පාඨකයන් අසයි
අපරාධකරුට යේසුස් පොරොන්දු වුණේ ඔහුට ස්වර්ගයේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා කියාද?
මිය යන්න මොහොතකට කලින් තමා අසල සිටි අපරාධකරුට යේසුස් පැවසුවේ “ඔබ මා සමඟ පාරාදීසයේ සිටින බවට අද මම ඔබට සහතිකවම පොරොන්දු වෙනවා” කියායි. (ලූක් 23:43) එම පාරාදීසය තියෙන්නේ කොහේද කියා යේසුස් පැවසුවේ නැති නිසා සමහරු සිතන්නේ යේසුස් ඉන් අදහස් කළේ ස්වර්ගය කියායි. නමුත් එය එසේ විය හැකිද?
ස්වර්ගයට යන්න දෙවියන් තෝරගන්නේ මොන වගේ අයවද කියා අපි දැනගත්තොත් ඒ ප්‍රශ්නෙට පිළිතුර ලැබෙයි. එසේ තෝරගන්න අය මුලින්ම බව්තීස්ම වී දෙවිගේ බලය ලබාගෙන තිබිය යුතුයි. ඔවුන්ව ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් හැටියටත් දෙවිගේ දරුවන් හැටියටත් පිළිගන්නේ එවිටයි. (යොහන් 3:3, 5) එමෙන්ම ඔවුන් දෙවිගේ අණපනත්වලට කීකරු විය යුතු අතර අවංක, විශ්වාසවන්ත හා දයාවන්ත අය වීමද වැදගත්. (1 කොරින්ති 6:9-11) තම මරණය දක්වාම දෙවිට හා ක්‍රිස්තුස්ට විශ්වාසවන්තව සිටීමත් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. (ලූක් 22:28-30; 2 තිමෝති 2:12) එවැනි අයට පමණයි යේසුස් සමඟ ස්වර්ගයේ සිට අවුරුදු 1,000කට මිනිස් වර්ගයාව පාලනය කිරීමේ හා පූජකයන් ලෙස සේවය කිරීමේ බැරෑරුම් වගකීම ලැබෙන්නේ.—එළිදරව් 20:6.
යේසුස් අසල සිටි අපරාධකරු එවැනි ජීවිතයක් ගත කළ කෙනෙක්ද? (ලූක් 23:32, 39-41) මිය යන්න මොහොතකට කලින් “ඔබේ රාජ්‍යයට ඔබ ඇතුල් වන විට මාව අමතක කරන්න එපා” කියා පැවසීමෙන් ඒ අපරාධකරුට යේසුස් ගැන යම් ගෞරවයක් තිබූ බව පෙනී යනවා. (ලූක් 23:42) නමුත් මිය යන්න කලින් ඔහු බව්තීස්ම වෙලාවත් දෙවිගේ බලය ලබාගෙන යේසුස්ගේ අනුගාමිකයෙක් වෙලාවත් සිටියේ නැහැ. ඔහු දෙවිගේ අණපනත් රකිමින් දෙවිට විශ්වාසවන්ත ජීවිතයක් ගත කළ කෙනෙකුත් නෙවෙයි. ටිකක් හිතන්න. ස්වර්ගයට යන්න තෝරගන්නේ දෙවිගේ අණ පනත්වලට කීකරු වී මරණය දක්වාම විශ්වාසවන්තව සිටි අයව විතරක් නම් ඒ අපරාධකරුට ස්වර්ගයට යන්න ලැබෙනවා කියා යේසුස් පොරොන්දු වෙයිද?—රෝම 2:6, 7.
කෙනෙක් ඔබේ සල්ලි හොරකම් කළා කියා හිතන්න. ඔහුගේ අතින් වෙච්ච වරදට ඔහු සමාව ඉල්ලූ පසු ඔබ ඔහුට සමාව දෙනවා. නමුත් ඔබේ ව්‍යාපාර කටයුතු, ගේදොර හා පවුලේ අයව බලාගන්න ඔබ ඔහුව පත් කරනවාද? නැහැ. සාමාන්‍යයෙන් එවැනි වගකීමක් දෙන්නේ විශ්වාසවන්ත කෙනෙක්ටයි. ඒ හා සමානව ස්වර්ගයට ගොස් මිනිසුන්ව පාලනය කිරීමට තෝරගන්නෙත් දෙවිගේ අණපනත්වලට විශ්වාසවන්තව සිටින බව පොළොවේ ඉන්න කාලෙදිම ඔප්පු කර තිබෙන අයවයි. (එළිදරව් 2:10) අපරාධකරු අවසන් මොහොතේ යම් පසුතැවිල්ලක් පෙන්නුවත් ඔහු දෙවිගේ අණපනත්වලට විශ්වාසවන්තව සිටි කෙනෙක් බව ඔප්පු කර තිබුණේ නැහැ.
සමහරු සිතන්නේ අපරාධකරුට එදාම පාරාදීසයට යන්න ලැබෙනවා කියා යේසුස් පොරොන්දු වූ බවයි. නමුත් එවැනි දෙයක් සිදු විය නොහැකියි. මන්ද යේසුස් පවා මිය ගිය දවසෙම ස්වර්ගයට ගියේ නැහැ. යේසුස්ව නැවත නැඟිටුවෙත් මිය ගොස් දින තුනකට පසුවයි. (මතෙව් 12:40; මාක් 10:34) ඉන්පසුවත් ඔහු දින 40ක් පුරා සිටියේ පොළොවේ.—ක්‍රියා 1:3, 9.
එහෙමනම් ඔහුට යේසුස් පොරොන්දු වුණු පාරාදීසය මොකක්ද? යේසුස් පොළොව පාලනය කරන්න පටන්ගත් පසු මුළු පොළොවම පාරාදීසයක් වෙනවා. අපරාධකරුට නැවත ජීවත් වෙන්න ලැබෙනවා කියා යේසුස් පොරොන්දු වුණේ ඒ පාරාදීසයෙයි. (ක්‍රියා 24:15; එළිදරව් 21:3, 4) පාරාදීසය ගැනත් එහි ජීවත් වීමට ලැබෙන්නේ මොන වගේ අයටද කියාත් දැනගන්න කැමති නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් ඒ ගැන අහන්න.