දහඅටවන පරිච්ඡේදය
‘ඔවුහු ලෝකයට අයත් නොවෙති’
1. (අ) සිය මරණයට පෙර යේසුස් තම ගෝලයන් වෙනුවෙන් කළ යාච්ඤාව කුමක්ද? (ආ) ‘ලෝකයට අයත් නොවී සිටීම’ එතරම්ම වැදගත් වන්නේ මන්ද?
තමාව මරණයට පත් කිරීමට පෙරදා රාත්රියේදී යේසුස් තම ගෝලයන් වෙනුවෙන් යාච්ඤා කළේය. ඔවුන්ව සාතන් දරුණු පීඩනයකට භාජන කරන බව දැන සිටි නිසා යේසුස් තම පියාට මෙසේ පැවසුවේය. “මා ඔබෙන් ඉල්ලන්නේ, ඔවුන්ව ලෝකයෙන් අහක් කරන මෙන් නොව, නමුත් දුෂ්ටයා නිසා ඔවුන්ව ආරක්ෂා කරන මෙන්ය. මා ලෝකයට අයත් නොවන්නා සේම ඔවුහුද ලෝකයට අයත් නොවෙති.” (යොහන් 17:15, 16, NW) ලෝකයෙන් වෙන්ව සිටීම එතරම්ම වැදගත් දෙයක් වන්නේ මන්ද? සාතන් මේ ලෝකයේ පාලකයා නිසාය. ඔහුගේ අණසක යටතේ පවතින ලෝකයට අයත් වීමට ක්‍රිස්තියානීන්ට වුවමනාවක් නැත.—ලූක් 4:5-8; යොහන් 14:30; 1 යොහන් 5:19.
2. යේසුස් මේ ලෝකයට අයත් නොවූයේ කවර ආකාරවලින්ද?
2 ලෝකයට අයත් නොවේයයි කියද්දී, යේසුස් අන් අය කෙරෙහි අඩු ප්‍රේමයක් දැක්වූ බව අදහස් කරන්නේ නැත. ඒ වෙනුවට, ඔහු ලෙඩුන්ව සුව කළේය. මළවුන්ව නැවත නැඟිටෙව්වේය. දෙවිගේ රාජ්‍යය ගැන මිනිසුන්ට ඉගැන්නුවේය. ඔහු මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් තම ජීවිතය පවා පූජා කළේය. එහෙත්, සාතන්ගේ ලෝකයේ ස්වභාවය විදහාපෑවුන්ගේ අභක්තික ආකල්ප හා ක්‍රියාවලට ඔහු ඇල්මක් දැක්වූයේ නැත. එහි ප්‍රතිඵලයක් හැටියට, ඔහු දුරාචාරමය ආශාවන්, ද්‍රව්‍යවාදී ජීවන රටාවක් හා සමාජයේ ප්‍රමුඛත්වය ලුහුබැඳීම ආදියට එරෙහිව අනතුරු ඇඟවූයේය. (මතෙව් 5:27, 28; 6:19-21; ලූක් 20:46, 47) එසේ නම්, ලෝකයේ දේශපාලන කටයුතුවලින් යේසුස් වැළකී සිටීමත් පුදුමයට කරුණක් නොවේ. ඔහු යුදෙව්වෙක් වුවත්, රෝමවරුන් හා යුදෙව්වන් අතර වූ දේශපාලනික මතභේදවලදී පැති ගත්තේ නැත.
“මාගේ රාජ්‍යය මේ ලෝකයට අයත් නොවේ”
3. (අ) යේසුස්ට විරුද්ධව පිලාත් වෙතට යුදෙව් ආගමික නායකයන් ගෙනා බොරු චෝදනාව කුමක්ද? ඔවුන් එසේ කළේ මන්ද? (ආ) මිනිස් රජෙකු බවට පත්වීමට යේසුස්ට කිසිදු වුවමනාවක් නොතිබූ බව පෙන්වන්නේ කුමකින්ද?
3 ආගමික නායකයන් යේසුස්ව අත්අඩංගුවට ගෙන රෝම ආණ්ඩුකාර පොන්තියුස් පිලාත් වෙතට ගෙන ගිය විට සිදු වූ දෙය සලකා බලන්න. එසේ කිරීමට සැබෑ හේතුව වූයේ, එම නායකයන්ගේ කුහකකම යේසුස් විසින් හෙළි කිරීම නිසා ඔවුන් කලබලයට පත් වී සිටීමයි. යේසුස්ට විරුද්ධව පියවර ගැනීමට ආණ්ඩුකාරයාව පොලඹවමින් ඔවුහු මෙසේ චෝදනා කළෝය. “මොහු අපේ ජාතිය භේද කරන බවත්, සීසර්ට බදු ගෙවීම තහනම් කරන බවත්, තමාම ක්‍රිස්තුස් නම් රජෙකුයයි කියාගන්නා බවත් අපි දුටිමු.” (ලූක් 23:2, NW) මෙම චෝදනාව අමූලික බොරුවකි. මන්ද ඊට හරියටම අවුරුද්දකට පෙර යේසුස්ව රජෙකු කරන්ට මිනිසුන් ගත් උත්සාහය ඔහු ප්‍රතික්ෂේප කළේය. (යොහන් 6:15) ඔහු හොඳින් දැන සිටි දෙයක් නම්, තමන් අනාගතයේදී ස්වර්ගික රජෙකු වීමට සිටින බවයි. (ලූක් 19:11, 12) එමෙන්ම, ඔහුව සිංහාසනාරූඪ කිරීමට නියමිතව තිබුණේ මිනිසුන් විසින් නොව, යෙහෝවා විසිනි.
4. බදු ගෙවීම සම්බන්ධයෙන් යේසුස්ගේ ආකල්පය කුමක් වීද?
4 යේසුස්ව අත්අඩංගුවට ගැනීමට හරියටම දින තුනකට පෙර, බදු ගෙවීම සම්බන්ධයෙන් වරදට හසු කරගත හැකි යමක් යේසුස් ලවා කියවාගැනීමට ඵරිසිවරු උත්සාහ කළහ. එහෙත් යේසුස් මෙසේ පැවසීය. “මට ඩිනාරියක් [රෝම කාසියක්] පෙන්වන්න. මෙහි තිබෙන රූපයත් සටහනත් කාගේද?” “සීසර්ගේ” යයි ඔවුන් කී විට, යේසුස් මෙසේ කීවේය. “එසේ නම්, සීසර්ගේ දේ සීසර්ටද දෙවිගේ දේ දෙවිටද දෙන්න.”—ලූක් 20:20-25, NW.
5. (අ) තමාව අත්අඩංගුවට ගත් මොහොතේදී යේසුස් තම ගෝලයන්ට ඉගැන්වූ පාඩම කුමක්ද? (ආ) තමා කළ දෙයට හේතුව යේසුස් පැහැදිලි කළේ කෙසේද? (ඇ) එම නඩු විභාගයේ ප්‍රතිඵලය කුමක්ද?
5 ලෞකික අධිකාරීන්ට විරුද්ධව කැරලිගැසීමට යේසුස් ඉගැන්වූයේ නැත. හේවායන් හා වෙනත් මිනිසුන් යේසුස්ව අත්අඩංගුවට ගැනීමට පැමිණි විට, පේතෘස් කඩුවෙන් මිනිසෙකුට පහර දී ඔහුගේ කනක් කපා දැමුවේය. එහෙත් යේසුස් කීවේ, “ඔබේ කඩුව තිබුණු තැනට ආපසු දමන්න. මන්ද කඩුව ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසින්නේය” කියායි. (මතෙව් 26:51, 52, NW) ඊළඟ දවසේදී යේසුස් තම ක්‍රියා ගැන පිලාත්ට පහදා දෙමින් මෙසේ කීවේය. “මාගේ රාජ්‍යය මේ ලෝකයට අයත් නොවේ. මාගේ රාජ්‍යය මේ ලෝකයට අයත් වූවා නම්, මාව යුදෙව්වරුන් අතට පාවා දෙනු නොලබන පිණිස මා යටතේ සිටින්නන් සටන් කරනවා ඇත.” (යොහන් 18:36, NW) යේසුස්ට විරුද්ධව කළ “චෝදනාවලට කිසි පදනමක්” නැති බව පිලාත් පිළිගත්තේය. එනමුත්, සෙනඟගෙන් පැමිණි පීඩනයට හිස නමමින් පිලාත් යේසුස්ව වධකණුවක ඇණ ගසන පිණිස භාර දුන්නේය.—ලූක් 23:13-15, NW; යොහන් 19:12-16.
ගෝලයෝ යේසුස්ව අනුගමනය කරති
6. තමන් ලෝකයේ ස්වභාවයෙන් වැළකී සිටියත් ජනයාට ප්‍රේම කළ බව මුල් ක්‍රිස්තියානීන් පෙන්වූයේ කෙසේද?
6 මේ අනුව ලෝකයට අයත් නොවීම යන්නෙන් අදහස් වන දේ යේසුස්ගේ ගෝලයෝ තේරුම්ගත්තෝය. එයින් අදහස් කළේ, රෝමයේ පොර පිටි හා රඟහල්වල පැවති සැහැසික හා දුරාචාරමය විනෝදාස්වාදය ඇතුළු ලෝකයේ අභක්තික ස්වභාවයෙන් හා ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමයි. ඒවාට සහභාගි නොවූ නිසා, ඔවුන්ව මනුෂ්‍යවර්ගයාට වෛර කරන්නන් ලෙස හංවඩු ගසන ලදි. එහෙත්, තම අසල්වැසියන්ට වෛර කරනවා වෙනුවට, ගැළවීම සඳහා තිබෙන දෙවිගේ සැපයුමෙන් ප්‍රයෝජන ගැනීමට අන් අයට උදව් කිරීම සඳහා ඔවුහු වෙහෙස මහන්සි නොබලා වැඩ කළහ.
7. (අ) ලෝකයට අයත් නොවූ නිසා මුල් ක්‍රිස්තියානීන් අද්දැක්කේ කුමක්ද? (ආ) ඔවුන් දේශපාලකයන්ව හා බදු ගෙවීම සැලකුවේ කෙසේද? ඒ මන්ද?
7 යේසුස්ගේ අනුගාමිකයන්වද ඔහුව මෙන් පීඩාවලට ලක් කරන ලදි. බොහෝවිට එසේ කරන ලද්දේ, මොවුන් ගැන වැරදි වැටහීමකින් සිටි ආණ්ඩුවේ නිලධාරීන් විසිනි. ඒ වුණත්, ‘දෙවි මාර්ගයෙන් මිස, වෙන කිසි අධිකාරියක් නැති බැවින්, උසස් බලධාරීන්ට [දේශපාලකයන්ට] යටත්ව සිටින්න’ කියා පො.යු. 56දී පමණ රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ගෙන් ප්‍රේරිත පාවුල් උදක්ම ඉල්ලා සිටියේය. ලෞකික ආණ්ඩු පිහිටුවන්නේ යෙහෝවා නොවුවත්, තම රාජ්‍යය මගින් මුළු පොළොවම පාලනය කරන තුරු ඒවා පැවතීමට ඔහු ඉඩහරින්නේය. එබැවින් ලෞකික නිලධාරීන්ට ගරු කරන්ටත් බදු ගෙවන්ටත් පාවුල් ක්‍රිස්තියානීන්ට දෙන උපදෙස උචිතය.—රෝම 13:1-7, NW; තීතස් 3:1, 2.
8. (අ) ක්‍රිස්තියානීන් උසස් බලධාරීන්ට යටත් විය යුත්තේ කොතෙක් දුරටද? (ආ) මුල් ක්‍රිස්තියානීන් යේසුස්ගේ ආදර්ශය අනුගමනය කළේ කෙසේද?
8 කෙසේවෙතත්, දේශපාලකයන්ට යටත් වීම යන්නෙන් පූර්ණ යටත්කමක් අදහස් නොකරයි. එය සාපේක්ෂ යටත්කමකි. යෙහෝවාගේ නීති හා මිනිස් නීති අතර ගැටීමක් සිදු වන විට, යෙහෝවාට නමස්කාර කරන අය ඔහුගේ නීතිවලට කීකරු වෙති. එක්තරා පොතක (On the Road to Civilization—A World History) මුල් ක්‍රිස්තියානීන් ගැන පවසන දෙය සලකා බලන්න. “රෝම වැසියන් ඉටු කළ ඇතැම් රාජකාරිවල යෙදීම ක්‍රිස්තියානීහු ප්‍රතික්ෂේප කළෝය. ක්‍රිස්තියානීහු . . . යුධ සේවයට බැඳීම ඔවුන්ගේ ඇදහිල්ල උල්ලංගනය කරගැනීමකැයි සිතූහ. ඔවුන් දේශපාලන තානාන්තර දැරුවේ නැත. ඔවුහු අධිරාජ්‍යයාට නමස්කාර නොකළහ.” දේශනා කිරීමේ වැඩය නවත්වන ලෙස යුදෙව් මන්ත්‍රණ සභාව ගෝලයන්ට ‘පැහැදිලිවම අණ කළ’ විට, ඔවුන් පිළිතුරු දුන්නේ, ‘පාලකයා හැටියට මිනිසුන්ට වඩා අප දෙවිට කීකරු විය යුතුයි’ කියාය.—ක්‍රියා 5:27-29, NW.
9. (අ) යෙරුසලමේ සිටි ක්‍රිස්තියානීන් පො.යු. 66දී ගත් ක්‍රියාමාර්ගයට හේතුව වූයේ කුමක්ද? (ආ) එය වටිනා ආදෘශයක් වන්නේ කිනම් ආකාරයෙන්ද?
9 දේශපාලනික හා හමුදාමය මතභේද සම්බන්ධයෙන් ගෝලයෝ දැඩි මධ්‍යස්ථභාවයක් රැක්කෝය. පොදු යුගයේ 66දී, යුදයේ සිටි යුදෙව්වෝ සීසර්ට විරුද්ධව කැරලි ගැසුවෝය. රෝම හමුදාව වහාම යෙරුසලම වට කළෝය. යෙරුසලම් නුවර සිටි ක්‍රිස්තියානීන් කුමක්ද කළේ? නුවරින් පිට වී යන ලෙසට යේසුස් දුන් උපදෙස ඔවුන්ට මතක් විය. රෝමවරුන් තාවකාලිකව හැරී ගිය විට, ක්‍රිස්තියානීහු යොර්දාන් ගඟ හරහා ගොස් පෙලා කඳු ප්‍රදේශයට පලා ගියහ. (ලූක් 21:20-24) ඔවුන් දැක්වූ මධ්‍යස්ථභාවය ඔවුන්ගෙන් පසු ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් වූ සියල්ලන්ටම ආදෘශයක් වනු ඇත.
මේ අවසාන කාලයේදී ක්‍රිස්තියානීන් මධ්‍යස්ථව සිටිය යුතුය
10. (අ) යෙහෝවාගේ සාක්ෂිකරුවන් කඩිසරව යෙදී සිටින්නේ කිනම් කාර්යයේද? ඒ මන්ද? (ආ) ඔවුන් මධ්‍යස්ථභාවය රකින්නේ කුමක් සම්බන්ධයෙන්ද?
10 මුල් ක්‍රිස්තියානීන්ව අනුකරණය කරමින් දැඩි මධ්‍යස්ථභාවයක් රකින කණ්ඩායමක් මේ අවසාන දවස්වලත් සිටින බව ඓතිහාසික වාර්තා මගින් පෙන්වයිද? ඔව්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් එසේ කර ඇත. ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන අයට සදාකාලික සමාදානය, සමෘද්ධිය හා සන්තෝෂය ගෙනෙන එකම ආණ්ඩුව දේවරාජ්‍යය බව මේ කාලපරිච්ඡේදය පුරාම ඔවුන් දිගටම දේශනා කර තිබේ. (මතෙව් 24:14) එහෙත්, ජාතීන් අතර පවතින දේශපාලන මතභේදවලදී ඔවුන් දැඩි මධ්‍යස්ථභාවයක් රැකගෙන ඇත.
11. (අ) සාක්ෂිකරුවන්ගේ මධ්‍යස්ථභාවය පූජකයන් අනුගමනය කරන ක්‍රියාකලාපයට වඩා හාත්පසින්ම වෙනස් වන්නේ කිනම් ආකාරයටද? (ආ) ජනයා දේශපාලනය පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දෘෂ්ටිය කුමක්ද?
11 ඊට හාත්පසින්ම වෙනස්ව, මේ ලෝකයේ ආගම්වල පූජක පක්ෂය දේශපාලනික කටයුතුවල තදින් ගැලී ඇත. සමහර රටවල, ඡන්ද අපේක්ෂකයන්ට විරුද්ධ ව්‍යාපාරවලද ඔවුන් ක්‍රියාශීලී ලෙස යෙදී තිබේ. සමහර පූජකයෝ දේශපාලන තනතුරු පවා හොබවති. තවත් සමහරුන් පූජකයන් අනුමත කරන වැඩසටහන්වලට සහයෝගය දක්වන ලෙස දේශපාලකයන්ට පීඩන ගෙනැවිත් තිබේ. ඔවුන් එසේ කළත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් නම් දේශපාලනය සමඟ පැටලැවෙන්නේ නැත. කෙනෙකු දේශපාලන පක්ෂයකට බැඳෙන්ට යද්දී හෝ ඡන්ද අපේක්ෂකයෙකු ලෙස නැතහොත් ඡන්ද දායකයෙකු ලෙස කටයුතු කරන්ට යද්දී ඔහුට බාධා කරන්නේද නැත. ඔවුන් දේශපාලන පක්ෂවලට බැඳෙන්නේද නැත. තම ගෝලයන් මේ ලෝකයට අයත් නොවන බව යේසුස් කී නිසා, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දේශපාලනයේ කොටස්කරුවන් නොවෙති.
12. මේ ලෝකයේ ආගම් දේශපාලනය සම්බන්ධයෙන් මධ්‍යස්ථභාවය රකින්නේ නැති බැවින් ප්‍රතිඵලය කුමක් වී තිබේද?
12 යේසුස් පුරෝකථනය කළා සේ, ජනයා සටන් කිරීමට නැවත නැවතත් යුධ භූමියට ගොස් ඇත. ජාතීන් අතරේ සිටින කුඩා කණ්ඩායම් පවා එකිනෙකාට විරුද්ධව සටන් කර තිබේ. (මතෙව් 24:3, 6, 7) ආගමික නායකයන්ද මේ සෑම අවස්ථාවකදීම වාගේ අනිත් අයට එරෙහිව සටන් කිරීමට තම අනුගාමිකයන්ව පොලඹවමින් යම් ජාතියකට හෝ කණ්ඩායමකට සහයෝගය දී තිබේ. එහි ප්‍රතිඵලය කුමක් වී තිබේද? එකම ආගමේ සිටින සාමාජිකයන් ජාතිය හෝ ගෝත්‍රය වෙනස් නිසා එකිනෙකාට විරුද්ධව යුධ වැදී එකිනෙකාව ඝාතනය කර තිබීමයි. මෙය දේවකැමැත්තට පටහැනිය.—1 යොහන් 3:10-12; 4:8, 20.
13. යෙහෝවාගේ සාක්ෂිකරුවන් මධ්‍යස්ථභාවය රකින්නන් බව පෙන්වන සාක්ෂි මොනවාද?
13 කෙසේවෙතත්, මේ සෑම ගැටුමකදීම යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දැඩි මධ්‍යස්ථභාවයක් රැකගෙන ඇත්තාහ. වර්ෂ 1939 නොවැම්බර් පළමුවනදා මුරටැඹ (සිංහලෙන් නැත) සඟරාවේ මෙසේ සඳහන් විය. “ස්වාමීන්ගේ පක්ෂයට සිටින්නෝ යුධ වදින ජාතීන් හමුවේ මධ්‍යස්ථභාවය රකිති.” සියලුම ජාතීන් අතර විවිධ තත්වයන් යටතේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ මධ්‍යස්ථභාවය දිගටම රැකගනිමින් සිටිති. ඔවුහු ලෝකය බෙදන දේශපාලනයට හා යුද්ධයට තම ජාත්‍යන්තර සහෝදරත්වය බිඳ දැමීමට ඉඩ නොදෙති. ඔවුහු “තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද [තළාගනිති].” ඔවුන් මධ්‍යස්ථභාවය රකින බැවින් යුද්ධ කටයුතු ගැන ඉගෙනගන්නේවත් නැත.—යෙසායා 2:3, 4; 2 කොරින්ති 10:3, 4.
14. මේ ලෝකයෙන් වෙන් වී කටයුතු කරන බැවින් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ කුමක් අද්දකිත්ද?
14 ඔවුන්ගේ මධ්‍යස්ථභාවයේ එක් ප්‍රතිඵලයක් කුමක්ද? යේසුස් මෙසේ කීවේය. “ඔබ ලෝකයට අයිති නැති නිසා . . . ලෝකය ඔබට වෛර කරන්නේය.” (යොහන් 15:19, NW) යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙවිගේ සේවකයන් නිසා ඔවුන්ගෙන් බොහෝදෙනෙකුව සිරගත කර ඇත. මුල් සියවසේ ක්‍රිස්තියානීන්ට කළාක් මෙන් ඔවුන්ට වද දී, සමහරුන්ව මරා දමාද ඇත. මීට හේතුව නම්, “මේ ලෝකයේ දෙවියා” වන සාතන් මේ ලෝකයට අයත් නොවන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විරෝධය පාන බැවිනි.—2 කොරින්ති 4:4; එළිදරව් 12:12.
15. (අ) සියලුම ජාතීන් වේගයෙන් පියමනින්නේ කුමක් වෙතටද? යෙහෝවාගේ සාක්ෂිකරුවන් වැළකී සිටීමට වගබලා ගන්නේ කුමකින්ද? (ආ) ලෝකයෙන් වෙන්ව සිටීම එතරම්ම බරපතළ කාරණයක් වන්නේ මන්ද?
15 මේ ලෝකයේ සියලුම ජාතීන් සිය අවසානය වන අර්මගෙදොන් දක්වා වේගයෙන් පියමනිද්දී, මේ ලෝකයට අයත් නොවී සිටීම ගැන යෙහෝවාගේ සේවකයෝ සතුටු වෙති. (දානියෙල් 2:44, 45; එළිදරව් 16:14, 16; 19:11-21) අපි මේ ලෝකයෙන් වෙන්ව සිටින නිසා එහි දරුණු ඉරණමෙන් වැළකී සිටින්නෙමු. ලෝක ව්‍යාප්ත එක්සත් සෙනඟක් හැටියට, අපි දෙවිගේ ස්වර්ගික රාජ්‍යයට පක්ෂපාතව කටයුතු කරන්නෙමු. මේ ලෝකයට අයත් නොවී ක්‍රියා කිරීමෙන් අප එහි සමච්චලයට හා පීඩාවලට ගොදුරු වන බව ඇත්තකි. එහෙත්, ඉතාම නුදුරේදී, එම තත්වය නවතිනු ඇත. මන්ද සාතන් යටතේ තිබෙන මේ වර්තමාන දුෂ්ට ලෝකය සදාකාලයටම විනාශ වන බැවිනි. අනිත් අතට, යෙහෝවාට සේවය කරන සියලුදෙනාම දෙවිගේ රාජ්‍යය යටතේ ධර්මිෂ්ඨ නව ලෝකයක් තුළ සදාකාලයටම ජීවත් වනු ඇත.—2 පේතෘස් 3:10-13; 1 යොහන් 2:15-17.
පුනරීක්ෂණ සාකච්ඡාව
• ‘ලෝකයට අයත් නොවීම’ යන්නට ඇතුළත් වන්නේ කුමක්දැයි යේසුස් පෙන්වූයේ කෙසේද?
• (අ) ලෝකයේ ස්වභාවය ගැන, (ආ) ලෞකික පාලකයන් ගැන හා (ඇ) බදු ගෙවීම ගැන, මුල් ක්‍රිස්තියානීන්ගේ ආකල්පය කුමක් වීද?
• තම ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය ගැන යෙහෝවාගේ සාක්ෂිකරුවන් වර්තමානයේදී සාක්ෂි දෙන්නේ කිනම් ආකාරවලින්ද?
[165වන පිටුවේ පින්තූරය]
තමා හා තම අනුගාමිකයන් ‘ලෝකයට අයත් නොවේ’ යැයි යේසුස් පැහැදිලි කළේය