මුළු හදින්ම දෙවිට සේවය කරන්න
“ඔබ උදෙසා මට ඇති දේ වියදම් කරන්ටත්, මම මුළුමනින් ම වැය වෙන්ටත් ඉතා සතුටු වෙමි.” (2 කොරින්ති 12:15, නව අනුවාදය) දෙවිගේ සේවය පිළිබඳව පාවුල්ට හැඟුණේ එලෙසයි. යෙහෝවාගේ සේවකයෙකුට තිබිය යුතු ආකල්පය සම්බන්ධයෙන් ඉහත සඳහන් වචන ඔබට පවසන්නේ කුමක්ද? එක් බයිබල් විශාරදයෙකුට අනුව පාවුල් කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ට එම වදන්වලින් පැවසුවේ, “හරියට පියෙක් තම දරුවන්ට සලකන ආකාරයට මම මගේ ශක්තිය, කාලය, ජීවිතය ඇතුළු මට ඇති සෑම දෙයක්ම ඔබේ සුභසිද්ධිය වෙනුවෙන් යොදවන්න සතුටුයි” කියායි. පාවුල් තම ක්‍රිස්තියානි දේවසේවය සම්පූර්ණ කිරීම සඳහා ‘මුළුමනින්ම වැය වෙන්ට’ එසේ නැතහොත් ඒ වෙනුවෙන් “වෙහෙසට හා විඩාවට පත්වීමට” පවා සූදානම් විය.
පාවුල් මේ සියල්ල කළේ ‘ඉතා සතුටිනි.’ එක් බයිබල් පරිවර්තනයක (The Jerusalem Bible) පවසන්නේ ඔහු එය කිරීමට “මුළුමනින්ම කැමැත්තෙන්” සිටි බවයි. ඔබ ගැන කුමක් පැවසිය හැකිද? ඔබ කැමතිද ඔබේ කාලය, ශක්තිය, කුසලතා සහ ධනය යෙහෝවා දෙවිගේ සේවය සහ අන් අයගේ යහපත උදෙසා යොදවන්න? එසේ යෙදවීමේදී යම් අවස්ථාවල “වෙහෙසට හා විඩාවට පත්” වන විට එය දරාගන්න ඔබ සූදානම්ද? ඔබ මෙවැනි සේවයක් හද පිරි ‘සතුටින්’ ඉටු කරන්න කැමතිද?
ඔවුන් සේවය කරන්න අකමැතියි
බොහෝ අය දෙවිට සේවය කරන්න පසුබට වනවා නොව කොහෙත්ම සේවය කරන්න කැමති නැත. එවැනි අය තුළ කෘතඥතාවයේ හැඟීමක් නැත. ඔවුන්ට ඇත්තේ තම හිතුමතේට ක්‍රියා කිරීමට ආත්මාර්ථකාමී ආශාවක් සහ කැරළිකාර ආකල්පයකි. සාතන් ආදම් සහ ඒව තුළත් ඇති කළේ මේ ආකල්පයමයි. ඔහු උපායශීලී ලෙස පැවසුවේ ඔවුන් “යහපත හා නපුර දැනගෙන [දෙවිට] සමාන වන” බවයි. එනම් ඔවුන්ටම යහපත හා නපුර කුමක්ද කියා තනියෙන් තීරණය කළ හැකි බවය. (උත්පත්ති 3:1-5) අදදිනත් මෙවැනි ආකල්පයක් තිබෙන අය සිටියි. තමන් කැමති දේ කිරීමට සම්පූර්ණ නිදහසක් තමන්ට තිබෙනවා යන්න ඔවුන්ගේ මතයයි. තමන් කරන කියන දේ පිළිබඳව දෙවිට වගකිව යුතු නැති බවත් දෙවිද එයට ඇඟිලි නොගැසිය යුතු බවත් ඔවුහු සිතති. (ගීතාවලිය 81:11, 12) ඔවුන්ට අවශ්‍ය වන්නේ, ඔවුන් සතු සෑම දෙයක්ම තමන්ගේම සැප පහසුව සඳහා යොදාගැනීමටයි .—හිතෝපදේශ 18:1.
ඔබට මෙවැනි අන්තවාදී ආකල්පයක් නොතිබිය හැකි අතර දැන් භුක්ති විඳින ජීවිතය සහ ඉදිරි අනාගතයේදී පාරාදීස පොළොවක සදාකාලයටම ජීවත් වීමේ අනර්ඝ බලාපොරොත්තුව ඔබ අවංකව අගය කරනවාත් විය හැකියි. (ගීතාවලිය 37:10, 11; එළිදරව් 21:1-4) යෙහෝවා ඔබට පෙන්වා ඇති යහපත්කමට ඔබ ඔහුට හදවතින්ම ස්තුතිවන්ත වන බවත් නිසැකයි. නමුත් අප විසින් දෙවිට පිළිගත නොහැකි සේවයක් පිරිනමන තත්වයකට පත්වීම දක්වා අපේ සිතුවිලි විකෘති කිරීමට සාතන්ට හැකියාවක් ඇත. (2 කොරින්ති 11:3) එමනිසා, අප සියලුදෙනාම කල්පනාකාරි විය යුතුයි. අපගේ සිතුවිලි විකෘති වන්නේ කෙසේද කියා අපි මොහොතකට සලකා බලමු.
සේවය පිරිනැමිය යුත්තේ හද පිරි සතුටෙනි
යෙහෝවාට අවශ්‍ය වන්නේ හද පිරි සතුටෙන් පිරිනමන සේවයයි. දෙවි කවමදාකවත් ඔහුගේ කැමැත්ත කිරීමට අපට බල කරන්නේ නැහැ. මනුෂ්‍යයන් ලවා තමන්ගේ කැමැත්ත කරවාගැනීමට උපක්‍රම යොදමින් පීඩන එල්ල කරන්නේ සාතන්ය. දෙවිගේ සේවය හා සම්බන්ධ යම් වගකීම් හා නීති රීති යනාදිය බයිබලයේ සඳහන්ව ඇති ආකාරය දැකගැනීමට පුළුවන. (දේශනාකාරයා 12:13; ලූක් 1:6) ඒත් අප දෙවිට සේවය පිරිනැමීමට මූලික හේතුව, අප ඔහුට දක්වන ප්‍රේමයයි.—නික්මයාම 35:21; ද්විතීය කථාව 11:1.
දෙවිගේ සේවයේ කොතරම් කාලයක් යෙදී තිබුණත් ‘තමා තුළ ප්‍රේමය නැත්නම්’ එම සේවයෙන් කිසි ඵලක් නැති බව පාවුල් දැන සිටියේය. (1 කොරින්ති 13:1-3) බයිබල් ලේඛකයන් ක්‍රිස්තියානීන්ව දෙවිගේ සේවකයන් ලෙස හඳුන්වා දුන් විට, බලහත්කාරකමකට යටත් වූ පහත් දාසකමක් ඉන් අදහස් නොකරන ලදි. (රෝම 12:11; කොලොස්සි 3:24) එසේ නම් අපෙන් බලාපොරොත්තු වන්නේ, දෙවි සහ ඔහුගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් සඳහා ඇති හද පිරි ප්‍රේමයෙන් පෙලඹී කැමැත්තෙන්ම පිරිනමන සේවයකි.—මතෙව් 22:37; 2 කොරින්ති 5:14; 1 යොහන් 4:10, 11.
දෙවිට පිරිනමන අපේ සේවය තුළින් මනුෂ්‍යයන් සඳහා ඇති ප්‍රේමයත් පිළිබිඹු විය යුතුයි. මනුෂ්‍යයන් සඳහා කොයි ආකාරයේ ප්‍රේමයක් තිබිය යුතුදැයි පෙන්වීමට පාවුල් තෙසලෝනික සභාවට මෙසේ ලීවේය. “කිරිමවක් ඇගේම දරුවන් පෝෂණයකරන්නාක්මෙන්, නුඹලා අතරෙහි අපි මොළොක් ගුණයෙන් සිටියෙමු.” (1 තෙසලෝනික 2:7) අදදින බොහෝ රටවල තම දරුවන්ව රැකබලා ගැනීම මව්වරුන්ගේ නීත්‍යානුකූල වගකීමක්ව තිබේ. එසේ වුවත් බොහෝ මව්වරුන් තම දරුවන්ව රැකබලා ගන්නේ නීතියට ගරු කිරීමක් වශයෙන් නොව දරු සෙනෙහස නිසයි. කිරි දෙන මවක් දරුවන් වෙනුවෙන් කරන කැපවීම කියා නිම කළ නොහැක. පාවුල්ටත් එම ‘ප්‍රේමාන්විත ඇලුම්කමම’ තිබුණු නිසා තමන් සේවය කළ අය වෙනුවෙන් තම ජීවිතය පවා දීමට ‘සතුටු වූ’ (“කැමති වුණා,” කිං ජේම්ස් වර්ෂන්; “ආශා වුණා,” නිව් ඉන්ටර්නැෂනල් වර්ෂන්) බව ඔහු පැවසුවේය. (1 තෙසලෝනික 2:8) අප තුළ ප්‍රේමය තිබේ නම් අපත් පාවුල්ගේ ආදර්ශය අනුගමනය කරන බව නොඅනුමානයි.—මතෙව් 22:39.
ළැදිකමෙන් තොරව පිදෙන සේවය
දෙවි සහ මනුෂ්‍යයා සඳහා ඇති ප්‍රේමයට වඩා අප අපටම අනවශ්‍ය ප්‍රේමයක් ඇති කර නොගත යුතුයි. අපගේ හෘදයේ දෙවි කෙරෙහි ළැදිකමක් නැත්නම් එවැනි අවස්ථාවකදී කෝපයක් මෙන්ම අපට අවශ්‍ය ආකාරයට ජීවිතය ගත කරන්න බැරිව යනවා කියාත් හැඟෙන්න පුළුවන. එවැනි තත්වයක් සමහර ඉශ්රායෙල්වරුන් අතරත් තිබිණ. දෙවිට තිබූ ඔවුන්ගේ ප්‍රේමය නැති වී තිබුණත් ඔවුන් යම් සේවාවන් යුතුකමක් ලෙස ඉටු කළේය. ඇති වූ ප්‍රතිඵලය නම්, දෙවිට සේවය කිරීම ඔවුන්ට ‘වෙහෙසකර’ දෙයක් වීමය.—මලාකී 1:13.
දෙවිට මොනයම් යාගයක් ඔප්පු කළත් එය ‘කැළැල්’ නැති “හොඳම” දේ විය යුතුයි. (ලෙවී කථාව 22:17-20; නික්මයාම 23:19, NW) නමුත් මලාකීගේ දවස්වල සිටි ඉශ්රායෙල්වරු තමන්ගේ සත්ව රැළේ හොඳම සතුන් යෙහෝවාට ඔප්පු කරනවා වෙනුවට තමන්ට ප්‍රයෝජනයට ගත නොහැකි සතුන් පූජා කළහ. යෙහෝවා තමන්ට හැඟුණ ආකාරය පූජකවරුන්ට මෙසේ හෙළි කළේය. “මට පූජා කරන පිණිස නුඹලා අන්ධ සතෙකු ගෙන ඒම හරි ද? කොර සතෙකු හෝ ලෙඩ සතෙකු හෝ ඔප්පු කිරීම හරි ද? එවැනි සතෙකු නුඹලාගේ ආණ්ඩුකාරයාට දී බලන්න. ඔහු ඒ ගැන ප්‍රසන්න වෙයි ද? නුඹලාට උදව් උපකාර දෙයි ද? . . සොරාගත්තා වූ නොහොත් කොර වූ හෝ ලෙඩ වූ හෝ සතුන් පූජාවන් වශයෙන් නුඹලා ගෙනෙන්නහු ය. නුඹලාගේ අතින් මා ඒවා පිළිගන්නවා ඇතැ යි නුඹලා සිතන්නහු ද?”—මලාකී 1:8, 13, න. අ.
අපත් හෘදයේ ළැදිකමෙන් තොරව හා අකමැත්තෙන් අපගේ පූජා ඔප්පු කළහොත් ඉශ්රායෙල්වරුන්ට මෙන් අපටත් එය ‘වෙහෙසකර’ දෙයක් වේවි. (නික්මයාම 35:5, 21, 22; ලෙවී කථාව 1:3, න. අ.; ගීතාවලිය 54:6; හෙබ්‍රෙව් 13:15, 16) අප යෙහෝවාට සේවය පිරිනමන්නේ අපේ පෞද්ගලික වැඩ සියල්ලම කළායින් පසුව ඉතුරු වන කාලය තුළදීද? මොහොතකට ඒ ගැන සිතා බලන්න.
සිතේ ළැදිකමක් නොතිබුණ ඉශ්රායෙලිතයෙකුට ඔහුගේ හොඳම සතාව පූජා කිරීම සඳහා තෝරාගන්න ලෙස පවුලේ මේරූ සාමාජිකයෙක් විසින් හෝ භක්තිවන්ත ලෙවීවරයෙක් විසින් බල කළා නම් එය දෙවිට පිළිගත හැකි යාගයක් වෙයි කියා සිතිය හැකිද? (යෙසායා 29:13; මතෙව් 15:7, 8) යෙහෝවා එවැනි පූජාවන් ප්‍රතික්ෂේප කළ අතර ඒවා ඔප්පු කළ මනුෂ්‍යයන්වත් ප්‍රතික්ෂේප කළේය.—හොෂෙයා 4:6; මතෙව් 21:43.
දෙවිගේ කැමැත්ත කිරීමට ආශා වන්න
දෙවිට පිළිගත හැකි සේවයක් පිරිනැමීම සඳහා අප යේසුස් ක්‍රිස්තුස්ගේ ආදර්ශය අනුගමනය කළ යුතුයි. “මාගේම කැමැත්ත නොව මා එවූ [තැනැත්තාගේ] කැමැත්ත සොයමි” කියා යේසුස් පැවසීය. (යොහන් 5:30) දෙවිගේ කැමැත්ත කිරීමෙන් යේසුස් විශාල සතුටක් ලැබූ අතර, “මාගේ [දෙවියනි], ඔබගේ කැමැත්ත කරන්ට ප්‍රියවෙමි” යනුවෙන් දාවිත් ලියූ අනාවැකිමය වදන්ද ඔහු ඉටු කළේය.—ගීතාවලිය 40:8.
යේසුස් දෙවිගේ කැමැත්ත කිරීමට සතුටු වුවත් එය සෑම විටම ඔහුට පහසු දෙයක් නොවීය. එය තේරුම්ගැනීමට යේසුස්ව අත්අඩංගුවට ගැනීමට හා මරණයට පත් කිරීමට පෙර සිදු වූ දේ සලකා බලන්න. ගෙත්සෙමන උයනේ සිටින අවස්ථාවේදී යේසුස්ට ‘මැරෙන තරම් දැඩි ශෝකයක්’ ඇති විය. ඔහුට දැනුණ චිත්තවේගීය වේදනාව මොනතරම්ද කියනවා නම් ඔහු යාච්ඤා කරන විට ‘ඩාදිය මහත් ලේ බින්දු මෙන් බිම වැටුණේය.’—මතෙව් 26:38; ලූක් 22:44.
යේසුස්ට එතරම් මහත් වේදනාවක් දැනුණේ ඔහු තමන් ගැන වුවමනාවට වඩා සිතූ නිසා හෝ දෙවිගේ කැමැත්ත කිරීමට අකමැති වූ නිසා නොවෙයි. ඔහු ජීවිතය පුද කරන්න පවා සූදානම්ව සිටියේය. එක් අවස්ථාවක පේතෘස් “ස්වාමිනි, එය ඔබ කෙරෙන් දුරුවේවා. ඔබට කිසිකලකත් එසේ සිද්ධ නොවන්නේය” කියා කී විට යේසුස් ඔහුට තදින් තරවටු කළේය. (මතෙව් 16:21-23) යේසුස්ගේ සැලකිල්ලට භාජන වූයේ නින්දිත අපරාධකාරයෙක් ලෙස තමා අද්දකින්න යන මරණය යෙහෝවාට සහ ඔහුගේ පරිශුද්ධ නාමයට බලපාන ආකාරයයි. තමා අද්දැකීමට තිබූ එම කෲර මරණය තම පියාට විශාල දුකක් බව යේසුස් දැන සිටියේය.
එමෙන්ම, යෙහෝවාගේ අරමුණ ඉටු කිරීම හා බැඳි තීරණාත්මක මොහොතට තමා මුහුණ දිය යුතු බව යේසුස් තේරුම්ගත්තේය. දෙවිගේ නීතිවලට යේසුස් දක්වන විශ්වාසවන්තකමෙන් යමක් ඔප්පු වීමට තිබිණ. එනම් ආදම්ටත් එවැනිම විශ්වාසවන්තකමක් පවත්වාගැනීමට හැකියාවක් තිබූ බවයි. එමෙන්ම, මනුෂ්‍යයන් පරීක්ෂාවන් යටතේ දෙවිට කැමැත්තෙන්ම හා විශ්වාසවන්තව සේවය කරන්නේ නැහැ කියා සාතන් නැඟූ චෝදනාව සම්පූර්ණ මුසාවක් බව යේසුස්ගේ විශ්වාසවන්තකමෙන් ඔප්පු වීමට තිබිණ. ඒ වගේම අවසානයේදී යෙහෝවා යේසුස් මගින් සාතන්ගේ හිස පොඩි කර ඔහුගේ කැරැල්ලෙන් ඇති වූ අහිතකර බලපෑම් ඉවත් කිරීමටත් සැලසුම් කළේය.—උත්පත්ති 3:15.
යේසුස්ගේ කර මත තිබූ වගකීම් කන්දරාව කොතරම්ද කියා සිතා බලන්න! ඔහුගේ පියාගේ නම, ලෝක සාමය, මිනිස් සංහතියටම ගැළවීම ගෙන ඒම වැනි සියලුම දේ රඳා පැවතුණේ යේසුස්ගේ විශ්වාසවන්තකම මතයි. තම වගකීම් වටහාගත් යේසුස්, “අහෝ මාගේ පියාණෙනි, මේ කුසලාන මා කෙරෙන් පහවෙන්ට පුළුවන් නම් එසේ වේවා. එසේවී නුමුත් මා කැමතිලෙස නොව ඔබ කැමතිලෙස [වේවා]” කියා යාච්ඤා කළේය. (මතෙව් 26:39) යේසුස් කොතරම් දරුණු මානසික පීඩනයක් යටතේ සිටියත් පියාගේ කැමැත්ත කිරීමට තිබූ තම හෘදයාංගම ආශාව නම් අත් නොහැරියේය.
‘ආත්මය නම් කැමතිය, නමුත් මාංසය බෙලහීනය’
යෙහෝවාට සේවය කිරීමේදී යේසුස් අත් වින්ද දැඩි මානසික පීඩනය හා සමානම පීඩනයක් සාතන් දෙවිගේ සේවකයන් වන අප මතත් ඇති කරයි කියා බලපොරොත්තු විය හැකිය. (යොහන් 15:20; 1 පේතෘස් 5:8) එමෙන්ම තවත් අමතක නොකළ යුතු කාරණයක් වන්නේ අපේ අසම්පූර්ණකමය. දෙවිගේ කැමැත්ත කිරීමට අප කොතරම් ආශා කළත්, එය සිතන තරම් පහසු වන්නේ නැත. යේසුස් තම ප්‍රේරිතවරුන්ට කිරීමට කිවූ දේවල් ඉටු කරන විට ඔවුන් මුහුණ දුන් අසීරුතා දුටු ඔහු මෙසේ කීමට පෙලඹිණ. “ආත්මය නම් කැමතිය, නුමුත් මාංසය බෙලහීනය.” (මතෙව් 26:41) යේසුස් පරිපූර්ණ මනුෂ්‍යයෙක් වූ හෙයින් මාංසයේ දුර්වලකම් ඔහුට උරුම නොවීය. නමුත් තම ගෝලයන්ට අසම්පූර්ණ ආදම්ගෙන් උරුම වූ මාංසයේ දුර්වලකම් සමඟ කටයුතු කිරීමට සිදු වෙන බව ඔහු දැන සිටියේය. අසම්පූර්ණකම උරුම වී තිබීම හා හැකියාවන් සීමිත වීම නිසා යෙහෝවාට සේවය කිරීමේදී තමන් කරන්න කැමති සියල්ල ඉටු කිරීමට නම් ඔවුන් පොරබැදීමක නිරත විය යුතු බව යේසුස් හොඳින් වටහාගත්තේය.
අසම්පූර්ණකම නිසා දෙවිට සම්පූර්ණ සේවයක් පිරිනැමීමට නොහැකි වූ විට පාවුල්ට දැනුණ මානසික පීඩනය අපටත් දැනීමට පුළුවන. පාවුල් මෙසේ ලීවේය. “යහපත කිරීමට කැමැත්තක් මට ඇතත්, එය ඉටු කිරීමට ශක්තියක් මට නැත.” (රෝම 7:18, න. අ.) අප කිරීමට කැමති යහපත් දේවල් අප සිතූ ලෙසම කිරීමට නොහැකි වන අවස්ථා තිබේ. (රෝම 7:19) අප දෙවිගේ සේවය කිරීමට අකමැති බවක් මෙයින් අදහස් කරන්නේ නැත. කොතරම් වෙර දැරුවත් අපගේ මාංසයේ දුර්වලකම් නිසා අප අසමත් වන අවස්ථා තිබිය හැකි බව තේරුම්ගන්න.
එමනිසා බලාපොරොත්තු අත්හරින්න එපා. අපගේ උපරිමය කිරීමට හෘදයාංගම ආශාවක් තිබේ නම් දෙවි අපේ සේවය අනිවාර්යයෙන්ම පිළිගනු ඇත. (2 කොරින්ති 8:12) දෙවිගේ කැමැත්ත කිරීමට හෘදයාංගම ආශාවක් තිබූ ක්‍රිස්තුස්ව අනුකරණය කිරීමට ‘පූර්ණ උත්සහයක් දරමු.’ (2 තිමෝති 2:15, NW; පිලිප්පි 2:5-7; 1 පේතෘස් 4:1, 2) එවැනි හෘදයාංගම ආශාවකට යෙහෝවා ආශීර්වාද කරන අතර, උපකාරයද පිරිනමයි. ඒ වගේම අපේ දුර්වලකම් සමඟ සටන් කිරීමට අවශ්‍ය “සාමාන්‍ය ඉක්මවූ බලය” දෙවි අපට දෙයි. (2 කොරින්ති 4:7-10, NW) අපිත් පාවුල් මෙන් යෙහෝවාගේ උපකාරය ඇතිව ඔහුට පිරිනමන අනර්ඝ සේවය වෙනුවෙන් ‘වියදම් කරන්ටත්, මුළුමනින්ම වැය වෙන්ටත්’ අදිටන් කරගනිමු.
[21වන පිටුවේ පින්තූරය]
පාවුල් තම හැකියාවන්ට අනුව හද පිරි සතුටෙන් දෙවිට සේවය කළේය
[23වන පිටුවේ පින්තූරය]
දරුණු මානසික පීඩනයක් යටතේ පවා යේසුස් සිය පියාගේ කැමැත්ත ඉටු කළේය