යෙහෝවා ඔබේ ප්‍රාණ-පූර්ණ සේවය අගය කරයි
“ඔබ කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව යෙහෝවාට මෙන් ප්‍රාණ-පූර්ණව කරන්න.”—කොලොස්සි 3:24, NW.
1, 2. (අ) අපිට ලබන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම වරප්‍රසාදය කුමක්ද? (ආ) දේවසේවයේ අපි කරන්න කැමති හැම දෙයක්ම කරන්න සමහර අවස්ථාවලදී අපට බැරි වන්නේ මන්ද?
යෙහෝවාට සේවය කිරීම අපිට තිබිය හැකි ශ්‍රේෂ්ඨතම වරප්රසාදයයි. හොඳ හේතු ඇතුව මෙම ජර්නලය, වසර ගණනාවක් පුරා, දේවසේවයේ තමන්ව යෙදවීමට පමණක් නොව හැකි සෑම අවස්ථාවකදීම “වඩා පූර්ණ ලෙස” පවා එසේ කිරීමට ක්‍රිස්තියානීන්ව දිරිගැන්වුවා. (1 තෙසලෝනික 4:1, NW) කෙසේවෙතත්, දෙවිගේ සේවයෙහි අපි කිරීමට කැමති සෑම දෙයක්ම කිරීමට සෑමවිටම හැකියාවක් නැහැ. “මගේ තත්වයන් කොයි වගේද කියනවා නම්, මට පූර්ණ-කාලීනව වැඩ කරන්න සිද්ධ වෙනවා” කියා වසර 40කට ආසන්න කාලයක් බව්තීස්ම වී සිටින තනිකඩ සහෝදරියක් පැහැදිලි කරනවා. “මම එහෙම වැඩ කරන්නේ, වටිනා, නොයෙක් මෝස්තරවල ඇඳුම් ආයිත්තම් ගන්නවත්, නිවාඩුවට නැවේ ගමනක් යන්න හින්දවත් නෙවෙයි; මගේ දන්ත සහ වෛද්‍ය වියදම් වගේම වෙනත් අවශ්‍යතා පිරිමහගන්න ඕනෙ හින්දයි. මට දැනෙන්නේ හරියට මම ඉතුරු වෙච්ච දේ, යෙහෝවාට දෙනවා කියලයි.”
2 දෙවිට ඇති ප්‍රේමය, දේශනා කිරීමේ වැඩයේ හැකි තරම් යෙදෙන්න ඕනෑයයි හැඟෙන්න අපව පොලඹවනවා. නමුත් ජීවිතයේ තත්වයන් බොහෝවිට අපිට කළ හැකි දෙය සීමා කරවනවා. පවුල් වගකීම් ඇතුළු වෙනත් ශුද්ධ ලියවිලි වගකීම් සපුරාලීම, අපේ කාලය සහ ශක්තියෙන් වැඩි හරියක් වැය කර දමන්න ඉඩ තිබෙනවා. (1 තිමෝති 5:4, 8) මේ “අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු, අර්බුදකාරි කාලවල්” ජීවිතය තව තවත් අභියෝගාත්මක කරවනවා. (2 තිමෝති 3:1) දේවසේවයේ අපි කරන්න කැමති සෑම දෙයක්ම කරන්න අපිට බැරි වන විට අපේ හෘද යම් ප්‍රමාණයකට පීඩාවට ලක් වෙන්න ඉඩ තිබෙනවා. දෙවි අපේ නමස්කාරය ගැන සතුටු වෙයිදෝයි කියා අපි හිතන්න පුළුවන්.
ප්‍රාණ-පූර්ණ සේවයේ අලංකාරය
3. යෙහෝවා අප සියලුදෙනාගෙන්ම අපේක්ෂා කරන්නේ කුමක්ද?
3 ගීතාවලිය 103:14හි, [NW] බයිබලය උණුසුම් ලෙස අපිට සහතික වන්නේ යෙහෝවා “අපේ සැකැස්ම දන්නා අතර, අපි දූවිලි බව සිහි කරන්නේය” කියායි. වෙන ඕනෑම කෙනෙකුට වඩා ඔහු අපේ සීමාවන් තේරුම්ගන්නවා. අපිට දෙන්න පුළුවන්වට වඩා ඔහුට ඕනෑ නැහැ. ඔහු අපේක්ෂා කරන්නේ කුමක්ද? තමාගේ ජීවිත තත්වය නොසලකා සෑම කෙනෙකුටම දිය හැකි යමක්: “ඔබ කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව යෙහෝවාට මෙන් ප්‍රාණ-පූර්ණව කරන්න.” (කොලොස්සි 3:24, NW) ඔව්, අප—අප සියලුදෙනාම—ඔහුට ප්‍රාණ-පූර්ණව සේවය කිරීම යෙහෝවා අපෙන් අපේක්ෂා කරනවා.
4. යෙහෝවාට ප්‍රාණ-පූර්ණව සේවය කරන්න කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
4 යෙහෝවාට ප්‍රාණ-පූර්ණව සේවය කරන්න කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? “ප්‍රාණ-පූර්ණ” යන්නට යොමු දක්වන ග්‍රීක් යෙදුම වචනානුසාරයෙන්ම “ප්‍රාණයෙන්” යන්න අදහස් කරනවා. කෙනෙකුගේ සියලුම ශාරීරික සහ මානසික හැකියාවන් සමඟ සම්පූර්ණ පුද්ගලයාට “ප්‍රාණය” යන යෙදුම යොමු දක්වනවා. දෙවිගේ සේවයෙහි අපේ සියලු බලයන් පාවිච්චි කර, අපේ ශක්තීන් යොදාගනිමින් හැකි පූර්ණ ආකාරයට අපවම දීම, ප්‍රාණ-පූර්ණව සේවය කිරීමෙන් තවදුරටත් අදහස් කරනවා. කෙටියෙන් කියනවා නම්, ඉන් අදහස් කරන්නේ අපේ ප්‍රාණයට කළ හැකි සෑම දෙයක්ම කිරීමයි.—මාර්ක් 12:29, 30.
5. සියලුදෙනාම දේවසේවයේ එකම ප්‍රමාණය කළ යුතු නැති බව ප්‍රේරිතයන්ගේ ආදර්ශය පෙන්වන්නේ කෙසේද?
5 ප්‍රාණ-පූර්ණ වීම කියද්දී, අපි සියලුදෙනාම සේවයේ එකම ප්‍රමාණය කළ යුතුයි කියා අදහස් කරනවාද? එය කිරීමට දුෂ්කර දෙයක්; මන්දයත්, තත්වයන් සහ හැකියාවන් ප්‍රාණයෙන් ප්‍රාණයට වෙනස්. යේසුස්ගේ ඇදහිලිවන්ත ප්‍රේරිතයන් ගැන සලකා බලන්න. එකම ප්‍රමාණයටම දේවල් කරන්න ඔවුන් සියලුදෙනාටම හැකියාව තිබුණේ නැහැ. නිදසුනක් වශයෙන්, කානානිය සීමොන් සහ අල්පෙවුස්ගේ පුත්‍ර වූ යාකොබ් වැනි සමහර ප්‍රේරිතයන් ගැන අපි දන්නේ බොහොම ටිකයි. සමහරවිට ප්‍රේරිතයන් හැටියට ඔවුන්ගේ ක්‍රියාකාරකම් වඩා සීමිත වුණා. (මතෙව් 10:2-4) ඊට වෙනස්ව, බොහෝ භාරදූර වගකීම් බාරගන්න පේතෘස්ට හැකි වුණා—ඇයි, යේසුස් ඔහුට “ස්වර්ගරාජ්‍යයේ යතුරු” පවා දුන්නා! (මතෙව් 16:19) එහෙත්, එය අන් අයට වඩා පේතෘස්ව උසස් කළේ නැහැ. යොහන් එළිදරව්වේ නව යෙරුසලම සම්බන්ධ දර්ශනය ලබද්දී (පො.යු. 96දී පමණ), අත්තිවාරම් දොළොසක් දුටු අතර, ඒවා පිට “ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ නාම දොළොස” කොටා තිබෙනවා ඔහු දුටුවා.a (එළිදරව් 21:14) පෙනෙන විදිහට සමහරුන් අනිත් අයට වඩා කළත්, ප්‍රේරිතයන් සියලුදෙනාගේම සේවය යෙහෝවා අගය කළා.
6. වපුරන්නා පිළිබඳ යේසුස්ගේ උපමාවේ, ‘සරු පසෙහි’ වැපුරූ බීජයට සිදු වන්නේ කුමක්ද? එමෙන්ම කිනම් ප්‍රශ්න පැනනඟීද?
6 ඒ හා සමානව, අපි සියලුදෙනාගෙන්ම එකම ප්‍රමාණයේ දේශනා කිරීමක් යෙහෝවා ඉල්ලා සිටින්නේ නැහැ. වපුරන්නාගේ උපමාවේදී යේසුස් මෙය ඇඟවූ අතර, එහිදී වපුරන බීජවලට දේශනා කිරීමේ වැඩය සමාන කළා. බීජ විවිධ වර්ගයේ පස් මත වැටුණු අතර, පණිවිඩය අසන අය පිළිබිඹු කරන විවිධ වර්ගයේ හෘද තත්වයන් ඉන් උපමා කළා. “සරු [පසෙහි, NW] වපුරනලද්දේ නම්, වචනය අසා තේරුම් ගෙන, ඵලද දරන තැනැත්තාය; එක්කෙනෙක් සියයක්ද එක්කෙනෙක් සැටක්ද එක්කෙනෙක් තිහක්ද බැගින් ඵල දෙන්නේයයි” යේසුස් පැහැදිලි කරමින් කියා සිටියා. (මතෙව් 13:3-8, 18-23) මොනවාද මේ ඵල? එමෙන්ම වෙනස් ප්‍රමාණවලින් එය ඵල දරන්නේ මන්ද?
7. වැපුරූ බීජයේ පලදාව යනු කුමක්ද? එමෙන්ම එය විවිධ ප්‍රමාණවලින් ඵල දරා ඇත්තේ මන්ද?
7 වැපුරූ බීජය “රාජ්‍යයේ වචනය” නිසා, එම වචනය ව්‍යාප්ත කිරීම සහ එය අන්‍යයන්ට කතා කිරීම ඵල දැරීම මගින් යොමු දක්වනවා. (මතෙව් 13:19) එහි පලදාව, තිහේ සිට සිය ගුණය දක්වා වෙනස් වන්නේ—ජීවිතයේ තත්වයන් සහ හැකියාවන් වෙනස් නිසයි. නිදන්ගත රෝගී තත්වයක් නිසා ක්‍රමයෙන් බෙලහීන වන කෙනෙකුට හෝ වයස්ගත කෙනෙකුට වඩා, හොඳ සෞඛ්‍යයක් සහ ශරීර ශක්තියක් ඇති පුද්ගලයෙකුට දේශනා කිරීමෙහි වඩා වැඩියෙන් කාලය ගත කරන්න හැකි වෙන්න පුළුවන්. පවුල් වගකීම්වලින් නිදහස් තරුණ තනිකඩ පුද්ගලයෙකුට, පවුලක් නඩත්තු කරන්න පූර්ණ-කාලීනව වැඩ කරන්න සිදු වී ඇති කෙනෙකුට වඩා වැඩියෙන් කිරීමට හැකි වෙන්න ඉඩ තිබෙනවා.—හිතෝපදේශ 20:29 සසඳන්න.
8. තමුන්ගේ ප්‍රාණවලට දිය හැකි හොඳම දෙය දෙන අය සම්බන්ධව දෙවිගේ දෘෂ්ටිය කුමක්ද?
8 තිස් ගුණයක් නිපදවන ප්‍රාණ-පූර්ණ තැනැත්තා සිය ගුණයක් නිපදවන්නාට වඩා දෙවිගේ දෘෂ්ටියෙන් භක්තිය අඩු කෙනෙක්ද? කොහෙත්ම නැහැ! පලදාවේ ප්‍රමාණය වෙනස් වෙන්න ඉඩ තිබුණත්, ඉදිරිපත් කළ සේවය අපේ ප්‍රාණවලට දිය හැකි හොඳම දෙය වන තාක් කල් යෙහෝවාට එය ප්‍රසන්නයි. මතක තබාගන්න, විවිධ ප්රමාණවල සෑම පලදාවක්ම පැමිණෙන්නේ ‘සරු පස’ නමැති හෘදවලින්. “සරු” යන්නට යොමු දක්වා ඇති ග්‍රීක් යෙදුම (කා·ලොස්ʹ) පැහැදිලි කරන්නේ, “අලංකාර” සහ “හෘදය සතුටු කරවන සහ ඇස්වලට ප්‍රියකම ලබා දෙන” යමක් හැටියටයි. අපි හොඳම දේ කරද්දී, අපේ හෘද දෙවිගේ ඇස් ඉදිරියේ අලංකාර බව දැනගැනීම මොනතරම් සැනසිල්ලක්ද!
අනුන් සමඟ සසඳන්නේ නැතුව
9, 10. (අ) අපේ හෘද අපව මඟ පෙන්වන්න ඉඩ ඇත්තේ කිනම් ආකාරයේ නිෂේධාත්මක තර්ක කිරීමකටද? (ආ) අපි කරන දේ යෙහෝවා අන් අය සමඟ සසඳන්නේ නැති බව 1 කොරින්ති 12:14-26හි සඳහන් නිදර්ශනයෙන් පෙන්වන්නේ කෙසේද?
9 කෙසේවෙතත්, අපේ අසම්පූර්ණ හෘදය දේවල් වෙනස් විදිහට තක්සේරු කරන්න ඉඩ තිබෙනවා. එය අපේ සේවය අනිත් අයගේ සේවය සමඟ සසඳන්න ඉඩ තිබෙනවා. ‘අනිත් අය මට වඩා ගොඩාක් වැඩියෙන් සේවය කරනවා; ඉතිං යෙහෝවා කොහොමද මගේ සේවය ගැන සතුටු වෙන්නේ?’ කියා හෘදය තර්ක කරන්න ඉඩ තිබෙනවා.—1 යොහන් 3:19, 20 සසඳන්න.
10 යෙහෝවාගේ සිතුවිලි සහ මාර්ග අපේ ඒවාට වඩා බොහෝ උසස්. (යෙසායා 55:9) ඇස්, අත්, කකුල්, කන් සහ බොහෝ අවයව ඇති සිරුරකට සභාව සමාන කර තිබෙන 1 කොරින්ති 12:14-26න්, අපගේ පෞද්ගලික කාරණ යෙහෝවා දකින ආකාරය ගැන යම් තීක්ෂ්ණ බුද්ධියක් ලැබෙනවා. භෞතික ශරීරය ගැන මොහොතකට සිතන්න. ඔබේ ඇස් ඔබේ අත් සමඟත් ඔබේ කකුල් ඔබේ කන් සමඟත් සසඳන එක මොනතරම් විහිළුවක්ද! සෑම අවයවයක්ම විවිධ ක්‍රියාකාරිත්වයක් ඉටු කරනවා; සියලුම අවයව ප්‍රයෝජනවත් වගේම වටිනවා. ඒ හා සමානව, අන් අය වැඩියෙන් කළත් ඔවුන් අඩුවෙන් කළත්, යෙහෝවා ඔබේ ප්‍රාණ-පූර්ණ සේවය අගනා ලෙස සලකනවා.—ගලාති 6:4.
11, 12. (අ) තමන් “දුර්වල” හෝ “ගෞරවයෙන් හීන වූ [NW]” අය කියා සමහරෙකුට හැඟෙන්න ඉඩ ඇත්තේ මන්ද? (ආ) යෙහෝවා අපේ සේවය තකන්නේ කෙසේද?
11 දුර්වල සෞඛ්‍යය, වයසට යෑම හෝ වෙනත් තත්වයන් මගින් සීමා පනවන විට, අපි “දුර්වල” හෝ “ගෞරවයෙන් හීන වූ [NW]” අය කියා අපෙන් සමහරෙකුට සමහර අවස්ථාවලදී හැඟෙන්න ඉඩ තිබෙනවා. නමුත් එහෙම නෙවෙයි යෙහෝවා කාරණා දකින්නේ. බයිබලය අපිට මෙසේ කියනවා: ‘සැබවින්ම ශරීරයේ දුර්වලයයි සලකන අවයව අත්‍යවශ්‍ය වේ. තවද අපි සුළුකොට සලකන අවයවයන් වඩාත් ගරු කොට සලකමු. මන්ද, ගරු කොට නොසලකන අවයවයන්ට දෙවි වඩා ගරුත්වයක් දෙමින් ශරීරය සංයුක්ත කළේය.’ (1 කොරින්ති 12:22-24, නව අනුවාදය) මෙලෙස, සෑම කෙනෙකුවම යෙහෝවාට අනර්ඝ වෙන්න පුළුවන්. අපගේ සීමාවන්ගේ රාමුව තුළ කරන අපේ සේවය ඔහු අගය කොට සලකනවා. එවන් තේරුම්ගන්නාසුලු සහ ප්‍රේමනීය දෙවිකෙනෙකුට සේවය කිරීමෙහිලා හැකි සෑම දෙයක්ම කරන්න ඕනෑයයි හැඟෙන්න ඔබගේ හෘදය ඔබව පොලඹවන්නේ නැද්ද?
12 එසේනම්, යෙහෝවාට වැදගත් වෙන්නේ, වෙන කෙනෙක් කරන තරමටම ඔබ කිරීම නොව, ඔබට—ඔබේ ප්‍රාණයට—පෞද්ගලිකව කරන්න පුළුවන් දේ කිරීමයි. යෙහෝවා අපේ පෞද්ගලික වීර්යය අගය කරන බව, පොළොව මත සිටි තම අන්තිම දවස්වලදී, බොහෝ වෙනස් ස්ත්‍රීන් දෙදෙනෙකු සමඟ කටයුතු කළ ආකාරය මගින් යේසුස් හද දනවන ආකාරයකට පෙන්වුවා.
අගය කරනසුලු ස්ත්‍රියගේ ‘ඉතා වටිනා’ ත්‍යාගය
13. (අ) මරියා යේසුස්ගේ හිසෙත් පාදවලත් සුවඳ පිරුණු තෙල් වත් කළ විට, වටාපිටාවේ තත්වය කුමක් වීද? (ආ) මරියාගේ තෙලෙහි ද්‍රව්‍යමය වටිනාකම කොපමණ වීද?
13 යේසුස් නීසාන් අටවන සිකුරාදා සවස්යාමයේ යෙරුසලමේ සිට කිලෝමීටර් තුනක් පමණ එපිටින්, ඔලීව කන්දේ නැඟෙනහිර බෑවුමේ පිහිටි කුඩා ගම්මානයක් වන බෙතානියට ආවා. යේසුස් බොහෝ සේ ආදරය කරන මිතුරන් මේ නගරයේ සිටියා—ඔවුන් නම් මරියා, මාර්තා සහ ඔවුන්ගේ සහෝදර ලාසරුස්. යේසුස් ඔවුන්ගේ නිවසට ආගිය කෙනෙක්ව සිටි අතර සමහරවිට නිතර නිතර එසේ කරන්න ඇති. නමුත් සෙනසුරාදා සවස, යේසුස් සහ ඔහුගේ මිතුරන්, කලින් ලාදුරු රෝගියෙක්ව සිට බොහෝවිට යේසුස් විසින් සුව කළ සීමොන්ගේ නිවසේ කෑමට ඉඳගෙන සිටියා. යේසුස් මේසයට ඇලවී සිටියදී, මරියා නිහතමානී ක්‍රියාවක යෙදෙමින්, ඇගේ සහෝදරයාව නැවත නැඟිටෙවූ මිනිසා කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් නිරූපණය කළා. ඇය ‘ඉතා වටිනා’ සුවඳ තෙල් පිරුණු කරඬුවක් බින්දා. ඇත්තෙන්ම එය වටිනවා! එය මසු 300ක් වටිනා එකක්, එනම් අවුරුද්දක පමණ වැටුප්වලට සමාන වටිනාකමක්. ඇය මේ සුවඳ තෙල් යේසුස්ගේ හිසෙත් පාදවලත් වත් කළා. එපමණක් නොව, ඇගේ හිසකේවලින් ඔහුගේ පාද පවා පිස දැමුවා.—මාර්ක් 14:3; ලූක් 10:38-42; යොහන් 11:38-44; 12:1-3.
14. (අ) මරියාගේ ක්‍රියාව සම්බන්ධව ගෝලයන් ප්‍රතික්‍රියා කළේ කෙසේද? (ආ) යේසුස් මරියා වෙනුවෙන් මැදිහත් වූයේ කෙසේද?
14 ගෝලයෝ කුපිත වුණා! ‘මේ නාස්තිය ඇයි?’ ඔවුන් ඇසුවා. යූදස් ඔහුගේ හොර සිත අවශ්‍යතාව ඇති අයට උපකාර කිරීමේ යෝජනාව පිටුපස සඟවාගෙන මෙසේ කිව්වා: “මේ තෙල මසු තුන්සියයකට වැඩියෙන් විකුණා දිළිඳුන්ට දෙන්ට පුළුවන්ව තිබුණේය.” මරියා ගොළුවත රැක්කා. නුමුත් යේසුස් ගෝලයන්ට මෙසේ කිව්වා: “ඈ නිකම් උන්නාවේ; නුඹලා ඈට කරදරකරන්නේ මක්නිසාද? ඈ මට කළේ යහපත් [කා·ලොස්ʹහි ස්වරූපයක්] ක්‍රියාවක්ය. . . . ඈට පුළුවන් දේ ඈ කළාය. භූමදානය පිණිස ඈ කල් ඇතුව මාගේ ශරීරය ආලේපකළාය. සැබවක් නුඹලාට කියමි—ලොව මුළුල්ලේ ශුභාරංචිය ප්‍රකාශකරනු ලබන සෑම තැන්වලදීම මේ ස්ත්‍රිය කළ ක්‍රියාවත් ඈ ගැන සිහිවීමක් කොට කියනු ලබන්නේය.” යේසුස්ගේ වදන්වල උණුසුම්භාවය මරියාගේ හදවත මොනතරම් සන්සුන් කරවන්න ඇද්ද!—මාර්ක් 14:4-9; යොහන් 12:4-8.
15. මරියා කළාවූ දෙයින් යේසුස් එතරම් පෙලඹුණේ මන්ද? එමගින් ප්‍රාණ-පූර්ණ සේවය ගැන අපි ඉගෙනගන්නේ කුමක්ද?
15 මරියා කළාවූ දෙයින් යේසුස් ගැඹුරින් පෙලඹෙනු ලැබුවා. ඔහුගේ තක්සේරුවට අනුව ඇය ප්‍රශංසාකටයුතු ක්‍රියාවක් කරනු ලැබ තිබෙනවා. යේසුස්ට වැදගත් වුණේ ත්‍යාගයේ ද්‍රව්‍යමය වටිනාකම නෙවෙයි, නමුත් “ඈට පුළුවන් දේ ඈ කළා” යන කාරණයයි. ඇයට දීමට හැකි දේ දෙන්න, ලද අවස්ථාව ඇය වැලඳගත්තා. වෙනත් පරිවර්තනවල මේ ආකාරයට යොමු දක්වා තිබෙනවා: “ඇයට කළ හැකි සියල්ල ඇය කරනු ලැබුවා” හෝ “කරන්න ඇයට බලය තිබූ දෙය ඇය කරනු ලැබුවා.” (ඇන් අමෙරිකන් ට්‍රාන්ස්ලේෂන්; ද ජෙරූසලම් බයිබල්) මරියා ඇගේ හොඳම දේ දුන් නිසා ඇගේ දීම ප්‍රාණ-පූර්ණ එකක් වූවා. ප්‍රාණ-පූර්ණ සේවය කියන්නේ එයටයි.
වැන්දඹුවගේ “කුඩා කාසි දෙක”
16. (අ) දිළිඳු වැන්දඹුවකගේ සම්මාදම යේසුස් නිරීක්ෂණය කළේ කෙසේද? (ආ) වැන්දඹුවගේ කාසිවල වටිනාකම කීයද?
16 දවස් කිහිපයකට පසු, නීසාන් 11වනදා, ඔහුගේ අධිකාරය ප්‍රශ්නයට භාජන කෙරෙමින්, බදු, නැවත නැඟිටීම සහ වෙනත් කාරණා සම්බන්ධයෙන් විසඳීමට දුෂ්කර ප්‍රශ්නවලට හිටිවන උත්තර දෙමින් යේසුස් දීර්ඝ දවසක් දේවමාළිගාවේ ගත කරමින් සිටියා. අනිත් දේවල් ඇතුළුව, ‘වැන්දඹුවන්ගේ ගෙවල් කොල්ල කෑ’ නිසා ලියන්නන් සහ ඵරිසිවරුන්ව හෙළා දුටුවා. (මාර්ක් 12:40) ඉන්පසුව, යේසුස් යුදෙව් සම්ප්‍රදායට අනුව, මුදල් ගබඩා 13ක් තබා ඇති ස්ත්රීන්ගේ මළුවේ තැනක වාඩි වුණා. ඔහු මොහොතකට වාඩි වී, සෙනඟ ඔවුන්ගේ සම්මාදම් දමනවා සැලකිල්ලෙන් බලා සිටියා. බොහෝ ධනවත් මිනිසුන් පැමිණියා; සමහරුන්ට සමහරවිට ආත්ම-ධර්මිෂ්ඨකමේ, පමණට වඩා ප්‍රදර්ශනය කිරීමේ පෙනුමක් තිබුණා. (මතෙව් 6:2 සසඳන්න.) එක් විශේෂ ස්ත්‍රියක් වෙත යේසුස්ගේ නෙත් තදින් යොමු වුණා. ඇය හෝ ඇගේ ත්‍යාගය පිළිබඳ විශිෂ්ට යමක් සාමාන්‍ය ඇස් නිරීක්ෂණය නොකරන්න ඉඩ තිබෙනවා. නමුත් අන් අයගේ හෘද දැනගන්න පුළුවන් යේසුස්, ඇය “දිළිඳු වැන්දඹුවක්” බව දැනගත්තා. ඇගේ ත්‍යාගයේ නියම ප්‍රමාණයත් ඔහු දැනගෙන සිටියා—එනම්, “ඉතා සුළු වටිනාකමක් ඇති කුඩා කාසි දෙකක් [NW].”b—මාර්ක් 12:41, 42.
17. වැන්දඹුවගේ සම්මාදම යේසුස් සැලකුවේ කෙසේද? මේ අනුව, දෙවිට දීම ගැන අප ඉගෙනගන්නේ කුමක්ද?
17 යේසුස් තම ගෝලයන්ට හඬගැසූ අතර, තමන් උගන්වන්න යන පාඩම ඔවුන් විසින් කෙළින්ම දැකබලා ගැනීම ඔහුට ඕනෑ කළා. “ගබඩාවේ මුදල් දමන සියල්ලන්ට වඩා මේ දිළිඳු වැන්දඹුව දැමුවාය” කියා යේසුස් කිව්වා. ඔහුගේ තක්සේරුවට අනුව අනිත් සියලුදෙනාම එකතු වී දැමූ දෙයට වඩා ඇය දැමුවා. ඇයට “තිබුණු සියල්ලම”—ඇගේ අන්තිම තඹ දොයිතුව පවා දුන්නා. එසේ කිරීමෙන්, ඇය යෙහෝවාගේ සුරැකුම් හස්තය මත තමාව තැබුවා. මෙලෙස දෙවිට දීමේ ආදර්ශයක් හැටියට කැපීපෙනෙන පුද්ගලයාගේ ත්‍යාගයේ ද්‍රව්‍යමය වටිනාකමක් ඇත්තේ නැති තරම්. කෙසේවෙතත්, දෙවිගේ ඇස් ඉදිරියේ එය අමිලයි!—මාර්ක් 12:43, 44; යාකොබ් 1:27.
ප්‍රාණ-පූර්ණ සේවය පිළිබඳ යෙහෝවාගේ දෘෂ්ටියෙන් ඉගෙනීම
18. මෙම ස්ත්‍රීන් දෙදෙනා සමඟ යේසුස් ක්‍රියා කළ ආකාරයෙන් අපි ඉගෙනගන්නේ කුමක්ද?
18 මෙම ස්ත්‍රීන් දෙදෙනා සමඟ යේසුස් ක්‍රියා කළ ආකාරයෙන්, ප්‍රාණ-පූර්ණ සේවය යෙහෝවා දකින්නේ කෙසේද කියා සමහර හද උණුසුම් කරන පාඩම් උගන්වනවා. (යොහන් 5:19) යේසුස් වැන්දඹු ස්ත්රියව මරියා සමඟ සන්සන්දනය කළේ නැහැ. ඔහු මරියාගේ ‘ඉතා වටිනා’ තෙල අගය කළ තරමටම වැන්දඹුවගේ කාසි දෙකත් අගය කළා. මෙම ස්ත්‍රීන් දෙදෙනාම තමන්ගේ හොඳම දෙය දුන් නිසා, දෙවිගේ ඇස් ඉදිරියේ ඔවුන්ගේ ත්‍යාග දෙකම වටිනා ඒවා වුණා. ඉතින්, දෙවිගේ සේවය තුළ ඔබට කරන්න ඕනෑ කරන සියල්ලම කරන්න ඔබට පුළුවන්කමක් නැති නිසා නොවටිනාබවේ හැඟීම් ඔබ තුළ මතු වේ නම් බලාපොරොත්තු සුන් කරගන්න එපා. ඔබට දිය හැකි හොඳම දෙය පිළිගන්න යෙහෝවා සතුටුයි. මතක තබාගන්න, යෙහෝවා ‘හෘදය බලන’ අතර, මෙලෙස ඔබේ හෘදයේ ඇති මහත් ආශාවන් ගැන ඔහු සම්පූර්ණයෙන්ම සාවධානව සිටිනවා.—1 සාමුවෙල් 16:7.
19. දෙවිට සේවය කිරීමෙහි අන් අය කරන දේ සම්බන්ධයෙන් අප විනිශ්චය නොකළ යුත්තේ මන්ද?
19 ප්‍රාණ-පූර්ණ සේවය පිළිබඳ යෙහෝවාගේ දෘෂ්ටිය, අපි එකිනෙකාට සලකන සහ ඔවුන්ව දකින ආකාරය මත බලපෑමක් ඇති කළ යුතුයි. අනිත් අයගේ වෑයම් විවේචනය කරන්න හෝ එක් එක් පුද්ගලයාව අනිත් අය සමඟ සන්සන්දනය කරන්න යන එක මොනතරම් ප්‍රේමය නැතිකමක් වේවිද! කනගාටුදායක ලෙස එක් ක්රිස්තියානිවරියක් මෙසේ ලිව්වා: “ඔයා පුරෝගාමියෙක් නෙමේ නං ඔයාගෙන් කිසිම වැඩක් නැහැ කියලා සමහර අවස්ථාවල සමහරු හැඟීමක් දීල තියෙනවා. ‘අඩුම තරමින්’ ස්ථාවර ප්‍රචාරකයන් හැටියට, නොකඩවාම සේවය කරන්න වලිකන අපි වගේ අයවත් අගය කරන බව හැඟෙන්න ඕනෙ.” සහකාර ක්රිස්තියානිවරයෙකු සඳහා ප්‍රාණ-පූර්ණ සේවය වශයෙන් සැලකෙන දෙය විනිශ්චය කරන්න අපිට අධිකාරය දී නැති බව අපි මතක තබාගනිමු. (රෝම 14:10-12) විශ්වාසවන්ත රාජ්‍ය ප්‍රචාරකයන් මිලියන ගණනකගෙන් සෑම කෙනෙකුගේම ප්‍රාණ-පූර්ණ සේවය යෙහෝවා අගය කරනවා. ඒ නිසා අපිත් එලෙසම අගය කළ යුතුයි.
20. සාමාන්‍යයෙන් හොඳම දෙය වන්නේ, අපේ සහකාර නමස්කාරකයන් පිළිබඳව කෙසේ සිතීමද?
20 කෙසේවෙතත්, සමහරෙක් දේවසේවයේ ඔවුන්ට කරන්න පුළුවන්වට වඩා අඩුවෙන් කරමින් සිටින බව පෙනෙනවා නම් කුමක් කළ හැකිද? සහකාර ක්රිස්තියානිවරයාගේ දේවසේවයේ අඩුවක් තිබෙනවා නම්, උපකාර කිරීමේ හෝ දිරිගැන්වීමේ අවශ්‍යතාවක් එහි ඇති බව සැලකිලිමත් වැඩිමහල්ලන්ට එය හොඳහැටි අඟවනවා. ඒ අතරම, සමහරුන් සඳහා ප්‍රාණ-පූර්ණ සේවය මරියාගේ වටිනා තෙලට වඩා වැන්දඹුවගේ කුඩා කාසිවලට ඉතා සමීප ලෙස සමාන වෙනවා කියා අපි මතක තබාගත යුතුයි. අපේ සහෝදර සහෝදරියන් යෙහෝවාට ප්‍රේම කරනවා සහ එවන් ප්‍රේමයක් ටිකක් කරන්න නොව—ඔවුන්ට හැකි තරම් කරන්න පොලඹවන්න යනවා කියා සිතීම සාමාන්‍යයෙන් හොඳම දෙයයි. නිසැකවම, හෘදය සාක්ෂියට එකඟව ක්‍රියා කරන යෙහෝවාගේ කිසිම සේවකයෙකු දෙවිට සේවය කිරීමේ ඔහුට පුළුවන් තරමට වඩා අඩුවෙන් කරන්න තෝරාගන්න යන්නේ නැහැ!—1 කොරින්ති 13:4, 7.
21. බොහෝදෙනෙක් ලුහුබඳිමින් සිටින්නේ කිනම් විපාකදායි ජීවන මාර්ගයද? එමෙන්ම කිනම් ප්‍රශ්න පැනනඟීද?
21 කෙසේවෙතත්, දෙවිගේ සෙනඟගෙන් බොහෝදෙනෙකුට ප්‍රාණ-පූර්ණ සේවය කීමෙන් අදහස් කරන්නේ අතිශයින්ම විපාකදායි ජීවන මාර්ගයක් ලුහුබැඳීමයි—ඒ පුරෝගාමී සේවයයි. ඔවුන් ලබන්නේ කිනම් ආශීර්වාදද? එමෙන්ම, අපි අතර සිටින තවමත් පුරෝගාමී සේවය කරන්න බැරි වූ අය ගැන කිව හැක්කේ කුමක්ද? අපිට පුරෝගාමී ස්ප්‍රීතුව පෙන්විය හැක්කේ කෙසේද? මෙම ප්‍රශ්න මීළඟ ලිපියේ සාකච්ඡා කරනවා.
[පාදසටහන්වල]
a මත්තියස් ප්‍රේරිතයෙක් හැටියට යූදස්ගේ ස්ථානය ලැබූ නිසා පාවුල්ගේ නොව ඔහුගේ නම, අත්තිවාරම් ගල් මත සඳහන්ව තිබෙන්න ඇති. පාවුල් ප්‍රේරිතයෙක් වුණත්, ඔහු 12දෙනාගෙන් කෙනෙක් නෙවෙයි.
b මේ කාසි දෙකම ලෙප්ටන් කාසි වූ අතර, එය එවකට පරිහරණයේ පැවති කුඩාම යුදෙව් කාසිය විය. දවසක පඩියෙන් 1/64කට ලෙප්ටා දෙකක් සමානය. මතෙව් 10:29ට අනුව, පුද්ගලයෙකුට අසේරියන් කාසියකින් (ලෙප්ටා අටකට සමානයි) ගේ කුරුල්ලන් එනම්, දිළිඳු මිනිසුන් ආහාරය සඳහා ගත් ලාභම කුරුල්ලන් අතර වූ උන් දෙදෙනෙකු මිල දී ගත හැකි විය. මෙලෙස මෙම වැන්දඹුව ඇත්තවශයෙන්ම දිළිඳු වූ අතර, ඇය සතුව තිබුණේ තනි වේලකටත් යාන්තමින් සෑහෙන, එක ගේ කුරුල්ලෙක් ගන්න අවශ්‍ය මිලෙනුත් අඩක් පමණයි.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ යෙහෝවාට ප්‍රාණ-පූර්ණව සේවය කරන්න කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
◻ අපි කරන දේ යෙහෝවා අන් අය සමඟ සසඳන්නේ නැති බව 1 කොරින්ති 12:14-26හි සඳහන් නිදර්ශනයෙන් පෙන්වන්නේ කෙසේද?
◻ මරියාගේ මිල අධික තෙල සහ වැන්දඹුවගේ කුඩා කාසි දෙක පිළිබඳ යේසුස් කී දේවලින් ප්‍රාණ-පූර්ණ දීම ගැන අප ඉගෙනගන්නේ කුමක්ද?
◻ ප්‍රාණ-පූර්ණ සේවය පිළිබඳ යෙහෝවාගේ දෘෂ්ටිය, අපි එකිනෙකාව දකින ආකාරය මත බලපෑමක් ඇති කළ යුත්තේ කෙසේද?
[15වන පිටුවේ පින්තූරය]
යේසුස්ගේ සිරුර ‘ඉතා වටිනා’ තෙලින් සුවඳවත් කරමින් මරියා ඇගේ හොඳම දෙය දුන්නා
[16වන පිටුවේ පින්තූරය]
වැන්දඹුවගේ කාසි—ද්‍රව්‍යමයව කිසිම වටිනාකමක් නැති තරම් වුණත් යෙහෝවාගේ ඇස් හමුවේ ඉතා අමිලයි