ව යේසු දැක ඇති බවට සැකයක් නැහැ. කුරුල්ලන් කොතරම් අඩු වටිනාකමක් ගත්තාද කියනවා නම් සුළු වටිනාකමක් ඇති කාසියකට (වචනානුසාරයෙන්ම, ශත පහකට වඩා අඩු වටිනාකමක් ඇති අසේරියන් කාසියකට) ගේකුරුල්ලන් දෙන්නෙක් මිල දී ගැනීමට කෙනෙකුට හැකි වුණා.
යම් කාලයකට පසු යේසු මේ නිදර්ශනය යළිත් සඳහන් කළ නමුත් සුළු වෙනසක් ඇතුවයි එය සඳහන් කළේ. ලූක් 12:6ට අනුව, යේසු මෙසේ පැවසුවා: “ගේ කුරුල්ලන් පස් දෙනෙක් ශත දෙකකට නොවිකුණද්ද?” ඒ ගැන කල්පනා කර බලන්න. සුළු වටිනාකමක් ඇති එක කාසියකට, කෙනෙක් ගේකුරුල්ලන් දෙන්නෙක් මිල දී ගත්තා. නමුත් ඔහු කාසි දෙකක් වියදම් කිරීමට සූදානම්ව සිටියා නම්, ඔහුට ගේකුරුල්ලන් හතරදෙනෙක් නොව නමුත් පස්දෙනෙක් ලැබුණා. වැඩිපුර දෙන කුරුල්ලාව දෙන්නේ හරියට උගේ කිසි වටිනාකමක් නැතුවා වාගෙයි. ‘එහෙත් උන්ගෙන් එකෙක්වත් [නොමිලේ ලැබූ එකාව පවා] දෙවි ඉදිරියෙහි මතක නැති නොවන්නේය.’ නිදර්ශනය අදාළ කරමින්, යේසු මෙසේ නිගමනය කළා: “නුඹලා බොහෝ ගේ කුරුල්ලන්ට වඩා අගේය.” (ලූක් 12:7) ඔහුට සවන් දුන් අයට එම වචන මොනතරම් දිරිගැන්වීමක් වන්න ඇද්ද!
යේසුගේ හද උණුසුම් කරවන නිදර්ශනයෙන් දැක්වෙන කරුණ ඔබට වැටහුණාද? කුඩා කුරුල්ලන් පවා යෙහෝවාට වටිනාකමකින් යුක්ත නම්, ඔහුගේ භූමික සේවකයන්ව ඔහුට ඊට වඩා කොපමණ වටිනවාද! මහත් සෙනඟක් අතරේ සිටියත් යෙහෝවාගේ නෙත්වලින් අප ගිලිහී යන්නේ නැහැ. අපි හැමකෙනාම යෙහෝවාට මොනතරම් වටිනවාද කියතොත්, අපි සම්බන්ධයෙන් හැම සුළු කරුණක්ම පවා ඔහු සැලකිල්ලට ගන්නවා. අපේ හිසේ හැම කෙස් ගහක්ම ඔහු ගණන් කර තිබෙනවා.
ඇත්තෙන්ම, යෙහෝවාට සේවය කිරීමෙන් අපව වැළැක්වීම සඳහා, සාතන්, නොවටිනාබවේ හැඟීම්වලින් අයුතු ප්‍රයෝජන ගැනීම වැනි ඔහුගේ “කපටි උපායන්” යොදනවා. නමුත් සාතන්ට දිනන්න ඉඩ දෙන්න එපා! මුලදී සඳහන් කළ ක්‍රිස්තියානි ස්ත්රියව මතකයට නඟාගන්න. අපේ හැඟීම්වලින් ආත්මාර්ථකාමී ලෙස ප්‍රයෝජන ගැනීමට සාතන් දරන වෑයම් පිළිබඳව අනතුරු ඇඟෙවූ මුරටැඹ සඟරාවේ ලිපියකින් ඇය උපකාර ලැබුවා.a ඇය මෙසේ පවසනවා: “සාතන් මාව අධෛර්යය කරන්න මගේ හැඟීම් යොදාගන්න වෑයම් කරන බව මට කවදාවත් වැටහුණේ නැහැ. මෙය දැන සිටීම මේ හැඟීම් සමඟ පොරබැදීමට මට පෙලඹීමක් ඇති කරනවා. දැන් මට ඔළුව කෙළින් තියාගෙන සාතන්ගේ මේ ප්‍රහාරවලට මූණ දෙන්න පුළුවන්.”
යෙහෝවා ‘සියලු දේම දන්නවා.’ (1 යොහන් 3:20) ඔව්, අපි දැන් අද්දකින දේ ඔහු දන්නවා. අපේ ආත්ම-ගරුත්වයට හානි පැමිණුණා විය හැකි අප අතීතයේදී අද්දැක ඇති දේත් ඔහු දන්නවා. මතක තබාගන්න, යෙහෝවා අප දෙස බලන ආකාරයයි වැදගත් වන්නේ! අපි ආදරය ලැබිය නොහැකි අය හෝ වටින්නේ නැති අය කියා අපි අප ගැන මොනතරම් සිතුවත්, තම සේවකයන් හැම කෙනෙකුම ඔහුට වටින බව යෙහෝවා අපට යළි යළිත් තහවුරු කරනවා. අපට යෙහෝවාගේ වචනය විශ්වාස කළ හැකියි; මන්ද ඔහුගේ විරුද්ධකාරයා මෙන් නොව දෙවිට “බොරු කිව නොහැකියි.”—තීතස් 1:2, NW.
[පාදසටහන]
a 1995 අප්‍රියෙල් 1 මුරටැඹ කලාපයේ 10-15 වන පිටුවල ‘දෙවිගේ ඇස් හමුවේ ඔබ ඉතා අනර්ඝය!’ යන ලිපිය බලන්න.
[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
ප්‍රේමනීය දෙමාපියෙකු මෙන්, දුකෙන් සිටින අයට යෙහෝවා කිට්ටුව සිටියි
[13වන පිටුවේ පින්තූර]
යෙහෝවාට ගේකුරුල්ලාව අමතක නොවෙනවා නම්, ඔබව අමතක කිරීමට ඔහුට හැකි වන්නේ කෙසේද?
[හිමිකම් විස්තර]
Lydekker
Illustrated Natural History