15වෙනි පරිච්ඡේදය
වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් තෘප්තියක් ලබමු
‘තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳීම ඉතා යහපත් දෙයකි.’—දේශනාකාරයා 3:13.
1-3. (අ) බොහෝදෙනෙකුට තම රැකියාව ගැන හැඟෙන්නේ කෙසේද? (ආ) වැඩ කිරීම ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද? මෙම පරිච්ඡේදයේ අප සලකා බලන්නේ කුමන ප්‍රශ්න ගැනද?
බොහෝදෙනෙක් තම රැකියාව වෙනුවෙන් බොහෝ කාලයක් වැය කරන අතර ඒ සඳහා මහත් වෙහෙසක් දරනවා. නමුත් ඉන් තෘප්තියක් ලබන්නේ අතළොස්සක් පමණයි. සෑම දිනකම රැකියාවට යෑම වැඩිදෙනෙකුට මහත් බරක් සේ දැනෙන්නේ ඒ නිසයි. එවැනි අයට තම රැකියාව ගැන හොඳ හැඟීමක් ඇති කරගත හැක්කේ කෙසේද?
2 බයිබලයේ පවසන්නේ, “මිනිසා තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීමත් ඉතා යහපත් දෙයකි. එය දෙවිගෙන් ලද ආශීර්වාදයකි” කියායි. (දේශනාකාරයා 3:13) සෑමවිටම අපේ යහපත ගැන සිතන, අපට බොහෝ සෙයින් ප්‍රේම කරන යෙහෝවා දෙවි කැමති වන්නේ අප කරන වැඩවලින් තෘප්තියක් ලබමින් අප උපයාගන්නා දේ භුක්ති විඳිනවා දකින්නයි. ඉන් පැහැදිලි වන්නේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම ගැන අපට හොඳ හැඟීමක් තිබෙනවා නම් එය ඇත්තටම ආශීර්වාදයක් විය හැකි බවයි. එය ආශීර්වාදයක් වීමට නම් වැඩ සම්බන්ධයෙන් දෙවි දරන ආකල්පය අප දැරිය යුතු අතර ඔහු ලබා දෙන මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් විය යුතුයි. එවිට දිගටම දෙවිගේ ප්‍රේමයත් අපට ලබාගත හැකියි.දේශනාකාරයා 2:24; 5:18 කියවන්න.
3 මුලින්ම වැඩ කිරීම සම්බන්ධයෙන් විශිෂ්ටතම ආදර්ශ තබන යෙහෝවා දෙවි හා යේසුස් ක්‍රිස්තුස්ගේ ආදර්ශ ගැන අපි සලකා බලමු. ඉන්පසු අපි මේ වැදගත් ප්‍රශ්න හතරට පිළිතුරු සොයා බලමු. අපේ වැඩවලින් තෘප්තියක් ලබාගත හැක්කේ කෙසේද? සැබෑ ක්‍රිස්තියානීන්ට නුසුදුසු වන්නේ මොන වගේ රැකියාද? දෙවිට කරන නමස්කාරයට බාධාවක් නොවන අන්දමින් අපේ රැකියාවේ නිරත විය හැක්කේ කෙසේද? එමෙන්ම අපට කළ හැකි වටිනාම වැඩය කුමක්ද?
විශිෂ්ටතම ආදර්ශ
4, 5. වැඩ සම්බන්ධයෙන් යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨ ආදර්ශයක් තබන්නේ කෙසේද?
4 වැඩ කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨතම ආදර්ශය තබන්නේ යෙහෝවා දෙවියි. බයිබලයේ පවසන්නේ, “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය” කියායි. (උත්පත්ති 1:1) දෙවි පොළොවේ සෑම දෙයක්ම නිර්මාණය කළ පසු ඒවා “ඉතා හොඳින් සාදා” ඇති බව ඔහුම පැවසුවා. (උත්පත්ති 1:31) ඉන් පැහැදිලි වන්නේ, “ප්‍රීතිමත් දෙවි” වන යෙහෝවා, තමන් කළ වැඩ ගැන සෑහීමට පත් වෙමින් ඉන් මහත් සතුටක් ලැබූ බවයි.—1 තිමෝති 1:11.
5 ඔහුගේ වැඩ එතැනින් නතර වුණේ නැහැ. පොළොවේ සෑම දෙයක්ම නිර්මාණය කර සෑහෙන කාලයක් ගත වූ පසු යේසුස් පැවසුවේ, “මගේ පියාණන් මේ දක්වා වැඩ කරමින් සිටිනවා” කියායි. (යොහන් 5:17) දෙවි මේ වන තුරු කරමින් සිටින්නේ මොනවාද? මිනිස් වර්ගයාව රැකබලා ගැනීමට හා ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීමට ඔහු ඉතා ක්‍රියාශීලීව වැඩ කරමින් සිටිනවා. යේසුස් සමඟ ස්වර්ගයේ පාලනය කිරීම සඳහා ඔහු යම් පිරිසක්ව තෝරාගෙන තම බලය මාර්ගයෙන් ඔවුන්ව අභිෂේක කළා. බයිබලයේ එය හඳුන්වා තිබෙන්නේ ඔහු ‘බිහි කළ අලුත් දෙයක්’ ලෙසයි. (2 කොරින්ති 5:17) මිනිස් වර්ගයා සඳහා තමන් අරමුණු කළ දේ ඉටු කිරීමට එනම්, කීකරු මිනිසුන්ට පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව උදා කර දීමට ඔහු ක්‍රමානුකූලව පියවර ගනිමින් සිටිනවා. (රෝම 6:23) තමන් කරමින් සිටින ඒ වැඩ ගැන දෙවි සතුටු වන බවට සැකයක් නැහැ. මන්ද දෙවි කරමින් සිටින ඒ සෑම දෙයක් ගැනම ලොව පුරා දේශනා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මිලියන ගණනක් සෙනඟ දැනටමත් දෙවි වෙතට ළං වී තිබෙනවා. එමෙන්ම දිගටම ඔහුගේ ප්‍රේමය ලබාගැනීම සඳහා ඔවුන් තම ජීවිතයේ බොහෝ වෙනස්කම් කර තිබෙනවා.—යොහන් 6:44.
6, 7. වැඩ කිරීම සම්බන්ධයෙන් යේසුස් විශිෂ්ට ආදර්ශයක් තබන්නේ කෙසේද?
6 වැඩ කිරීම සම්බන්ධයෙන් විශිෂ්ට ආදර්ශයක් තබන දෙවෙනි තැනැත්තා නම් යේසුස්. වෙහෙස මහන්සි වී වැඩ කිරීම සම්බන්ධයෙන් ඔහු හොඳ නමක් දිනාගෙන තිබෙනවා. “ස්වර්ගයෙහි හා පොළොවෙහි ඇති” සියලු දේවල් නිර්මාණය කරන විට යේසුස් ‘දෙවිගේ ප්‍රධාන සේවකයා’ ලෙස වැඩ කළා. (හිතෝපදේශ 8:22-31; කොලොස්සි 1:15-17) මිනිසෙකු ලෙස ජීවත් වූ කාලයේදීත් යේසුස් වෙහෙස මහන්සිය නොබලා වැඩ කළා. තරුණ වියේදීම ඔහු වඩු වැඩ හොඳින් ඉගෙනගත්තා. “වඩුවෙක්” ලෙස ඔහු ප්‍රසිද්ධ වී සිටියේ ඒ නිසයි. (මාක් 6:3) ඒ කාලයේ වඩු කර්මාන්තයේ නියැලීම එතරම් ලෙහෙසි දෙයක් වුණේ නැහැ. අද කාලයේ මෙන් ලී මෝල්වත් ලී මඩුවත් විදුලි උපකරණවත් ඒ කාලයේ තිබුණේ නැහැ. ඒ නිසා කැලෑවට ගොස් ගස් කපා ඒවා වැඩ කරන ස්ථානයට රැගෙන ඒමට සිදු වුණේ වඩුවාටමයි. ඉන්පසු ඒ ලී කොට ඉරා ඒවායින් බාල්ක, දොරවල් හා ගෘහ භාණ්ඩ වැනි විවිධ දේවල් සෑදීමට වඩුවා බොහෝ සෙයින් මහන්සි වුණා. වඩුවෙකු වූ යේසුස්ද ඒ සෑම දෙයක්ම කළා. වෙහෙස මහන්සි වී දක්ෂ ලෙස වැඩ කිරීමෙන් ලබන තෘප්තිය යේසුස් පෞද්ගලිකව අද්දුටු බවට සැකයක් නැහැ.
7 දෙවි තමාට භාර දී තිබූ කාර්යයේද යේසුස් නිරත වුණේ ඉතා කඩිසරවයි. එම වැදගත් කාර්යය ඉටු කිරීමට ඔහු අවුරුදු තුනහමාරක් පුරාම බොහෝ සෙයින් වෙහෙසුණා. හැකි තරමක් මිනිසුන්ව හමු වීමට උත්සාහ කළ ඔහු, උදේ පාන්දර සිට රෑ වන තුරුම සේවය කළා. ඔහු එක මොහොතක්වත් නිකරුණේ ගත කළේ නැහැ. (ලූක් 21:37, 38; යොහන් 3:2) බයිබලයේ පවසන්නේ, “දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමට නුවරින් නුවරටත් ගමින් ගමටත් ගිය යේසුස් එය සෑම තැනම පතළ කළේය” කියායි. (ලූක් 8:1) ගුරුපාරවල් දිගේ සැතපුම් සිය ගණනක් දුර ඇවිදිමින් ශුභාරංචිය දේශනා කිරීමට යේසුස් මොන තරම් වෙහෙසක් දරන්න ඇද්ද!
8, 9. යේසුස් තමන් කළ වැඩවලින් තෘප්තියක් ලැබූ බව පැවසිය හැක්කේ ඇයි?
8 එසේ වෙහෙස මහන්සි වී කළ සේවයෙන් යේසුස් තෘප්තියක් ලැබුවාද? ඔව්. ශුභාරංචිය නමැති බීජ සෑම තැනම වැපිරීමේ ප්‍රතිඵලයක් ලෙස නෙළීමට ඉතා විශාල අස්වැන්නක් තිබෙන බව දැකීමම ඔහුට මහත් සතුටක් වුණා. දෙවි තමාට දුන් වැඩයේ නිරත වීමෙන් යේසුස් කොතරම් තෘප්තියක් ලැබුවාද කියනවා නම් එය ඉටු කිරීමට තම කෑම වේල පවා අතපසු කරන්න ඔහු කැමති වුණා. (යොහන් 4:31-38) පොළොව මත ඔහු ගත කළ අවසන් රාත්රියේදී තම පියාණන්ට ඔහු ඉතා සතුටින් පැවසුවේ මෙසේයි. “ඔබ මට කරන්න දුන් වැඩ කොටස සම්පූර්ණ කිරීමෙන් පොළොවෙහිදී මම ඔබට මහත් ගෞරවයක් ගෙන දුන්නා.”—යොහන් 17:4.
9 යෙහෝවා දෙවි හා යේසුස් තමන් කරන වැඩවලින් මහත් තෘප්තියක් අද්දකින බව එම තොරතුරුවලින් පැහැදිලියි. යෙහෝවා දෙවිට ප්‍රේම කරන අය ලෙස අපේ ආශාව වන්නේ, ‘දෙවිව අනුකරණය කරන්නන් වන්නයි.’ (එෆීස 5:1) එමෙන්ම අප යේසුස්ටත් ප්‍රේම කරන නිසා, ‘ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කිරීමට’ උත්සාහ කරනවා. (1 පේතෘස් 2:21) ඒ නිසා දැන් අපි අපේ වැඩවලින්ද තෘප්තියක් ලබාගත හැකි ආකාරය ගැන සලකා බලමු.
අපේ වැඩවලින් තෘප්තියක් ලබාගනිමු
10, 11. අප කරන රැකියාව ගැන නිසි ආකල්පයක් ඇති කරගැනීමට අපට උපකාරවත් වන්නේ කුමක් මතකයේ තබාගැනීමද?
10 සැබෑ ක්‍රිස්තියානීන් වන අප විවිධ රැකියාවන්වල නිරත වෙනවා. අපේ ආශාව වන්නේ අප කරන වැඩවලින් යම් තෘප්තියක් හෝ ලබාගැනීමයි. නමුත් අප කරන රැකියාවට අප තුළ කැමැත්තක් නැත්නම් එයින් තෘප්තියක් ලබාගැනීම පහසු නොවිය හැකියි. එසේනම් අපට අප කරන වැඩවලින් තෘප්තියක් ලබාගත හැක්කේ කෙසේද?
11 නිසි ආකල්පයක් ඇති කරගැනීමෙන්. අප කරන රැකියාව වෙනස් කිරීම පහසු දෙයක් නොවුණත් ඒ රැකියාව ගැන අප දරන ආකල්පය වෙනස් කරන්න අපට පුළුවන්. අප කරන රැකියාව ගැන දෙවි දරන ආකල්පය ගැන සිතා බැලීම ඒ සඳහා අපට උපකාරයක්. ඔබ ගෘහමූලිකයෙක් නම් ඔබේ පවුලේ අවශ්‍යතා සැපයීම දෙවි ඔබට ලබා දී ඇති වගකීමක්. කෙනෙකු ඒ වගකීම ඉටු කිරීමට අපොහොසත් වෙනවා නම්, “ඇත්තෙන්ම ඔහු දෙවිට සේවය නොකරන කෙනෙකුටත් වඩා නරකය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 තිමෝති 5:8) ඒ නිසා කරන රැකියාව ගැන ඔබට එතරම් කැමැත්තක් නොතිබුණත් එහි නිරත වීමෙන් දෙවි ඔබට ලබා දී ඇති වගකීම සාර්ථකව ඉටු කිරීමට ඔබට හැකි වන බව මතක තබාගන්න. ඔබ දරන වෑයම දෙවි දකින විට ඒ ගැන ඔහු කොතරම් සතුටු වෙනවා ඇද්ද! ඒ කාරණය ගැන සිතා බැලීමෙන් සෙසු සේවකයන් අත් නොදකින තෘප්තියක් ඔබට අද්දැකිය හැකියි.
12. කඩිසරව හා අවංකව වැඩ කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?
12 කඩිසරව හා අවංකව වැඩ කිරීමෙන්. වෙහෙස මහන්සි වී වැඩ කිරීමත් අපට පවරා ඇති වැඩය දක්ෂ ලෙස කිරීමට ඉගෙනගැනීමත් වැදගත්. සාමාන්‍යයෙන් එසේ වැඩ කරන අයව රැකියා ස්ථානයට ඉතා වටිනා අය ලෙස සලකනවා. (හිතෝපදේශ 12:24; 22:29) සැබෑ ක්‍රිස්තියානීන් වන අප අවංක සේවකයන්ද විය යුතුයි. අප අපේ රැකියා ස්ථානයෙන් මුදල් හෝ වෙනත් ද්‍රව්‍ය සොරකම් නොකරන්නෙත් වැඩ කළ යුතු කාලය වෙනත් දේවල් කිරීම සඳහා යොදවන්නේ නැත්තෙත් ඒ නිසයි. (එෆීස 4:28) අවංක සේවකයෙකුට අන් අයගේ විශ්වාසය දිනාගැනීමට හැකි වෙනවා. එමෙන්ම කලින් පරිච්ඡේදයේ පැහැදිලි කළ ආකාරයට අවංකව සේවය කිරීමෙන් තව බොහෝ ආශීර්වාද ලබාගත හැකියි. වෙහෙස මහන්සි වී, අවංකව අප කරන සේවය සමහරවිට අන් අයගේ අවධානයට ලක් නොවන්න පුළුවන්. නමුත් අපේ වෙහෙස දෙවි දකින බවත් ඒ ගැන ඔහු සතුටු වන බවත් අප දන්නා නිසා, “දෙවි ඉදිරියේ අවංක හෘදය සාක්ෂියක්” ඇතුව සිටීමට අපට හැකි වෙනවා. අප කරන වැඩවලින් තෘප්තියක් ලැබීමට එය දායක වෙනවා.—හෙබ්‍රෙව් 13:18; කොලොස්සි 3:22-24.
13. රැකියා ස්ථානයේ හොඳ ආදර්ශයක් තැබීමෙන් ලැබිය හැකි ප්‍රතිඵල මොනවාද?
13 දෙවිට ගෞරවයක් ගෙන දිය හැකි බව මතක තබාගැනීමෙන්. රැකියා කරන ස්ථානයේදී අප බයිබල් ප්‍රමිතිවලට අනුව කටයුතු කරන විට එය අන් අයගේ අවධානයට ලක් වන අතර අපේ නමස්කාරය ගැන හොඳ හැඟීමක් ඔවුන් තුළ ඇති කිරීමට අපට හැකි වෙනවා. ඔබේ හැසිරීම දකින යම් කෙනෙකු යෙහෝවා දෙවි ගැන ඉගෙනගැනීමට කැමති වුණොත් ඒ ගැන ඔබට කෙසේ හැඟෙයිද? එය මහත් ප්‍රීතියකට හේතුවක් නොවේද! ඇත්තෙන්ම “අපට ගැලවීම සලසා දෙන දෙවිගේ ඉගැන්වීම්වල වටිනාකම” අන් අයට පෙන්වීමට අපට හැකි වීම මොන තරම් තෘප්තියක්ද! (තීතස් 2:9, 10) ඒ අනුව අප රැකියා කරන ස්ථානයේ හැසිරෙන ආකාරයෙන් යෙහෝවා දෙවිට මහත් ගෞරවයක් ගෙන දීමටත් ඔහුගේ සිත සතුටු කිරීමටත් අපට හැකි වෙනවා.—හිතෝපදේශ 27:11; 1 පේතෘස් 2:12 කියවන්න.
ඥානවන්ත තේරීමක් කරමු
14-16. රැකියාවක් තෝරාගන්නා විට අප සලකා බැලිය යුතු වැදගත් ප්‍රශ්න මොනවාද?
14 ක්‍රිස්තියානීන් වන අපට සුදුසු රැකියා මොනවාද හා නුසුදුසු රැකියා මොනවාද කියා ලැයිස්තුවක් බයිබලයේ සඳහන් වන්නේ නැහැ. නමුත් ඉන් අදහස් වන්නේ ඕනෑම රැකියාවක් අපට තෝරාගත හැකි බව නොවෙයි. අප කළ යුත්තේ මොන වගේ රැකියාවක්ද කියා බයිබලයේ කෙළින්ම සඳහන් නොවුණත් පලදායී මෙන්ම දෙවි සතුටු කරන ආකාරයේ රැකියාවක් තෝරාගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම් එහි සපයා දී තිබෙනවා. ඒ මඟ පෙන්වීම්වල උපකාරයෙන් දෙවි හෙළාදකින ආකාරයේ රැකියාවක් තෝරා නොගැනීමට අපට හැකියි. (හිතෝපදේශ 2:6) රැකියාවක් තෝරාගන්නා විට අප සලකා බැලිය යුතු වැදගත් ප්‍රශ්න දෙකක් දැන් සලකා බලමු.
15 බයිබලයේ කෙළින්ම හෙළාදකින දෙයක් කිරීමට මට සිදු වෙයිද? සොරකම් කිරීම, බොරු කීම, ආගමික රූප සෑදීම වැනි දේවල් බයිබලයේ කෙළින්ම හෙළාදැක තිබෙනවා. (නික්මයාම 20:4; ක්‍රියා 15:29; එෆීස 4:28; එළිදරව් 21:8) අප තෝරාගන්නා රැකියාවට එවැනි දේවල් සම්බන්ධ නම් එම රැකියාව අප එකහෙළාම ප්‍රතික්ෂේප කරන බව නිසැකයි. යෙහෝවා දෙවිට අප බොහෝ සෙයින් ප්‍රේම කරන නිසා ඔහුගේ ආඥාවක් කඩ කරමින් රැකියාවක් කිරීමට අප කිසිසේත් කැමති වන්නේ නැහැ.—1 යොහන් 5:3 කියවන්න.
16 මට කිරීමට සිදු වන්නේ වෙනත් අයට වැරදි දෙයක් කිරීමට සහයෝගය දැක්වීමක්ද? උදාහරණයකට පිළිගැනීමේ නිලධාරිනියක ලෙස සේවය කිරීමේ කිසි වරදක් නැහැ. නමුත් අප එසේ සේවය කරන්නේ ලොතරැයි මණ්ඩලයේ කාර්යාලයක නම් ඒ ගැන කුමක් කිව හැකිද? අප ලොතරැයි විකිණීමේ කාර්යයට හවුල් නොවුණත් එම රැකියාවේ නිරත වීමෙන් අප කරන්නේ දෙවි හෙළාදකින ක්‍රියාවක් කිරීමට අන් අයට උදව් කිරීමක් නොවේද? (එෆීස 5:3-5) යෙහෝවා දෙවිට ප්‍රේම කරන අය ලෙස දෙවි හෙළාදැක තිබෙන කිසිම ක්‍රියාවකට සහයෝගය දක්වන්න අපට වුවමනාවක් නැහැ.
17. (අ) රැකියාවක් තෝරාගැනීමේදී අප සලකා බැලිය යුතු දේවල් මොනවාද? (“මේ රැකියාව මට සුදුසුද?” යන කොටුව බලන්න.) (ආ) දෙවි සතුටු වන ආකාරයේ තීරණ ගැනීමට අපේ හෘදය සාක්ෂිය අපට උපකාරවත් විය හැක්කේ කෙසේද?
17 රැකියාවක් තෝරාගැනීමට කලින් ඉහත සඳහන් ප්‍රශ්න ගැන ගැඹුරින් සිතා බැලීමෙන් ඥානවන්ත තේරීමක් කිරීමට බොහෝ අවස්ථාවලදී අපට හැකි වෙනවා. නමුත් අපේ “වටහාගැනීමේ හැකියාව භාවිත කර” තීරණ ගැනීමට සිදු වන අවස්ථාවන්ද උදා විය හැකියි.a (හෙබ්‍රෙව් 5:14) මන්ද තෝරාගැනීමට තිබෙන සෑම ආකාරයකම රැකියාවක් එකිනෙක ලැයිස්තුගත කර අප ගත යුතු තීරණය ගැන නීති මාලාවක් සපයයි කියා විශ්වාසවන්ත දාසයාගෙන් අපට බලාපොරොත්තු විය නොහැකියි. එවැනි අවස්ථාවලදී අප තීරණ ගත යුත්තේ බයිබල් ප්‍රතිපත්තිවලට අනුව පුහුණු කළ අපේ හෘදය සාක්ෂියට එකඟවයි. ඒ නිසා අප දෙවෙනි පරිච්ඡේදයේ ඉගෙනගත් ලෙස බයිබලයේ සඳහන් තොරතුරු නිතිපතා අධ්‍යයනය කර ඒවා අපේ ජීවිතයට අදාළ වන පැති ගැන ගැඹුරින් සිතා බැලීම ඉතා වැදගත්. එලෙස අප කටයුතු කරනවා නම් දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගත හැකි ආකාරයේ තීරණ ගැනීමට අපට හැකි වන බව නොඅනුමානයි.
නමස්කාරයට බාධාවක් නොවන අයුරින් රැකියාවේ නිරත වෙමු
18. නමස්කාරයට මුල් තැන දීම එතරම් ලෙහෙසි දෙයක් නොවන්නේ ඇයි?
18 අප ජීවත් වන මේ ‘අවසාන කාලය ඉතා අසීරු, අනතුරු සහිත කාලයක්’ වන නිසා රැකියාවක් සොයාගැනීම හා දිගටම රැකියාවක් කිරීම ඉතාමත් දුෂ්කරයි. මේ කාලයේ බොහෝදෙනෙකුට රැකියා අහිමි වෙනවා. (2 තිමෝති 3:1) අපේ පවුලේ අයගේ අවශ්‍යතා සැපයීමේ වගකීම ඉටු කිරීම සඳහා අප වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු බව සැබෑ ක්‍රිස්තියානීන් වන අපි, හොඳින් තේරුම්ගෙන සිටිනවා. අප එම වගකීම ඉටු කළ යුත්තේ අපේ නමස්කාරයට බාධාවක් නොවන අයුරින් බවත් අපි දන්නවා. නමුත් අපේ නමස්කාරයට මුල් තැන දීම ලෙහෙසි දෙයක් නොවෙයි. මන්ද අප කරන රැකියාවෙන් අපට විවිධ පීඩන එල්ල වෙනවා. එමෙන්ම අද සමාජය බොහෝවිට අපව පොලඹවන්නේ ධන සම්පත් එක් රැස් කිරීමටයි. (1 තිමෝති 6:9, 10) කෙසේවෙතත් අප උත්සාහ කරන්නේ එවැනි බලපෑම්වලට හසු නොවී සිටීමටයි. ඒ නිසා ‘වඩා වැදගත් දේවල් මොනවාද කියා අවබෝධ කරගැනීමට’ අපට උපකාරවත් වන ප්‍රතිපත්ති කිහිපයක් දැන් අපි සලකා බලමු.—ෆිලිප්පි 1:10.
19. දෙවිව විශ්වාස කිරීමෙන් අපට කවදාවත් පසුතැවෙන්න සිදු නොවන්නේ ඇයි? එවැනි විශ්වාසයක් අපට උපකාරවත් වන්නේ කුමන දේවලින් වැළකී සිටීමටද?
19 යෙහෝවා දෙවිව මුළුමනින්ම විශ්වාස කරන්න. (හිතෝපදේශ 3:5, 6 කියවන්න.) දෙවිව විශ්වාස කිරීමෙන් අපට කවදාවත් පසුතැවෙන්න සිදු වන්නේ නැහැ. ඔහු අප ගැන සැලකිලිමත් වන දෙවි කෙනෙක්. (1 පේතෘස් 5:7) අපටත් වඩා හොඳින් අපේ අවශ්‍යතා ගැන ඔහුට අවබෝධයක් තිබෙන අතර ඔහු ඒවා ඉටු කරන බව නිසැකයි. (ගීතාවලිය 37:25) ඒ නිසා මෙම සිහිගැන්වීම අප නිතරම මතකයේ තබාගනිමු. “ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න. ඔබට තිබෙන දේවල් ගැන සෑහීමට පත් වන්න. මන්ද, ‘මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි’ කියා දෙවි පවසා ඇත.” (හෙබ්‍රෙව් 13:5) එය සත්‍යයක් බව පූර්ණ කාලීන සේවකයන් බොහෝදෙනෙකුගේ අද්දැකීමයි. අප ගැනත් දෙවි එලෙස සැලකිලිමත් වන බවට අපට පූර්ණ විශ්වාසයක් තිබෙනවා නම් අපේ පවුලේ අයගේ අවශ්‍යතා සපයන්නේ කෙසේද යන්න ගැන අප අනවශ්‍ය ලෙස කනස්සලු වන්නේ නැහැ. (මතෙව් 6:25-32) එමෙන්ම අපේ රැකියාව නිසා ශුභාරංචිය දේශනා කිරීම හා රැස්වීම්වලට යෑම වැනි වැදගත් කටයුතු අතපසු කරන්නත් අප පෙලඹෙන්නේ නැහැ.—මතෙව් 24:14; හෙබ්‍රෙව් 10:24, 25.
20. ඇස එකම දෙයක් කෙරෙහි යොමු කර තබාගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අපට එසේ කළ හැක්කේ කෙසේද?
20 ඔබේ ඇස එකම දෙයක් කෙරෙහි යොමු කර තබන්න. (මතෙව් 6:22, 23 කියවන්න.) ක්‍රිස්තියානියෙකුගේ ඇස යොමු වී තිබෙන්නේ දෙවිගේ කැමැත්ත කිරීම වෙතටයි. ඒ නිසා අප ගත කරන්නේ සරල ජීවිතයක්. අපේ ජීවිතයේ මුල් තැන හිමි වී තිබෙන්නේ දෙවිගේ කැමැත්ත කිරීමට නම් ඉහළ වැටුපක් ලබන රැකියාවක් පසුපසවත් සුඛෝපභෝගී ජීවිතයක් පසුපසවත් අපි හඹා යන්නේ නැහැ. නියම තෘප්තියක් භුක්ති විඳිය හැකියි කියා පවසමින් මාධ්‍යයෙන් අලුත් අලුත් දේවල් බොහොමයක් ඉදිරිපත් කළත් ඒවා ලබාගැනීමේ රැල්ලට අපි හසු වන්නේ නැහැ. ඒ වෙනුවට, “කෑම බීම, ඇඳුම්පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් අපි ඒ දේවලින් සෑහීමට පත් වෙමු” යන බයිබල් උපදෙසට අනුව අපි ජීවත් වෙනවා. (1 තිමෝති 6:8) ඒ නිසා අනවශ්‍ය ලෙස ණය වීමෙන් හා අපේ කාලයත් ශ්‍රමයත් කා දමන බොහෝ දේවලින් වැළකී සිටීමට අපට හැකි වෙනවා. හැකි සෑම ආකාරයකින්ම අපේ ජීවිත සරල කරගැනීමට උත්සාහ කිරීම මොන තරම් වැදගත්ද!
21. මුල් තැනට දමන්නේ කුමක්ද යන්න ගැන තීරණයක් ගැනීමට සිදු වන්නේ ඇයි? අප මුල් තැන දිය යුත්තේ කුමකටද?
21 දෙවිගේ කැමැත්තට මුල් තැන දෙන්න. අපේ ජීවිතයේ අපට කිරීමට කැමති සෑම දෙයක්ම අපට කළ නොහැකි නිසා අප මුල් තැනට දමන්නේ කුමක්ද යන්න ගැන තීරණයක් ගැනීමට සිදු වෙනවා. අපි එසේ කරන්නේ නැත්නම් වැදගත්කමින් අඩු දේවල් කර අපේ වටිනා කාලය නාස්ති විය හැකියි. අපේ ජීවිතයේ මුල් තැන හිමි විය යුත්තේ කුමකටද? බොහෝදෙනෙකු උසස් අධ්‍යාපනයක් ලබාගැනීම ඔවුන්ගේ ජීවිතයේ මුල් තැනට දමනවා. ඔවුන් එසේ කරන්නේ සමාජයේ ඉහළ පෙළේ රැකියාවක් ලබාගෙන දියුණු වීමට තිබෙන ආශාව නිසයි. නමුත් යේසුස් තම අනුගාමිකයන්ට උනන්දු කළේ, “නොකඩවා දෙවිගේ රාජ්‍යයට . . . මුල් තැන දෙන්න” කියායි. (මතෙව් 6:33) ඒ අනුව සැබෑ ක්‍රිස්තියානීන් වන අප, මුල් තැන දෙන්නේ දෙවිගේ රාජ්‍යයටයි. ඒ නිසා අපට වැදගත් වන්නේ ධන සම්පත් හෝ සමාජයේ වැදගත් ලෙස සලකන දේවලට වඩා දෙවිගේ කැමැත්ත ඉටු කිරීම බව අප ජීවත් වන ආකාරයෙන්, අපේ කාලය වැය කරන ආකාරයෙන් හා අනාගතය සම්බන්ධයෙන් අප කරන සැලසුම්වලින් පැහැදිලි විය යුතුයි.
ශුභාරංචිය පතළ කිරීමට වෙහෙසෙමු
22, 23. (අ) සැබෑ ක්‍රිස්තියානීන්ට තිබෙන ප්‍රධානම කාර්යය කුමක්ද? එම කාර්යය අපට ඉතා වැදගත් බව පෙන්නුම් කළ හැක්කේ කෙසේද? (“මා ගත් තීරණය ගැන මම කවදාවත් පසුතැවෙන්නේ නැහැ” යන කොටුව බලන්න.) (ආ) අපේ රැකියාව කුමක් වුණත් අපේ අදිටන විය යුත්තේ කුමක් කිරීමද?
22 අප ජීවත් වන්නේ අවසාන කාලයේ අවසාන අදියරේ බව දන්නා නිසා සැබෑ ක්‍රිස්තියානීන්ට පවරා ඇති ප්‍රධාන කාර්යය වන ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයට හා මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වීමට උපකාර කිරීමේ වැඩයට අපි මුල් තැන දෙනවා. (මතෙව් 24:14; 28:19, 20) අපට ආදර්ශයක් තැබූ යේසුස් මෙන් ජීවිත ගලවන මෙම කාර්යයේ උද්යෝගයෙන් නිරත වීමට අපි කැමතියි. මෙම කාර්යය අප ඉතා වැදගත් දෙයක් ලෙස සලකන බව අපට පෙන්නුම් කළ හැක්කේ කෙසේද? බොහෝදෙනෙක් ප්‍රචාරකයන් ලෙස මුළු හදවතින්ම ඉතා හොඳ සේවයක් ඉටු කරමින් සිටිනවා. තවත් සමහර අය ඔවුන්ගේ ජීවිතවල බොහෝ සකස් කිරීම් කර පුරෝගාමීන් හෝ මිෂනාරිවරුන් ලෙස දෙවිට සේවය කරමින් සිටිනවා. එමෙන්ම දෙවිගේ කැමැත්තට මුල් තැන දීමේ වැදගත්කම අවබෝධ කරගෙන සිටින දෙමාපියන් බොහෝදෙනෙකුද තම දරුවන්ට දිරිගන්වා තිබෙන්නේ පූර්ණ කාලීනව දෙවිට සේවය කිරීම ගැන බැරෑරුම්ව කල්පනා කර බැලීමටයි. මහත් උද්යෝගයෙන් දෙවිට සේවය කරන ඒ සියලුදෙනාම තම සේවයෙන් තෘප්තියක් ලබනවාද? ඇත්තෙන්ම ඔව්. යෙහෝවා දෙවිට මුළු හදවතින්ම සේවය කරන අය ප්‍රීතිය, තෘප්තිය හා ආශීර්වාද පිරි ජීවිතයක් ගත කරනවා.—හිතෝපදේශ 10:22 කියවන්න.
23 අපේ පවුලේ අයගේ අවශ්‍යතා සැපයීමට අපෙන් බොහෝදෙනෙකුට බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කරන්න සිදු වෙනවා. අප දරන ඒ වෙහෙසින් අප තෘප්තියක් ලබනවා දකින්න යෙහෝවා දෙවි කැමතියි. අපට එම තෘප්තිය අද්දැකිය හැක්කේ අපේ ආකල්ප හා ක්‍රියාවන් දෙවි කැමති ආකාරයට සකස් කරගැනීමෙනුයි. කෙසේවෙතත් අපට තිබෙන ප්‍රධානම කාර්යය දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමේ වැඩය බව කිසිදා අමතක නොකරමු. අපේ රැකියාව කුමක් වුණත් පසු නොබැස එම සේවයට මුල් තැන දීමට අප අදිටන් කරගත යුතුයි. එසේ කිරීමෙන් අප යෙහෝවා දෙවිට කොතරම් ප්‍රේම කරනවාද කියා අපට පෙන්නුම් කළ හැකි අතර දිගටම ඔහුගේ ප්‍රේමය ලබාගැනීමටත් අපට හැකි වෙනවා.
a රැකියාවක් තෝරාගැනීමේදී සලකා බැලිය යුතු කරුණු ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 1999 අප්‍රියෙල් 15 මුරටැඹ කලාපයේ 28-30 දක්වා පිටුවල හා 1983 අප්‍රියෙල් 1 මුරටැඹ කලාපයේ 16-18 දක්වා පිටුවල සඳහන් තොරතුරු බලන්න.