60වෙනි පරිච්ඡේදය
ක්‍රිස්තුස් තේජසට පත් වෙයි
මතෙව් 16:28–17:13 මාක් 9:1-13 ලූක් 9:27-36
යේසුස්ගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි
නියෝජිතයන්ට දෙවිගේ හඬ ඇසෙයි
යේසුස් තවමත් ඉන්නේ හෙර්මොන් කන්දට කිලෝමීටර් 25ක් විතර දුරකින් පිහිටි සිසේරිය ෆිලිප්පියේ. මිනිසුන්ට උගන්වමින් ඉන්න අතරතුරේදී ඔහු නියෝජිතයන්ට මේ වැදගත් කාරණය කියනවා. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ මනුෂ්‍ය පුත්‍රයා රජු හැටියට පැමිණෙනවා දකින තුරු මෙතැන සිටින්නන්ගෙන් සමහරෙකු කිසිවිටකත් මරණය අද්දකින්නේ නැති බවයි.”—මතෙව් 16:28.
යේසුස් කියපු ඒ දේ ගැන ඔවුන් කල්පනා කරන්න ඇති. සතියකට විතර පස්සේ පේතෘස්, යාකොබ් සහ යොහන් එක්ක යේසුස් උස කන්දකට යනවා. ඒ තුන්දෙනාම නිදිමතෙන් ඉන්නේ සමහරවිට ඒ වෙද්දී රෑ බෝ වෙලා තිබුණු නිසා වෙන්න ඇති. දැන් සිද්ධ වෙන්නේ ඔවුන් නොහිතපු දෙයක්. යේසුස් යාච්ඤා කරමින් ඉද්දී ඔහුගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඔහුගේ මුහුණ සූර්යයා මෙන් බැබළෙනවා. ඔහුගේ ඇඳුම් ආලෝකය මෙන් දීප්තිමත් වෙලා දිදුලන සුදකින් බැබළෙනවා.
යේසුස් එක්ක තවත් දෙන්නෙක් කතා කර කර ඉන්නවා. ඒ “මෝසෙස් සහ එලියා.” ඔවුන් කතා කරන්නේ ‘යෙරුසලමේදී යේසුස් මෙලොවින් සමුගන්නා ආකාරය ගැන.’ (ලූක් 9:30, 31) ඒ කියන්නේ යේසුස්ගේ මරණය සහ නැවත නැඟිටීම ගැන. මීට දවස් කිහිපයකට කලින් යේසුස් ගෝලයන්ට කිව්වෙත් ඒ ගැනම තමයි. (මතෙව් 16:21) යේසුස් මැරෙන්න අවශ්‍ය නැහැ කියලා පේතෘස් කලින් කිව්වත් ඔහුට නින්දා විඳිමින් මරණය අද්දකින්න වෙනවා කියලා ඒ සාකච්ඡාවෙන් පැහැදිලි වෙනවා.
නිදිමතේ හිටිය නියෝජිතයන් සිද්ධ වෙන මේ දේ දිහා බලන් ඉන්නේ ඇසිපිය හෙළන්නෙවත් නැතුවයි. ඔවුන් මේ දකින්නේ දර්ශනයක් වුණත් ඒක පේතෘස්ගේ හිතට කොයි තරම් දැනෙනවාද කියනවා නම් ඔහු යේසුස්ට මෙහෙම කියනවා. “ගුරුතුමනි, මේ අවස්ථාවේදී මෙතැන සිටින්න ලැබීම අපට ලොකු සතුටක්. අපි මෙහි කූඩාරම් තුනක්, එකක් ඔබටත් එකක් මෝසෙස්ටත් එකක් එලියාටත් සාදන්නම්.” (මාක් 9:5) ඔහු එහෙම කියන්නේ මේ දර්ශනය තව ටික වෙලාවක් දැකගන්න ආස නිසාද?
පේතෘස් කතා කරමින් ඉද්දී දීප්තිමත් වලාකුළකින් ඔවුන් වට වෙනවා. ඒ වලාකුළ අතරින් “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. මොහුට මාගේ අනුමැතිය ඇත. මොහුට සවන් දෙන්න” කියලා කියන හඬක් ඇහෙනවා. දෙවිගේ හඬ ඇහෙද්දී හොඳටම බය වෙන නියෝජිතයන් දණින් වැටෙනවා. යේසුස් ඔවුන් ළඟට ඇවිත් කියන්නේ “නැඟිටින්න, භය වෙන්න එපා” කියලයි. (මතෙව් 17:5-7) ඔවුන් නැඟිටලා බලද්දී එතැන ඉන්නේ යේසුස් විතරයි. දර්ශනය ඉවර වෙලා. එළිය වැටුණාට පස්සේ ඔවුන් කන්දෙන් බැහැගෙන යද්දී “මනුෂ්‍ය පුත්‍රයා මරණයෙන් නැඟිටින තුරු ඔබ දුටු දේ ගැන කිසිවෙකුට නොකියන්න” කියලා යේසුස් අණ කරනවා.—මතෙව් 17:9.
ඒ දර්ශනයේ එලියාව දැකපු නිසා නියෝජිතයන් යේසුස්ගෙන් මෙහෙම අහනවා. “එලියා පළමුවෙන් පැමිණිය යුතුයි කියා නීතිය පිටපත් කරන්නන් කියන්නේ ඇයි?” යේසුස් පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “මා ඔබට කියන්නේ, එලියා දැනටමත් පැමිණ ඇති බවයි. නමුත් ඔවුන් ඔහුව හඳුනා නොගෙන තමන්ට කැමති දේ ඔහුට කළා.” (මතෙව් 17:10-12) යේසුස් කතා කරන්නේ යොහන් බව්තීස්ත ගැන. මොකද ඔහුත් ඉටු කළේ එලියා කළා හා සමාන කාර්යයක්. එලියා එලිෂාට මාර්ගය සූදානම් කළා වගේ යොහන් ක්‍රිස්තුස්ට මාර්ගය සූදානම් කළා.
ඒ දර්ශනය යේසුස්ටත් නියෝජිතයන්ටත් මොන තරම් හයියක් වෙන්න ඇද්ද! ඒ දර්ශනයෙන් දැක්කේ ක්‍රිස්තුස් රජ වෙලා ඉන්න විදිහ ගැනයි. යේසුස් පොරොන්දු වුණු විදිහටම “මනුෂ්‍ය පුත්‍රයා රජු හැටියට පැමිණෙනවා” නියෝජිතයන් දැක්කා. (මතෙව් 16:28) දෙවියන් රජු විදිහට තෝරගෙන තියෙන්නේ යේසුස්ව කියලා පිළිගන්න ලකුණක් ඉල්ලපු පරිසිවරුන්ට යේසුස් කිසි ලකුණක් දුන්නේ නැහැ. හැබැයි නියෝජිතයන් නම් ක්‍රිස්තුස්ගේ මහත් තේජස ‘ඇස්වලින්ම’ දැක්කා. දෙවිගේ රාජ්‍යයෙන් ඉටු කරන්න නියමිත හැම අනාවැකියක්ම අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා ඒකෙන් තහවුරු වුණා. ඒ නිසා තමයි “අනාවැකි මාර්ගයෙන් පවසා ඇති දේවල් අපට තවත් තහවුරු වී තිබේ” කියලා පේතෘස් කියලා තියෙන්නේ.—2 පේතෘස් 1:16-19.