10වන පරිච්ඡේදය
ඔබේ බලය යොදාගන්නා විට “දෙවිව අනුකරණය කරන්න”
1. අසම්පූර්ණ මිනිසුන් පහසුවෙන්ම ගොදුරු විය හැකි සියුම් මලපත කුමක්ද?
“බලය සතුව තිබෙන ඕනෑම අයෙකු ඉදිරියේ ඉතා සියුම් මලපතක් තිබේ.” දහනවවන සියවසේ විසූ එක්තරා කිවිඳියකගේ එම වදන්වලින් යමෙකු හෙමින් හෙමින් ඇදී යන එක් අන්තරායක් ගැන කියා පායි. එය නම් බලය වැරදියට පාවිච්චි කිරීමයි. කනගාටුවට හේතුව නම්, සෑම මිනිසෙකුම පාහේ මෙම මලපතට ඉතා පහසුවෙන් වැටී යෑමට නැඹුරුවාවක් තිබීමයි. ඇත්ත වශයෙන්ම, ඉතිහාසය පුරා “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩු කර” තිබෙනවා. (දේශනාකාරයා 8:9) ප්‍රේමයෙන් තොරව බලය විදහාපෑම නිසා මිනිසා විඳ ඇති දුක් වේදනාවන් අනන්තයි, අප්‍රමාණයි.
2, 3. (අ) යෙහෝවා බලය පාවිච්චි කරන ආකාරය සම්බන්ධයෙන් ඇති සුවිශේෂත්වය කුමක්ද? (ආ) අපගේ බලයට කුමක් ඇතුළත් විය හැකිද? අපට තිබෙන ඕනෑම බලයක් අප පාවිච්චි කළ යුත්තේ කෙසේද?
2 එනමුත් අසීමිත බලයක් සතු යෙහෝවා දෙවි කිසිවිටෙකත් එම බලය වැරදි ලෙස පාවිච්චි නොකිරීම මෙහිදී සුවිශේෂී කරුණක් නොවන්නේද? අප මීට පෙර පරිච්ඡේදවල දැක ඇත්තාක් මෙන්, යෙහෝවාගේ බලය, එනම් මැවීමේ බලය වේවා, විනාශ කිරීමේ බලය වේවා, ආරක්ෂා කිරීමේ බලය වේවා, නැත්නම් යළි පිහිටුවීමේ බලය වේවා, මේ කොයි ආකාර බලයක් වුවද ඔහු එය හැමවිටම යොදාගන්නේ සිය ප්‍රේමනීය අරමුණුවලට එකඟවයි. ඔහු සිය බලය විදහාපාන ආකාරය ගැන කල්පනා කරන විට, ඔහු වෙතට ළංවීමට අපි පෙලඹෙන්නෙමු. මෙය, අප බලය පාවිච්චි කරන විට “දෙවිව අනුකරණය කරන්නන් වීමට” අපව පොලඹවනවා. (එපීස 5:1, NW) නමුත් දුර්වල කුඩා මිනිසුන් වන අපට ඇත්තේ කිනම් බලයක්ද?
3 මිනිසාව මැවුවේ “දෙවිගේ ස්වරූපයෙන්” හෙවත් සමානකමට බව මතක් කරගන්න. (උත්පත්ති 1:26, 27) මෙබැවින්, අපටද යම් පමණක බලයක් තිබෙනවා. යම් දේවල් ඉෂ්ට කරගැනීමට, වැඩ කිරීමට, වෙනත් අය කෙරෙහි යම් අධිකාරයක් හෙබවීමට, වෙනත් අයට විශේෂයෙන් අපට ඇලුම් වන අයට බලපෑම් කිරීමට, ශාරීරික ශක්තිය (බලය) පෑමට හෝ වෙනත් සම්පත් කෙරෙහි බලපෑම් කිරීමට අපට පුළුවන්. යෙහෝවා ගැන ගීතිකාකරු පැවසුවේ මෙසේයි. “ජීවනයේ උල්පත ඔබ සමඟය.” (ගීතාවලිය 36:9) එබැවින්, අපට තිබිය හැකි ඕනෑම ආකාරයක වලංගු බලයක උල්පත දෙවියි. එමනිසා අපට එය පාවිච්චි කිරීමට වුවමනා වන්නේ ඔහු සතුටු වන ආකාරයටයි. අපට එය කළ හැක්කේ කොහොමද?
ප්‍රේමය ප්‍රධාන යතුරයි
4, 5. (අ) බලය හරි ලෙස පාවිච්චි කිරීමට ප්‍රධාන යතුර කුමක්ද? දෙවිගේම ආදර්ශය මෙම කාරණය සනාථ කරන්නේ කෙසේද? (ආ) අපගේ බලය හරි ලෙස පාවිච්චි කිරීමට ප්‍රේමය අපට ඉවහල් වන්නේ කෙසේද?
4 බලය නිවැරදිව පාවිච්චි කිරීමේ ප්‍රධාන යතුර නම් ප්‍රේමයයි. දෙවිගේම ආදර්ශයෙන් අපට මෙය පෙනී යන්නේ නැද්ද? පළමුවෙනි පරිච්ඡේදයේ සඳහන් වූ බලය, යුක්තිය, ප්‍රඥාව සහ ප්‍රේමය යන දෙවිගේ ප්‍රධාන ගති ලක්ෂණ ගැන අප කළ සාකච්ඡාව සිහියට නඟන්න. මෙම ගුණාංග හතරෙන්, ප්‍රමුඛස්ථානය ගන්නේ කිනම් එකද? ප්‍රේමයයි. “දෙවි ප්‍රේමය” යනුවෙන් 1 යොහන් 4:8හි පැවසෙයි. ඔව්, යෙහෝවාගේ සම්පූර්ණ ස්වභාවයම ප්‍රේමයෙන් වැසී යයි. එය ඔහු කරන සෑම දෙයකටම බලපෑම් කරයි. ඔහු කරන කියන සෑම දෙයක් තුළද එය පවතියි. ඔහු බලය විදහාපාන සෑම අවස්ථාවකදීම ප්‍රේමයෙන් පෙලඹී එසේ කරනවා. ඒ වගේම එය අන්තිමේදී ඔහුට ප්‍රේම කරන අයගේ යහපත පිණිස හේතු වෙනවා.
5 හරි ලෙස බලය පාවිච්චි කිරීමට අපටද උදව් වන්නේ ප්‍රේමයයි. ප්‍රේමය “කරුණාවන්ත” බවත්, “තමාගේම කාරණා සොයන්නේ” නැති බවත් බයිබලය අපට පවසනවා. (1 කොරින්ති 13:4, 5, NW) මෙබැවින්, අප ඇතැම් අය කෙරෙහි යම් පමණක අධිකාරයක් හෙබවුවත්, එය සැර පරුෂ විදිහට හෝ කෲර අන්දමින් ක්‍රියාත්මක කිරීමට ප්‍රේමය අපට ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙනුවට, අප අන්‍යයන්හට ගෞරවයෙන් යුතුව සැලකිය යුතු අතර, ඔවුන්ගේ අවශ්‍යතා සහ හැඟීම් අපේ ඒවාට වඩා ඉහළින් තැබිය යුතුයි.—පිලිප්පි 2:3, 4.
6, 7. (අ) දේවභය යනු කුමක්ද? බලය වැරදි විදිහට පාවිච්චි කිරීමෙන් වැළකීමට මෙම ගුණාංගය අපට උපකාරවත් වනු ඇත්තේ ඇයි? (ආ) දෙවිට භයවීම සහ දෙවිට ප්‍රේම කිරීම අතර ඇති සම්බන්ධය උපහැරණය කරන්න.
6 බලය වැරදි විදිහට පාවිච්චි කිරීමෙන් වැළකීමට අපට උපකාරවත් වන වෙනත් ගුණාංගයකට ප්‍රේමය නෑකම් කියනවා. එය තමයි දේවභය. මේ ගුණාංගයේ ඇති වටිනාකම කුමක්ද? “යෙහෝවා කෙරෙහි භයවීමෙන් මනුෂ්‍යයෝ නපුරෙන් දුරු වෙති” යයි හිතෝපදේශ 16:6 කියනවා. බලය වැරදි ලෙස පාවිච්චි කිරීම සහතික වශයෙන්ම නපුරු මාර්ග අතර තිබෙන්නක්. අප ඉන් ඉවත් විය යුතුයි. අපට බලය පෑ හැකි අයට වැරදි විදිහට සැලකීමෙන් අපව දමනය කිරීමට දේවභය ක්‍රියා කරනවා ඇති. ඒ ඇයි? මන්දයත් එවන් අයට අප සලකන විදිහ ගැන අප දෙවිට ගණන් දිය යුතු බව අපි දනිමු. (නෙහෙමියා 5:1-7, 15) එහෙත්, දේවභයට ඊට වඩා දෙයක් ඇතුළත් වෙනවා. “භය” යන වචනය සඳහා ප්රාරම්භක භාෂාවෙන් ගෙනහැර පෑ ඇති යෙදුම් බොහෝ විට යොමු දක්වන්නේ දෙවි කෙරෙහි ගැඹුරු ගෞරවය හා විස්මය මුසු වූ භයකටයි. මෙසේ බයිබලය දෙවිට ඇති භය සහ ප්‍රේමය එකට බැඳ තබයි. (ද්විතීය කථාව 10:12, 13) මෙම ගෞරවනීය භයට දෙවිව අසතුටු කිරීමට ඇති සුවදායක භයද ඇතුළත් වෙයි. නමුත් අප දෙවිට භය වන්නේ ඇති වන ඵල විපාක නිසාම නොව, අප ඇත්තටම දෙවිට ප්‍රේම කරන නිසයි.
7 මෙය උපහැරණය කරමු. කුඩා පිරිමි ළමයෙකු සහ ඔහුගේ පියා අතර තිබෙන සුවදායක සම්බන්ධය ගැන සිතා බලන්න. තමා කෙරෙහි ඇති තම පියාගේ උණුසුම් ළයාන්විත සැලකිල්ල පුතාට දැනෙනවා. නමුත් තමාගෙන් තම පියා බලාපොරොත්තු වන්නේ මොනවාද කියාත් ඔහු තේරුම්ගන්නවා. එමෙන්ම තමා වැරදි දේවල් කළොත් පියා තමාට දඬුවම් කරන බවත් පුතා දන්නවා. කෙසේවෙතත්, දරුවා ජීවත් වන්නේ තම පියා තමාට දඬුවම් කරාවිය යන තැතිගන්වනසුලු භීතිකාවක් ඇතුව නම් නොවේ. ඇත්තෙන්ම, ඔහුගේ පියාට ඔහු හුඟක් ආදරෙයි. තම පියාගේ අනුමැතිය ලැබෙන දෙයක් ඇද්ද එය මේ කුඩා දරුවා කරන්නේ හරිම සතුටින්. දේවභයටද අදාළ වන්නේ මෙයමයි. අප අපේ ස්වර්ගික පියාණන් වන යෙහෝවාට ප්‍රේම කරන නිසා, ඔහුව ‘තැවීමට’ සලස්වන කිසිවක් කරන්නට අපි භය වෙමු. (උත්පත්ති 6:6) ඒ වෙනුවට, අප ආශාවෙන් බලා සිටින්නේ ඔහුගේ හදවත ප්‍රීතිමත් කිරීමටයි. (හිතෝපදේශ 27:11) අප සතු බලය හරි ලෙස පාවිච්චි කිරීමට අපට වුවමනා වන්නෙත් ඒ නිසයි. අපට එය කළ හැකි ක්‍රම කිහිපයක් දැන් හොඳින් විමසා බලමු.
පවුල තුළ
8. (අ) ස්වාමිපුරුෂයන්ට පවුල තුළ කිනම් අධිකාරිත්වයක් තිබෙනවාද? එය හෙබවිය යුත්තේ කෙසේද? (ආ) ස්වාමිපුරුෂයෙකු තමාගේ භාර්යාවට ගෞරව කරන බව විදහාපෙන්විය හැක්කේ කෙසේද?
8 පවුල් කවය පළමුව සලකා බලන්න. එපීස 5:23හි පවසන්නේ, ‘පුරුෂයා භාර්යාවගේ හිසව සිටී’ කියායි. ස්වාමිපුරුෂයෙක් දෙවි විසින් දෙන ලද අධිකාරය හොබවන්නේ කොහොමද? බයිබලය කියන්නේ ස්වාමිපුරුෂයන් ‘වඩා දුර්වල භාජන වූ භාර්යාවන් සමඟ දැනගැන්මේ හැටියට වාසය කරමින් . . . ඔවුන්ට ගෞරව දිය යුතු’ බවයි. (1 පේතෘස් 3:7) “ගෞරවය” යනුවෙන් ගෙනහැර දක්වා ඇති ග්‍රීක් නාම පදයෙන් අදහස් කරන්නේ, “අගනා, වටිනා . . . ගෞරවනීය” යන්නයි. මෙම වචනයේ විවිධ ස්වරූප “සම්මාන” සහ “වටිනාකම” ලෙස පරිවර්තනය කර තිබෙනවා. (ක්‍රියා 28:10; 1 පේතෘස් 2:7; න. අ.) තම භාර්යාවට ගෞරව කරන ස්වාමිපුරුෂයෙක් ඇයට කිසිදා ශාරීරිකව පහර දෙන්නේ නැහැ. තමා කිසි වටිනාකමක් නැති කෙනෙකැයි හැඟීමක් ඇය තුළ ඇති වන විදිහට ඇයව පහත් කරන්නේවත්, හෙළා දකින්නේවත් නැහැ. ඊට වෙනස්ව, ඇගේ අගය තේරුම්ගන්නා ඔහු ඇයට සලකන්නේ ඉතා ගෞරවයෙන්. තමන්ට ඇය වටින බව ඔහු පෞද්ගලිකවත් අනෙක් අය ඉදිරිපිටත් වචනයෙන්ද ක්‍රියාවෙන්ද පෙන්නුම් කරනවා. (හිතෝපදේශ 31:28) එවන් ස්වාමිපුරුෂයෙක් තම භාර්යාවගේ ආදරය පමණක් නොව වඩා වැදගත් ලෙස දෙවිගේ අනුමැතියද දිනාගන්නවා.
9. (අ) භාර්යාවන්ට පවුල තුළ කිනම් බලපෑමක් කළ හැකිද? (ආ) තම සැමියාට සහයෝගය දැක්වීම පිණිස තම හැකියාවන් යොදාගැනීමට භාර්යාවට කුමක් කළ හැකිද? කිනම් ප්‍රතිඵලයක් ලැබිය හැකිද?
9 භාර්යාවන්ටද පවුල තුළ යම් හිතකර බලපෑම් කළ හැකියි. මූලිකත්වයට නිසි ලෙස යටත් වූ දේවභක්තික කාන්තාවන් කිහිපදෙනෙකුගේ ක්‍රියා කලාපයන් ගැන බයිබලයේ විස්තර සපයා තිබෙනවා. ඔවුන් ක්‍රියා කළේ තම ස්වාමිපුරුෂයන්ගේ යහපතටයි. මේ අනුව, තම ස්වාමිපුරුෂයන් කෙරෙහි හොඳ බලපෑමක් වීමටද, ඔවුන් අතින් යම් වැරදි තීරණයක් ගැනීම වළක්වාලීමටද, එම භාර්යාවන්ගේ මැදිහත් වීම් ඉවහල් වුණා. (උත්පත්ති 21:9-12; 27:46–28:2) භාර්යාවක් ඇගේ ස්වාමිපුරුෂයාට වඩා වේගයෙන් හෝ ඉක්මනින් සිතන කෙනෙකු විය හැකියි. නැත්නම් ඔහු සතුව නැති වෙනත් හැකියාවන් ඇය සතුව ඇති. එහෙත්, ඇය ඇගේ ස්වාමිපුරුෂයාට “ගැඹුරු ගෞරවයක්” [NW] ඇතුව සිට, “ස්වාමීන්ට මෙන්” ඔහුට “යටත්ව” සිටිය යුතුයි. (එපීස 5:22, 23) දෙවිව සතුටු කරන්නට ඉටා සිටින භාර්යාවක් ඇගේ හැකියාවන් පාවිච්චි කරන්නේ ඇගේ සැමියාට සහයෝගය දැක්වීමට මිස ඔහුව සුළු කොට තැකීමටවත් ඔහුව පාලනය කිරීමටවත් නොවේ. එවන් ‘ඥානවන්ත ස්ත්‍රීන්’ පවුල ගොඩනැංවීම සඳහා තම සැමියා සමඟ වැඩ කරන්නේ කිට්ටුවෙන්, සහයෝගයෙන්. මෙසේ ඇය දෙවි සමඟ සාමය පවත්වාගන්නවා.—හිතෝපදේශ 14:1.
10. (අ) දෙවි විසින් දෙමාපියන්හට දානය කර ඇත්තේ කිනම් බලතලයක්ද? (ආ) “හික්මවීම” යන වචනයේ නියම අරුත කුමක්ද? එය ලබා දිය යුත්තේ කෙසේද? (පාද සටහනද බලන්න.)
10 දෙමාපියන්ට දෙවි විසින් දානය කරන ලද බලතල තිබෙනවා. බයිබලය අවවාද කරන්නේ මෙලෙසයි. “පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා, යෙහෝවාගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇති කරන්න.” (එපීස 6:4) බයිබලයේ, “හික්මවීම” යන වචනයෙන් “හදා වඩා ගැනීම, පුහුණුව, උපදෙස් දීම” යන අදහස් ගත හැකියි. දරුවන්ට හික්මවීම අවශ්‍යයි. ඔවුන් සාර්ථක ලෙස හැදී වැඩෙන්නේ පැහැදිලි මාර්ගෝපදේශ, මායිම් සහ සීමා තිබෙන විටයි. එවන් හික්මවීමක් හෝ උපදෙස් දීමක් බයිබලයේ සම්බන්ධ කර තිබෙන්නේ ප්‍රේමයටයි. (හිතෝපදේශ 13:24) එමනිසා, “දඬුවම් කිරීමේ ඉපල” කිසිවිටෙකත් වැරදි විදිහට පාවිච්චි කරන්ට හොඳ නැහැ. එනම් දරුවන්ව චිත්තවේගීයව හෝ ශාරීරිකව හිංසාවට ලක් නොකළ යුතුයි.a (හිතෝපදේශ 22:15; 29:15) ප්‍රේමයේ හැඟීමක් නැතුව කරන සැර පරුෂ, කුරිරු දඬුවම්වලින් හෝ හික්මවීම්වලින් කිසිම ඵලක් වෙන්නේ නැහැ. ඇරත් එය දෙමාපියෙකුගේ අධිකාරිත්වය වැරදි විදිහට පාවිච්චි කිරීමක්. එයින් දරුවෙකුගේ මානසික ස්වභාවය කඩා බිඳ දමන්ට පුළුවන්. (කොලොස්සි 3:21) අනෙක් අතට, නිසි අයුරින් දෙනු ලබන සමබර හික්මවීම තුළින් දෙමාපියන් දරුවන්ට ආදරේ බවත්, දරුවන් සාර්ථක ලෙස හැදී වැඩීම කෙරෙහි ඔවුන් සැලකිල්ල දක්වන බවත් කියා පානවා.
11. දරුවන්ට තම බලය හරි ලෙස පාවිච්චි කළ හැක්කේ කෙසේද?
11 දරුවන් ගැන කුමක් කියන්ට පුළුවන්ද? ඔවුන්ට තම බලය හරි විදිහට පාවිච්චි කළ හැක්කේ කොහොමද? හිතෝපදේශ 20:29හි කියන්නේ, “තරුණයන්ගේ පාරට්ටුව ඔවුන්ගේ ශක්තිය” බවයි. ඇත්තටම, තරුණයන්ට තම ශක්තිය යොදාගත හැකි වටිනාම ක්‍රමය නම්, ‘උදාර මැවුම්කරුට’ සේවය කිරීමයි. ඊට වඩා වටිනා වෙනත් ක්‍රමයක් නැති බව ස්ථිරයි. (දේශනාකාරයා 12:1, NW) තමන්ගේ ක්‍රියා තමන්ගේ දෙමාපියන්ගේ හැඟීම්වලට බලපෑ හැකි බව යෞවනයන් මතක තබාගැනීම යහපති. (හිතෝපදේශ 23:24, 25) දරුවන් තම දේවභයැති දෙමාපියන්ට කීකරුව හරි මාර්ගයේ දිගටම සිටින විට, ඔවුන් තම දෙමාපියන්ගේ හදවත්වලට සතුට ගෙනෙනවා. (එපීස 6:1) එලෙස හැසිරීම “ස්වාමීන්ට ප්‍රසන්නය.”—කොලොස්සි 3:20.
සභාව තුළ
12, 13. (අ) සභාව තුළ තමන් සතු අධිකාරිත්වය ගැන වැඩිමහල්ලන්ට තිබිය යුත්තේ කිනම් ආකල්පයක්ද? (ආ) වැඩිමහල්ලන් රැළට මුදු මොළොක් ලෙස සැලකිය යුත්තේ ඇයිදැයි උපහැරණය කරන්න.
12 යෙහෝවා ක්‍රිස්තියානි සභාව තුළ පෙරමුණ ගැනීමට අවේක්ෂකයන් සපයා තිබෙනවා. (හෙබ්‍රෙව් 13:17) සුදුසුකම් ලත් මෙම පුරුෂයන් දෙවි විසින් දී තිබෙන තමන් සතු බලතලය අවශ්‍ය උපකාර දීම සඳහාත්, තම රැළේ සුභසාධනය සඳහාත් යොදාගත යුතුයි. වැඩිමහල්ලන් යන නිලයෙන් තම සෙසු ඇදහිලිවන්තයන් කෙරෙහි අධිපතිකම් කිරීමට ඔවුන්ට අවකාශ ලැබෙනවාද? නැහැ, කොහෙත්ම නැහැ! වැඩිමහල්ලන්ට සභාව තුළ තමන්ට ඇති කාර්යභාරය පිළිබඳව සමබර, නිහතමානී ආකල්පයක් තිබිය යුතුයි. (1 පේතෘස් 5:2, 3) බයිබලය අවේක්ෂකයන්ට පවසන්නේ මෙයයි. ‘දෙවි විසින් තමන්ගේම [පුත්‍රයාගේ] රුධිරයෙන් මිලේට ගත් [ඔහුගේ] සභාව පෝෂණය කරන්න [රැකබලා ගන්න, NW].’ (ක්‍රියා 20:28) රැළේ සෑම සාමාජිකයෙකුටම ඉතා මුදු මොළොක් ලෙසින් සැලකීමට ඉතා ප්‍රබල හේතුවක් එතුළ සැඟවී තිබෙනවා.
13 එය අපට මෙසේ නිදර්ශනය කරන්නට පුළුවනි. ඔබේ එක් සමීප මිතුරෙක් ඉතා වටිනා වස්තුවක් රැකබලා ගන්නා ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවායයි සිතන්න. ඔබේ මිතුරා මෙම භාණ්ඩය සඳහා ඉතා ඉහළ මිලක් ගෙවා තිබෙනවායයි සිතමු. ඔබ එය ඉතා පරෙස්සමින් මහත් සැලකිල්ලකින් යුතුව රැකබලා ගන්නවා නොවේද? ඒ හා සමානව, දෙවි විසින් වැඩිමහල්ලන් භාරයට පත් කර තිබෙන්නේ, සැබවින්ම ඉතා වටිනා වස්තුවක්. එනම්, බැටළුවන්ට සමාන කර ඇති සාමාජිකයන් ඇති සභාවයි. (යොහන් 21:16, 17) යෙහෝවාගේ බැටළුවන් ඔහුට ඉතා අගෙයි. කොතරම් අගේද කියනවා නම්, ඔහු ඔවුන්ව මිලේට ගත්තේ සිය ඒක ජාතක පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්ගේ අතිවටිනා රුධිරයෙනුයි. ඒ, යෙහෝවාට තම බැටළුවන් වෙනුවෙන් ගෙවන්ට තිබූ ඉහළම මිලයි. නිහතමානී වැඩිමහල්ලන් එය මනසේ තබාගෙන යෙහෝවාගේ බැටළුවන්ට සලකනවා.
“දිවේ බලය”
14. දිව සතුව ඇත්තේ කිනම් බලයක්ද?
14 “මරණයත් ජීවිතයත් රඳා පවතින්නේ දිවේ බලය මතය” යයි බයිබලය පවසනවා. (හිතෝපදේශ 18:21, NW) ඇත්තෙන්ම, දිවට බොහෝ හානි පමුණුවන්ට පුළුවන්. කිසිම හිතා බැලීමකින් තොරව කියන ලද වේදනාකාරි වචනයකින් හෝ අවමන් සහගත කියමනකින් හෝ වේවා කිසිම දවසක වේදනාවක් විඳ නැත්තේ අප අතරින් කවුද? නමුත් දේවල් සකස් කිරීමටද බලයක් දිවට තිබෙනවා. “ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය” යයි හිතෝපදේශ 12:18 කියනවා. ඔව්, ඒකාන්ත, ශුභවාදී හා සනීපදායක වදන් හෘදය සම්බාහනය කරන සුමුදු සුසිනිඳු ආලේපනයක් වැනියි. උදාහරණ සමහරක් සලකා බලන්න.
15, 16. අනුන්ව දිරිගැන්වීම සඳහා අපට අපගේ දිව කිනම් මාර්ගවලින් යොදාගත හැකිද?
15 පළමුවෙනි තෙසලෝනික 5:14හි “ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යය කරන මෙන්” අපගෙන් උදක්ම ඉල්ලා සිටිනවා. ඔව්, යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන් ඇතැම් අවස්ථාවලදී මානසික අසහනයෙන් පොරබදිනවා වන්ට පුළුවන්. එවන් අයට උපකාර කිරීමට අපට හැක්කේ කොහොමද? නියම තැනට ගැළපෙන ලෙස හා අවංකව ඔවුන්ට ප්‍රශංසා කර යෙහෝවාගේ ඇස් තුළින් තම වටිනාකම දැකගැනීමට ඔවුන්ට උපකාර කරන්න. එමෙන්ම ‘යෙහෝවා බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටින, තැළුණු ආත්ම ඇත්තන් ගළවන,’ අප කෙරෙහි සැබෑ සැලකිල්ලක් සහ ප්‍රේමයක් දක්වන දෙවි කෙනෙකු බව පෙන්නුම් කරන බයිබල් පාඨවල ප්‍රබල වචන ඔවුන් සමඟ බෙදාගන්න. (ගීතාවලිය 34:18) අප අනුන්ව සනසාලීම පිණිස, අපගේ දිව පාවිච්චි කරන විට, අප අපගේ දයානුකම්පිත දෙවිව, එනම් “කලකිරුණු අය ධෛර්යවත් කරවන” දෙවිව අනුකරණය කරමින් සිටින බව පෙන්වමු.—2 කොරින්ති 7:6, න. අ.
16 අපට අපගේ දිවේ බලය වෙනත් අයට බෙහෙවින් අවශ්‍ය දිරිගැන්වීම් ලබා දීමටද යොදාගත හැකියි. අපගේ සෙසු සහෝදරයෙකුට හෝ සහෝදරියකට තමන්ගේ කෙනෙකු මරණයෙන් අහිමි වී තිබේද? අපගේ සැලකිල්ල පෙන්වමින් දයානුකම්පිත වචනයකින් සංග්‍රහ කිරීමෙන් දුකින් තැවෙන හදවතක් අස්වසාලිය හැකියි. යම් වයසක සහෝදරයෙකුට හෝ සහෝදරියකට තමන් වටින්නේ නැහැයි කියා හැඟෙනවාද? සුවදායක දිවකින් ඔවුන්ගේ බිය සැක දුරු කරමින් එවන් වයසක අය වටින බවත් අගය කරනු ලබන බවත් අවධාරණය කළ හැකියි. යමෙක් නිදන්ගත අසනීපයකින් පෙළෙනවාද? එවන් අයෙකුව දුරකථනයෙන් අමතා හෝ මුහුණට මුහුණ හමු වී කාරුණික වචනයකින් සංග්‍රහ කිරීමෙන් ඔහුගේ මානසික ස්වභාවය ඉහළ දැමීමට බොහෝ දේවල් කරන්ට පුළුවන්. ඇත්තෙන්ම අප අපගේ දිවෙන් “වර්ධනය වීම සඳහා යහපත් දේම” කීමට අපගේ කතාවේ බලය යොදාගන්නා විට, අපගේ මැවුම්කරුවාණන් කොතරම් සතුටු වෙනවා ඇද්ද!—එපීස 4:29.
17. අනුන්ට ප්‍රයෝජන ගෙන දීම පිණිස, අපට අපේ දිව භාවිතා කළ හැකි වැදගත්ම ක්‍රමය කුමක්ද? අප එසේ කළ යුත්තේ මන්ද?
17 අනුන් සමඟ දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය බෙදාගැනීමට වඩා දිවේ බලය පාවිච්චි කළ හැකි වෙනත් වැදගත් ක්‍රමයක් නැහැ. “කරුණාව [යහපත, NW] පෙන්වන්ට නුඹේ අතෙහි බලය තිබියදී, ඕනෑ කරන අයගෙන් එය වළක්වා නොගන්න” යයි හිතෝපදේශ 3:27 පවසනවා. මේ ජීවනදායක ශුභාරංචිය ඔවුන් සමඟ බෙදාගැනීමට අප බැඳී සිටිනවා. යෙහෝවා අපට එතරම් ත්‍යාගශීලී ලෙස භාර දී තිබෙන හදිසි පණිවුඩය අපටම තබාගැනීම හරි දෙයක් නම් නොවේ. (1 කොරින්ති 9:16, 22) එහෙත්, යෙහෝවා අපෙන් අපේක්ෂා කරන්නේ මෙම වැඩය තුළ කොතරම් දුරකට නියැලීමක්ද?
අපගේ “මුළු ශක්තියෙන්” යෙහෝවාට සේවය කිරීම
18. යෙහෝවා අපගෙන් අපේක්ෂා කරන්නේ මොනවාද?
18 ක්‍රිස්තියානි දේවසේවය තුළ මුළුමනින්ම හවුල් වීමට අපව පොලඹවන්නේ යෙහෝවා සඳහා වූ අපගේ ප්‍රේමයයි. මේ සම්බන්ධයෙන් යෙහෝවා අපෙන් අපේක්ෂා කරන්නේ මොනවාද? අපගේ ජීවිත තත්වයන් කුමක් වුවත්, ඔහු ඉල්ලන්නේ අප සියලුදෙනාටම දිය හැකි දෙයක්. එනම්, “නුඹලා කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව යෙහෝවාට මෙන් සිතෙන් කරන්න” කියායි. (කොලොස්සි 3:24) ශ්‍රේෂ්ඨතම ආඥාව ගැන පවසමින් යේසුස් පැවසුවේ මෙසේයි. “නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ දෙවි වූ යෙහෝවාට ප්‍රේම කරන්න.” (මාර්ක් 12:30) ඔව්, අප විසින් යෙහෝවාට ප්‍රේම කිරීමත් මුළු ආත්මයෙන් ඔහුට සේවය කිරීමත් ඔහු අප එක් එක්කෙනාගෙන් ඉල්ලා සිටිනවා.
19, 20. (අ) මාර්ක් 12:30ට අනුව ආත්මය යනුවෙන් පවසද්දී, හෘදය, බුද්ධිය හා ශක්තිය අයත් වුවත් මෙම හැකියාවන් ගැන වෙනම සඳහන් වන්නේ ඇයි? (ආ) යෙහෝවාට මුළු ආත්මයෙන් සේවය කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
19 මුළු ආත්මයෙන් දෙවිට සේවය කිරීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙහිදී ආත්මය යන්න යොදා ඇත්තේ ශාරීරික හා මානසික හැකියාවන්ගෙන් යුත් සම්පූර්ණ පුද්ගලයාට යොමු දැක්වීම සඳහායි. ඊට හෘදය, බුද්ධිය හා ශක්තියද ඇතුළත් වී තිබෙන හෙයින්, මාර්ක් 12:30හි ඒවා වෙන වෙනම ඇතුළත් කර ඇත්තේ ඇයි? නිදසුනක් සලකා බලන්න. බයිබල් කාලවල, යම් පුද්ගලයෙක් තමාවම වහල්භාවයට විකුණුවා වෙන්ට පිළිවන්. එහෙත්, එම වහලා තම ස්වාමියාට මුළු හදවතින්ම සේවය නොකරනවා වෙන්ට පිළිවන්. ඔහු තම ස්වාමියාගේ කාරණා කටයුතු වැඩිදියුණු කිරීමට තමන්ගේ පූර්ණ ශක්තිය හෝ තම පූර්ණ මානසික හැකියාවන් යොදා නොගන්නවා වෙන්නට පුළුවන්. (කොලොස්සි 3:22) මෙබැවින්, යේසුස් මෙම වෙනත් හැකියාවන් සඳහන් කළේ අප දෙවිට සේවය කිරීමේදී අපේ කිසිම දෙයක් වළක්වාගත නොයුතුය යන්න කාවැද්දීමට බව පෙනී යනවා. මුළු ආත්මයෙන් දෙවිට සේවය කරනවා යන්නෙන් අදහස් කරන්නේ, දෙවිගේ සේවය තුළ හැකි උපරිම අන්දමින් අපගේ හැකියාවන් හා ශක්තීන් යොදාගනිමින් අපවම ඒ සඳහා දීමයි.
20 මුළු ආත්මයෙන්ම සේවය කරනවා කීමෙන් අදහස් කරන්නේ අප සියල්ලන්ම දේවසේවයේ එක සමාන කාලයක් හා ශක්තියක් මිඩංගු කළ යුතු බවද? තත්වයන් හා හැකියාවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බැවින් එය එසේ වන්නට බැහැ. නිදසුනක් වශයෙන්, හොඳ සෞඛ්‍යයක් හා ශාරීරික හැකියාවක් තිබෙන යෞවනයෙකුට, තමාට වඩා වයසින් වැඩි ශක්තිය අඩු කෙනෙකුට වඩා වැඩි කාලයක් දේශනා සේවයේ නිතර විය හැකියි. පවුල් වගකීම්වලින් නිදහස්ව සිටින තනිකඩයෙකුට පවුලක් නඩත්තු කිරීමට තිබෙන කෙනෙකුට වඩා වැඩියෙන් සේවය කරන්ට පුළුවනි. දේවසේවය වැඩියෙන් කිරීමට හැකි වන පරිදි අපට ශක්තිය තිබෙනවා නම් හා සේවයට අපේ තත්වයන් ඉඩ දෙනවා නම්, අප ඒ ගැන කොතරම් ස්තුතිවන්ත විය යුතුද! ඇත්ත වශයෙන්ම, මේ සම්බන්ධව අපව අනුන් සමඟ සසඳමින් විවේචනාත්මක ස්වභාවයක් ඇතිව සිටින්නට අපට කිසිවිටෙකත් වුවමනාවක් නැහැ. (රෝම 14:10-12) ඊට වෙනස්ව, අපට වුවමනා වන්නේ අනුන්ව දිරිගැන්වීමට අපගේ ශක්තීන් පාවිච්චි කිරීමටයි.
21. අපගේ බලය යොදාගත හැකි වඩාත් හොඳම හා වඩාත් වැදගත්ම ක්‍රමය කුමක්ද?
21 සිය බලය හරි විදිහට යොදාගනිමින් පරිපූර්ණ ආදර්ශය අපට තබා තිබෙන්නේ යෙහෝවායි. අසම්පූර්ණ මිනිසුන් වශයෙන්, අපගේ හැකියාවේ උපරිමයෙන් ඔහුව අනුකරණය කිරීමට අපට වුවමනායි. අපට ඇතැම් අය කෙරෙහි යම් අධිකාරයක් තිබුණත්, ඒ අයව ගෞරවයෙන් සැලකීමෙන් අපේ බලය නිසි අයුරින් විදහාපෑමට අපට පුළුවන්. මීට අමතරව, යෙහෝවා විසින් අපට දී තිබෙන ජීවිත ගැළවීමේ වැඩය මුළුමනින් ඉෂ්ට කරන්නට මුළු ආත්මයෙන් ක්‍රියා කිරීමට අපට වුවමනායි. (රෝම 10:13, 14) ඇරත්, මෙය මතක තබාගන්න. යෙහෝවා සතුටු වන්නේ ඔබගේ ආත්මයම එනම්, ඔබේ මුළු ගතින්ද සිතින්ද ඔබේ සියල්ලම ඔහුට දෙන විටයි. අවබෝධයෙන් හා ප්‍රේමයෙන් ක්‍රියා කරන මෙවැනි දෙවි කෙනෙකුට සේවය කිරීමෙහිලා ඔබට කළ හැකි සියල්ලම කිරීමට ඔබගේ හදවත පෙලඹෙන්නේ නැද්ද? ඔබේ බලය යොදාගත හැකි වෙනත් කිසිදු වඩාත් හොඳ හෝ වඩාත් වැදගත් ක්‍රමයක් ඇත්තේ නැහැ.
[පාදසටහන]
a බයිබල් කාලවල, “ඉපල” සඳහා වූ හෙබ්‍රෙව් වචනයෙන් අදහස් කළේ තම බැටළුවන්ව හැසිරවීමට එඬේරෙකු විසින් යොදාගන්නා ලද කෝටුවක් හෝ සැරයටියක් වැනි දෙයක්. (ගීතාවලිය 23:4) ඒ හා සමානව, දෙමාපියන්ගේ බලතල හා සම්බන්ධ “ඉපල” යන්නෙන් අදහස් කරන්නේ ප්‍රේමනීය මඟ පෙන්වීම මිසක සැර හා කෲර ලෙස හෝ වධ හිංසා පමුණුවමින් දඬුවම් කිරීම නොවේ.
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න
හිතෝපදේශ 3:9, 10, NW අප සතුව තිබෙන “වටිනා දේවල්” මොනවාද? යෙහෝවාට ගෞරව කිරීමට අපට මේවා යොදාගත හැක්කේ කෙසේද?
දේශනාකාරයා 9:5-10 දෙවි අනුමත කරන ආකාරයට දැන් ඔබ ඔබේ ශක්තීන් පාවිච්චි කළ යුත්තේ ඇයි?
ක්‍රියා 8:9-24 මෙහි විස්තර කර ඇත්තේ බලය කිනම් ආකාරයකට වැරදි ලෙස පාවිච්චි කිරීමද? එවැනි වැරදි ක්‍රියාවකට හසුවීමෙන් වැළකීමට අපට හැක්කේ කෙසේද?
ක්‍රියා 20:29-38 සභාවන්හි වගකීම් දරන අයට පාවුල්ගේ ආදර්ශයෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද?
[103වන පිටුවේ පින්තූරය]
ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් තමන්ගේ බලය හරි ලෙස යොදාගන්නේ එකිනෙකාට ප්‍රේමය හා ගෞරවය දැක්වීමෙන්ය
[104වන පිටුවේ පින්තූරය]
ශුභාරංචිය බෙදාගැනීම—අපගේ බලය යොදාගත හැකි ඉතා හොඳ ක්‍රමයක්