බයිබල් පොත් අංකය 39—මලාකී
ලේඛකයා: මලාකී
ලියූ ස්ථානය: යෙරුසලම
ලිවීම අවසන් කළේ: පො.යු.පෙ. 443ට පසු
මලාකී කියන්නේ කවුද? ඔහුගේ පෙළපත ගැන හෝ පෞද්ගලික ඉතිහාසය ගැන හෝ කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත. කෙසේවෙතත් මලාකී යෙහෝවා දෙවි කෙරෙහි වූ තම භක්තියෙන් ඉතා ජ්වලිතව සිටි බවත් යෙහෝවාගේ නාමයට හා නිර්මල නමස්කාරයට අනුබල දුන් අයෙකු බවත් දෙවිට සේවය කරන්නේයයි කියා සිටියත් තමුන්ටම සේවය සලසාගත්තාවූ අය කෙරෙහි ඉමහත් කෝපයක් ඔහුට හැඟුණු බවත් ඔහු අනාවැකි පවසා තිබෙන ආකාරයෙන් මනාව පැහැදිලි වේ. පරිච්ඡේද හතරකින් සමන්විත ඔහුගේ අනාවැකියේ යෙහෝවාගේ නාමය 48 වතාවක් සඳහන් කර ඇත.
2 හෙබ්‍රෙව් භාෂාවෙන් ඔහුගේ නාමය මල්අඛි වේ. “මාගේ දූතයා” යනුවෙන් එයින් අදහස් විය හැක. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල හා සෙප්ටූඅජින්ට් පරිවර්තනයේ මෙන්ම පොත්වල කාලානුරූපී පිළිවෙළ යන මේ සෑම එකකම මලාකී පොත ස්ථානගත කර තිබෙන්නේ සුළු අනාගතවක්තෘවරුන් 12දෙනා යනුවෙන් හඳුන්වනු ලබන පොත් අතර අවසාන පොත හැටියටය. මහ සිනගෝගයේ සම්ප්‍රදායට අනුව අනාගතවක්තෘ හග්ගයි සහ සෙකරියාට පසු ඔහු ජීවත් වූ අතර නෙහෙමියාගේ සමකාලීනයෙකු විය.
3 මලාකීගේ අනාවැකිය ලියනු ලැබුවේ කවදාද? එය ආණ්ඩුකාරයෙකුගේ පාලන සමයේදී ලියනු ලැබීය. එමනිසා, එය ලියනු ලැබුවේ යූදාගේ වසර 70ක පාළුවීමෙන් පසු යෙරුසලම යළි පිහිටුවීමේ කාලයේදී කියා නිගමනය කළ හැකිය. (මලා. 1:8) ඒ ආණ්ඩුකාරයා කවුද? දේවමාලිගාව ගොඩනැඟීම සම්බන්ධයෙන් යොමු දැක්වීමක් කර නැතත් දේවමාලිගා සේවය ගැන සඳහන් කර තිබෙන නිසා, එය ආණ්ඩුකාර සෙරුබ්බාබෙල්ගේ කාලයේදී සිදු වූවා විය හැක. දේවමාලිගාව ගොඩනැඟීම සම්පූර්ණ කරනු ලැබුවේ ඔහුගේ නිල කාලයේදීය. මේ කාලපරිච්ඡේදයේ විසූ බවට ශුද්ධ ලියවිලිවල සඳහන් වන්නේ තවත් එක් ආණ්ඩුකරුවෙකු ගැන පමණයි. ඔහු නෙහෙමියාය. නෙහෙමියාගේ කාලයට එම අනාවැකිය යෝග්‍ය වූවාද? නෙහෙමියා ආණ්ඩු කළ මුල් කාලයේ සිදු වූ යෙරුසලම සහ එහි පවුර නැවත ගොඩනැඟීම ගැන මලාකී පොතේ කිසිවක් සඳහන් කර නැත. කෙසේවෙතත්, පූජකයන් කළ වැරදි ක්‍රියා ගැන බොහෝ දෑ පවසන නිසා මලාකී පොත සහ නෙහෙමියා යෙරුසලමට පැමිණි දෙවන අවස්ථාවේදී පැවති තත්වය අතර සම්බන්ධයක් ඇති කරයි. නෙහෙමියා එසේ පැමිණියේ පො.යු.පෙ. 443දී, එනම් අර්තක්ෂස්තා රජුගේ පාලන සමයේ 32වන අවුරුද්දේදී, රජු විසින් ඔහුට බබිලෝනියට පැමිණෙන්න කියා අණ කිරීමෙන් පසුවය. (මලා. 2:1; නෙහෙ. 13:6) අනාවැකිය මෙම විශේෂිත කාලයට අදාළ වන බව මලාකීගේ මෙන්ම නෙහෙමියාගේ පොත්වල සඳහන් සමාන කොටස්වලින් පෙනී යයි.—මලා. 2:4-8, 11, 12—නෙහෙ. 13:11, 15, 23-26; මලා. 3:8-10—නෙහෙ. 13:10-12.
4 මලාකීගේ පොතේ විශ්වාසවන්තභාවය යුදෙව්වරුන් විසින් කවදත් පිළිගෙන තිබේ. මලාකී පොත දේවානුභාවයෙන් ලියනු ලැබූ බවත් ක්‍රිස්තියානි සභාව විසින් පිළිගනු ලැබූ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල පිළිගත් පොත් සමූහයේ කොටසක් වූ බවත් එහි ඇතුළත් අනාවැකිවල ඉටුවීම් පැහැදිලි කරන ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල සඳහන් උපුටාගත් කොටස් බොහොමයකින් සනාථ වේ.—මලා. 1:2, 3—රෝම 9:13; මලා. 3:1—මතෙ. 11:10; ලූක් 1:76 සහ ලූක් 7:27; මලා. 4:5, 6—මතෙ. 11:14 සහ මතෙ. 17:10-13, මාක් 9:11-13 සහ ලූක් 1:17.
5 දේවමාලිගාව නැවත ගොඩනඟනු ලැබූ කාලයේදී අනාගතවක්තෘ හග්ගයි සහ සෙකරියා විසින් නමස්කාරය සඳහා පුබුදුවාලනු ලැබූ උද්යෝගය පහව ගොස් තිබූ බව මලාකීගේ අනාවැකියෙන් අඟවනු ලැබේ. පූජකයන් නොසැලකිලිමත්, අහංකාර හා ආත්ම ධර්මිෂ්ඨ තැනැත්තන් බවට පත් වී තිබිණ. දේවමාලිගාවේ සේවාවන් සමච්චලයට භාජන වී තිබිණ. දෙවි ඊශ්‍රායෙල් කෙරෙහි සැලකිල්ලක් නොදක්වනවා යන හැඟීමක් පැතිර තිබූ නිසා දසයෙන් කොටස දීම සහ පූජා ඔප්පු කිරීම පහව ගොස් තිබිණ. සෙරුබ්බාබෙල් කෙරෙහි ජනයා බලාපොරොත්තු තබා තිබුණත් ඒවා ඉටු වී තිබුණේ නැත. තවද ඇතමෙකු අපේක්ෂා කර තිබූ ලෙස මෙසියස් පැමිණ සිටියේ නැත. යුදෙව්වරුන්ගේ ආත්මික තත්වය පැවතියේ ඉතාමත් දුර්වල මට්ටමකය. දිරිගැන්වීම සහ බලාපොරොත්තුව සඳහා තිබූ පදනම කුමක්ද? ජනයාගේ සැබෑ තත්වය පිළිබඳව ඔවුන්ව දැනුවත් කර, ධර්මිෂ්ඨකමට යළි පැමිණීම සඳහා ඔවුන්ව පිබිද විය හැක්කේ කෙසේද? මලාකීගේ අනාවැකිය උත්තර සපයයි.
6 මලාකීගේ ලේඛන ශෛලිය ඍජුය. එමෙන්ම ප්රබලය. පළමුවෙන් ඔහු යම් යෝජනාවක් සඳහන් කර, අනතුරුව ඔහු අමතන අයගේ විරෝධයන්ට උත්තර දෙයි. අවසානයේදී, තමා මුලින් සඳහන් කළ යෝජනාව ස්ථිර කිරීම සඳහා නැවත එය සඳහන් කරයි. මෙය ඔහුගේ තර්කවලට ප්‍රබල බවක් හා ප්‍රාණවත් බවක් ලබා දෙයි. හර බර වචන යොදාගනිමින් උසස් ව්‍යක්තභාවයක් යොදාගන්නවා වෙනුවට, අනපේක්ෂිත ලෙස විෂයට අවතීර්ණ වෙමින් ප්‍රබල විවාදශීලී ශෛලියක් ඔහු යොදාගනියි.
ප්‍රයෝජනවත් වීමට හේතු
13 යෙහෝවා දෙවිගේ වෙනස් නොවන ප්‍රතිපත්ති සහ දයාන්විත ප්‍රේමය තේරුම්ගැනීමට මලාකීගේ පොත උපකාරවත් වේ. ස්වකීය සෙනඟ, එනම් “යාකොබ්” සඳහා වූ යෙහෝවාගේ ඉමහත් ප්‍රේමය පොතේ ආරම්භයේදීම අවධාරණය කරයි. “යෙහෝවා වන මම වෙනස් නොවෙමි” කියා ඔහු යාකොබ්ගේ පුත්‍රයන්ට ප්‍රකාශ කළේය. ඔවුන්ගේ දුෂ්ටකම ඉතාමත් දරුණු වුවත්, ඔවුන් ඔහු වෙතට ආපසු පැමිණියේ නම් ස්වකීය සෙනඟව නැවත පිළිගැනීමට ඔහු සූදානමින් සිටියේය. ඇත්තෙන්ම දයාන්විත දෙවි කෙනෙක්! (මලා. 1:2; 3:6, 7; රෝම 11:28; නික්. 34:6, 7) පූජකයෙකුගේ තොල්වල ‘දැනගැන්ම තබාගත යුතු’ බව යෙහෝවා මලාකී මාර්ගයෙන් අවධාරණය කළේය. දේවවචනය ඉගැන්වීමේ කාර්යය විශ්වාසවන්තව බාර දී තිබෙන සියලුදෙනාම ඉහත සඳහන් කාරණයට අවනත වෙමින් තමන් අන්‍යයන්ට ලබා දෙන්නේ නිවැරදි දැනුම බවට සහතික විය යුතුය. (මලා. 2:7; පිලි. 1:9-11; සසඳන්න යාකොබ් 3:1.) “නපුර කරන සියල්ලෝම යෙහෝවා ඉදිරියේ යහපත්ය” කියා ඇඟවීමට උත්සහ කරන වංචාකාරයන් කෙරෙහි යෙහෝවා නොඉවසන්නේය. මේ ශ්‍රේෂ්ඨ රජුට සේවය කරන බව බොරුවට මවාපාමින් තමාට යෙහෝවාව රැවටිය හැකි බව කිසිවෙකු නොසිතිය යුතුය. (මලා. 2:17; 1:14; කොලො. 3:23, 24) ස්වකීය ධර්මිෂ්ඨ නීති සහ ප්‍රතිපත්ති උල්ලංගනය කරන සියල්ලන්ට එරෙහිව යෙහෝවා ශීඝ්‍ර සාක්කිකරුවෙක් වන්නේය. දුෂ්ට ලෙස ක්‍රියා කර ඇඟ බේරාගැනීමට පුළුවන් බව කිසිවෙකුට බලාපොරොත්තු විය නොහැක. යෙහෝවා ඔවුන්ව විනිශ්චය කරන්නේය. (මලා. 3:5; හෙබ්‍රෙ. 10:30, 31) යෙහෝවා තමන්ගේ ක්‍රියාවන් සිහි කර ඒවාට විපාක දෙන බවට පූර්ණ නිසැකකමක් ධර්මිෂ්ඨයාට තිබිය හැක. යේසුස් කළාක් මෙන් ඔවුන්ද මෝසෙස්ගේ නීතියට අවධානය යොමු කළ යුතුය. මන්ද ඔහු තුළ ඉටු වූ බොහෝ දේවල් එහි අඩංගු වන බැවිනි.—මලා. 3:16; 4:4; ලූක් 24:44, 45.
14 හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ අවසාන පොත හැටියට මලාකී පොත සියවස් හතරකට වඩා වැඩි කලකට පසු පෙනී සිටින්ට යන මෙසියස්ගේ පැමිණීම හා සම්බන්ධ සිද්ධීන්වලට යොමු දක්වයි. එමෙන්ම ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි ලිවීම සඳහා හේතු සාධකය වූයේ ඔහුගේ පැමිණීමයි. මලාකී 3:1හි වාර්තා වී ඇති පරිදි, සේනාවල යෙහෝවා මෙසේ පැවසුවේය. “මෙන්න, මාගේ දූතයා එවමි. ඔහු මට පෙරටුව මාර්ගය පහදන්නේය.” යොහන් බව්තීස්ත නමැති සිය පුත්‍රයා තුළ මෙය ඉටු වූ බව දේවානුභාවයෙන් කතා කරමින් මහලු සෙකරියස් පෙන්වා දුන්නේය. (ලූක් 1:76) යේසුස් මෙසේ සඳහන් කිරීමෙන් මෙය සනාථ කළේය. “යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් නොනැඟුටුණේය. නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්ය.” මලාකී පුරෝකථනය කළාක් මෙන් යොහන්ව එවනු ලැබුවේ ‘මාර්ගය සෑදීමට’ නිසා, යේසුස් පසුව රාජ්‍යයක් සඳහා ගිවිසුමක් කළ අය අතරෙහි ඔහු නොසිටියේය.—මතෙ. 11:7-12; ලූක් 7:27, 28; 22:28-30.
15 පසුව, මලාකී 4:5, 6හි යෙහෝවා මෙසේ පොරොන්දු වූයේය. “බලව, . . . ප්‍රොපේතවූ එලියා නුඹලා වෙතට එවන්නෙමි.” මෙහි සඳහන් වන “එලියා” කවුද? යේසුස් මෙන්ම සෙකරියස් ඉදිරියෙහි පෙනී සිටි දේවදූතයාද එම වදන් අදාළ කරන්නේ යොහන් බව්තීස්තටයි. ‘සියල්ල නැවත පිහිටුවන’ හා ‘සූදානම් වූ සෙනඟක් යෙහෝවාට පිළියෙළ’ කරන තැනැත්තා ඔහු කියා දේවදූතයා පෙන්වා දෙයි. කෙසේවෙතත් ‘යෙහෝවාගේ මහත් වූ ගරුබිය දනවන දවසට’ පෙරටුව ගමන් කරන්නා “එලියා” බවත් මලාකී පවසයි. මෙසේ එම අනාවැකියට විනිශ්චය දවසේදී තවත් අනාගත ඉටුවීමක් තිබෙන බව එයින් ඇඟවෙයි.—මතෙ. 17:11; ලූක් 1:17; මතෙ. 11:14; මාක් 9:12.
16 එම දවස ගැන බලාසිටිමින් සේනාවල යෙහෝවා මෙසේ කියන්නේය. “ඉර උදා වන තැන් පටන් බස්නා තැන දක්වා මාගේ නාමය ජාතීන් අතරේ උතුම්ය. . . . මක්නිසාද මම මහත් රජෙක්ය. මාගේ නාමය ජාතීන් අතරෙහි භයානකව තිබේ.” සැබවින්ම භයානකය! මන්ද “උදුනක් මෙන් ඇවිළෙන දවස පැමිණෙන්නේය. එවිට සියලු උඩඟු අයද දුෂ්ටකම් කරන සියල්ලන්ද ඉපනැලි” මෙන් වන බැවිනි. එහෙත් යෙහෝවාගේ නාමය කෙරෙහි භය ඇත්තෝ ප්‍රීති වෙති. මන්ද ඔවුන් කෙරෙහි ‘ධර්මිෂ්ඨකමේ සූර්යයා තමාගේ සුව කිරීමේ පියාපත් ඇතුව උදා වන’ බැවිනි. මෙම වදන්වලින් අවධානය යොමු කරන්නේ කීකරු මිනිසුන් ආත්මිකව, චිත්තවේගීව, මානසිකව හා ශාරීරිකව සම්පූර්ණයෙන්ම සුව කරනු ලබන ප්‍රීතිමත් කාලය වෙතටය. (එළි. 21:3, 4) එම තේජාන්විත ආශීර්වාද ලත් දවස ගැන සඳහන් කිරීමේදී, යෙහෝවාගේ ගෘහයට අපගේ පූජාවන් ගෙන එන විට හෘද-පූර්ණ වීමට මලාකී අපව මෙසේ දිරිගන්වයි. “මාගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස නුඹලා ගබඩාගෙට ඔතු සියල්ල ගෙන වුත්, මා විසින් නුඹලාට අහසේ කවුළු ඇර ඉඩම් මදි වෙන තරම් නුඹලාට ආශීර්වාදයක් වගුරුවා දෙන්නේ නැද්ද කියා එයින් මා සෝදිසි කර බලන්නැයි සේනාවල යෙහෝවා කියන්නේය.”—මලා. 1:11, 14; 4:1, 2; 3:10.
17 අනාගතවක්තෘවරුන්ගේ මෙම අවසාන පොත ‘පොළොව විනාශයට නියම කර තිබීම’ ගැන අඛණ්ඩව අනතුරු ඇඟවීම් කළද, යෙහෝවා ඔහුගේ සෙනඟට පැවසූ මෙම වදන් සමඟින් ප්‍රීතිවීමටත් ශුභවාදී ලෙස දේවල් දෙස බැලීමටත් ආරාධනා කරයි. “නුඹලා වාසනාවන්තයෝයයි [සන්තෝෂවත්යයි, NW] සියලු ජාතීන් කියනවා ඇත. මක්නිසාද නුඹලා ප්‍රියකරු දේශයක් වන්නහුය.”—4:6; 3:12.