ඔවුහු යෙහෝවාගේ කැමැත්ත කළහ
යේසුස්ව මෙසියස් හා රජු හැටියට හරසරින් පිළිගනී!
පොදු යුගයේ 33 නීසාන් 9වන දින මහා හඬ දෙමින් යෙරුසලමට පිවිසෙමින් සිටි පිරිස, යුදාවරුන් බොහෝදෙනෙක්ව මවිතයට පත් කළා. පාස්කුවට පෙර මෙසේ වැල නොකැඩී මිනිසුන් ගලා එනවා දැකීම අසාමාන්‍ය දෙයක් නොවූවත්, මෙම අමුත්තන්ගේ වෙනසක් දක්නට ලැබුණා. මොවුන් අතුරෙන් බූරු පැටවා පිට ගමන්ගත් මිනිසෙකු වෙතට ඔවුන්ගේ අවධානය කේන්ද්‍රගත වුණා. මෙම මිනිසා නම් යේසුස් ක්‍රිස්තුස්ය; තවද මිනිසුන් වස්ත්‍ර හා තල් අතු අතුරමින්: “දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නාය කියාත්, [යෙහෝවාගේ] නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය කියාත්, ඉතා උස්තැන්හි හෝසන්නාය” කියාත් මොරගැසුවා. ඒ වන විටත් යෙරුසලමේ සිටි අය මෙම පිරිස දැකීමෙන්, පෙරහැරට එක් වෙන්න පෙලඹුණා.—මතෙව් 21:7-9; යොහන් 12:12, 13.
ඔහුව දැනට හරසරින් පිළිගනු ලැබුවත්, යේසුස් දැනහිටියා ඔහුට පරීක්ෂාවන්ට මුහුණ දෙන්න සිදු වන බව. ඇයි, තව දින පහකින් ඔහුව මෙම නගරයේදීම මරණයට පත් කරන්නයි යන්නේ! ඔව්, යේසුස් දැනගෙන හිටියා යෙරුසලම හතුරු ප්‍රදේශයක් කියා; එමෙන්ම එම කරුණ සිහියේ තබාගෙන ඔහු මෙම කැපීපෙනෙන නගරයට පිවිසීම සඳහා කටයුතු සූදානම් කළා.
ඉපැරණි අනාවැකියක් ඉටු වේ
යෙරුසලමට යේසුස්ගේ විජයග්‍රාහී පිවිසීම ගැන පො.යු.පෙ. 518දී, සෙකරියා පුරෝකථනය කළා. “යෙරුසලම් දියණියෙනි, ශබ්ද පවත්වන්න. බලව, නුඹේ රජ නුඹ වෙතට එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨය, ගැළවීම ඇත්තාය; උන්වහන්සේ යටහත්ය, [බූරුවෙකුගේ] එනම් [බූරුදෙනකගේ] පැටියෙකු පිට නැගී එනසේක. . . . උන්වහන්සේ ජාතීන්ට සමාදානය ප්‍රකාශකරනසේක. උන්වහන්සේගේ ආණ්ඩුව මුහුදෙන් මුහුදටත් ගංගාවේ පටන් පොළොවේ සීමා දක්වාත් වන්නේය.”—සෙකරියා 9:9, 10.
ඉතින් නීසාන් 9වන දින යෙරුසලමට යේසුස්ගේ පිවිසීම බයිබල් අනාවැකි ඉටු කළා. එය අහම්බෙන් සිදු වූවක් නෙවෙයි, නමුත් හොඳින් සැලසුම් කරන ලද්දක්. ඊට පෙරාතුව, යෙරුසලමට මඳක් ඔබ්බෙන් සිටියදී, යේසුස් තම ගෝලයන්ට මෙසේ උපදෙස් දී තිබුණා: “නුඹලා ඉදිරිපිට තිබෙන ගමට යන්න, ගිය කෙණෙහිම එහි [බූරුදෙනක්ද] ඈ සමඟ පැටවෙක්ද බැඳ සිටිනවා නුඹලාට සම්බවෙයි. උන් ලිහා මා ළඟට ගෙනෙන්න. යමෙක් නුඹලාට කිසිවක් කීවොත්: ස්වාමීන්වහන්සේට උන් ඕනෑ කෙරේයයි කියන්න; එවිට ඔහු එවෙලේම උන් එවන්නේයයි ඔවුන්ට කීසේක.” (මතෙව් 21:1-3) නුමුත් යේසුස්ට යෙරුසලමට බූරුවෙකුගේ පිටේ ගමන්ගන්න ඕනෑ වුණේ ඇයි? එමෙන්ම එම පිරිස දැක්වූ ප්‍රතිචාරයේ වැදගත්කම මොකක්ද?
රාජතන්ත්‍රයට සම්බන්ධ හසුනක්
බොහෝවිට කටවචනයට වඩා සැබෑ රූපයක් බලගතුයි. ඒ හේතුවෙන්, ඔවුන්ගේ අනාවැකිමය පණිවිඩය තවදුරටත් බලගතු එකක් කිරීම සඳහා ඔවුන්ගේ එම පණිවිඩය රඟදැක්වීමට යෙහෝවා තම ප්‍රොපේතවරුන්ව යොදාගත්තා. (1 රාජාවලිය 11:29-32; යෙරෙමියා 27:1-6; එසකියෙල් 4:1-17) මෙම ඉහළ මාදිලියේ දෘශ්‍ය සන්නිවේදන මාධ්‍යය, දැඩිම සිතක් ඇති නිරීක්ෂකයෙකුගේ මනසේ පවා නොමැකිය හැකි සිතුවිල්ලක් තබා ගියා. ඊට සමානාකාරයකින්, යේසුස් යෙරුසලම් නගරයට බූරුවෙකුගේ පිටේ ගමන්ගැනීමෙන් බලගතු පණිවිඩයක් රඟදැක්වුවා. කොහොමද?
බයිබල් කාලවලදී, බූරුවෙක්ව යොදාගත්තේ උත්තරීතර අරමුණු උදෙසාය. උදාහරණයක් හැටියට, සාලමොන් තමාව රජු හැටියට අභිෂේක කිරීම සඳහා තමාගේ පියාගේ “අශ්වතරයා,” එනම් බූරුවෙකුට දාව උපදින දෙමුහුන් සතෙක් පිට නැඟ ගියා.a (1 රාජාවලිය 1:33-40) එසේනම්, යේසුස් බූරුවෙකු පිට ගමන්ගැනීමෙන් අදහස් කළේ ඔහු තමාව රජෙකු හැටියට ඉදිරිපත් කරමින් සිටි බවයි. පිරිසගේ ක්‍රියාපටිපාටිය මෙම පණිවිඩය තවදුරටත් බලගතු කළා. නොඅනුමානවම, වැඩි කොටසක් ගලීලයන්ගෙන් සමන්විත වූ මෙම කණ්ඩායම, තමන්ගේ වස්ත්‍ර යේසුස් ඉදිරියේ මඟ ඇතුළුවා—මෙම ක්‍රියාව, යේහුගේ රජවීම ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීම අපට සිහිගන්වයි. (2 රාජාවලිය 9:13) “දාවිත්ගේ පුත්‍රයා” ලෙසට යේසුස් වෙත කළ යොමු දැක්වීම ඔහුට පාලනය කිරීමට ඇති නීත්‍යනුකූල අයිතිය තහවුරු කළා. (ලූක් 1:31-33) එමෙන්ම ඔවුන් විසින් තල් අතු පාවිච්චි කිරීමෙන් පෙන්වූයේ, ඔහුගේ රාජකීය අධිකාරිත්වයට ඔවුන් දක්වන අවනතභාවයයි.—එළිදරව් 7:9, 10, සසඳන්න.
එසේනම්, නීසාන් 9වන දින යෙරුසලමට පැමිණි පෙරහැරින් පැහැදිලිවම කියවුණු පණිවිඩය නම්, යේසුස් දෙවිගේ නියම කරන ලද මෙසියස් හා රජු බවයි. යේසුස්ට මෙසේ සැලකීම ගැන හැමෝම සතුටු වුණේ නැති බව කියන්නම අවශ්‍ය නැහැ. මෙවැනි ආකාරයට යේසුස්ව රාජකීය ගෞරවයෙන් නැහැවීම කොහෙත්ම නුසුදුසු බව ඵරිසිවරු සිතුවා. නොඅනුමානවම සැරපරුෂ ආකාරයකින්, ඔවුන් තර්ජනය කළා: “ආචාරිනි, ඔබගේ ගෝලයන්ට තරවටුකළ මැනව.” “ඔවුන් නිශ්ශබ්දවුණොත්, ගල් මොරගසන්නේයයි නුඹලාට කියමියි” යේසුස් පිළිතුරු දුන්නා. (ලූක් 19:39, 40) ඔව්, යේසුස්ගේ දේශනාවේ තේමාව වූයේ දේවරාජ්‍යයයි. මිනිසුන් පිළිගත්තත් නැතත් ඔහු මෙම පණිවිඩය නිර්භීතව ප්‍රකාශ කරනවා.
අපට පාඩමක්
ප්‍රොපේත සෙකරියා පුරෝකථනය කළ ආකාරයට යෙරුසලමට පිවිසීමට යේසුස්ට මහත් ධෛර්යයක් අවශ්‍ය වුණා. එසේ කිරීමෙන් ඔහු දැන හිටියා, ඔහු ඔහුගේ සතුරන්ගේ ක්‍රෝධය අවුස්සමින් හිටිය බව. ඔහුගේ ස්වර්ගාරෝහණයට පෙර, දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරන්නත් “සියලු ජාතීන් ගෝලයන් කරන්න[ත්]” යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට පැවරුවා. (මතෙව් 24:14; 28:19, 20) මෙම වැඩය ඉටු කරන්නත් ධෛර්යය අවශ්‍ය වෙනවා. පණිවිඩයට ඇහුම්කන් දෙන්න හැමෝම සතුටු වෙන්නේ නැහැ. සමහර අය එය කෙරෙහි මන්දෝත්සාහී ආකල්පයක් දක්වන අතර, වෙනත් අය එය ප්‍රතික්ෂේප කරනවා. සමහර ආණ්ඩු දේශනා කිරීමේ වැඩය මත තහංචි පනවා ඇති අතර, එසේත් නැත්නම් සම්පූර්ණයෙන් තහනම් කොට තියෙනවා.
මිනිසුන් ඇහුම්කන් දුන්නත්, එසේ කිරීමෙන් වැළකී සිටියත්, ස්ථාපිත කර ඇති දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කළ යුතු බව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට වැටහී ගොස් තියෙනවා. (එසකියෙල් 2:7) මෙම ජීවිත ගළවන වැඩය ඔවුන් දිගටම ඉටු කරත්ම, යේසුස්ගේ පොරොන්දුවෙන් ඔවුන්ව සැනහෙනවා: “මමද ලෝකාන්තිමය දක්වා සැම කල්හිම නුඹලා සමඟ සිටිමි.”—මතෙව් 28:20.
[පාදසටහන]
a පැටවා “කිසි මනුෂ්‍යයෙක් නොනැගුණු” එකෙක් හැටියට මාර්ක්ගේ වාර්තාව තවදුරටත් එකතු කරනවා. (මාර්ක් 11:2) පැහැදිලිවම, ඒ වන තුරු පාවිච්චියට නොගත් සතෙක් පරිශුද්ධ කටයුතුවලට විශේෂයෙන්ම යෝග්‍ය වෙනවා.—සසඳන්න ගණන් කථාව 19:2; ද්විතීය කථාව 21:3; 1 සාමුවෙල් 6:7.