ඔවුන් යෙහෝවාගේ කැමැත්ත කළා
යේසු දරුවන් සමඟ කාලය ගත කළා
යේසුගේ අවුරුදු තුනහමාරක සේවයේ අවසාන අදියරට පැමිණ තිබෙනවා. ඔහු ළඟදීම යෙරුසලමට පැමිණ වේදනාත්මක මරණයක් අද්දකින්න යනවා. ඉදිරියේදී සිදු වෙන්න යන දේ ගැන ඔහු හොඳින් දැන සිටි නිසා, තමාගේ ගෝලයන්ට මෙසේ පවසා තිබුණා: “මනුෂ්‍ය පුත්‍රයා මනුෂ්‍යයන්ගේ අත්වලට පාවාදෙනු ලැබේ, ඔව්හුද ඔහු මරන්නෝය.”—මාර්ක් 9:31.
ඉතිරි වී තිබෙන සෑම දවසකින්ම, සෑම හෝරාවකින්ම, සෑම මොහොතකින්ම උපරිම ප්‍රයෝජන ගැනීමට යේසුට අවශ්‍ය වූ බව නොකිවමනායි. ඔහුගේ ගෝලයන්ට තවමත් අවධානය අවශ්‍යව තිබුණා. නිහතමානීකම සහ නිරතුරුව පවතින පැකිළීමේ අනතුර සම්බන්ධයෙන් ප්‍රබල අවවාද ඔවුන්ට ඒ වෙද්දීත් අවශ්‍යව තිබූ බව යේසු දැක්කා. (මාර්ක් 9:35-37, 42-48) ඒ වගේම, ඔවුන්ට විවාහය, දික්කසාදය සහ තනිකඩභාවය ගැන උපදෙස් අවශ්‍ය වුණා. (මතෙව් 19:3-12) තමා මරණය අද්දර සිටින බව දැන සිටි නිසා, යේසු තම අනුගාමිකයන්ට ලුහුඬින් සහ හදිසිතාවේ හැඟීමකින් යුක්තව කතා කළ බවට කිසිම සැකයක් නැහැ. කාලය ඉතාමත්ම වැදගත් සාධකය වුණත්, යේසු ඊළඟට කළ දේ මේ සියල්ලටම වඩා සැලකිය යුතු දෙයක් වුණා.
යේසු ළමයින්ව සාදරයෙන් පිළිගත්තා
බයිබල් වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා: “ඔව්හු [මිනිසුන්, NW] ළදරුවන් පිට [ඔහුගේ] අත තබවාගන්න පිණිස ඔවුන් [ඔහු] ළඟට ගෙනාවෝය.” ගෝලයන් මෙය දැක්ක විගසම තමන්ගේ අප්‍රසාදය ප්‍රකාශ කළා. යේසුට ළමයින් ගැන සැලකිලිමත් වෙන්න තරම් කාලයක් නැහැ කියා හෝ ඔවුන් ගැන හිතනවාට වඩා දේවල් කරන්න ඔහුට තියෙනවාය කියා සමහරවිට ගෝලයන් හිතන්න ඇති. ඒ අවස්ථාවේදී යේසු ඔවුන් සමඟ කෝප වූ විට, ගෝලයන් පුදුමයට පත් වූ ආකාරය සිතින් මවාගන්න! “ළදරුවන් මා ළඟට එන්ට හරින්න” යයි ඔහු ඔවුන්ට පැවසුවා. “ඔවුන් වලක්වන්ට එපා. මක්නිසාද [දෙවිගේ] රාජ්‍යය මෙබඳුවන්ගේය.” පසුව යේසු එයට මෙසේද එකතු කළා: “සැබවක් නුඹලාට කියමි—යමෙක් [දෙවිගේ] රාජ්‍යය ළදරුවෙකු මෙන් පිළි නොගත්තොත් ඔහු කිසිසේත් එහි ඇතුල් නොවන්නේය.”—මාර්ක් 10:13-15.
ළමයින් තුළ තිබෙන ප්‍රශංසනීය ගුණාංග යේසු දැක්කා. ඔවුන් සාමාන්‍යයෙන් ප්‍රශ්න ඇසීමට ලැදියාවක් දක්වනසුලු සහ විශ්වාස කිරීමට පෙලඹෙනසුලුයි. ඔවුන් තම දෙමව්පියන්ගේ වචන පිළිගන්නා අතරම අනිත් ළමයින් ඉදිරි පිට දෙමව්පියන්ට පක්ෂව කතා කරනවා. යමක් ඉක්මනින්ම පිළිගන්නාසුලු ස්වභාවයත්, පහසුවෙන්ම ඔවුන්ට ඉගැන්විය හැකි ස්වභාවයත්, දෙවිගේ රාජ්‍යයට ඇතුල් වීමට කැමති සියලුදෙනාම අනුකරණය කිරීම වටිනවා. එමනිසා යේසු මෙසේ පැවසුවා: “[දෙවිගේ] රාජ්‍යය මෙබඳුවන්ගේය.”—මතෙව් 18:1-5 සසඳන්න.
නමුත් යේසු මෙම ළමයින්ව නිකම්ම උදාහරණයක් සඳහා පමණක් භාවිත කළේ නැහැ. යේසු තමා වටා ළමයින් රොක් වී සිටීම අවංකවම ප්‍රිය කළ බව වාර්තාව පැහැදිලි කරනවා. යේසු “ඔවුන් වඩාගෙන, ඔවුන් පිට අත් තබා, ඔවුන්ට ආශීර්වාද [කළේය]” කියා මාර්ක් වාර්තා කරනවා. (මාර්ක් 10:16) යේසු ‘ඔවුන්ව වඩාගත්තා’ කියන හද උණුසුම් කරවන විස්තරය ඇතුළත් වන්නේ මාර්ක්ගේ වාර්තාවේ පමණයි.a මෙලෙස යේසු ඔවුන්ට නිකම්ම ‘අත තබයි’ යන හැඟීමෙන් මෙම දරුවන්ව ගෙනා වැඩිහිටියන්ට, තමන් බලාපොරොත්තු වූ දෙයටත් වඩා වැඩි යමක් යේසු කළා.
යේසු ළමයින් මත ‘අත් තැබීමේ’ වැදගත්කම වූයේ කුමක්ද? මෙහි බව්තීස්මය වගේ ආගමික චාරිත්‍රයක් ගැන කිසිම ඇඟවීමක් නැහැ. සමහර අවස්ථාවල අත් තැබීමෙන්, පත්වීමක් පිරිනැමීම අදහස් කළ අතර, අනිත් අවස්ථාවලදී එය හුදෙක් ආශීර්වාද කිරීමක් අර්ථවත් වුණා. (උත්පත්ති 48:14; ක්‍රියා 6:6) එමනිසා යේසු හුදෙක් ළමයින්ට ආශීර්වාද කරමින් සිටින්න ඇති.
කොහොම වුණත් ‘ආශීර්වාදය’ (කැ.ටු.ලෝ.ජිʹයෝ) කියන වචනය සඳහා මහත් බලයක් අඟවන වඩාත් ප්‍රබල වචනයක් මාර්ක් භාවිත කරනවා. යේසු ළමයින්ට දැඩි හැඟීමකින් යුක්තව, මෘදු මොළොක් ලෙස සහ උණුසුම් ලෙස ආශීර්වාද කළ බව මෙය අඟවනවා. පැහැදිලිවම, ඔහු ළමයින්ව, කාලය කාදමන බරක් ලෙස සැලකුවේ නැහැ.
අපට පාඩමක්
යේසු ළමයින් සහ වැඩිහිටියන් යන දෙපිරිසම සමඟ කටයුතු කළ ආකාරය භියගන්වනසුලු වූයේවත් අවමන්සහගත වූයේවත් නැහැ. “නිතරම ඔහුගේ මුවෙහි මද සිනහවක් තිබෙන්න ඇති අතර, ඔහු ප්‍රීතියෙන් සිනහසෙන්නත් ඇති” කියා එක් යොමු දැක්වීමක සඳහන් වෙනවා. ඕනෑම වයස් සීමාවක සිටින කෙනෙකුට ඔහු සමඟ සිටින විට පහසුබවක් දැනීම පුදුම වෙන්න දෙයක් නෙවෙයි. යේසුගේ ආදර්ශය ගැන ගැඹුරින් සිතා බලද්දී, අපට අපෙන්ම මෙසේ අසාගන්න පුළුවන්; ‘මා එළඹිය හැකි පුද්ගලයෙක් වශයෙන් අනිත් අයට හැඟෙනවාද?’ ‘අනිත් අයගේ ක්‍රියාකාරකම් සහ කාරණා ගැන කරදර වීමට බැරි තරමටම මා කාර්ය බහුල වැඩි බවක් හැඟෙනවද?’ මනුෂ්‍යයන් කෙරෙහි අව්‍යාජ උනන්දුවක් රෝපණය කරගැනීමෙන් හරියට යේසු කළා වගේ, අපවම දීමට අපව පොලඹවන්න යනවා. එවිට අනිත් අයට අපගේ අවංක උනන්දුව දැනෙන අතර, ඔවුන් අප කරා ඇදී එන්න යනවා.—හිතෝපදේශ 11:25.
ළමයින් සමඟ සිටීමෙන් යේසු සන්තෝෂ වුණ බව, මාර්ක්ගේ වාර්තාව පෙන්වනවා. යේසු තමාගේ එක් උදාහරණයකදී ඔවුන්ගේ ක්‍රීඩාවන් වෙතට යොමු දැක්වූ බැවින්, ඔවුන් ක්‍රීඩා කරනවා නිරීක්ෂණය කරන්න කාලය ගන්න ඇති බව පැහැදිලියි. (මතෙව් 11:16-19) ඇතැම්විට, යේසු ආශීර්වාද කළ සමහර ළමයින් ඔහු කවුද කියාවත්, ඔහු ඉගැන්වූවේ කුමක්ද කියාවත් අගය කරන්න බැරි තරම් ළාබාල වැඩි වන්න ඇති. නමුත් ඔහුට මෙය, තමාගේ කාලය නාස්ති කිරීමක් කියා හැඟීමට හේතුවක් වුණේ නැහැ. ඔහු ළමයින් සමඟ කාලය ගත කළා, මන්ද ඔහු ඔවුන්ට ආදරය කළා. බොහෝවිට, යේසුගේ සේවය අතරතුර ඔහුට හමු වූ ළමයින් බොහෝදෙනෙක් පසු කාලයකදී ඔහුගේ ගෝලයන් බවට පත්වීමෙන් ඔහුගේ ප්‍රේමයට ප්‍රතිචාරය දක්වන්න යොමු වුණා විය හැකිය.
යේසු තමාගේ ජීවිතයේ තීරණාත්මක අවසාන සති කීපය තුළ ළමයින් සමඟ කාලය ගත කළා නම්, නිසැකවම අපගේ කාර්ය බහුල කාලසටහනේත් ඔවුන් සඳහා කාලයක් වෙන් කරන්න අපට පුළුවන්. පියා නැති පිරිමි ළමුන් සහ ගැහැනු ළමුන් වැනි විශේෂ අවශ්‍යතාවක් තිබෙන අය සම්බන්ධයෙන් අප විශේෂයෙන්ම සැලකිලිමත් වීම අවශ්‍යයි. ඇත්තෙන්ම ළමයින්ට අවධානයක් දෙන විට ඔවුන් සියලුදෙනාම සඵල වන අතර, අපට පුළුවන් සෑම උපකාරයක්ම දීමත්, ඔවුන්ට හැකි උපරිමයෙන් ආදරය දැක්වීමත් යෙහෝවාගේ කැමැත්තයි.—ගීතාවලිය 10:14.
[පාදසටහන]
a යේසු “ඔවුන්ව වැලඳගත්තා” කියා එක් පරිවර්තනයක සඳහන් වෙනවා. වෙනත් පරිවර්තනයක, ඔහු “ඔවුන්ව වඩාගෙන තුරුලු කරගත්තා” යයි සඳහන් වෙනවා.