යේසුස්ගේ ජීවිතය අරුත්බර වීමට හේතු
යේසුස් හැදුණේ වැඩුණේ දුප්පත් පවුලක. ඔහුගේ ජීවිත කාලය පුරාම ඔහුට වැඩිය සැපසම්පත් තිබුණේ නැහැ. යේසුස්ම එක අවස්ථාවක කිව්වේ මගේ “හිස තබන්නවත් තැනක් නැහැ” කියලයි. (ලූක් 9:57, 58) ඒ විතරක් නෙවෙයි සතුරන්ගේ නින්දා අපහාසවලට මුහුණ දෙන්නත් ඔහුට සිදු වුණා. අන්තිමේදී ඔවුන් ඔහුව ඝාතනය කළා.
ඒ වගේ ජීවිතයක් අර්ථවත් එකක් කියන්නේ කොහොමද කියලා සමහරවිට ඔයා හිතනවා ඇති. ඒත් යේසුස්ගේ ජීවිතය ගැන අපි නොදන්න තව හුඟක් දේවල් තියෙනවා. ඒ දේවල් දැනගත්තොත් අපිට තේරුම්ගන්න පුළුවන් යේසුස් ඇත්තටම ගත කළේ අරුත්බර දිවියක් කියලා. දැන් අපි යේසුස්ගේ ජීවිතේ අර්ථවත් වෙන්න හේතු වුණු දේවල් හතරක් ගැන බලමු.
1. යේසුස්ගේ ජීවිතේට අරමුණක් තිබුණා.
“මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීම . . . මම සලකන්නේ මගේ කෑම ලෙසයි.”—යොහන් 4:34.
යේසුස් ඉගැන්නුව දේවලින් හා ක්‍රියා කරපු විදිහෙන් ඔහුගේ ජීවිතේ අරමුණ මොකක්ද කියලා පැහැදිලි වුණා. ඒ තමයි ඔහුගේ පියාණන් වන යෙහෝවාa දෙවිගේ කැමැත්ත ඉටු කිරීම. ඒකෙන් යේසුස් පුදුමාකාර සතුටක් ලැබුවා. දෙවිගේ කැමැත්ත කිරීම ඔහුට කොච්චර වැදගත් වුණාද කියනවා නම් ඔහු කිව්වේ ඒක ඔහුගේ කෑම වගේ කියලයි. ඔහු ඒ දේ කිව්වේ කොයි වගේ අවස්ථාවකද කියලා බලමු.
මුළු උදේ වරුවෙම කඳුකර ප්‍රදේශයක් හරහා ගමන් කරපු යේසුස්, ඒ වෙලාවේ හිටියේ මහන්සියෙන්. දවල් වෙලා තිබුණු නිසා ඔහුට බඩගින්නකුත් දැනෙන්න ඇති. (යොහන් 4:6) “ගුරුතුමනි, කෑම ටිකක් කන්න” කියලා ඔහුගේ ගෝලයන් ඔහුට කියන්න ඇත්තේ ඒ නිසයි. (යොහන් 4: 31) ඒ වෙලාවෙ තමයි ‘දෙවිගේ කැමැත්ත කිරීම මම සලකන්නේ මගේ කෑම ලෙසයි’ කියලා යේසුස් කිව්වේ. ඒකෙන් තේරෙනවා දෙවිගේ කැමැත්ත කිරීමෙන් යේසුස් ලොකු ප්රබෝධයක්, ශක්තියක් ලැබුවා කියලා. ඇත්තටම ඔහු ගත කළේ හරිම තෘප්තිමත් ජීවිතයක්.
2. යේසුස් දෙවි පියාණන්ට ගොඩක් ආදරේ කළා.
‘මම පියාණන්ට ප්‍රේම කරනවා.’—යොහන් 14:31.
ස්වර්ගයේ ඉද්දී යේසුස්ට දෙවි පියාණන් එක්ක කිට්ටු බැඳීමක් තිබුණා. පොළොවට ආවට පස්සේ දෙවිගේ නාමය, දෙවිගේ අරමුණු, දෙවිගේ ගතිලක්ෂණ ගැන අනිත් අයට කියන්න යේසුස් පෙලඹුණේ දෙවි කෙරෙහි ඉමහත් ප්‍රේමයක් තිබුණු නිසයි. යේසුස් ක්‍රියා කරපු විදිහෙන්, හිතුව පැතුව විදිහෙන්, ඔහුගේ ඉගැන්වීම්වලින් පියාණන් මොන වගේ කෙනෙක්ද කියන එක ඔහු පිළිබිඹු කළා. “මාව දැක ඇති තැනැත්තා පියාණන්වත් දැක තිබෙනවා” කියලා යේසුස්ට කියන්න පුළුවන් වුණේ ඒ නිසයි.—යොහන් 14:8, 9.
යේසුස් තම පියාණන්ට කොච්චර ආදරේ කළාද කියනවා නම් මරණය හමුවෙත් ඔහු දෙවිට කීකරුව හිටියා. (ෆිලිප්පි 2:7, 8; 1 යොහන් 5:3) ඒ ආදරය යේසුස්ගේ ජීවිතය අර්ථවත් කළා.
3. යේසුස් මිනිසුන්ට ආදරේ කළා.
“කෙනෙක් තම මිත්‍රයන් උදෙසා තම ජීවිතය දෙනවා නම් ඊට වඩා උතුම් ප්‍රේමයක් තවත් නැහැ.”—යොහන් 15:13.
බයිබලයේ සඳහන් වෙන්නේ “එක් මිනිසෙකු [ආදම්] පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය” කියායි. (රෝම 5:12) අපෙන් කාටවත් අපේම උත්සාහයෙන් පාපයෙන් හා මරණයෙන් ගැලවෙන්න බැරි නිසා අපේ අනාගතය තිබුණේ අඳුරේ.—රෝම 6:23.
නමුත් යෙහෝවා දෙවියන් මිනිස් වර්ගයාව ගලවගන්න අවශ්‍ය වන්දිය ගෙවන්න පියවර ගත්තා. ඔහු තම ප්‍රේමණීය පුත්‍රයාව අප වෙනුවෙන් දුක් විඳ මිය යන්න පොළොවට එව්වා. දෙවි පියාණන්ටත් මිනිසුන්ටත් ආදරේ කළ නිසා යේසුස් කැමැත්තෙන්ම තම පරිපූර්ණ ජීවිතය පූජා කළා. (රෝම 5:6-8) තමන්ගේ වාසිය ගැන හිතන්නේ නැතුව අනිත් අයට මුළු හදින්ම ප්‍රේම කරපු නිසා යේසුස්ගේ ජීවිතේ අරුත්බර වුණා.b
4. දෙවි පියාණන් තමාට ආදරේ බවත් තමා ගැන සතුටු වෙන බවත් යේසුස් දැනගෙන සිටියා.
“මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි.”—මතෙව් 3:17.
යේසුස් බව්තීස්ම වුණු වෙලාවේ යෙහෝවා දෙවියන් ඔහුට ආදරේ කියලත් ඔහු ගැන සතුටු වෙනවා කියලත් ප්‍රසිද්ධියේම කිව්වා. ඒ නිසා තමයි යේසුස්ට කියන්න පුළුවන් වුණේ ‘මගේ පියාණන් මට ප්‍රේම කරනවා’ කියලා. (යොහන් 10:17) විරුද්ධවාදිකම්, නින්දා අපහාස දරාගන්නත් නොසැලී මරණයට මුහුණ දෙන්නත් යේසුස්ට පුළුවන් වුණේ පියාණන්ගේ ආදරේ ඔහුට දැනුණු නිසයි. (යොහන් 10:18) පියාණන්ගේ ආදරේ ලැබීමත් පියාණන් තමන් ගැන සතුටු වෙනවා කියලා දැන සිටීමත් යේසුස්ගේ ජීවිතේට ලොකු අරුතක් එක් කළා.
අර්ථවත් ජීවිතයක් ගත කරන විදිහ ගැන අපිට යේසුස්ගෙන් හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඒ ගැන යේසුස්ම කියපු දේවල් කීපයක් අපි ඊළඟ ලිපියෙන් බලමු.
a සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.
b යේසුස්ගේ ජීවිත පූජාව ගැන වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 5වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක්.