9වන පරිච්ඡේදය
‘දෙවිගේ බලය වන ක්‍රිස්තුස්’
1-3. (අ) ගලීල මුහුදේදී ගෝලයන් මුහුණ දුන්නේ කිනම් තැතිගන්වනසුලු අද්දැකීමටද? එහිදී යේසුස් කළේ කුමක්ද? (ආ) යේසුස්ව ‘දෙවිගේ බලය වන ක්‍රිස්තුස්’ කියා හැඳින්වීම යෝග්‍ය වන්නේ මන්ද?
ගෝලයන්ට මහත් භයක් ඇති වුණා. ඔවුන් ගලීල මුහුද හරහා යාත්‍රා කරමින් සිටින විට හදිසියේ මතු වූ කුණාටුවක් ඔවුන් දෙසට හැමුවා. මේ වගේ කුණාටු මීට පෙර ඔවුන් දැක තිබූ බවට නම් කිසිම සැකයක් නැහැ. ඒ මන්ද කියනවා නම් ඔවුන්ගෙන් සමහරක්දෙනෙක් හොඳ පළපුරුදු ධීවරයෝ.a (මතෙව් 4:18, 19) නමුත් මේක “සැඩ සුළඟක්.” ඒ වගේම මුහුද එකපාරටම මහා චණ්ඩ මාරුතයකට ලක් වුණා. මහත් කැලඹීමකටත් කලබලයටත් පත් එහි සිටි මිනිසුන් යාත්‍රාව හැසිරවීමට දැරුවේ ඉමහත් වෑයමක්. නමුත් කුණාටුව ඊට වඩා ප්‍රබලයි. ඉහළට නඟින මුහුදු රැළි ‘ඔරුව තුළට ගැසූ’ බැවින් එය වතුරෙන් පිරෙන්නට පටන්ගත්තා. මේ මහා කලබලය හා ඝෝෂාව මැද යේසුස් සිටියේ තද නින්දක. දවසක් මුළුල්ලේම සමූහයාට උගන්වා ඔහු හොඳටම විඩාවට පත් වෙලයි හිටියේ. මර භයේ සිටි ගෝලයන් ඔහුව අවදි කර, “ස්වාමිනි, අප ගැළවුව මැනව. අපි විනාශ වෙමුය” කියා ඔහුට ආයාචනා කර සිටියා.—මාර්ක් 4:35-38; මතෙව් 8:23-25.
2 යේසුස් භය වුණේ නැහැ. ඔහු මහත් නිසැකකමකින් යුතුව ‘නිශ්ශබ්ද වන්න, නිශ්චල වන්නයි’ සුළඟට තරවටු කළා. එකෙණෙහිම සුළඟත්, මුහුදත් ඔහුට කීකරු වුණේ තද කුණාටු සුළං නතර වී, මුහුදේ රළ ගෙඩි වියැකී “මහත් නිශ්චලයක්” ඇති කරමිනුයි. දැන් ගෝලයන් මහා අමුතු භයකින් වෙළිලා. “ඇත්තටම මේ කවුද?” [NW] යයි අසමින් ඔවුන් එකිනෙකා අතර කොඳුරන්ට පටන්ගත්තා. ඔව්, ඇත්ත වශයෙන්ම, දඟකාර දරුවෙකුට අවවාද දෙන්නාක් මෙන් සුළඟටත් මුහුදටත් තරවටු කිරීමට හැක්කේ කෙබඳු මිනිසෙකුටද?—මාර්ක් 4:39-41; මතෙව් 8:26, 27.
3 එනමුත් යේසුස් සාමාන්‍ය මනුෂ්‍යයෙකු නොවේ. යෙහෝවාගේ බලය ඔහු කෙරෙහි ක්‍රියාත්මක වුණු අතර, ඔහු තුළින් එය අති සුවිශේෂී ආකාරවලින් විදහා දැක්වූවා. දේවානුභාවය ලත් ප්‍රේරිත පාවුල් ‘දෙවිගේ බලය වන ක්‍රිස්තුස්’ කියා යේසුස්ට යොමු දැක්වීම ඉතාම උචිත වුණේ ඒ නිසයි. (1 කොරින්ති 1:23, 24) දෙවිගේ බලය යේසුස් විදහාපෙන්වන ලද්දේ කිනම් ආකාරවලින්ද? යේසුස් විසින් බලය විදහාපෑම අපගේ ජීවිතවල කෙබඳු බලපෑමක් ඇති කළ හැකිද?
දෙවිගේ ඒක ජාතක පුත්‍රයාගේ බලය
4, 5. (අ) යෙහෝවා සිය ඒක ජාතක පුත්‍රයාට පැවරුවේ කුමන බලය හා අධිකාරයද? (ආ) සිය පියාගේ මැවීමේ අරමුණු ඉෂ්ට කිරීමට මෙම පුත්‍රයාව සන්නද්ධ කරනු ලැබුවේ කෙසේද?
4 මිනිසෙකු ලෙස ජීවත් වීමට පෙර කාලය අතරතුර යේසුස්ට තිබූ බලය ගැන සලකා බලන්න. යෙහෝවා සිය ඒක ජාතක පුත්‍රයා මවන විට, තමාගේම “සදාකාලික වූ බලය” යොදාගත් අතර, එම පුත්‍රයා යේසුස් ක්‍රිස්තුස් බවට ප්‍රකාශ වුණා. (රෝම 1:20; කොලොස්සි 1:15) ඉන්පසුව, යෙහෝවා සිය පුත්‍රයාට ඉමහත් බලයක් සහ අධිකාරයක් පවරා දුන්නේ තමාගේ මැවීමේ අරමුණු ඉටු කරලීමෙහිලා ඔහුට වැඩ කොටසක් පවරමින්. එම පුත්‍රයා පිළිබඳව බයිබලයේ පවසන්නේ, “ඔහු කරණකොටගෙන සියල්ල සාදන ලද්දේය. සාදන ලද කිසිවක් ඔහු නැතුව සාදනු නොලද්දේය” කියායි.—යොහන් 1:3.
5 එම පැවරුමේ මහත්කම අපට නම් වටහාගන්නවත් බැරි තරම්. මිලියන ගණනක් දේවදූතයන්ද, මන්දාකිනි බිලියන ගණනකින් යුත් භෞතික විශ්වයද, විවිධාකාර ජීවීන්ගෙන් ගහන පෘථිවියද මැවීමට අවශ්‍ය වූ බලය ගැන සිතා බලන්න. මෙම කාර්යයන් ඉටු කිරීම සඳහා මෙම ඒක ජාතක පුත්‍රයාට තිබුණු බලය, විශ්වයේ වඩාත් ප්රබලතම බලවේගය වන දෙවිගේ ශුද්ධාත්මය මිස වෙන කිසිවක් නොවේ. දෙවිගේ ප්‍රධාන කර්මාන්තකාරයා වීමෙන් මෙම පුත්‍රයා මහත් ප්‍රීතියක් අද්දුටු අතර, අනෙකුත් සියලු දේ මැවීමට යෙහෝවා යොදාගත්තේ මොහුවයි.—හිතෝපදේශ 8:22-31.
6. සිය මරණයෙන් හා නැවත නැඟිටීමෙන් පසුව, යේසුස්ට දෙනු ලැබුවේ කිනම් බලය හා අධිකාරයද?
6 මෙම ඒක ජාතක පුත්‍රයාට මීටත් වඩා බලයක් හා අධිකාරයක් ලැබිය හැකිද? යේසුස් සිය මරණයට හා නැවත නැඟිටීමට පසුව මෙසේ පැවසුවා. “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ.” (මතෙව් 28:18) ඔව්, යේසුස්හට මුළු විශ්වය පුරාම සිය අණසක පැතිරවීමට හැකියාව සහ අයිතිය දී තිබෙනවා. ‘රජවරුන්ගේ රජ සහ ස්වාමිවරුන්ගේ ස්වාමීන්’ ලෙස, සිය පියාණන්ට එරෙහි වන දෘශ්‍යමාන හෝ අදෘශ්‍යමාන ‘සියලු අධිපතිකම්ද බලයද පරාක්‍රමයද නැති කරන්ට’ ඔහුව පත් කොට තිබෙනවා. (එළිදරව් 19:16; 1 කොරින්ති 15:24-26) දෙවි “සියල්ල ඔහුට යටත් කළ බැවින් කිසිවක් යටත් නොකර හැරියේ නැත.” ඉන් අදහස් කරන්නේ යෙහෝවා තමන්ව හැර අන් සියල්ල යේසුස්ට යටත් කර ඇති බවයි.—හෙබ්‍රෙව් 2:8; 1 කොරින්ති 15:27.
7. යෙහෝවා විසින් යේසුස්ට දානය කර ඇති බලය කිසිවිටෙකත් ඔහු වැරදිසහගත ලෙස යොදා නොගන්නා බවට අපට ස්ථිර විය හැක්කේ මන්ද?
7 යේසුස් සිය බලය වැරදිසහගත ලෙස යොදාගනීවිය කියා අප ළත විය යුතුද? කොහෙත්ම නැහැ! සිය පියාණන්ට සැබවින්ම ප්‍රේම කරන යේසුස් ඔහුව අසතුටු කරන කිසිවක් කිසිදා නොකරන බව අපට සහතිකයි. (යොහන් 8:29; 14:31) යෙහෝවා කිසිවිටෙකත් තමාගේ සර්වබලධාරි බලය වැරදිසහගත ලෙස යොදා නොගන්න බව යේසුස් හොඳින් දන්නවා. තවත්, යේසුස් පෞද්ගලිකවම නිරීක්ෂණය කළ දෙයක් නම්, ‘යෙහෝවා කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිට වෙන පිණිස [ඔහු තම] බලය පෑමට’ ප්‍රස්තා සොයමින් සිටින බවයි. (2 ලේකම් 16:9) ඇත්තෙන්ම, යේසුස් මිනිස් සංහතිය උදෙසා වූ සිය පියාණන්ගේ ප්‍රේමය බෙදාගන්න අතර, ඔහු තමාට ලැබුණු බලය සැමවිටම යහපත උදෙසා යොදාගන්නා බවට අපට දැඩි විශ්වාසයක් තැබිය හැකියි. (යොහන් 13:1) මේ සම්බන්ධයෙන් යේසුස් තබා ඇත්තේ නොකැළැල් වාර්තාවක්. ඔහු පොළොවේ වෙසෙන විට ඔහුට තිබූ බලය ගැනත් එය පාවිච්චි කිරීමට ඔහුව පෙලඹුණේ කෙසේද කියාත් දැන් අපි සලකා බලමු.
‘කතාවෙහි බලවත් වූ’
8. යේසුස්ව ආලේප කරනු ලැබුවායින් පසුව ඔහුව බලවත් කරනු ලැබුවේ කුමක් කිරීමටද? ඔහු සිය බලය යොදාගත්තේ කෙසේද?
8 පෙනෙන විදිහට, යේසුස් නාසරෙත් නුවර පිරිමි ළමයෙකු ලෙස හැදී වැඩෙන විට, කිසිම ප්රාතිහාර්යයක් කළේ නැහැ. නමුත් ඔහු පො.යු. 29දී, වයස අවුරුදු 30දී බව්තීස්ම වූ විට වෙනසක් සිදු වුණා. (ලූක් 3:21-23) බයිබලය පවසන්නේ, ‘දෙවි ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරිය යේසුස් ආලේප කළ බව හා දෙවි ඔහු සමඟ සිටි බැවින් ඔහු යහපත්කම් කරමින්ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින්ද හැසිරුණු’ බවයි. (ක්‍රියා 10:38) “යහපත්කම් කරමින්” යනුවෙන් සඳහන් වන විට, යේසුස් සිය බලය නිවැරදිව යොදාගත් බවක් හඟවන්නේ නැද්ද? ආලේප කරනු ලැබුවායින් පසුව, ඔහු ‘ක්‍රියාවෙහිත් කතාවෙහිත් බලවත් වූයේය.’—ලූක් 24:19.
9-11. (අ) යේසුස් තමන්ගේ ඉගැන්වීම්වලින් වැඩි හරියක් කළේ කොහේද? (ආ) යේසුස් ඉගැන්වූ ආකාරය දුටු සමූහයා මවිතයට පත් වූයේ ඇයි?
9 යේසුස් කතාවෙහි බලවත් වූයේ කෙසේද? ඔහු බොහෝ විට ඉගැන්වූයේ එළිමහන් ස්ථානවලයි. එනම් විල් අද්දර, කඳු බෑවුම්වල, මෙන්ම මාර්ගයේ සහ වෙළඳාම්පොළවලයි. (මාර්ක් 6:53-56; ලූක් 5:1-3; 13:26) ඔහු කතා කළ වචන සිත් ඇද නොගත්තා නම් ඔහුට සවන් දුන් අය පහසුවෙන්ම ඉවත්ව යෑමට ඉඩ තිබුණා. මුද්‍රිත පොත් පත් ඇති වුණු යුගයට පෙර, ඉතා ආශාවෙන් සවන් දී සිටි අයට ඔහුගේ වචන තම මනස්වලත් හදවත්වලත් රඳවාගෙන යන්නට සිදු වුණා. එමනිසා, යේසුස්ගේ ඉගැන්වීම් හොඳින් උනන්දුව ඇදගත්, පැහැදිලිව තේරුම් ගිය, පහසුවෙන් මතක තබාගත හැකිව තිබූ ඉගැන්වීම් විය යුතුව තිබුණා. නමුත් මෙම අභියෝගය යේසුස්ට නම් කිසිම ගැටලුවක් වුණේ නැහැ. උදාහරණයක් හැටියට ඔහුගේ කන්ද උඩ දේශනාව ගැන සලකා බලන්න.
10 පොදු යුගයේ 31 අවුරුද්දේ මුල් භාගයේ එක් උදෑසනක, සමූහයක් ගලීල මුහුද අසල කඳු බෑවුමකට රැස් වුණා. ඇතමුන් පැමිණ සිටියේ කිලෝමීටර් 100ක සිට 110 දක්වා දුරක පිහිටා තිබූ යුදයේ සහ යෙරුසලමේ සිටයි. තවත් අය උතුරට වෙන්න පිහිටා තිබූ තීර් සහ සීදොන් යන මුහුදුබඩ ප්‍රදේශයේ සිට පැමිණ සිටියා. අසනීපව සිටි බොහෝදෙනෙක් යේසුස් වෙතට ළං වී ඔහුව ස්පර්ශ කළ අතර, ඔහු ඔවුන් සියල්ලන්ව සුවපත් කළා. ඔහු ඔවුන්ට උගන්වන්ට පටන්ගත්තේ ජනයා අතර බරපතළ ලෙස අසනීපව සිටි සියලුදෙනාම සුවපත් කළ පසුවය. (ලූක් 6:17-19) ඔහුගේ කතාව අවසන් වූ පසු, තමන් ඇසූ දෙයින් ඔවුන් විස්මපත් වුණා. ඒ ඇයි?
11 එම දේශනය ඇසූ තැනැත්තෙක් වසර ගණනාවකට පසුව ලීවේ මෙසේයි. “සමූහයෝ ඔහුගේ ඉගැන්වීම ගැන විස්මයට පත් වූවෝය. මක්නිසාද ඔහු ලියන්නන් මෙන් නොව, බලය ඇති කෙනෙකු මෙන් ඔවුන්ට ඉගැන්වූවේය.” (මතෙව් 7:28, 29) යේසුස් කතා කළේ සියල්ලන්ට දැනිය හැකි වූ බලයක් සමඟිනුයි. දෙවි වෙනුවෙන් කතා කළ ඔහු, දේවවචනයේ අනුබලය ඇතිව තම ඉගැන්වීම තහවුරු කළා. (යොහන් 7:16) යේසුස්ගේ ප්‍රකාශ පැහැදිලිව තිබුණා. ඔහුගේ අනුශාසනා ඒත්තුගන්වනසුලු වුණා. ඔහුගේ තර්කයන් කිසිවිටෙකත් නිෂ්ප්‍රභ කිරීමට හැකි වුණේ නැහැ. ඔහුගේ වචන මතභේදවලට තුඩු දුන් ප්රශ්නවල කේන්ද්‍රයටම එල්ල වූ අතර, ඒවා ඔහුට සවන් දුන් අයගේ හදවත්වලට කිඳා බැස්සේ ඉතා ගැඹුරින්. සන්තෝෂය සොයාගන්න ආකාරයත්, යාච්ඤා කරන අන්දමත්, දේවරාජ්‍යය සොයන සැටිත් සුරක්ෂිත අනාගතයක් සඳහා ජීවිතය ගොඩනංවන සැටිත් ඔහු ඔවුන්ට ඉගැන්වූවා. (මතෙව් 5:3–7:27) මේ නිසා, සත්‍යය හා ධර්මිෂ්ඨකම උදෙසා කුසගින්නෙන් සිටි අයගේ හදවත් ඔහුගේ වචනවලින් පුබුදුවනු ලැබුවා. එවන් අය කැමති වුණේ තමන්වම “නොසලකා” සියල්ල පසෙක ලා ඔහුව අනුගමනය කිරීමටයි. (මතෙව් 16:24; ලූක් 5:10, 11) යේසුස්ගේ වචනවල බලය ගැන මොනතරම් ප්‍රබල සාක්ෂියක්ද!
‘ක්‍රියාවෙහි බලවත් වූ’
12, 13. යේසුස් ‘ක්‍රියාවෙහි බලවත්’ වූයේ කිනම් අර්ථයෙන්ද? තවද ඔහුගේ ප්රාතිහාර්යවල තිබූ විවිධත්වය කවරේද?
12 යේසුස් ‘ක්රියාවෙහිද බලවත්’ වුණා. (ලූක් 24:19) “යෙහෝවාගේ බලයෙන්” යේසුස් කරන ලද විශේෂ ප්රාතිහාර්යයන් 30ක් සුවිශේෂවල වාර්තා වෙනවා.b (ලූක් 5:17, NW) යේසුස්ගේ ප්රාතිහාර්යයන් දහස් ගණනකගේ ජීවිතවලට බලපෑම් කළා. හුදෙක් ප්රාතිහාර්යයන් දෙකකදී පමණක්, එනම් “ස්ත්‍රීන්ද දරුවන්ද හැර” පිරිමින් 5,000කට සහ පසුව පිරිමින් 4,000කට කන්ට දුන් ප්රාතිහාර්යවලදී 20,000ක් පමණ සමූහයක් ඉන් පෝෂ්‍ය වූ බව පෙනෙන්ට තිබෙනවා!—මතෙව් 14:13-21; 15:32-38.
13 තව වැදගත් දෙයක් නම්, යේසුස් කළ ප්රාතිහාර්යයන් විවිධාකාර වුණා. ඔහුට භූතයන් කෙරෙහි බලය තිබූ අතර, ඔවුන්ව ඉතා පහසුවෙන් එළවා දැම්මා. (ලූක් 9:37-43) භෞතික දේවල් කෙරෙහිද ඔහුට බලය තිබුණ බව පෙනී යන්නේ වතුර වයින් බවට පත් කිරීම සලකා බලන විටයි. (යොහන් 2:1-11) ඔහු ගලීල මුහුදේ වතුර මත ඇවිද්දේ සිය ගෝලයන්ව පුදුමයට පත් කරවමින්. (යොහන් 6:18, 19) ශාරීරික ආබාධ, නිදන්ගත රෝග සහ මරණාසන්න රෝග පවා සුව කළේ තමාට රෝග සුව කිරීමට මහත් බලයක් තිබෙන බව පෙන්වමින්. (මාර්ක් 3:1-5; යොහන් 4:46-54) ඔහු එවන් සුව කිරීම් විවිධ ක්‍රමවලින් කළා. ඇතැම් අයව සෑහෙන දුරක සිට සුව කරනු ලැබූ අතර, අනෙක් අයව යේසුස් විසින් සුව කරනු ලැබුවේ ඔවුන්ව ස්පර්ශ කිරීමෙනුයි. (මතෙව් 8:2, 3, 5-13) ඇතැම් අය සුව වුණේ ක්ෂණිකවයි. තවත් අය ටිකෙන් ටිකයි.—මාර්ක් 8:22-25; ලූක් 8:43, 44.
14. මරණය පරාජය කිරීමට තමන්ට බලය තිබූ බව යේසුස් නිරූපණය කළේ කිනම් තත්වයන් යටතේද?
14 මෙයින් වඩාත් කැපීපෙනෙනම දෙය නම්, මරණය පරාජය කිරීමට යේසුස්ට තිබූ බලයයි. වාර්තාගත අවස්ථා තුනක, ඔහු තිදෙනෙකුව නැවත නැඟිටෙව්වා. ඒ, 12 වියැති දියණිය ඔවුන්ගේ මාපියන්ටත්, එකම දරුවාව ඔහුගේ වැන්දඹු මවටත්, ආදරණීය සොහොයුරාව ඔහුගේ සහෝදරියන්ටත් දීමෙන්. (ලූක් 7:11-15; 8:49-56; යොහන් 11:38-44) මෙහිලා කිසිදු තත්වයක් ඔහුට අසීරු වූයේ නැහැ. ඔහු 12 වියැති ගැහැනු ළමයාව නැඟිටෙව්වේ ඇය මිය ගියාට ස්වල්ප වේලාවකට පසුව මරණ ඇඳේදීමයි. වැන්දඹුවගේ පුත්‍රයාව අවමංගල්‍ය දෙනයෙන් නැවත නැඟිට්ටෙව්වේ ඔහු මිය ගිය දවසේදී බවට කිසිදු සැකයක් නැහැ. තවද ඔහු ලාසරුස්ව නැවත නැඟිට්ටෙව්වේ ඔහු මිය ගොස් දවස් හතරකට පසුවයි.
පරාර්ථකාමීව, වගකීමෙන් සහ සැලකිල්ලෙන් යුතුව බලය යොදාගැනීම
15, 16. යේසුස් තමන්ගේ බලය යොදාගැනීමෙහිලා පරාර්ථකාමී වූ බව පෙනී යන්නේ කිනම් සාක්ෂිවලින්ද?
15 යේසුස්ගේ බලය අසම්පූර්ණ පාලකයෙකුට දුන්නා නම්, ඔහු එය කොතරම් වැරදි ලෙස යොදාගනීද කියා ඔබට සිතාගන්ට පුළුවන්ද? නමුත් යේසුස් පව් කළේ නැහැ. (1 පේතෘස් 2:22) අසම්පූර්ණ මිනිසුන් ආත්මාර්ථකාමිත්වයෙන්, තනතුරුවලට ඇති ආශාවෙන් සහ ගිජුකමෙන් පෙලඹී අනුන්ව රිදවීම සඳහා තමන්ගේ බලය යොදාගන්නවා. නමුත් ඒ කිසිවකින් තමාගේ චරිතය කැළැල් වීමට යේසුස් කිසිවිටෙකත් ඉඩ දුන්නේ නැහැ.
16 යේසුස් සැමවිටම තමන්ගේ බලය යොදාගත්තේ පරාර්ථකාමී විදිහටයි. එය ආත්මාර්ථකාමී විදිහට තමන්ගේම පෞද්ගලික වාසි ප්‍රයෝජන තකා යොදාගත්තේ නැහැ. ඔහුට කුසගිනි දැනුණු විට, තමන්ගේම ප්‍රයෝජනය සඳහා ගල් රොටි බවට හැරවීම ඔහු ප්‍රතික්ෂේප කළා. (මතෙව් 4:1-4) ඔහු සතුව යමක් තිබුණා නම් ඒ ඉතා සරල දෙයක් පමණයි. මින් ගම්‍ය වන්නේ තමන්ගේ බලය යොදාගෙන ඔහු ද්‍රව්‍යමය වාසි කිසිවක් ලබා නොගත් බවයි. (මතෙව් 8:20) ඔහුගේ බලවත් ක්‍රියා පරාර්ථකාමී චේතනාවන්ගෙන් මතු වී ආ බවට ඔප්පු කළ හැකි සාක්ෂි එමටයි. ප්රාතිහාර්ය සිදු කරන විට, ඔහු එසේ කළේ තමන්ට යම් පාඩුවක් කරගනිමින්. අසනීප වූවන් සුව කළ විට, ඔහුගෙන් බලය පිට වී ගියා. එක් පුද්ගලයෙකුව සුව කරන විටදී පවා, තමාගෙන් බලය පිටව ගිය බව ඔහුට දැනුණා. (මාර්ක් 5:25-34) එහෙත්, තමන්ට අතගසන්ට ඔහු සමූහයාට ඉඩහැරියා. ඔවුන් සුවය ලැබුවා. (ලූක් 6:19) මොනතරම් පරාර්ථකාමී ස්වභාවයක්ද!
17. යේසුස් තම බලය යොදාගැනීමෙහිලා වගකීමෙන් යුතුව කටයුතු කළ බව නිරූපණය කළේ කෙසේද?
17 යේසුස් තමාගේ බලය යොදාගත්තේ වගකීමේ හැඟීමක් ඇතුවයි. හුදෙක් තම බලය ප්‍රදර්ශනය කිරීමේ හෝ අන් අයගේ අවධානය තමන් වෙත ඇදගැනීමේ අරමුණින් හෝ ඔහු තම බලය කිසි විටෙකත් යොදාගත්තේ නැහැ. (මතෙව් 4:5-7) වැරදි ලෙස කුතුහලයෙන් ඇවිස්සී සිටි හෙරොද්ගේ ආශාවන් තෘප්තිමත් කිරීමට යම් ලකුණක් දීමට ඔහු අකමැති වුණා. (ලූක් 23:8, 9) තමන්ගේ බලය ගැන ප්‍රචාරය කරනවා වෙනුවට, යේසුස් බොහෝ විට තමන්ගෙන් සුවය ලැබූ අයගෙන් ඉල්ලා සිටියේ ඒ ගැන කිසිවෙකුටවත් නොකියන ලෙසයි. (මාර්ක් 5:43; 7:36) මහත් ආන්දෝලනයක් ඇති කරවන ප්‍රවෘත්තිවලින් ඇවිස්සී ජනයා තමා ගැන යම් යම් නිගමනවලට එළඹෙනවාට යේසුස් කැමති වුණේද නැහැ.—මතෙව් 12:15-19.
18-20. (අ) යේසුස් සිය බලය යොදාගත් ආකාරයට බලපෑ දේවල් මොනවාද? (ආ) යේසුස් එක්තරා බිහිරි මිනිසෙකුව සුව කළ විලාසය ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?
18 යේසුස් නම් වූ මේ බලවත් මිනිසා සහ දුක් විඳින සෙසු ජනයාගේ අවශ්‍යතා ගැන කිසිදු තැකීමක් නොකර සිත් පිත් නැති විදිහට තම බලය යොදාගත් පාලකයන් අතර තිබූ වෙනස අහසට පොළොව වගේ. යේසුස් මිනිසුන් ගැන විශාල සැලකිල්ලක් දැක්වූවා. දුක් විඳින මිනිසුන් ඔහුගේ නෙත ගැටුණු සැණින්ම, ගැඹුරින් පෙලඹුණු හේ ඔවුන්ගේ දුක් සමනය කළා. (මතෙව් 14:14) ඔවුන්ගේ හැඟීම් සහ අවශ්‍යතා කෙරෙහි ඔහු දැක්වූ මුදු මොළොක් සැලකිල්ල, ඔහු සිය බලය යොදාගත් ආකාරයෙන් මොනවට පෙනී යනවා. අපගේ සිත් ඇදී යන කදිම උදාහරණයක් දැකගැනීමට මාර්ක් 7:31-37 කියවා බලන්න.
19 මේ අවස්ථාවේදී, යේසුස් සිටින තැන සොයාගත් සමූහයා අසනීපව සිටි රෝගීන් බොහොමයක් ඔහු වෙත ගෙන ආවා. ඔහු ඒ සියල්ලන්වම සුවපත් කළා. (මතෙව් 15:29, 30) නමුත් යේසුස් ඔවුන් අතරින් එක් තැනැත්තෙකු තෝරාගෙන ඔහු කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වුවා. මෙම මිනිසා බිහිරි කෙනෙක්. ඔහු කතා කළේ හරිම අමාරුවෙන්. මෙම පුද්ගලයාට තිබුණු ලජ්ජා ගතිය හා සබකෝලය වටහාගත් යේසුස් ඔහුව සමූහයාගෙන් වෙන් කර පැත්තකට රැගෙන ගියා. අනතුරුව තමා කරන්ට යන දේ ගැන ඔහු එම මිනිසාට යම් සංඥාවක් මගින් දැනෙන්ට සැලැස්සුවා. ඔහු ‘ඔහුගේ කන්වල තමන්ගේ ඇඟිලි බහා, කෙළගසා, ඔහුගේ දිව ස්පර්ශ කළා.’c (මාර්ක් 7:33) ඊළඟට, ස්වර්ගය දෙස බැලූ යේසුස් සුසුම්ලා යාච්ඤාවක් කළා. මේ ක්‍රියාවන්ගෙන් එම මිනිසාට යේසුස් දෙමින් සිටියේ, ‘මම දැන් කරන්ට යන දේ කරන්නේ දෙවිගේ බලයෙන්’ වැනි අදහසක්. අන්තිමේදී, යේසුස් “ඇරේවයි” කීවා. (මාර්ක් 7:34) එවිට එම මිනිසාගේ ශ්‍රවණය කිරීමේ හැකියාව යළිත් ඔහුට ලැබුණු අතර, සාමාන්‍ය ලෙස කතා කරන්නට ඔහුට හැකි වුණා.
20 අසනීප වූවන්ව සුව කිරීම සඳහා දෙවි විසින් දානය කරන ලද බලය යොදාගනිද්දී පවා, යේසුස් එම රෝගීන්ගේ හැඟීම් කෙරෙහි දයානුකම්පිත ලෙස සැලකිලිමත් වීම මොනතරම් හද උණුසුම් කරවන්නක්ද! මේ අනුව, යෙහෝවා විසින් මෙසියානු රාජ්‍යය එවන් දයානුකම්පිත සැලකිලිමත් පාලකයෙකුගේ අතේ තබා තිබෙනවාය යන කාරණය අපට මහත් අස්වැසිල්ලක් නොවෙයිද?
පැමිණීමට තිබෙන දේ පිළිබඳ සලකුණක්
21, 22. (අ) යේසුස් කළ ප්‍රාතිහාර්යවලින් සලකුණු කළේ කුමක්ද? (ආ) යේසුස් ස්වාභාවික බලවේගයන් පාලනය කර තිබෙන නිසා, ඔහුගේ රාජ්‍ය පාලනය යටතේදී අපට කුමක් අපේක්ෂා කළ හැකිද?
21 මිහිපිට සිටියදී යේසුස් කළ බලවත් ක්‍රියා, ඔහුගේ රාජ්‍ය පාලනය යටතේ ලැබෙන්ට යන වඩාත් ශ්‍රේෂ්ඨ වූ ආශීර්වාදවල හුදෙක් පෙර දැක්මක් පමණයි. දෙවිගේ නව ලෝකයේදී, යේසුස් යළිත් වරක් ප්රාතිහාර්ය කරනවා ඇති. ඒ සමස්ත ලෝක පරිමාණයෙන්! ඉදිරියට අද්දැකීමට නියමිත ඉතා ප්‍රීතිමත් අපේක්ෂාවන් සමහරක් ගැන සලකා බලන්න.
22 යේසුස් පොළොවේ පාරිසරික තත්වය එහි පරිපූර්ණ සමබරතාවට යළිත් පමුණුවනවා ඇති. දැඩි සුළඟින් යුත් කුණාටුවක් සමනය කිරීම මගින් ස්වාභාවික බලවේගයන් ඔහු පාලනය කළා ඔබට මතකද? එසේ නම්, ක්‍රිස්තුස්ගේ පාලනය යටතේදී, සුළි සුළංවලින්වත්, භූමිකම්පාවලින්වත්, ගිනි කඳු පිපිරීම්වලින්වත් හානි සිදු වේය යන භයකින් මිනිස්වර්ගයාට ජීවත් වීමට සිදු නොවේ. පෘථිවියත් එහි ඇති සියලු ජීවයත් මැවීමට යෙහෝවා විසින් යොදාගත් ප්‍රධාන කර්මාන්තකරු යේසුස් බැවින්, පෘථිවියේ සම්පූර්ණ සැකැස්ම ගැන ඔහුට මනා දැනුමක් තිබෙනවා. එහි සම්පත් නිසි ලෙස යොදාගන්නේ කෙසේදැයි ඔහු දන්නවා. ඔහුගේ පාලනය යටතේ, මුළු මහත් පෘථිවියම පාරාදීසයකට පරිවර්තනය කරනු ඇති.—ලූක් 23:43.
23. රජු වශයෙන්, යේසුස් මිනිස් සංහතියේ අවශ්‍යතා සපුරාලනු ඇත්තේ කෙසේද?
23 මිනිස් සංහතියේ අවශ්‍යතා ගැන කුමක් කියමුද? තමන් ළඟ තිබූ ආහාර ස්වල්පයකින් දහස් ගණනකට බහුල ලෙස කන්ට දෙන්ට යේසුස්ට හැකියාව තිබූ බැවින්, ඉන් අපට සහතික කර කියා සිටින්නේ ඔහුගේ පාලනය තුළ කිසිවෙක් කුසගින්නේ නොසිටින බවයි. ඇත්ත වශයෙන්ම, බහුල වූ ආහාර එක හා සමානව සාධාරණ ලෙස සියලුදෙනා අතර බෙදී ගියොත් කුසගින්න සදහටම නිමා වෙනු ඇති. (ගීතාවලිය 72:16, න. අ.) අසනීප හා රෝග සුව කිරීමෙහිලා ඔහු දැක්වූ අපූරු හැකියාවෙන් අපට කියා පාන්නේ අසනීප, අන්ධ, බිහිරි, ගොළු හා කොර මිනිසුන් සම්පූර්ණයෙන්ම සදහටම සුවපත් වනු ඇති බවයි. (යෙසායා 33:24; 35:5, 6) මළවුන් නැවත නැඟිටුවීමට ඔහුට තිබූ හැකියාවෙන් පෙනී යන කාරණය නම්, සිය පියාණන්ගේ කැමැත්තට අනුව මිලියන ගණනක් දෙනෙකුව නැවත නැඟිටුවන්නට ඔහු සතුව තිබෙන බලයද ස්වර්ගික රජු හැටියට ඔහුට තිබෙන පරාක්රමයට ඇතුළත් වන බවයි.—යොහන් 5:28, 29.
24. යේසුස්ගේ බලය ගැන හොඳින් සිතා බලත්ම, අප මතකයේ තබාගත යුත්තේ කුමක්ද? ඒ මන්ද?
24 අප යේසුස්ගේ බලය පිළිබඳව හොඳින් සිතා බලන කල, මෙම පුත්‍රයා සිය පියාණන්ව පරිපූර්ණ ලෙස අනුකරණය කරන බව අපගේ මතකයේ තබාගනිමු. (යොහන් 14:9) මෙසේ, යේසුස් බලය භාවිත කරන අන්දම තුළින් යෙහෝවා සිය බලය භාවිත කරන ආකාරය ගැන අපට පැහැදිලි පින්තූරයක් ඇඳ තබනවා. නිදසුනක් වශයෙන්, යේසුස් එක්තරා ලාදුරු රෝගියෙකුව සුව කළ ඒ මුදු මොළොක් විලාසය ගැන සිතා බලන්න. මහත් අනුකම්පාවෙන් පෙලඹී, යේසුස් එම මිනිසාට අත ගසා ‘මම කැමැත්තෙමි’ යයි පැවසුවා. (මාර්ක් 1:40-42) මෙවැනි වාර්තා හරියට, ‘මෙන්න බලන්න! මම බලය යොදාගන්නේ මේ විදිහටයි!’ කියා යෙහෝවා අපට පවසමින් සිටින්නාක් වැනියි. මෙවන් ළයාන්විත ආකාරයකින් සිය බලය යොදාගැනීම ගැන අපගේ සර්වබලධාරි දෙවිට ප්‍රශංසා කිරීමටත්, ඔහුට ගෞරවය දීමටත් ඔබ පෙලඹෙන්නේ නැද්ද?
[පාදසටහන්වල]
a හදිසියේ ඇති වන මෙවැනි කුණාටු ගලීල මුහුදට අමුතු දෙයක් නොවේ. මුහුදු මට්ටමට පහළින් පිහිටා තිබෙන නිසා (සාමාන්‍ය මුහුදු මට්ටමට වඩා මීටර් 200ක් පමණ පහළින්), අවට තිබෙන වාතයට වඩා එහි වාතය බොහෝ උණුසුම් බවක් ගත්තා. මේ නිසා එහි වායුගෝලීය වෙනස්කම් ඇති වුණා. උතුරින් පිහිටි හර්මොන් කන්දේ සිට එන තද සුළං යොර්දාන් මිටියාවත දිගේ පහළටයි ඇදී එන්නේ. ඒ හේතුවෙන්, එක් මොහොතක නිසලව තිබෙන මුහුද ඊළඟ මොහොතේදී තද කුණාටුවකට මුහුණ පෑ හැකියි.
b මීට අමතරව, ඇතැම් අවස්ථාවල කළ ප්රාතිහාර්යයන් බොහොමයක් ගැන සුවිශේෂවල සඳහන් වෙන්නේ තනි, සාමාන්‍ය විස්තරයක් හැටියටයි. නිදසුනක් හැටියට, එක් අවස්ථාවක, “මුළු නුවර වැසියෝ” ඔහුව දැකීමට පැමිණි අතර, ඔහු අසනීප වූවන් ‘බොහෝදෙනෙකුව’ සුව කළා.—මාර්ක් 1:32-34.
c කෙල ගැසීම යුදෙව්වන් හා අන්‍යජාතිකයන් යන දෙකොට්ඨාසය විසින්ම පිළිගනු ලැබූ සුව කිරීමේ ක්‍රමයක් නැතහොත් සංඥාවක්. ඇරත් සුව කිරීමේදී කෙල භාවිත කිරීම රබ්බිවරුන්ගේ ලේඛනවලද වාර්තා වෙනවා. යේසුස් කෙල ගැසුවේ තමන් දැන් එම මිනිසාව සුව කරන්ට යන බව ඇඟවීමට විය හැකියි. කාරණය කුමක් වුවත්, යේසුස් මෙහිදී තමන්ගේ කෙල ස්වාභාවික සුව කිරීමේ ඖෂධයක් ලෙස යොදාගත්තේ නැහැ.
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න
යෙසායා 11:1-5 යේසුස් සිය “බලයේ ආත්මය” විදහාපාන්නේ කෙසේද? තවද මේ නිසා ඔහුගේ පාලනය කෙරෙහි අපට කිනම් විශ්වාසයක් තබාගත හැකිද?
මාර්ක් 2:1-12 යේසුස් විසින් ප්රාතිහාර්යමය ලෙස සුව කිරීමෙන් නිරූපණය වන්නේ ඔහුට කිනම් අධිකාරිත්වයක් ලබා දී ඇති බවද?
යොහන් 6:25-27 මිනිසුන්ගේ ශාරීරික අවශ්‍යතා සපුරාලීමට යේසුස් ප්රාතිහාර්ය කළද, ඔහුගේ දේවසේවයේ පරමාර්ථය වූයේ කුමක්ද?
යොහන් 12:37-43 යේසුස්ගේ ප්රාතිහාර්යයන් ඇසින් දුටු සමහරෙක් ඔහු කෙරෙහි ඇදහිල්ල නොතැබුවේ ඇයි? අපට මෙයින් ගත හැකි පාඩම කුමක්ද?
[91වන පිටුවේ පින්තූරය]
‘යේසුස් මුහුද මත ඇවිදිනවා ඔවුන් සියැසින් දුටුවා’